2019 පෙබරවාරි 28.
ඉමාෂා පෙරේරා විසිනි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය යනු හුදෙකුත් පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය අලලා ඔහුට හෝ ඇයට සිදු කරන හිංසනයකි.මෙය කායික, මානසික, සාමජිය වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන්කර දැක්විය හැකි අතර කායික සිදුවන හිංසනයන් අපයෝජන, පහර කෑම්,කැළැල්, තුවාල වශයෙන් බාහිරව පෙනුනද මානසික හිංසනය විටෙක බාහිරව පෙනුනද විටෙක එසේ නොවිය හැක, ආතතිය ඇතිවීම මානසික හිංසනයේ අතුරු ප්‍රතිඵලයක් විය හැක.ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් මූලිකවම පවුල හා නිවස තුල සිදුවන හිංසනයන්,වැඩිහිටියන් හට සිදුවන අපයෝජනයන්, ලිංගික අතවරය හා හිංසනය, කාර්යාල ස්ථානය හා පොදු ස්ථාන තුල සිදුවන හිංසනයන්,LGBT ප්‍රජාවට සිදුවන හිංසනයන්,බලහත්කාරයෙන් සිදුකරන විවාහයන්, ජිවිත තර්ජනයන්, සමාජශාලා හා වෙබ් අඩවි මගින් සිදුවන හිංසනයන් ලෙස වෙනකොට දැක්විය හැක.මුලිකවම බලය, සංස්කෘතිය,තත්වය හා සමාජයීය බලපෑම මත බලයෙන් වැඩි පුද්ගලයා විසින් බලයෙන් අඩු පුද්ගලයාට සිදු කරන කායික, වාචික හා සමාජයීය හිංසනය මෙමගින් හදුන්වයි.මුලිකවම බලයෙන් වැඩි පුරුෂ පක්ෂය විසින් කාන්තාවන්ට,LGBT ප්‍රජාවට, ආබාධිත පුද්ගලයන්ට මෙම හිංසනයන් සිදුකරයි.
ශ්‍රී ලංකාව තුල ගත් කල කාන්තාවන්ට සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් මුලිකවම පවුල තුල තම සැමියාගෙන් බාහිර පුද්ගලයෙකුගෙන් හෝ කිහිපදෙනෙකුගෙන් සිදු වන හිංසනයක් වීමේ ප්‍රතිශතය ඉතා ඉහලය.එනමුත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් කාන්තාවන්ට සාපේක්ෂව සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ට සිදු වන ආකාරය , බලපෑම හා ප්‍රතිපල මීට හාත් පසින්ම වෙනස්ය. මුලිකවම සංක්‍රාන්ති සමාජබාවි කාන්තාවන්ට ශ්‍රී ලංකාව තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කොටගෙන සිදු කෙරෙන හිංසනයන්, වාචිකව හා කායිකව සිදු වන අතර එය මානසික, කායික හා සමාජයිය හිංසනයන් ලෙස සිදු වේ. සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ට සිදු වන මානසික හා කායික හිංසනයන් ඔවුන් කුඩා කාලයේදී පටන් ගන්නා අතර හැසිරීම් චර්යා රටා පදනම් කොටගෙන තම පවුල තුල මව, පියා, සහෝදර සහෝදරියන්ගෙන් සිදු වන මානසික හා කායික හිංසනයෙන් ආරම්භ වී අවට නිවැසියන්ගෙන්, නෑදෑ හිත මිත්‍රාදීන්ගෙන්, පාසල, ආගමික සිද්ධස්ථාන දක්වා විහිදී යයි. මෙමගින් සංක්‍රාන්තික සමාජභාවී කාන්තාවන් වාචික හිංසනය මගින් මානසිකවද, කායික හා සාමාජයීය හිංසනය තුලින් භාහිරවද පීඩාවට පත් වේ.ලංකාව තුල සංක්‍රාන්තික කාන්තාවන්ට වන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් ගත් කල මූලිකවම ඇයගේ බාහිර රූපය නිසා පවුල තුල හා බාහිරින් වන ලිංගික අපයෝජනයන්, අතවරයන්, සාමුහිකව සිදුවන දුෂණයන්, ලිංගික සෞඛ්‍ය පරිහානියට පත් කිරීම සිදු වේ. මෙම අපයෝජනයන් කුඩා කල තම සහෝදරයන්ගෙන්, පිය පාර්ශවයෙන්, නෑදෑයන්ගෙන්, මිත්‍රයන්ගෙන්, පාසල තුලදී, මහමගදී,අසල්වාසීන්ගෙන්, ආපදා අවස්ථාවකදී ආදී වශයෙන් කාණ්ඩකර දැක්විය හැක.කාන්තාවන්ට සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් හා සංක්‍රාන්තික කාන්තාවන්ට සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් ගත් කල මුලිකව මෙම කණ්ඩායමට සිදුවන හිංසනයන් ඔවුන්ගේ බාහිර රූපය මත, ලිංගිකත්වය මත පදනම්ව සිදු වේ. සමාජයෙන් මොවුන්ව පිළිගැනීමට ඇති අකමැත්ත, සංස්කෘතික වපසරිය හා කොතරම් දුරකට කාන්තාවක් යනුවෙන් සමාජය පිළිගන්නා රාමුවට මොවුන් කොටු වී ඇත්ද යන්න මත හිංසනයන් සිදු වීමේ අඩු වැඩිය තීරණය වේ.
ලංකාව තුල පවතින සංස්කෘතික වටපිටාව හා ආගමික වටපිටාව මත සංක්‍රාන්තික කාන්තාවන්, බහුතරයකගේ අප්‍රසාදයට හා පිළිකුලට බාජනය වනුයේ සමාජය විසින් පිළිගැනීමට කැමති කාන්තාවන්ගෙන් ඔබ්බට මොවුන් ගොස් ඇති නිසාය. මෙම නිසා පවුල තුල කුඩා කාලයේදීම මොවුන් නිවසින් පිටුවහල් කිරීමට හෝ කායික හා මානසික හිංසනය මගින් මොවුන් වෙනස් කිරීමට කටුතු කරයි. මෙහි ප්‍රතිපලයක් වශයෙන් ලංකාව තුල සංක්‍රාන්තික කාන්තාවන් බහුතරයක් තම පවුලේ රැකවරණයෙන් මිදී හුදෙකලාව හෝ තම සංක්‍රාන්තික යෙහෙලියන් සමග වෙනම වාසය කරයි. එක් පසකින් සිදුවූ හිංසනයන් මගහරවා ගැනීමට සිත මෙම තීරණයන් ගත්තද මින් ඉදිරියට සමාජයෙන් ඔවුන්ට සිදු වන හිරිහැර ඊටත් වඩා අධිකය.
ඉහත සදහන් කල ආකාරයට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් සිදුවීමට බලය එක් සාධකයක් වේ. සංක්‍රාන්තික කාන්තාවන් ගත් කල ශ්‍රී ලංකාව තුල ඔවුන්ට ඇති බලය සීමිත වන අතර මෙයට මුලික හේතුව වනුයේ අධ්‍යාපන මට්ටම හා සාමජිය වශයෙන් ජිවත් වන මට්ටමයි. කුඩා කල සිට සිදුවන මානසික, කායික හා ලිංගික හිංසනයන් නිසා බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන්ගේ අධ්‍යාපනය අවුරුදු දොළහත් දහසයත් අතර කාලය තුල දී නතර වන අතර මෙමගින් ඔවුන්ගේ දැනුම හීන වීම හා සමාජය සමග ගැටීමට ඇති අවබෝධය හීන වේ.
ඉගිනිමට කැමැත්තක් දැක්වුවද, සහජ කුසලතාවයන් තිබුනද, හැකියාව තිබුනද, පාසල තුල අවස්ථාවක් හිමි නොවීම, පවුල තුලින් උදව් උපකාර නොකිරීම නිසා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම හීන වේ.මෙම නිසා හිංසනයන් සිදු වීමේදී එයට ගත යුතු ක්‍රියා මාර්ගයන්, පිහිට පතා කටුතු කල යුතු ආකාරය, හිංසනයන් මගහරවා ගත යුතු ආකාරයන්, තමන්ට සහනයක් ලබාගත හැකි ආයතනයන්, තමන්ගේ අයිතීන් කිසිවක් පිළිබදව ඔවුන්ට අවබෝධයක් නැත.මෙම නිසා මොවුන් එකම හිංසනයට හා අපයෝජනයට නැවත නැවතත් භාජනය වන අතර ඉන් මිදීමටද ඔවුන්ට හැකියාවක් නොමැත.මනා අධ්‍යාපනයක් අනෙක් පුද්ගලයන්ට මෙන් සමසේ මොවුන්ටද ලැබුනිනම් යම්තාක් දුරකට හෝ මෙම හිංසනයන්ගෙන් මිදීමට හෝ මගහරවා ගැනීමට එය ඔවුන්ට උපකාරී වනු ඇත.
තවද මෙම හේතුව මත ඔවුන් ජිවත් වන ආකාරය හා රැකියාව තීරණය වේ. එමගින් හදිසි අවස්ථාවකදී පවා ඔවුන් අධිඅවදානම් පිරිස් සමග එකතු වුවද ඔවුන්ගේ හැසිරීම් චර්යාරටා සමාජය පිලිනොගැනීමෙන් ඔවුන්ට හිංසනයන් සිදු කිරීම හා කිරීමට පෙළබිම සිදු වේ. බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් රැකියා නොමැති වීම නිසා පිඩාවට පත්වන අතර දෛනික ජීවිතය ගෙනයාමට ලිංගික වෘතිය හා අවම සුදුසුකම් ඇති රැකියා කරා පිය නැගේ. මෙවැනි පිරිස අපයෝජනය කිරීම සාමාන්‍ය බවත් ලිංගික වෘතිකයන් අපයෝජනය වුවත් එය අපයෝජනයක් නොවන බවත් සමාජය විසින් සිතන මතයක් වීම තුලින් මොවුන් හිංසාවට පත් වේ. කරගතහැකි දෙයක් නොමැති වීමෙන් මොවුන්ද එම තාඩන පීඩන ඉවසීමට උත්සහ කරයි එසේ කිරීමෙන් මෙය සමාජය තුල සාමාන්‍යකරණය වීමට හේතු වේ.
ඉහත පරිච්ඡේදයන් තුල ශ්‍රී ලංකාව තුල සාමාන්‍ය දෛනික ජීවිතය තුල සංක්‍රාන්තික කාන්තාවන් මුහුණ පාන හිංසනයන් කතා කල අතර හදිසි අවස්ථාවකදී හා අපදා අවස්ථාවකදී සිදුවන හිංසනයන් මින් හාත් පසින්ම වෙනස්ය. “කබලෙන් ළිපට වැටෙන්නාක් මෙන්” ඔවුන්ට සිදු වූ විපතෙන් ඔවුන් තවත් අසරණ කිරීමට සමාජය උත්සහ ගත් අවස්ථා බොහොමයකි. එනම් ආපදා තත්වයකදී ඔවුන් මග හැරිම, ජිවිත හානි සිදුවීමට ඉඩකඩ තිබියදී ඔවුන් අත හැර අනෙකුත් පිරිස පමණක් බෙරාගැනීමද සිදු වේ. සරණාගත කදවුරු තුල දී ඔවුන්ට වාචික ලක් කිරීම, සමච්චලයට හා වෙනස්කොට සැලකීම සිදු වේ. මිට අමතරව ඔවුන් දෙස පිළිකුල් සහගත ලෙස බැලීම, ආධාරකරුවන් හා අවතැන් වුවන් දෙපිරිසම ඔවුන් ප්‍රතික්ෂේම කිරීම, ආධාර නොදීම වැනි දෑ සිදු වූ අවස්ථාද වාර්තා වී ඇත.තවද පුරුෂයන් අතින් ලිංගිකව අපයෝජනය වීම, සාමුහික ලිංගික අපයෝජනයන් හා ආධාරකරුවන්ගේ අනිසි යෝජනා මොවුන්ට සිදුවූ අවස්ථාද වාර්තා වේ. කාන්තාවන් වෙනුවෙන් හඩනගනා ඇතැමුන් ගැබ් නොගැනීම මත මෙය අපයෝජනයක් ලෙස පිළිනොගන්නා නිසා ඔවුන් හිංසනයට බජනය වීම දැක දැකත් නොදැක්කා මෙන් සිටි. හිංසනයෙන් පසුවද බහුතරයකට ප්‍රතිකාර කිරීමට හා මානසික සෞඛ්‍ය පෝෂණය කිරීමට ඉදිරිපත් වීමට මැලි කමක් දක්වයි. සංක්‍රාන්තික කාන්තාවන්ද බිය, ලැජ්ජාව හා නොදැනුවත්කම නිසා මෙම හිංසනයන් කිසිවෙකුට නොකයා සගවා රහසක් ලෙස තියා ගැනීමට කටයුතු කල අවස්ථාද ඇත.
ශ්‍රී ලංකාව රජයක් ලෙස ගත් කල සංක්‍රාන්තික කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට යම්තාක් දුරකට ක්‍රියා මාර්ග ස්ථාපිත කොට තිබුනද එම ක්‍රියා මාර්ග ක්‍රියාවට නැංවීමේදී අක්‍රමිකතා රැසක් සිදු වෙමින් පවතී. මෙයට හේතුවනම් පුද්ගලයන් වශයෙන් ගත් කල තම ආකල්ප මුල්කොටගෙන නිතිය පවා යටපත් කිරීමයි. උදාහරණයක් ලෙස හිංසනයට පත් වූ සංක්‍රාන්තික කාන්තාවක් පැමිණිලි කිරීමට පොලිසියට ගිය කල හිංසනය වූ ආකාරය විස්තරාත්මකව අසා ඔවුන් එය රස විදීම, අපයෝජනයක් ලෙස පිලි නොගැනීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ඔවුන්ට උසුළු විසුළු කිරීම, ගොඩින් සමතයකට පත් කිරීමට යෝජනා කිරීම, ඔවුන් සමගද ලිංගික සංසර්ගයේ සිටීමට යෝජනා හා බලපෑම් කිරීම, සංස්කෘතිය පදනම්කොටගෙන පිඩිතයටම චෝදනා කිරීම හා වැරදිකරු නිවැරදිකරු කිරීම සිදු වූ අවස්ථා ඇත. නැවතත් මෙය බලය, සංස්කෘතිය, ආකල්ප මත සිදුවන හිංසනයක් නිසා හුදෙකුත් නීති මාලා පැනවීම පමණක් නොව පුද්ගලයන් වශයෙන් මානුෂිකව සිතිය යුතු කරුණක් වන අතර තනි පුද්ගලයෙකු වශයෙන් එකිනෙක නැගී සිටීමෙන්, අනෙකාද දැනුවත්කොට පෙලබවිම තුලින් මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදු වන අපයෝජනයන් අවම කිරීමට හා සංක්‍රාන්තික කාන්තාවන්ට නීතිය, තම අයිතිය හා දැනුම ලබාදීමද සිදුකල යුතුය.