2020 සැප්තැම්බර් 15
(කොටස් දෙකකින් සමන්විත ලිපයක පළමු කොටසයි මේ)
ළමා අපයෝජනය / අපචාරය යන වචනය වර්තමානයේ ජනමාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය තුළ බහුලව ඇසෙන වචනයක්. නමුත් ප්‍රායෝගිකව සාමාන්‍ය සමාජය තුළ ඇති මතය නම්, ළමා අපයෝජනය / අපචාරය යනු, ළමුන්ට ලිංගිකව සිදුකරන අපයෝජනයන් යනුවෙනි. නමුත් ළමා අපයෝජනය,
- ළමා කායික අපයෝජනය
- ළමා මානසික/චිත්තවේග අපයෝජනය
- ළමා ලිංගික අපයෝජනය
- ළමා නොසලකා හැරීම්
යනුවෙන් වර්ග වෙනවා. ළමා ලිංගික අපයෝජනය සේම අනෙකුත් ළමා අපයෝජනයන්ද, එක හා සමානව නීතිමය වශයෙන් අපරාධයක් වුවත්, සමාජයීය වශයෙන් මෙම අපයෝජනයන්ගෙන් අපරාධයක් සේ මිනිසුන් සළකන්නේ ළමා ලිංගික අපයෝජනය පමණයි. නමුත් ළමා ලිංගික අපයෝජනය පිළිබඳවද සමාජයීයව ඇත්තේ අවම දැනුමක් සහ අවධානයක්. ළමා ලිංගික අපයෝජනය කුමක්ද කියාවත් නොදන්නා පරිසරයක් ශ්‍රී ලංකාව තුළ මතුව තිබීම මෙම අපරාධ දිනෙන් දින ඉහළ යෑමටත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා නිලධාරීන් මෙන්ම රජයයන්ද මේ පිලිබඳ නොසළකා හැරීමට එක් හේතුවක් වී තිබෙනවා.
1999 ළමා අපයෝජන වැළැක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශනයේ නිර්ණායක අනුව ළමා ලිංගික අපයෝජනය යනු, ‘ළමයෙකු, ඔහු හෝ ඇය සම්පූර්ණයෙන් වටහා නොගත්, ඔවුන් දැනුවත්ව කැමැත්ත ලබා දීමට අපොහොසත් වන, හෝ ඒ සඳහා ළමයා ශාරීරිකව සුදානම් නැති සහ කැමැත්ත ලබා දිය නොහැකි, නීතිමය වශයෙන් තහනම්, සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම ” ලෙස නිර්වචනය වෙනවා.
එමනිසා ළමා අපයෝජන ලිංගික ක්‍රියාකාරකම් සිදුවිය හැක්කේ අනෙක් පුද්ගලයාගේ අවශ්‍යතා සපුරාලීමට ළමයෙකු අතර සහ වැඩිහිටියෙකු (නීතිමය වශයෙන් වයස 18ට වැඩි) හෝ වයස හෝ කායික වර්ධනය අනුව වගකීමක්, විශ්වාසයක් හෝ බලයක් ඇති වෙනත් ළමයෙකු (වයස 18ට අඩු), අතරයි. මේ අතරට,
? ඕනෑම නීති විරෝධී ලිංගික ක්‍රියාවක යෙදීමට දරුවෙකු පොළඹවා ගැනීම හෝ බල කිරීමේ ක්‍රියාකාරකම්,
? ලිංගික සේවා වෘත්තියේ හෝ වෙනත් නීති විරෝධී ලිංගික ක්‍රියාවලදී දරුවෙකු සූරාකෑම,
? කාමුක දර්ශන හා ද්‍රව්‍ය සඳහා ළමුන් සූරාකෑමද,
ඇතුළත් වෙනවා.
ශ්‍රී ලංකාවේ නීතිය අතර 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මඟින් පුළුල් විවරණයකින් ඉදිරිපත් කර ඇති ලෙස,
➡️ ගැහැණු ළමයෙකු දුෂණය කිරීම/Rape
➡️ බරපතල ලිංගික අපයෝජනය/Grave sexual Abuse
➡️ ළමා ලිංගික හිරිහැර/Sexual Harassment
➡️ ව්‍යභිචාරය/Incest (පවුලේ හෝ කිට්ටු ඥාති සම්බන්දතා ඇති අයගෙන් සිදුවන ලිංගික අපයෝජන)
➡️ කුට්ටනය/Trafficking
➡️ අශෝභන ක්‍රියා සිදුකිරීම/Gross Indecency
➡️ අස්වාභාවික වරද/Unnatural’ Offences
➡️ අසභ්‍ය පළකිරීම්/Obscene Publication
යන වැරදි දක්වා තිබෙනවා.
තවද ළමා ලිංගික අපයෝජනය ගැන කතා කිරීමේදී බොහෝ පුද්ගලයන් සිතන්නේ ළමා අපයෝජකයන් සියල්ලම කෞමාර කාමයෙන් පෙළෙන පුද්ගලයන් නොහොත් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන Pedophiles කියා ය. නමුත් Pedophilia නොහොත් කෞමාර කාමය යනු, ‘වැඩිහිටියෙක් හෝ වැඩිහිටි නව යොවුන් වියේ පසුවන පුද්ගලයෙකුට, මල්වර නොවූ ළමුන් නොහොත් වැඩි වියට පත් නොවූ ළමුන් / Prepubescent (බොහෝවිට වයස අවුරුදු 13ට අඩු) වෙත ඇතිවෙන, ප්‍රාථමික හෝ සුවිශේෂී ලිංගික ආකර්ෂණයක් අත්විඳින මනෝචිකිත්සක ආබාධයක්’. වර්තමානයේ එය කෞමාර කාම ආබාධය / Pedophilic Disorder ලෙස හඳුන්වනු ලබනවා. එයට මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමද පවතින අතර එවැනි ආකර්ෂයන් ඇති වන්නේ නම්, නිසි මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙත යොමු වීම කළ යුතු වෙනවා.
? පුද්ගලයෙකු කෞමාර කාමයෙන් පෙළෙන්නෙකු ලෙස මනෝ විද්‍යාවේදී උපමාන කරන්නේ –
- අවම වශයෙන් මාස 6 ක කාලයක් තුළ, ළමයෙකුට වරින් වර දැඩිව ලිංගික උද්දීපනය ඇතිවන මනෝ කල්පිතයන්, ලිංගික ආශාවන් හෝ පූර්ව ක්‍රියාකාරකම් හෝ ඒවා ලිංගික ක්‍රියාකාරකම් ලෙස ළමුන් සමඟ සිදු කිරීම මානසිකව දැනීම.
- ඉහත ලිංගික උද්දීපනයන් මත පුද්ගලයෙකු ක්‍රියා කර ඇත්නම් හෝ එම ලිංගික උද්දීපනයන් අන්තර් පුද්ගල සම්බන්ධතාවලට බාධාවක් හෝ තමන්ට පුද්ගලික දුෂ්කරතා මතු වීම.
- එම පුද්ගලයා අවම වශයෙන් වයස අවුරුදු 16 ක් වීම සහ ළමයාට හෝ ළමයින්ට වඩා අවම වශයෙන් අවුරුදු 5 ක් වැඩිමහල් වීම. (1 උපමානයේ ලක්ෂණ සහිතව)
? ආකර්ෂණය මත කෞමාර කාම වර්ග –
- විශේෂිත කෞමාර කාමයෙන් පෙළෙන්නන් / Exclusive Pedophiles –
මොවුන් ළමුන්ට පමණක් ආකර්ෂණය වෙනවා.
- වරණීය (වැඩි කැමැත්තක් දක්වන) කෞමාර කාමයෙන් පෙළෙන්නන් / Preferential Pedophiles –
මොවුන් ළමුන්ට වැඩි කැමැත්තක් දක්වන නමුත් වැඩිහිටියන්ට හෝ ගැටවර වයසේ ළමුන්ට (Teenagers) ආකර්ෂණය වෙනවා.
- වරණීය නොවන (වැඩි කැමැත්තක් නොදක්වන) කෞමාර කාමයෙන් පෙළෙන්නන් / Non-preferential pedophiles –
මොවුන් වැඩිහිටියන්ට හෝ ගැටවර වයසේ ළමුන්ට වැඩි ආකර්ෂණය දක්වන නමුත් ළමයින් කෙරෙහිද ආකර්ෂණය වෙනවා.
? ක්‍රියාව අනුව කෞමාර කාම වර්ග –
- වළකාලන කෞමාර කාමයෙන් පෙළෙන්නන් / Abstinent pedophiles –
ආකර්ෂණය පැවතුණද, ළමුන් සමඟ කිසි විටෙකත් ලිංගික සම්බන්ධකම් නොපැවැත්වීමට සවිඥානිකව හෝ ස්ව කැමැත්තෙන් එසේ නොකිරීමට ප්රත්යක්ෂ කර ගත් පුද්ගලයින්.
- අක්‍රීය කෞමාර කාමයෙන් පෙළෙන්නන් / Passive pedophiles –
ස්ව කැමැත්තෙන් නොව බාහිර සාධක නිසා ළමුන් සමඟ කිසි විටෙකත් ලිංගික සම්බන්ධකම් නොපවත්වන පුද්ගලයින්. උදා: නීතියට ඇති බිය නිසා, සිරගත වීමට ඇති බිය නිසා, සමාජ ප්රතික්ෂේපය නිසා, සම්බන්ධතා නැති වීම නිසා වැනි…
- ක්‍රියාකාරී කෞමාර කාමයෙන් පෙළෙන්නන් / Active pedophiles –
එවැනි ලිංගික ක්‍රියාවල යෙදීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන් හෝ එවැනි අවස්තාවක් සොයන හෝ එම ලිංගික ක්රියාවේ අඩු හෝ වැඩි වශයෙන් යෙදෙන පුද්ගලයින්.
එමනිසා ළමුන් සමඟ ලිංගිකව ආකර්ෂණය වෙන එම ක්රියාවේ නොයෙදෙන්නන් සිටිය හැකි බැවින් කෞමාර කාමයෙන් පෙළෙන සියළු දෙනා ළමා අපයෝජකයන් යැයි පැවසීමට බැහැ. නමුත් කුමන අයුරකින් හෝ එවැනි ආකර්ෂණයක් ඇත්නම් විශ්වාසදායි මනෝ විද්‍යා ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම වැදගත් වෙනවා. තවද මෙය මානසික ආබාධයක් නිසා එවැනි පුද්ගලයින් පිලිබඳ දැන ගත් විට ඔවුන්ව අවමන් කිරීමට වඩා සානුකම්පිතව නිසි මනෝ විද්‍යා ප්‍රතිකාර ක්‍රමවලට යොමු කිරීම වැදගත් වෙනවා.
කෞමාර කාමයෙන් වැඩි වශයෙන් පිරිමින් පෙළෙන බව වාර්තා වුණද, සමහර අවස්ථාවන්වල එය පිළිගැනීමට නොහැකි වන්නේ, ගැහැණිය යන චරිතය එලෙස නොවන බව ඇති සමාජ සම්මතය සහ එවැනි තත්ත්වයන් වසන් කිරීමේ හැකියාව ඉහළ නිසයි. තවද මොවුන් කුඩා පිරිමි ළමුන්ට, ගැහැණු ළමුන්ට හෝ දෙපාර්ශවයටම ආකර්ෂණය වන්නට පුළුවන්. කෞමාර කාම ආකර්ෂණය සහ ලිංගික දිශානතිය / Sexual Orientation දෙකක් වන අතර ඒවා පටලවා ගැනීම නොකළ යුතු දෙයක් වෙනවා.
තවද ළමයෙකු යන්න වයස, මානසික හැකියාව, මල්වර වීම යනාදී කරුණු ලෙස විවිධ ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. නමුත් මෙහිදී කෞමාර කාමය, මානසික ආබාධයක් ලෙස මනෝ විද්‍යාවේදී සළකන්නේ ළමයා යනු ‘මල්වර නොවූ නොහොත් වැඩි වියට පත් නොවූ’ යන ජීව විද්‍යාත්මක කරුණ මතයි.
කරුණු කාරණා විමසීමේදී අපට පෙනී යන්නේ සියලු කෞමාර කාමයෙන් පෙළෙන්නන් ළමා ලිංගික අපයෝජකයන් නොවන අතර, සියලු ළමා අපයෝජනය කෞමාර කාමයෙන් පෙළෙන්නන්ගෙන් පමණක් සිදු නොවීමයි. නමුත් ළමා අපයෝජන වර්ග අතර කෞමාර කාමය එක් කරුණක් වෙනවා. අනෙක් කරුණු හා ඒවා මතු වීමට බලපාන සමාජයීය හා නීතිමය කරුණු පිලිබඳ සාකච්ඡා කිරීම ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.
ඩෙන්ව මාක්
මෙම ලිපියේ දෙවැනි කොටස කියවන්න- ළමුන් ලිංගිකව අපයෝජනය කරන්නේ කෞමාර කාමයෙන් පෙළෙන අය විතරද?
(ඔබ හෝ ඔබ දන්නා දරුවෙකු ළමා ලිංගික අපයෝජනයට ලක් වී නම් ඒ විගසම ලගම ඇති පොලිස් ස්ථානයට විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග ගොස් පැමිණිල්ලක් ගොනු කරන්න. රට පුරා පොලිස් කාන්තා කාර්යංශයේ කාර්යාල 36ක් පිහිටා ඇත. එසේත් නැතිනම් 1938 ඔස්සේ කාන්තා හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන්න. දූෂණයට ලක් වී ඇත්තේ අවුරුදු 18ට වඩා අඩු දරුවෙකු නම් 1929 ඔස්සේ ළමා අරක්ෂක දෙපාර්තමේන්තුවට කතා කරන්න. 112 සහ 119 ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංකද ඇමතිය හැකියි. ඔබ හෝ ඔබ දන්නා කෙනෙක් ළමා අපයෝජනයකට ලක් වුණොත් ඔබ තනි වී සිටිනවා යැයි සිතන්න එපා. සහය ඉල්ලා සිටින්න. අපට ලියන්න.)
