ඔසප් වීම කියන්නේ ගර්භාෂයේ ඇතුළත පටලය ගැලවී රුධිරයත් සමග යෝනි මාර්ගය දිගේ ඇවිත් ශරීරයෙන් බැහැර වීමයි.
ඔසප් වීම, ඔසප් චක්‍රය නමින් හැදින්වෙන ස්ත්‍රී ප්‍රජනන චක්‍රයේ එක් අවස්ථාවක්. පහතින් දැක්වා ඇත්තේ ඔසප් චක්‍රයේ අවස්ථා හතරක්.
ස්ත්‍රී ප්‍රජනන බීජ හැදින්වෙන්නේ ඩිම්භ යන නමින්. ගැහැණු දරුවෙක් උපදින විට ඇගේ ඩිම්බ කෝෂ වල නොමේරූ ඩිමිබ දහස් ගණනක් පවතිනවා. ගැහැණු දරුවන් වැඩිවියට පත් වන කාලයේදී මේ ඩිම්බ මේරීම ආරම්භ වනවා. මෙම මෝරන ඩිම්බ වරකට එක බැගින් ඩිම්භ කෝෂයෙන් පැලෝපීය නාලය වෙත මුදාහැරීමද මේ කාලයේදී ආරම්භ වනවා.
ඔසප් චක්‍රයේ පළමුවන සතිය තුළ ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිපුර ශ්‍රාවය වීම නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තියේ (එන්ඩෝමෙට්‍රියම) මතුපිට ස්ථරය වැඩෙනවා. ඉන්පසුව මේරූ ඩිම්භයක් ඩිම්භ කෝෂයේ මතුපිටට පැමිණෙන අතර, පැලෝපීය නාලයේ අග ඇති තන්තු මගින් එම ඩිම්භය පැලෝපීය නාලය ඇතුළට ගමන් කිරීමට සලස්වනවා. මේ කාලය තුළ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය මගින් ගර්භාෂයේ බිත්තිවල රුධිරවාහිනී තව දුරටත් වර්ධනය කරනවා. මෙසේ ගර්භාෂ බිත්තිය රුධිරවාහිනී වලින් පෝෂණය වෙමින් වැඩෙන්නේ ඩිම්භ කෝෂයෙන් පිටවූ ඩිම්භය සංසේචනය වී ගැබ් ගැනීමක් ඇති වුවහොත් වැඩෙන කළලයට පෝෂණය සැපයීමට සුසුදු පරිසරයක් ඇති කිරීමටයි.
ඩිම්භය සංසේචනය නොවූ විට, ඔසප් චක්‍රයේ මීලග අදියර වන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන ශ්‍රාවය වීම පහළ යාමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගර්භාශයේ ඇතුළු බිත්තිය ගර්භාෂයෙන් ගැලවීමට පටන් ගන්නා අතර රුධිරයත් සමග එම ශ්ලේෂ්මල පටල යෝනි මාර්ගය දිගේ ශරීරයෙන් පිටතට පැමිණෙනවා. ඔසප් වීම ලෙස හැදින්වෙන්නේ මෙයයි. මෙම ක්‍රියාවලිය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන නිසා එය ඔසප් චක්‍රය ලෙස හැදින්වෙනවා.
ඔසප් චක්‍රය මේ එක් අවස්ථාවක සිට ආපසු නැවත එම අවස්ථාව දක්වා එ්මට ඇතැම් අයට දින 21ක් වැනි සුළු කාලයක්ද ඇතැම් අයට දින 35ක් වැනි දිගු කාලයක්ද ගත වීමට පුළුවන්.
ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන්නේ ඊස්ටජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන වල බලපෑමෙන්.
ඔසප් වීමේදී පිට වන රතු පාට ද්‍රාවණයේ අඩංගු වන්නේ,
- ගර්භාෂ බිත්ති පටක
- රුධිරය
- යෝනි ශ්‍රාවයසහ ශ්ලේෂ්මලයි
ඔසප් රුධිර වහනය ආසන්න වශයෙන් දින 2-7 ක් අතර කාලයක් පවතින්න පුළුවන්. ඔසප් රුධිරයේ වර්ණය හා ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමට පුළුවන්. ඔබේ ඔසප් රුධිරය වෙනදාට වඩා වෙනස් පැහැයක් ගන්නවානම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
ඔසප් වීම සාමාන්‍යයෙන් අවුරුදු 09 ත් 16ත් කාලය අතර ආරම්භ වන අතර වයස අවුරුදු 50 පමණ වල විට අවසන් වනවා. ඔසප් වීම අවසන් වීම හදුන්වන්නේ ආර්තවහරණය නමින්.
ඔබ දන්නවාද?
දළ වශයෙන් කාන්තාවන් මිලියන 5.7 ක් ඔසප් වීම අත්විදින බව.
ඔසප් වීම ජීවිතයේ ස්වාභාවික අංගයක් වන අතර, ඒ පිළිබඳ අධ්‍යාපනය අප සියළු දෙනාටම ලැබිය යුතුයි. ඔසප් චක්‍රය සහ හෝර්මෝන වල ක්‍රියාකාරීත්වය හොදින් තේරුම් ගැනීමෙන් අපට ඔසප් කාලය ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.