එච්අයිවී සදහා ඇති ඖෂධ ප්‍රතිවෛරස් ඖෂධ (ART – anti-retroviral therapy) ලෙස හැදින්වෙනවා. ශ්‍රී ලංකාවේ එචඅයිවී සදහා ප්‍රතිකාර ලබා දෙන්නේ ජාතික එච්අයිවී මර්ධන ව්‍යාපෘතිය මගින්ය. ඒ යටතේ ශ්‍රී ලංකාව පුරා ART ලබා දෙන සායන 30ක් ක්‍රියාත්මක වන අතර මේවාගේ සිටින වෛද්‍යවරුන් එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ගේ රහස්‍යභාවය රකිමින් සේවා සැපයීමට බැදී සිටිනවා.
HIV සමඟ ජීවත් වන පුද්ගලයින්ට(PLHIV) ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ඇයි?
1. සෞඛ්‍යය හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට
ප්‍රති-ප්‍රතිවෛරස් ප්‍රතිකාර වල මෑත කාලීන දියුණුවත් සමඟ, නිවරදිව ප්‍රතිකාර ලබා ගන්නා අයට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි.
2. අන් අයට (සහකරු/ සහකාරිය, අලුත උපන් බිළිඳුන් සහ වෙනත් ඕනෑම ලිංගික සහකරුවෙකු) එච්.අයි.වී පැතිරීම වැළැක්වීම.
ART ඖෂධ වලින් සිදු වන්නේ කුමක්ද?
දැනට පවතින ඒආර්ටී ප්‍රතිකාර මගින් රුධිරයේ ඇති වෛරස මට්ටම නොපෙනෙන තත්ත්වයට පත් කරයි. වෛරස මට්ටම පහළ අගයක් ගන්නා අවස්ථා වලදී එච්අයිවී තත්ත්වය හේතුවෙන් අසනීප වීමට ඇති අවදානම අඩුය. දැනට පවතින එච්අයිවී ප්‍රතිකාර වල අරමුණ වෛරස මට්ටම නොපෙනෙන තත්ත්වයක පවත්වා ගැනීමයි.

වෛරස මටට්ම පහල යන විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත ශක්තිමත් වීම ඇරඹේ. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මූලික වශයෙන් සෑදී ඇති සීඩී 4 සෛල මට්ටම ඉහල යාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වන බව පෙන්වන දර්ශකයකි.
එච්අයිවී ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කළ විට එය ජීවිතය පුරාටම ලබා ගත යුතුය. ඒආර්ටී ප්‍රතිකාර නැවැත්වුවහොත් ඖෂධ සදහා ප්රතිවිරෝධයක් මතු වීමට පුළුවන්. එවිට වෛරසය පාලනය කිරීම අපහසු වීමට පුළුවන්. එය නිසා ප්‍රතිකාර පිළිපැදීම ඉතාමත් වැදගත්.
ප්‍රතිකාර පිළිපැදීම
1. ඖෂධ, දෛනික ජීවන රටාවේ කොටස් බවට පත් කර ගන්න. උදෑසන තේ කෝප්පයක් බීමට අපට අමතක වන්නේ නැහැ නේද? ඖෂධ ගැනීම දෛනික ජීවන රටාවට ඇතුළත් කර ගැනීම මගින් අපට එය අමතක වීම වළක්වා ගන්න පුළුවන්.
2. මතක් කිරීමට උපක්‍රමය යොදා ගන්න. අප හැම දෙනාටම ජංගම දුරකතනයක් තිබෙනවා. ඔබට බෙහෙත් ගැනීමට අවශ්‍ය වෙලාවට සීනුව නාද වන සේ වෙලාව සකස් කරන්න. ඖෂධ ගැනීමට ඇති වෙලාව මතක් කිරීම සදහා තවත් ඔබ වැනිම එච්අයිවී සමග ජීවත් වන ඒආර්ටී ප්‍රතිකාර ලබා ගන්නා මිතුරෙකු/ මිතුරියගේ සහය ලබා ගන්න. වෙලාව මතක් කිරීම සදහා දිනපතාම දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් හුවමාරු කර ගන්න.
3. ජීවන රටාව වෙනස් කර ගන්න. අපි මත් ද්‍රව්‍ය හෝ මත් පැන් ලබා ගන්නවානම්, එය ඖෂධ ගැනීමට ඇති වෙලාව අමතක වීමට හේතු වෙන්න පුළුවන්. එමෙන්ම එය දෛනික ඖෂධ රටාවට බාධාවක් විය හැකියි. ඒ නිසා එච්අයිවී රෝග විනිශ්චයක් ලැබුණු පසුව ඔබේ ජීවන රටාවේ ඇතු කර ගත යුතු වෙන්ස්කම් මොනවාදැයි සිතා බලන්න.
අතුරු ආබාධ තිබේද?
එච්අයිවී ඖෂධ වලින් කිසිම අතුරු ආබාධයක් නැතිව ජීවිත කාලයම ගත කරන අය සිටිනවා. නමුත් අනෙකුත් සියළුම ඖෂධ මෙන් ඒආර්ටී ප්‍රතිකාර ගැනීමෙන්ද යම් යම් අතුරු ආබාධ ඇති විය හැකියි. ART ඖෂධ මගිනුත් ඇතැම් අයට අස්ථි හෝ වකුගඩු ආශ්රිත අතුරු අබාධ ඇති වීමට පුළුවන්.
ප්‍රතිකාර ආරම්භ කර පළමු සති කිහිපය තුළ තාවකාලිකව ඔක්කාරය, හිසරදය, කුෂ්ඨ, වමනය, අතීසාරය සහ තෙහෙට්ටුව වැනි අතුරු ආබාධ ඇති වුවත් ඒවා ටිකෙන් ටික සමනය වනු ඇත. තාවකාලික අතුරුආබාධ මාස කිහිපයක් එක දිගට පවතිනවානම් ඔබේ වෛද්‍යවරයා සමග ඒ ගැන සාකච්ඡා කිරීම වැදගත්.
එච්අයිවී සදහා විකල්ප ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද?
එච්අයිවී සදහා ඇති හොදම ප්‍රතිකාරය දැනට පවතින ART ප්‍රතිකාරයි. ඒ නිසා විකල්ප ප්‍රතිකාර වලට යොමු වනවානම් ඒ ගැන ඔබේ වෛද්‍යවරායා සමග සාකච්ඡා කිරීම ඉතාම වැදගත්.
භක්තිය හා විශ්වාසයන්, යාඥාව සහ භාවනාව විකල්ප ප්‍රතිකාර ලෙස සැළකීමට බැහැ. ඔබේ වෛද්‍යවරයා විසින් ලබා දී ඇති ප්‍රතිකාර සැලසුම පිළිපැදීමට ඒවාගෙන් සහයක් ලබා ගැනීමට පුළුවන්.
ආයුර්වේද ඖෂධ මගින් එච්අයිවී සුව කළ හැකි බව ශ්‍රී ලංකාවේ ඇතැම් වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණත් එය විද්‍යාත්මකව ඔප්පු කර නැහැ.
මතක තබා ගන්න – එච්අයිවී සදහා ART ඖෂධ නිවැරදිව ලබා ගන්නා අයගෙන් වෛරසය බෝ වන්නේ නැහැ. ඒ නිසා ඔබ එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයෙකු නම් ඖෂධ භාවිතය නැවැත්වීමෙන් වෛරසය අනෙක් අයට බෝ වීමේ අවදානමක් ඇති වනවා.