සමරිසි අයට වැඩිම හිරිහැර වෙන්නේ පවුලෙන් – කන්න නොදී කාමර වල හිර කරපු අවස්ථාත් තියෙනවා – සමරිසි කාන්තාවක් කියයි

කර්තෘ සටහන – මෙම සම්මුඛ සාච්ඡාව අපට ලබා දුන් සමරිසි කාන්තාවගේ නම රහසිගතව තබා ඇත. 

2018 නොවැම්බර් 08.

සාකච්ඡාව සහ සටහන වින්ද්‍යා ගම්ලත් විසිනි.

කාන්තාවන් වගේම සමාජයේ අඩු සැලකුම් ලබන ප්‍රජාවක් විදියට LGBTQ  පිරිස් ගැන කතාකරද්දි අපි නිරන්තරයෙන්ම කියන කාරණයක් තමයි ලංකාවේ නීති පද්ධතිය ඇතුළේ වෙනස්කම් විය යුතු බව. මෑතකාලීනව ඉන්දියාව 377 වගන්තිය වෙනස් කරලා ඉදිරියට ගියා.  ඒ හා සමාන වන ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 (a) වගන්තිය හා පවතින නීති ක්‍රමය වෙනස්වීමේ අවශ්‍යතාවය ගැන කතා කළොත් ?

ලංකාවත් දැන් ඉන්දියාවෙන් පාඩමක් ඉගෙනගන්න ඕන. ඇයි අපේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ඒ) යටතේ වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදුවෙන ලිංගික හැසිරීම් තහනම් කර තිබෙනවා. අපරාධයක් වශයෙන් හඳුන්වලා තියෙනවා. පුද්ගලික ස්ථාන ඇතුළත වුණත් ඒක අපරාධයක් වශයෙන් හඳුන්වලා තියෙනවා. ඒකට වෙනම දඬුවමක් දෙන්න කටයුතු කරලා තියෙනවා. මං හිතන්නේ මේක අපරාධයක් කියලා සලකන එක වැරදියි. දෙන්නෙක්අතර තමන්ගේ කැමැත්තෙන් වෙන හැසිරීම් පාලනය කරන්න රජය මැදිහත් නොවිය යුතු බව මගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් පවතින නීති ක්‍රමය වෙනස් වීමේ අවශ්‍යතාවය ගැන කතා කළොත් ?

නීති ක්‍රමය ගැන සලකා බැලුවොත් දැන් වෙනස් කොට සැලකීමත් වෙනවනේ. විෂම ලිංගික අය ගැන සලකා බැලුවොත් ඔවුන්ට ලිංගික හැසිරීම සම්බන්ධව මෙවැනි කිසිම නීති රීති නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ගැන සලකා බැලුවොත් මට තේරුම්ගන්න අමාරුයි, අපේ රට ඇතුළේ තවම මේ වෙනස්කොට සැලකීම නීතියේ අනුග්‍රහයෙන් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක.

මේක අධිරාජ්‍යවාදී සමයේ ඉඳන් පැවත එන නීතියක් බව අමතක නොකළ යුතුයි නේද ?

ඔව්, දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 (a) ඉවත් කරන්න ඕන. අනිත් කාරණේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බලනවිට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ වෙනස්කොට සැලකීම නොකළ යුතුයි යන කාරණේ යටතේ දැනට සඳහන් වෙන්නේ ආගම, ලිංගිකත්වය යනාදියයි. මේකට Sexual Orientation හා Gender Identity කියන වචන දෙකත් එක් විය යුතු වෙනවා.

ඉන්දියාවේ නීති ක්‍රමය ගැන සලකා බැලුවොත් 377 වගන්තිය වෙනස්වෙද්දී පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් මේ තීන්දුව ලබාදුන්නේ, මේ නීතිය තවදුරටත් ප්‍රශ්න කිරීමේ ඉඩක් තිබේවිද ?

මෙය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුවක්. මෙය මුළු රටටම බලපාන දෙයක් නිසා වෙනස් කිරීමට ලක්වේවි කියලා හිතන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ අපේ රටේ කියලා තියෙනවා LGBTQප්‍රජාවෙන් අපේ රටට, රජයට නිළ පණිවිඩයක් ඕන කියලා මේක අහෝසි කරන්න ඕන නම්. මං හිතන්නේ ඒක ඇත්තටම LGBTQප්‍රජාවට කරන අපහාසයක් කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියටත් මේ ගැන ඉල්ලීම් ඉදිරිපත් කළා. සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්යසාධක බලකාය – (Consultation Task Force for Reconciliation) කමිටුවටත් ඉදිරිපත් කළා. මේ දෙකම රජයේ ක්‍රියාවලීන්.

නැවත වතාවක් මේ වගේ දෙයක් කියන එක අපිට අපහාසයක්. අනෙක් කාරණේ අපේ රටේ LGBTQප්‍රජාව වෙනුවෙන් වෙන වෙන කණ්ඩායම් වැඩ කරලා තියෙනවා, වගේම තවම වැඩකරමින් පවතිනවා, මේක තමයි අපේ යෝජනාවන් කියලා ඔවුන් නිළ වශයෙන් රජයට මේ ඉල්ලීම් ගැන ලියලත් තියෙනවා.

යෝජිත නව ව්‍යවස්ථාවට LGBTQප්‍රජාව සම්බන්ධයෙන් ලබාදුන් යෝජනා ජනපතිතුමා එකහෙළා ප්‍රතික්ෂේප කළ බව කතාබහට ලක්වෙනවා නේද ? 

ඔව්, ජනපතිතුමා ඒ යෝජනා ඉරාදැමුවා. ඒක මාධ්‍යයේ ද දුටුවා. එක පිරිසකට හිංසා කරන්න කැමති නම් එකම අපහාසය තමයි ‘පොන්නයා‘ කියන එක. අපේ ඇමතිතුමෙකුත් කිව්වා, මේ ‘පොන්නයා‘ කියන වචනෙට වඩා කොච්චර අපහාස තියෙනවද ?කියලා. අල්ලස් ගන්න, මිනීමැරුම් කරන දේශපාලඥයෝ ඉන්නවා කියලා අපි හැමෝම දන්නවා. ඒ වගේ අපහාස කිරීම් තියෙද්දී කැමැත්තෙන්ම වන ලිංගික හැසිරීමක් කොහොමද අපරාධයක් වෙන්නේ ?

ඉන්දියාවේ මේ නීතිය වෙනස් කිරීමේ කාර්යයේදී සිවිල් සංවිධාන දැඩිව මැදිහත් වුණා කියන පිළිගැනීම තියෙනවා. අපේ රටේදී එකම අරමුණක් ජයග්‍රහණය කරන්න සිවිල් සංවිධාන සියල්ලම මැදිහත් වීමේ උනන්දුවක් / හැකියාවක් තියෙනවද ?

ඉන්දියාව සමග සංසන්දනය කරලා බැලුවොත් ඉන්දියාවේ මේ ප්‍රජාවේ අයත්, නීතිඥවරු, මානව අයිතිවාසිකම්ක්‍රියාකාරීන් බොහෝ කාලයක ඉඳන් එකමුතුවී වැඩ කළා. මෙතන තියෙන වෙනස වෙන්නේ ඔවුන් වැඩකළේ ශ්‍රේෂ්ඨාධිකරණය නැත්නම් අධිකරණය ක්ෂේත්‍රය තුළ සිදුවිය යුතු වෙනස්කම් වෙනුවෙනුයි.අපේ අධිකරණයට නීති හදන්න බැහැ. අපේ නීති හදන්නේ පාර්ලිමේන්තුව. මැතිවරණ දිහා බැලුවොතින්, ලංකාවේ තියෙන්නේ පක්ෂ දේශපාලනයක්. අපේ දේශපාලඥයෝ සැලකිලිමත් වෙන්නේ ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ගැනයි. ඉන්දියාව තරම් දැවැන්ත උත්සහයක් අපි දැරුවත් අපේ දේශපාලඥයෝ මේ ගැන සැලකිල්ලක් දක්වයිද ? කියන එක මට විශ්වාස නැහැ.

ඒ කියන්නේ ඔබේ විශ්වාසය වෙන්නේ ලංකාවේ තියෙන පක්ෂ දේශපාලනය පවතින නිසා පාර්ලිමේන්තුව හරහා ගිහිං මෙවැනි වෙනසකට යා නොහැකි බවද ?

ඔව්, එක්සත් ජාතික පක්ෂයේ කීපදෙනෙක් අපහාසයට ලක්වෙලා තියෙනවා සමනලයා කියලා.ජනාධිපතිතුමා කිව්වෙත් මේකට එකඟවෙන්නේ නැහැ කියලා. එතනදී මඩ ගැහුවේ UNP ප්‍රජාවට මිසක් LGBTQපිරිසට නෙමෙයි. අපි ඉතිං, ගිරේට අහුවුණු පුවක් ගෙඩියක් වගේ ඉන්නවා. එච්චරයි.

යෝජිත නව ව්‍යවස්ථාවක් ගැන කතාබහට ලක්වුණා. ඒවගේම ජාත්‍යන්තරය හා සිවිල් සංවිධාන වරින් වර කාන්තා හා LGBTQ  අයිතීන් ගැන හඬ අවදි කරත් අපි අද ඉන්නේ කොතැනකද ?

අපි ඉතිං ඉදිරියට ගිහිල්ලා නැහැ. එක පියවරක් වත් ඉදිරියට ගිහිං නැහැ. පෙර ආණ්ඩුවත් හිටියේ මෙතැන, අපිත් ඉන්නේ මෙතැන. එකම වෙනස තමයි ජාත්‍යන්තර ප්‍රජාවට මානව අයිතිවාසිකම් ගැන සැලකිල්ලක් දක්වනවා කියලා පණිවිඩයක් දෙනවා, එහෙත්, ඇත්තටම මෙතැන වෙනසක් වෙලා නැහැ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (a) වගන්ති ඉවත් කරන්න ඕන. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කොට සැලකීමේ නීතිය යටතේ Sexual Orientation නැත්නම් ලිංගික දිශානතිය හා Gender Identity සම්බන්ධයෙන් ආරක්ෂාවක් පැවතිය යුතුයි.

පසුගිය සමයේදී යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් නැවත ලබාදෙද්දී හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා කිව්වා මේ අයිතීන් ගැන සැලකිලිමත් වෙන්න කියලා. එහෙම පසුබිමක අපි ජාත්‍යන්තර ප්‍රජාවට ගරු කරනවා නම් මේ වගේ වෙනසකට යන්නේ නැත්තේ ඇයි ?

මං කලින් කිව්වා වගේ දේශපාලඥයෝ තමයි. ජාත්‍යන්තරයට ගිහිං එකක් කියනවා. මෙහේට ඇවිත් තව එකක් කියනවා. ඒ දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ වගේ.

ඔබ අහලා දැකලා තියෙන පරිදි LGBTQ  ප්‍රජාවට රැකියාවේදී මුහුණදෙන්න වෙන්නේ මොනවගේ අභියෝග වලටද ?

සමලිංගික කාන්තාවන්ට ‘ආප්ප‘ කියලා කියනවා සංක්‍රාන්ති ලිංගික පිරිස් වලට අපහාස කරන්න ‘නපුංසකයා‘ වගේ වචන කියනවා.

සංක්‍රාන්ති ලිංගික පිරිස් ගත්තොත් පාසල් පද්ධතිය දිහා බලද්දි පිරිමි හා ගැහැණු පාසල් විදියට පාසල් වෙනස් කරලා තියෙන නිසා සමහර වෙලාවට ඔවුන්ගේ දැන් තියෙන ලිංගය නෙමෙයි පාසල් යන සමයේදී තිබිලා තියෙන්නේ.

නිදසුනක් වශයෙන් ගත්තොත් අමල් කියන පිරිමි ළමයා ගිහිං තියෙන්නේ හොලි ෆැමිලි කොන්වන්ට් එකට. එතකොට රැකියාවක සම්මුඛ පරීක්ෂණයට යනකොට ඒ අයට සමස්ත සම්මුඛ පරීක්ෂණය පුරාම අහන්නේ ‘අමල් ඔයා කොහොමද හොලි ෆැමිලි කොන්වන්ට් එකට ගියේ කියලා‘.

මගේ යාළුවන් මට කියලා තියෙනවා සමස්ත සම්මුඛ සාකච්ඡාවේදීම අහන්නේ ‘ඔයාට දැන් ශිෂ්ණයක් තියෙනවද ?, ඔපරේෂන් කරනවද ? වගේ දේවල්. කතාව යන්නේ රැකියාව ගැන නෙමෙයි, පුද්ගලයාගේ සිරුර ගැන.

එවැනි අවස්ථාවකදී ඔවුන්ට සමාජයෙන් මුහුණදෙන්න වෙන කොන් කිරීම වගේම ස්වයං කොන්කිරීම ගැන කතා කළොත් ? සමහරවිට මෙවැන්නක අවසානය සියදිවි නසාගැනීමක් වෙන්නත් පුළුවන් ?

ඔව්, ඒ වගේ අවස්ථා සිද්ධ වෙලා තියෙනවා. මම දන්න කෙනෙක්ටත් එවැනි දෙයක් සිදුවුණා. පුද්ගලයෙකුගේ ආත්ම ශක්තිය නැතිවෙන අවස්ථා තියෙනවා. කාන්තා ක්‍රියාකාරී සංවිධානය කියලා එකතුවක් තිබුණා, මෙහිදී අපි සම්මුඛ සාකච්ඡා ඇසුරින් පර්යේෂණ සිදුකරද්දී දැනගන්න ලැබුණා වැඩියෙන්ම වෙන්නේ පවුල තුළදීම වෙන ප්‍රචණ්ඩත්වය කියලා. පවුලෙන් එළියට යන විටත් මෙවැනි ඉරණමක් අත්වෙන්න පුළුවන්.

අම්මා, තාත්තාගෙන්, අයියලාගෙන්, වැන්දඹු අයගෙන්, නැත්නම් පවුලට සම්බන්ධ වී ඉන්න විවාහක පිරිස් වලින් තමයි වැඩිම ප්‍රචණ්ඩත්වය අත්වෙන්නේ. මේ ප්‍රචණ්ඩත්වය සමහර වෙලාවට කායික, මානසික හෝ වාචික විය හැකියි. නමුත්, මේ ගැන කිසිම සඳහනක් වෙන්නේ නැහැ. මව, පියා ගැන කතා කළොත් ඔවුන් වරදකරුවා කියලා කියන්න වත් කැමති නැහැ.මට කියන්න බැහැ ‘My mother is a perpetrator‘ කියලා. අපේ සංස්කෘතියට අනුව ඒ වගේ වචනයක් කියන්න වත් අමාරුයි. නමුත්, ගහලා, ගෙවල් ඇතුළේ මාස ගණන් නිවාස අඩස්සියේ තියලා, පවුලේ අනික් අය කතා නොකර, කන්න දීලා නැතුව පවුලේ පිරිසම මේ ප්‍රජාවේ අයට අන්ත විදියට සැලකූ අවස්ථාවන් තිබෙනවා.

සම්මුඛ පරීක්ෂණ, නිවස වගේම රාජකාරි කටයුතු වලදී LGBTQ ප්‍රජාවට විඳින්න සිද්ධ වෙන අත්දැකීම් ගැන, කොන්කිරීම ගැන පැහැදිලි කළොත් ?

මම දන්න යාළුවෝ මට කියලා තියෙනවා පොලීසියේ කාන්තාවන්ට ඔවුන්ගේ තනතුර එක තැනකට ආවට පස්සේ ඔවුන්ට උසස්වීමක් ලැබෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ඔවුන් යටතේ පුහුණු වුණු පිරිමි අය ඔවුන්ව අභිබවා ගිහිං තියෙනවා කියලා. ඔවුන් පිරිමි අය වෙන නිසාම මෙවැනි උසස්වීම් හිමිකරගන්න අවස්ථා තිබෙනවා.

සමහර වෙලාවට උසස් නිළධාරීන් මේ පොලිස් නිළධාරිනියන්ගෙන් මසාජ් දෙන්න කියලා ඉල්ලන බවත් ඔවුන් පවසා තිබෙනවා. එහෙම මසාජ් ලබාදුන්නේ නැත්නම් මොවුන්ගේ උසස්වීම් ලබාදෙන්නේ නැතිවෙන්න පුළුවන්, නැත්නම් වෙනත් තැන් වලට, දුෂ්කර පළාත් වලට ඔවුන්ට ස්ථාන මාරු ලැබෙන්න පුළුවන්.

මෑතකාලීනව දඹුල්ල ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය වුණා. මේ පිරිස් දිහා වපර ඇහින් බැලීම හා සමාජ පංතිය අනුව තියෙන විෂමතා මත පුද්ගලයින්ට සමහරවිට මරණයෙන් පවා වන්දි ගෙවන්නට වෙන අවස්ථා තිබෙනවා. සමාජයේ ඉන්න හැමෝම එක හා සමානයි, හැමදෙනාටම එක හා සමාන සැලකුම් ලැබිය යුතු බවට වූ පණිවිඩය සමාජයට ගෙනියන්නේ කොහොමද ? 

මේ නීතිය වෙනස්වීමක් වුණොතින් ඒක දැවැන්ත පණිවිඩයක් වේවි. නීතිය වෙනස් වුණෝතින් LGBTQ පිරිස් සමග වැඩකරන සංවිධාන වලට ඇතුළත් වෙලා මේ පුද්ගලයින්ට ඒකරාශී විය හැකියි, දිරිගැන්වීමක් මෙන්ම ඔවුන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරන්න හැකියි.

ජීවිතේටම LGBTQ  කෙනෙක් විදියට එළියට ඇවිල්ලා නැති කෙනෙක් මුළු ජීවිත කාලේම හැංගී හැංගී ඉන්නවා. නීතිය වෙනස් වුණොතින් මේ ප්‍රශ්න මගහැරේවි.

ඔබ කිව්වා LGBTQ  ප්‍රජාව නියෝජනය කරන කෙනෙක් කියලා. ඔබ වැනි පිරිස් වලටතමන්ගේ ලිංගික දිශානතිය ගැන ප්‍රසිද්ධියේ කතාබහ කිරීමට හැකි පසුබිමක් ලංකාවේ තියෙනවද ?

සමහර අය ඉන්නවා. ප්‍රසිද්ධියේ මේ ගැන කතාකරද්දී ඒ කෙනාගේ වෙන වෙන අනන්‍යතා බලන්න ඕන. මම කොළඹ ඉපදුණු, මධ්‍යම පංතියේ, ඉංග්‍රීසි කතා කරන, උසස් අධ්‍යාපනය හදාරපු කෙනෙක්. ඒ නිසා සමහර වෙලාවට මට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මට ලැබෙන වැටුපත් සමග කවුරු මතවත් රැඳී ඉන්නේ නැතුව ජීවත්වෙන්න පුළුවන්. වෙනත් කට්ටියට තමන්ගේ ජීවිතයේදී මුහුණදෙන්න සිද්ධවෙන අත්දැකීම් වෙනස්.

සමහර අය තමන්ගේ ගෙදර ඉන්න අම්මා, තාත්තා මත තමයි යැපෙන්නේ. එවැනි අයට නිදහසේ ජීවත්වෙන්න අමාරු වාතාවරණයක් තියෙන්නේ. මගේ සමහර යාළුවෝ ඉන්නවා පොලීසියට සම්බන්ධ වෙලා ඉන්න අය. පසුගිය වසරේදී තමයි පොලීසියේ කාන්තාවන්ට දිගු කලිසම් අඳින්න අවස්ථාව ලැබුණේ. ඊට කලින් ඔවුන්ට අඳින්න නියම කරලා තිබුණේ සාය. මගේම යාළුවෝකියලා තියෙනවා ඔවුන්ට වඩා උසස් නිළධාරීන් සමහර වෙලාවට ඔවුන්ට බණින්නේ ‘ආප්ප‘ කියලා නැත්නම් වෙනත් අපහාස වදන් පාවිච්චි කරලා. ඉතිං, වෙනත් අයගේ අනන්‍යතා මත, වෙනත් අයගේ හැකියාවන් මතඔවුන්ගේ වරප්‍රසාදලත් පිරිසක් වශයෙන් වෙනත් සාධක බලපානවා.

සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් / පිරිමින් අනුමත කරන පිරිස් (මීට වෛද්‍යමය සම්බන්ධයක් ඇති නිසා) සමරිසි බව දකින්නේ මානසික විකෘතියක් විදියට. මේ පිළිගැනීම කෙතරම් සාධාරණද ?

මම මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් නෙවෙයි. නමුත්, සංක්‍රාන්තික අයගේ පැත්තෙන් බැලුවොත් ලංකාව තුළ ඔවුන් සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක් දැකගන්න පුළුවන්. ඔවුන්ට හැඳුනුම්පත නිකුත් කරනවා. සමලිංගික අයට එවැනි සාධනීය තත්ත්වයක් අත්වී තිබෙන බව දැකගන්න ලැබෙන්නේ නැහැ. මේකෙන් දෙන පණිවිඩය මොකක්ද ?, තමාගේම ලිංගිකත්වය හිමි කෙනෙකු සමග සම්බන්ධයක් තියාගන්න ඕන නම් තමන්ගේ ස්ත්‍රීභාවය – පුරුෂ කරන්න නැත්නම්, පුරුෂභාවය – ස්ත්‍රී කරන්න අවශ්‍ය වෙනවා වගේ පණිවිඩයක් තමයි මින් ලබාදෙන්නේ. ඇමරිකානු මනෝ චිකිත්සක සංගමය මගින් ප්‍රකාශයට පත්කළ Diagnostic and Statistical Manual of Mental Disordersමගින් සමලිංගිකත්වය යන්න අසනීපයක් නොවෙන බව දක්වලා ඉන් ඉවත් කර තිබෙනවා.

කොළඹ ඉන්න සමහර මනෝවෛද්‍යවරුන් ඒ පැත්තෙන් හරිම දියුණුයි, සමහරු එහෙම නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා සමලිංගිකත්වය අසනීපයක් ලෙස හඳුනාගන්නේ නැහැ.

සමරිසි පුරුෂ පාර්ශ්වය අතර එච්අයිවී බහුලව පැතිර යන බවට වූ පිළිගැනීමක් තිබෙනවා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද ?

මෙවැනි චෝදනාවක් නැගීම වැරදියි. සමරිසි කාන්තාවන් පැත්තෙන් බැලුවොත් එච්.අයි.වී වැළඳුණු එක සිද්ධියක් වත් ලෝකයේ වාර්තා වල සටහන් වෙලා නැහැ. සමරිසි කාන්තාවන් හා ද්විලිංගික පිරිස් අතර සමහරවිට තියෙන්න පුළුවන්. සමරිසි කාන්තාවන් අතර එච්.අයි.වී පැතිරෙන්න තියෙන අවකාශය 0.01 % වගේ අඩු ප්‍රතිශතයක් තියෙන්නේ.

සමරිසි කාන්තාවන්ට ලංකාවේ නිදහසේ ජීවත්විය හැකි වාතාවරණයක් තිබෙනවද ? තමන් කැමති තැන් වල ගිහිං, කාලා බීලා, සතුටින් කාලය ගෙවන්න පුළුවන් පරිසරයක් තියෙනවද ?

ඔවුන්ගේ ලිංගිකත්වය ප්‍රකාශයට පත් නොකර, සඟවා කටයුතු කළොත් සමහර වෙලාවට ඒ විදියට ජීවිතේ ගතකරන්න පුළුවන් වෙයි. ඔවුන් කැමති කෙනා ගැන කතාකරන්න, සමහර වෙලාවට අනික් අය දිහා බැලුවම ආදරේ කරන කෙනෙක්, කැමති කෙනෙක් ඉන්නවා නම් ඔවුන් ගැන කතා කිරීම සාමාන්‍ය දෙයක්. නමුත්, සමරිසි කාන්තාවන් ගැන බැලුවොත් ඔවුන් ඒ ගැන කතා නොකර සැගවුවොත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.

සමරිසි කාන්තාවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී ගැවසුණොත් ඔවුන්ට අත්විඳින්න හැකිවෙන්නේ මොනවගේ අත්දැකීම්ද ? ඔබ අහලා, දැකලා තියෙන දේවල් ගැන කතා කළොත් ?

මට කියන්න පුළුවන් මගේ අත්දැකීම්. සමහර වෙලාවට මම ක්ලබ්ස් වලට යනකොට කාන්තාවක් සමග මම නැටුවොතින්, ගැවසුණොතින්, ඒ කාන්තාවට කැමති පිරිමි කට්ටිය ඇවිල්ලා මාත් සමග ගැටිලා තියෙන අවස්ථාවන් තියෙනවා. ඒ පිරිමින් මේ තරුණියට කැමතියි, ඔවුන්ට තේරුම්ගන්න බැහැ මේ තරුණිය මාත් එක්ක ඉන්නේ කොහොමද කියලා. එතකොට ඔවුන් ඇවිත් මාත් එක්ක තමයි ගැටෙන්නේ, අර තරුණියත් සමග ගැටෙන්න යන්නේ නැහැ.

එහෙම වෙන්නේ ඔබ කාන්තාවක් වීම නිසාද ? නැත්නම් ඔබ හිතන විදියට වෙනත් සාධකත් මීට බලපානවද ?

අනිත් එක මං ටිකක් butch නිසා. කාන්තාවක් වීම නෙවෙයි ඔවුන්ට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ, ඒගොල්ලන්ට අයිති ස්ත්‍රියකට මම කරන්නේ අපරාධයක්, වැරැද්දක්, අපහාසයක් කියලා ඔවුන් හිතනවා. අනිත් එක මං මොකුත් කරලා නැහැ, මං එයාලා එක්ක නිකං ඉන්නේ.

එක දවසක් මං රිදම් ඇන්ඩ් බ්ලූස් එකේ නිකං හිටගෙන හිටියා. තව අඳුරන්නේ නැති තරුණියක් ඇවිල්ලා මාත් එක්ක නැටුවා. ඉතිං, මං මොනා කරන්නද ? මං නැටුවා. ඊට පස්සේ පුරුෂයා ඇවිල්ලා මට ගහන්න හැදුවා. හොඳ වෙලාවට එතන ඉන්න bouncers ලා ඒ මනුස්සයව එළියට දැම්මා. ඒ වගේ situations තියෙනවා.

මේ වගේ අවස්ථාවකදී පොලීසියට ගිහිං තමන් මැදිහත් වෙලා එහෙම කතා කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද ?

ඇත්තටම, මට අපරාධයක් වුණා කියලා හිතමු. සමහර වෙලාවට එතකොට, අනිත් පක්ෂයට ඇවිල්ලා උත්තරයක් දෙන්න තියෙනවානේ. ඒගොල්ල කියන්නේ මෙයා ලෙස්බියන් කියලා. ඊට පස්සේ පොලීසිය පරීක්ෂණ පවත්වන්නේ මම ගැන. ඇයි මේකත් අපරාදයක්නේ. ඉතිං අපේ ප්‍රජාවේ බොහෝ දෙනෙකු අපරාධ වල ගොදුරු බවට පත්වෙලා ඉන්නවා. ඒ අය පොලීසියට කටඋත්තර දීලා නැහැ.

මම දන්න ලෙස්බියන්ස්ලා දෙන්නෙක් එකට ජීවත් වුණා. මේ දෙන්නා අතර ගැටුමක් ඇතිවෙලා එක්කෙනෙක් අනිත් කෙනාට කායිකව හා වාචිකව අඩන්තේට්ටම් කළා. ඕක විෂම ලිංගික තත්ත්වයක් නම් මට ඉස්සරලාම පොලීසියට කියන්න පුළුවන්. ඒත් මේ situation එකේ ඇත්තටම මට කරන්න පුළුවන් දෙයක් තිබ්බේ නැහැ. මම දන්නවා පොලීසිය ඇවිල්ලා, ඇත්තටම මොනවද වුණේ, ඇයි මේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වුණේ කියන එක ඔවුන් කවදාවත් හොයන්නේ නැහැ. ‘ආ මේ දෙන්නා ලෙස්බියන්ද ? 365 වගන්තිය අනුව මේ දේ කරන්න බැහැ‘ කියලා. ඒ වගේ බයක් තමයි තියෙන්නේ.

සමරිසි කාන්තාවන්, පිරිමින් ලංකාවේදී දරුවන් හදා වඩා ගන්න යද්දී තිබෙන නීතිමය තත්ත්වය ගැන කතා කළොත් ? එහෙම දරුවන් හදා වඩා ගත් අය ඉන්නවද ?

සමරිසි කාන්තාවන් ලංකාවේ adopt තමයි කරන්නේ. ලංකාවේ ඒ ගොල්ල adopt කරන්නේ singleparent – women කෙනෙක් හැටියට. නීතියේ තියෙන හැටියට ගැබිණි මවක් හිටියොත් එයා කියනවා ‘මට මේ ළමයව මේ පාර්ශ්වයට දෙන්න ඕන‘ කියලා. එතකොට, හැඳින්වීමක් කරලා තියෙනවා. එවැනි අවස්ථාවකින් ප්‍රයෝජනයක්ලබාගෙන adopt කරලා ඉන්න පිරිසක් ඉන්නවා. අනිත් එක මේ ළමයි කිසිම ප්‍රශ්නයක් නැතිව හොඳට ඉන්නවා.

ආදරෙන්, අඟහිගකම් වලින් තොරව මොවුන් හැදී වැඩෙන බව මා දැක තිබෙනවා.

ඔබ දැනුවත්ව එහෙම පවුල් කීයක් විතර ආසන්න වශයෙන් ඉන්නවද ?

තුන් දෙනෙක් වගේ ඉන්නවා. අනිත් පවුල් ඉන්නවා donor කෙනෙක් සම්බන්ධ වෙලා sperm දීලා දරුවෝ හදාවඩාගත් දෙතුන් දෙනෙක් ඉන්නවා. සමහර අය ඉන්නවා එක්කෝ දික්කසාද වෙලා, නැත්නම් එක් අයෙකු මැරිලා ඉන්න අයත්, මොවුන්ගෙන් සමහර දෙනෙකුට ළමයි ඉන්නවා. ඒ අයත් සමරිසි සම්බන්ධතා ගතකරනවා. එතකොට ඒ දරුවන් හැදෙන්නෙත් මේ අය අතරෙයි. මේ ළමයිගේ කිසිම වැරැද්දක් නැහැ.

සමරිසි අයෙකු ලෙස ඉඳලා සංක්‍රාන්ති සමාජභාවී අයෙකු බවට පත්වීමේ හැකියාවක් හා අවශ්‍යතාවක් කෙනෙකුට දැනෙනවාද ?

එහෙම වුණු පිරිස් මට මුණගැහිලා තිබෙනවා. ලෙස්බියන් ලා විදියට ගොඩක් කාලයක් ගතකරලා ඊට පස්සේ විරුද්ධ ලිංගික පුරුෂයෙකු විදියට ශල්‍යකර්ම කරලා, නැත්නම් ටෙස්ටෙස්ටරෝන් අරගෙන පිරිමි බවට පත්වුණු අවස්ථා තියෙනවා. ඒක වෙනවා.

මෙවැනි පිරිස් ඒ වගේ තීරණයක් ගන්න යොමුවෙන්නේ තමන්ගේ දරුවන්, පවුල් ජීවිතේ ගැන හිතලද ? නැත්නම් වෙනත් විශේෂ හේතු ඊට බලපා තිබෙනවාද ?

මෙවැනි තීරණයක් ගනිද්දි විවිධ සාධක බලපාන්න පුළුවන්. සමහර වෙලාවට ලංකාව වගේ රටක් දිහා බලද්දි සමලිංගික බවට අපේ acceptance එකක් නැති වීම, නැත්නම් සමහර වෙලාවට ඔවුන් හිතන්න පුළුවන් Hetro –  normative frame work එකකට අපි  fit වෙන්න කැමතියි කියලා වෙන්නත් පුළුවන්.

සමහර වෙලාවට ඔවුන්ට ආශාවකුත් ඇති එහෙම වෙන්න.

කෙනෙක්ට එහෙම තීරණයක් ගන්න පුළුවන්ද ? මගේ අනන්‍යතාව මේක. මම සමලිංගික කෙනෙක් – හැබැයි මට සංක්‍රාන්ති ලිංගික තැනැත්තෙකු බවට පත්වෙන්න පුළුවන් කියන තීරණය කෙනෙක්ට තමන්ගේ හිතට එකඟව ගන්න පුළුවන්ද ? 

ඔව්, එහෙම සිද්ධ වුණු අවස්ථා තිබෙනවා. නීතිමය වශයෙන් මේ සඳහා නිසි පියවර ගෙන නොතිබුණත් අපේ රටේ එහෙම සංක්‍රාන්ති ලිංගිකයින් බවට පත්වූ තැනැත්තන් ඉන්නවා.

එහෙම දන්න කියන කී දෙනෙක් විතර ඉන්නවද ?

ඇත්තටම, මං කියන සංඛ්‍යා අඩු වෙන්න පුළුවන්. මොකද අපේ රටේ ඒ පිරිස් විවෘත නැහැ. තිදෙනෙක් වගේ ඉන්නවා. දැන් ඔවුන් පෙනී සිටින්නේ විෂම ලිංගික අය වශයෙනුයි.

කාන්තාවන් හා LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් ඔබ කොළඹ ජීවත් වෙන මධ්‍යම පාංතික ජීවිතයේ ඉඳන් බිම් මට්ටමේ පිරිස් වෙත දක්වා යද්දී ඔවුන් සමග ගැටෙද්දී වෘත්තීය ජීවිතය තුළ මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අත්දැකීම් වලට ද ?

සමහර වෙලාවට LGBTQ ප්‍රජාවේ පිරිස් ගෙවල් වලින් වෙන්කර තැබූ වගේම එළවා දමපු  අවස්ථාවන් තියෙනවා. ගෙදරින් එළියට දානකොට ඒ අයට සූට්කේස් එකක් පැක් කරගන්න වත් වෙලාවක් එන්නේ නැහැ. ඉතිං, අපි ඒ අයට ඇඳුම්, පැළඳුම් අරන් දෙනවා.

මොවුන්ට පහර දුන් අවස්ථාවන් තියෙනවා. ඉතිං, අපි ඉස්පිරිතාලේට ගිහිං ඒ අයට ප්‍රතිකාර ලබාදෙනවා. සමහර අයට ඔවුන්ගේ ගෙදර පවා එපා වී ගියපු අවස්ථාවන් තියෙනවා. මෙවැනිපිරිස් රැකියා අවස්ථා වලට යොමුකරන එක වැදගත් වෙනවා, මොකද අතට මුදලක් එන නිසා ස්ථාවර බවක් ඇතිවෙන නිසා තවත් කෙනෙකු මත යැපෙන්න වෙන්නේ නැහැ. මේ වගේ කටයුතු වලට දායක වී තිබෙනවා.

සිද්ධියෙන් සිද්ධියට උදව් උපකාර කළ යුතු ආකාරය වෙනස් වෙනවා. අනිත් කාරණේ වෙන්නේ විෂම ලිංගික අය වගේම LGBTQ ප්‍රජාවේ අයත් මිනිස්සු. සමහර වෙලාවට මේ අයගෙනුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. දෙන්නෙක් එකතු වෙලා, තවත් කෙනෙක්ට ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න පුළුවන්. ඒ ප්‍රචණ්ඩ ක්‍රියා වලට ලක්වුණු කෙනාට මේ සිද්ධිය රිපෝට් කරන්නහෝ තවත් කෙනෙක්ගේ සහයෝගයක් ලබාගන්න කිසිම අවස්ථාවක් නැහැ. මොකද එහෙම දෙයක් ගැන කිව්වොත් ඒ නිසා තවත් ප්‍රශ්න මාලාවක් හටගන්න පුළුවන්. දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (a) වගන්ති Decriminalize වුණොත් වඩාත් හොඳයි. එහෙම වුණොත් මේ ප්‍රජාවට living opportunity එකක් නැත්නම් අනික් අය හා සමානව අවස්ථාවන් හිමිවේවි.

මේ කරන කටයුතු වලදී ඔබට මුණගැහිලා තියෙන්නේ ලංකාවේ මොන මොන පළාත් වල උදවිය ද ?

ඇත්තටම, හැම පළාතකම වගේ පිරිස් මුණගැහිලා තියෙනවා. උතුර, දකුණ, නැගෙනහිර මේ හැම පළාතකම පිරිස් මුණගැහිලා තියෙනවා.මේ වෙද්දිවතුකරයේ සමලිංගික කාන්තාවක්ව තාම මුණගැහිලා නැහැ. ඔවුන්ව මුණගැහෙන්න තියෙන අවස්ථාව අඩු නිසා ඒක වෙන්න පුළුවන්.

මේ අතර විවිධ වයස් වල පිරිස් ඉන්නවා. සමහර වෙලාවට අවුරුදු 60 ඉක්මවූ පිරිස් පවා ඉන්නවා. විවාහ වෙලා, ළමයි හදලා පවා සමලිංගික කාන්තාවන් වුණු පිරිස් ඉන්නවා. ඒක ඒ අයගේ ආශාව, කැමැත්ත. My body – My right කියන එක.

ඒ අවශ්‍යතාවය දැනෙන එක මොහොතක් තියෙනවද ? ‘මම කැමති මේ පිරිසට‘ කියලා තීරණයක් ගන්න මොහොතක් එළඹෙනවද ? මේක දැනෙන මොහොත ගැන කතා කළොත් ?

මට මතකයි මං ඉස්කෝලේ කාලේදී මම අක්කිලා දිහා බලනකොට ‘අනේ මෙයා හරීම ලස්සනයි‘. අනිත් එක ඒ අක්කා මට කතා කළෝතින් මගේ ‘ඩේ එක ටොප්‘. ඒගොල්ලන් මගේ දිහා බැලුවේ නැත්නම් හරීම අප්සෙට්. ඒක සාමාන්‍ය එකක්.

මං හිතන්නේ සාමාන්‍යයෙන් hetro sexual අයටත් ඔය වගේ එකක් වෙනවා. ඒත්, කොල්ලෙක් ගැන ඒ වගේ feeling එකක් කවදාවත් දැනුණේ නැහැ. මට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියා. ඒ relationship එක break off වුණත්, තිබ්බත් මට කිසිම වෙනසක් නැහැ. ඒ වගේ එකක්. ගර්ල් කෙනෙක් එක්ක තියෙන සම්බන්ධකම ඊට වඩා හරිම intense, heartfelt හදවතට සමීපව දැනෙන දෙයක්. ඒකේ වෙනසක් තියෙනවා.

මෑතකාලීනව කාදිනල්තුමා පැවසුවා මානව හිමිකම් ඕන නැහැ ආගම තිබ්බම ඇති කියලා. සෘජුවම මානව හිමිකම් සංවිධාන වලට චෝදනා නැගුවා. මානව හිමිකම් ක්‍රියාකාරිනියක් විදියට මේ ගැන කතා කළොත් ?

ලිංගිකත්වය ගැන කතා කරන කොට සමහර වෙලාවට ආගමෙන්, අදාළ ආගමේ අයට අවවාද කරන්න පුළුවන්, මේ වගේ හැසිරීම් වලට ගොදුරු වෙන්න එපා කියලා.මම ක්ලබ් එකකට ගියත්, ඒ ක්ලබ් එකට බැඳෙන අයට කතාකරන්න පුළුවන්. රජයකට එවැනි නීති දැමීම සිදුනොවිය යුතු බව මගේ අදහසයි. ඒක අපරාධයක් නෙමෙයිනේ. අපරාධයක් කියන්නේ අනිත් එක්කෙනෙක්ට වෙන හානියක්. මම කෙනෙක්ට ගැහුවොත්, මැරුවොත් රජයට වගකීමක් තියෙනවා ලංකාවේ පුරවැසියෙක් විදියට රටට යුතුකමක් තියෙනවා, නමුත්, කෙනෙක්ගේ කැමැත්තෙන් කරන දෙයකට මැදිහත්වීමට රජයට කිසිම අයිතියක් නැහැ. ආගමෙන් මිනිස්සුන්ට අවවාද කරන්න පුළුවන්, ඒ ආගමට මිනිස්සු අකමැති නම් ඔවුන්ට එයින් ඉවත් වෙන්න පුළුවන්. ඒ අයිතිය පිරිසකට තියෙනවා.

කාදිනල්තුමා කිව්ව කතාව බැලුවොත්, පූජකවරුන් අතර, නැත්නම් ළමා අපයෝජනය කළ අවස්ථාවන් සම්බන්ධයෙන් කතෝලික පූජකතුමන්ලාට චෝදනා තියෙනවා. අනිත් කාරණේ ලංකාව ගැන සලකා බැලුවොත් පරණ කතාවක් තියෙනවා, ලොකු හාමුදුරුවෝ – පොඩි හාමුදුරුනමකගෙන් අහනවා සිවුරෙන් ඉවත් වෙලා ඇයි විවාහ ජීවිතේකට යන්නේ කියලා. ලොකු හාමුදුරුවෝ කියන්නේ පන්සලේ හිටියොත් කාන්තාවෝ රැසක් ඉන්නවා – විවාහ වුණොත් එක් කාන්තාවක් පමණයි කියලා. ඒ වගේ සිද්ධි වෙනවා. සාමණේර ස්වාමීන්වහන්සේලාට මොනා වෙනවද කියලා අපි කවදාවත් දන්නේ නැහැ. පන්සලට කොහොමටවත් ඇඟිලි ගහන්නේ නැහැ. ඒ වගේ දේවල් නොවී තියෙන්නේ නැහැනේ, වෙනවා. ඒ ළමයින්ව ඇත්තටම කොහොමද ආරක්ෂා කරන්නේ කියන එක ගැන අවංක කතාවක් තියෙනවා නම්, මේ නීතිය ඇත්තටම ඉවත් කරන්න ඕන. එතකොට මේ පිරිසට අවංකව කතා කරලා, ඔවුන්ගේ මනස හදන්න පුළුවන් වැඩිහිටියන් හැසිරීම ප්‍රශ්නයක් නැහැ කියලා, නමුත්, ළමයින් දූෂණය කිරීම අහෝසි කළයුතු වැරැද්දක් කියලා.

අවසාන වශයෙන් දැනගන්න කැමතියි ලිංගිකත්වය හා පුද්ගල අනන්‍යතාව ගැන ඔබ දකින්නේ කොහොමද ?

කෙනෙක්ගේ ලිංගිකත්වය කියන්නේ එක අනන්‍යතාවක්. සුළුතර පිරිසකගේ ආගම, ජාතිය, භාෂාව ගැන බැලුවොත් ඔවුන් අතර ද LGBTQ  පිරිස් හිටියත් ඔවුන් විවෘත වී නැහැ. මුස්ලිම්, දමිළ නැත්නම් දමිළ කතා කරන ප්‍රජාව, වැඩිය මේ අරගලයට එක්වෙලා නැහැ. ඔවුන් බයෙන්  සැගවිලා ඉන්නවා. ඔවුන්ගේ පවුලට අපහාසයක් වේවි කියලා බයයි. මේ නීතිය අහෝසි කළොත් අනිවාර්යයෙන් හොඳක් වේවි.

Windya pic කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය හදාරන   වින්ධ්‍යා ගම්ලත්  Sri Lanka Guardian වෙබ් අඩවියේ සංස්කාරකවරිය (සිංහල) ලෙස කටයුතු කරන අතර ‘අනිද්දා‘ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදිනියක ද වේ.  මානව අයිතීන්, කාලීන විදෙස් දේශපාලන ප්‍රවණතා මෙන්ම විදෙස් සාහිත්‍යය ඇගේ ලේඛනයන් තුළ මූලිකව අවධානයට ලක්කරන කරුණුය.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: