
අවුරුදු ගණනාවක් චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වුණු ඔසප් වීම නවතින කාලයක් එනවා. එය හැදින්වෙන්නේ ආර්තවහරණය (Menopause) යනුවෙන්.
සාමාන්‍යයෙන් අවුරුදු 50 වන විට බෙහෝ ස්ත්‍රීන්ට ආර්තවහරණය සිදු වනවා. තවත් අයට ඊට අවුරුදු කිහිපයකට කලිනුත් ආර්තවහරණය වෙන්න පුළුවන්.
ආර්තවහරණය යනු ඔබගේ හෝමෝන මට්ටම් ක්‍රමයෙන් අඩු වන ජීවිතයේ ස්වභාවික අවධියක්. මෙම කාලය තුළ ඔබගේ ඩිම්බකෝෂ (ovaries) කුඩා වන අතර, ඒවා ඊස්ජට්‍රන් (estrogen) හෝමෝනය නිපදවීම ක්‍රමයෙන් නතර වනවා. එමෙන්ම ප්‍රොජෙස්ටෙරෝන් (progesterone) හෝමෝනය නිපදවීමද පහළ යනවා. මෙම හෝමෝන මට්ටම් අඩුවීම නිසා මාසික ඔසප් වීම නතර වන අතර, ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාවද මේ සමඟ අවසන් වනවා.
- ඔබගේ වයස අවුරුදු 45ත් 55ත් අතර නම්
- වසරක කාලයක් පුරා මාසික ඔසප් වීම සිදු නොවී තිබේ නම්
- ඔබ ගැබ්ගෙන නොමැති නම් හෝ
- එයට හේතු විය හැකි බරපතළ රෝගී තත්ත්වයක් නොමැති නම්
ඔබ ආර්තවහරණය අත්විඳිමින් සිටිය හැකියි. නැතහොත් දැනටම ආර්තවහරණය සිදුවී තිබීමට පුළුවන්.

ශ්‍රී ලංකා ආර්ථවහරණ සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති ‘ආර්තවහරණය සහ මිහිරි මැදිවිය’ පොත බාගත කර ගන්න.
ආර්තවහරණය (Menopause) ඇතිවීමට බලපාන වෙනත් හේතු
සෑම කෙනෙකුටම වයස්ගත වීම නිසාම ආර්තවහරණය සිදු වන්නේ නැහැ. සමහර විට සෞඛ්‍ය ගැටලු හේතුවෙන්ද ආර්තවහරණය ඇති වීමට ඉඩ තිබෙනවා.
ශල්‍යකර්මයක් මඟින් ඩිම්බකෝෂ (ovaries) ඉවත් කළහොත්, වයස සමඟ ක්‍රමයෙන් සිදුවන වෙනස්කම් වෙනුවට ආර්තවහරණයේ ලක්ෂණ හදිසියේම ඇති විය හැකියි. මෙය ප්‍රේරිත ආර්තවහරණය (Induced Menopause) ලෙස හැඳින්වෙනවා.
එසේම, පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිත කරන ඇතැම් රසායනික ප්‍රතිකාර (Chemotherapy) ඖෂධද ආර්තවහරණය සාමාන්‍යයට වඩා කලින් හෝ හදිසියේ ඇති වීමට හේතු වීමට පුළුවන්.
පූර්ව ආර්තවහරණය (Perimenopause)
පූර්ව ආර්තවහරණය (Perimenopause) යනු ආර්තවහරණයට පෙර ඇතිවන කාලයයි. මෙම කාලයේදී ඔබගේ මාසික ඔසප් වීමේ රටාව වෙනස් විය හැකි අතර, වෙනත් ලක්ෂණද ඇති විය හැකියි. මෙම අවධිය මාස කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා පැවතීමට පුළුවන්. මෙය ආරම්භ වී, නැවත නතර වී, යළි ආරම්භ විය හැකි ස්වාභාවික ක්‍රියාවලියක්.
සාමාන්‍යයෙන් පූර්ව ආර්තවහරණය ඔබගේ 40 වැනි වයස් කාණ්ඩයේදී ආරම්භ වන නමුත්, එය ඊටත් පෙර ආරම්භ විය හැකියි.
පූර්ව ආර්තවහරණය අතරතුර සිදුවන්නේ කුමක්ද?
ඔබගේ 30 සහ 40 වැනි වයස්වලදී ඩිම්බකෝෂ (ovaries) මඟින් නිපදවන ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනයේ ප්‍රමාණය වෙනස් වීමට පටන් ගන්නවා. මෙම වෙනස්කම් සිදුවන බව ඔබට මාසික ඔසප් වීමේ රටාවේ වෙනස්කම් මඟින් දැනගැනීමට පුළුවන් වන අතර මෙය සාමාන්‍ය සහ ස්වාභාවික තත්ත්වයක්.
ඔබට දැකගත හැකි වෙනස්කම් කිහිපයක්:
- මාසික ඔසප් වාර දෙකක් අතර කාලය දිගු වීම හෝ කෙටි වීම.
- මාසික ඔසප් වාරයක් සම්පූර්ණයෙන්ම මඟ හැරීම.
- ඔසප් වීමේදී ලේ ගැලීමේ ප්‍රමාණය වෙනස් වීම (වැඩි වීම හෝ අඩු වීම).
- මාසික ඔසප් වාර අතරතුර ලේ ගැලීම සිදුවීම.
පූර්ව ආර්තවහරණය අතරතුර මාසික ඔසප් වීමේ වෙනස්කම් සාමාන්‍ය වුවද, ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍යය නිලධාරිණිය සමඟ සාකච්ඡා කිරීම අප නිර්දේශ කරනවා.
පූර්ව ආර්තවහරණය අතරතුරත් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු වන්නේ නැතිනම් නම්, අවසාන මාසික ඔසප් වීමෙන් පසු අවම වශයෙන් වසරක් ගතවන තුරු ඔබ භාවිත කරන ප්‍රතිසංධිවිරෝධක ක්‍රමය දිගටම භාවිත කළ යුතුයි. ප්‍රතිසංධිවිරෝධක ක්‍රමට නතර කළ යුත්තේ කවදාද සහ පූර්ව ආර්තවහරණය පිළිබඳ ඔබට ඇති වෙනත් ප්‍රශ්න සඳහා සදහා ළඟම ඇති MOH කාර්යාලයෙන් පිළිතුරු ලබා ගැනීමට පුළුවන්.
