සැලසුම් සහගත පවුලක් හා අභිමානවත් කාන්තාවක් – FP 2020 ව්‍යාපෘතිය ගැන ඔබ දන්නවාද?

2019 පෙබරවාරි 28

2018 වර්ෂයේ ජුලි මාසයේදී ශ්‍රී ලංකා රජය අත්සන් තැබූ පවුල් සැලසුම් 2020 හෙවත් FP 2020  පිළිබඳ සමාජ සාකච්ඡාවක් සිදු වුයේ නැත. සමාජ සාකච්ඡාවක් තබා වෛද්‍ය වරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන අයවළුන්ගෙන් බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතිය සම්බන්ධව දන්නේ නැත. FP 2020  යනු කාන්තාවන් හා ගැහැණු ළමයින් ඉලක්ක කරගෙන ගෝලීය මට්ටමෙන් සිදුවන ව්‍යාපෘතියක් වන අතර එමගින් අපේක්ෂා කරන්නේ පවුල් සැලසුම් සම්බන්ධව කාන්තාවන් හා ගැහැණු ළමයින්ව  අයිතිවාසිකම් මත පදනම් වු ප්‍රවේශයකින් දිරි ගැන්වීමයි. 2020 වර්ෂය වන විට පවුල් සැලසුම් හා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය මෙන්ම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පුරුෂයාගේ සහයෝගය ද ඇතුළු කාන්තාව සිටිය යුතු ස්ථානය කුමක්ද යන්න මැන බැලීම මෙම ව්‍යාපෘතියේ අවසාන අරමුණ වේ. එමගින් තමන්ගේ ලිංගික සෞඛ්‍ය හා ප්‍රජනනය සම්බන්ධයෙන් තීරණ ගැනීමට කාන්තාව සතු අයිතිවාසිකම කුමක්ද යන්න සාකච්ඡා කරන අතර, පවුල් සැලසුම් ඇතුළු සෞඛ්‍ය සේවාවන් වලට ප්‍රවේශ වීමට කාන්තාවට ඇති බාධාවන් හඳුනාගෙන එම බාධාවන් අතික්‍රමණය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම සිදු කරයි. ශ්‍රී ලංකා රජය මෙම ගෝලීය ව්‍යාපෘතිය සමග අත් වැල් බැඳ ගැනීම අගය කළ යුතු අතර මෙම ව්‍යාපෘතිය මගින්  2019 හා 2020 වර්ෂ දෙක ඇතුළත සපුරා ගත යුතු බොහෝ දේවල් ඇත.

එහෙත් කණගාටුවට කරුණ නම්  2020 වර්ෂයේදී ජයගත යුතු FP 2020  ඉලක්කයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව නිල වශයෙන් සම්බන්ධ වන්නේ 2018 වර්ෂයේ අග භාගයේ වීමයි. දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාව, බංග්ලාදේශය හා පාකිස්ථානය 2012 වර්ෂ වලදී ද, නේපාලය හා ඇෆ්ගනිස්ථානය පිළිවෙළින් 2015 හා 2016 වර්ෂ වලදී අත්සන් තැබූ දෙයක් ව්‍යාපෘතිය අවසන් වීමට වසර දෙකක් ඔන්න මෙන්න තිබෙද්දී ශ්‍රී ලංකාව අත්සන් කිරීමය. එයට හේතුව පවුල් සැලසුම් යන සංකල්පය  සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රජාව තුළ පවතින ආකල්ප ද, එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ සම්බන්ධයෙන් එතරම් අවධානය යොමු නොකිරීම ද යන්න පැහැදිලි නැත. සමහර විට පවුල් සැලසුම් 2020 ව්‍යපාතිය මගින් අත් පත් කර ගැනීමට බලාපොරොත්තු වන බොහෝ දේවල් ප්‍රසස්ත මට්ටමින්  යුතුව ශ්‍රී ලංකාව අතු පත් කරගෙන තිබීම නිසා විය හැකිය.

ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් සමග සංසන්දනය කර බලන විට ඉතා ඉහළ මට්ටමේ ප්‍රමිතියකින් යුතු මාතෘ සෞඛ්‍ය සංඛ්‍යා දත්ත වලට හිමිකම් කියන අතර,  ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටවල් හා සංසන්දනය කර බැලූව ද , ඉතා අවම මාතෘ මරණ සංඛ්‍යාවකට හිමිකම් කියන රටක් වශයෙන් හැඳින්විය හැකිය.  මෙම ඉහළ මට්ටමේ සංඛ්‍යා දත්ත මගින් ප්‍රතීයමාන වන්නේ රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කාන්තාවන් හා ළමයින් සම්බන්ධයෙන්  මනා සංවිධිත  හා ඉතා හොඳින් කළමනාකරණයට ලක් වන යටිතල පහසුකම් ව්‍යුහයකින් සමන්විත, උසස් මට්ටමේ සේවාවන් ආයතනික මට්ටමෙන් ලබාදෙන බවයි. එහෙත්, මේ සියලු සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කරන උසස් භාවයට අමතරව ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් අනාරක්ෂිත ගබ්සාවන් හෙවත් ගර්භනී භාවය අවසන් කිරීම්  සිදු වනු දැකිය හැකිය.  එය තවමත් නිසි පරිදි ආමන්ත්‍රණය කර නොමැති,  වග වීමක් නොමැති තත්ත්වයක් ලෙස පවතින අතර,  ශ්‍රී ලංකාවේ සිදුවන මාතෘ මරණ වලට බලපාන දෙවැනි සාධකය බවට පත්ව තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ රෝහල් වල කාන්තා හා ප්‍රසව ඒකක වලට ඇතුළත් වන කාන්තාවන් අතුරින් 7%-16% ත් අතර ප්‍රමාණයක් ගර්භනී භාවය අවසන් කිරීමේ  උත්සාහයන් නිසා (පොදු සමාජයේ ගබ්සාව යනුවෙන් හඳුන්වයි) ඇති වූ ප්‍රශ්න මත රෝහල් වලට ඇතුළු වන්නන් වේ.  ඉතා ඉහළ මට්ටමෙන් සිදු වන අනාරක්ෂිතව ගර්භනී භාවය අවසන් කිරීම් ( කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍යයට හානිදායක වන) මගින් ප්‍රතීයමාන වන වැදගත්ම කරුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ පවුල් සැලසුම් කිරීමේ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

වර්තමානයේදී පවුල් සෞඛ්‍ය කාර්යාංශය,  රජයේ ප්‍රධාන රෝහල්, විශේෂිත රෝහල්,  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් සහ ජංගම සායන වැනි ආයතන මගින්  නවීන පවුල් සැලසුම් ක්‍රම සම්බන්ධයෙන් තොරතුරු හා සේවාවන් ලබා දෙනු ලැබේ.  2016 වර්ෂයේ දී සිදු කළ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම් සඳහා ඇති සම්පූර්ණ ඉල්ලුම 72% ක් පමණ වන අතර,  ඒ අතුරින් 90% ක් පමණ පවුල් ප්‍රමාණයක් තමන් ලබා ගන්නා සේවාවන් සම්බන්ධයෙන් තෘප්තිමත් බව ප්‍රකාශ කර ඇත. ඉතිරි ප්‍රතිශතය පවතින්නේ පවුල් සැලසුම් සම්බන්ධයෙන් පවතින සේවාවන් පිළිබඳ අතෘප්තියෙනි.  වාර්තා කරනු ලැබූ 72% ක ප්‍රමාණය පවුල් සැලසුම් ක්‍රම සම්බන්ධයෙන් අවශ්‍ය සේවාවන් ලබා ගෙන ඇත්තේ ඉහතින් සඳහන් කරනු ලැබූ රජයේ ආයතන වලිනි. එම සංඛ්‍යා දත්ත වලට අනුව  ශ්‍රී ලංකාව තුළ රජය මගින් ලබා දෙන පවුල් සැලසුම් සේවාවන් හි යම් ආකාරයක ප්‍රතිඵලදායක ආවරණයක් දැකිය හැකිය.  ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් පවුල් සෞඛ්‍ය නිලධාරිනීන් ට හා හෙදි නිලධාරිනීන් ට ලබාදෙන පුහුණු වල ප්‍රතිඵලයක් ලෙස  පවුල් සැලසුම් ක්‍රම හා ඒවා සිදු කර ගන්නා ආකාරය පිළිබඳ දැනුම ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රීක්කයක ම පාහේ ව්‍යාප්ත වී ඇත.

2016 වර්ෂයේදී වයස අවුරුදු 15 – 49 ත් අතර වන කාන්තාවන් 18,302 ක් යොදා ගනිමින් සිදු කළ ජනගහණ හා සෞඛ්‍ය සමීක්ෂණයට අනුව නූතන පවුල් සැලසුම් ක්‍රම වශයෙන් හඳුනාගෙන ඇති කාන්තා හා පුරුෂ වන්ධ්‍යකරණය, එන්නත් කිරීම්, අන්තර් ගර්භාෂ උපකරණ, උපත් පාලන පෙති වර්ග,  රෝපණය කිරීම්,  ස්ත්‍රී හා පුරුෂ උපත් පාලන කොපු,  මව් කිරි ලබා දීම හරහා සිදු කරන උපත් පාලන ක්‍රම සහ හදිසි අවස්ථාවලදී භාවිතා කරන උපත් පාලන ක්‍රම පිළිබඳ සාමාන්‍ය ප්‍රමාණයේ දැනුවත් වීමක් තිබුණ නමුත් මේ අතරින් ඔවුන් දැන සිටියේ ස්ත්‍රී වන්ධ්‍යකරණය බොහෝ සෙයින් භාවිතා වන උපත් පාලන ක්‍රමය බවයි.  නවීන පවුල් සැලසුම් ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ විශාල ආවරණයක් පැවතිය ද තවදුරටත් එවැනි ආකාරයෙන් සේවා හෝ තොරතුරු සම්බන්ධයෙන් ආවරණය නොවූ, එසේත් නැති නම් සේවාවන් ව්‍යාප්ත නොවූ  අවදානම් කාරී ප්‍රජාවන් සිටින ප්‍රදේශ හඳුනාගත හැකිය.  මෙම අවශ්‍යතාව සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බව සලකමින් 2018 ජූලි මාසයේදී ශ්‍රී ලංකා රජය පවුල් සැලසුම් 2020 ගෝලීය සහයෝගීතාවට අත්සන් තැබීය. ශ්‍රී ලංකා රජය විසින්  අත්සන් තැබූ මෙම ප්‍රයත්නය මගින් රජය, සිවිල් සංවිධාන, පරාර්ථකාමී පදනම් හා පෞද්ගලික අංශය යන සියලු පාර්ශ්ව ඇතුළත් බහු විධ සංවිධාන එකමුතුවක් සමගින් බොහෝ ප්‍රමාණයක් ආවරණය වන ගෝලීය සහයෝගී පද්ධතියක් එකිනෙකා සමග සම්බන්ධ වනු ඇත.  එමගින් අයිතිවාසිකම් මත පදනම් වූ පවුල් සංවිධාන  ක්‍රම සම්බන්ධ තත්ත්වයන් වැඩි දියුණු වනු ඇති බව අපේක්ෂා කෙරේ.  මෙමගින් කාන්තාවන් සවිබල ගැන්වීම පමණක් නොව 2025 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ නවීන උපත් පාලන ක්‍රම භාවිතා කරන පවුල් ප්‍රමාණය 74.2% සිට 79%% ක් දක්වා වැඩි කිරීමේ ජාතික අරමුණට  හා ජාතික සංවර්ධන ඉලක්ක වලට එමගින් අත් වැලක් සැපයෙනු ඇති බවට විශ්වාස කෙරේ.  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවුල් සැලසුම් 2020 ව්‍යාපෘතියට  අත්සන් තබමින් සිදු කරනු ලැබූයේ නවීන උපත් පාලන ක්‍රම සම්බන්ධ දැනුම හා සේවාවන් ආමන්ත්‍රණය නොවූ ප්‍රදේශ හා ප්‍රජාවන් වලට එම සේවාවන් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට හා ආමන්ත්‍රණය නොවූ සේවාවන් අතර ඇති පරතරය පියවීමට අවශ්‍ය පෙරමුණ ගැනීමයි.

ශ්‍රී ලංකාව කාන්තාවන්  හා ගැහැණු ළමයින්ගේ සෞඛ්‍යමය හා ප්‍රජනන අවශ්‍යතා වලට අවශ්‍ය සේවාවන් හා තොරතුරු ලබා දීමේදී යහපක් ප්‍රවනාවක් පෙන්නුම් කළ ද එය අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශයක් බවට පත් කළ යුතුව ඇත. ඉහතින් දැක්වූ ආකාරයට දිනකට 600 – 800 ත් අතර ප්‍රමාණයකින් සිදු වේ යැයි උපකල්පනය කරන ගර්භනී භාවය අවසන් කිරීම, නැගෙනහිර පළාත් තුළ ආගමේ නාමයෙන්  සිදු කරන මුස්ලිම් ගැහැණු දැරියන්ගේ චර්ම ඡේදනය නැතහොත් යෝනියේ කොටසක  කැපීමක් සිදු කිරීම, වයස අවුරුදු 12 ඇතුළු ඊට වැඩි ඕනෑම මුස්ලිම් ගැහැණු දරුවෙකු විවාහ කර දීමට දෙමව්පියන්ට ඇති අයිතිය, ප්‍රජනන වයසේ සිටින ගැහැණු ළමයින්ගෙන් 5% ක පමණ ප්‍රමාණයක් යොවුන් මව් වරුන් බවට පත් වීම හා ඔවුන්ගේ අධ්‍යාපනය, පවුල් ජීවිත සියල්ල විනාශ වී යාම, ලිංගික දූෂණ. අඩත්තේට්ටම්, පිළිස්සීම්, හැර දමා යාම් ඇතුළු කායික හා මානසික වශයෙන් සිදු කරන හිංසන ක්‍රියාවන්, සංක්‍රාන්ති සමාජභාවීය හා සමරිසි කාන්තාවන්ට නීතිය හා සමාජ ආයතන මගින් සිදු කරන විවිධාකාර හිංසන යනාදී සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බවයි. එම ගැටළු සෞඛ්‍ය හා ප්‍රජනන සේවාවන් මගින් ආමන්ත්‍රණය වන්නේ නැත.  ඉහතින් දැක්වූ ගැටළු වලට මූලික හේතුව ලෙස පවතින සමාජ පුරුෂාර්ථයන් සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා ආමන්ත්‍රණය වන්නේ නැත.

FP 2020   ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට පමා වී පැමිණි වසන්තයක් වුව ද, කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පමණක් නොව ඔවුන් තුළ තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සවිඥානිකත්වයක් ඇති කිරීමට ද යොදා ගත හැකිය. දරුවන් බිහි කරන කාල සීමාව කුමක්ද, තමන්ගේ පවුලට අවශ්‍ය දරුවන් ප්‍රමාණය කොපමණ ද, දරුවන් බිහි කිරීමේදී කාල පමාව නොහොත් පරතරය තබා  ගත යුත්තේ කෙසේ ද යනාදිය පමණක් නොව  දරුවන් බිහි කිරීම අවසන් කිරීම සම්බන්ධ තීරණය ගැනීමට කාන්තාවට අයිතියක් පැවතිය යුතුය. එමෙන්ම දරුවන් බිහි වීම වැළැක්වීමට භාවිතා කළ හැකි උපත් පාලන ක්‍රම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇයට අයිතියක් හා නිදහස පැවතිය යුතුය. දරුවන් බිහි කිරීමේ වගකීම හා දරුවන් හැදීමේ වගකීම කාන්තාවට පමණක් නොව ලිංගික ක්‍රියාවලියට සමානව දායක වූ පුරුෂයාට ද පවතින නිසා මෙම ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට නම් කාන්තාවගේ අයිතිවාසිකම් සාකච්ඡාවට පුරුෂයින් ද දායක කරගත යුතුය.  එමෙන්ම මෙම ව්‍යාපෘතියට කාන්තාවන් තෝරා ගැනීමේදී සුදුසු කම් ඇති පවුල් පමණක් නොව වැඩ කරන කාන්තාවන්, වැඩිහිටි කාන්තාවන් මෙන්ම තරුණ ප්‍රජාව ද සම්බන්ධ කර ගත යුතුවේ. එමෙන්ම FP 2020  යනු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිවිල් සමාජ සංවිධාන හා එක්ව සිදුකරන සෞඛ්‍ය සේවා සැපීමේ ව්‍යාපෘතියක් බවට පත් කර නොගෙන ජාතික කාර්යයක් ලෙස සලකා මේ සම්බන්ධ පණිවිඩය සමාජගත කිරීමට මාධ්‍ය දායකත්වය ලබා ගැනීම ද අවශ්‍ය වේ.

 

තුෂාර මනෝජ් තරුණ ක්‍රියාකාරිකයෙකි. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ සිටින ඉතා ක්‍රියාකාරී ලේඛකයෙකි.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: