අලි නැති පා ගමන — අලි ඇතුන් සිටින අනාගතයක් වෙනුවෙන්.

දේශගුණික හදිසි තත්ත්වය සමහර විට ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී පමණක් සාකච්ඡා වන අපෙන් දුරස් වූ මාතෘකාවක් ලෙස පෙනෙන්නට පුළුවන. එහෙත් එහි ප්‍රතිවිපාක ශ්‍රී ලංකාව පුරා පිහිටි ගම්මානවල ජනතාව දිනපතා අත්විඳිමින් සිටිති.

අපි දිගු නියඟ, අධික වර්ෂාපතනය, ගංවතුර, නායයෑම් සහ ඉහළ යන උෂ්ණත්වයන්ට මුහුණ දෙමින් සිටිමු. කාලගුණ රටාවන් වෙනස් වීම හේතුවෙන් ගොවියෝ දැඩි අභියෝගවලට මුහුණ දී සිටිති. ජල සම්පත් පෙර තරම් විශ්වාසදායක නොවන තත්ත්වයට පත්වෙමින් තිබේ. වනාන්තර අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර වනජීවීන්ට ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන අහිමි වෙමින් තිබේ.

පසුගියදා දිත්වා සුළි කුණාටුවෙන් ඇති වූ බලපෑම් අපට මතක් කළේ දේශගුණික විපර්යාස තවදුරටත් අනාගතයේ පමණක් ඇතිවන තර්ජනයක් නොවන බවයි. එය අදම අපගේ ජීවිතවලට බාධා කරමින් සිටී.

මෙම ගෝලීය අර්බුදය හඳුනා ගනිමින් ලොව පුරා රටවල් පැරිස් ගිවිසුමෙන් එකඟ වී ඇති අතර  , හරිතාගාර වායු අඩු කර ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට ප්‍රතිඥා දී තිබේ. එමෙන්ම 2030 තිරසාර සංවර්ධන ඉලක්ක හරහා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, පරිසර පද්ධති යළි ප්‍රතිස්ථාපනය කිරීම සහ දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දක්වන විට කිසිවෙකුත් අතහැර නොයන බවට ද රජයන් කැපවී සිටිති.

මෙම කැපවීම් කඩදාසි මත ලියැවුණු වචන පමණක් නොවිය යුතුය.

ඒවා අපගේ නිවෙස්වල, පාසල්වල, ගම්මානවල සහ ප්‍රජාවන් තුළ අප ගන්නා තීරණ සහ ක්‍රියාකාරකම් තුළින් ප්‍රකාශ විය යුතුය.

අලි නැති අලි පා ගමන යනු ප්‍රාදේශීය මට්ටමින් දේශගුණික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ හැකි ආකාරය පෙන්වන එක් සාර්ථක උදාහරණයකි.

ඇයි අලි?

අලියා මෙම පා ගමනේ සංකේතයක් පමණක් නොවේ. අලි අපගේ වනාන්තරවල තත්ත්වය පිළිබඳ කතාව අපට කියා දෙයි.

සෞඛ්‍ය සම්පන්න වනාන්තර කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරයි, අපගේ දේශගුණය සිසිල් කරයි, ගංගා ආරක්ෂා කරයි, කෘෂිකර්මාන්තයට සහාය වෙයි. සතුන් විශේෂ දහස් ගණනකට වාසස්ථාන සපයයි. වනාන්තර අතුරුදහන් වන විට එහි ප්‍රතිවිපාක වනජීවීන්ට පමණක් සීමා වන්නේ නැහැ. ජල සුරක්ෂිතතාව පහළ යාම, ජෛව විවිධත්වය පහත වැටීම සහ දේශගුණික විපර්යාස වේගවත් වීම යන ප්‍රතිවිපාක මුළු මානව වර්ගයාටම බලපායි.

වනාන්තර හැකිළෙමින් යන විට ආහාර සහ ජලය සොයා අලි වැඩි වැඩියෙන් ගම්මාන සහ කෘෂිකාර්මික ඉඩම්වලට පැමිණෙන අතර, එමඟින් මිනිස්–අලි ගැටුම තවත් තීව්‍ර වේ. 2026 ජූලි මස අවසානයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය කොට්ඨාසයේ පෙද්දව ප්‍රදේශයේ අලි පස් දෙනෙකු සිටින බව වාර්තා විය. ජලය සොයා ඔවුන් පොල් වතු සහ ගම්මාන හරහා ගමන් කර තිබුණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනය ලබාගත් මෑතකාලීන දත්ත මෙම සමතුලිතතාව යළි ස්ථාපිත කිරීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරයි. 2023 සිට 2025 දක්වා කාලය තුළ වෙඩි තැබීම්, විදුලි සැර වැදීම, වස දීම සහ හක්කා පටස් යන සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි 631 දෙනෙකු මිය ගොස් ඇත. එම කාලය තුළම මිනිස්–අලි ගැටුම හේතුවෙන් පුද්ගලයින් 499 දෙනෙකුටද ජීවිත අහිමි වී ඇත.

මේවා හුදෙක් සංඛ්‍යාලේඛන පමණක් නොවේ.

එය අපට මතක් කර දෙන්නේ වනාන්තර නැති වන විට අහිමි වන්නේ ගස් පමණක් නොවන බවයි. ඒ සමඟම පරිසර පද්ධති බිඳ වැටෙයි, ජීව විවිධත්වය අඩුවෙයි, අවසානයේ එහි වන්දිය අපටත් වනජීවීන්ටත් එකසේ ගෙවීමට සිදුවෙයි.

එබැවින් අලි ආරක්ෂා කිරීම යනු වනාන්තර ආරක්ෂා කිරීමයි.

වනාන්තර ආරක්ෂා කිරීම යනු අපගේ දේශගුණය ආරක්ෂා කිරීමයි.

ස්ත්‍රීන් පාගමනේ ඇයි?

දේශගුණික විපර්යාස සෑම කෙනෙකුටම බලපාන නමුත්, එය සෑම කෙනෙකුටම එක හා සමාන ලෙස බලපාන්නේ නැත.

ශ්‍රී ලංකාව පුරා දේශගුණික ව්‍යසනවල ප්‍රතිවිපාක මුලින්ම සහ වඩාත් තදින් අත්විඳින්නේ බොහෝ විට ස්ත්‍රීය. අස්වැන්න අසාර්ථක වූ විට පවුලේ ආහාර ප්‍රමාණය කළමනාකරණය කරමින් සැමට ආහාර සපයන්නේ ස්ත්‍රීන්ය. ජලය හිඟ වූ විට එය සොයා වැඩි දුරක් ගමන් කරන්නේද ස්ත්‍රීන්ය. ව්‍යසනයක් සිදු වූ විට දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් රැකබලා ගැනීමේ වැඩි වගකීම ස්ත්‍රන් දරන, ඒ සමඟම තමන්ගේ ජීවනෝපායන් නැවත ගොඩනඟා ගැනීමේ අභියෝගයටද මුහුණ දෙති.

මෙම බර දරුවන්ටද උරුම වේ. ඔවුන් උරුම කරගන්නේ වැඩිහිටියන් ගත් තීරණවල ප්‍රතිවිපාකය. එහෙත් එම තීරණ වෙනස් කිරීමට හෝ ඒවාට බලපෑම් කිරීමට ඔවුන්ට ඇති හැකියාව ඉතා සීමිතය.

මේ හේතුව නිසා ඉබ්බාගමුවේ අත්වැල කාන්තා කවවල ස්ත්‍රීන් දරුවන් සමඟ එක්ව ඇවිදිනු ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ ස්ත්‍රී නායකත්වය පිළිගන්නා, ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කරන, මහජන සෞඛ්‍ය ආරක්ෂා කරන සහ ප්‍රජාව කේන්ද්‍රීය කර ගත් දේශගුණික විසඳුම්ය.

සමාජීය ස්ත්‍රී පුරුෂභාවී සමානාත්මතාවයෙන් තොරව දේශගුණික යුක්තියක් ඇති කළ නොහැකිය.

වෙනසට නායකත්වය දෙන දරුවෝ

පසුගිය මාස කිහිපය තුළ අත්වැල එකමුතුව විසින් ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ පාසල් හයක දේශගුණික දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.

එහිදී දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම, පොළිතීන් ප්ලාස්ටික් ඇති කරන පරිසර හානිය, මානව සෞඛ්‍යය සහ තිරසාර ජීවන රටාව එකිනෙක සමඟ බැඳී ඇති ආකාරය ගැන සිසුන් දැනුවත් විය.

අගෝස්තු 23 වැනිදා එම ඉගෙනීම් ජීවමාන අත්දැකීමක් බවට පත් කිරීම අපගේ අරමුණයි.

මෙම පා ගමනේදී සිසුන් විසින් නිර්මාණය කරන ලද දැවැන්ත අලි රූකඩ, දේශගුණික හදිසි තත්ත්වය පිළිබඳ නාට්‍යමය ඉදිරිපත් කිරීම්, ගස් සිටුවීම සහ පරිසර පද්ධති සමරන නර්තන, ඉවතලන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් නිර්මාණය කළ ඇඳුම් ඇඳගත් දරුවන්, අලි ලෙස සැරසූ බයිසිකල්, ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සැරසූ ත්‍රිරෝද රථ හයක් සහ ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් නිර්මාණය කළ තවත් ත්‍රිරෝද රථ දෙකක් පාගමනේ ගමන් කරනු ඇත.

මෙම වැඩසටහන අවසන් වන්නේ පරිසර හිතකාමී ආහාර පොළෙනි. එමඟින් තිරසාර ජීවන රටාව යනු හුදෙක් අදහසක් නොව, ප්‍රජාවන්ට දෛනික ජීවිතයේ ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි ජීවන රටාවක් බව පෙන්වා දෙනු ඇත.

එකට ඇවිදිමු

අලි නැති අලි පා ගමන යනු හුදෙක් එක් උත්සවයක් නොවේ.

ප්‍රජාවන් තුළින් දේශගුණික ක්‍රියාමාර්ග ආරම්භ කළ හැකි බව අපට සිහිපත් කරන ආරාධනයකි.

එය ආරම්භ වන්නේ දරුවන් අසීරු ප්‍රශ්න ඇසීමට පටන් ගන්නා විටය.

එය ආරම්භ වන්නේ දේශගුණික විපර්යාස නොවැළැක්විය හැකි දෙයක් ලෙස පිළිගැනීම ස්ත්‍රීන් ප්‍රතික්ෂේප කරන විටය.

එය ආරම්භ වන්නේ බලාපොරොත්තු සුන්වීම අබිභවා නිර්මාණශීලීත්වයත්, නිහඬව සිටීමට වඩා යමක් කිරීමට ප්‍රජාවන් තෝරාගන්නා විටය.

අගෝස්තු 23 වැනිදා තබන සෑම පියවරක්ම මිනිසා සහ ස්වභාවධර්මය අතර සමතුලිතතාව යළි ගොඩනැගීමේ පියවරකි. එය අනාගත පරම්පරාවන් වෙත අපට ඇති වගකීම ඉටු කිරීමේ පියවරකි. එමෙන්ම දේශගුණික යුක්තිය, ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව එකිනෙකින් වෙන් කළ නොහැකි බව පිළිගැනීමේ පියවරකි.

අප සමග ඇවිදීමට ඔබ සැමට ඔවුන් ආරාධනා!

හුදෙක් උත්සවයක් නැරඹීමට නොවේ.

වෙනසක් ඇති කරන ජනතා ව්‍යාපාරයක කොටස්කරුවෙකු වීමටයි.

වැඩසටහන් විස්තර

දිනය: 2026 අගෝස්තු 23 සෙනසුරාදා
වේලාව: පස්වරු 3.00
ආරම්භක ස්ථානය: ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය
අවසන් ස්ථානය: දේවසරණ සංවර්ධන මධ්‍යස්ථානය, යකල්ල හංදිය

විශේෂාංග

දරුවන් සහ කාන්තාවන්ගේ නායකත්වයෙන් පැවැත්වෙන දේශගුණික ක්‍රියාමාර්ග පා ගමන

සිසුන්ගේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම්

දැවැන්ත අලි රූකඩ

අත්වැල නිර්මාණ කවයේ බයිසිකල් පෙළපාලිය

ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සැරසූ අලි තේමාව සහිත ත්‍රිරෝද රථ

පරිසර හිතකාමී ආහාර පොළ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය

සංවිධානය:

අත්වැල එකමුතුව

ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට්

දේවසරණ සංවර්ධන කේන්ද්‍රය

කාන්තා සංවර්ධන පදනම

නයිජල් බිලිමෝරියා අලි සංරක්ෂණ භාරය

මාධ්‍ය සම්බන්ධීකරණය

දුරකථන / WhatsApp: +94 76 361 3112

විද්‍යුත් තැපෑල: trust@grassrooted.net

Social Share: