ළමුන් ලිංගිකව අපයෝජනය කරන්නේ කෞමාර කාමයෙන් පෙළෙන අය විතරද?

(කොටස් දෙකකින් සමන්විත ලිපයක දෙවැනි කොටසයි මේ)

2020 සැප්තැම්බර් 15

ළමා ලිංගික අපයෝජකයන් විවිධ ලෙසින් සමාජයේ පෙනී සිටිනවා. මොවුන් අතරින් බහුතරයක් සිටින්නේ සැඟව. බොහෝ විට ළමයා හෝ දෙමවුපියන් හෝ භාරකාරීත්වය දරණ කිසිවෙකු ළමයා ලිංගිකව අපයෝජනය වෙනවද කියාවත් නොදැන සිටීමට පුළුවන්. බොහෝ පිරිස් සිතන්නේ ළමා අපයෝජකයන් සියලු දෙනා කෞමාර කාමයෙන් (pedophile) පෙළෙන මානසික ආබාධිතයන්  බවයි. කෞමාර කාමය මානසික ආබාධයක් වෙන නමුත් ඔවුන් සියලු දෙනා ළමා අපයෝජකයන් නොවේ. ළමා ලිංගික අපයෝජනය යනු, ‘ළමයෙකු, ඔහු හෝ ඇය සම්පූර්ණයෙන් වටහා නොගත්, ඔවුන් දැනුවත්ව කැමැත්ත ලබා දීමට අපොහොසත් වන, හෝ ඒ සඳහා ළමයා ශාරීරිකව සුදානම් නැති සහ කැමැත්ත ලබා දිය නොහැකි, නීතිමය වශයෙන් තහනම්, සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම ” ලෙස නිර්වචනය වෙනවා.

කෙසේ වුවද, ළමා අපයෝජක වර්ගයන් අනුව,

  1. කෞමාර කාමයෙන් පෙළෙන ළමා අපයෝජකයන්
  2. වරණීය (වැඩි කැමැත්තක් දක්වන) ළමා අපයෝජන්කයන්
  3. අවස්ථානුකූල ළමා අපයෝජකයන්

ලෙස වර්ග කරන්නට පුළුවන්.

  1. කෞමාර කාමයෙන් පෙළෙන ළමා අපයෝජකයන්

මෙම අපයෝජකයන් මල්වර නොහොත් වැඩිහිටිභාවයට පත්  නොවූ කුඩා ළමුන් අපයෝජනය කරනවා. මේ සම්බන්ධව පෙර පළ කළ ලිපියකට අනුව සියළු කෞමාර කාමයෙන් පෙළෙන අය ළමා අපයෝජකයන් වන්නේ නැහැ. එමනිසා ඔවුන් කෞමාර කාමයෙන් පෙළෙන නිසාවෙන්ම අපරාධකරුවන් වන්නේ නැහැ. නමුත් අපරාධය වන්නේ ලිංගික ක්‍රියාවෙන් මොවුන් ළමුන් අපයෝජනය කරන විටයි. (1) වැඩි විස්තර සඳහා පෙර ලිපිය කියවන්න.

  1. වරණීය (වැඩි කැමැත්තක් දක්වන) ළමා අපයෝජකයන්

මේ අතරට වරණීය කෞමාර කාමයෙන් පෙළෙන අය ද ඇතුළත්. නමුත්  ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ මල්වර නොවූ නොහොත් වැඩිහිටිභාවයට පත් නොවූ කුඩා ළමුන් සමඟ ලිංගික ක්‍රියාවල යෙදීමට පමණයි. නමුත් මල්වර නොවූ හෝ වූ ළමුන් සමඟ පමණක් ලිංගිකව හැසිරීමට වැඩි කැමැත්තක් දක්වන අපයෝජකයන් සිටිනවා. මොවුන් වැඩිහිටියන් සමඟ ලිංගිකව හැසිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙහිදී කෞමාර කාමය මෙන් ළමයා ලෙස හැඳින්වීම ළමයා මල්වර වී ඇත්ද, නැත්ද යන්න මත තීරණයය වන්නේ නැහැ. එය වයස අනුව හෝ මානසික හැකියාව මත ද තීරණය වෙනවා. බොහෝ රටවල නීතිමය වශයෙන් ළමුන් ලෙස සළකනු ලබන්නේ වයස අවුරුදු 18ට අඩු වයසේ පුද්ගලයින්.

මෙම පිරිස ඉතා සුක්ෂමව ළමා අපයෝජනය කරන පිරිසයි. (2) මෙය ළමා ලිංගික අපයෝජන සමීකරණය ලෙස හඳුන්වනවා. මෙහිදී තම ගොඳුර කර ගන්නා ළමයා තමන් වෙත නැඹුරු කර ගෙන ඔහුව හෝ ඇයව තමන්ට අවශ්‍ය පරිදි සකසා ගන්නට විශේෂිත වූ පිළියම් යොදනවා. බොහෝවිට මොවුන් එකවර එම ක්‍රියාවේ යෙදෙන්නේ නැහැ. එය ක්‍රමානුකුලව ළමයාගේ විශ්වාසය දිනා ගනිමින් තම ග්‍රහණයට ගැනීමේ ක්‍රියාවලියකයි මොවුන් යෙදෙන්නේ. එහිදී ඒ සඳහා ඔවුන්ට බාධයක් වන සියලු අභ්‍යන්තර හා බාහිර ප්‍රතිවිරෝධයන්  මඟ හරවා ගැනීමටද මොවුන් සමත්. මෑතදී පන්නිපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගන්නා ලද ළමා අපයෝජකයා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටිමින් ළමයාට නොයෙකුත් තෑගී ලබා දෙමින්, දෙමවුපියන්ගේ සහ සමාජයේ  විශ්වාසය දිනා ගමිනින් විශාල ලෙස සිදුකර ඇති ළමා අපයෝජන කදිම උදාහරණයයි.

මෙවැනි ළමා අපයෝජකයන්ගෙන් ළමුන් මුදවා ගැනීමට සිදුකළ හැකි හොඳම හා සාර්ථකම දෙය වන්නේ ළමා අපයෝජනය පිලිබඳ ‘ළමයා දැනුවත් කිරීම’ පමණි. මන්ද මොවුන්ගේ බාහිර ක්‍රියා කලාපයෙන් කිසිවෙකුට මොවුන්ගේ සැබෑ ස්වරුපය හසු කර ගැනීම අපහසු නිසා. නමුත් අපයෝජනයට ලක්වෙන දරුවා තමන්ට සිදු වන්නේ අපයෝජනයක්, එය වැරදි ක්‍රියාවක්, එවැන්නක් සිදු වුණහොත් කළ යුත්තේ කුමක්ද යන්න දන්නවා නම්, මෙම අපයෝජකයන්  නීතියට හසු කර ගැනීමට පහසු වෙනවා සේම ළමුන් එයට ගොදුරු වීමද වැළකෙනවා. අවාසනාවකට මෙන් තවමත් මේ රටේ අධ්‍යාපනය ක්‍රමය තුළ ළමයාට ලිංගික අධ්‍යාපනය ලබා දීම පිලිබඳ ඇත්තේ ඉතාම පසුගාමී අදහස්.  මෑතදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය වෘත්තීයවේදීන් එක්ව සකස් කරන ලද  7 ශ්‍රේණියේ පාසැල් ළමුන්ගේ විෂය නිර්දේශයට ‘ලිංගික අධ්‍යාපනය’ එකතු කිරීමට ගත් උත්සාහයට විශාල විරෝධතාවයක් මතු වීම අපට දක්නට ලැබුණා.  එනිසා ළමුන් නොදැනුවත්වම ලිංගික අපයෝජනයට ලක්වෙනවා සේම අපරාධකරුවන් එයින් නිදහසේ ගැලවී යනවා.

  1. අවස්ථානුකූල ළමා අපයෝජකයන් 

ළමා අපයෝජකයන්ගෙන් තවත් භයානක පිරිසක් වන්නේ අවස්ථාවට අනුව ළමුන් අපයෝජනය කරන මෙම පිරිසයි. මොවුන් ළමුන් සමඟ ලිංගිකව හැසිරීමට වැඩි කැමැත්තක් නොදැක්වුවද,අවස්ථාවක් ලද වහාම තම බලය භාවිතා කරමින් ළමා අපයෝජනයේ යෙදෙනවා. පෙර අපයෝජකයන් මෙන් නොව අපයෝජනය සිදු වීමෙන් පසු එය යට ගැසීමට ළමයාගේ ජීවිතට හානියක් කිරීමට පවා අවස්තානුකුලව මොවුන් පෙළඹීමට ඇති අවස්ථා බහුලයි.  ශ්‍රී ලංකාව තුළ ලිංගිකව අපයෝජනය කර ළමුන් මරා දැමීමේ සිද්ධීන් බොහොමයක් වාර්තා වෙනවා. 

  • ළමයෙකු සමඟ තනිවම සිටින විට,
  • මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර ප්‍රකෘති සිහියෙන් නැති විට,
  • ළමයාගේ ආශ්‍රිතයන්ගෙන් පළි ගැනීමේ තරහවට,
  • සමාජය විසින් පමණට වඩා ලබා දී ඇති අයුතු බලය භාවිතා කිරීම මඟින්,
  • දැඩි පිතෘ, පුරුෂ මූලික අදහස් හා චර්යා දැක්වීම මඟින්,
  • භාරකාරීත්වයක් නොමැතිව ළමුන් අසරණව සිටින විට,
  • ළමා අපයෝජනය සිදු කළත් නීතිය මඟින් ලෙහෙසියෙන් ගැලවී යාමට හැකි බව දන්නා විට,
  • හානිකර ලිංගික ආශාවන්වලින් පෙළෙන විට,
  • ළමයාගේ භාරකාරීත්වය පිලිබඳ අසීමිත බලයක් ඇති බව සිතීමෙන්,
  • ළමුන් නේවාසිකව සිටින විට,
  • නීතිය මඟින් අවසර දෙන අවස්ථාවල (නීතිමය ළමා විවාහ),
  • වැඩිහිටියන් සමඟ ලිංගිකව එක්වීමට අවස්ථා අඩු වීමේදී,

යනදී බොහෝ අවස්ථා මත මෙම ගණයේ ළමා ලිංගික අපයෝජනයන්  මොවුන් සිදු කරනවා.

ශ්‍රී ලංකාව තුළ ළමා ලිංගික අපයෝජනය ගැනෙන්නේ ‘මානසික රෝගීන් පිරිසක් ළමුන් ලිංගිකව අපයෝජනය කරනවා’ යන මතයයි. නමුත් පෙර සඳහන් කළ පරිදිම ළමා අපයෝජනයේ යෙදෙන්නේ කෞමාර කාමයෙන් පෙළෙන පිරිස් පමණක් නොවේ. ලංකාව ගත් කළ ‘අවස්ථානුකූල ළමා ලිංගික අපයෝජකයන්’ වැඩි බව ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කරන්නට පුළුවන් වෙනවා. වාර්තා වෙන ළමා ලිංගික අපයෝජන මෙන්ම වාර්තා නොවන අති බහුතර ළමා ලිංගික අපයෝජන දෙස බැලීමේදී බොහොමයක් ළමා ලිංගික අපයෝජන වෙනත් වැඩිහිටි කෙනෙකුගේ අනු දැනුමෙන් ද සිදු වෙනවා.

83583723_2184878685154048_3354549451665440768_o

උදාහරණයක් ලෙස මෑතදී යුධ හමුදා සෙබලෙකු තම දරුවන් තිදෙනා දීර්ඝ කාලයක් තිස්සේ ලිංගිකව අපයෝජනය කිරීමේ සිද්ධිය ගන්නට පුළුවන්. මෙම ලිංගික අපයෝජනය සිදුව ඇත්තේ ළමුන්ගේ මව දැනුවත්ව. නමුත් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ලිංගිකව අපයෝජනයට ලක්වූ තවමත් ළමා වයසේ සිටින වැඩිමහල් දරුවා විසින්. නීතියේ පිහිට පැතිය හැකි බව ඒ ළමයා දැන සිටීම හොඳ දෙයක් සේම ළමුන්ගේ මව ඒ පිලිබඳ විරෝධයක් නොදැක්වූයේ හෝ නීතියේ පිහිට නොපැතූ ‘හේතුව’  ඇයි යන්න ගැඹුරින් විග්‍රහ කර ගත යුතු වෙනවා.

බොහොමයක් ළමා ලිංගික අපයෝජන මෙන්ම වැඩිහිටි ස්ත්‍රී ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තා නොවන්නේ සහ වින්දිතයන් නීතියේ පිහිට නොපැතීමට කරුණු බැලූ බැල්මට ‘පුද්ගලික කාරණාවක්’ සේ සමාජය ලේබල් ගත කළද, එය උග්‍ර  ‘සමාජයීය ගැටළුවක’ සෙවනැල්ලක් සේ මුළු ශ්‍රී ලංකාවම වසා ගෙන තිබෙනවා. තනි සිද්ධීන් වැළක්වීම හෝ නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත්  සේම මෙහි මූල බීජය සොයා එය ගලවා නොදැමුවහොත්  සිදුවන්නේ දිගින් දිගටම මෙම ලිංගික අපයෝජන වැඩි වී එය සංස්කෘතියේ අංගයක් ලෙස පෙනෙන්නට ගැනීමයි. එය දැනටමත් ශ්‍රී ලංකාව සිදු වී තිබෙනවා. මීළඟ ලිපිය ඒ පිළිබඳව.

ඩෙන්ව මාක්

මෙම ලිපියේ පළමු කොටස කියවන්න – ළමුන් ලිංගිකව අපයෝජනය වෙන කෞමාර කාමය නොහොත් Pedophilia

වැඩිදුර කියවන්න –

ළමා ලිංගික අපයෝජනය පිළිබද අපට කළ හැක්කේ කුමක්ද? 

(ඔබ හෝ ඔබ දන්නා දරුවෙකු ළමා ලිංගික අපයෝජනයට ලක් වී නම් ඒ විගසම ලගම ඇති පොලිස් ස්ථානයට විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග ගොස් පැමිණිල්ලක් ගොනු කරන්න. රට පුරා පොලිස් කාන්තා කාර්යංශයේ කාර්යාල 36ක් පිහිටා ඇත. එසේත් නැතිනම් 1938 ඔස්සේ කාන්තා හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන්න. දූෂණයට ලක් වී ඇත්තේ අවුරුදු 18ට වඩා අඩු දරුවෙකු නම් 1929 ඔස්සේ ළමා අරක්ෂක දෙපාර්තමේන්තුවට කතා කරන්න. 112 සහ 119 ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංකද ඇමතිය හැකියි. ඔබ හෝ ඔබ දන්නා කෙනෙක් ළමා අපයෝජනයකට ලක් වුණොත් ඔබ තනි වී සිටිනවා යැයි සිතන්න එපා. සහය ඉල්ලා සිටින්න.  අපට ලියන්න.)

Social Share: