ආර්ථවහරණය ඔබගේ ලිංගික ආශාවට බලපානවාද?

ඔව්. ආර්ථවහරණය ඔබේ ලිංගිකව හැසිරීමට ඇති ආශාවට බලපෑම් ඇති කිරීමට පුළුවන්.  නමුත් එයින් ඔබගේ ලිංගික ජීවිතය අවසන් වන බවක් අදහස් වන්නේ නැහැ.

ආර්ථවහරණය සමයේ ඇතිවන ශාරීරික සහ මානසික වෙනස්කම් නිසා ඔබේ ලිංගිකව උද්දීපනය වීම අඩු වීමට පුළුවන්. ආර්ථවහරණය සිදු වන කාලයේදී ඔබට නිදා ගැනීමේ අපහසුතා ඇති විය හැකියි. හොද නින්දක් නොලැබීමෙන් ඔබේ ශරීර ශක්තිය අඩුවන නිසා ලිංගික සම්බන්ධතා පිළිබඳ ඇති උනන්දුව අඩු වීමට පුළුවන්. මේ කාලයේදී යෝනි මාර්ගයේ තෙතගතිය අඩුවීමද ලිංගික සම්බන්ධතා කෙරෙහි ඇති උනන්දුව අඩු වීමට හේතුවක් වනවා.

ආර්ථවහරණය සමයේ කනස්සල්ල, දුක, හෝ නුරුස්සනාගතිය වැනි විවිධ හැඟීම් අත්විඳීමද සාමාන්‍ය දෙයක්.

මෙම කාලයේදී ඔබට ලිංගික ආශාව අඩු වුවත්, සාමාන්‍යයෙන් ආර්ථවහරණයෙන් පසු එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වනවා්‍.

ආර්ථවහරණය සිදුවන කාලයේදී ලිංගික ජීවිතයට බලපාන බහුලම ලක්ෂණවලින් එකක් වන්නේ යෝනි මාර්ගයේ තෙත ගතිය අඩු වීමයි. එමඟින් ලිංගික සම්බන්ධතා අපහසු හෝ වේදනාකාරී කරවනවා.

ආර්ථවහරණය සමයේ ඔබගේ ලිංගික ජීවිතය වඩාත් සුවපහසු කර ගැනීමට කළ හැකි දේවල්

ලිංගික සම්බන්ධතා වලදී ජලයෙන් සෝදා හැරිය හැකි  (water-based)  ලිහිසි කාරකයක් (lubricant) භාවිතා කරන්න. මේවා ඕනෑම ෆාමසියකින් පහසු මිලය ලබා ගැනීමට පුළුවන්. ඊසි ග්ලයිඩ් (Easy Glide) යනු ශ්‍රී ලංකාවේ බහුලව භාවත වන එවැනි ලිහිසිකාරකයක්.

ලිංගිකව උද්දීපනය වීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගන්න. සෙමින් උද්දීපනය වීමෙන් ස්වභාවික තෙතමනය වැඩි වන අතර, එය යෝනි මාර්ගයේ සංවේදී පටක ආරක්ෂා කිරීමට උපකාරී වනවා.

ස්පර්ශ කරන ආකාරය සහ පීඩනය වෙනස් කර බලන්න. විශේෂයෙන්ම භගමනියට (clitoris) වැඩි හෝ සෘජු උද්දීපනයක් ලබා දීමෙන් සතුට වැඩි කරන ගන්න පුළුවන්.

ලිංගික ඇසුර හෝ ස්වයංවින්දනය (masturbation) නිතර සිදු කරන්න. මෙය යෝනි මාර්ගයට රුධිර ප්‍රවාහය වැඩි කර එහි පටක නිරෝගීව තබා ගැනීමට උපකාරී වනවා.

උකුල ප්‍රදේශයේ මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම (Pelvic floor/Kegel exercises) කරන්න. මෙම ව්‍යායාම මඟින් ලිංගික සතුට ලබා ගැනීමේදී භාවිත වන මාංශ පේශි ශක්තිමත් වන අතර, මුත්‍රා පිටවීම පාලනය කිරීමටද උපකාරී විය හැකියි.

MOH කාර්යාලයෙන් හෝමෝන ප්‍රතිකාර පිළිබඳව දැන ගන්න. ලිහිසි කාරකයක් පමණක් ප්‍රමාණවත් නොවේ නම්, එස්ට්‍රජන් අඩංගු ක්‍රීම් හෝ පෙති වැනි ප්‍රතිකාර යෝනි මාර්ගයේ තෙතගතිය අඩු වීම මගහරවා ගැනීමට උපකාරී වනවා.

ඔබගේ සහකරු හෝ සහකාරිය සමඟ විවෘතව කතා කරන්න. ඔබට දැනෙන දේ සහ ආර්ථවහරණය ඔබට බලපාන ආකාරය ගැන විවෘතව කතා කිරීමෙන් ඔබ දෙදෙනා අතර අවබෝධය සහ සමීපතාව වැඩි කර ගැනීමට පුළුවන්. ඔබට ලිංගික සම්බන්ධතා සඳහා කැමැත්තක් නොමැති දිනවලදී ඒ පිළිබඳව ඇති පීඩනයද අඩු කර ගැනීමටත් විවෘත සන්නිවේදනය උදවු වනවා.

ආර්ථවහරණය පසු ලිංගික ආශාව වැඩි විය හැකිද?

ආර්ථවහරණයෙන් පසු ගැබ් ගැනීමක් පිළිබද බියක් නොමැති නිසා ලිංගික සම්බන්ධතා සඳහා ඇති කැමැත්ත වැඩි වීමටත් පුළුවන්.

ආර්ථවහරණයෙන් පසු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සදහා ඇති අවදානම අඩු වන්නේ නැහැ. ඒ නිසා ලිංගික ඇසුරකදී කොන්ඩම් භාවිත කිරිරීම නොනනවත්වා සිදු කළ යුතුයි.  එමෙන්ම, ඔබ ලිංගිකව ක්‍රියාකාරී නම්,  ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා පරීක්ෂණ වලට යොමු වීමත් වැදගත්.

මතක තබා ගන්න

ආර්ථවහරණය යනු ස්වාභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. ඉන් ගැබ් ගැනීමට ඇති හැකියාව අවසන් වුණත් ඔබගේ ලිංගිකත්වය, සමීප සබඳතා හෝ ලිංගික ජීවිතය අවසන් වන්නේ නැහැ. ආර්ථවහරණයෙන් පසුවත් ඔබට සෞඛ්‍ය සම්පන්න, සතුටුදායක සහ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කිරීමට පුළුවන්.

Social Share: