සයිබරයේ විකිණෙන ”බඩු” හා ”පාවිච්චි” වෙන පිරිමි

2021 අප්‍රේල් 27

අපි සියලු දෙනා හොඳින් අසා ඇත්තේ ‘ඉල්ලුමට අනුව සැපයුම’ නිර්මාණය වෙන බවයි. ‘මේකට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන නිසා සප්ලයි එක වැඩි කළා’ කියා බොහෝ නිෂ්පාදකයන් පවසනවා. මන්ද, සරලවම ගත් කළ පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වැඩි වෙන විට ඒ සඳහා සරිලන සැපයුමක් තිබිය යුතුය. නැත්නම් එම භාණ්ඩයේ හෝ සේවාවේ මිල ඉහළ යනවා. වෙළඳ පොළේ මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. එය සරලම  ආර්ථික න්‍යාය බව, පවතින මතයයි.

සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ දී, සේ ගේ නියමය (Say’s law) හෝ වෙළෙඳ පොළ නීතිය (Law of markets) යනු නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම, වෙනත් නිෂ්පාදනයක් සඳහා හුවමාරු කර ගත හැකි වටිනාකමක් ලබා දීමෙන් ඒ නිෂ්පාදනය සඳහා  සඳහා ඉල්ලුමක්  ඇති කරනවා. එබැවින් නිෂ්පාදනය යනු ඉල්ලුමේ ප්‍රභවයයි. ජීන්-බැප්ටිස්ට් සේ 1803 දී ලියන ලද ‘දේශපාලන ආර්ථිකය පිළිබඳ නිබන්ධනය’ (A Treatise on Political Economy) ට අනුව “නිෂ්පාදනයක් ඉක්මණින් නිර්මාණය වන්නේ නැත, ඒ මොහොතේ සිට, වෙනත් නිෂ්පාදන සඳහා වෙළඳපොළක් එහි වටිනාකමෙන් උපරිම ප්‍රමාණයට ලබා දෙයි.” යනුවෙන් සඳහන්ව තිබෙනවා.

තවද ඔහු පවසන ආකාරයට  “අප සෑම කෙනෙකුම මිලදී ගත හැක්කේ තමාගේම නිෂ්පාදනවලින් පමණි.අපට මිලදී ගත හැකි වටිනාකම අපට නිෂ්පාදනය කළ හැකි වටිනාකමට සමාන බැවින්,  පිරිමින්ට වැඩියෙන් නිෂ්පාදනය කළ හැකි තරමට, ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ගනු ඇත” ලෙස සඳහන් වෙනවා. ‘සැපයුම එහිම  ඉල්ලුමක් ඇති කරයි.’ යන්න සේ ගේ නියමයේ කෙටිම අදහසයි. නමුත් ආර්ථික විද්‍යාවේ බොහෝ විවාධාත්මක කාරණා මේ පිළිබඳව ඇතත් මේ ලිපිය ඒ පිළිබඳව නොවේ.

බල්ලෝ මරලා හරි හම්බ කරන සමාජයක් අපිට තියෙන්නේ කියලා අපි කවුරුත් පාහේ කියනවා. නිෂ්පාදනයක් විකුණා ගන්න ව්‍යාපාරිකයෝ නොකරන දෙයක් නැහැ. එහිදී තමන්  විකුණන භාණ්ඩය හෝ සේවාව පිලිබඳ ප්‍රචාරණයක් ලබා දෙන්න කියන්නේ නැති බොරුවක් නැහැ. නමුත් ඇත්ත කියන ප්‍රචාරණයන් නැත්තෙම නැහැ. විකුණන්නේ භාණ්ඩය හෝ සේවාව වුණාට පාරිභෝගිකයාට එය මිලදී ගන්නට හේතුවක් තියෙන්න ඕනේ. අපි හැමෝටම අතවශ්‍ය දේවල් තියෙනවා. ඒ වගේ අවශ්‍ය දේවල් තියෙනවා. අනවශ්‍යයයි කියලා දේවලුත් තියෙනවා. නමුත් පෞද්ගලිකව කල්පනා කරලා බලන්න. අපි මේ තුනම කිසිම හේතුවක් නැතුව පුරුද්දට මිලදී ගන්නවා. ඒ ඇයි? ඒ අපි ගාව වියදම් කරන්න මුදල් තියෙන නිසා.

පාරිභෝගිකයාට භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න පෙළඹවීමක් වෙළෙඳ ප්‍රචාරණයක් නොහොත් ඇඩ්වර්ටයිසින්වලින් කරනවා. සමහරු ඇඩ්වර්ටයිසින්වලට මාර්කටින් කියලත් කියනවා. නමුත් මේ දෙකම දෙකක්. භාණ්ඩයක් හෝ සේවාවක් මාර්කට් නොහොත් අලෙවිය සඳහා දැමූ පමණින් එය අලෙවි වෙන්නේ  නැහැ. වැඩි අලෙවිය සඳහා වෙළෙඳ ප්‍රචාරණයක් ලබා දෙන්න ඕනේ. ප්‍රචාරණය පාරිභෝගිකයාට දැනෙන්න ඕනේ. නැත්තම් මිලදී ගන්නට පෙළඹවීමක් ඇති වෙන්නේ නැහැ. මේ ප්‍රචාරණය නොයෙකුත් ආකාරයේ වෙන්න පුළුවන්. තමන්ට අත්‍යවශ්‍යයි  කියලා නොදැනෙන දෙයක් නැත්තම් සරලව කිවුවොත් එය පරිභෝජනය කළා කියලා තමන් මැරෙන්නේ නැහැ කියලා දන්නා දෙයකට පෙළඹවීමක් ඇති කරන එක ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි.  භාණ්ඩය වගේම එතැනදී පාරිභෝගිකයාගේ භාවයන්ට නොහොත් emotions වලටත් කතා කරන්න ඕනේ. මේ භාවයන්ට කතා කිරීමේදී හොඳ නරක කියලා දෙයක් නැහැ. එතැනදී අවශ්‍ය වන්නේ පාරිභෝගිකයා මිලදී ගැනීමට පෙළඹ වීමයි. ඒ නිසා හොඳ ප්‍රචාරණය (good publicity) නැත්තම් නරක ප්‍රචාරණය (bad publicity) කියලා දෙයක් නැහැ. බල්ලෝ මරලා හරි මිනිස්සුන්ට හම්බ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි.

සැපයුම විසින් අපිට හේතු දෙනවා එය ඉල්ලන්න. එය නැතුව බැහැ කියන්න. එය භාවිතයෙන් මානසික සතුටක් ලැබෙන බව කියන්න. එය භාවිතයෙන් අපේ ජීවිතය උසස් වෙනවා කියන්න. ඉල්ලුම ඇති කරන්නේ බොහෝ විට සැපයුම මඟින්.

ශ්‍රී ලංකාවේ ගැහැණු ‘බඩු’ වුණේ කොහොමද? කවුද මේ සංකල්පය ඇති කළේ? බඩු පාවිච්චි කරන්නේ කවුද? බඩුවක් මිලදී ගන්න ක්‍රය ශක්තිය ඇත්තේ කාටද? බඩුවක් මිලදී ගන්න වැඩ කළ යුත්තේ කවුද? වෙළෙඳ පොළ මත තීරණය වුණ සමාජයක කය වෙහෙසා වැඩ කරන පිරිමියාට බඩු මිලදී ගන්නා තත්ත්වයකට ඒ සමාජ සංකල්ප ගොඩ නගන්නේ සීමිත බලය හා ධනය සහිත පුරුෂාධිපත්‍යයෙන් ඉන්න පිරිමි. බොහෝ විට මොවුන් ව්‍යාපාරිකයන්. මිනිසුන් පාලනය කරන බලය සහිත රජයන්  මෙහෙයවන්නේ ද, මිනිසුන්ගේ භාවයන් හසුරුවන ආගම් සංස්ථා මෙහෙය වන්නේ ද  මේ සීමිත පුරුෂාධිපත්‍යයෙන් ඉන්න පිරිමි. ඒ මත මුළු සමාජයක් හැඩ ගැස්වෙනවා. බඩුවක් විකුණන්න, බඩුව මිලදී ගත යුතු වටපිටාව සකසන්නේ මේ සීමිත පුරුෂාධිපත්‍යයෙන් යුතු පිරිමි. ඒ නිසා මේ සීමිත පිරිමි කොටස විසින් ‘හම්බ කරනවා’ කියන බහුතර පිරිමි සතුටින් තැබීමට තමන්ගේ භාණ්ඩයේ හෝ සේවාවේ ආදේශකයක් ලෙස විකුණන්නේ ගැහැණුන්ව. කාර් එකක් උඩ, ටයර් එකක් උඩ ගැහැණියෙක් වාඩි කර පෙන්වා කාරය විකුණන්නේ ඒකයි. ගැහැණිය බඩුවක් වෙන්නේ මෙතැනයි. ඉතිහාසයේ සිටම ගැහැණු මිලට විකිණුනේද මෙම ක්‍රය ශක්තිය මතයි. ‘බඩු’ සංකල්පය විකුණා බඩු විකිනෙන්නේ මෙහෙමයි.

ඉල්ලුම හා සැපයුම යන ආර්ථික විද්‍යා ප්‍රවේශය මෙම ලිපියට පාදක කරන ගැනීමට සිදු වුණේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පැමිණෙන්නේ කොතැනින්ද යන්න පහදා දීමටයි. නමුත් මුල සිටම භාණ්ඩය හෝ සේවාව වෙනුවට ගැහැණිය හෝ ගෑනුකම ආදේශනය කිරීමෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනයේ වස්තු බීජය සොයා ගන්නට පුළුවන්. ගෙදර වැඩට ගැහැණිය තබා, පිරිමියාගේ කාය ශක්තිය භාවිතාකර, බිස්නස් කිරීම වෙළෙඳ පොළ ආර්ථිකය සමඟ පැමිණෙන දෙයක්. ඉතිහාසයට ගොස් බැලුවත්  එය එසේමයි. ගැහැණිය කෙතරම් පිරිමියා හා සමානව වැඩ කළද, තවමත් එහි උඩු දුවා ඇත්තේ ගැහැණිය හෝ ගෑනුකම පාවිච්චිය සඳහා ඇති දෙයක් ලෙසයි. මෙය සමාජ සංකල්ප සෑම  තැනකම පවතිනවා. මිලදී ගැනීමේ කාර්යයේ නො වුව ද, පොඩි පිරිමි ළමයාගේ සිට වයස්ගත පිරිමියා දක්වාම  බෝ කර ඇත්තේ මේ සංකල්පයයි.

සමාජ පරිවර්තන තාක්ෂණය මාර්ගයෙන් කොතරම් වුණද, ඒවායේද දුවන්නේ මේ සංකල්පමයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් සයිබර් හිංසනයේද දකින්නට ඇත්තේ මේ කාරනාවමයි. පාවිච්චි කළ හැකි බඩු ලෙස පාසැල් නිල ඇඳුම් අඳින, ළමා සාරි අඳින කුඩා ගැහැණු ළමුන්ගේ සිට නිළියන්, දේශපාලනයේ නියුතු කාන්තාවන් පවා අද සයිබර් අවකාශය තුළ විකිණෙන්නේ මෙහෙමයි. මිලදී සේවය ලබා ගත හැකි ලිංගික ශ්‍රමික කාන්තාවන් පමණක් නොව තමන් ආදරය කරන කාන්තාව පවා අද බඩුවකි. කෑල්ලකි. නමුත් කය භාවිතා කර තම සේවය විකුණා මුදල් උපයන පිරිමියා ‘බඩුවක්’ වෙන්නේ නැහැ.

කිසිඳු නිරුවතක් නොපෙන්වන කාන්තාවන්ගේ ඡායාරුප පවා ලිංගිකකරණය කර සයිබරයේ එහා මෙහා යන්නේ මේ බඩු සංකල්පය නිසාමය. ගැහැණුන් බයිට් කර ආතල් ගන්නේද, උන් ඉන්නේ පාවිච්චිය සඳහා යන බඩු  සංකල්පය නිසාමය. සපයා දී ඇති මෙම බඩු සංකල්ප වැඩි ඉල්ලුමක් සහිතව ඉල්ලන්නට පිරිමින් පොළඹවා ඇත්තේ පුරුෂාධිපත්‍යයෙන් යුතු මේ සීමිත ව්‍යාපාරික  පිරිසයි. ලෝකයෙහි අනෙකුත් රටවල්  කෙතරම් වෙනස් වුවද, ගැහැණියක් නොපෙන්වා භාණ්ඩයක් හෝ සේවාවක් විකුණා ගත නොහැකිය යන මතය තවම ශ්‍රී ලාංකීය වෙළෙඳ ප්‍රජාව ගෙන යනවා. මන්ද ගොඩ නගා තිබෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් වෙනස්කම නිසාම එය තවමත් ලාභදායි වෙන නිසා. උදාහරණයක් ලෙස හිස කඳින් වෙන් කර සූට් කේස් එකක දමා ගිය මිනී මැරුම් සිද්ධිය භාවිතා කර කාර් අලෙවි කරන ආයතනයක් දැන්වීමක් තම ෆේස්බුක් පිටුව තුළ මෑතක පළ කිරීම, ප්‍රසිද්ධ ගායිකාවක් වැනි නිල් චිත්‍රපටි නිළියකගේ වීඩියෝවක් තම සමාජ  මාධ්‍ය ජාල ප්‍රවර්ධනයට යොදා ගැනීම ගන්නට පුළුවන්.

මෙකී සයිබර් හිංසනයන් සිදු කරන්නේ තම ෆේස් බුක් පිටුව, යූ ටියුබ් චැනලය, නිල් චිත්‍රපටි චැනල ග්‍රාහක ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් මුදල් උපයා ගන්නා සීමිත පිරිසක්. නමුත් එයින් සිදුවන්නේ සමාජ ජාල මඟින් මුදල් උපයන්නේ නැති වුවද, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය බොහෝ පිරිමින් හා ඇතැම් ගැහැණුන් බෙදා හැරීමයි. මුල සඳහන් කළ ආකාරයට මෙම අන්තර්ගතයන් තමන්ට අනවශ්‍ය වුවද, ගොඩ නගා ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම්  නිසා බොහෝ පිරිසක් ඒවා භාවිතා කරනවා. කාන්තා පිහිට ආයතනය සිදුකළ සමීක්ෂණයකින් පෙන්වා දෙන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය අනුමත නොකරන පිරිමින්ද, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් සයිබර් හිංසනය සහිත අන්තර්ගතයන් නොහොත් content භාවිතා කර ඇති බවයි.

තවද මෙය භාවිතයට ගනිමින් ඇතැම් කාන්තාවන්ද එය මාර්කට් කර මුදල් උපයා ගන්නවා. මන්ද එහි ඉල්ලුම වැඩි නිසා. මෙම ග්‍රාහක ප්‍රමාණය වැඩි කර මුදල් උපයන සයිබර් හිංසනයන් සිදු කරන්නේ හුදෙක් තනි පුද්ගලයන් පමණක් නොවේ. බොහෝ  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන පවා පුවත් සිරස්තලයේ සිට භාවිතා කරන ඡායාරුපය පවා යොදා ගන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය භාවිතා කරමින්. එය විශේෂයෙන්ම සිදු වන්නේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයට වඩා සයිබර් අවකාශය තුළයි.

සාමාන්‍ය සමාජයේ සේම සයිබර් අවකාශය තුළ ද, ගැහැණිය හෝ ගෑනුකම තමවමත් විකිණෙන බඩුවකි. ගැහැණුන් කොපමණ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වී  ක්‍රය ශක්තියෙන් වැඩි වුණත් ඇයටද විකුණන්නේ එයමයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය බහුතර පිරිමින් පිට පටවා ලාභ උපයන ව්‍යාපාරික පුරුෂාධිපත්‍යයෙන් යුතු පිරිමි පාවිච්චි කරන්නේද මේ  බහුතර පිරිමියා හෝ පුරුෂභාවයයි. සැපයුම පුරුෂාධිපත්‍යයෙන් යුතු පිරිමියාගෙන්. ඉල්ලුම බහුතර සමාජයේ සිටින පිරිමියාගෙන්. විකිණෙන බඩුව ගැහැණියයි. අවසානයේ පුරුෂාධිපත්‍යයෙන් යුතු පිරිමියාගේ භාණ්ඩ හා සේවා ලබා ගැනීමට ‘පාවිච්චි’ වී ඇත්තේ සාමාන්‍ය බහුතර පිරිමියායි. මොවුන් මේ යතාර්ථය වටහා ගන්න තුරු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය සාමාන්‍ය සමාජයේ ද, සයිබරයේ ද, ඉදිරියට එන නව තාක්ෂණ මාධ්‍ය තුළ ද විකිණීමට නියමිතයි.

සටහන – ඩෙන්ව මාක්

Social Share: