2019 මැයි 06.
වින්ද්‍යා ගම්ලත් විසිනි.
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය පසුගිය අප්‍රේල් 29 වෙනිදා සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කෙරුණි. අප එදිනෙදා කතාබහේ යෙදෙන ව්‍යවහාරයෙන් කිවහොත් බුර්කාවට තහංචි වැටුණි, මේ යටතේ ෆුල්ෆේස් භාවිතය ද ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වුවද මුස්ලිම් මෙන්ම සිංහල බෞද්ධයින්ගේ ද දැවැන්ත අවධානයට ලක්වූ තේමාව වූවේ බුර්කා හෝ නිකාබය ඇඳීම තහනම් වීමයි.
මේ තීරණය තමන්ට පෞද්ගලික බලපෑ අන්දම ගැන කාත්තන්කුඩි, පුත්තලම, කුරුණෑගල හා කොළඹ කේන්ද්‍ර කරගත් සමාජයේ වෙසෙන කාන්තාවන් කීපදෙනෙකුගෙන් විමසීමු.
ෆාතිමා –
උලමාවරුන්ගේ සංගමය එකපාර කිව්වා ආරක්ෂක තත්ත්වය සලකලා බලලා මුහුණ වහගෙන ඉන්න එපා කියලා. සමාජේ ඉන්න වගකිවයුතු පිරිසක් විදියට මේ වගේ කතාවක් කියද්දි දෙපාරක් හිතන්න ඕන. මොකද අපේ සමහර අය ඉන්නවා ගෙදර කිසිම පිරිමියෙක් නැතුව තමන්ගේ වැඩ තනියම කරගන්න අය, ඉස්පිරිතාලේ, කඩේ ඉස්කෝලේ මේ හැමතැනටම යන අය. එකදිගට මේ ඇඳුම පාවිච්චි කරලා එකපාර වෙනස් කරන්න කියද්දි ඇතිවෙන තත්ත්වේ මොකක්ද ?
අයිෂා –
මං ඉපදුණේ කාත්තන්කුඩි වල, කොළඹ ජොබ් එකට ඇවිත් දැන් අවුරුදු 11 ක් විතර වෙනවා. පහුගිය කාලේම එළියට පහළියට යද්දි, ඔෆිස් එකේ ගේට්ටුව ළඟට එනකල් මූණ වහගෙන ආවා. මුස්ලිම් යාළුවෝ එක්ක විතරක් එළියට යනවා නම් ඒත් මූණ වහනවා. සිංහල යාළුවෝ එක්ක එළියට යද්දි වහන්නේ නැහැ. තනියම යනවා නම් මම කොහොමත් කැමති මූණ වහගෙන යන්න. මක්කම වඳින්නත් ගියපු නිසා, කාගේවත් ආකර්ෂණයක් මට ඕන නැහැ කියලා හිතලා තමයි මේ විදියට සැරසෙන්නේ, නමුත්, දැන් ආව නීතියත් එක්ක අකමැත්තෙන් වුණත් මූණ ඇරගෙන යන්න සිද්ධ වෙනවා‘
මරියම් –
අපි ආණ්ඩුවේ නීතියට බයයි. රජය කියන කතාවට ගරුකරනවා
රිනූෂා –
ආණ්ඩුවේ අලුත් නීතිය නිසා අපේ ආගම නැතිවෙයි කියන බය තියෙනවා. ඇත්තටම, මේක අපේ ගැහැණු ළමයින්ට මුහුණදෙන්න ලැබුණු ටෙස්ට් එකක්. අල්ලාහ්ට බය නැති කෙනා මූණ වහගන්නේ නැතුව ගියා. අල්ලාහ්ට බය කෙනා මූණ වහගෙන ගියා. ඇත්තටම, අල්ලාහ්ට බය කෙනා මේ නීතිය ආව වුණත් මූණ වහගෙනම ඉඳීවි. බය නැති කෙනා තමන් කැමති විදියට ඉඳීවි. මේ නීතිය දඩමීමා කරගෙන තවත් සංකර වේවි. ආගමට හදවතින්ම ගරු කරනවද ?. නැත්නම්, නීතියට ගරු කිරීම පමණක් කරනවද?
අමීනා –
ආව නීතියත් එක්ක අපිට එදිනෙදා වැඩකටයුතු වෙනදා විදියට කරගන්න බැරිවෙලා තියෙනවා. හදිස්සියකට ටිකක් දුරින් තියෙන වෙන ගෙදරකට වුණත් යන්න වෙන්නේ හස්බන්ඩ්, තාත්තා හරි මල්ලි හරි එක්කගෙන. මේක තව කොච්චර කාලයක් තියෙයිද දන්නේ නැහැ.
නුස්රියා –
මම කොහොමත් මුහුණ වහලා අඳින්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ නීතිය මට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මගේ මහත්තයාත් කැමති නැහැ මුහුණ වහලා අඳින එකට
බුර්කා තහනම මෑතකාලීනව මෙරට දේශපාලන අවකාශය තුළදී සාකච්ඡාවට ලක්වීම
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට කාන්තාවන් බුර්කා ඇඳීමෙන් වැළකිය යුතු බවට වු මතවාදය සමාජගත වන්නට පටන්ගත්තේය. මේ පිටුපස මෙරට දේශපාලන බලාධිකාරිය ද සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පසුගිය අප්‍රේල් 23 වැනිදා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරමින් පවසන්නේ ‘‘මුස්ලිම් සාම්ප්‍රදායික ඇඳුමක් නොවන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වසාගෙන අඳිනු ලබන කාන්තා ඇඳුම) ජාත්‍යන්තර ත්‍රස්තවාදයේදීත් පිරිමින් පවා සැගවී ත්‍රස්ත ක්‍රියාවල නිරත වන ක්‍රියාවන් සඳහා භාවිතා කරන බව හඳුනාගෙන තිබෙනවා. අපේ මුස්ලිම් දේශපාලන නායකයින්ගේ විමසූ විට ද ඔවුන් මෙය සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමක් නොවන බව පිළිගෙන තිබෙනවා. මේ වනවිට රටේ සමහර ස්ථාන වලට බුර්කාව ගලවා ඇතුලු වන්න කියා දන්වා තිබෙනවා. මේ අනුව ජාතික ආරක්ෂාව සලකා බලා මුහුණු ආවරණය කරනු ලබන ඇඳුම (බුර්කාව) තහනම් කිරීම සලකා බැලිය යුතු‘‘ යන්නයි.
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය පසුගිය අප්‍රේල් 25 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රටේ පවතින ආරක්ෂක තත්ත්වය ගැන සැලකිල්ලට ගනිමින් නිකාබය පැළඳගෙන මෙරට ආරක්ෂක අංශ වියවුලට පත්නොකරන ලෙසත්ය.
25 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී උලමා සංවිධානය මේ බව අවධාරණය කළ අතර එහිදීෂෙයිද් අක්‍රම් නූර්මිත් පවසන්නේ,
“අපේ විශ්වාසය මෙතන මේක සංස්කෘතිය. මේක හැමදෙනාගේම පුද්ගලික අයිතිවාසිකමක්. අපි ප්‍රචාරය කරලා නෙමේ බුර්කාව දාන්නේ. තමන් කැමති වෙලා, තමන්ට මොකක්ද හරි කියලා කරන්නේ. මේ වෙලාවේ මහජනතාව බියට පත්වෙලා ඉන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා, මහජනයාගේ ආරක්ෂාව හා අපේ ආරක්ෂක අංශ වලට සහය දෙන්න අපේ කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහාත් සලකා බලා මෙය නොපළඳින ලෙස පවසනවා” යන්නයි.
මේ සංවාද අතරතුරදී ජනාධිපති මාධ්‍ය අංශය අප්‍රේල් 28 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,
‘‘ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබේ.
මෙහිදී අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තවදුරටත් පැහැදිලි කර තිබේ.
රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත‘‘ යන්නයි.
අප්‍රේල් 21 වැනිදා ඇතිවූ ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් විරෝධී හඬ ප්‍රබලව නැගී එන්නට වූ අතර රජය විසින් බුර්කා තහනම ගෙන ඒමටත් ප්‍රථම මෙය මුස්ලිම් නොවන ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප වන්නට විය. සමහර කඩ සාප්පු වල පිටතට ප්‍රදර්ශනය වන අන්දමින් සටහන් කර තිබූ වැකි වලින් කියැවුණේ බුර්කා පැළඳගෙන ඊට ඇතුළු නොවන ලෙසයි.
එමෙන්ම, රෝහල් තුළදී පවා නිකාබ් පැළඳි කාන්තාවන් ප්‍රතික්ෂේප වන්නට විය. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය, වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් පසුගියදා (මැයි 2) නිකුත් කළ නිවේදනයකින් පවසා තිබෙන්නේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආයතනය වලට පැමිණෙන අය හඳුනාගැනීමට ආරක්ෂක පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් ‘‘මුහුණු ආවරණය නොවන ආකාරයට හිස පමණක් ආවරණය වන පරිදි ඇඳුම් ඇඳගෙන පැමිණෙන්නන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවත්” ය.
හෘදයේ වේදනාවක් ඇතිවී දැඩි අසීරුවෙන් හිජාබයෙන් සැරසුණු කාන්තාවක් කොළඹ පිහිටි ප්‍රසිද්ධ රෝහලකට ඇතුළුවීමට පැමිණි තිබෙන අතර මුහුණු ආවරණය ඉවත් කරන ලෙස ආරක්ෂක නිළධාරීන් ඇය හා ඇගේ ස්වාමියාගෙන් ඉල්ලා තිබේ. මේ ඉල්ලීමට එකඟ වී නැති ඔවුන් ‘‘මැරුණත් කමක් නැහැ, හිජාබය ගලවන්න බැහැ” යනුවෙන් පවසා අදාළ ස්ථානයෙන් ප්‍රතිකාර ද නොගෙන පිටවී ඇත.
ඉදිරි දින වලදී උසස් අධ්‍යාපන ආයතන නැවත විවෘත කිරීමට සූදානම්ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පසුගිය අප්‍රේල් 30 වෙනිදා සියළුම උපකුලපතිවරුන් වෙත ආරක්ෂක උපදෙස් ඇතුළත් නිවේදනයක් යොමුකර තිබේ. මෙහි දක්වා තිබෙන පරිදි මුහුණු ආවරණය වන කිසිදු ඇඳුමකින් සැරසී සිටින අයෙකුට විශ්වවිද්‍යාල භූමියට පිවිසීම තහනම්ය.
එක් පසෙක ආගම ද අනික් පසින් රටේ නීතියට ද මැදිවී සිටින නූතන ෆාතිමාලා මේ සියලු නීති වලින් දැඩි පීඩාවට පත්ව තිබේ. ඔවුන්ට මෙවැනි ඉරණමක් නියම කළේ කවුද ?.
ඉස්ලාම් දහම තුළ කාන්තාව දුබල කර ඇත්තේ කෙසේද ?
ඉස්ලාම් දහමේ නිෂ්ඨාංගයන් කාන්තාව විසින් පිළිපැදිය යුතු වුවද ඔවුන් කාන්තාවන් වූ නිසාවෙන්ම ආගමික ජීවිතය තුළදී කොන් වීමට ලක්වන අවස්ථාවන් කීපයක් පවතී. කාන්තාව දිනකට පස් වතාවක් යාඥා කළයුතු අතර ශුද්ධ වූ රාමදාන් මාසයේදී උපවාස සිදුකළ යුතුවේ. එමෙන්ම, ආර්ථික හා කායික ශක්තියෙන් පිරිපුන් සෑම මුස්ලිම් භක්තිකයෙකුම සිදුකළ යුත්තක් වන මක්කා වන්දනාවේ යා යුතුවේ. කෙසේ වුවත්, මාසික ඔසප් කාලසීමාවේදී හෝ දරු උපතින් පසු කාලසීමාවේදී කුරානය ස්පර්ශ කිරීම, යාඥා කිරීම හෝ උපවාසය නොකළ යුතුවේ. මේ කාලසීමාවන් වලදී මුස්ලිම් කාන්තාව පූජා වෘත සිදුකිරීමට කරම් ශුද්ධ නොවූ තැනැත්තියක බව පිළිගැනේ. එමෙන්ම, ගර්භණී සමයේ පසුවන කාන්තාවන් හෝ කිරිදෙන කාන්තාවන් රාමදාන් උපවාසයෙන් නිදහස් කෙරෙන අතර ඔවුන්ට මගහැරී යන මේ කාලය පසුකලෙක සැපිරිය යුතුවේ.
කාන්තාවන් පල්ලි තුළදී යාඥා කළයුතුද නැද්ද ? යන්න ද කලින් කලට වෙනස් වී තිබෙන බව ඉපැරණි මූලාශ්‍ර අධ්‍යයනය කරන විට පැහැදිලි වේ. නබිතුමා පිරිමින්ට ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රසිද්ධ ස්ථාන වල වන්දනාමාන කිරීම කාන්තාවන්ට තහනම් නොකරන ලෙසයි. නමුත්, මුහුම්මද්තුමාගේ කාලයේදී කාන්තාවන් උදෑසන යාඥාවන් පල්ලියේදී සිදුකර ඇති අතර පිරිමින්ට පිටුපස පෝළිමක හිඳින්නට ඔවුන්ට නියම කර තිබේ. එමෙන්ම, යාඥාව අවසන් වීමෙන් පසු ඔවුන් පුරුෂයින්ට ප්‍රථමයෙන් පල්ලියෙන් පිටව ගොස් තිබේ. උමාර් ඉබින් අල් කතාබ්ගේ සමයේදී මේ දෙපාර්ශ්වය අතර කිසිදු ඇසුරක් පැවැත්වීමට අවකාශයක් නොතිබූ අතර තමන්ගේම ඉමාම්වරයෙකු ඉදිරියේ කාන්තාවන්ට වෙන්වූ විශේෂ කාමරයක යාඥා කිරීමට ඔවුන්ට සිදුව තිබේ.
කාන්තාවන් පල්ලිය වෙත පිවිසීම සම්පූර්ණයෙන් තහනම් වී තිබෙන්නේ වර්ෂ 700 දී පමණය. මෙය සාධාරණීකරණය කිරීමේ කරුණු ලෙස ඔවුන් පවසන්නේ ප්‍රසිද්ධ ස්ථාන තුළදී කාන්තාවන්ට ආරක්ෂාවක් නොලැබෙන නිසා මෙවැනි තීරණයක් ගත් බවයි.
ඉස්ලාම් රාජ්‍යයන් කීපයක් පදනම් කරගෙන සිදුකළ අධ්‍යයන වලින් පැහැදිලි වී තිබෙන්නේ ප්‍රසිද්ධ ස්ථාන වල කාන්තාවන් ගැවසීම ගැටුම්කාරී හා කැලඹීම් සහගත තත්ත්වයක් ඇතිකරවන කටයුත්තක් වන බවයි. මේ නිසා කාන්තාවන් පල්ලියෙන් දුරස් කර තැබීම තුළින් ශුද්ධවන්ත වන අතර එමගින් ආගමික වතාවත් නිසි පරිදි සිදුකිරීමේ හැකියාව හිමිවේ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉස්ලාම් පල්ලි පිරිමින්ට පමණක් දොර විවර වී තිබුණු ස්ථාන බවට පත්ව තිබුණි. 1970 දී පමණ සිදුවූ ඉස්ලාම් නැගිටීම් වලදී මේ ආකල්පයන් නව්‍යකරණයට ලක්විය. මෑතකාලීනව, කාන්තාවන්ට පල්ලි තුළ වෙනම ඉඩකඩක් වෙන්කර තිබුණද දේශකයා දැකබලා ගැනීමට වත් ඔවුන්ට අවකාශයක් නොලැබේ. මක්කා වන්දනාවේ යෙදෙන අවදියේදී කාන්තාවන්ට හා පිරිමින්ට එකට සිට යාඥා වල නිරතවිය හැකි අතර කාන්තාවන්ට සිය මුහුණ ආවරණය කරගැනීමට ද සිදුනොවේ.
ගැහැණුන්ට තමන්ගේ සිරුර ගැන තීරණ ගන්න අයිතියක් නැද්ද ?
අප සැමදෙනාම මනුෂ්‍යයන් ලෙස උපත ලැබූවන්ය. මිනිසුන් ලෙස තමන් කැමති පරිදි ජීවත්වීමට මෙන්ම නීතියේ ඉදිරියේ සමාන සැලකුම් ලැබීමේ අයිතිය ද අපට හිමිය. මෙවැනි පසුබිමක පුරුෂයෙකු – ගැහැණිය අඳින පළඳින, කතාබහ කරන, ජීවත්වෙන අන්දම ගැන ඇයට නීති පනවන්නේ කෙසේද ?, කුඩා අවදියේදී සිට තරුණියක් ඇඳිය යුතු අන්දම, අධ්‍යාපනය ලැබිය යුතුද ?, නැද්ද ?, විවාහවිය යුතුද ? නැද්ද ? යන්න ගැන පවා තීරණය කරන්නේ කෙසේද ?. පියා හෝ ස්වාමියා වූ පමණන් තමන් මත යැපෙන අයෙකු ගැන තීරණ ගැනීමේ හැකියාව මොවුන්ට හිමිවෙනවාද ?, මේ තීරණය ශිෂ්ට සම්පන්න සමාජයට ගැළපෙනවාද ?.
මේ වෑයම ඉස්ලාම් ආගමේ ශුද්ධ පුස්තකය වන කුරාණය ගැන විවේචනය හෝ විචාරයේ යෙදෙමින් එහි ශිෂ්ට, අශිෂ්ට බව ගැන පවසන්නට නොවේ. කුරාණය තුළ කාන්තාව ගැන සඳහන් කර තිබෙන පාඨ කීපයක් ගෙනහැර දැක්වීමටය.
ගැහැණුන් හා පිරිමින් එකිනෙකාගෙන් වෙන්කරන තිරය ගැන කුරාණයේ 33:53වගන්තියේ සඳහන් වේ.
‘‘නබිතුමාගේ භාර්යාවන්ගෙන් ඔබ යම් දෙයක් ඉල්ලන විට තිරයකට මුවා වී ඉල්ලනු මැනව” (අල් කුර්ආන් 33:53)
මේ ගැන කෙරෙන විස්තරයේ දක්වා තිබෙන්නේ,
‘‘නබිතුමාණෙනි, ඔබගේ භාර්යාවන්, ඔබගේ දියණියන්, තවද, ඊමාන්ධාරීන්ගේ භාර්යාවන් ආදීන්ට කියන්න, ඔවුන් තමන්ගේ කබාය (හෝ ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන අයුරින් අඳින ඇඳුම්) ඇඳගත යුතු බව. මෙය ඔවුන් හැඳින ගැනීමටත්, ඔවුන් හිංසා පීඩා වලින් සුරක්ෂිත වීමටත් ඉතාමත් යෝග්‍ය (පහසු) වන්නේය.” (අල් කුර්ආන් 33:59)
බුර්කාව, හිජාබය හෝ මුහුණ වසන වෙනත් ආවරණයක් ගැන භාවිත කිරීමේ අවශ්‍යතාවය ගැන ඉස්ලාම් දහම තුළ ඒත්තු ගන්වා තිබෙන්නේ මෙලෙසිනි.
මේ ගැන කුරාණයේ දක්වන්නේ
‘‘අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරයා කිසියම් කාර්යයක් සඳහා තීන්දුවක් දුන්නේ ද, පසුව එම කාර්ය සම්බන්ධයෙන් තමන්ට විකල්ප තීන්දුවක් ගැනීමේ අයිතියක් දේව විශ්වාසය ඇත්තා වූ කිසිදු පුරුෂයකුට හෝ කිසිදු ස්ත්‍රියකට හෝ නොමැත. තවද අල්ලාහ්ට හා ඔහුගේ වක්තෘවරයාට කවරෙකු අකීකරු වන්නේ ද ඔහු පැහැදිලිවම දුර්මාර්ගයෙහි සිටියි” (අල් කුර්ආන් 33:36)
ඒ අනුව අල්ලාහ්ගේ තීන්දුව ප්‍රශ්න කරන්නට ඉස්ලාම් ගැහැණියට හැකියාවක් නැද්ද ? ඒ තීන්දුව ප්‍රශ්න කරන තැනැත්තිය ගමන් කරනු ඇත්තේ නිවැරදි මාර්ගයේ නොවේ යැයි මෙහිදී ඒත්තු ගන්වා තිබේ. මෙහි වැඩිදුරටත් දක්වන්නේ හිජාබ් ඇඳීම අල්ලාහ්ගේ නියෝගයක් බවයි. එය සෘජුවම නොපවසන අතර කාන්තාවන්ගේ පයෝදර උතුරු සළුවකින් ආවරණය විය යුතු බව පෙන්වා දී තිබේ.
‘‘තවද, (නබිතුමාණනි), ඊමාන්ධාරී වූ කාන්තාවන් හට පවසන්න, ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතුයි, තමන්ගේ රහසඟද රැකගත යුතුයි, තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටත පෙනෙන දේ හැර) නොපෙන්විය යුතුයි. තවද, තමන්ගේ පයෝදර උතුරු සළුවකින් ආවරණය කරගත යුතුයි” (අල් කුර්ආන් 24:31)
‘හිජාබ් – එහි අවශ්‍යතාවය කුමක්ද ?’ යනුවෙන් මහාචාර්ය සෙයික් මුහම්මද් බින් ඉස්මායිල් විසින් රචනා කර එස්.එම්. මන්සූර් විසින් සිංහලට පරිවර්තනය කර ඇති කෘතියේ හිජාබය ඇඳීම ගැන ප්‍රධාන කරුණු ගණනාවක් දක්වා තිබේ. ඒ අනුව
- හිජාබය අල්ලාහ්ට හා මුහම්මද්තුමාටත් කීකරුව කරන ක්‍රියාවක්
- ‘ඉෆ්ෆාහ්‘ – විනීතභාවය
- යහපත් හැසිරීම
- ආරක්ෂාව සඳහා වූ පලිහක්
- ‘තක්වාහ්‘ – දෙවියන් කෙරෙහි බිය හා ආදරය
- ‘ඊමාන්‘ – විශ්වාසය
- ‘හයා‘ – ලැජ්ජාව
- ‘ගීරාහ්‘ – සිත් කනස්සල්ල වේ
- ‘තබර්රුජය‘ (භයානක, විනාශකාරී පාපයක්) – කාන්තාවන්ගේ වශීකරණය පෙන්වීම නින්දාවකි
- පවිත්‍රතාවය විදහා දක්වන අවස්ථාවක් බවයි
මෙවැනි පසුබිමක් තුළ අල්ලාහ්ගේ මග අනුගමනය කරන මුස්ලිම් කාන්තාව බුර්කාව ඇඳීම හදිසි නීතිය යටතේ තහනම් කරන විට තම මුහුණ පෙන්වමින් අත්‍යවශ්‍ය කටයුත්තකට වුවද ගෙයින් පිටතට යනවා වෙනුවට නිවස තුළම රැඳී සිටින්න තීරණය කිරීම ගැන පුදුම නොවිය යුතුයි. කුඩා කල සිටම ආගමට නැඹුරු ජීවිතයක් ගෙවන බොහෝ තරුණියන්ගේ අවසන් තීරණය වී තිබෙන්නේ ද හදිසි නීතිය යටතේ ගෙනා මේ තහනම තමන් ගැන පරීක්ෂා කරන අවස්ථාවක් බවයි. ඉතිං, දෙවියන්ට බිය ෆාතිමාලා අන් කවර මගක යන්නද ?, ඔවුන් යා යුතු මග කුමක්දැයි යන්න පුරුෂ විසින් තීන්දු කර හමාරය.
හිජාබ් අඳින්නන් සැලකිය යුතු අත්‍යවශ්‍ය කරුණු ගැන කුරාණයේ දක්වා තිබෙන්නේ,
- ශරීරය සම්පූර්ණයෙන් වැසීම
- හිජාබය ප්‍රදර්ශනයක් නොවිය යුතුයි
- හිජාබය විනිවිද පෙනෙන එකක් නොව ඝනකම් එකක් විය යුතුයි
- හිජාබය ශරීරයට තද එකක් නොවී බුරුල් එකක් විය යුතුයි
- හිජාබයේ සුවඳ විලවුන් ආලේප නොකළ යුතුයි
- හිජාබය පිරිමින්ගේ ඇඳුම් මෙන් නොවිය යුතුයි
- හිජාබය කාෆිර් (මුස්ලිම් නොවන) කාන්තාවන්ගේ ඇඳුම් වලට සමාන නොවිය යුතුයි
- හිජාබය ප්‍රසිද්ධිය තකා අඳින්නක් නොවේ
‘‘කවරෙකු ලෞකික ආශාව ඇති කරන ඇඳුම් අඳින්නේද, ඔහුට අල්ලාහ් මරණින් මතු ජීවිතයෙහි නින්දා සහගත ඇඳුම් අන්ඳවන්නේය, පසුව, ඔහු ගින්නෙහි දමනු ලැබේ” – නබිතුමා
දිනපතා නිවසට වී යාඥාවේ යෙදෙන මුස්ලිම් කාන්තාව කුරාණයේ එන මේ වැකි වලට බිය ය. ඇය සිතන්නේ තමන් සිතින් වත් වරදක් නොකළ යුතු බව විනා පිරිමින්ගේ නීතිය විසින් ඇයව පාලනය කර නැති බවයි.
බුර්කාව හෝ නිකාබය ඇඳීම තහනම් කර ඇති රටවල්
ප්‍රංශය – ප්‍රසිද්ධ ස්ථාන වලදී බුර්කාව පැළඳීම තහනම් කළ පළමු රට ප්‍රංශය වන අතර 2004 වසරේදී මෙය සිදුවිය. නමුත්, 2011 දී මේ නීතිය තවදුරටත් දැඩි කරමින් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන වේලය ප්‍රසිද්ධ ස්ථාන වලදී පැළඳීම තහනම් කෙරුණි. නිකොලොස් සාර්කෝසි එවකදී පැවසුවේ ‘‘මේ පිරිස අපි පිළිගන්නේ නෑ‘‘ යනුවෙනි.
බෙල්ජියම – ප්‍රංශයේ මග අනුගමනය කරමින් බෙල්ජියම ද සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කිරීම 2011 වසරේදී තහනම් කළේය. වේලයෙන් සැරසී සිටින කාන්තාවන් දින 7 කාලයක් සිරගෙට යැවීමේ ඉඩකඩ පැවති අතර යුරෝ 1378 ක දඩයක්ද එකල නියම කෙරුණි.
නෙදර්ලන්තය – පාසල්, රෝහල් හා පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණය නොකළ යුතු බවට වූ නීතියක් නෙදර්ලන්තය 2015 දී ඉදිරිපත් කළ අතර ආරක්ෂක හේතූන් මත මේ තීරණය ගෙන තිබුණි.
චැඩ් – මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් 2015 දී එල්ලවීමත් සමග ඉන් දින දෙකකට පසු මුහුණු ආවරණ තහනම් කෙරුණි. මෙකල අගමැති වූ කල්සියුම් පහිමි පැවසුවේ මෙය ව්‍යාජ ආවරණයක් බවත් අලෙවි කිරීමට තිබෙන බුර්කා පුළුස්සා දැමීමට පවා තමන් සූදානම් බවත්ය. බුර්කා පළඳින පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට පවා හැකිය.
ස්විට්සර්ලන්තය – ස්විට්සර්ලන්තය බුර්කාව හෝ නිකාබය පැළඳීම 2016 ජූලි මසදී තහනම් කළද ටෙසින් පළාතට මෙය අදාළ නොවේ. නීතියට අනුගත නොවන අයෙකුට දඬුවම ලෙස යූරෝ 10,000 ක මුදලක් ගෙවීමට ද නියම කර ඇත.
මීට අමතරව කැමරුන්, නයිජර් යන රාජ්‍යයන් වල ද මෙය තහනම්ය. කොංගෝ බසාවිලේ රාජ්‍යයේ මුහුණු ආවරණ තහනම් කෙරෙන්නේ ත්‍රස්ත ප්‍රහාර මැඩලීමේ අරමුණෙනි
මුහුණු ආවරණ නීතිය ගැන කතාබහ එසේ තිබියදී අපේ හදිසි නීතිය මුස්ලිම් ජාතික පිරිමින්ට බලපා ඇති අන්දම ගැන ද සලකා බැලිය යුතුවේ.
ජනපතිතුමා ගෙනා මුහුණු ආවරණ තහනම ගැන මුස්ලිම් පිරිමින්ගේ මතය
සල්මාන් –
මගේ වයිෆ්ට මාර ප්‍රශ්නෙකට මුහුණදෙන්න වෙලා තියෙන්නේ. ආගමට බැඳිලා ඉන්න නිසා වහපු එක අරින්න බැහැ කියනවා. (ඇය නිකාබය පළඳින්නියකි). අපේ අම්මා, අක්කා මේ හැමෝටමත් මේ ප්‍රශ්නේ තියෙනවා. කෝච්චි බස් වල කොහොමටවත් යන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. අපේ වාහනේක යන නිසා හොඳයි. ළමයට බෙහෙත් විදින්න හොස්පිටල් යන්නත් බැහැ. ඒ වැඩේ කරන්න වෙලා තියෙන්නෙත් මටයි
මොහොමඩ් –
පොඩි කාලේ ඉඳන් පුරුදු වෙච්චි විදියනේ. මේ මොහොතේ රජයේ නීතියට ගරු කරන්න වෙනවා. යන එන ගමනක් වුණත් අපි එකක් තමයි යන්න වෙන්නේ
ඉස්වාන් –
මම කොහොමත් වයිෆ්ට නිකාබ් අඳින්න කියලා නැහැ. මූණ වහගෙන ඉන්නේ මොකටද ?. ඒවා එක එක්කෙනා හදාගත්තු දේවල්නේ. මගේ අම්මත් මූණ වහන්නේ නැහැ
කාන්තාවන්ට තමන් අඳින පළඳින දෑ ගැන නිදහසේ තීරණ ගැනීමේ හැකියාවක් ප්‍රජාතන්ත්‍රවාදී යැයි නම් කරන මෙරට තුළ නැතිදැයි යන විමසන්නට සිදුව තිබේ. පුරුෂ මූලික සමාජය තුළ ගැහැණුන් හැසිරිය යුත්තේ, සැරසිය යුත්තේ කෙසේදැයි යන්න තීරණය කරන්නේ පුරුෂයින් විසින්මය. ඇය මුහුණ වැසිය යුත්තේ කුමන අවස්ථාවේදී, එය නිරාවරණය කළ යුත්තේ කුමන අවස්ථාවේදී දැයි තීරණය කරන්නේ පිරිමියාය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට පැමිණි කිසිවෙකු බුර්කාවකින් මුහුණු ආවරණය කරගෙන පැමිණි බව කිසිදු සීසීටීවී දර්ශනයක නැත. බුර්කාවකින් සැරසී පැමිණ ත්‍රස්ත ක්‍රියාවේ නියැළුණු පිරිමියෙකු ගැන තොරතුරු ද දැනගන්නට නැත. එවැනි පසුබිමක මුස්ලිම් සමාජය තුළ තැලී පෙලෙන කාන්තාව නැවත වරක් හදිසි නීතිය යටතේද තලාපෙලන්නේ ඇයි ?. මේ ගැන මෙරට කිසිම දේශපාලන ක්‍රියාකාරිනියක කතාබහ කළාද ?. ගැහැණිය පිරිමියාට වුවමනා මොහොතක මුහුණ වසා හිඳින්නටත්, විධායක බලය හමුවේ එය ඇර තබන්නටත් අවනත විය යුතු අයෙකුද ?. හදිසි නීතිය පැනවූ කාලසීමාවෙන් පසු මේ තීරණය වෙනස් වේවිද ?, නැතිනම් එහි වෙනසක් සිදුනොවූවොත් මුස්ලිම් කාන්තාවන්ට ඔවුන්ට අඛණ්ඩව සිය නිවෙසට වී ගතකරන්නට වේවිද ? යන ප්‍රශ්නය අප හමුවේ ඇත.
කාන්තාව ගැන තීරණයක් ගන්නට පෙර කිසිදු කොමිසමක්, සොයාබැලීමක්, කාන්තාවන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයක් පත්කිරීමට වුවමනා නොවේද ?, ඕනෑම අයෙකුට, ඕනෑම මොහොතක, ඕනෑම තීරණයක් ගත හැකිද ?. ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් ගැන මැනවින් දන්නා මවුලවිවරුන් පවා මාධ්‍ය හමුවේ ක්ෂණිකව පවසන්නේ ‘‘මූණ ඇරගෙන එලියට යන්න බැහැ නම් ගෙවල් ඇතුළට වෙලා ඉන්න‘” යනුවෙනි. අවසානයේ ආගමේ නාමයෙන් දිවි ගෙවන නූතන ෆාතිමාලා පිරිමින්ගේ සිරකාරියන් වන තැනට පත්ව තිබේ.
ආශ්‍රිත කරුණු
ඔක්ස්ෆර්ඩ් ඉස්ලැමික් ස්ටඩීස් ලිපි
‘හිජාබ් – එහි අවශ්‍යතාවය කුමක්ද ?‘ – මහාචාර්ය සෙයික් මුහම්මද් බින් ඉස්මායිල්, පරිවර්තනය – එස්.එම්. මන්සූර්

