අපි කවුද

බකමූණෝ වෙබ් අඩවියේ මූලික වශයෙන් කතා කරන්නේ අපගේ සම්බන්ධතා,  ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය, එච්අයිවී, සමාජීය ස්ත්‍රී පුරුෂභාවය සහ තමන් වීමට අපට ඇති අයිතිය යන කරුණු පිළිබද ප්‍රඥාගෝචර වීම නැතිනම් නුවණක්කාර වීම ගැනයි.  

බකමූණෝ පළමු අදියර අවධානය යොමු කරන්නේ එච්අයිවී පිළිබදවයි. ඒ, එච්අයිවී සම්ප්‍රේෂණය, නිවාරණය සහ විශේෂයෙන් ඔබ හෝ ඔබ ආදරය කරන පුද්ගලයෙකු එච්අයිවී සමග ජීවත් වනවා නම් අවශ්‍ය වන සහය පිළිබද විද්‍යාත්මකව නිවැරදි සහ පරිපූර්ණ තොරතරු වලට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට කාලය එළඹ ඇති නිසයි. මෑතදී වාර්තා වූ කුළියාපිටිය සිදුවීම: එච්අයිවී සමග ජීවත් වන බවට පැතිරී ගිය කටකතා සහ අසත්‍ය ප්‍රචාර නිසා දරුවෙකුට පාසලක් අහිමි වීම සහ අදාල මව සහ දරුවා වින්දිතයන් බවට පත් කරමින් සිදු කරන ලද වෙනස්කොට සැලකීම් මගින් අපට පෙන්වන්නේ ශ්‍රී ලංකික සමාජය තුළ එච්අයිවී පිළිබදව පවතින නොදැනුවත්භාවයි. එයට මූලික හේතුව වන්නේ එච්අයිවී පිළිබදව අපට තේරුම් ගත හැකි භාෂාවෙන්  යාවත්කාලීන කරන ලද, විශ්වාස කළ හැකි සහ අදාල තොරතුරු නොමැති වීමයි.

කැමැත්ත, සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය, සයිබර් සූරාකෑම, හිංසනය සහ ඒවා සම්බන්ධයෙන් අපට සහය ලබා දෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන සේවාවන් යන ආදිය බකමූණෝ පළමු අදියර තුළ සලකා බැලෙන තවත් මාතෘකා කිහිපයකි. මේවා අයත් වන ලිංගිකත්වය සහ සම්බන්ධතා නැමති මෙනුවට ඉදිරියේදී තවත් මාතෘකා එකතු වනු ඇත. එයට අමතරව තරුණ ප්‍රජාව සදහා වූ තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සහ සාම්ප්‍රදායිකව තහංචි පනවා ඇති මාතෘකා පිළිබදව සන්නිවේදනය කළ හැකි ආකාර පිළිබද දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට අදාල තොරතුරු මූලාශ්‍ර ද මෙයට එක් වනු ඇත.

මෙහි ඉදිරිපත් කර කරන තොරතුරු හැකි තරම් සරලව සහ විෂයබද්දව ඉදිරිපත් කිරීමට අපි උත්සහ කරන්නෙමු. එමෙන්ම අදාල තොරතුරු උපුටා ගන්නා ස්ථාන: ලෝක සෞඛ්‍යය සංවිධානය, සෞඛ්‍යය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතිය, එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් පිළිබද හවුල, ජාත්‍යන්තර සැලසුම්කළ මාපියභාවය පිළිබද සම්මේලනය සහ ටෙරන්ස් හිගින්ස් භාරය ආදී වශයෙන් දක්වා ඇත.

මෙම අඩවියේ අන්තර්ගතය වඩාත් සුදුසු වන්නේ අවුරුදු 16 හෝ එය වයස ඉකමවූ අයටය. එම වයසට වඩා අඩු අයට අපි නිර්දේශ කරන්නේ  වැඩිහිටියෙකුගේ හෝ නීත්‍යනුකූල භාරකරුවෙකුගේ අධීක්ෂණය යටතේ වෙබ් අඩවියට පිවිසෙන ලෙසයි.

විවිධ ලිංගික දිශානතීන් සහ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවී අනන්‍යතාවයන් සහිත පුද්ගලයන්, ලිංගික වෘත්තියේ යෙදෙන පුද්ගලයන්, මත් ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් සහ කොන් වී සිටිනවා යැයි හැගෙන ඕනෑම පුද්ගලයෙකුට බකමූණෝ හා සම්බන්ධ වන ලෙස අපි ධෛර්යමත් කරමු. ඔබට සහය අවශ්‍ය නම් අපට ලියන්න. හැකි ඕනෑම සහයක්  ලබා දීමට අපි සූදානම්.

බකමූණෝ වෙබ් අඩවිය ඔබ වෙත් ගෙන එන්නේ ද ග්‍රාස්රූරටඩ් ට්‍රස්ට් කණ්ඩාමය, පොසිට්වු හෝප්ස් එලායන්ස්, ජාතික නැව්කරුවන්ගේ වෘත්තිය සමිතිය, ශ්‍රී ලංකා ජාතික ලෝහ සහ සංක්‍රමණික සේවකයන්ගේ වෘත්තීය සමිතිය සහ විවිධ ලිංගික දිශානතීන් සහ සමාජභාවී අනන්‍යතාවයන් සහිත පුද්ගලයන්, වෛද්‍යවරුන්, නීතී වෘත්තියන් සහ ක්‍රියාකාරීන් ගෙන් සැදුම් ලත්  ස්වෙච්චා කණ්ඩායමක් විසිනි.

බකමූණෝ තමා කෙරෙහි, අනෙකා කෙරෙහි සහ වෙනස කෙරෙහි ඇති ගෞරවය ප්‍රවර්ධනය කරති.

අපට සහය දුන් අයවද සිහිපත් කිරීමට කැමතිය. 

Social Share: