සමරිසි පිරිමින් ගැන එච්අයිවී සන්ධර්භය තුළ පමණක් කතා කිරීම වැරදියි

2018 ජනවාරි 14.

අදටත් එච්අයිවී කියන අකුරු තුන අපේ රටේ සිටින මිනිසුන්ට ඇසුණ විට ඔවුන්ගේ හදවතට  දැනෙන්නේ බියක් වගේම  පිළිකුලක් එසේ නැති නම් නරක දෙයක් වගේ හැගීමක්. මීට අවුරුදු 20 කට ඉහතදී  එච්අයිවී පිළිබද කතා කරපු දේම තමයි අදටත් අපි කතා කරන්නේ. තවමත් එච්අයි වී සඳහා තියෙන භීතිකාව තවමත් මිනිසුන්ගෙන් තුරන් වී නැහැ. මේ බිය සදහා බලපාන ප්‍රධානම හේතුව වන්නේ එච්අයිවී පිළිබද ඇති නොදැනුවත් භාවය බව මගේ හැගීමයි.

එච්අයිවී පිළිබද ඇති නවතම තොරතරු නොදන්නා කම නිසා බොහෝ අය එය මාරාන්තික රෝගයක් ලෙස සලකනවා. කෙසේ වුවත් එච්අයිවී පිළිබද සමාජය තුළ ඇති පිළිකුළට එකම හේතුව එය මුල් කාලයේදී මාරාන්තික වූ නිසා පමණක් නොවෙයි. ලිංගිකත්වය පිළිබද පවතින පසුගාමී අදහස්ද එයට බලපානවා. ශ්‍රී ලංකවේ එච්අයිවී සම්ප්‍රේෂණය වන මූලික ක්‍රමය අනාරක්ෂිත ලිංගික හැසිරීම බව එච්අයිවී දත්ත මගින් පැහැදිළිව පෙනෙන කාරණයක්. එච්අයිවී සහ ලිංගික හැසිරීම් අතර ඇති මේ සමීප සම්බන්ධය නිසා බොහෝ අය එච්අයිවී පිළිබද තොරතුරු දැන ගැනීම පවා පතික්ෂේප කරනවා. උදාහරණයක් ලෙස ආරක්ෂිතව ලිංගික හැසිරීම් වල යෙදෙන ආකාරය පිළිබද දැන ගැනීමට හෝ කොන්ඩමයක් මිලදී ගැනීමට බොහෝ අය මැලි වෙනවා.

අද වන විට එච්අයිවී නිදන්ගත සෞඛ්‍යය තත්ත්වයක්. ලෝක සෞඛ්‍යය සංවිධානය එය ගොනු කරන්නේ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ලැයිස්තුවටයි. ඉන් අදහසන් වන්නේ ප්‍රතිකාර නිවැරදිව භාවිත කිරීමෙන් එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ට සාමාන්‍ය ලෙස ජීවත් වීමට  හැකියාව ඇති බවයි. නිවැරදිව ප්‍රතිකාර පිළිපදින පුද්ගලයෙකු සමග අනාරක්ෂිතව ලිංගිකව හැසිරුණත් එච්අයිවී බො නොවන බව නවතම පර්යේෂණ වලින් පෙන්වා දෙනවා. (වැඩිදුර කියවන්න)

ශ්‍රී ලංකාවේ එච්අයිවී පිළිබද ඇති ආකල්පය ඉතා පසුගාමී එකක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අද පවතින ප්‍රතිකාර නිසා එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් එච්අයිවී නොමැති පුද්ගලයන් හා සමාන ආයු කාලයක් ජීවත් වෙනවා. ඒ නිසා වැදගත් වන්නේ පරීක්ෂණ වලට යොමු වීම සහ එච්අයිවී ශරීර ගත වී ඇත්නම් ඒ සදහා රජයෙන් නොමිලේ ලබා දෙන ප්‍රතිකාර සදහා යොමු වීමයි. ශ්‍රී ලංකා රජයේද එච්අයිවී පිළිබද සෞඛ්‍යය ප්‍රතිපත්තිය වන්නේ 2025 වන විට ඒඩ්ස් මරණ සහ එච්අයිවී නම ආසාදන බිංදුව දක්වා අඩු කිරීමයි. එච්අයිවී නව ආසාදන වැළැක්වීමට නම් දැනට හදුනාගෙන නැති එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් හදුනා ගත යුතුයි. ඔවුන් ප්‍රතිකාර සදහා යොමු වූ විට ඔවුන්ගෙන් වෙනත් කෙනෙකුට එච්අයිවී බෝ වීමේ හැකියාව සම්පූර්ණයෙන් බැහැර වෙනවා. නමුත් එච්අයිවී වටා බැදුණු සමාජ ආකල්ප නිසා පුද්ලයන් පරීක්ෂණ සදහා යොමු වීම පිළිබද සම්පූර්ණ විශ්වාසය තබන්න බැහැ. එච්අයිවී පිළිබද සමාජය දැනුවත් කිරීම වැදගත් වන්නේ ඒ නිසයි. කෙසේ වුවත් දැනුවත් කිරීම මගින් පමණක් එච්අයිවී අවදානම තුරන් කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ නිදහස් වෙළද කළාප ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයක දැක්වෙනවා. සමීක්ෂණයට බදුන් වූ පිරිස තුළ එච්අයිවී පිළිබද දැනුම සතුටුදායක තත්ත්වය පැවතියත් ඔවුන් ආරක්ෂිත ලිංගික හැසිරීම් කෙරෙහි යොමු වී නැති බව මේ අධ්‍යයනයෙන් හෙළි කරනවා. එයට හේතුව එච්අයිවී පිළිබද පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කිරීමට හෝ ඒවා අභියෝගයට ලක් කිරීමට පවතින් දැනුම සමත් නොවීමයි. එම නිසා ආරක්ෂිත ලිංගික හැසිරීම් වලට පුද්ගලයන් කිරීමට නම් ලිංගිකත්වය පිළිබද පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කිරීම අවශ්‍යයි. අපගේ ආකල්ප සකස් කරනවන පාසල මේ දැනුම ලබා දීමට හොදම ස්ථානය වන්නේ ඒ නිසයි. ඒ අධ්‍යපනය එච්අයිවී පිළිබද තොරතුරු වලින් ඔබ්බට යන, ගෞරවය  පදනම් කර ගත් එකක් විය යුතු බව මගේ අදහසයි.

එච්අයිවී සහ ලිංගික හැසිරීම් අතර පවතින සම්බන්ධය වගේම එච්අයිවී ආසාදනය වීම සදහා වැඩි අවදානමක් දක්වන කණ්ඩායම් පිළිබද සමාජය තුළ ඇති ආකල්පද මේ පිළිකුළ තර කිරීමට සහය වනවා. ඔවුන් හදුන්වන්නේ මූලික ප්‍රජාවන් නමින්. මේ මූලික ප්‍රජාවන් වන්නේ ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් සහ ඔවුන්ගේ සේවාදායකන්, පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමි, මත්ද්‍රව්‍ය භාවිතා කරන/ එන්නත් කරගන්නා පුද්ගලයන්, සහ වෙරළාසන්නයේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිමින් යන කණ්ඩායම් වේ. මේ සියළුම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ නෛතික රාමුවෙන් පිට සිටින අය. බොහේ විට මේ කණ්ඩායම් සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ  සංස්කෘතිය විනාශ කරන පිරිසක් ලෙස. එච්අයිවී ශරීර ගත වී ඇති නම් ඒ පුද්ගලයා නීතියෙන් තහනම් ලිංගික ඇසුරක යෙදුණ පුද්ගයෙකු ලෙස සමාජය සැක කරනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ගේ යථාර්ථය එයට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එච්අයිවී සමග ජීවත් වන කාන්තාවන්ගේ.

ශ්‍රී ලංකාව තුළ සමරිසි පිරිමින් පිළිබද සාකච්ඡාව බොහෝ විට පවත්නේ එච්අයිවී කේන්ද්‍ර කර ගෙනයි. එයට හේතුව ඉහත දැක්වූ ආකාරයට ඔවුන් එච්අයිවී සම්ප්‍රේෂණය වීම සදහා වැඩි අවදානමක් ඇති ලිංගික හැසිරීම් වල නිරත වෙනවා යැයි අනුමාන කරන නිසායි. නමුත් ගුද සංසර්ගයේ යෙදෙන්නේ සමරිසි පිරිමින් පමණක් නොවන බව මා දන්නා කරුණක්. කන්‍යා පටලයට හානි වීම වළක්වා ගැනීමටත්, ගැබ් ගැනීම වළක්වා ගැනීමටත් බොහෝ විෂම ලිංගික පුද්ගලයන්ද ගුද සංසර්ගයේ නියැලෙවා.

ශ්‍රී ලංකාව තුළ සමරිසි පුද්ගලයන්ට ඇති අඩු පිළි ගැනීම සහ නීති රැහැන් නිසා ඔවුන් බොහෝ දෙනෙක් සැගවී ජීවත් වෙනවා. මේ බොහෝ පවුලෙන් එල්ල වන බලපෑම් නිසා කාන්තාවක් විවාහ කර ගෙන දරුවන්ද ඇතිව පවුල් ජීවිත ගත කරමින් සිටිනවා. එවැනි විවාහක සම රිසි පිරිමින් වෙනත් පිරිමින් සමහ ලිංගිකව හැසිරෙන්නේ නැතැයි අපට කියන්නට බැහැ. පරීක්ෂණ වලට යොමු වීම වැදගත් වන්නේ ඒ නිසයි. නැතිනම් ඔවුන්ගේ බිරින්දෑවරුන්ටද දරුවන්ටද එච්අයිවී බෝ වීමට ඉඩ තිබෙනවා.

සම ලිංගික පිරිමින් යෙදෙනවා යැයි අනුමාන කරන ලිංගික හැසිරීම් සහ එච්අයිවී අතර පවතින සමීප බැදීම නිසා සම ලිංගිකත්වය පිළිබද සාකච්ඡාව ද එච්අයිවී වටා භ්‍රමණය වනවා. සම ලිංගිකත්වය පිළිබද මහජන සෞඛ්‍යය ප්‍රවේශයෙන් පමණක් බැලීම තුළ ශ්‍රී ලංකාවේ සම රිසි ප්‍රජාවට දැඩි අසාධාරණයක් වී ඇති බව මගේ අදහසයි. උදාහරණයක් ලෙස සමරිසි පිරිමින් පිළිබද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වුවත් කතා කරන්නේ ලෝක ඒඩ්ස් දිනය ආශ්‍රිතව පමණයි. ඒ සාකච්ඡාව තුළත් පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් ස්ථාන ගත වන්නේ රෝග බෝ කරන පිරිසක් ලෙසයි. එමෙන්ම එය සමරිසිභාවය රෝග බෝ කරන ලිංගික ඇසුර ප්‍රවර්ධනය යන්න සමාජය තුළ තරවුරු කරවනවා.

සම රිසි පුද්ගලයෙක් එච්අයිවී සමග ජීවත් වනවා නම් එම පුද්ගලයා දෙවතාවක් සමාජයෙන් කොන් වෙනවා. ඒ එච්අයිවී තත්ත්වය නිසා සහ සමරිසි වීම තුළ. එමනිසා ඔවුන්ට අධ්‍යාපන සහ රැකියා අවස්ථා අහිමී අය අවස්ථා බොහෝ ඇත. ඔවුන්ට සිය පවුල්ද අහිමි වන අවස්ථා තිබෙනවා. සමාජ ආරක්ෂාණය යන්න සමරිසි එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයෙකුට සිහිනයක්. නීති ආධාර ලබා ගැනීමේදීද ඔවුන් වෙනස් කොට සැලකීම් වලට බදුන් වෙනවා. සමරිසි වීම නිසාම එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ට අවශ්‍ය සෞඛ්‍යය සේවා සදහා ප්‍රවේශවීමටද ඉඩ ඇහිරෙන්නට පුළුවන්.

ඊට අමතරව, එච්අයිවී සමග ජීවත් වන සමරිසි පුද්ගලයන් සිය ප්‍රජාව තුළද කොන්වීමට ලක් වෙනවා. එච්අයිවී තිබීම නිසා සම රිසි ප්‍රජාව ඔහුට වෙනස් කොට සලකන අතර එච්අයිවී ප්‍රජාව ඔහු සම රිසි වීම නිසා වෙනස් කොට සලකනවා.

ඒ නිසා සම රිසි පුද්ගලයන් පිළිබද වූ සාකච්ඡාව එච්අයිවී සන්ධර්භයෙන් ගැලවී ස්වාධීන විය යුතුයි. අයිතිවාසිකම් පිළිබද සාර්ථාක සාකච්ඡාවක් සිදු කළ හැකි වන්නේ සම රිසි පුද්ගලයන් රෝග වාහකයන් ලෙස නොව මනුෂ්‍යයන් ලෙස බෑලීමට අප පටන් ගන්නා දවසටයි.

පාලික විජයබණ්ඩාර විසිනි.

Social Share: