ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා බැදි වෙනස්කොට සැලකීමේ සමාජ ප්‍රතිමාන

2023 මැයි 17.

සුමුදු ලක්ෂාණි විසිනි.

මානව සමාජය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් යුක්තය. ඒ ස්ත්‍රී හා පුරුෂ වශයෙනි. එසේ බෙදී වෙන් වන්නේ ඡීව විද්‍යාත්මකව ලැබී ඇති ලිංග භේදය මත පදනම්ව වුවද සමාජය විසින් වෙනස් වු සමාජ තත්වයන් නිර්මාණය කරදීම මගින්ද ස්ත්‍රිය හා පුරුෂයා වෙන්කොට දක්වයි. පුරුෂයා ශාරීරිකව මෙන්ම මානසිකවද ශක්තිමත් අයෙකූ ලෙසත් ස්ත්‍රීය පුරුෂයාට වඩා ශක්තිමත් බවින් අඩු, ලාමක, පුරුෂයකු මත යැපෙන දුර්වල අයෙකු ලෙසත් සමාජය විසින් හුවා දක්වා ඇත. එසේ බලන කල ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගොඩනැගෙන්නේ පුරුෂාධිපත්‍යය හා ස්ත්‍රීත්වය පිළිබදව යම් සමාජයක ඇති සංකල්පවලින්ය. එනම් සරලවම ගතහොත් ගැහැණුකමේ හා පිරිමිකමේ වෙනසට අදාල වන්නාවු ලක්ෂණයන්ගෙන්ය.

එසේ සමාජය විසින් නිර්මාණය කරදී ඇති පුරුෂයාට මුලික තැනත් ස්ත්‍රීයට දෙවනි තැනත් දීමේ සංකල්පය ආගමික වශෙයන්ද සදහන් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ආගම්වල දක්වා ඇති කරුණු මගින් එය සනාථ කර ගත හැකිය. බෞද්ධ ආගමෙහි පොදු අදහස වන්නේ’ පෙර බවයේ පව් කරන ලද තැනැත්තන් කාන්තාවන් ලෙස ඉපදෙන බවත් මතු බවයෙහි පුරුෂයෙකු වශයෙන් ඉපදීම කාන්තාවන්ගේ උත්තරීතර අරමුණ වන බවත්ය. හින්දු ආගමික මූලධර්මයන්ගෙ සදහන් වන්නේද පෙර භවයේ පව් කරන ලද්දන් කාන්තාවන් ලෙස උපදින බවයි. ඉස්ලාම් ආගමික මූලධර්මයන් මගින්ද කාන්තාවන්ට ලබාදී ඇත්තේ දෙවන තැනයි. ක්‍රිස්තියානි ධර්මයේද දක්වා සිටින්නේ කාන්තාවන් තම ස්වාමිපුරුෂයාට යටත්ව කීකරුව සිටිය යුතු බවයි. එසේ බලන කල සංස්කෘතික මෙන්ම ආගමික වශයෙන්ද ස්ත්‍රීයට ලබා දී ඇත්තේ දෙවන තැනයි.

වෙනස්කොට සැලකීමේ ප්‍රතිමාන ස්ත්‍රී පුරුෂය සමාජභාවය හා බද්ධ වී ඇති කරුණකි. යම් සමාජයක ඡීවත්වන පුද්ගලයන්ගේ භූමිකාවන් කුමන ආකාරයෙන් පැවතිය යුතුද යන්න ආචාර ධර්ම, හැසිරීම් රටා, රීතින් ආදිය සමාජ ප්‍රතිමාන ලෙස දැක්විය හැකිය. මෙය සමාජයෙන් සමාජයට ඡාති,ආගම්, කුල, ප්‍රදේශ,සංස්කෘතිය ආදි කරුණු මත වෙනස් වුවද එම ප්‍රතිමාන කාන්තාවන්ට හා පුරුෂයන්ට වෙනස්කොට සැලකීම ඕනෑම සමාජයක දැකිය හැකි කරැණක් විය. මෙම වෙනස්කොට සැලකීමේ සරලම ආරම්භය සිදුවන්නේ ළදරුවකු මව්කුස පිළිසිදගත් ළදරුවෙකු මව් කුසට පැමිණි අවස්ථාවේ සිටය. එනම් මව්කුස පිලිසිදගත් ළදරුවා පුරුෂලිංගිකයෙකු බව දැනගතහොත් ඔහුගේ සියලු දෑ නිල් පැහැයෙන් සකසන අතර දරුවාට සෙල්ලම් කිරීමට සෙල්ලම් වාහන වැනි කාර්මික, තාක්ෂණික දෑ ගොඩ ගසයි. පිලිසිදගත් ළදරුවා ස්ත්‍රීලිංගිකයෙකු බව දැනගතහොත් ඇයගේ සියලු දෑ රෝස පැහැයෙන් සකසන අතර දරුවාට සෙල්ලම් කිරීමට බෝනික්කන් වැනි සියුමැලිදෑ ගොඩ ගසයි. සමාජයේ අදහස වන්නේ පුරුෂයන් ඕනෑම දෙයකට මුහුණ දියහැකි ශක්තිමත් පිරිසක් ලෙසත් ස්ත්‍රීන් ලාමක, සියුමැලි පිරිසක් ලෙසත් සමාජයට නිර්මාණය විය යුතු බවයි. එසේ නිල්,රෝ පැහැයෙන් ඇරඹෙන ස්ත්‍රීයට හා පුරුෂයාට වෙනස්කොට සැලකීම එදා පටන් ඡීවිත කාලය පුරාවටම සමාජය විසින් නිර්මාණය කර ඇති වෙනස්කොට සැලකීමේ සමාජ ප්‍රතිමානයන්ට අනුගතව ඡීවත් වීමට පුද්ගලයාට සිදු වේ.

ඒ අනුව රැකියාවන් පවා ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට වශයෙන් වෙන් වෙන්ව පවතින අතර පුරුෂයින් වැඩි වැටුපකුත් ස්ත්‍රීන්ට අඩු වැටුපකුත් හිමිවන්නේද මෙම ප්‍රතිමානයන්ට අනුරෑපවය. පොදුවෙ ගත් කල නිවසෙන් පිට ආදායම් ඉපයිමේ කාර්යයත්, කාන්තාවන්ට හා දරුවන්ට ආරක්ෂාව සැපයීමේ කාර්යයත් සමාජය විසින් පිරිමින්ට පවරා ඇති අතර ස්ත්‍රීන්ගේ කාර්යයභාර්යය පවුල නම් ඒකකය තුල පමනක් සීමා කර ඇත. ස්ත්‍රීයට ස්භාවයෙන් උරුමවී ඇති ප්‍රජනන කාර්යයත් සමග දරුවන් රැකබලාගැනීම, පෝෂණය කිරීම, අධ්‍යාපනය පිළිබද සොයාබැලීම ආදි වගකීම් සමාජය විසින් ස්ත්‍රීය මත ආරෝපණය කර ඇත. මෙය සෑම ප්‍රඡාවක් අතරම එකම ස්භාවයෙන් දක්නට නොලැබෙන අතර කාලීනව එහි ස්වරෑපයන් වෙනස්වේ.

එසේම මෙම පුරුෂයා ඕනෑම කාරණයකදී මූලික විය යුතු බවත් ස්ත්‍රීයට හිමි විය යුත්තේ දෙවනි තැන බවත් පුරුෂයන්ගේ පමණක් නොව ස්ත්‍රීන්ගේද හිත් තුල මුල්බැස ඇති කාරනයක් බව මේ පිළිබදව සිදු කරන ලද විවිධ සමීක්ෂණයන්හීදි ඔප්පු වී ඇත. මෙයට නිදසුනක් ලෙස උතුරු පළාතේ සිදු කරන ලද සහභාගිත්ව පර්යේෂණයෙන් උපුටාගත් දත්ත ආශ්‍රයෙන් පෙන්වාදිය හැක. මෙහිදී පරීක්ෂණය සදහා පුද්ගලයින් 532ක් සහභාගි වු අතර ඒ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා, මන්නාරම යන ප්‍රදේශ වලිනි. එහිදී ප්‍රධාන සම්මුඛ සාකච්ඡා හා ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා යන ක්‍රමවේද දෙක මගින් දත්ත එකතු කරගැනීම සිදු කර ඇත.

ඒ අනුව උතුරු පළාතේ සමාජ සම්මතයන්ට අනුව දත්ත රැස් කිරීම පහත පරිදි සිදු කර ඇත.

Screenshot 2023-05-31 at 16.45.47

මෙම දත්ත අනුව පෙනී යන්නේ කාන්තාවන් සමාජය ඉදිරියේ පෙනී සිටිය යුත්තේ පුරුෂයෙකුට පිටුපසින් බව පුරුෂයන්ගේ මෙන්ම කාන්තාවගේද සිත්තුල මුල්බැස ඇති කර්ණක් බවයි. එසේම සමහර අවස්ථාවන්වල කාන්තාවන් ඉදිරියට පැමිණෙනවාට පුරුෂයන්ගෙන් විරුද්ධත්වයක් නොවුනද තමන් විසින්ම පනවා ගත් නීති මත කාන්තාවන් හිරවී ඇති බව මෙයින් මනාව පිළිබිඹු කරනු ඇත. එසේම ආගම් අනුවද වයස් පරතරය අනුවද මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්වන බව දැක්වීමට මෙය උදාහරණයක් කරගත හැකිය. එමෙන්ම කාන්තාවන් මෙම සමාජ සම්මතය උල්ලංඝණය කිරීම සමාජයේ බොහෝ පිරිස් නොපිලිගන්නා කරුණක් බවද සාක්ෂි සහිතව මෙයින් පෙනී යයි.

එසේම මෙම දත්තයන්ට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ වෙනස්කොට සැලකීමේ ප්‍රතිමාන වලට උදාහරණයක් ලෙස දැක්විය හැනි තවත් කරුණක් වන්නේ ස්ත්‍රී දූෂණ පිලිබදව නීතියයි. ශ්‍රී ලංකා සාක්ෂි ආඥා පනතේ ඇතැම් විධිවිධාන මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කොට සැලකීම දක්වයි. එනම් සාක්ෂි ආඥා පනතේ 155 වන වගන්තියට අනුව සාක්ෂිකරුගේ විශ්වාසදායකත්වය දොස් තැබීම පිලිබදව සදහන් කරයි. මෙම වගන්තියේ ( ඈ ) උපවගන්තිය මගින් දැක්වෙන්නේ “ ස්ත්‍රී දුෂණය කිරීමක් ගැන හෝ දුෂණය කිරීමට තැත් කිරීමක් ගැන මිනිසෙකුට විරුද්ධව නඩු පවරනු ලැබු විට චෝදක තැනැත්තිය සාමාන්‍යයෙන් අයහපත් චරිතයකින් යුක්තයැයි පෙන්විය හැකිය.” යනුවෙනි. මෙම නෛතික විධිවිධානයද ඒ අනුව සමාජයේ පවතින ප්‍රතිමාන පිලිබිඹු කරනු ලබයි. එනම් කාන්තාව යහපත් චරිතයකින් යුක්ත නම් පුරුෂයෙකු වරදට පෙලඹෙන්නේ නැති බව අදහස් කිරීමට මෙයින් උත්සහ දරයි.

මෙසේ සෑම අවස්ථාවකදීම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ වෙනස්කොට සැලකීමේ සමාජ ප්‍රතිමාන ඉස්මතුවන විට ඒ සමාජ සම්මතයන් පරිවර්තනය කිරීමට කලහැකි දේද ඇත. ව්‍යවස්ථාවට, අධිකරණයට, රජයේ පාර්ශවයන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරකයින්ට මෙන්ම, අපටද ඒ කල හැකි දෑ කොටස්කර දැක්විය හැකිය. ඒවායින් කිහිපයක් නම්,

ව්‍යවස්ථාදායකයට කල හැකි කාර්යයන්

ස්ත්‍රී පුරුෂභාවය ගැන වෙනස්කොට සැලකීමේ නීති සංශෝධනය කිරීම.( දණ්ඩ නීති සංග්‍රහය,තේසවලාමෛ නීතිය )

ලිංගික හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රීයාපටිපාටියට අනුව නව ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන නීති පැනවීම.

අධිකරණයට කලහැකි කාර්යයන්

ලිංගික හා ලිංගිකත්වය මත සිදුවන හිංසන නඩු සදහා පුද්ගලික නඩු විභාග පැවැත්වීමට ඉඩදීම හා ඒ සදහා විශේෂඅධිකරණ පිහිටුවීම.

ලිංගික හා ලිංගිකත්වය මත සිදුවන හිංසනයන්වල වින්දිතයන්ගේ නම් සහ තොරතුරු වාර්තාවල ඇතුලත් කිරීමෙන් වැලකීම.

රජයේ පාර්ශවයන්ට කල හැකි කාර්යයන්

පාසල් පෙළ පොත් සමලෝචනය කර ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කොට දක්වන පාඪ ඉවත් කිරීම.

මේ පිලිබදව පාසලේ කාර්යයමණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබාදිම.

ගැහැණු ළමයින් අතර නායකත්ව කුසලතා වර්ධනය කිරීම හා ශාරීරික හිංසනයට එරෙහිව සටන් කිරීමට සිසුන් පුහුණු  කිරීම.

සිවිල් සමාජ ක්‍රියාකාරින්ට කල හැකි කාර්යයන්

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

මේ පිලිබද සාකච්ඡා දේශන ඇරඹීමට මුලිකත්වය දීම හා ඒ පිලිබදව නාට්‍ය කෙටි චිත්‍ර පට නිර්මාණය කිරීම.

කාන්තාවන්ගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරිමට සිසුන් පුහුණු කිරිම.

එසේම දරුවන්ට ලිංගභේදයකින් තොරව සමානව සැලකීම, ලිංගිකත්වය නොසලකා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම, ලිංග භේදයකින් තොරව සියලු පුද්ගලයන්ට ගරු කිරීම ආදි කරුණු මගින්ම මෙන්ම කාන්තාවන් විසින් කාන්තා අයිතිවාසිකම් පිලිබදව අන්තගාමී මත දැරීමෙන් වැලකිසිටීම මගින්ද මෙම සමාජ මතයන් පරිවර්ථනය කිරීමේ හැකියාව ඇත.

මෙහිදි බොහෝ පුද්ගලයන්ගේ මතය වන්නේ කාන්තාව පුරුෂයෙකු නොවිය යුතු බවයි. සැබැවින්ම කාන්තාව පුරුෂයෙකු වන්නට අවශ්‍ය නැත. එසේම පුරුෂයෙකුට යටත්වී සිටින්නට හෝ පුරුෂයා අභිබවා යාමටද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ කාන්තාවටද පුරුෂයාට මෙන්ම සමතැන ලබාගැනීමයි. එනම් ස්ත්‍රී පුරැෂ සමානාත්මතාවය ඇති කරගැනීමයි.

Social Share: