2023 අගෝස්තු 22.
වින්ද්‍යා විසිනි.
“තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා – සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ. දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ”
ඉහතින් දැක්වූ පුවත්පත් ශීර්ෂය පසුගිය සමයේදී අපේ රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකළ පුවතක් වුණා. ‘දිවයින’ පුවත්පතේ පළකෙරුණු මේ පුවතත් සමග මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය තුළත් දැඩි කතාබහක් ඇතිවුණා. කොහොම වුණත්, මේ පුවත බොරුවක් බව තහවුරු වෙද්දී වෛද්‍ය ෂාෆි වගේම ඔහුගේ පවුලේ පිරිසටත් සිදුවිය යුතු හානිය වී අවසන්. වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් 8000 ක් කළ බවත් මේ පුවත්පතින්ම සඳහන් වුණා. වෛද්‍ය ෂාෆි විසින් වඳ සැත්කම් කළ බව පැවසෙන කාන්තාවන් පිරිසකුත් මේ සමග පෙරට පැමිණියා. මේ පිළිබඳ කෙරුණු විමර්ශන වලින් අනතුරුව වෛද්‍ය ෂාෆිට තමන්ගේ රැකියාව නැවත හිමිවුණත් ෂාෆිගෙන් අසාධාරණයට ලක්වුණු බව පැවසෙන කාන්තාවන් පිරිසට සිදුවුණේ කුමක්ද යන්න ගැන සඳහනක් නම් නැහැ.
කාලෙන් කාලෙට මේ විදියට අභියෝගයට ලක්වෙන අපේ රටේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ක්ෂේත්‍රය සමාජ යහපැවැත්ම වෙනුවෙන් බලධාරීන්ගේ නිසි අවධානයට ලක්වන ක්‍ෂේත්‍රයක් ද යන්න ගැටලුවක්. මේ ලිපිය තුළ සංවාදයට ලක්වන්නේ අද වනවිට ෆේස්බුක් ප්‍රමුඛ සමාජ මාධ්‍ය වේදිකාව තුළ මෙය නිරූපනය වන්නේ කෙසේද යන්නයි.
ප්‍රජනන සෞඛ්‍යය යනු කුමක්ද ?
ප්‍රජනන සෞඛ්‍යය අර්ථදක්වන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසන්නේ, ‘හුදෙක් රෝගාබාධ හෝ බෙලහීනතා වලින් වැළකී සිටීම පමණක් නොව, ප්‍රජනක පද්ධතිය, එහි ක්‍රියාකාරීත්වය සහ එම ක්‍රියාවලිය සම්බන්ධ වූ පූර්ණ කායික, මානසික හා සමාජයීය යහපැවැත්ම’ යන්නයි.
පාසල, සම වයස් මිතුරන්, වෙනත් අධ්‍යාපන පොතපත, රූපවාහිනී හා ගුවන්විදුලි වැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද අද වනවිට ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ කතාබහ කරන වේදිකා වී ඇත. අද වනවිට තහවුරු කළ පුවත් මෙන්ම තහවුරු නොකළ පුවත් ද හුවමාරු වන තැන බවට සමාජ මාධ්‍ය පත්ව ඇත.
නමුත්, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නිකුත් කළ අත්පොතක පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ දක්වා ඇත්තේ මෙලෙසිනි.
නමුත්, මේ අතරින් හෝර්මෝන හෝ හෝර්මෝන නොවන උපත් පාලන ක්‍රම භාවිතය පිළිබඳ විශ්වාසය තබා තිබෙන්නේ කීයෙන් කීදෙනෙක්ද ? යන්න සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අදහස් ඇසුරින් දැකගන්නට හැකියි. පහතින් සාකච්ඡාවට ලක්වන්නේ ඒ පිළිබඳවය.
පොස්ටිනෝ මිත්‍යාව
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද මතය වී තිබෙන්නේ හදිසි ගැබ්ගැනීම් වැළැක්වීමේ ක්‍රමවේදයක් ලෙස පොස්ටිනෝ භාවිත කළහැකි බවයි.
අනාරක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව අනපේක්ෂිත ගැබ් ගැනීම් වැළැක්වීමට
- Levonorgestrel මිලි ග්‍රෑම් 0.75 ක් අඩංගු පෙති පැකැට්ටුවකින් (පොස්ටිනෝර් 2) එක පෙත්තක් භාවිත කර නැවත පැය 12කින් තව පෙත්තක් ගැනීම හෝ පෙති දෙකම එකට ගැනීම.
- පැය 72ක් ඇතුළත සාමාන්‍යයෙන් භාවිත කරන පවුල් සංවිධාන ගිලින පෙති (මිතුරි) පැකැට්ටුවකින් හෝර්මෝන අඩංගු පෙති 4ක් භාවිත කර නැවත පැය 12කින් හෝර්මෝන අඩංගු පෙති 4ක් ගැනීමට නිර්දේශ කර ඇත.
කෙසේවුවත්, පවුල් සංවිධාන සංගමය ද අනතුරු අඟවන්නේ මෙම ක්‍රමය භාවිත කිරීම හදිසි අවස්ථාවකට පමණක් සීමා කළ යුතු බවයි. මෙවැනි ක්‍රමවේද මගින් හෝර්මෝන විශාල ප්‍රමාණයක් එකවර ශරීරගත වන බැවින් මෙම ක්‍රමය නිතර භාවිතයට නුසුදුසු බවයි. කෙසේවුවත්, කිසිදු උපත් පාලන ක්‍රමයක් සියයට සීයක් සාර්ථක නොවේ. මෙම ක්‍රමය සාර්ථක වන්නේ මිසික ඔසප් චක්‍රයේ මුල් අවධියේ එනම් ඩිම්භ පිට වීමට පෙර කාලය තුළ භාවිත කිරීමෙන් පමණි. ඩිම්භය පැලෝපීය නාලයට පැමිණ තිබෙනවානම් හදිසි ගැබ් ගැනීම් වළක්වන පෙති මගින් ගැබ් ගැනීමක් වළකින්නේ නැත.
පොස්ටිනෝ උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිත කිරීමට ද ඇතැම් කාන්තාවන් පෙළඹී ඇති බව කාන්තා සමාජ මාධ්‍ය සමූහ නිරීක්ෂණයේදී දැකගන්නට හැක. කාන්තා සමූහ තුළ ඉස්මතුවෙන සංවාද තුළ දැකගත හැක්කේ පොස්ටිනෝ උපත් පාලන ක්‍රමයක් බවට දැන හැඳිනගෙන සිටින කාන්තාවන් මෙය අඛණ්ඩව පාවිච්චි කිරීමට ද පෙළඹී ඇති බවයි.
කාන්තා ෆේස්බුක් සමූහයක පළවූ එක් පෝස්ටුවකින් එක් කාන්තාවක් විමසා තිබුණේ රැකියාවේ ස්වභාවය නිසා තම ස්වාමියා මසකට වරක් නිවසට එන බැවින් උපත් පාලනයට ගතහැකි ක්‍රමවේදයක් වේද යන්නයි.
‘මගේ හස්බන්ඩ් අවුස්ටේෂන් ඉන්න කාලේ මමත් සති දෙකකට වගේ සැරයක් ගත්තා. ඒ වුණාට ප්‍රෙග්නන්ට් වුණා. VOG ඩොක්ටර් කිව්වේ පොස්ටිනෝ ගත යුත්තේ මාසෙකට වතාවක් විතරයි කියලා.‘
මේ පෝස්ටුවට අදාළව අදහස් එකතු කළ අනෙක් තැනැත්තන් පවසා තිබුණේ පොස්ටිනෝ භාවිත කළ හැකි බවයි. තවත් අයවලුන් පවසා තිබුණේ වෛද්‍යවරයෙකුගෙන් විමසා තමන්ට ගැළපෙන උපත් පාලන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි.
අනෙක් පසින්, සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නේ, අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවිය හැකි බවට සැකයක් පවතී නම් වහාම පොස්ටිනෝ ගතයුතු බවයි. එවැනි හදිසි ගැබ් ගැනීමක් වළක්වන ක්‍රමවේදයක් භාවිත කළහොත් මහමඟ අලුත උපන් බිළිඳුන් දමායන තත්ත්වයක් උරුම නොවන බවට වූ අදහස් ද ෆේස්බුක් මාධ්‍ය තුළ පළවේ.
එවැනි අදහස්අ කිහිපයක්නි පහතින්සි දැක්වේ.
අනාරක්ෂිත ගැබ් ගැනීමක් ගබ්සා කිරීමට අවසර නැති රටක මේ අවිවාහක මව දරුවා බිහි කොට හදා වඩා ගන්නට උත්සහ කොට එය ප්‍රායෝගික නොවූ විට ආරක්ෂිතව තබා ගියේ ආදරේ නිසා නොවේ යැයි කාට නම් කිව හැකිද ?
ලිංගික එකතු වීමකදී කොන්ඩම් භාවිතය හෝ අන් රැකවරණ භාවිතා කිරීම ගැන සමාජය මීට වඩා දැනුම්වත් කළ යුතුයි.
ගැබ් ගැනීම වැළැක්වීම සඳහා වහාම (අඩුම තරමින් පැය 72 ක් ඇතුළත) ගත යුතු පොස්ටිනෝ- 2 (Postinor-2) බේත් පෙති ගැනතරුණියන්ට කියා දිය යුතුයි. ප්‍රසිද්ධ කළ යුතුයි’
ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට ක්‍රමවත් ප්‍රතිසංධිවිරෝධක භාවිත කළ යුතු වන අතර නූතත ප්‍රතිසංධිවිරෝධක පිළිබදව ඇති දැනුවත්භාවය ඉතා සුළු බව පෙනී යයි.
ස්වයං වින්දනය
ස්වයං වින්දනය සම්බන්ධයෙන් ද විවිධ මතවාද පවතියි. සමහරෙකුගේ මතය වී තිබෙන්නේ මෙය පිරිමින්ට පමණක් සීමාවූවක් බවයි. නමුත්, කාන්තා සමූහ තුළ ද ස්වයං වින්දනය සම්බන්ධ මතවාද පළවේ.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ප්‍රකාශනයක් වන ‘මේ තරුණ තරුණියන්ගේ පොතයි’ (https://www.fpasrilanka.org/sites/default/files/mee_trunn_trunniyngee_potyi.pdf ) කෘතියේ ස්වයං වින්දනය පිළිබඳ දැක්වෙන්නේ පහත අන්දමිනි.
ධනාත්මක චින්තනය සම්බන්ධ පිටුවක පළවී තිබුණේ, නිතරම ස්වයං වින්දනය කිරීම ද දුර්වල පිරිමින්ගේ ලක්ෂණයක් බවයි.
ලිංගිකත්වය පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ පැතිර යන දුර්මත සාකච්ඡාවට ලක්වන වේදිකාවක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇත. ‘සිරිකත‘ කාන්තා පුවත්පතේ පළකර තිබුණු වෛද්‍ය ගැටලුවකට පිළිතුරු දෙමින් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු පළකල අදහස් පහතින් දැක්වේ. මෙහිදී 18 හැවිරිදි තරුණියක විමසන්නේ ඇය නොදැනුවත්කමින් ඇගේ ඇඟිල්ලක් යෝනි මාර්ගය තුළට කිහිප වතාවක් ඇතුළත් කළ බවත් මේ සිදුවීමෙන් අනතුරුව තමන්ගේ කන්‍යාභාවය අහිමිවූවාදැයි යන බවට සැකයක් මතුව ඇති බවත්ය.
මෙම මනෝ වෛද්‍යවරයා එම තරුණියට උපදෙස් දෙන්නේ ‘ඔබ කර ඇත්තේ ඔබේ වයසට ඔබින දෙයක් නොවේ‘ යනුවෙනි. මෙවැනි ව්‍යාජ ප්‍රකාශ සාකච්ඡාවට ලක්වන තැනක් බවට ද ෆේස්බුක් මාධ්‍ය පත්ව ඇත.
කෙසේවුවත්, ස්වයං වින්දනය පිළිබඳ කාන්තා සමූහ තුළ ද සාකච්ඡා සිදුවේ. ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්වූ සමූහයක විමසා තිබුණේ ගැබිණි මවක් ස්වයං වින්දනය කිරීම සුදුසුද ? යන්නයි.
‘ගැබිණි මවක් ස්වයං වින්දනය කිරීම සුදුසුද ?. ගර්භණී සියලුම කාන්තාවන් වෙනුවෙන්‘ මීට අදහස් එක්කර තිබුණු වෛද්‍යවරයෙකු පවසා තිබුණේ එය සුදුසු බවයි.
| “සැබවින්ම ස්වයං වින්දනය, චිත්තවේගී සහ ශාරීරික යන දෙආකාරයෙන්ම සෞඛ්‍යමත් හැසිරීමකි. එමෙන්ම, එය ඔබට සිදු කළ හැකි ආරක්ෂිතම ලිංගික හැසිරීමයි. මන්ද, ස්වයං වින්දනයේදී ගැබ් ගැනීම හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පිළිබද කිසිම අවදානමක් නැති නිසාය.
ඔබ සුරතාන්තයට පත් වන විට, ඔබට සතුටක් දනවන එන්ඩෝෆින් නැමති හෝමෝන ස්නායු පද්ධතිය මගින් මුදා හැරේ. ස්වයං වින්දනයේදීද ඔබට සුරතාන්තයට පත් වී සතුටු හැඟීම කරා ළඟා විය හැකියි. ස්වයං වින්දනයේ වාසි රැසක් ඇති බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. ලිංගික ආතතිය දුරු කිරීම, මානසික පීඩනය අවම කිරීම, සුව නින්දක් සඳහා මග පෑදීම, ආත්ම අභිමානය සහ ශරීරය පිළිබද විශ්වාසයක් ගොඩනැගීම මෙන්ම උකුලේ සහ ගුදය ආශ්‍රිත මාංශ පේෂීන් ශක්තිමක් කිරීම ඒ අතර වේ.” Planned Parenthood ස්ත්‍රීන් සුරතාන්තයට පත් වීමේදී උකුළ ප්‍රදේශයේ ඇති මාංශ පේෂීන් සංකේචනය වන නිසා ඒවායේ ශක්තිමක්භාවය ඉහළ යයි. ඒ මගින් ස්ත්‍රීන්ට ඉබේ මුත්‍රා පිට වීම වළක්වා ගැනීමට හැකි වන බවත් මුත්‍රාශය හොදින් පාලනය කළ හැකි බවත් මානව සෞඛ්‍ය සහ යහපැවැත්මට අදාළ ප්‍රවෘත්ති සහ තොරතුරු ඇතුළත් webmd.com වෙබ් අඩවිය පෙන්වා දෙයි. ඔසප් කාලය තුළ ලිංගික ඇසුර සහ සුරතාන්තය එන්ඩෝමෙට්‍රයෝසිස් රෝග තත්ත්වයට පත්වීමේ අවදානම පහත හෙළන බව යේල් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. යෝනි මාර්ග උත්තේජනය හරහා නිදන්ගත කොන්දේ සහ දෙපා වේදනාව අවම කළ හැකි බව නිව් ජර්සි රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බැරී ආර් කොමිසාරුක් පෙන්වා දෙයි. ඔහු විසින් සිදු කළ අධ්‍යයනකදී සොයා ගෙන ඇත්තේ ස්වයං යෝනි ප්‍රදේශය උත්තේජනය කිරීම මගින් වේදනාව විඳ ගැනීමට ඇති හැකියාව (pain threshold) 40.3% කින් ඉහළ ගිය බවයි. |
සිරුරේ අංග සම්බන්ධයෙන් පවතින විවිධ මත (ලිංගික අවයව / පියයුරු / පුරුෂ ලිංගය) විශාල කරගැනීම
සිරුරේ පවතින අංග විශාල හෝ කුඩා කරගැනීම පිළිබඳ ද විවිධ මත පවතියි. ලිංගික අවයව කුඩා හෝ විශාල කරන රූපලාවණ්‍ය හෝ සෞඛ්‍ය ආයතන පිළිබඳ තොරතුරු ද අද වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම සිදුවෙයි. සිය ලිංගික ආකර්ශණය වර්ධනය කරගැනීමේ ක්‍රමෝපායක් ලෙස පියයුරු, තට්ටම් විශාල කරගැනීමට ද නැඹුරුතාවක් ඇත.
පහතින් දැක්වෙන්නේ එලෙස අවයව කුඩා හෝ විශාල කරන ආයතනයන්හි ෆේස්බුක් මාධ්‍ය අන්තර්ගතය.
අද වනවිට මෙම ආයතන සිය සමාජ මාධ්‍ය ජාල හරහා ඔවුන්ගේ සේවාවන් පිළිබඳ දැනුවත කරමින් අලුත් පාරිභෝගිකයින් ග්‍රහණය කිරීම සිදුකරයි. මීට අදාළ අන්තර්ගත කීපයක් පහතින් වේ.
මෙවැනි අන්තර්ගත වලට ප්‍රතිචාර දක්වන පිරිස් පවසන්නේ මෙය අසත්‍යයක් බවයි. එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වැළකිය යුතු බවයි. තවත් පිරිස් මෙවැනි අන්තර්ගත පිළිබඳ විශ්වාසය තබමින් ඒවා මිලදීගැනීමට හැකිද, එහි මිලගණන් කවරේදැයි විමසා ඇත.
කෙසේවුවත්, ‘මේ තරුණ තරුණියන්ගේ පොතයි’ කෘතියේ ව්‍යායාම මගින් පියයුරු විශාල වේදැයි යන ගැටලුවට පිළිතුරු ලෙස දක්වන්නේ පියයුරු තුළ කිසිදු මාංශපේශියක් නොමැති බැවින් ව්‍යායාම කිරීමෙන් පියයුරු විශාල වීමක් සිදුනොවන බවයි. නමුත්, ඒ හරහා පියයුරු වලට පහළින් ඇති පපුවේ මාංශපේශි ශක්තිමත් වීම සිදුවන අතර, එමගින් ඒ ප්‍රදේශය විශාලව පෙනීම සිදුවන බවයි. පියයුරු වල ප්‍රමාණය විශාල කිරීමට සමත් බවට පැවසෙන පෙති සහ ශල්‍යකර්ම ඇති නමුත්, මෙවැනි ක්‍රම අත්හදා බැලීමට කලින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි.
ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ පවතින මිත්‍යා මත මොනවාද
නූතන සමාජය තාක්ෂණික වශයෙන් සුවිශේෂී දියුණුවක් ලබා තිබුණද තවමත් සාම්ප්‍රදායික මතවාද වල එල්බගෙන සිටින බව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අන්තර්ගත ඇසුරෙන් දැකගත හැක.
උපත් පාලනය – උපත් පාලනය මේ අතර ඇති ප්‍රමුඛතම මිත්‍යාවකි. උපත් පාලන ක්‍රම භාවිත කළහොත් අනවශ්‍ය ලෙස හෝර්මෝන වෙනස් වේදැයි යන බිය නිසා එය භාවිත නොකර සිටීමට පෙළඹීම, තරබාරුව, හිසරදය වැනි අතුරු ප්‍රතිඵල ඇතිවේ යැයි යන බිය නිසා උපත් පාලන ක්‍රම භාවිත නොකිරීමට පෙළඹේ. ඇතැම්විට, කොන්ඩම් භාවිතයට පිරිමි පාර්ශ්වයේ ඇති අකමැත්ත ද මේ අතර පවතියි.
ඔසප් වීම – වැඩිවියට පත්වූ කාන්තාවන්ට මාසිකව ඔසප් වීම සිදුවෙයි. මේ දිනවලදී ස්නානය කිරීම සුදුසු නැති බව, සමහර ආහාර පරිභෝජනය නොකළ යුතු බවට වූ අදහසක් ඇත. කෙසේවුවත්, කාන්තාවක් වඩාත් පිරිසිදුව මෙන්ම පෝෂණය සපිරුණු ආහාරපාන ගතයුතු වන්නේ ද මේ සමයේදීය.
කන්‍යාභාවය – කන්‍යාභාවය ද මෙරට තරුණියන් අතර තවමත් නිසි අවබෝධයක් නොමැති කරුණක්ව පවතියි. මෙමගින් ද නැවත වරක් පෙන්නුම් කරන්නේ ලිංගික අධ්‍යාපනය නොමැතිකමේ අඩුවයි. කන්‍යාභාවය වැනි මිත්‍යාවන් ද නූතන තරුණ විශ්වාස කිරීම කණගාටුවට හේතුවන අනෙක් කරුණ වී ඇත.
පහතින් පළවන්නේ එවැනි කාන්තා සමූහයක පළවූ පෝස්ටුවකින් උපුටාගත් අදහසකි. මෙහිදී තරුණියක් විමසා ඇත්තේ තමන් වසර 6 ක් පුරා තරුණයෙකු ඇසුරු කරන බවත් මුල් ලිංගික එක්වීමේදී රුධිරය පිට නොවූ නිසා තම පෙම්වතා ඒ පිළිබඳ අමනාපයෙන් පසුවන බවත්ය. මේ විමසීමට සෙසු කාන්තාවන් අදහස් එක්කර තිබුණේ මෙලෙසිනි.
තවත් කාන්තා සමූහයක පළකර තිබුණු පෝස්ටුවකින් විමසා තිබුණේ තම මිතුරියකගේ කන්‍යාභාවය අහිමි වී ඇති නිසා පෝරුව චාරිත්‍ර කිරීමට ඇය දැඩි බියකින් පසුවන බවයි. ඊට හේතුවී තිබෙන්නේ කන්‍යාවියක් නොවන තැනැත්තියක පෝරුව චාරිත්‍ර ඉටුකළහොත් එවැනි අයවලුන් සිහිසුන් වනු ඇති බවට වූ විශ්වාසයයි. කෙසේ වුවත්, ඊට එක්කර තිබුණු අදහස් තුළ දක්වා තිබුණේ, මෙවැන්නක් ගැන කිසිලෙසකින්වත් බියක් ඇතිකර නොගන්නා ලෙසයි.
සමාජ මාධ්‍ය තුළ නැගෙන මෙවැනි අදහස් වලින් පෙනී යන්නේ මෙවැනි මිත්‍යා මත විශ්වාස කරන පිරිස මෙන්ම විශ්වාස නොකරන පිරිසක් ද සමාජය තුළ වෙසෙන බවයි.
කුඩා වියේදීම ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම
පසුගිය දිනෙක කාන්තාවන්ට වෙන්වූ ෆේස්බුක් සමූහයක දක්වා තිබුණු පෝස්ටුවකින් කියැවුණේ, ජාත්‍යන්තර පාසලක ඉගෙනගන්නා දියණියකගේ අත්දැකීමක් ගැනයි. එහි දක්වා තිබුණු පෝස්ටුවකින් කියැවුණේ අවුරුදු 15 ක් වුණු මේ දියණිය ඇගේ නැන්දාගෙන් විමසූ ප්‍රශ්නයක් පිළිබඳවයි. ඇය නැන්දාගෙන් විමසා තිබුණේ ඇය කී වරක් සිය පෙම්වතා සමග ‘සෙක්ස් කරලා තියෙනවද’ යන වගයි. ඇගේ නැන්දා පවසන විදියට මේ අවුරුදු 15 තරුණියට ලිංගිකත්වය, උපත් පාලනය, සමාජ රෝග ගැන වගේම දරුවෙකු පිළිසිඳ ගන්නේ කොහොමද කියන වග ගැන පවා කිසිම දැනුමක් පැවතී නැහැ. ඒ ගැන කවුරුවත් උගන්වලත් නෑ, දන්නෙත් නෑ. මේ දියණියගේ නැන්දණිය පවසන අන්දමට ශුක්‍රාණු පිටකිරීම තරුණියන්ගේ කටට හෝ මුහුණට සිදුකරන නිසා මොවුන් ගැබ්ගෙන නැහැ. මෙවැනි ක්‍රියාවන් පාසල තුළ පවා සිදුවෙන බවත් එවැන්නක් හසුවුණු විට දරුවන්ට අවවාද කිරීම පමණක් සිදුවුණු බවත් මේ දියණිය පවසා තිබෙනවා.
මේ කතාබහට එක්කර තිබුණු අදහස් දැක්වීම් තුළ දක්වා තිබුණේ අවුරුදු 15 වනතෙක් දරුවෙක්ට ලිංගික අධ්‍යාපනය ලබානොදීම වැරැද්දක් බවත් සෙක්ස් යන වචනය තහනම් කරන තාක්කල් මෙවැනි ක්‍රියාවන් සමාජය තුළ සිදුවිය හැකි බවයි.
තවත් කාන්තා සමූහයක පළකර තිබුණු පෝස්ටුවකින් අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ අවිවාහක තරුණියක විමසා තිබුණේ
‘මම birth control tablet එකක් වත් කොන්ඩම් එකක් වත් use කලෙ නැහැ.‘
නමුත්, ඇයට දරුවෙකු පිළිසඳගෙන ඇත්දැයි යන්න පිළිබඳ සැකයක් පවතින බවයි. විවාහ දිවියට නොපිවිසුණු තරුණු යුවළක් කිසිදු උපත් පාලන ක්‍රමයක් අනුගමනය නොකර සිදුකරන මෙවැනි කටයුත්තක් අවදානම්කාරී නොවේදැයි සමූහයේ සිටි අනෙක් කාන්තාවන් විමසා තිබුණි.
මීට එක්කර තිබුණු කමෙන්ටුවකින් දක්වා තිබුණේ,
‘දෙවියනේ ලිංගිකව හැසිරෙන්න පුලුවන් වයසක ගෑනු ලමයින්ගෙ ලිංගික අධ්‍යාපනය මේ තරම් දුර්වලද ලංකාවෙ.අඩු ගානෙ කුතුහලය හින්දා වත් ඉගන ගන්නෙ නැද්ද? මේ තරම් තාක්ශණය දියුණු කාලෙදි වත් ?’ යන්නයි.
පාසලෙන් ලිංගික අධ්‍යාපනය නොලැබීම නිසා ඇතිවන දුෂ්කරතාව මෙන්ම ඉන්පසු, සිය සමාජ ජීවිතය තුළදී අත්විඳින්නට සිදුවන අත්දැකීම් මෙහිදී ගම්‍යමාන වේ.
නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකමේ අඩුපාඩුව අද වනවිට සමාජ මාධ්‍ය වේදිකාව තුළින් විද්‍යමාන වේ. එක් කාන්තා සමූහයක පළකර තිබූ පෝස්ටුවකින් කියැවුණේ සිය පෙම්වතා සමග පැවති ලිංගික ඇසුරකින් පසුව පුරුෂ ශුක්‍රාණු තම සිරුරේ තැවරීම නිසා ගැබ් ගනියි යන සැකය පිට තමන් පොස්ටිනෝ භාවිත කළත් ගැබ්ගෙන ඇතැයි යන සැකයෙන් පසුවන බවයි. මෙම පෝස්ටුව අදාළ සමූහයට එක්කර තිබුණේ වයස අවුරුදු 29 ක් වන තරුණියකි. පාසල් අධ්‍යාපනය හමාර කර රැකියාවක් සිදුකරන වයසේ තැනැත්තියක වුවත් මේ තරුණිය තවමත් නිසි උපත් පාලන ක්‍රමයක් පිළිබඳ දැනුම්වත්භාවයක් නැති තැනැත්තියක බව පැහැදිලිය. ඇය දක්වන්නේ මේ ඇසුරට පසුව ඇය පොස්ටිනෝ පෙති භාවිත කළ බවයි. ඊට යොදා ඇති කමෙන්ටු තුළ අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසට තරුණියට පවසා ඇති අතර මින්පසුව හෝ නිසි උපත් පාලන ක්‍රමයකට යොමුවන ලෙසද දක්වයි.
ශ්‍රී ලංකාවේ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබද පැහැදිළි ප්‍රතිපත්තියක් නොමැත. විවිධ අවස්ථාවන් වලදී නියැදි ව්‍යාපෘති සිදු කර තිබුණත් ජාතික මට්ටමේ එවැනි අධ්‍යාපන වැඩසටහන් දක්නට නැත. දැනට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාල තොරතරු ඇතුළත් වන්නේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය මාලාව තුළ වන අතර ඒවා නිවැරදිව උගන්වනවාද යන්න දැන ගැනීමට පැහැදිළි ඇගයීමක් හෝ පසු විපරමක්ද සිදු වන බව නොපෙනේ.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද අධ්‍යාපනය සිදු විය යුත්තේ නිවාරණය පදනම් කර ගෙනම නොවේ. කැමැත්ත පදනම් කර ගතත් තෘප්තිමත් සම්බන්ධතා පවතාවාගෙන යාම පිළිබදව ඇති තොරතුරු වල විශාල හිඩැසක් අපේ රටේ පවතින බව මේ සොයා බැලීමෙන් මතුවේ.
සබැදි








