එච්අයිවී පරීක්ෂණ

එච්අයිවී ඇත්දැයි දැන ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ එච්අයිවී පරීක්ෂණයක් සදහා යොමු වීමයි. එච්අයිවී පරීක්ෂණයකට යොමු වීමෙන් අපේ මනසටද විවේකයක් දීමට පුළුවන්.

පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් එච්අයිවී ආසාදනය වී නැති බව කියවෙනවා නම්, එය අවස්ථාවක් කර ගෙන මින් ඉදිරියට එච්අයිවී අවදානමක් ඇති අවස්ථා හදුනාගැනීමටත්, ඒවායෙන් ආරක්ෂා වීමටත් අවස්ථාව සැලසෙනවා.

පරීක්ෂණයෙන් ඔබ එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයෙකු බව කියවෙනවා නම්, පසු පරීක්ෂණ උපදේශනයක් ලබා දී ඔබට එච්අයිවී පිළිබද හොද අවබෝධයක් ලබා දීමට ජාතික එච්අයිවී නිවාරණ වැඩසටහනේ කාර්ය මණ්ඩලය බැඳී සිටිනවා. එහිදී ප්‍රතිකාර සදහා සූදානම් වීමටත්, අපගේ ලිංගික සහකරුවන් සහ ආදරණීයයන් ආරක්ෂා කිරීමටත් අපට අවස්ථව ලැබෙනවා.  එච්අයිවී පරීක්ෂණයක් යනු ධනාත්මක ජීවිතයක ආරම්භය බව අමතක කරන්න එපා.

ඔබගේ එච්අයිවී තත්ත්වය රහසිගත තොරතුරක් වශයෙන් සලකන අතර, ඔබට හැර වෙනත් කිසිවෙකුට ඒ ගැන දැනුම් නොදීම ජාතික එච්අයිවී නිවාරණ වැඩසටහනේ කාර්ය මණ්ඩලයේ වගකීමක්.

ජාතික එච්අයිවී නිවාරණ වැඩසටහන මගින් 2024 වසරේදී එච්අයිවී පරීක්ෂණ 1,244,143ක් සිදු කර තිබෙන අතර ඒ හරහා එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් 824ක් සොයා ගෙන තිබෙනවා. ඒ සියළු දෙනාටම රජය මගින් එච්අයිවී ඖෂධ ලබා දෙනවා.

ඔබට එච්අයිවී පරීක්ෂණයක් සදහා යොමු වීමට අවශ්‍ය නම් ඒ සදහා හොදම තැන වන්නේ ජාතික එච්අයිවී නිවාරණ වැඩසටහන මගින් රට පුරා පවත්වා ගෙන වන සායනයි. රජයේ එම සායනයකින් පරීක්ෂණයක් සදහා වෙලාවක් වෙන් කරවා ගැනීමට Know4Sure වෙබ් අඩවිය හරහා හැකියාව තිබෙනවා.

එච්අයිවී ස්වයං පරීක්ෂණ කට්ටලයක් ලබා ගැනීම සදහා ක්ෂණික දුරකථන අංකය 0716379192 අමතන්න. 

දැනට ශ්‍රී ලංකාවේදී ලබා ගත හැකි එච්.අයි.වී පරීක්ෂණ පරීක්ෂණ වර්ග තුනක් තිබෙනවා.

1. HIV ELISA පරීක්ෂණය (කවුළු කාලය දින 21-45)

2. HIV ක්ෂණික පරීක්ෂණය (කවුළු කාලය දින 42-90)

3. HIV මුඛ තරල පරීක්ෂණය (කවුළු කාලය දින 90)

කවුළු කාලය (window period) නමින් හැදින්වෙන්නේ එච්අයිවී වෛරසය ශරීර ගතවී පරීක්ෂණයක් මගින්  ඒ බව හදුනාගත හැකි තරමේ එච්අයිවී ප්‍රතිදේහ හෝ ප්‍රතිදේහජනක ප්‍රමාණයක් වර්ධනය වීමට ගතවන කාලයයි. මේ පරීක්ෂණයකින් එච්අයිවී ශරීර ගත වී ඇති බව කිවෙන ප්‍රතිඵලයක් ලැබුණොත් එය තහවුරු කර ගැනීම සදහා තවත් පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයක් රජයේ සායන වලින් නොමිලේ ලබා ගැනීමට පුළුවන්.

මතක තබා ගන්න – එච්අයිවී ආසාදනය වී ඇත්දැයි දැන ගත හැකි එකම ක්‍රමය එච්අයිවී පරීක්ෂණයි. කලින් හදුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමෙන් අපට එච්අයිවී සමග සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට පුළුවන්.

එච්අයිවී පරීක්ෂණ පිළිබද වැඩිදුර විස්තර ජාතික එච්අයිවී නිවාරණ වැඩසටහනේ නිල වෙබ් අඩවියේ ඇතුළත් වනවා.

Social Share: