සයිබරේ පොරවල්, පොර කන්න ගිහින්, අනෙකුන්ව පොරවෙන් කැපීම

2021 පෙබරවාරි 28.

‘ඌ නම් මාර පොරක් බං’, ‘උඹ නිකං පොර පාට් දාන්න එන්න එපා’ කියන ඒවා අපි ඕන තරම් අහලා තියෙනවා. ‘පොර’ යන වචනයෙන් කලහ කිරීම, රණ්ඩු කිරීම තේරුම ගෙනෙනවා. මල්ලව පොර, කුකුල් පොරවලදී වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඉතින් ‘පොරවල්’ ගොඩාක් වෙලාවට කෙනෙකු අනුන්ට වඩා උසස් බලය සහිත පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගන්නා වචනයක් විදිහට ගන්න පුළුවන්. ලංකාව කියන්නේ පොර සංකල්පයෙන් ඉහවහ ගිය තැනක්. හැමෝම, අනිත්  හැමෝටම වඩා දක්ෂයි, හැකියාවන් සහිතයි, ශක්තිමත්, බුද්ධිමත්, නම්බුකාරයි, ලස්සනයි කියා ලෝකයට පෙන්නන්න ගොඩක් උත්සාහ කරනවා. නමුත් එක අතකින් මේක ලංකාවට විතරක් අවේනිකයි කියන්නත් බැහැ. පොරක් වෙන්න සමාජ සම්මතයේ හොඳයි කියලා ලේබල් වෙන දේවල් වගේම නරක කියන දේවලුත් පාවිච්චි වෙනවා. බැලූ බැල්මට පොර වෙන්න ගොඩක් උත්සාහ කරන්නේ පිරිමි හෝ පිරිමිකම තියෙන අය යි. නමුත් ඒ අතර ගෑනු ද නැත්තෙම නැහැ. පොරක් වීමෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ පිළිගැනීම, අගය , බලය , සතුට, ආත්මාභිමානය, මානසික සුවය වැනි දේවල්. ඉතින් බැලූ  බැල්මට මේවා නරක දේවල් නෙමෙයි කියලා කාට හරි කියන්නත් පුළුවන්. ඉතිං පොරක් වුනහම මොකද?

මේ ලිපියෙන් කතා වෙන්නේ සයිබර් අවකාශය තුළ මේ කියන ”පොරත්වය” පාවිච්චි කරලා සිදුවෙන ප්‍රචණ්ඩත්වය ගැනයි. නමුත් සයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ එකින් එක විග්‍රහ කිරීමක් වෙනුවට එහි මූලය පිලිබඳ සාකච්ඡා කෙරෙනවා. ඒත් පොරත්වය ආරුඪ කර ගන්න භාවිතා කරන එක් සුවිශේෂී ක්‍රමයක් පිළිබඳවයි මේ ලිපිය දිග හැරෙන්නේ.

අපේ කලර්ස් නැත්තම් ටැලන්ට්ස් පෙන්නන්න අපි හරි ආසයි. තාක්ෂණය නොදියුණු කාලේ මේක එක්තරා විදිහකට සීමා වුණේ සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති ධනය, උගත්කම, කුලය, බලය ඇති එක්තරා පංතියකට විතරයි. ඒ පංතිය බොහෝ විට මේ දේවල් පාවිච්චි කරලා අනෙක් අයව පාලනය කළා. අනිත් අයගේ හැකියාවන් පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨ වුණා. දැන් බලන්න රජ කාලේ හදපු දේවල්වලට තාක්ෂණික, ශ්‍රම දායකත්වය ලබා දුන්නේ රජවරු ද? නමුත් ඒ එක දෙයක්වත් කරපු සාමාන්‍ය මනුස්සයෙක් ගැන කොහේවත් ලියවිලා නැහැ. මිනිස්සු ගැන අපි දන්නෙත් නැහැ. හැබැයි මේක අදටත් වලංගු නොවෙනවා ම  නෙමෙයි. අදත් දැනුම, හැකියාව තියෙන කෙනාව, සල්ලි තියෙන කෙනා මිලට අරන්, ඒ දැනුම, හැකියාව පාවිච්චි කරලා සල්ලි වියදම් කළ කෙනාගේ නම දා ගන්නවා. තව තවත් සල්ලි හම්බ කර ගන්නවා.

කෙසේ වුණත්, සයිබර් තාක්ෂණය දියුණු වීමත් එක්කම ආපු අන්තරජාල ප්‍රවේශය නිසා මේ ‘ඒක කේන්ද්‍රීය පුද්ගල ප්‍රතිරූප’ හැමෝටම ලබා ගත හැකි දෙයක් වෙන්න පටන් ගත්තා. ඒකට ගොඩක් සල්ලි තියෙන්නම ඕනේ නැති වුනා. මේ සිදුවීම එක්තරා ආකාරයකට හොඳ දෙයක්. හැම මනුස්සයෙකුටම තමන්ගේ හැකියාව, මතය, අදහස්, විවේචන ඉදිරිපත් කරන්න පුළුවන් ස්ථානයක් බවට සයිබර් අවකාශය පත් වුනා. ඒවගේම තමන් පුද්ගලිකවම නොදන්නා එකිනෙකා එක්ක සන්නිවේදනය කරන්න අන්තර්ජාලය නිසා පුළුවන් වුනා. ඒකට ඉස්සර කිවුවේ අන්තර්ජාලය කියන්නේ  ‘විශ්ව ගම්මානයක්’ වගේ කියලා. විශේෂයෙන්ම ඊ මේල් තාක්ෂණයෙන් පස්සේ දියුණු වුන සමාජ ජාල මාධ්‍ය තුළ මේ  නිදහස දෝර ගලන්නට පටන් ගත්තා. මිනිස්සුන්ට අනෙකා එක්ක සම්බන්ධ වෙන්න ගොඩක් හැකියාව ලැබුනා. ඒ අවස්ථාව තව තවත් වැඩි වුනේ මාක් සකර්බර්ග් ප්‍රමුඛ කණ්ඩායම විසින් ෆේස් බුක් පටන් ගැනීමත් එක්කයි. මේත් එක්කම මිනිස්සුන්ට තමන්ගේම කියලා අවකාශයක ඉඳන් තමන්ගේ වැඩ කිඩ පෙන්නන්න අවස්තාව වැඩි වුනා. ඒත් එක්කම පොරත්වය පෙන්වීමට මේ අවකාශය වැඩි ඉඩ කඩක් ලැබුනා. ෆේස් බුක් වැනිම ඊට පෙරත් තිබුනත් ලොව පුරා ෆේස් බුක් පැතිරීමත් එක්කම ඒවා නැති වෙලා ගියා.

ප්‍රශ්නය වෙන්න පටන් ගත්තේ යටත්විජිත වික්ටෝරියානු මානසිකත්වය අපේ යැයි කියා ගන්නා ශ්‍රී ලංකාව වගේ ගෑනු පිරිමිකම තරාදිවලට දාලා මනින රටක සයිබර් අවකාශයේ මේ නිදහස වල්  බූරු එකක් වෙන්නට පටන් ගත්ත එකයි. ඒ නිසා ගොඩාක් දෙනෙක් සයිබර් අවකාශයට දොස් කියන්න පටන් ගත්තා. මේක එක්තරා ආකාරයකට පුද්ගල නිදහස ගැන කතා කරන මාතෘකාවක් වෙන්න පුළුවන්. ඒත් තමන්ගේ නිදහස කියන්නේ හතර වටේම පොල්ලක් කරකව කරකව යන්න පුළුවන් නිදහසක් නෙමෙයි. කෙටියෙන්ම කිවුවොත් ‘වල් බූරු’ නිදහස නෙමෙයි. තමන්ගේ නිදහසේ සීමාව අනෙකාගේ නාසය කෙළවරින් අවසන් වෙන බව අපේ කට්ටිය දන්නෙම නැහැ. දන ගත්තත් වැඩකුත් නැහැ. 80 දශකයේ ටෙලිවිෂනය ලංකාවට ආවහම ගොඩාක් අය ඔය දෝශාරෝපනය කළා. නමුත්  ප්‍රශ්නය තිබුනේ ටෙලිවිෂන් තාක්ෂණයේ නෙමෙයි. ඒකෙ භාවිතයෙයි.

පුරුෂ මූලික, පුරුෂ වන්දනා, පුරුෂ උත්කෘෂ්ට ශ්‍රී ලංකා ජන සමාජයේ මුල් බැස ගෙන තිබෙන ස්ත්‍රී පුරුෂ සමාජභාව මුල්කොට ගෙන ඇති වෙන ප්‍රචණ්ඩත්වය නැත්තම්, ගෑනු පිරිමිකම යොදා ගෙන කරන බලහත්කාරකම් ඒ ආකාරයෙන්ම එලෙසම මෙම සයිබර් අවකාශය තුළ ද වෙන්නට පටන් ගත්තා. හැබැයි ඒක සිදු වුනේ සාමාන්‍ය අපිට ඇහැට පේන්න තියෙන සමාජයේ පුද්ගල ප්‍රතිරුප එක්ක විතරක් නෙමෙයි. වෙනත් විදිහකින්  කියනවා නම් සයිබර් අවකාශයේ මෙම ප්‍රචණ්ඩත්වය සෑම විටම මතු වන්නේ ‘ස්වකීය පුද්ගල අනන්‍යතාවයෙන්’ පෙනී සිටින පුද්ගලයන්ගෙන් පමණක් නෙමෙයි. අපි හැමෝම දන්න ෆේක් ප්‍රොෆයිල් ගැනයි මේ කතාව.

සයිබර් අවකාශයේ මිනිස්සු ෆේක් වෙනවා කියන්නේ මොකක්ද ?

කෙටියෙන්ම කිවුවොත් තමන්ගේ නියම ස්වරුපයෙන් කරන්න බැරි හෝ  කළ යුතු නැහැ කියලා හිතන දේවල් හඳුන ගන්න බැරි මූණකින් (ගසකින්, මලකින්, ගලකින්, පින්තුරයකින් ….) කරනවා කියන එකයි. ඇයි මිනිස්සුන්ට එහෙම කරන්න වෙන්නේ?

(1) පුද්ගල අනන්‍යතා ප්‍රශ්න

(2) නීතිමය තත්ත්වයෙන් ගැලවීමට (වර්ගවාදය, ජාති වාදය වැනි නීති විරෝධී ක්‍රියාවන්, නීතිය මඟින් ආන්තිකරණයට ලක් වූ ප්‍රජාවන්)

(3) සමාජ සම්මතය විසින් පිළි නොගැනීම (ගැහැනුන්, සමලිංගික හා සංක්‍රාන්ති සමජභාවී ප්‍රජාවන්, ලිංගික වෘතිකයන් වැනි සමාජය විසින් නිරන්තරයෙන් කොන් කරන ප්‍රජාවන්)

(4) කෙනෙකුගේ/කණ්ඩායමකගේ ප්‍රතිරූපයට හානියක් කිරීමට (පුද්ගලිකමය හෝ සමාජයීය කරුණු මත)

(5)  තම මතය සමාජගත  කිරීමට පුද්ගල ස්වරුපයක් අනවශ්‍ය බව සිතීම

යනාදී විදිහට විවිධ කාරණා තියෙන්නට පුළුවන්. පළමු හේතු තුනම එක්තරා ආකාරයකට පුද්ගල අනන්‍යයතාව ගැන ප්‍රශ්න විදිහට ගන්න පුළුවන් වුනත් ඒවා එකිනෙකට බලපාන විදිහ වෙනස්  වෙනවා.

පුද්ගල අනන්‍යතාවය කියන්නේ මොකක්ද?

කෙනෙකුගේ අනන්‍යතාවය කියලා කියන්නේ පුද්ගලයෙකුට  (මනෝ විද්‍යාවේ කියන විදිහට තමන් පිලිබඳ ඇති ස්වයං අනන්‍යතාවය) හෝ කණ්ඩායමකට (සමාජ විද්‍යාවේ සාමූහිකය ලෙස හඳුනා ගන්නා අනන්‍යතාවය) ඇති ගුණාංග, විශ්වාසයන්, පෞරුෂත්වය, පෙනුම සහ/හෝ ප්‍රකාශනය ලෙස කෙටියෙන් ගන්නට පුළුවන්. මෙතැනදී මනෝවිද්‍යාත්මක අනන්‍යතාවය කියන දේ විශේෂයෙන්ම  ස්වයං ප්‍රතිරූපය හා සම්බන්ධ වෙනවා. මේවා යමෙකු සිතන විදිහ, ආත්ම අභිමානය සහ පෞද්ගලිකත්වය යන කරුණු එක්ක සම්බන්ධයි. මානව සංවර්ධනය දියුණු බොහෝ රටවල අධ්‍යාපන ක්‍රමය හෝ සමාජ  ක්‍රමය සැකසී තිබෙන්නේ මේ කියන තමන්ගේ පුද්ගල අනන්‍යතා මිනිසුන්ට හඳුනා ගන්නට හුරු කිරීමෙන්. ඉගැන්වීමෙන්. පහසුකම් සැලසීමෙන්. කෙටියෙන්ම කිවුවොත් තමන් තමන් වෙන්න උදවු කිරීමෙන්.

නමුත් ශ්‍රී ලංකාවේ දකින්නට තියෙන්නේ මීට හාත්පසින්ම වෙනස් කාරණයක්. අපි හැමෝම බලන්නේ වෙන කෙනෙක් වගේ වෙන්න. සමාජ සම්මතයේ පිළිගැනීමට ලක්වෙන කෙනෙක් වෙන්න. පොරක් වෙන්න. පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්වන්නේ වෙන කෙනෙක් වගේ වෙන්න. ඉස්කෝලේදී අපි ඉගෙන ගන්නේ සිලබස් එකේ තියෙන, ටීචර් දන්න ටික. ඉතින් ලාංකීය සමාජය මිනිස්සු අච්චු ගහන, කාබන් කොපි කරන සමාජයක්. ශ්‍රී ලාංකීය සමාජය තුළ බොහෝ මිනිස්සු පුද්ගල අනන්‍යතාවයෙන් ගොඩක් අඩු මිනිස්සු. එහෙම බැලුවහම සමාජයේ බහුතර මිනිස්සු ෆේක්. ඔය මිනිස්සුම තමයි සයිබරයේත් ඉන්නේ.

සැඟවුන අනන්‍යතාවලින් නැත්තම් ෆේක් විදිහට ඇවිත් කලින් කතා කරපු ස්ත්‍රී පුරුෂ සමාජභාව මුල්කොට ගෙන ප්‍රචණ්ඩත්වය ඇති කරන්න හරි ලේසියි. සයිබර් අවකාශයේ  බොහෝවිට අපහාසයට, කොන්කිරීමට, ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්නේ ගෑනු. ගෑනු විත‍රක් නෙමෙයි සමාජය විසින් පහත දාන නැත්නම් ආන්තීකරණයට ලක් කරන ප්‍රජාවන්. ඉතින් බොහෝවිට මේ කණ්ඩායම්වලට තම ඇත්ත ස්වරුපය ෆේක් විදිහට තියාගෙන ඉන්න වෙනවා. නමුත් මෙතැනදී වෙන්නේ ‘ෆේක් වීම’ මඟින් ‘රියල් වෙන්න’ අවස්තාවක් ලැබෙන එක. ඒක මෙවැනි ප්‍රජාවන් ආන්තීකරණයට ලක්වෙන ශ්‍රී ලංකා සමාජය වැනි තැනක එක්තරා ආකාරයකට ධනාත්මක දෙයක්. ස්ත්‍රී පුරුෂ සමාජභාව මුල්කොට ගෙන සයිබර් ප්‍රචණ්ඩත්වය කියා පෑමත් මේකම තමයි. නමුත් මෙතැනදීත් සමාජයට තමන් පෙන්වන මුණ නෙමෙයි ෆේක් වීම මඟින් ඇති වන්නේ රියල් වීමයි.

ඉතින් සයිබර අවකාශයේ සිදුවන ප්‍රචණ්ඩත්වය පොදු සාමාජයේ තිබෙන ප්‍රචණ්ඩත්වය මයි. වෙනස තියෙන්නේ. බාහිර සාමාජයේ කිසි පැකිලීමකින් තොරව මෙම  අපහාස, කොන්කිරීම් , ප්‍රචණ්ඩත්වය පෙන්වා ‘පොරත්වය’ පාන අය මෙන්ම, පුද්ගලිකව ‘එම පොරත්වය’ එළිපිට කියා පාන්නට නොහැකි පිරිස් ද සයිබරයේ ෆේක් විදිහට ඇවිත්  ‘පොරත්වය’ පානවා.

මුලදී කතා කළ  විදිහට අනන්‍යතාවය මනෝ විද්‍යාත්මක දෙයක්. වෙන කෙනෙක් වෙන්න උගන්වන සමාජයක අපි අපේ අනනයතාවය කියලා හඳුනා ගන්නේ වෙන එකක්. එහෙම කරන්න බැරිවෙනකොට ෆේක් විදිහට ඇවිත් තමන්ගේ රියල් අනන්‍යතාවය කියල හඳුනා ගන්න අනන්‍යතාවය පෙන්වා ඒ මානසික සුවය විඳිනවා. එය එක්තරා ආකාරයකට ඔවුන්ව සතුටට පත් කරනවා.

ඉතින් ගෑනියෙක්ට වේසියෙක් කියන්නත්, සමලිංගිකයෙක් ට පොන්නයා කියන්නත්, අබාධ සහිත වූ කෙනෙක්ට ගොළුවා, අන්ධයා, කොරා කියන්නත්, ඒ මිනිස්සුන්ගේ පින්තුර එඩිට් කරලා පාවිච්චි කරන්නත්, ලිංගික දර්ශන සහිත වීඩියෝ ලීක් කරන්නත්, අමු තිත්ත කුණුහරුපෙන් බනින්නත්, එකඟ නොවන උන්ට රිටර්න් එක දෙන්නත්, පුද්ගලික තරහා පිරිමහ ගන්නත් පුළුවන්. මිනිසුන්ගේ  පුද්ගලිකත්වය භාවිතා කරලා පිරිමිකම පෙන්වන්න කියලා ‘පොඩි ආතල්’ එකක් ගන්න සයිබරය තුළ ශ්‍රී ලාංකිකයන්ට ලොකු ඉඩක් තියෙනවා. එතැනදී සාමාන්‍ය සමාජයේ වගේම විශේෂයෙන්ම ගෑනුකමට නැත්නම් ස්ත්‍රීභාවයට ලැබෙන්නේ නින්දාව. ඉතින් තමන්ගේ සමාජභාවය පිරිමිකම කියලා පෙන්වන්න වගේම පිරිමිකමක් නැති පිරිමියා ද, ගෑනුකමක් තියෙන ගැහැණු ද සයිබර් අවකාශයේ වෙන්න හදන්නේ පිරිමි.  කොටින්ම කිවුවොත් මෑතදී ඇමෙරිකාවේ Hutti යන වාසගමක්  ඇති FOX ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදිනියක් ට ‘හුත්ති හුත්ති’ කියලා ශ්‍රී ලාංකික පිරිමිකම පෙන්වන්න comment දැමීමත් ඔය කියන ආකාරයේ මානසික සුවයක් ලබා ගැනීමක්. එතැනදී මේ මිනිසුන්ට ප්‍රායෝගිකව ලබා ගන්නට බැරි බලයක් ආරෝපණය වෙනවා.

මේ පිරිස මේ ගන්න ආතල් එකෙන් අපි නොසිතනවාට වඩා මානසික මෙන්ම සමාජයීයව හා කායිකව ද පිරිමිකම නැති  සියලු දෙනා පාහේ බරපතල විදිහට පීඩා විදිනවා. ඒ නිසා බැලූ බැල්මට සයිබර් අවකාශයේ  සිදු වෙන මෙවැනි ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට නීති යාවත්කාලීන මෙන්ම දැඩි විය යුතු වෙනවා.

ඉතින් ආපහු බැලුවොත් මුළු මහත් සමාජක්ම ‘පිරිමිකම’ උත්කෘෂ්ටය ට නංවලා සයිබරයේ වෙන දේවල්වලට විතරක්  ඇඟිලි දික් කරලා මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න පුළුවන් ද? ගෙදර ඉඳන් පාර තොටේ ත්, බස් එකේ ඉඳන් පාර්ලිමේන්තුවේත්, පත්තරේ ඉඳන් ටීවී එකෙත් තියෙන්නේ එකම පුරුෂ මූලික කතන්දරේ.

ඒ නිසා මෙම ගැටලුව විසඳීමට ‘ජාතිකමය’ වශයෙන් දීර්ඝ කාලීන විසඳුමක් අවශ්‍ය වෙනවා. මොකද මෙම ප්‍රචණ්ඩත්වය සිදු කරන පිරිසත් ඇතැම් විට මේ ප්‍රශ්නය ඇතුළේ අසාධාරණයට ලක් වෙලා ඉන්න පිරිසක්. තමන් ගාව නැති නමුත්, ලාංකීය ඉතිහාසය ඇතුළුව, යටත් විජිත මානසිකත්වයෙන් තවමත් සමාජයේ ලේබල්ගත කර තිබෙන මේ ‘පිරිමිකම’ මේන්ටේන් කිරීමට යාමෙන් මේ පුද්ගලයින් බරපතල ‘පුද්ගලික අනන්‍යතා’ ප්‍රශ්නවලට මානසිකව මුහුණ දෙනවා.

ඒ නිසා නීති මඟින් පමණක් සයිබර් අවකාශයේ  සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාව මුල්කොට ගෙන ඇති කරන ප්‍රචණ්ඩත්වය නැති කරන්න හෝ සයිබරයට පමණක් ලඝු කරලා කරන්න යෑම ඇත්තටම බොරු වැඩක්. නමුත් පොදුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාව මුල්කොට ගෙන ප්‍රචණ්ඩත්වය කතා කරන විට සයිබර් අවකාශය ද එයට ඇතුළු කිරීම හෝ විග්‍රහ කිරීම වැදගත් වෙනවා. අනාගතයේදී වෙනත් තාක්ෂණික සන්නිවේදනය ක්‍රමවේදයක් හෝ මෙවලමක් ආවොත්, එතැනදී ත් සිදුවෙන්නේ මේකමයි. නමුත් මෙයින් කියන්නේ සයිබර් අවකාශයේ සිදු වෙන ප්‍රචණ්ඩත්වයට නීති අවශ්‍ය නැති බව නෙමෙයි. කොපමණ නීති තිබුනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සයිබර් අවකාශයේ ස්ත්‍රී පුරුෂ සමාජභාව මුල්කොට ගෙන ඇති කරන ප්‍රචණ්ඩත්වය පිළිබඳවත් අනුගමනය කරන්නේ සාමාන්‍ය සමාජයේ දක්වන ඇල්මැරුණ ස්වාභාවයමයි. ඒකට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ද වැඩි ප්‍රමාණයක් සිටින්නේ එවැනිම පුරුෂයන් වීමද බලපානවා.

තවද ශ්‍රී ලංකාව තුළ සයිබර් අවකාශයේ නීති මඟින් මිනිසුන්ගේ ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය’ පාලනය කිරීමට විවිධ බලධාරීන් පෙන්වා දෙන්නේ ද මේ ෆේක් ප්‍රොෆයිල් මඟින් සිදු කරන අදහස් දැක්වීම්. ඇත්ත ප්‍රශ්නයට පිළිතුරු නොසොයා  එය පෙන්වා, බලය භාවිතා කරලා මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විවේචනය කිරීමේ අයිතිය, විරුද්ධ වීමේ අයිතිය, ප්‍රශ්න කිරීමේ අයිතිය නැති කරන්නට කාටවත් අයිතියක් නැහැ. මොකද  අනන්‍යතාවය ඇතිව හෝ නැතිව මතයකට සමාජයේ ඉඩක් තිබීම වැදගත් නිසා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විශ්වීය මෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළද පවතින අයිතිවාසිකමක්.

අපි ‘පොරක්’ වෙන්න හදන හැම තැනම ක‍රන්නේ කෙලින්ම හරි, වක්‍රව හරි වෙන කෙනෙක්ව පොරවෙන් කපා දැමීමයි. අපිට උගන්වලා තියෙන්නේ අපිට මානසික සතුට ලැබෙන්නේ එතැනින් කියලා. නැත්නම් මානසිකව තමන් තමන් වීම තුළින් කියලා නෙමෙයි. මේ ප්‍රශ්නය ගෑනු පිරිමිකම  මුල්කොට ගත් සයිබර් ප්‍රචණ්ඩත්වයට බලපාන ලෙස මූලිකවම පෙනෙන්නට නොතිබෙන නමුත්, ඍජුව ම දායක වෙන ප්‍රශ්නයක්. එය වෙනස් කිරීමට නම් වැඩවසම්  අධ්‍යාපන ක්‍රමය මෙන්ම, යටත් විජිත අධිරාජ්‍යවාදී පාලනය ක්‍රමය ද , යල්පැන ගිය වික්ටෝරියානු නීතිය ද වෙනස් විය යුතු වෙනවා. නමුත් මුලික ම කාරණය අපි, අපි විසින්ම වෙනස් විය යුතු වීමයි. කෙනෙකුට අපහාසකර, වෙස්කොට සළකා, පහත් කොට සළකා, ගරහා, අවමානයට ලක්කර, ප්‍රචණ්ඩත්වයට ලක්කර අපිට ලැබෙන මානසික සුවය ඉතා කෙටිකාලීන ‘ආතල්’ එකක් පමණක් බව අපි, අපි විසින්ම වටහා ගත යුතු වෙනවා. අනුන් පිලිබඳ සොයන්නට මහන්සි වෙනවාට වඩා ‘මම’ කවුද කියා හොයන එක වැදගත් වෙනවා. එතකොට ඔබට සතුටු වෙන්න ‘පොරක්’ වෙන්න ඕනේ නැහැ. පොරක් වෙන්න පොරකන්න ඕනේ නැහැ. පොරක් වෙන්න අනෙකුන් පොරවෙන් කපන්නට ද ඕනේ නැහැ.  ඔබට ‘ඔබ’ ම වෙන්න පුළුවන්.

 

සටහන

ඩෙන්ව මාක්

Social Share: