ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ සමාජය හා සංක්‍රාන්තික කාන්තාවන්

2019 පෙබරවාරි 20.

ඉමාෂා පෙරේරා විසිනි.

Screenshot 2019-05-20 07.47.16

ලෝකයේ බහුතරයක් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පුද්ගලයන් වර්ගීකරණය කරනු  ලබයි.මෙය සංස්කෘතිය, ආගම හා සාමාජිය වපසරිය මත සිදුවන්නක් වන අතර විටෙක පුද්ගල ආකල්ප මත පදනම් වූ විවාහයකින් සිදු වේ. දරුවෙකු ඉපදීමට ප්‍රථමයෙන් මව පියා විසින් ඔවුන්ට අවශ්‍ය වනුයේ පිරිමි දරුවෙකුද, ගැහැණු දරුවෙකුද යන්න තිරනයකටද එළබෙන අපුර්ව සමාජයකි මෙය. නුතන විද්‍යාවේ දියුණුවත් සමග ස්කෑන් කොට දරුවාගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉපදීමටත් ප්‍රථමයෙන් දැනගැනීම හේතුවෙන් දෙමව්පියන් විසින් වර්ණ තෝරා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ සෙල්ලම් උපකරණ හා අනෙකුත් දෑ රැස්කර තැබීමටද පෙළබේ. එනමුත් අවබෝධයක් නොමැති වීම නිසා, පිළිගැනීමට ඇති අකමැත්ත නිසා හා ආකල්ප නිසාත් කිසිවිටකත් දෙමව්පියන් විසින් තම දරුවා සංක්‍රාන්තික දරුවෙකුද යන්න සිතීමටවත් අකමැතිය. මෙසේ වීමෙන් පිරිමි දරුවෙකු උපන් දා සිට නිල වර්ණයෙන් පිරිපුන් වටපිටාවක සෑදීමට පවුල විසින්ම බලපෑම් ඇති කරන අතර ගැහැණු දරුවෙකු නම් රෝස වර්ණයෙන් වට වූ ලෝකයක ඇයව සිර කරයි. එමෙන්ම නිල් වර්ණයෙන් හෙබි ලෝකයේ දගකාරකම, දැඩිබව, නිර්භීතකම,එඩිතරබව සමාජය විසින්ම ඔබ්බවා තිබීම නිසා මෙසේ නොවන පිරිමි දරුවෙකුනම් අහිංසක, ඔතැනි දරුවෙකු බවට මව පියා විසින්ම ලේබල් කරනු ලබයි. එවිටද ඔවුන් තම දරුවාගේ සැබෑ අනන්‍යතාවය පිලිබදව සෙවීමට තැත් නොකරයි. දරුවා වැඩිමත් සමගම බාල හෝ වැඩිමහල් සහෝදරියන් පවුලේ වී නම් ඔවුන් හා එකතු වීමෙන් තම පිරිමි දරුවා සහෝදරියන්ගේ සෙල්ලම් බඩු, ඇදුම්  ආයිත්තම් වලට ප්‍රිය කිරීම පවුල තුල වෙසෙන්නන් ප්‍රථමයෙන් එය ගණන් නොගත්තද පසුව තහනම් පැනවීමද, එසේත් නොවේනම් “හුරතලේ” යනුවෙන් පවසා සිටිමද සිදු වේ. එනමුත් කිසිවිටක තම දරුවා සැබවින්ම මෙම දේවල් වලට ප්‍රිය කරන්නේද එසේනම් ඒ ඇයි? යන්නවත් සොයා නොබලයි.

පාසල් සමය එළබෙත්ම තම පිරිමි දරුවා බලහත්කාරයෙන්හෝ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට පිය පාර්ශවය විශේෂයෙන් බලපෑම් ඇති කරන අතර දරුවා නර්තනය තෝරාගතහොත් තම දැඩි විරෝධය පල කරනු ඇත. එනමුත් දරුවා රග්බ් ක්‍රීඩාව තෝරාගතහොත් කොලුකම ඉස්මතු වනු ඇතැයි සිතා ඉහ මුදුනින් එය පිළිගනු ලබයි. එනමුත් ගැහැණු දරුවෙකු ක්‍රිකට් හෝ රග්බ් ක්‍රීඩාව තොරගත්තේනම්  එයටද විරෝධය පළකරයි. සිතන්න ජාතික කාන්ත ක්‍රිකට් හා රග්බ් කණ්ඩායමක් ස්ථාපිත වී ඇත්නම් මෙසේ සැම දෙමව්පියෙකුම තම දරුවා හට නීති පැනවුයේනම් අද වන විට මෙවැනි කණ්ඩායම් බිහිවී තිබේද? පිරිමි දරුවෙකු නර්තනය කිරීමේ වරද කුමක්ද? ඔවුන්ට අංග චලන, ලාලිත්‍ය හා හික්මීම නොමැත්තේද? එසත් නැතිනම් සමාජය එසේ පවසා ඇත්ද යන්න සිතීමට අවශ්‍ය වේ. මිට අමතරව පිරිමි පාසලක නර්තන අංගයකට පිරිමි දරුවෙකු කාන්තාවකට ඇදීමෙන් නර්තනය නරබා එය රස විද පසුව දරුවාට පාසැල තුලදී ගුරුවරු පවා උසුළු විසුළු කරන අවස්ථාද වේ. දරුවා වැඩිමත් සමගම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කරන වයසේදී දරුවා තෝරාගන්න විෂයන් මතද ඔහුගේ/ඇයගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සනාථ කිරීමට සමාජය පෙළබේ. පිරිමි දරුවෙකුනම් වෛද්‍යවරයෙකු, ගණකාධිවරයෙකු, හෝ බැංකු ශේස්ත්‍රයේ රැකියාවක් කල යුතු බව පවසා සමාජයේ ව්‍යාවහාරයෙන් bio, commerce, math’sකිරීමට දරුවට බලපෑම් සිදු කරයි. දරුවා කලා විෂය තෝරාගතහොත් පවුල විස්න්ම “ඇයි පාරවල් වල නටන්නද හිතන් ඉන්නේ……?, චිත්‍ර ඇදල හිගා කන්නද…….. අපිට ලජ්ජා කරනවද…….මෙච්චර වියදම් කරලා උගන්නලා! බලනවා අක්කා/අයියා” යනුවෙන් මව පිය විසින්ම පැවසු අවස්ථා ඇත. එවිටවත් තම දරුවා තෙරුම් ගැනීමට ඔවුන් මැලි කමක් දක්වයි. මෙය තවත් උග්‍ර වනුයේ කලා විෂය තෝරාගෙන නර්තනය හැදෑරීමට පෙලබුනහොත්ය. “ගැහැණියෙක් වගේ” යනුවෙන් පවුල තුලම පටන් ගන්න විවේචනය තර්ජන පහරකෑම් දක්වා උග්‍ර වේ. මේ අවදිය වන විට යම් පවුලක් විසින් තම දරුවා සංක්‍රාන්තික පුද්ගලයෙකු බව දැනගතහොත් පියා විසින් එය මවගේ වරද බවත් නර්තනය නොකර කුඩාකල තමන් පැවසු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කලේනම් එසේ නොවන බවත්, මව විසන්  සහෝදරියන්ට තම මල්ලි/අයියා කුඩා කල ඔවුන් සමග ලන්විමේදී එය ප්‍රතික්ෂේප කලේනම් එසේ නොවන බවත්, සහෝදර සහෝදරියන් එකිනෙකාට ඇගිල්ල දික්කොට වරද පටවා දරුවා ප්‍රතික්ෂේප කිරීම හෝ අතහැර දැමීම සිදු කලද කිසිදු විටක මෙයි ඔහුගේ අනන්‍යතාවය බව පිළිගැනීමට උත්සහ නොකරයි.මෙම හේතුව නිසා බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන්ගේ අධ්‍යාපනය අඩපණ වන අතර හුදෙකලාව ජිවත් වීම ආරම්භ වේ.

Screenshot 2019-05-20 07.47.23

රැකියාවක් කිරීමේදීද පුරුෂයෙකුනම් රියදුරු, පෙදරේරු රැකියාවේ සිට විදායක අධ්‍යක්ෂක,  හා අනෙකුත් ඉහල තනතුරු සදහා යෝග්‍ය බව සමාජය විසින් පවසන්නේ දරාගැනීම,පෞර්ෂත්වය මත පදනම් කොටගෙනය. මෙසේ සිතන සමාජයේ පුරුෂයෙකු වේනම් රුපලාවන්ය කටයුතු, විලාසිතා නිර්මාණකරණය, කොණ්ඩා සැකසුම්, නර්තනය හා සමාජය විසින් ලේබල් කරන ලද කාන්තා රැකියා සිදුකරන්නන් වේනම් ඔවුන් සන්ක්‍රාන්තිකයන්, සමලිංගික පුද්ගලයන් යනුවෙන් හැදින්වීම සිදු කරයි. එනමුත් සමාජ විසින් පවසන නියම පිරිමියා තුල සහජ දක්ෂතා තිබීමට නොහැකිද? ඔහුට මෙම රැකියා සුදුසු නොවන්නේ ඇයි? රුපය නිසාද? අද සමාජයේ කායවර්ධන ශරීර සහිත පිරිමින් මෙම රැකියා නොකරන්නේද යන්න ඇසීමෙන් සමාජයේ බහුතරයකට පිළිතුරු නැත. මෙය සංක්‍රාන්තික තරුණියක හා සැසදීමේදී හාත් පසින්ම වෙනස්ය. ඉහත රැකියාවන්ගෙන් ඔබ්බට ගිය සංක්‍රාන්තික තරුණියක්නම් ඇයට උසස්වීම් නොලැබීම, පිරිමි පාර්ශවය ඇය යටතේ රැකියාව කිරීම ප්‍රතික්ෂේප කිරීම, ඇයගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ඇයට වෙනස්කම් කිරීම, උසුළු විසුළු කිරීම, තර්ජනයන් හා ලිංගික අල්ලස් ඉල්ලීම, රැකියාව සිදුකරගෙන යාමට බාධා ඇතිකිරීම, ඇය පිලිබදව වැරදි මත හා රෝග පිලිබදව රැකියා ස්ථානයේ අනිසි බියක් පැතිරවීම වැනි දෑ සිදු කෙරු අවස්ථාද ඇත. මෙම හේතුන් නිසා බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් ඉහත රැකියාවකට හෝ තම පෞද්ගලික ව්‍යාපාරයකට සීමා මේ. රජයේ රැකියාවක් කෙරෙහි තුන් හිතකින්වත් සිතන්නේ නැත. එය ඇයට හීනයක් පමණි.

පවුලේ වගකීම් හා වැඩ කටයුතු බෙදිමේදීද පිරිමි දරුවට වගකීම් වැඩි අතර ඔහු විවාහ නොවී පවුල සමග සිටින්නේනම් විවාහ නොවූ සහෝදරියන්ගේ වගකීම හා දෙමව්පියන්ගේ වගකීම ඔහුට පැවරෙන අතර එය යුතුකමක් ලෙස පිළිගැනේ. ගැහැණු දරුවෙකුනම් ගේ දොර වැඩකටයුතු වලට සීමා කරන අතර රාමුකරන ලද වපසරියක ඇයගේ වගකීම් නිර්මාණය කරයි. මෙම කාණ්ඩ දෙක මාරු වී පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු හැසිරෙන්නේනම් නොන්ජලයෙකු, හිතුවක්කාරියක ලෙස සලකනු ලබයි. එනමුත් මෙම ස්වභාවයට හේතුව  තම දරුවාගේ සංක්‍රාන්තික බව දැනගත් විට ඔහුට හෝ ඇයට හිමි වගකීම් හා පවුලෙන් නෙරපාදැමීමට තරම් සමාජය කුරිරුය. කල හොදද අමතක කර සමාව දීමට නොහැකි වරදක් කල ලෙසට ඔහුට හෝ ඇයට නිගරු කොට පවුලෙන් ඉවත් කිරීමට දෙවරක් නොසිතයි.

සංක්‍රාන්තික කාන්තාවකට තම පවුලෙන් වගකීමක් ලබෙන්නේනන්ම් බොහෝ විට එසේ සිදුවන්නේ දෙමව්පියන් වයෝවෘද්ධ වූ විට, රෝගී වූ විට හෝ සංක්‍රාන්තික කාන්තාව පවුලේ අනිකුත් සාමාජිකයන්ට වඩා මුල්‍යමය අතින් ස්ථාවර වී ඉදිරියට පැමිණිමෙන්ය. එසේ වන තාක් එම තරුණියට යම් වගකීමක් වේනම් එය තම බාල සංක්‍රාන්තික යෙහෙළියකගේ රැකවරණය, තම රැකියාව පිලිබදව වගකීමක් හෝ තම සංක්‍රාන්තික සමාජය පිලිබදව තමන්ට ඇති යුතුකමය. රැකියා ස්ථානය තුලද ඇයට වැඩි වගකීමක් නොදෙන අතර ඇයට උවමනාව හා හැකියාව තිබුනද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ඇයට එම වගකීම් හා යුතුකම් ඉටු කිරීමට අවස්ථාව නොලැබේ.

Screenshot 2019-05-20 07.47.30

කුඩා කාලයේදීම ස්ත්‍රී පුරුෂ  සමාජභාවය මත තම දරුවා වර්ගීකරණය කිරීමෙන් දරුවාගේ අනාගතය අදුරු කිරීමක් පමණක් නොව පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ ජිවිත තුලද වෙනස්වීමක් පසු කාලයේදී සිදු වේ. කුඩා අවදියේදී පිලිනොගනිමෙන් දරුවා සමාජයට තම නිවැරදි ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවයෙන් ඉදිරියට ආවද පවුල ඇතුළු මුළු මහත් සමාජයට එය පිළිගැනීමට අපහසු වනුයේ ඔහුගේ ඔවුන් පිළිගත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය. මතක තබා ගන්න සමාජය යනු අපි අපිමය, හුදෙකුත් දෙවියන් හො බලවේගයන් නොව එසේනම් බහුතරයකගේ පිළිගනිම මත පමණක් අප අපිව වෙනස් කර ගැනීමෙන් කිසිදු පලයක් නැත. එය හුදෙකුත් පුද්ගලයෙකුගේ පිළිගැනීමේ හැකියාව, ආකල්ප හා හුදෙකුත් එම පුද්ගලයාගේ කැමැත්ත මත තවත් පුද්ගලයෙකුගේ ජීවිතය නිර්ණය කිරීමකි. සිතන්න එසේ නොව සැම විටම තමන්ට එසේ සිදුවුවහොත් පිළිතුර සමාජයෙන් මෙබදු වේනම් තමන්ට කුමක් සිදුවේද යන්න, එක් එක් පුද්ගලයා වශයෙන් තමන් තමන්ව තේරුම් ගත් කල ස්වභාව ධර්මයෙන් නිර්මාණිත මිනිස් ලොව ජ්‍යව විවිදත්වයද  සුරැකේ.

 

53817018_2145887228832968_3046277778858049536_o ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: