Sri Lanka Brief වෙබ් අඩවියේ පළවූ ලිපි තුනක එකතුවකි.
2023 ජූනි 28.
දමිත් චන්දිමාල් විසිනි.
සමලිංගිකත්වය සහ බුදු දහම සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති ලිපි ප්‍රමාණය අල්පයි. පසුගිය සතියේ වෛද්‍ය අජිත් අමරසිංහ මේ සම්බන්ධයෙන් ලිපියක් ලියා තිබුනා. ඒ ලිපියේ හරය සමග මම ද එකඟ වෙන අතරම, යම් කාරණා සම්බන්ධයෙන් මම එකඟ නොවෙන තැන් ද, තව දේවල් එකතු විය යුතු තැන්ද තිබෙන බව මා කල්පනා කළා. මේ ලිපිය ලියන්නට කල්පනා කළේ ඒ කාරණයත් සමග යි.
සමරිසි සහ සමලිංගිකත්වය යනු වෙනස් සංකල්පයන්ය.
සමලිංගික ලිංගික හැසිරීම් යන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ පටන් ගැන්මේ සිටම සෑම ශිෂ්ටාචාරයකම දක්නට ලැබුනු, ශිෂ්ටාචාර ඇතිවීමට පෙර දඩයම් යුගයේ පැවැති ගුහා චිත්රවල පවා දක්නට ලැබුනු හැසිරීම් ය. නමුත් සමලිංගිකත්වය යනුවෙන් මිනිසුන්ගේ ලිංගිකත්වය යම් ස්ත්‍රී පුරුෂ සමාජභාවයකට ඇති ආකර්ෂණය පදනම් කර ගෙන වර්ග කිරීම නූතන අදහසක් වෙනවා. සමලිංගිකත්වය කියා සිංහලයට පරිවර්තනය කරන්නේ ඉංග්‍රීසියෙන් හෝමෝසෙක්ෂුවලිටි කියා හඳුන්වන වචනයයි.
Homosexuality යන වචනය සමග බොහෝ විට ගැබ්වී තිබෙන්නේ ලිංගික දිශානතිය කියන අදහසයි. වැඩිහිටි මනුෂ්‍යයන්ගේ ලිංගිකත්වය බොහෝ විට ස්ත්රීන්ට, පිරිමින්ට, හෝ ඒ දෙපිරිසටම ඇති ලිංගික ආකර්ෂණය මත වර්ග කළ හැකිය යන අදහස සහ, වැඩිහිටියකුගේ එම ලිංගික හැසිරීම් රටාව බොහෝ දුරට ජීවිත කාලය පුරාම නොවෙනස්ව පවතින බව සමලිංගිකත්වය ගැන ඇති නූතන අදහස තුළ තියෙනවා. මේ වචනය බොහෝ විට එල්ජීබීටීඅයිකිවු+ ප්‍රජාවේ අයගෙ අනන්‍යතාවයකට වඩා, මිනිස් ලිංගිකත්වයේ රටාවන් වර්ගීකරණය කරන විද්‍යාවේ භාවිතා වෙන වචනයක් විදියට හඳුනා ගත හැකියි. 1868 දී හන්ගේරියානු මාධ්‍යවේදියකු සහ ලිංගික අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වූ කාල් මරියා කර්ට්බෙනි විසින් මේ වචනය මුලින්ම හඳුන්වා දෙන අතර, ජර්මනියේ ලිංගික අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වූ මැග්නස් හර්ෂ්ෆෙල්ඩ් ඇතුළු ක්‍රියාකාරීන් මේ වචනය වඩා ජනප්‍රිය කිරීමට දායක වෙනවා. කෙසේ වුවත් මෙම වචනය වඩාත් ජනප්‍රිය වන්නේ මනෝ විද්‍යාව කියන සන්දර්භය තුළයි. කෙනෙකුගේ ලිංගික හැසිරීම පමණක් පදනම් කරගෙන පුද්ගලයකු වර්ග කරන නිසා මේ වචනය ගැන සෑහෙන විවේචනයක් කාලයක සිට එල්ජීබීටීඅයිකිවුඒ+ ව්‍යාපාරයට තිබී තිබෙනවා.
Gay යන වචනයෙන් පුද්ගලයන් තමන්ගේ ලිංගික අනන්‍යතාවය විස්තර කළත්, සෘණාත්මක අදහස් අභියෝගයට ලක් කිරීම වැනි විශේෂ කාරණයකට හැර තමන් සමලිංගිකයෙක් (Homosexual) කියා තමන්ගේ ලිංගික අනන්‍යතාවය විස්තර කරන අය විශේෂයෙන්ම වර්තමානයේ ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවලත්, අනෙක් රටවලත් සාපේක්ෂව අඩුයි. සමරිසි කියා කියන වචනය හඳුන්වා දෙන්නේ ඉංග්‍රීසියෙන් Gay යන වචනයේ සිංහල අනුවර්තනයක් ලෙසයි. සමලිංගික අයට කැමැති (රිසි) යන අදහස ගම්‍ය වෙන නිසා සමරිසි සහ සමලිංගික යන වචන දෙක අතර සිංහල භාෂාව තුළ එතරම් වෙනසක් පෙනෙන්නේ නැහැ. Gay යන වචනය සමරිසි පුද්ගලයන්ට යෙදෙන වචනයක් විදියට එල්ජීබීටීඅයිකිවු+ ප්‍රජාවෙන් පිට වචනයක් විදියට ප්‍රසිද්ධ වෙන්නේ ඇමෙරිකාවේ ස්ටෝන්වෝල් කැරැල්ලට පසු කාලයේයි. Gay කියන ඉංග්‍රීසි වචනයේ පැරණි තේරුම තුළ සෙල්ලක්කාර, විනෝදකාමී වැනි තේරුමක් තියෙනවා. ඊට පෙර ලංකාවේ සමරිසි වචනයට සමානව, යුරෝපයේ homophile යන වචනයක් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් පාවිච්චි කර තිබෙනවා.
ස්ටෝන්වෝල් කැරැල්ල කියන්නේ සමලිංගික පුද්ගලයන් නීති විරෝධී යැයි කියමින් ස්ටෝන්වෝල් තානායම නම් සමාජ ශාලාවට එක්රැස්ව සිටි LGBTIQA+ පුද්ගලයන් 1969 ජුනි මාසයේ ඇමෙරිකානු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එයට විරෝධය පළ කරමින් පොලිසිය සමග ඇති කරගත් ගැටුමකින් පසුව, ඒ විරෝධය දින කිහිපයක් පවතින කැරැල්ලක් දක්වා වර්ධනය වීමයි. අද අපි ප්‍රයිඩ් යැයි කියන උත්සවයෙන් සමරන්නේ මේ ස්ටෝන්වෝල් කැරැල්ලයි. එල්ජීබීටීඅයිකිවු+ ලෙස අනන්‍යතා ඇති වීම, සහ එල්ජීබීටීකිවුඅයිඒ+ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬ නැගීම ආරම්භ වෙන්නේ මේ ස්ටෝන්වෝල් කැරැල්ලත් එක්කයි. මා දකින විදියට ස්ටෝන්වෝල් කැරැල්ල වැනි සිද්ධියක් බටහිර සන්දර්භය තුළ සිදු වූවත්, අද වෙන විට ලෝක ඉතිහාසයේ කොටසක් බවට පත් වී තිබෙනවා. ලංකාව ඇතුළුව ලෝකයේ විවිධ සන්දර්භවල සිදු වූ අරගල සහ සටන් සමග ප්‍රයිඩ් උත්සවයට සම්බන්ධකම් කාලයත් සමග ලැබී තිබෙනවා.
එල්ජීබීටීකිවුඅයිඒ+ අනන්‍යතා
එල්ජීබීටීකිවුඅයිඒ+ යනු තනි අනන්‍යතාවයක් නොවේ. අනන්‍යතා සමූහයක එකතුවක්. ලිංගිකත්වය සහ සමාජභාවය (ජෙන්ඩර්) නිසා සමාජයේ අසමාන ලෙස සැලකීමට භාජනය වීම නිසා විවිධ අනන්‍යතා ඇති මේ පුද්ගලයෝ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බොහෝ විට එකට එකතු වී කටයුතු කරනවා. මෙම අනන්‍යතා කිසිසේත්ම සමලිංගිකත්වය යන අදහසට සීමා වන්නේ නැහැ. විශේෂයෙන්ම මෙහිදී කතා වෙන සමාජභාවය (ජෙන්ඩර්) යන වචනය තුළින් අදහස් වෙන්නේ, ගැහැණු, පිරිමි හෝ සංක්‍රාන්ති වීම සම්බන්ධයෙන් සමාජයෙන් නිර්මිත අදහසයි. එය ලිංගිකත්වය නොවේ. සමාජභාව අනන්‍යතාවය සහ සමාජභාව ප්රකාශනය වගේම, ලිංගික ලක්ෂණ කියන දේවල් මේ අනන්‍යතා යටතේ කතා වෙන ප්‍රධාන අදහස්. ඒවා ගැන එකින් එක විස්තරාත්මකව කතා කරන්නට බැරි වුනත්, එල්ජීබීටීකිවුඅයිඒ+ අනන්‍යතා මොනවාදැයි කෙටියෙන් සලකා බලමු.
-
Lesbian – ලෙස්බියන් නොහොත් ස්ත්රීන්ට ලිංගික, රෝමෑන්තිකව, ආධ්‍යාත්මිකව ආකර්ෂණය වෙන තවත් ස්ත්‍රියක්
-
Gay – සමරිසි නොහොත් පිරිමින්ට ලිංගික, රෝමෑන්තිකව, ආධ්‍යාත්මිකව ආකර්ෂණය වෙන තවත් පිරිමියෙක්
-
Bisexual – ද්විලිංගික නොහොත් ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම ලිංගිකව, රෝමෑන්තිකව, ආධ්‍යාත්මිකව ආකර්ෂණය වෙන පුදගලයෙක්
-
Transgender- සංක්‍රාන්ති සමාජභාවී නොහොත් උපතේ දී තමාට පවරන ස්ත්‍රී පුරුෂ සමාජභාවයට වෙනස් සමාජභාවයක් ඇති පුද්ගලයා
-
Queer – කුයර්/ අතික්‍රාන්ත යන්න විෂමලිංගික හෝ සිස්සමාජභාවී නොවන පුද්ගලයන්ට පොදුවේ භාවිතා වෙන වචනයකි. අනන්‍යතාවයක් ලෙස ගත් කළ තමන්ගේ ලිංගිකත්වය හෝ සමාජභාව අනන්‍යතාවය ඉහත එල්ජීබීටී හෝ ගැහැණු/පිරිමි/සංක්රාන්තිසමා
ජභාවී ආදී කාණ්ඩ යටතේ වර්ගීකරණය කළ නොහැකි යැයි, ඒවායේ නිර්වචනවලට හරි හැටි නොගැලපෙන්නේ යැයි, හෝ සමහර විට කාලය හෝ වෙනත් කාරණා සමග වෙනස් වන අනන්‍යතාවයක් ඇතැයි සිතන පුද්ගලයන් මෙයට අයත් වේ. -
Asexual – අලිංගික නොහොත් කිසිම කෙනෙකුට ලිංගිකව ආකර්ෂණය නොවන පුද්ගලයා
-
Intersex අන්තර්ලිංගික නොහොත් ලිංගික අවයව, ජාන හෝ ප්‍රජනක පද්ධතියෙන් ස්ත්‍රී හෝ පුරුෂ ලෙස පැහැදිලිව වෙන් කළ නොහැකි අය
-
+ නොහොත් මේවාට අයත් නොවන තවත් අනන්‍යතා
බුදු දහම සහ සමලිංගික ප්රශ්නය
‘සමලිංගික ප්රශ්නය’ නොහොත් සමලිංගිකත්වය බුදු දහමට අනුකූල ද නැද්ද යන ප්රශ්නය වර්තමාන ප්‍රශ්නයක් මිසක්, බුදු දහම පැවැති කාලයේ තිබුනු ප්‍රශ්නයක් නොවේ. විශේෂයෙන්ම සමලිංගිකත්වය අපරාධයක් කරන නීතියක් පැනවීම වැනි ප්‍රශ්නයක් බුදු දහමට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ.
බුදු දහම තුළින් පැවිද්දන් උත්සාහ කළේ සියලු ලිංගික සම්බන්ධකම් ඇතුළුව ආශාවන්, බැඳීම්වලින් වෙන් වී නිර්වාණය ලබා ගැනීමටයි. බුද්ධ ශාසනය වර්තමානයේ තිබූ අයුරින් අතීතයේ තිබුනේ නැහැ. වර්තමානයේ කතා වෙන ආකාරයට බෞද්ධ අනන්‍යතාවය තිබුනෙත් නැහැ. සංඝයා ධර්මය දේශනා කළේ බෞද්ධ යැයි තමන් හඳුනා ගන්නා පිරිසකට නොවෙයි. බොහෝ විට ඔවුන් අවුරුද්දේ වැඩි කාලයක් ගමින් ගමට සංචාරය කරමින්, ධර්මය දේශනා කළා.
නමුත් මේ මතු වී වර්තමාන ප්‍රශ්නයෙන් බුදු දහමේ වර්තමාන ස්වරූපයට ගැලවීමක් ඇතැයි මා සිතන්නේ නැහැ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
සමලිංගිකත්වය අපරාධ නීති පොතින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පසුගිය අප්‍රේල් මාසය මුලදී පාර්ලිමේන්තුව ඉදිරිපත් වූ අතර, එම යෝජිත පනතට එරෙහිව තිදෙනෙක් විසින් පෙත්සමක් ගොනු කළා. මේ පෙත්සමේ දී ඉදිරිපත් වූ තර්ක අතර එක් තර්කයක් වූයේ මෙම පනත ඉදිරිපත් කිරීම බුදුදහමේ මූලධර්මයන්ට පටහැනි බව, සහ ඒ අනුව බුදු දහම ආරක්ෂා කරන බවට රාජ්‍යයට ඇති වගකීම සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය උල්ලංඝණය වෙන බවයි.මීට විරුද්ධව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයන් මේ කරුණු මතු කළා.
අ) භික්ෂු භික්ෂුනීන් සඳහා වෙනම ආචාර ධර්ම පද්ධතියක් (විනය නීති) තිබෙන අතර, ගිහියන්ට එම ආචාර ධර්ම පද්ධතිය අදාළ වෙන්නේ නැහැ.
ආ) ගිහියන්ගේ චර්යාව කෙසේ විය යුතු දැයි විස්තර කරනු ලබන කිසිදු සූත්‍රයක් විසින් සමලිංගිකත්වය හෙළා දැකීමට ලක් නොකරයි.
ඇ) සියලු ආගම්වල මූලික සිද්ධාන්තයක් වන්නේ සියලු මිනිසුන්ට සාධාරණ හා සමාන ලෙස සැලකීමයි. බුද්ධාගමේ මූලික ඉගැන්වීම් අතරට සියලු මනුෂ්‍යයන් ඉවසීම සහ සමාන ලෙස සැලකීම අයත් වෙනවා. ලිංගික දිශානතිය පදනම් කර ගෙන පුද්ගලයන්ට වෙනස් කොට සලකනු ලැබීම බුද්ධාගම විසින් සිදු කරන්නේ නැහැ.
ආ) කවර ආකාරයේ තර්කයක් සැලකුව ද, සමලිංගිකත්වය නීතියෙන් අපරාධයක් යැයි නොසැලකීම බෞද්ධාගමේ ආරක්ෂාවට හානි කර වෙතැයි පෙත්සම්කරුවන් ප්‍රකාශ කර සිටීම සාහසික වේ.
දෙපාර්ශවයේම කරුණු සලකා බලා උසාවිය විසින් තීරණය කළේ බුදු දහම සමලිංගිකත්වය විරුද්ධ වෙන බවට පෙත්සම්කරුවන් මතු කළ තර්කයට කිසිදු පදනමක් ඇති බව ඔප්පු කිරීම ඔවුන් අසමත් වී ඇති බවයි. .
සමලිංගිකත්වය, ත්‍රිපිටකය සහ බුදු දහම
ත්‍රිපිටකයේ සඳහන් වන නූතන LGBTIQ+ අනන්‍යතාවලට කිට්ටු අතීත අනන්‍යතා
ලිංගිකත්වයට හා සමාජභාවයට අදාළ වෙන අනන්‍යතා ලෝකයේ විවිධ කාලවල, විවිධ සංස්කෘතීන්වල පැවැතී තිබෙනවා. ලංකාවේ නච්චි, ඉන්දියාවේ හිජ්රා, තායිලන්තයේ කතෝයි, පෙරදිග සංස්කෘතීන්වලට පැවැති මෙවැනි අනන්‍යතා ගැන උදාහරණයි. මීට සමාන ලෙසින් බුද්ධ කාලීනව වත්මන් ඉන්දියාව යැයි හඳුන්වන භූමි ප්‍රදේශයේ පැවැති විවිධ රටවල ද විවිධ ලිංගිකත්ව සහ සමාජභාව අනන්‍යතාවයන් පැවැති අතර, ඒවා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒ අනන්‍යතා අතර ප්‍රධානම අනන්‍යතා දෙක වන්නේ පණ්ඩක සහ උභතොබ්‍යඤ්ජනක නම් කාණ්ඩ දෙකයි. වැදගත්ම දෙය මේ අනන්‍යතා මොනවාද යන්නටත් වඩා, ගැහැණු පිරිමි අනන්‍යතා හැරුණු කල තවත් අනන්‍යතා ලෝකයේ ඇති බව බෞද්ධ ත්‍රිපිටකයේ සඳහන් වීම හරහා, වත්මන් ලිංගික සහ සමාජභාව අනන්‍යතා ද භාර ගැනීම සම්බන්ධයෙන් බෞද්ධයාට බෞද්ධ ඉගැන්වීම් හරහා යම් පහසුවක් ඇති වීමයි.
පණ්ඩක අනන්‍යතාවය
පණ්ඩක යන අනන්‍යතාවයට නිසි නිර්වචනයක් ත්‍රිපිටකයේ නැහැ. ක්‍රිව 5 වැනි සියවසේ ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමි විසින් ලියූ අටුවාවල සඳහන් වෙන ආකාරයට කාණ්ඩ 5කට පණ්ඩක වෙන්කරනවා. අනෙකුත් බෞද්ධ අටුවාචාර්යයන් විසින් ලියූ අටුවාවලද පණ්ඩක අර්ථ දැක්වෙන්නේ යම් සුළු වෙනස්කම් ඇතත්, මීට ඉතා සමාන ආකාරයටයි.
-
නපුංසකපණ්ඩක – උපතින්ම ලිංගික අප්‍රාණිකත්වයක් ඇති පුද්ගලයා
-
උසුයපණ්ඩක – අනික් පුද්ගලයන් ලිංගිකව හැසිරෙන ආකාරය නැරඹීමෙන් ලිංගිකව තෘප්තිමත් වෙන පුද්ගලයා
-
පක්ඛපණ්ඩක – චන්ද්‍ර මාසයේ දෙසතියක් ලිංගික අප්‍රාණිකත්වය ඇති, ඉතිරි දෙසතිය එසේ නැති පුද්ගලයා
-
අසිත්තපණ්ඩක – මුඛ සංසර්ගයෙන් ලිංගිකව තෘප්තිමත් වෙන පුද්ගලයා
-
ඔපක්කමිකපණ්ඩක – කිසියම් විශේෂ උපක්‍රමයක් යොදා ගනිමින් ශුක්‍ර මෝචනය කරන පුද්ගලයා
මේ නිර්වචනය ඇත්ත කියා ගත්තොත් පණ්ඩක යන්න කිසිසේත්ම වත්මන් සමලිංගිකත්වයට සමාන වෙන්නේ නැහැ. වෙනත් ලිංගික අපගාමීත්වයන් විදියට පණ්ඩක විස්තර කරන්නට පුළුවන්. නමුත් ත්‍රිපිටකයේ බොහෝ ස්ථානවල ගැහැණු, පිරිමි, සහ පණ්ඩක යනුවෙන් සඳහන් වෙන බැවින්, මෙය ස්ත්‍රී පුරුෂ නොවන තුන්වැනි සමාජභාවයක් ලෙස තේරුම් ගත හැකි බව මගේ මතයයි. ඉන්දීය සන්දර්භය තුළ වර්තමාන හිජ්රා ප්‍රජාවට නෑකම් කියන යම් අතීත ප්‍රජාවක් මේ වචනයෙන් අදහස් වුනාද විය හැකියි.
උභතොබ්‍යඤ්ජනක (උභය ලිංගික)
උභය ලිංගිකයන් යනු ස්ත්‍රී පුරුෂ ලිංගික අවයව දෙකම ඇති පුද්ගලයන්ය. ඉංග්‍රීසියෙන් hermaphrodite යනුවෙන් හැඳින්වෙන්නේ උභය ලිංගිකයන්ය. වත්මන් ලිංගික අනන්‍යතා දෙස බලන විට අන්තර්ලිංගික කාණ්ඩයට අයිති වෙන අයගේ උපකාණ්ඩයක් ලෙස උභය ලිංගිකයන් හඳුනා ගත හැකිය.
බුද්ධඝෝෂ විසින් රචිත අටුවාවල සඳහන් වෙන ආකාරයට මේ අය පුරුෂ උභය ලිංගිකයන් සහ ස්ත්‍රී උභය ලිංගිකයන් ලෙස එකිනෙකාගේ වඩාත් කැපී පෙනෙන ලිංගික අවයවය අනුව නම් කළ හැකිය. ඔහු තවදුරටත් කියන්නේ පුරුෂ උභය ලිංගිකයන්ට ගැබ් ගැනීමේ හැකියාවක් නැති බවත්, අනෙක් ස්ත්‍රීන් ගැබ් ගැන්නවීමට හැකියාවක් ඇති බවත්, ස්ත්‍රී උභය ලිංගිකයන් වෙත තමනුත් ගැබ් ගෙන, අනෙක් ස්ත්‍රීන් ගැබ් ගැන්නවීමේ හැකියාව ද ඇති බවත්ය. .
පැවිද්ද තහනම් වීම
අජිත් අමරසිංහ මහතා සිය ලිපියේ මතු කර ඇති මෙන්ම පණ්ඩක සහ උභතොබ්‍යඤ්ජනක යන අය පමණක් නොව, එම අනන්‍යතා සමග විවිධ ශාරීරික ආබාධ සහ රෝග තිබූ අය, නීතියෙන් දඬුවම් කළ අපරාධකරුවන් මෙලෙස පැවිද්ද තහනම් වූවන්ගේ ලැයිස්තුවට අයිති වෙනවා. මෙය එකල සමාජය සමග ගැටුම් අවම කර ගනිමින් ශාසනය පවත්වා ගෙන යාම සඳහා කළ දෙයක් බවයි පෙනෙන්නේ.
පැවිදි කළත් පැවිදි ජීවිතය සැපිරීමට නොහැකි අය ලෙස 11 දෙනෙකු නම් කර තිබෙනවා. ඒ අතරට පණ්ඩක සහ පසුව කතා කෙරෙන උභතොබ්‍යඤ්ජනක (උභයලිංගික) පුද්ගලයන් ද, ථෙය්‍ය සංවාසක නොහොත් බොරුවට මහණ බව හෝ මාර්ග ඵල ඇති අය ලෙස පෙනී සිටින අය ද, බුදු සසුනේ මෙන්ම ජෛන දහමේ යන දෙකේම පැවිදි වූ අය ද, මනුෂ්‍ය නොවන අය ද, මව් ඝාතකයන් ද, පිය ඝාතකයන් ද, රහත් තෙරවරුන් ඝාතනය කළ අය ද, බුදුන්ගේ ලේ සෙලවීම කළ අය ද, සංඝ භේදය කළ අය ද, භික්ඛුණී දූසක නොහොත් භික්ෂුණියන් අතර දුසිරිත් ඇති කළ අය ද අයත් වෙනවා. මේ එකොළොස් දෙන පැවිද්ද ලැබීමට සම්පූර්ණයෙන් ම නුසුදුසු පුද්ගලයෝ යැයි සැලකෙනවා. ඊට අමතරව ආබාධිතයන්, ලෙඩ රෝග වැළඳුනු අය, රජවරු විසින් දඬුවම්වලට පාත්රකළ අය, ආදී කොටස් 32ක පිරිසක් පැවිදි කිරීම තහනම් කර තිබෙනවා.
ඒ වගේම පණ්ඩකයන් යනු තමන්ගේ ලිංගික ආශාවන් පාලනය කළ නොහැකි අය යැයි මතයක් ගොඩ නැගීමට අදාළ වෙන කතාවක් ද ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මේ අර්ථකථනය ගෙන බැලූ කල පණ්ඩක යනු විවිධ ලිංගික අපගාමිකත්වයන් ඇති පුද්ගලයන් ලෙස අටුවාචාරීන්ගේ අර්ථකථනය සමග අපට බොහෝ දුරට එකඟ විය හැකියි.
බුද්ධඝෝෂ හිමි ජීවත් වෙන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 1000කට වඩා වැඩි කාලයක් ගත වූවාට පසුවය. ඉතින් එවැනි තත්වයක දී එම අටුවාවේ සඳහන් දේවල් විවේචනයකින් තොරව භාර ගත යුතු යැයි මම සිතන්නේ නැහැ.
චක්‍රවර්ති සීහ නාද සූත්‍රයේ මිථ්‍යා ධර්ම
බෞද්ධ සූත්‍රවල ගිහියන්ගේ සමලිංගිකත්වය වරදක් සේ දකින තැනක් නැතැයි යන තර්කය ගෙන ආ විට ඇතැම් බෞද්ධ භික්ෂූන් විසින් මතු කළ කාරණයක් වූයේ චක්‍රවර්ති සීහ නාද සූත්‍රයේ මිච්චා ධම්ම නමින් හැඳින්වෙන්නේ සමලිංගිකත්වය බවත්, එය සමාජයක් පිරිහෙන කාරණයක් ලෙස බුදු දහම විසින් දැක ඇති බවත්ය.
“මහණෙනි, මිනිසුන් අතර පන්සියයක් අවුරුදු ආයු ඇතිවූ කල්හි අධර්ම රාගය, (මවු පිය නැදි මයිල් ආදීවූ අයුතු තන්හි උපදින රාගය) විසම ලෝභය, (බලවත් තණ්හාව) මිථ්යාධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් උපදවන රාගය) යන තුන අතිශයින් පැතිරී ගියේය. මේ අධර්ම තුන අතිශයින්පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂ ද පිරිහිණි. වර්ණය ද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූ ද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූ ද පන්සියයක් අවුරුදු ආයුෂ ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, ඇතැම් කෙනෙක් දෙසිය පණහක් අවුරුදු ආයුෂ ඇත්තෝ ද, ඇතැම් කෙනෙක් දෙසියයක්අවුරුදු ආයුෂ ඇත්තෝ ද වූහ.”
චක්‍රවර්ති සීහනාද සූත්‍රයට අනුව මිනිසුන්ට පරමායුෂ අවුරුදු 80,000ක් තිබුනු අතර, දුප්පතුන්ට ධනය නොදීම, වස්තුව සොරකම් කිරීම, ආයුධ භාවිතා කිරීම, ප්‍රාණඝාතය, බොරුකීම, කේලාම් කීම, පරදාර සේවනය, කාමයේ වරදවා හැසිරීම,පරුෂ වචනය, සම්පප්‍රලාපය, තද ආශාව, ක්‍රෝධය, මිථ්‍යා දෘෂ්ටිය ආදිය නිසා අවුරුදු පන්සියය දක්වා අඩු වූ පසු මිථ්‍යා ධර්මය ඇතුළු අනෙකුත් එවන් සිරිත් පැතිරීම සිදු වීමෙන් මිනිසුන්ගේ ආයුෂ තවදුරටත් අඩු වී තිබෙනවා.
මිච්චා ධම්ම යන සමලිංගික හැසිරීම් යැයි සඳහන් වෙන සටහන ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ වරහන් ඇතුළේයි. එසේ සඳහන් කරන්නේ එය ත්‍රිපිටකයේ සූත්‍රයේ මුල් පිටපතේ කොටසක් නොවන නිසායි. මිච්චා ධම්ම යන්නට මෙහිදී දී ඇති තේරුම උපුටා ගෙන තිබෙන්නේ බුද්ධඝෝෂ විසින් රචිත සුමංගල විලාසිනී නම් අටුව ග්‍රන්ථයේය. බුද්ධඝෝෂ හිමි ජීවත් වෙන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 1000කට වඩා වැඩි කාලයක් ගත වූවාට පසුවය. ඉතින් එවැනි තත්වයක දී එම අටුවාවේ සඳහන් දේවල් විවේචනයකින් තොරව භාර ගත යුතු යැයි මම සිතන්නේ නැහැ.
මෙම සූත්‍රයේ කියවෙන ආකාරයට මෙලෙස අවුරුදු 80,000ක් ජීවත් වූ මිනිසුන් සිටියා යැයි විශ්වාස කළා වුනත්,
-
ඉහත සඳහන් වෙන අනෙකුත් වැරදි ගැන බෞද්ධ ස්ථාවරය කුමක්ද සහ නීති රීති හරහා ඒවා මර්දනය කිරීමට බුදු දහම කටයුතු කරන්නේ ද යන්න අපි මෙහිදී ඇසිය යුතුය
-
ත්‍රිපිටකයේ මිච්චා ධම්ම යන්නෙන් සමලිංගික හැසිරීම් යන්න අදහස් වුනා යැයි සිතීම අතිශයින් දුෂ්කරයි. මෙවැන්නක් ත්‍රිපිටකයේ වෙනත් කිසිම තැනක සඳහන් වන්නේ නැහැ. මෙය බොහෝ දුරට බුද්ධඝෝෂ ජීවත්ව සිටි කාලයේ ඉන්දියාවේ ඇති වෙමින් තිබුනු යම් විපර්යාසයක ප්‍රතිඵලයක් ලෙස පුද්ගලික අර්ථකථනයක් බව මගේ හැඟීමයි.
කුරුධර්ම ජාතකයේ හොඳින්ම කුරුධර්ම (පංචශීලය) ආරක්ෂා කළා යැයි කියන්නේ නගර ශෝභිනියක්. ඒක වුනේ කොහොමද කියලා අපිට පංචශීලය ගැන මවා දී ඇති වික්ටෝරියානු මනසින් තේරුම් ගන්නට ඉතාම අමාරුයි.
බුදු දහම බිහිවූ සමාජ තත්වය සහ අද තත්වයන්
බුදු දහම බිහිව ඇත්තේ ක්‍රිපූ 6 වන සියවසේ පැවැති සමාජ තත්වයන් යටතේයි. එම තත්වයන් වර්තමාන තත්වයන් සහ සමාජ අවශ්‍යතා සමග සැසඳීම ප්‍රවේශමෙන් කළ යුතු එකක් වෙනවා. ඒ කාලයේ පැවැතුනු තත්ව සහ ප්‍රමුඛතා මත පදනම් වෙමින් බුදු දහම් යම් පමණකට මිනිසුන්ගේ අයිතිවාසිකම් නගා සිටුවීමටත් කටයුතු කළා. විශේෂයෙන්ම විවේචනයට ඇති නිදහස, කුල භේදය වැනි කාරණා අභියෝගයට ලක් කිරීම ඒ අතර ප්‍රධානයි.
එසේ වුවත් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් වත්මන් දෘෂ්ටිකෝණයෙන් බලන විට බුදු දහම අතිශයින් පසුගාමීයි. එය සැඟවිය යුතු නැහැ. ඒත් එවකට ඉන්දියාවේ පැවැතුනු අනෙකුත් ආගම් හා බලන කල බුදු දහම සාපේක්ෂව ප්‍රගතශීලී වූ බව කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. නමුත් බුදු දහමට ඒ කාලයේ හැටියට යම් දුරකට පසුගාමී පියවරක් ගැනීමට සිදු වීම යන්නෙන් අදහස් වෙන්නේ නැහැ අපි ඒ ආකාරයටම තවදුරටත් කටයුතු කළ යුතුය කියා. අදහස් ප්රකාශනයේ සහ සිතීමේ, විමසීමේ නිදහස අගයන කාලාම සූත්‍රය වැනි සූත්‍රයකින් සහ බුදු දහමේ අනෙකුත් ඉගැන්වීම්වලින් බෞද්ධයකුට යම් යම් පැතිවලින් බුද්ධ කාලීන සමාජයට වඩා ඉදිරිගාමී විය හැකියි. හැබැයි මේ ඉදිරිගාමී වීම සාපේක්ෂ දෙයක් බව මම යලිත් මතක් කළ යුතුයි.
භික්ෂුනී ශාසනය
ස්ත්රීන්ට බුදු දහමේ පැවිදි වීමට ඉඩ ලැබෙන්නේ ඒ කාලයේ හැටියට ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන්, සමානාත්මතාවය වෙනුවෙන් හඬ නැගූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ඇතුළු ස්ත්‍රීන් නිසයි. පැවිද්ද තුළ ස්ත්‍රීන් එකල පීතෘමූලික සමාජයේ පීඩනයෙන් ලැබූ නිදහස ගැන විශේෂයෙන්ම ථෙරි ගාථා කියෙව්වොත් ඔබට හොඳ අවබෝධයක් ලබා ගත හැකියි. නමුත් භික්ෂුනී ශාසනයට පනවන විවිධ අසාධාරණ විනය නීති එහි ගරා වැටීමට බලපාන්නට ඇති.
ඒ කාලයේ තිබූ සමාජයත් සමග අඩුවෙන්ම ගැටුම් ඇති කර ගෙන, සහාය ලබා ගෙන කටයුතු කිරීමටත්, යම් යම් ප්‍රමුඛතා ඇති කර ගැනීමටත් බුද්ධ ශාසනයට ඉතිහාසය පුරා සිදු වන්නට ඇති. මෙකී කාරණාම බුදු දහම සහ එල්ජීබිටීඅයිකිවුඒ+ ප්‍රජාවේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කිරීමේ දී ද අදාළයි. ලංකාවේ පවතින තත්ව යටතේ යම් යම් සීමාකිරීම් තිබුනත්, අනෙක් ආගම් දෙස මෙන්ම බුදු දහම දෙසත් විචාර බුද්ධියෙන් යුතුව බැලීම බෞද්ධයන් ලෙසත්, පුරවැසියන් ලෙසත් අපිට මෙහිදී වැදගත් වෙනවා. ත්‍රිපිටකයේ යමක් තිබූ පමණින්ම එය නිවැරැදි වන්නේ නැහැ.
මා මේ ලිපියේ කතා නොකළ සමලිංගිකත්වය සහ පංචශීලය ගැන කිව හැක්කේ ද මෙවැනි අදහසක්. මත්පැන් බීම, සතුන් මැරීම නීත්‍යානුකූල රටක, මහජනතාවගේ ධනය එලිපිටම පාහේ හොරාකන දේශපාලනඥයන් සිටින රටක, කාමයෙහි වරදවා හැසිරීම යටතේ සමලිංගිකයන් වැරදි යැයි කියන්නට ත්‍රිපිටකයේ කිසිවක් නැති මුත්, ඒ සඳහා එතැනින් පොටක් පාදා ගැනීමට පුළුවන් වේවි යැයි බලා සිටින බොහෝ අය ඉන්නා රටක අපි ජීවත් වෙන බවයි.
කුරුධර්ම ජාතකයේ හොඳින්ම කුරුධර්ම (පංචශීලය) ආරක්ෂා කළා යැයි කියන්නේ නගර ශෝභිනියක්. ඒක වුනේ කොහොමද කියලා අපිට පංචශීලය ගැන මවා දී ඇති වික්ටෝරියානු මනසින් තේරුම් ගන්නට ඉතාම අමාරුයි.
යටත්විජිතකරණය සහ සමලිංගිත්වය සාපරාධී කිරීම
සමලිංගිකත්වය සාපරාධී කිරීම ගැන යටත්විජිතකරණයේ සෘජු බලපෑමක් තියෙනවා. බටහිර ජාතීන් අප රටට පැමිණෙන්නට පෙර සමලිංගිකත්වය යනු අපරාධ වරදක් යැයි අදහසක් අප රටේ තිබුනේ නැහැ. මෙයට ඉතා හොඳ උදාහරණයක් වන්නේ 1547 වර්ෂයේ දී එවක ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා (viceroy of India) වූ D. João de Castro හට ලංකාවේ සිටි පෘතුගීසින් විසින් ලියන ලිපියයි. මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් චන්ද්‍රා ද සිල්වා සංස්කරණය කළ Portuguese Encounters with Sri Lanka and the Maldives: Translated Texts from the Age of the Discoveries නම් පොතේ සඳහන් වෙනවා.
“කෝට්ටේ රාජධානියේ සොදොමි පාපය ඉතා තදබල ලෙස පැතිර ගොස් ඇති අතර, අපට මෙහි ජීවත් වීමට පවා බයංකර තත්වයක් මේ නිසා ඇති වී ඇත. එවැනි නරක පාපී ක්‍රියාවක් ගැන ලැජ්ජා නොවන්නේ මන්දැයි අප රාජධානියේ ප්‍රධානියකුගෙන් ඇසූ විට ඔහු අපට පිළිතුරු දුන්නේ තමන්ගේ රජතුමා කරන සියල්ලම ඔවුන් ද කරන බවත්, එය තමන්ගේ සම්ප්රදාය බවත්ය.”
සොදොමි යනු ඒ කාලයේ සමලිංගිකත්වය ඇතුළුව බයිබලයට අනුව සදාචාරයට විරුද්ධ යැයි ඔවුන් සිතූ සියලු ලිංගික හැසිරීම් හැඳින්වීමට යොදා ගත් වචනයකි. සොදොමි යන්න වර්තමානයේ යෙදෙන්නේ සමලිංගික ලිංගික හැසිරීම් පාපයක් යැයි හඳුන්වන ක්‍රිස්තියානි යෙදුමක් විදියටයි. කෙසේ වුවත්, ලංකාවේ එවක පැවැති ලිංගික නිදහස නිසා බටහිර ජාතීන් තදබල කම්පනයකට ලක් වූ බවට මෙය ඉතා හොඳ උදාහරණයක් සපයනවා.
ඒ කාලයේ සමලිංගික හැසිරීම්වල යෙදුනු අයට එරෙහිව ලංකාව පාලනය කළ බටහිර ජාතීන් විසින් මරණ දඬුවම සහ බරපතල දඬුවම් නියම කළා. බටහිර චින්තනයට අනුව මෙය බරපතල වරදක් සහ ලැජ්ජාවක් වුවත්, එකල ලංකාවේ මිනිස්සුන්ට මෙය එවැන්නක් වූයේ නැහැ. ඔවුන් බොහෝ විට මෙය මනුෂ්‍ය ලිංගිකත්වයේ කොටසක් ලෙස දකින්නට ඇති. ඒ වගේම ඒ ගැන විශේෂ උනන්දුවක් දැක්වූ බවක් කිසිදු ලෙසකින් පෙනෙන්නේ නැහැ.
බ්‍රිතාන්‍ය සදාචාර නීති
ලංකාවේ මිනිස්සුන්ට අද පවතින ලිංගිකත්වය ගැන සදාචාර නීති ඇතුළුව අපරාධ නීතිය මූලික වශයෙන් හඳුන්වා දෙන්නේ ලංකාව යටත් කර ගන්නා බ්‍රිතාන්‍ය පාලකයන් විසිනුයි. දැනටත් ක්‍රියාත්මක වෙන නීති දිහා බැලූ විට, 1841 හඳුන්වා දෙන අයාල ආඥා පනත යටතේ මුලින්ම සමලිංගිකත්වය වරදක් වෙනවා. මෙම නීතිය හඳුන්වා දුන්නා යැයි කියන්නේ බ්‍රිතාන්‍ය වතුවල සේවයට පැමිණි කම්කරුවන් ඒවායෙන් පලායාම වලක්වා ගැනීම සඳහා යැයි කියවෙනවා.
මේ නීතිය යටතේ සමලිංගික ලිංගික හැසිරීම හඳුන්වන්නේ “කාමුක සංසර්ගය” ලෙසයි. බයිබලයේ ඉගැන්වීම් අනුව මිනිසුන් ලිංගික හැසිරීම්වල යෙදිය යුත්තේ ප්‍රජනන කාර්යය සඳහා පමණක් බවත්, ඊට වෙනස් සියලුම ලිංගික ක්‍රියා වැරදි බවත් යන අදහස මේ නීතිය තුළ තිබෙනවා.
අයාල ආඥාපනත යනු
වික්ටෝරියා රැජින විසින් වහල් ක්‍රමය අහෝසි කළ බව කීවත්, එම තත්ව යම් යම් වෙනස් ආකාරවලින් අප රට තුළ පැවැති බවට වඩා හොඳ උදාහරණයක් වන්නේ වතු කම්කරු ප්‍රජාව ඓතිහාසිකව මුහුණ දුන් මෙවැනි තත්වයනුයි. අයාල ආඥාපනත යනු පැහැදිලිවම පොහොසතුන්ට වාසි දායක වෙන සේ දුප්පතුන්, නිවාස නැති අය සිරගත කිරීමට යොදා ගත් පනතකුයි. කෙනෙක් මහපාරේ සිටියත්, නිකරුනේ සිටියා කියා අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන මේ පනත යටතේ තියෙනවා. මෙසේ පලා යන වතුකම්කරුවන් අත්අඩංගුවට ගැනීමට නිර්මාණය මේ නීතිය, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්, ලිංගික ශ්‍රමිකයන් ආදීන් ද අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට ආරම්භයේ සිටම භාවිතා වී තිබෙනවා. සාධාරණ නඩු විභාගයකින් තොරව විවිධ චෝදනා නගා දුප්පතුන් ලංකාවේ පදිංචි බටහිර ජාතිකයන් සිටින නිවාස ආශ්රිත ගැවසීමෙන් වැළැක්වීමට ද, ඔවුනට විරුද්ධව හඬ නැගීම වැළැක්වීමට ද මේ නීතිය භාවිතා වූ බවට එසේම සාක්ෂි තිබෙනවා.
සමලිංගිකත්වය ගැන ප්රශ්නයේ දී වර්තමානයේ දී වඩාත්ම සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ යටතේ සමලිංගිකත්වය අපරාධයක් කිරීමයි. 1883 දී ලංකාවට හඳුන්වා දෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත් කෙරෙනවා. මේ නීතිය යටතේ සමලිංගික ලිංගික හැසිරීම හඳුන්වන්නේ “කාමුක සංසර්ගය” ලෙසයි. බයිබලයේ ඉගැන්වීම් අනුව මිනිසුන් ලිංගික හැසිරීම්වල යෙදිය යුත්තේ ප්‍රජනන කාර්යය සඳහා පමණක් බවත්, ඊට වෙනස් සියලුම ලිංගික ක්‍රියා වැරදි බවත් යන අදහස මේ නීතිය තුළ තිබෙනවා. මේ නීතිය බ්‍රිතාන්‍යයට ලංකාවට පමණක් හඳුන්වා දුන් නීතියක් නොවේ. ආසියාවේ සහ අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත ගණනාවකට මේ නීතිය එකම වචන පාවිච්චි කරමින් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් හඳුන්වා දෙන අතර, ඒවා අදටත් එම රටවලින් ඇතැම් ඒවායේ පවතිනවා. ඒවා ලංකාවේ මෙන්ම දේශීය සංස්කෘතිය යන ලේබල් අලවා ගෙන පෙනී සිටින අතර, මේ නීතිවල පවතින යටත්විජිත ස්වරූපය ගැන සාකච්ඡාව එතරම් ජනප්‍රිය එකක් නොවෙයි.
යටත් විජිතකරණය සහ සමලිංගිකත්වය අපරාධකරණය විවිධ රටවල සිදු වූ ආකාරය ගැන බැලීමට දේදුනු සංවාද විසින් පළ කළ මේ වීඩියෝව බලන්න. https://www.facebook.com/
බටහිර සහ පෙරදිග දෙබෙදුමෙන් ඔබ්බට සිතන්න.
බටහිර යනු කුමක්ද? පෙරදිග යනු කුමක්ද? අජිත් අමරසිංහ ලියූ ලිපිය තුල මේ දෙබෙදුමට සෑහෙන වැදගත්කමක් දී තිබුනා. අපි ජීවත් වන ගෝලීයකරණය වූ ලෝකයේ මෙවැනි දෙබෙදුමක් හරහා කාරණා විස්තර කිරීමට යාම ජාතිවාදීන් වැටෙන වලේම අප වෙන විදියකට වැටීමක් බව මට හිතෙනවා.
මීට සියවසකට පෙර බටහිර තිබූ වටිනාකම් අද වෙන විට අප වැනි රටවල දේශීය වටිනාකම් සහ සංස්කෘතිය නම් සළු පිළි පොරවා ගෙන අප ඉදිරියේ පෙනී සිටිනවා. සමලිංගිකත්වය ගැන ඇති වර්තමාන ලංකාවේ ආකල්ප සහ වසර වසර සියයකට හෝ ඊට පෙර බටහිර මානසිකත්වය සසඳා බැලීම කළහොත් මගේ අදහස වන්නේ දැන් අතීත බටහිර ජීවත් වෙන්නේ පෙරදිග මිනිසුන්ගේ මනස තුළ බවයි.
බටහිර යන අදහසත්, කාලය සමග, විවිධ කලාප සමග, විවිධ පුද්ගලයන් සමග, බලය ක්‍රියාකරන ආකාරය අනුව වෙනස් වෙන අදහසක්. පෙරදිග යන්නත් එහෙමයි. පෙරදිග ලංකාව, චීනය, ඉන්දියාව, තායිලන්තය, ජපානය වැනි රටවල් කිහිපයක් ගත්තත්, ලංකාව ඇතුළත යාපනය, මහනුවර, කොළඹ වැනි ප්‍රදේශ තුනක් ගත්තත් මේවා අදහස් අනුව, නියෝජනය අනුව, කොයි තරම් වෙනස් වන්නේද යන්න මා කිව යුතු නැහැ. බටහිර-නැගෙනහිර, ගැහැණු-පිරිමි, විෂමලිංගික-ද්විලිංගික, ආණ්ඩුපක්ෂය-විපක්ෂය, දේශප්‍රේමී-දේශද්‍රෝහී වැනි එකිනෙකට පසමිතුරු විශාල කාණ්ඩ තුළට දේවල් වර්ග කරද්දී අප පරිස්සම් විය යුතුයි.
(1) සමහර විටක මේවා එකිනෙකින් ඒ තරම් වෙනස් නැහැ.
(2) අපිට පුංචි පුංචි විස්තර සහ විවිධත්වය නොපෙනෙන තරමට ලොකු කාණ්ඩ තුළට දේවල් වර්ග කිරීම පහසුයි.
මගේ අදහස වෙන්නේ මේවා ගැන දෙකට බෙදා තේරුම් ගන්නට යනවාට වඩා පුළුවන් තරම් නිදහස් ලෙස, සවිචාරී ලෙස සහ අදාළ සන්දර්භයන් පුළුවන් තරම් තේරුම් ගනිමින් මේ කාණ්ඩ දෙස බැලීම වඩා සුදුසු බවයි.
සමලිංගික ප්රශ්නය සහ බල ස්ථරායනය
“සමලිංගික ප්රශ්නය” යනුවෙන් ප්‍රශ්නයක් අද වෙන විට ලංකාවේ නිර්මාණය වී තිබෙන්නේ මේ අප සිටින යටත්විජිතකරණය වූ මානසිකත්වය නිසා මිස, කෙනෙකුගේ පුද්ගලික ජීවිතය සහ ලිංගිකත්වය අපරාධ වරදක් ලෙස දුටු තත්වයක් යටත්විජිතකරණයට පෙර මේ රට අයත් භූමි භාගයේ තිබූ බවට කිසිදු සාක්ෂියක් නැහැ.
යම්තාක් දුරටකට මේ ප්රශ්නය ලංකාවේ ඇති විශාල අවුලේ සෑම කොටසක්ම නියෝජනය වෙන එකක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. ලංකාවේ අයාල ආඥාපනත විසින් දුප්පතුන් ඉලක්ක කළා සේම, ඉන්දියාවේ හිජ්රා ප්‍රජාව සාපරාධී කිරීමට නීති පැනවූවා සේම, මෙම ලිංගික සදාචාර නීතිවල පවතින ස්වභාවය වෙන්නේ සමාජයේ බලය වැඩිපුර ඇති මිනිසුන්ට වඩා මේවායෙන් බලය අඩු අය ඉලක්ක කිරීමට මේවා භාවිතා වීමයි.
උදාහරණයක් ලෙස රනිල් වික්‍රමසිංහ ඇමැතිවරයකු ලෙස අනූගණන්වල කටයුතු කරද්දී රිචඩ් ද සොයිසාගේ ලිංගිකත්වය මත ඔහුගේ මරණය රජයේ වගකීමක් නොවන බව ප්‍රකාශ කිරීමත්, ඉන් වසර ගණනකට පසු බෝලය ඔහුට විරුද්ධ අතට පෙරලීමත් ගත හැකියි.
අයාල ආඥා පනත තිබීම, සමලිංගිකත්වය සාපාරාධී වරදක් බවට පත් කරන නීති පැවතීම හෝ ලිංගිකත්වය ගැන යම් යම් සදාචාර සීමාවන් පැනවීම බොහෝ විට ප්රභූන්ට බලපාන්නේ වෙනස් විදියකටයි.
අජිත් අමරසිංහගේ ලිපියේ ළමා අපයෝජනය සිදු කරන දේශපාලනඥයා ඉන් ගැලවෙන්නේත්, සාමාන්‍ය ගමේ සිටින පුද්ගලයා ගුටි කන්නේත් කෙසේදැයි යන්න තේරුම් ගැනීමේ දී ඔහුට මග හැරෙන කාරණය වෙන්නේ ඒ දෙදෙනා බල ස්ථාරයනයේ සිටින්නේ කොතන ද යන්නයි. ප්රභූන්ට මේ ප්රශ්නය අදාළ වෙනවා නම් අදාළ වෙන්නේ දේශපාලන ප්‍රහාර විදියටයි. ඒ දේශපාලන ප්‍රහාර ද සමහර වෙලාවට පාලක ප්‍රභූ පන්තිය වශයෙන් සැලකූ කල යම් කාලයක කෙනෙකුට අසාධාරණ යැයි පෙනුනාට පොදුවේ ඔවුනට තවත් කාලයක දී යම් ප්‍රයෝජන සලසන අවස්ථා තියෙනවා.
රිචඩ් ද සොයිසා ඝාතනය ඔහු සමලිගිකයෙකුයැයි කියා සාධාරණය කළ
උදාහරණයක් ලෙස රනිල් වික්‍රමසිංහ ඇමැතිවරයකු ලෙස අනූගණන්වල කටයුතු කරද්දී රිචඩ් ද සොයිසාගේ ලිංගිකත්වය මත ඔහුගේ මරණය රජයේ වගකීමක් නොවන බව ප්‍රකාශ කිරීමත්, ඉන් වසර ගණනකට පසු බෝලය ඔහුට විරුද්ධ අතට පෙරලීමත් ගත හැකියි. මෙවැනි තත්වයන් නඩත්තු කිරීම හරහා ප්‍රධාන වශයෙන් රටේ ඇති විවිධ අනෙකුත් ගැටළු මග හැරීමට මේවා යොදා ගැනීමට දූෂිත පාලකයන්ට අවස්ථාවක් ලැබෙනවා. මේ තුළින් විශේෂයෙන්ම කොන් වූ ප්‍රජාවන්ට එරෙහි යම් යම් අසාධාරණයන් දිගින් දිගටම පැවැතීම නඩත්තු කරන බව මගේ අදහසයි. මේ ආකාරයට බැලුවම ඇත්තටම එකී ප්‍රහාරවලින් ද ගොඩ නගන කතිකාවෙන් තැලෙන්නේ ඇත්තටම පාලක ප්‍රභූන් නොව සාමාන්‍ය මිනිස්සුයි. එනම් එහිදී වැඩියෙන්ම කරදරවලට පාත්‍ර වෙන්නේ බල ස්ථාරයනයේ පහල සිටින අයයි. නැතහොත් මිටි තැනින් වතුර බැසීමයි.
එල්ජීබීටීඅයිකිවුඒ+ ප්‍රජාව සම්බන්ධයෙන් වගේම ලංකාවේ බොහෝ දේවල් ගත්තත් තත්වය එසේමයි. සමලිංගිකත්වය පවා යම් දේශපාලනඥයකුට හෝ දේශපාලන පක්ෂයකට එරෙහි කාරණයක්ය යනු පටු ස්ථානයට ලඝු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් පුළුල් සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඇති ඉඩකඩ තවත් ඇහිරෙන අතර, බොහෝ විට මෙකී සිද්ධිවලට කිසිදු සම්බන්ධයක් නැති අය අත්අඩංගුවට පත් වීම වදහිංසාවලට පත්වීම තවදුරටත් වැඩි වෙනවා. මේ කාරණා තේරුම් ගැනීමට එල්ජීබීටීඅයිකිවුඒ+ අනන්‍යතා හෝ සුළුතර වාර්ගික ආගමික අනන්‍යතා සමග රාජ්‍යයේ බලය ක්‍රියාත්මක වෙන ස්වරූපය ද තේරුම් ගත යුතු බව මගේ හැඟීමයි.
ළමා ලිංගික අපයෝජනය කාමයේ වරදවා හැසිරීමකි. සමලිංගිකත්වය එසේ නැත.
අජිත් අමරසිංහ මහතා ද මේ කාරණය පැහැදිලිව ඔහුගේ පළමු ලිපිවල සඳහන් කරන නමුත්, අවසන් ලිපියේ උදාහරණවලට එන විට මේ කාරණය යම් සෙයකින් ඔහුගෙන් ගිලිහී යනවා. සමලිංගිකත්වය යනු එකම ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාවයකට අයිති වෙන වැඩිහිටියන් දෙදෙනෙකු අතර කැමැත්තෙන් සිදු වෙන ලිංගික ක්‍රියායි.
ළමයින් කෙරේ ලිංගික ආශාවක් ඇති වීම වෙනම කාරණයක් වෙන අතර, ළමා ලිංගික අපයෝජකයෝ සමලිංගික, විෂමලිංගික වෙනසක් නැතිව සිටිනවා. බොහෝ වෙලාවට ළමා ලිංගික අපයෝජනය සිදු කරන්නේ දරුවාගේ පවුලේම සාමාජිකයන්, නෑදෑයන් හෝ දන්නා හඳුනන අය විසින් වීම මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.
මේ කාරණයේ දී ද ළමයා සහ වැඩිහිටියා අතර පවතින බල ස්ථරායණය තේරුම් ගැනීම වැදගත් වෙනවා. බෞද්ධ අර්ථයෙන් කිව්වොත් ළමා ලිංගික අපයෝජනය කියන්නේ කාමයේ වරදවා හැසිරීමක් වෙනවා. එසේ වුවත් සමලිංගිකත්වය කියන්නේ කැමැත්තෙන් වැඩිහිටියන් අතර සිදුවෙන කිසිවකුට හානියක් නැති ලිංගික ක්‍රියාවක් නිසා එයින් කාමයේ වරදවා හැසිරීමක් බෞද්ධ අර්ථයෙන් සිදු වන්නේ නැහැ. මේ ගැන මා පෙර ලිපියේ පැහැදිලි කිරීමක් සිදු කළා.
ශ්‍රී ලාංකීය සංස්කෘතිය මොඩ් කිරීම නැවැතිය හැකිද?
මොඩ් වීම යන ඉංග්‍රීසියෙන් එන සිංහල වචනයට සම්බන්ධ වෙතැයි සිතිය හැකි ඉංග්‍රීසි වචන දෙකක් තිබෙනවා. මෙයින් බොහෝ විට ගම්‍ය වෙන අදහස වන්නේ නූතනකරණය (modernization) යි. එනම් යම් සමාජයක් තමන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට හැඩ ගැසීම, ඒ සඳහා අලුත් තාක්ෂණයන් සොයා ගැනීම, වෙන සංස්කෘතීන්වලින් උකහා ගැනීම සහ ඒ ආශ්‍රිතව සිදුවන කාලානුරූප සංස්කෘතික පරිණාමයයි. දෙවැන්න වන්නේ නූතනවාදය (modernism) යි. නූතනවාදය කියන්නේ 18 වැනි සියවසේ යුරෝපයේ කාර්මික විප්ලවයෙන් පසු බිහිවී, විශේෂයෙන්ම 20 වැනි සියවසේ දී තවදුරටත් පැතිර යන ගෝලීය රැල්ලක්. නූතනවාදය ගෝලීයකරණය වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ යටත්විජිතකරණයයි. ආසියාවේ සහ අප්‍රිකානු රටවල මිනිසුන්ට යුරෝපීයයන්ගේ සදාචාරය, සංස්කෘතිය වැනි අදහස් පැටවීමට උත්සාහ කිරීම, ඒ හරහා එම රටවල අයට යම් සේවයක් කරනවා යැයි සිතමින්, ඔවුන් වැඩවසම් සමාජ ක්‍රමවලින් නිදහස් කර ගන්නවා යැයි සිතමින් යුරෝපීය වටිනාකම් ඔවුන් මත පැටවීම නූතනකරණය හරහා සිදු වෙනවා. ලංකාව, ඉන්දියාව වැනි රටවලදී යුරෝපීය නූතනවාදීන්ට මුහුණ පෑමට වූ අර්බුදය වුනේ අප්‍රිකාවේ රටවල්වල මෙන් නොව, අවුරුදු දහස් ගණනක් පැරණි සාපේක්ෂව යුරෝපයේ මෙන්ම දියුණු ශිෂ්ටාචාරයක් සහ බුද්ධිමය උරුමයක් මේ රටවල්වල තිබීමයි.
මෙතන දී මතු කළ යුතු අනික් කාරණය වන්නේ ඕනෑම සංස්කෘතියක් එක තැන තිබෙන්නේ නොතිබෙන බවයි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බව (අනිත්‍ය බව), වෙනස් වෙන සුළු බව (අනාත්ම බව), දේවල් වෙනස් වන බව තේරුම් නොගැනීම, වෙනස් වෙන යථාර්ථයන් භාර ගැනීමට නොහැකි බව දුක ඇති කරන බවත් බෞද්ධ ඉගැන්වීමයි. සිංහල සංස්කෘතිය හෝ වේවා, ගැමි සංස්කෘතිය හෝ වේවා, බටහිර සංස්කෘතිය හෝ වේවා, පෙරදිග සංස්කෘතිය හෝ වේවා, මේවා එක තැනක තිබේ යැයි අප කිසිසේත්ම බලාපොරොත්තු තබා ගැනීමේ ප්‍රයෝජනයක් නැහැ. අනෙක් බොහෝ දේවල් ගැන මෙන්ම, සංස්කෘතියක් සම්බන්ධයෙන් ද වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි. සංස්කෘතිය අතීතයේ ද වෙනස් වී තිබෙන අතර ඉදිරියේ දීද දිගටම වෙනස් වෙනවා.
අතීතයට යන්න බැහැ
හැබැයි ඒ වෙනස් වීම් තේරුම් ගැනීම, ඒවාට බල පෑ සාධක තේරුම් ගැනීම, සහ යම් යම් සිදුවීම් ඒවා සිදුවන සංස්කෘතික වටපිටාවේ කාරණා සමග තේරුම් ගැනීම ද ඉතා වැදගත් වෙනවා. බුද්ධ කාලීන සමාජය වර්තමාන මිනුම් දඬුවලින් තේරුම් ගැනීමේ විශාල හිදැස් ගණනාවක් තිබෙන බව මම වරින් වර මතු කළේත්, ඒ ගැන විවිධ ලෙසින් සැලකිලිමත් වුනේත් ඒ නිසායි. ඕනෑම සංස්කෘතියක එහි හොඳ සහ නරක දෙකම තියෙන අතර, අපිට නැවත අතීතයට යාමට හැකියාවක් නැහැ. අපිට කළ හැකි දේ වන්නේ වර්තමානය සමග ගනුදෙනු කිරීමම මිසක් අනෙකක් නොවෙයි. එහිදී අතීතය ෆැන්ටසිකරණය කර තේරුමක් නැහැ.
එසේ වුවත් අජිත් අමරසිංහ සිය ලිපියේ මතු කරනවා සේම මේ නූතනවාදී ක්‍රියාදාමය අද වෙන විට අප සමාජයේ අවුල් ගණනාවකට දායක වී තිබෙනවා. අපගේ අධ්‍යාපන ක්‍රමය ඇතුළුව, අපි සිතන පතන ආකාරය ඇතුළුව වර්තමානයේ ඇති ව ඇති ප්‍රශ්න ගණනාවකට යුරෝපීයයන්ගේ නූතනකරණ ක්රියාදාමයේ අවුල් යම් යම් විදියට අපේ සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබෙනවා.
1876 – වෙප්ස් කුමරුගේ ලංකා සංචාරය දක්වන සිතුවමක් – wikimedia
යටත්විජිතකරණය වූ මනසින් මිදීම සහ බෞද්ධකම
මේ ලිපියේ දී දීර්ඝව කතා කිරීමට නොයන නමුත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, ලිංගික අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සදාචාරය වැනි දේවල් ගැන අපේ රටේ යටත්විජිත නිදහස් සටනේ නායකයන්ගේ අදහස් යටත්විජිත පාලකයන්ගේ අදහස්වලින් ලොකුවට වෙනස් වූයේ නැහැ. ඒ අදහස් අදටත් බහුතරයක් අපේ ලාංකිකකයන්ගෙන් වෙනස් වී ඇත්තෙත් නැහැ. මේ ආකාරයට බැලුවම පේන්නේ දැන් ලංකාව නම් පෙර ‘බටහිර’ යටත්විජිතයේ සිටින්නේ ඔවුන්ගේ ‘බටහිර’ වික්ටෝරියානු පාලකයන්ගේ සැබෑ සුජාත දරුවන් බවයි. ‘බටහිර’ යන අනන්‍යතාවය අපගේ මනස්වල ඇතැම් විට ‘දේශීයබව’ සමග දළුලා වැඩී තිබෙනවා. මේ කාරණා සවිචාරී විදියට බලද්දී මට හිතෙන්නේ ‘බටහිර’ යන්න ‘බටහිර’ තියෙන දෙයක් නොව අප ඇතුළේ තියෙන දෙයක් බවයි.
යටත්විජිතකරණය වූ අධ්‍යාපන ක්‍රමයක්, විවිධ ක්‍රමවලින් නිදහස් අදහස් මර්දනය කරන, මිනිසුන් නිශ්ශබ්ද පාලන ක්‍රමයක් අපට උරුම වී තිබෙනවා. වත්මන් තත්වයන් ඇතුළුව බොහෝ දේ ගැන විවේචනය කරන්නට, නිදහසේ කතා කරන්නට අපිට නිදහසක් නැහැ. ආර්ථික සහ ශ්‍රම සුරා කෑම වෙනස් විදියකින් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම බැලුවම මේ තත්ව යටත්විජිතකරණය වූ තත්වවලින් බහුතරයකගේ ජීවන යථාර්ථයන් වෙනස් වී නැහැ.එවැනි තත්වයක් තුළ බෙදුනු වෙන්වුනු ජාතියට පණ පොවන්නට ඉතුරුවන්නේ ජාතිය, ආගම, පිරිමිකම ගැන ඇති කැක්කුම්වලින් වීම, එහෙම නැත්නම් සමලිංගිකත්වයට එරෙහි සටන හරහා වීම අසාමාන්‍ය තත්වයක් නොවෙයි. මේ අතරම බුදුදහම ඇතුළුව, යම් යම් දේශීය සංස්කෘතියේ දේවල් ෆැන්ටසිකරණය කර අපේ එදිනෙදා ජීවන යථාර්ථවලින් යම් දුරකින් තැබීමත් සිදු වෙනවා. මේ හරහා ලංකාවේ බොහෝ දෙනෙකුගේ අයිතිවාසිකම් කඩ වෙන අසාධාරණයක් සිදුවන ක්‍රමයක් නඩත්තු වෙන බව අපි ඒ අතරම තේරුම් ගත යුතුයි.

යටත් විජිතකරණය වූ මනස – globalsouthcolloquy
මෙකී සන්දර්භය සමග බලන විට, සමලිංගිකත්වය වැනි මාතෘකා ගැන යම් සාකච්ඡාවක් හෝ දැනුමක් බෞද්ධයන් අතර ඇති කිරීමට නම් ලංකාවේ බුදු දහම අදහස් ප්රකාශනයට, විචාරයට ඉඩ දෙන අවකාශයක් ලෙස වර්ධනය වීමේ අවශ්‍යතාව තදබල ලෙස තියෙනවා. මෙය හුදෙක් සමලිංගික ගැටළුවක යම් ප්‍රජාවක ගැටළුවක් ලෙස, පුළුල් සමාජ ගැටළුවක් ලෙස ද අපි හඳුනා ගත යුතුයි. බුදු දහම යටත්විජිතකරණයෙන් ගලවා ගැනීම යන්නට ‘බටහිර’ යටත්විජිතකරණය පමණක් නොව බුදු දහම යම් කාලයක පැවතීමට බලපෑ ‘පෙරදිග’ යටත්විජිතකරණය ගැන ද එක සේ විවේචනශීලී වීම වැදගත් බව මම හිතනවා. බුදු දහමට අපට මෙහිදී දිය හැකි ලොකුම දායාදයක් වන්නේ ද විචාර බුද්ධිය බව මගේ හැඟීමයි.
කාලාමයෙනි!
“කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැනම තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැයි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්කග්රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් කුසල්ය, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව. ”
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව (පිටුව 336), සූත්‍ර පිටකය , අංගුත්තර නිකාය 01, තික නිපාතය, දුතිය පණ්ණාසක, මහා වග්ගය, පඤ්චම සූත්‍රය (කාලාම සූත්‍රය))