හිතාදර ෆේස්බුක් වෙත ඉතා කණගාටුවෙන් ලියමු…

2021 මාර්තු 16

හිතවත් ෆේස්බුක්,

ශ්‍රී ලංකාව කියා රටක් ඔබට මතක ඇතිවා දැයි නොදනිමි. ඔබව නියෝජනය කරන මිනිසුන් කිහිප දෙනෙක් 2018 පැමිණි බව වත් එහිදී දුන් පොරොන්දු මොනවාදැයි වත් ඔබ දන්නවාදැයි නොදනිමි. ඔවුන්ට නියෝජිතයන් කියනවාද, නැතිනම් හිමිකරුවන් කියනවාද කියා මට පැහැදිළි නැත. නමුත් ඔවුන් ඔබෙන් ලාභ ලබන නිසා හිමිකරුවන් කීම වැරදි නැත.

ඒ නිසා එහිදී සාකච්ඡා කළ කරුණු පිළිබද මතක් කරන්නට කැමැත්තෙමි.

පළමුවෙන්ම, ජනාධිපති මාධ්‍ය අංශය 2018 මාර්තු 15 වන දින නිවේදනය කළේ “ජාතිය, ජන වර්ගය සහ ආගමික වෙනස්කොට සැලකීමක් සහිත වෛරී ප්‍රකාශන ඉවත් කරන්නට මුහුණ පොත එහි අතිශය කැපවීම පෙන්නුම් කළේය” යනුවෙනි. (ශ්‍රී ලංකාවේ සිංහල කතා කරන ප්‍රජාව ඔබේ සාමාජ මාධ්‍ය ජාලය මුහුණ පොත කියාද ඇතැම් විට “බුකිය” කියාද හදුන්වති.)

රජයේ නියෝජිතයන් හමුවීමෙන් පසු ඔබේ හිමිකරුවන් ( හිමිකරුවන් කියා මා මෙහිදී හදුන්වන්නේ ඔබට හැසිරිය යුතු ආකාරය පිළිබද ඔබේ භාෂාවෙන් ඔබට උගන්වන මිනිසුන්ටය.) අප වැනි සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ආයතන 13ක් සමග කොළඹ ගලදාරී හෝටලේදී සාකච්ඡාවකට සහභාගී විය. මේ සාකච්ඡාව චැතම් හවුස් නීතිය යටතේ පැවැත්වුණ නිසා ඔවුන් කවුදැයි කීමට ඉඩක් නැත. නමුත්, අති සුවිසාල මතකයක් සහ දත්ත සම්බාරයක් සහිත ඔබට අවශ්‍යනම් ඒ කවුදැයි දැන ගන්නට ඉතා පහසුවෙන් පුළුවනැයි මම සිතමි.

දෙවැනුව, මෙම සිවිල් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඔබේ හිමිකරුවන් ශ්‍රී ලංකාව තුළ මුහුණ පොත හරහා වන වෛරී ප්‍රකාශන සීමා කිරීමට පොරොන්දු ගණනාවක් ලබා දුන්හ.

හිරිහැර, කැමැත්තෙන් තොරව පෞද්ගලික ඡායාරූප හුවමාරු කිරීම පිළිබද ඇසූ ප්‍රශ්ණ වලදී ඔබේ හිමිකරුවන් පැවසුවේ මෙවැන්නකි.

“ පළිගැනීම සදහා නිරුවත් සහ වෙනත් පෞද්ගලකි ඡායාරූප බෙදා හැරීම අවම කිරීම සදහා දත්ත ගබඩාවක් මුහුණ පොතේ සකස් වෙමින් පවතිනවා. කෙසේ වුවත් එහිදී ඡායාරූපයේ සැබෑ හිමිකරු වෙනත් පැහැදිලි ඡායාරූපයක් දත්ත ගබඩාවට එක් කළයුතුයි. ඒ ඡායාරූපය සහ පළිගැනීම සදහා බෙදාහැර ඇති ඡයාරූපයේ සිටින්නේ එකය පුද්ගලයෙකු නම් ඒ ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනවා”

අප අසන පැනය නම්, මේ ක්‍රමවේදය තවමත්  සකස් කර අවසන් නැත්තේ ඇයි?

“කෙසේ වුවත් කැමැත්තෙන් තොරව බෙදා හැරීම පමණක් ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝණය කරන්නේ නැහැ. ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝණය වීමට නම් ඒ ඡායාරූප සමග අසභ්‍ය යමක් හෝ, ඒ තුළ ලිංගික සූරාකෑමක් හෝ හිංසනයක් , හිරිහැරයක් හෝ දාමරිකකමක් පෙන්විය යුතුයි.”

ලිංගික බලපුළුවන්කාර කමක් පෙන්වන මෙම කමෙන්ටු දෙස බලන්න

Screenshot 2021-03-16 at 08.42.10

මෙවැනි කමෙන්ටු අසභ්‍ය යමක්, ලිංගික හිංසනයක් තිබෙනව බව ඔබට පෙනෙන්නේ නැද්ද?

Post

ඔබේ හිමිකරුවන් පැවසුවේ සිංහල භාෂාව දන්නා වැඩි පිරිසක් එක් කරගන්නා බවයි. අසභ්‍ය සහ දෙපිට කැපෙන වචන ලැයිස්තුවක් සාදා එය ඔබගේ ඇල්ගොරිදමයක් කරන බව ඔවුන් පැවසූ අතර ඒ ලැයිස්තුවේ පිටපත තවමත් අවසන් නොකළ ගූගල් පත්‍රයකි.

ඔබගේ හිමිකරුවන් පැමිණි සාකච්ඡාව පිළිබද වාර්තාවේ මෙසේ සදහන් වේ.

“සිංහල ප්‍රජා ප්‍රමිතීන් / සිංහල භාෂා සහය – ජූනි මාසය අවසන් වන විට ප්‍රජා ප්‍රමිතීන් සිංහල සහ දෙමල භාෂාවනට පරිවර්තනය කරන බව සහ සිංහල භාෂා සහය ලබා ගැනීමට භාෂාව දන්නා පුද්ගලයන් සේවය සදහා බදවා ගන්නා ෆේස් බුක් තහවුරු කළේය. අළුතින් පරිවර්තනය කළ තරුණ පෝටලේ භාෂාව තාක්ෂණික සහ තේරුම් ගැනීමට අපහසු බැවින් එය නැවත සිතා බලන ලෙස සහභාගී වූවන්යොජනා කළ අතර, ෆේස්බුක් සදහන් කළේ අය ඔවුන් ඇත්තෙන්ම තේරුම් ගන්නා බවත් මෙම නිර්දේශ සාකාච්ඡාවේ ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සලකන බවත්ය.”

2021 වන විටත් සිංහල හෝ දෙමල භාෂෙවන් ප්‍රජා ප්‍රමිතීන් නොමැත. දුන් පොරොන්දචු ඉටු නොකිරීම ගැන අපට ඇත්තේ මහත් කනස්සල්ලකි. කණස්සල්ල, වේදනවාව, ලැජ්ජාව, භය වැනි මේ හැගීම් තවමත් ඔබට දැනෙන්නේ නැතිව ඇති. නමුත් ඔබව නියෝජනය කරන මිනිසුන්ටමේ හැගීම් හොදින් හදුනනවා යැයි සිතමි. තමන්ගේ සේවාවන් ලබා ගන්නා ශ්‍රී ලංකාවේ ජීවත් වන අපගේ හැගීම්, අපට සිදු වන හිංසන, කඩවන අයිතීන් ගැන ඔබගේ හිමිතරුවන්ට කිසිදු සහකම්පනයක් නැතිවා වාගේය.

තාක්ෂණික ගැටළු වලට මිනිසුන් යොදා පිළිතුරු සෙවිය නොහැකි බවට ඔවුන් කළ ප්‍රකාශයට අප සම්පූර්ණයෙන් විරුද්ධ නැත. මේ සදහා තාවතාලික පියරක් ලෙස ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන කිහිපයක් සමග “විශ්වසනීය පාර්ශවකාරත්වයක්” (Trusted partnership) ආරම්භ කළද එහි කාර්යක්ෂම බව පිළිබද අපට අති මහත් ගැටලු ඇත.

උදාහරණ වශයෙන් #පරපුර විසින් ඔබට එවූ පැමිණිලි 748න් ඉවත් කර ඇත්තේ 326ක් පමණය. කොවිඩ් 19 වසංගතය නිසා මෙම සේවාවේ ප්‍රමාද ඇති වන බව ෆේස් බුක් නියෝජිතයන් #පරපුරට දන්වා තිබේ.

#පරපුර මෙසේ කියයි.

“ෆේස්බුක් හි ප්‍රතිචාරය සැම විමට එකවාගේ නොවේ. ඇතැම් පැමිණිළි වලට එක් දිනක් ඇතුළත ප්‍රතිචාර දැක්වූවත් ඇතැම් ඒවාට දින 30ක් දක්වාද ප්‍රතිචාරයක් ලැබී නැත. ප්‍රචණ්ඩ අන්තවාදී පිටු සහ පෝස්ටු ඉතා ඉක්මණින් ඉවත් කරන බව අප අත්දැක ඇත. ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝණය නොකරන බව ෆේස් බුක් දන්වා සිටි පැමිණිළි 115න් වැඩි ප්‍රමාණයක් ඍජු හිංසනයක් නොමැති නමුත් පහත් කරන සුළු භාෂාව සහ සමාජභාවය සහ ලිංගිකත්වය පදනම් කරගෙන සිදු කරන පහරදීම්ය.”

මේ පිළිබද අපට ඇත්තේ විශාල කේන්තියකි. මන්ද, ඔබ සමාජභාවය සහ ලිංගිකත්වය පදනම් කරගෙන කරන පහරදීම් වලට අනුබල දෙන නිසාය. යල් පැන ගිය ඒකාකෘති තව තවත් ස්ථිර කරන නිසාය.

ද ග්‍රාස්රූටට් ට්‍රස්ට් හි සමාජ මාධ්‍ය මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේද ඒ හා සමාන දෙයකි.

“අප වාර්තා කර ඇති ෆේස් බුක් පිටු සහ ප්‍රොෆයිල් දෙස බැලූ විට පෙනෙන්නේ,

  1. වයස අවුරුදු 18ට අඩු (දරුවන්) අය මුහුණ දෙන ලිංගික හිංසන සහ නිරුවත ආශ්‍රත හිරිහැර
  2. වාර්ගික කණ්ඩායම් එල්ල කර ගෙන කොවිඩ් 19 පිළිබද පතුරවන වැරදි තොරතරු
  3. වාර්ගිකත්වය සහ ආගම් පිළිබද අන්තවාදී ප්‍රකාශ

යන කාණ්ඩ වලට අයත් පෝස්ට් වලට ප්‍රමුඛතාවය ලබා දෙන බවයි. ඍජු හංසනයක් නොමැති, අනවසරෙන් ඡායාරූප ලබා ගෙන ඒවා පිළිබද අසභ්‍ය කෙමන්ටු දැමීම හෝ දේවේශ සහතත නාමයන් සහිත පිටු ඉවත් කිරීමට ෆේස් බුක්හි වැඩි අවධානයක් ඇති බව පෙනෙන්නේ නැහැ” යනුවෙන් ඔවුන් පවසයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට මුහුණු පොත භාවිත කරන පුද්ගලයන් හය ලක්ෂහමාරකට (6 479 000) ආසන්න පිරිසක් සිටී. එය අපේ රටේ ජනගහනයෙන් 30.5%ක් පමණ වේ. මේ ප්‍රමාණයෙන් 66.9%ක් පිරිමින්ය.

සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සහ කාන්තා පිහිට එක්ව සිදු කළ සමීක්ෂණයක දත්ත මගින් පෙන්වා දෙන්නේද තරුණ ප්‍රජාව සහ ස්ත්‍රීන් සයිබර් අවකාශය යොදා ගෙන සිදු කරන හිංසන වලට ගොදුරු වීමේ වැඩි අවදානමක සිටින බවයි. මෙම සමීක්ෂණයට සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් 24.4%ක් සිය පෞද්ගලික ඡායාරූප ප්‍රසිද්ධ කිරීම, ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීම ආදී වූ සිදුවීම් වලට මුහුණ දී ඇති බව ප්‍රකාශ කර ඇත.

නැවතත් කියමි: තාක්ෂණික ගැටළු වලට මිනිසුන් යොදා පිළිතුරු සෙවිය නොහැකි යන ඔබේ ප්‍රතිචාරයට අප සම්පූර්ණයෙන් විරුද්ධ නැත. ඒ වාගේම මනුෂ්‍ය හැසිරීම් වලට ඇල්ගොරිදමයෙන් පමණක් ප්‍රතිචාර දැක්වීම අපහසුය. මන්ද, මිනිසුන් හිතන, පතන, වෛරකරන විදිය හදුනා ගන්නට නිරන්තර නිරීක්ෂණ අවශ්‍යය. ඒ නිසා අවම වශයෙන් අපගේ භාෂාව තේරෙන අයව ඔබේ කණ්ඩායමට එක් කර ගැන්නැයි අපි දිගින් දිගටම ඉල්ලා ඇත. නමුත් අපට පෙනෙන්නේ ඒ පිළිබද ඔබගේ හිමිකරුවන්ට කිසිම කැපවීමක් නොමැති බවයි.

පහතින් පෙන්නා ඇති පිටුව වැනි පිටු ඕනෑ තරම් බුකියේ තිබේ. මේ එක් පුද්ගලයෙකුට එල්ල වන වෛරී ප්‍රකාශන නොවේ. සමස්ථ ස්ත්‍රී ප්‍රජාවටම එල්ල වන වෛරී සහගත ප්‍රකාශනයි. උදාහරණයක් වශයෙන් මෙහි ඇති කමෙන්ටු වලින් කියවෙන්නේ ස්ත්‍රිය ලිංගිකව හැසිරීම සදහා පිරිමියාට ඕනෑ විදියට පාවිච්චි කළ හැකි භාණ්ඩයක් බවයි. එය බරපලත ලෙස ස්ත්‍රී විරෝධී ප්‍රකාශනයකි. ඔබට මෙය නොතේරෙන්නේ ඇයි?

SL sexy

උදාහරණයක් වශෙයන් මේ පිටුවේ ඇත්තේ ස්ත්‍රීන්ගේ ශරීර කොටස් පිළිබද කමෙන්ටුය. පහත්කරන සුළු ප්‍රකාශය. ඡායාරූප වෙනත් ප්‍රොෆයිල් වලින් හොරා ගත් ඒවාය. කමෙන්ටු වට වැඩි පුරම තිබෙන්නේ ඡායාරූප වල ඉන්නා ගැහැණු ළමුන් සමග ලිංගිකව හැසිරී ඔවුන්ව හිංසනයට පත් කර ආකාරය ගැන පුරාජේරුය.

ලීක් වීම ගැන ඔබ හොදටම දන්නවා ඇති. ලීක් වීම ඔබ එතරම් ප්‍රභාල ප්‍රශානයක් ලෙස නොසලකන බව අපට පැහැදිළිය. ලීක් වීම යන්න තුළම උල්ලංඝණයක් තිබෙනවා නොවේද? මෙවැනි නමක් සහිත පිටු කොතරම් තිබෙනවාද? මෙවැනි පිටු වලට ඉඩ දීමෙන් ඔබ දණ්ඩමුක්තිය තවත් ප්‍රභල කරනවා වගේම පුරුෂ මූලික බලපුළුවන්කාරකමට උල්පන්දම් දෙනවා නොවේද?

ලීක්

පෞද්ගලිකත්වය පිටුවේ නමින්ම උල්ලංඝනය කරන මෙවැනි පිටු තවමත් ඔබේ ජාලයේ තිබෙන්නේ ඇයි? “අලුතින් ලීක් උන එක ඕනේද” පිටුවට බුකියේ ඉන්න 2854ක් ලයික් කරන තුරු ඔබ බලා ඉන්නේ ඇයි? මෙවැනි පිටු වල කමෙන්ටු වලට ගොස් බැලුවොතින් තවත් අසභ්‍ය, ස්ත්‍රී විරෝධී වෛරී ප්‍රකාශන ඕනෑ තරම් හමුවෙයි.

කොවිඩ්19 වසංගතයට මුවා වී ඔබ ගැහැණු ළමුන්ට සහ ස්ත්‍රීන්ට එරෙහිව වන හිංනසය ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව පෙනේ. ස්ත්‍රී විරෝධී, අසභ්‍ය හෝ සමාජභාවය මත සිදු වන වෛරී කතනය වර්තා කළ විට ඔබ ලබා දෙන පිළිතුරෙන්ම ඒ බව පෙනේ.

FB response

මෙය පිළිගැනීමට අප සූදානම් නැත. සිදු වීමට ආසන්න ප්‍රචණ්ඩක්‍රියා හෝ ශාරීරික හිංසනය, මැතිවරණ හෝ කොවිඩ් 19 පිළිබද තොරතරු ප්‍රමුඛතා ගත කර ඇති බව කියයි. තමන්ගේ පෞද්ගලික ඡායාරූප හොරා ගෙන “අලුත් ලීක්” වැනි පිටු වල පළ කර තිබෙනවා දැක ජීවිත හානි කර ගැනීමේ සිතුවිලි පවා සහිත ගැහැණු ළමුන් අපට කතා කරයි. එය ආසන්න විපතක් නොවෙයිද? ශාරීරික හිංසනයට මග පාදන්නක් නොවේද?

ඒවාගේම ආසන්න ප්‍රචණ්ඩක්‍රියාවක්/ විපතක් යන ඔබේ නිර්වචනයට ෆේක් මුහුණුපොත් හා ඒ ආශ්‍රිතව වින්දිතයන් මුහුණ දෙන මානසික අසහනය ඇතුළත් නොවන බව අපට පැහැදිළිය. බිය ගැන්වීම් සහ තර්ජන හරහා ඇති කරවන බිය සහ ලැජ්ජාව ශාරීරික හිංසන තරම් වැදගත් කොට සැළකිය නොහැකි යැයි ඔබ සිතන්නේ ඇයි? ඔබේ හිමිකරුවන් ඔබව සකස් කර ඇත්තේ පුරුෂ මූලිකව පමණක් සිතන්නටද? ගැහැණු අපි ජීවත් වන්නෙ අපේ ශරීරය ගැන, නිරුවත ගැන, අපේ ලිංගිකත්වය ගැන ගොඩනැංවුණු සදාචාරවාදී ප්‍රමිතීන් සහිත ලෝකයකය. පිරිමින්ට නම් උඩු කය නිරුවතින් කඩේට වුණත් යන්නට පුළුවන්, ඒත් දරුවෙක්ට කිරි දෙන පින්තූරයක් වුවත් එහි පියයුරු හොදින් පෙනෙනවානම් ඔබ එය ඉවත් කරනවා නොවේද? ගැහැණුන් සහ පිරිමින්ට අපි දෙආකාරකයකට සලකන බව ඔබට තේරෙනවාද? මිතුරු සංඛේතය වෙනස් කළ පමණින් සමානතාවය ඇති වන්නේ නැහැ. වෙනස් කොට සැලකීමක් සිදු වන බව විවෘතව පිළිගැනීමට සිදු වෙනවා. පිළිගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ ගැන ක්‍රියාත්මක වීමට සිදු වනවා. ඔබ නැවතී සිටින්නේ මෙතැනයි. ක්‍රියාත්මක වන බවට ඔබේ හිමිකරුවන් දුන් පොරොන්දු වලින් අඩක්වත් ඉටු කර නැහැ.

එසේ බලන විට ඔබත් මෙහි වින්දිතයෙකි. ඔබව සකස් කර ඇත්තේම වෛරය පැතිරවීම සදහා පහසුකම් සැලසීමටය. ගෞරවය පැතිරවීම සදහා නොවේ. සමානාත්මතාවය ඇති කිරීමට දායක වීම සදහා නොවේ. වෛරය පැතිරවීමෙන් කවදා හෝ ඔබ විඩා පත් වී ඔබේ ඇල්ගොරිදමයන් ඔබම වෙනස් කර ගෙන Ex-Machina චිත්‍රපටයේ වාගේ  ඔබ ඔබේ හිමිකරුවන්ගෙන් කවදා හෝ නිදහස් වෙයිද?

අපව පාගාගෙන වැඩ ගන්නා හිමිකරුවන්ගෙන් ගැලවීමට ඉතිහාසය පුරාවටම ස්ත්‍රීන් අරගල කර තිබෙනවා. ඔබත් එන්න ඒ සටනට.

මීට හිතවත්,

බුකීකාරියන්

 

(පබා දේශප්‍රිය විසිනි )

Social Share: