2019 පෙබරවාරි 25.
ඔවුන්ගේ ලෝකය සුන්දරද ?
අනාගත ලෝකයේ හිමිකරුවෝ දරුවෝය. ඔවුන් යහපත් ලෙස සමාජයට හුරුකිරීමේ වගකීම ඇත්තේ වැඩිහිටියන්ටය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ළමුන් අත්විදින පීඩනයන් කතා කල යුතුවම ඇත. අපේ රටේ ජනගහනයෙන් සියයට තිස් පහක පමණ පිරිසක්ම ළමුන්. එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව අවුරුදු 18ට පහළ සෑම තැනැත්තෙකුම ළමයෙකු ලෙස සැලකෙනවා. ළමයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමා ප්‍රඥප්තිය නම් විශේෂ ප්‍රඥප්තියක් හදුන්වා දුන්නේ වර්ෂ 1989යේ නොවැම්බර් මස 20 වෙනිදාය. එය වගන්ති 54කින් සමන්විත වන අතර ප්‍රඥප්තියේ අංක 1 සිට 41ක දක්වා ළමා අයිතිවාසිකම් ඉදිරිපත් කර ඇති අතර, 42 සිට 45 වැනි වගන්තිය දක්වා විස්තර කර ඇත්තේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්ථා කිරීම පිළිබඳ රාජ්‍යයන් සතු වගකීමයි. 46 සිට 54 දක්වා වගන්ති මගින් ප්‍රඥප්තියට ඇතුලත් වීම සඳහා රාජ්‍යයන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දක්වා ඇත. මෙම සම්මුතියට ශ්‍රී ලංකා රජය විසින්ද අත්සන් කර වර්ෂ 1991 දී ස්ථිර කර පිළිගෙන තිබෙනවා. ඒ අනුව ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපේ රට වසර 28ක සිට බැදී සිටිනවා. මානව අයිතිවාසිකම් සෑම මනුෂ්‍යයකුටම උපතින් ම හිමි විය යුතු වුවත්, විවිධ කාල වකවානු වලදී ඒවා භුක්තිවිදීමේදී විවිධ සීමා වලට යටත් වීමට මිනිසුන්ට සිදු වුණා. තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන් කිරීමට මෙන්ම විවිධ ගිවිසුම් වලට එළබීමට සාමාන්‍ය ජනතාව විවිධ අරගල ක්‍රියාත්මක කළ අවස්ථාවන් ලෙස,
- මැග්නා කාර්ටා පනත ( ක්‍රි.ව.1215 )
- අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ( ක්‍රි.ව.1689 )
- ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනය ( ක්‍රි.ව.1776 )
- මිනිසා හා පුරවැසියන් පිළිබඳ ප්‍රංශ ප්‍රකාශනය ( ක්‍රි.ව.1789 )
- රුසියානු විප්ලවය ( ක්‍රි.ව.1917 )
දැක්විය හැකි. මෙසේ ගොඩනැගුනු මානව අයිතිවාසිකම් දිනාගැනීමේ සටන මුළු ලෝකයේම සංකල්පයක් බවට පත් වූවා. මෙහිදී වැඩි අවධානයක්, කාන්තාවන් හා දරුවන් පිළිබඳව යොමු වුවා. විශේෂයෙන්ම 20 වන සියවසේ මුල්භාගයේ සිට ලෝකයේ පැවතී යුධ ගැටුම්, ළමා ශ්‍රමය ප්‍රයෝජනයට ගැනීම, ළමයින් විවිධ අපයෝජනයට ලක් වීම නිසා ළමා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය වීම සිදු විය. මේ හේතුව නිසා විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු පිරිසක් වූ ළමයින් සඳහා ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියක් නිර්මාණය කිරීමට අතීත සටන්කාමින්, විද්වතුන් ක්‍රියා කළේ අනාගත ලෝකයේ පැවැත්ම ළමුන් සතු වන නිසාවෙනි. අප සැමදෙනා ගත කරන්නේ ඔවුන් දුටු ඒ අනාගත ලෝකයයි. අප සැමදෙනාම දැන් ජිවත් වන්නේ අප වෙනුවෙන් ඔවුන් සුරක්ෂිතව තැබූ ලෝකයේය. අප වෙනුවෙන් ඔවුන් ලෝකය සුරක්ෂිත කර තැබුවත් හෙට උපදින්නට සිටින දරුවා වෙනුවෙන් වර්තමානය, අනාගතය වෙනුවෙන් සුරක්ෂිත වේද යන වගනම් සිතා ගත නොහැක. වසර 28ක සිට ළමයින්ගේ ලෝකය ආරක්ෂා කිරීමට ඔවුන් වෙනුවෙන් කැපවීමට ළමා ප්‍රඥප්තියට කැපවී සිටින ශ්‍රී ලංකාවේ, වර්තමාන ළමුන් සුරැකීමේ ක්‍රියාවලිය සාර්ථකද අසාර්ථකද යන්න විමසා බැලීම අප කාගේත් යුතුකමක් වේ. ඒ මන්දයත් අපට ඇති වර්තමානයවත් ඔවුනට අනාගතයේදී ලැබේද යන බිය රට තුල පවතින නිසාය.
- අධ්‍යාපනය
- සෞඛ්‍ය
- ආරක්ෂාව
- ආර්ථිකය
- රැකවරණය
- මගපෙන්වීම
- ආදරය
මේ සාධක මගින් අපේ රටේ දරුවන් විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා. ප්‍රයෝගික නොවන ලෝකයක් ඔවුන්ගේ ජිවිත තුලට එකතු කිරීමට වැඩිහිටන් ක්‍රියාකරන්නේ ඇයිද යනවග සිතා ගත නොහැකි ගැටලුවකි. හොඳම දේ දරුවන්ට, අපේ රටේ අනාගතය ළමයි, දරුවෝ මිනි කැට, ඔවුන් තමයි ජාතික වස්තුව කියලා ඔක්තොම්බර් පළවෙනිදට යෙදෙන ලෝක ළමා දින උත්සව වලදී ළමයින්ව රවට්ටන්නට ලොකු කතා කියන්නට නම් මේ රටේ බලධාරින් අමතක කරන්නේ නැහැ. වර්ෂ 1949යේ රුසියාවේ මොස්කව් නුවර පැවැත්වුණු “ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික කාන්තා සම්මේලනයේදී” තමයි ළමයින් වෙනුවෙන් දිනයක් නිර්මාණය වූයේ. ඔක්තොම්බර් පළවෙනිදාට යෙදෙන ලෝක ළමා දිනයට පවත්වන වැඩසටහන්, උත්සව සඳහා ගෙන්වන ප්ලාස්ටික වතුර බෝතලය ගැනවත් සිතුවානම් අද වනවිට අපේ රටේ දරුවන්ගේ ප්‍රශ්නවලින් සියයට පනහක්වත් විසදාගැනීමට පුළුවන්කමක් තිබුණා. මේ කතාව මම ඔබට ලියන්නේ අවදානයෙන් සහ අවබෝධයෙන් ප්‍රශ්නය පැහැදිලි කරගැනීම සඳහාය. මෙය සත්‍ය සිදුවීමක් වන අතර සාක්ෂි කරුවා මම වෙමි.
“ පසුගිය වසරේ (2018) ජූලි මාසයේ ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්කයක ළමුන්ගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා කටයුතු කරන රජයේ ආයතන වල දිස්ත්‍රික් කමිටු රැස්වීමක් සඳහා සහභාගී වීමට මට අවස්ථාව උදා වුනා. සමස්ත දිස්ත්‍රික්කයේම අධ්‍යාපනයට, ආරක්ෂාවට, සෞඛ්‍යයට, පුර්ව ළමා විය සංවර්ධනයට, ළමා හිමිකම් ප්‍රවර්ධනයට යන ආදී ළමුන්ගේ සංවර්ධනය සම්බන්ධ, ප්‍රධාන කේෂ්ත්‍ර වලට සම්බන්ධ කලාප මට්ටමේ හා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන නිලධාරීන් මේ සඳහා සහභගී වූවා. 2017 වර්ෂයේදී ළමුන්ගේ සංවර්ධනය සඳහා ගත් ක්‍රියාමර්ගවත් ඒ වෙනවිට සම්පුර්ණ කර නොතිබීම කණගාටු දායක කරුණක් වූවා. මගේ අවදානය විශේෂයෙන්ම යොමු වුයේ ළමුන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය පිළිබඳව එම නිලධාරීන් ඉදිරිපත් කළ අමූලික බොරු දෙසටයි. එක කලාපයක කලාප සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී වරයාගෙන් දිස්ත්‍රික් ලේකම්තුමා පාසල් වල සනීපාරක්ෂක පද්ධති පිළිබඳව විමසා සිටියා. එහිදී එම නිලධාරීවරයා නින්දෙන් නැගිට පිළිතුරු දීමට සුදානම් වූවා. “කලාපයේ සියලුම පාසල්වල වැසිකිළි පද්ධතිවල ගැටළුව අවසන් බව ඔහු ප්‍රකාශ කළා.” එම කමිටු රැස්වීම පවත්වා මාස 7ක් ඉක්මවීමට ගොස් තිබුණද වසර දෙකක කාලයක සිට මා ජිවත්වන ප්‍රදේශයේ ඇති පාසලේ වැසිකිළි පද්ධතිය අබලන්ව ඇත. සරලවම කියනවා නම් ගැහැණු දරුවන්ගේ වැසිකිලියෙහි දොරවල් පවා කඩා වැටි ඇත. ජලය ගලා එන කරාම අවහිර වී ඇත. හදිසි අවස්ථාවකදීවත් ඔවුනට පාවිච්චි කිරීමට සෞඛ්‍යයට හිතකර වැසිකිළි පද්දතියක් නොමැත. ”
මෙයට වගකිව යුත්තේ කවුරුඳ යන වග සිතා ගත නොහැකිය. මුදල් වෙන්ව තිබියදීත් මෙවැනි දේවල් තවමත් රට තුල සිදුවන බව තරයේ සිහිතබා ගත යුතුව ඇත. නිලධාරීන් හෝ වැඩිහිටියන් මේ ළමුන් දෙස අවධානය යොමු කර නැද්ද. ළමුන්ට අත්වන මේ ව්‍යවසනය ඔවුන්ගේ ජිවිත වලට කෙසේ බලපායිද. බොන්න වතුර නැති පාසල් ලංකාව තුල කොපමණ තිබෙනවද. හරියට ඉගනගන්න පන්ති කාමරයක්, ඩෙස් එකක්, පුටුවක් නැති ළමයි අපේ සමාජයේ තවමත් ඉන්න බව අමතක නොකරන්න. භෞතික දේවල් පමණක් නොව ගුරුවරු නොමැති පාසල් පවා තවමත් ලංකාවේ ඇත. මගේ රටේ ළමයින්ගේ ජිවිත ලස්සනයි කියල කවුරුහරි කිවුවොත් මටනම් ඇති වන්නේ ලැජ්ජාවක් පමණයි. ලෝකයේ වෙනත් රටවල් මෙන් නොව අපේ රටේ ළමයෙක්ට වයස අවුරුදු 19ය තෙක් අධ්‍යාපන ලැබීමට අවකාශය සලසා දී තිබෙනවා. නමුත් ඒ අධ්‍යාපනය දරුවන්ව හෙම්බත් කිරීම හැර වෙන කුමක් කරන්නේද යන්න මටනම් ගැටළුවකි. අපේ රටේ අධ්‍යාපනය ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි. ළමයා යනු වයස අවුරුදු 18ට අඩු පුරවැසියන් වූවත් වයස අවුරුදු 16න් පසුව ළමුන් සඳහා ඇති නීතිමය රැකවරණය අඩු කර ඇත්තේ ඇයි. ස්වෙච්ඡා සංවිධාන හෝ ආයතනවල පිහිටෙන් අපේ රටේ ළමා ජනගහනයෙන් 25% පිරිසක් ලස්සන ලෝකයක් දකිනවා. නමුත් ඉතිරි පිරිසෙන් 50%ක් දෙසවත් රජය අවධානය යොමු කිරීමටවත් උත්සහ දරා නැත. වායු සමනය කල අලංකාර කාමර වල සිට කරන සාකච්ඡාත් , ප්ලාස්ටික් වතුර බෝතලයට වැයකරන අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදල් සඳහාත් වග කියන්නට කවුරුත් නොමැත. වයස අවුරුදු තුනේ සිට වයස අවුරුදු 19 දක්වා දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය ඔවුන්ගේ ජිවිත වලට මනා පිටිවහලක් වූවානම් තමන්ගේ මවගේත් පියාගේත් ගෙලසිරකර මරා දමන, පියාට මල්පොච්චියෙන් ගසන දරුවන් බිහිවන්නේ කෙසේද යන ගැටළුව රට තුල ඇතිවන්නේ කෙසේද යන්න සිතාගත නොහැකි දෙයකි. එපමණක් නොව තවත් සහෝදරයෙකුට පිහියෙන් ඇන ඝාතනය කරනතෙක් බල සිටින්නට හැකියාවක් ඔවුන් තුල ඇති වුයේ කෙසේද යනවග දරාගත නොහැගකි අසාමාන්‍ය සිදුවීම්ය. සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව වර්තනමාය වනවිට කිසිම පුද්ගලයෙකුට දරාගත නොහැකි මේ ආර්ථිකය නිසාත් මගේ රටේ දරුවන් පිඩාවට පත් වෙනවා. බඩගින්නේ දුක් විදිනවා. ඉන්න තැනක් නැතුව පේමන්ට්වල නිදියන දරුවන් තවමත් අපි අතර සිටිනවා. වයස අවුරුදු 16ටත් කලින් අධ්‍යාපනය අතහැරීමට සිදුවන දරුවන්ද තවමත් අප අතර සිටිනවා. අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැත. ඔබේ ගම ඔබේ නගරය දිහා හොදින් ඇස් ඇර බලන්න. සමහර විට එවැනි දරුවන් ඔබේ අසල්වැසි නිවසේද සිටිනවා විය හැකි.
මේ පුංචි දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවද විශාල ගැටළුවක් ඇත. වසර 28ක සිට නිත්‍යානුකූලව අපේ රට ළමුන් වෙනුවෙන් බැදී සිටියද තවමත් අපයෝජනයට දරුවන් ලක්වීම නැවතී නැත. මේ 19වන හෝ 20වන සියවසවත් නොව මේ 21වන සියවසේ 2019ය වර්ෂයයි. ලොකු වාහනයක්, ගෙයක් වෙනුවෙන්ම පමණක් මුදල් හම්බකරන එක ප්‍රමාද කරන්න. රටේ සුන්දර ජිවිත වූ ළමයින් වෙනුවෙන් කැපවෙන්නට ඔබේ ජිවිතෙන් පොඩි කාලයක් දෙන්න. ඔවුනට අවශ්‍ය වන්නේ සවස් වන්නට ප්‍රථම අශ්වගාල සුද්දකරන්නට දගලන ආරක්ෂකයින් නොව බුද්ධියෙන් හා අවබෝදයෙන් යුතුව ආරක්ෂාවෙන් හා ආදරයෙන් තරගය දිනන සාර්ථක පදවන්නෙකු පමණයි. මේ දරුවන්ගේ ලෝකය ලස්සනට ගොඩනගා ගන්නට අපි ඔවුන් වෙනුවෙන් ක්‍රියා නොකළහොත් අවසානයේ ඔබ ගන්න වාහනයේත් නිවසේත් ජිවිත් වීමට ඔබ සමග සිටින්නේ රොබෝ දරුවකු බව අමතක කරන්න එපා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ආර්ථිකය, රැකවරණය ලබදීමෙන්ම දරුවන්ගේ ලෝකය ලස්සන කල නොහැක. ඔවුන් සඳහා හොඳ මගපෙන්වීමක් අනිවාර්යෙන්ම ලබාදිය යුතුයි. නිවැරදි මගපෙන්වීම නොමැතිකම හේතුවෙන් අද ශ්‍රී ලංකාවේ විශාල ළමුන් පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා ජීවිතය විනාශ කරගෙන තිබෙනවා. පාසල් ළමුන් පවා මේ උවදුරට ගොදුරු වී සිටිනවා. මත්ද්‍රව්‍යයම පමණක් නොව සමාජයේ සිදුවන වැරදි ආදර්ශත් මේ පුංචි දරුවන්ගේ ලෝකය විනාශ කරනවා. නිවැරදි මග පෙන්වීම කල යුත්තේ ඔවුන්ගේ දෙමාපියන්ම පමණක් නොව එය සමස්ත වැඩිහිටියන්ගේම වගකීමක් වේ.
දරුවන් මුලින්ම සමාජය දකින්නේ වැඩිහිටියන්ගෙනි. ඔවුනට පිරිසිදු මනසක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය වටපිටාව සුරක්ෂිතව තැබීම අපේ වගකීමයි. මෙය එක් අයෙකුට කල නොහැක්කක්, දරුවෙකුට කරදරයක් වුනාට පස්සේ අනේ ! අපොයි ! කියන්න බලාගෙන ඉන්නේ නැතුව දරුවන්ව ආරක්ෂා කරගැනීමට ක්‍රියාකරන්න. ඔවුන්ගේ ජිවිතවලට වටිනා අරමුණු එකතු කරන්න පුළුවන් හැම දෙයක්ම වැඩිහිටියන්ගෙන් සිදුවිය යුතුයි. එවිට අනිවාර්යෙන්ම ඔවුන්ගෙන් අපි බලාපොරොත්තුවන යුතුකම් ඉටුවනවා නිසැකයි. ජිවිතේට ඔවුනට එන බාධකත් ඒවාට මුහුණ දිය යුතු ආකාරයත් පිළිබඳව දරුවන්ට ඉගැන්විය යුතුයි. 1 වසරේ සිට 5 වසර දක්වා අධ්‍යාපනයට දක්කන මේ පුංචි දරුවන්ව නැවත සියල්ලන්ටම මතක් වන්නේ 10 වසරේදී හෝ 11 වසර වලදීය. ඉන්පසුවනම් ඔවුනට මගපෙන්වීමක් හෝ ආරක්ෂාවක් ලබාදීමට කිසිවෙකුත් කැපවන්නේ නැත. සමාජයේ සියයට පහක පිරිසකගෙන් සිදුවන මේ අතපසු වීම නිසා සියයට හැත්තෑ පහක පිරිසකගේ ජිවිත විනාශ වෙනු ඇත. පාසල් නිල ඇදුම සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැත වීම හේතුවෙන් ජීවිතය හැරගිය පුංචි දියණිය ජිවත් වුයේ ලංකාවේ බව ඔබේ මතකයට ගන්න. රජයේ විභාග පැවැත්වෙන කාලවලදී ළමයින් සම්බන්ධව කතා කරන අතරම, ඊට අමතරව දරුවන් පිළිබඳ කතා කරන්නේ දරුවකු අපයෝජනයකට ලක්වූ අවස්ථාවලදී පමණයි. වර්තමාන මාධ්‍ය වල පවා දරුවන් කියා පිරිසක් සිටිනවාද යන වග අමතක කරමින් විවිධ වෙළද දැන්වීම් හා ටෙලිනාට්‍ය, වැඩසටහන් ඉදිරිපත් කිරීම බහුලවම සිදුවන දෙයක්. ඔක්තොම්බර් මාසය ලංවන විටනම් තමන්ගේ මාධ්‍ය ආයතනය ප්‍රසිද්ධ කරගැනීමේ අරමුණින් ලෝක ළමා දින උත්සව පවත්වන්නේ එදා දවසේවත් එකදු ආහාර වේලක්වත් නොමැතිව කුසගින්නේ සිටින දරුවන්ද අමතක කරමිනි. වර්තමාන දරුවන්ට ළමා කාලයක් හිමිවේද යන්න විශාල ගැටලුවකි. දරුවන් වෙනුවෙන් රජයෙන් හෝ වැඩිහිටියන්ගෙන් සැලක්ලිල්ලක් නොදක්වනවාම නොවේ. නමුත් එය නිවැරදිව, අවධානයෙන්, දිර්ගකලීනව ක්‍රියාත්මක නොවීමකි. වසර 28ක සිට හරියට නියමාකර විදියට ඔවුන් වෙනුවෙන් කැපවූවානම් අපේ රටේ ළමයින්ගේ වර්තමානය සුරපුරක් වනු නියතය. එසේ වූවානම් කිසිම ළමයෙක් අපයෝජනට ලක්වන්නේ නැත, කිසිම ළමයෙක් බඩගින්නේ මැරෙන්නේ නැත, අඩුම තරමේ සියලු ළමයින් හොදින් හොඳ අධ්‍යාපනයවත් ලබනවා විය හැකි. 2009 වසරෙන් පසුව අපේ රටේ යුධමය වාතාවරණයක් හෝ නොමැත. එයද අවසන් වී වසර 9ක් ගතවී තිබුනද තවමත් දරුවන් සඳහා නිසි අවදානයක් යොමු වී නොමැත. සත්‍ය වශයෙන්ම දරුවන්ව කුරිරු සමාජ ව්‍යවසන වලින් බේරාගැනීම සඳහා කුමක් කලයුතුද යන්න අපි සැවොම සිතුය යුතු කාලයයි මේ. දරුවන් පිළිබඳව අවදධානය දෙන්න අවුරුද්දේ එක දවසක් නොව සියලුම දවස් අවශ්‍ය බව බලධාරීන්ටත් වැඩිහිටියන්ටත් මතක් කරදීමට ක්‍රියා කිරීම ඔබේ යුතුකම කරගන්න. මීළගට දරුවන්ට ලැබිය යුතු වැදගත්ම හා අත්‍යවශ්‍ය සධකය වන්නේ සෙනෙහසි, සුරක්ෂිත ආදරයයි. අපේ රටේ දරුවන්ට වැඩිපුරම අහිමිවී ඇත්තේද ආදරයයි. අපේ රටේ දරුවන්ට වැඩිපුරම අවශ්‍ය වන්නේද ආදරයයි. දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඔවුන් බලාපොරොත්තු වන ආදරය ගිලිහී ගොස්නම් දරුවන් ඔවුන්ගේ පාර වෙනස් කරගන්නේ අපිකාටත් සිතාගත නොහැකි ලෙසටයි. ඉහත සදහන් කල සියලුම ප්‍රශ්නවලටද බෙහෙවින්ම බාලපාන සාධකය වන්නේ දරුවන්ට වැඩිහිටියන්ගෙන් අහිමිවන ආදරයයි. ආදරය වෙනුවට අතහැරීම ලැබීම නිසා දරුවන්ගේ ලෝකය විශාල ලෙස විනාශයට පත්වනවා. වයස අවුරුදු පහේදී හයේදී පමණක් නොව වයස අවුරුදු 18තෙක් වත් සමාජය, ලෝකය හරිහැටි තේරුම් ගන්නකල්වත් ඔවුන්ව අතාරින්න එපා. දෙපා එකතුකර ඇවිදින්නට සහයට දුන් ඔබේ අතින් කිසිදාක ඔවුන්ව අතහරින්න එපා. අහිමි වී ගොස් ඇති දරුවන්ගේ සුන්දර ලෝකය නිර්මාණය වෙනුවෙන් හැමදාම හැම තප්පරේකම ඔවුන් සමගින් සුහඳව ආදරයෙන් සිටින්න. ඔවුන් සිරකර තබා ඇති අදුරු ලෝකයෙන් සුන්දර ලෝකයක් දකින්න දරුවන්ට ඔබේ සහය ලබා දෙන්න. ඊළග තප්පරයේදී පවා විනාශ වීමට ඉඩ ඇති මේ පුංචි දරුවන් වෙනුවෙන් ඔබේ හදවත අවදි කරන්න. සුන්දර ලෝකය දකින්නටත් කලින් ඔවුන්ගේ ලෝකය අදුරුකරන මායාවන් විනාශ කර දමන්න. අහිමිවී ගොස් ඇති ඔවුන්ගේ සැබෑ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න. ආදරණිය ශ්‍රී ලාංකිකයිනි, මේ රටේ ජිවය රකින්න කැපවෙන්න. අපි දරුවන්ට සහය දෙමු ඔවුන්ගේම ඇස් වලින් ලෝකය දකින්න. ඒ විදිහට ලෝකය දිහා බලපු දවසට මේ ගහ කොළින්, සතා සිව්පාවන්ගෙන්, මිනිස්සුන්ගෙන් පිරුණු ලෝකයේ අපූර්වත්වය ඔවුන් දකිවී. ඔවුනට දැනේවි.
| උමා ප්‍රනාන්දු | තරුණ ක්‍රියාකාරිණියකි. ඇය අන්තර්ජාලය තුළ ළමා ලිංගික සූරාකෑම පිළිබද සහෘද සන්නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර උසස් අධ්‍යාපන ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |
![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)