එච්අයිවී වෛරස සිංහලෙන් හදුන්වන්නේ මානව ප්‍රතිශක්තිකරණ ඌණත් වෛරසය ලෙසයි.
මෙම වෛරසය පහර දෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් වී ඇති සුදු රුධිරාණු: ප්‍රධාන වශයෙන්ම එහි ඇති සීඩී 4 සෛල වලටයි. සීඩී 4 සෛල යනු ස්වාභාවිකව ආසාදන සමග සටන් කිරීමෙහිලා විශාල කාර්යක් ඉටු කරන සුදු රුධිරාණු වර්ගයක්. මෙම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර නොකර හැරියහොත් වෛරසය විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල (CD4 සෛල) විනාශ කරමින් එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයාව අවස්ථාවාදී ආසාදන සදහා නැඹුරු කරවනවා. ප්‍රතිකාර නොගතහොත් අවස්ථාවාදී ආසාදන කිහිපයක් එක විට ඇති වී ඒඩ්ස් (නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය) තත්ත්වය ඇති වීමට පුළුවන්.
එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයෙකුගේ රුධිරය, ශුක්‍ර තරල, යෝනි ශ්‍රාව, මව් කිරි යන තරල වලින් එකක් තවත් පුද්ගලයෙකුගේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීම මගින් එච්.අයි. වී ආසාදනය වනවා.

එච්අයිවී සදහා ප්‍රතිකාර රජයේ සායන වලින් නොමිලේ ලබා ගත හැකි අතර නිවැරදිව ඖෂධ පාවිච්චි කරන අයගෙන් වෙනත් අයට වෛරසය බෝ වන්නේ නැහැ.
එච්අයිවී සදහා ඖෂධ ලබා ගන්නා විට ශරීරරයේ ඇති එච්අයිවී වෛරස් ප්‍රමාණය [Viral Load] පහළ යනවා. නිවැරදිව ඖෂධ ලබා ගැනීමෙන් වෛරස් මට්ටම හදුනාගත නොහැකි මට්ටමට පත් කර ගැනීමට පුළුවන්. හඳුනා ගත නොහැකි මට්ටමට පත් වූ වෛරස් ප්‍රමාණයක් සහිත පුද්ගලයෙකුගෙන් වෙනත් අයට වෛරසය බෝ වන්නේ නැහැ.

ඒඩ්ස් තත්ත්වයට හේතු වන වෛරසය ලෙස එච්අයිවී වෛරසය හදුනාගත්තේ 1984 වසරේදීයි. එයට එච්අයිවී යන නම ලැබුණේ 1986දී. මුල් කාලයේදී එච්අයිවී බෝ වී ඒඩ්ස් තත්ත්වයට පත් වී මරණයට පත් වීම සුලභ වුවත් අද වන විට එච්අයිවී සමග සෞඛ්‍යයමත්ව ජීවත් වීමට අවස්ථාව තිබෙනවා. ඒ ප්‍රතිකාර වල දියුණුවෙන්.
ඔබට එච්අයිවී වැළදී ඇතැයි සැක සිතනවා නම්, ජාතික එච්අයිවී නිවාරණ වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන https://know4sure.lk වෙබ් පිටුවට පිවිසී අවදානම තක්සේරු කර ගන්න.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
2025 වසරේ තුන් වන කාර්තුව අවසන් වන විට වාර්තා වී ඇති එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් ගණන 539ක්. ඉන් 68ක්ම අවුරුදු 15ත් 24ත් අතර වයසේ පසු වන පිරිමි දරුවන් බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපෘතියේ 2025 දත්ත පත්‍රිකාවේ දැක්වේ.
2024 තුළ සිදු කර ඇති එච්අයිවී පරීක්ෂණ ගණන 1,244,143කි. ශ්‍රී ලංකාව තුළ එච්අයිවී ව්‍යාප්ති මට්ටම 0.066%ක් බව එහි දැක්වේ.

2024 වසර තුළ වාර්තා වී ඇති එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් ගණන 824කි. ඉන් 99ක් අවුරුදු 15-24 කාණ්ඩයට අයත් වන පිරිමින් හෝ පිරිමි දරුවන්ය. තවත් 13ක් එම කාණ්ඩයේ ස්ත්‍රීන් හෝ ගැහැණු දරුවන් වන අතර එක් සංක්‍රාන්ති පුද්ගලයන් තිදෙනෙක් මෙම කාණ්ඩයට අයත් වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපෘතියේ 2024 සිව් වන කාර්තු දත්ත පත්‍රිකාවේ දැක්වේ.

2023 වසර තුළ වාර්තා වී ඇත එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් ගණන 694කි. ඉන් 92ක් අවුරුදු 15-24 කාණ්ඩයට අයත් වන පිරිමින් හෝ පිරිමි දරුවන්ය. තවත් 12ක් එම කාණ්ඩයේ ස්ත්‍රීන් හෝ ගැහැණු දරුවන් වන අතර එක් සංක්‍රාන්ති පුද්ගලයෙක්ද මෙම කාණ්ඩයට අයත් වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන ව්‍යාපෘතියේ 2024 සිව් වන කාර්තු දත්ත පත්‍රිකාවේ දැක්වේ.
දැනට ඇති දත්ත අනුව ශ්‍රී ලංකාවේ එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් 4,700 (4,400 – 5,000) පමණ සිටින බව අනුමාන කර ඇත. ලොව පුරා මිලියන 42.3ක් එච්අයිවී සමග ජීවත් වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය අනුමාන කර ඇත.
ගෝලීය තත්ත්වය
2024 අවස්න වල විට ලොව පුරා මිලියන 40.8ක් ( 37.0 – 45.6) එච්අයිවී සමග ජීවත් වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය අනුමාන කරයි. ඉන් මිලියන 1.4ක් (1.1 – 1.8) අවුරුදු 14ට අඩු දරුවන්ය.
2030 වන විට එච්අයිවී වසංගතය නිමා කිරීමට ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) , ඒක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැළැක්වීම සදහා වූ ඒකාබද්ධ හවුල (UNAIDS) සහ ඒඩ්ස්, ක්ෂයරෝගය, මැලේරියාව පිටුදැකීමේ ගෝලීය අරමුදල (GFATM) උපාය මාර්ගිකව ක්‍රියා කරන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.
2025 වසර වන විට ලොව පුරා වෙසෙන එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයින් 95ක්ම හදුනා ගනු ඇතැයි ඔවුන් අනුමාන කරයි. එමෙන්ම ඉන් 95%ටම වෛරස් මට්ටම පාලනය කිරීම සදහා ප්‍රතිකාර ලබා ගත හැකි වන බවත්, වෙනත් අයට ආසාදනය නොවන අයුරින් වෛරස් මට්ටම පාලනය කර ගැනීමට ඉන් 95%ක් සමත් වන බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමානයයි.
2023දී ඒ සංඛ්‍යාව පිළිවෙළින් 86%, 89% ක් සහ 93% වූ බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ 2024 දත්ත පත්‍රිකාවේ දැක්වේ. නමුත් 2025 දත්ත ප්‍රතිකාවේ දැක්වෙන්නේ ඒ ගණණ 87%, 77% සහ 73% ලෙසයි.
මෙම 95-95-95 ඉලක්කය කරා ළගා වීමට එච්අයිවී සමග ජීවත් වන පුද්ලයින් තවත් මිලියන 5.2 ක් එච්අයිවී ප්‍රතිකාර ලබා ගත යුතු බව ලෝක සෞඛ්‍යය සංවිධාන පෙන්වා දෙයි.
එච්අයිවී තුරන් කිරීම සදහා පවතින ගෝලීය වැඩසටනහන් වලින් දිරිමත් කරනීනේ පරීක්ෂණ සදහා යොමු වී ප්‍රතිකාර ලබා ගැනීමයි. ප්‍රතිකාර ලබා ගන්නා අයගෙන් එච්අයිවී බෝ වන්නේ නැහැ. ඒ නිසා අනාරක්ෂිත ලිංගික ඇසුරකින් හෝ මත් ද්‍රව්‍ය විද ගැනීමකින් පසු එච්යිවී පරීක්ෂණයක් සචහා යොමු වීමෙන් මෙම ගෝලීය අරමුණ කරා යාමට අපට සහය විය හැකියි.
