සංක්‍රාන්ති පුද්ගලයන් කියන්නේ කවුද? කියවා දැනගන්න.

2019 මාර්ත 28.

ඉමාෂා පෙරේරා විසිනි.

Screenshot 2019-05-22 14.28.45

සංක්‍රාන්තික ක්‍රියාවලිය හා සංක්‍රාන්තික කාන්තාවකගේ ජිවන රටාව ගත් කල ශ්‍රී ලංකාව තුල බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් තම ජිවන රටාව පවත්වාගෙන යනු ලබන්නේ තම සංක්‍රාන්තික ක්‍රියාවලිය සාර්ථකව නිම කොට සාර්ථක පුද්ගලික ජිවිතයක් පවත්වාගෙන යෑමේ අරමුණෙනි.

එනමුත් සමාජය විසින් සංක්‍රාන්තික ක්‍රියාවලිය සුළුපටු කාර්යයක් ලෙස දැකීමත් විවිධ මනංකල්පිත ආකල්ප මතද පදනම් කොටගෙන විවිධ කෝණයන් තුලින් විග්‍රහ කිරීමට පෙළබි ඇත. එනම් කාන්තා ඇදුමින් සැරසී, කාන්තා ආයිත්තම් පැළද, ලාලිත්‍ය ගමන් විලාසය හා කථන විලාසය මත සංක්‍රාන්තික කාන්තාවක් ලෙස පිළිගැනීමට ඇතැමෙක් පුරුදු වී සිටී. එනමුත් විටෙක එම ලක්ෂණ වලින් කටයුතු කරන්නීය හරස් විලාසිතා කරන්නියක්ද(cross dresser) විය හැක. තවද සමාජයේ එක් කොට්ඨාශයක් සියලුම පුරුෂ අවයවයන් හා අනෙකුත් ශරීරයෙහි කොටස් කාන්තාවක් ලෙසට ප්‍රතිනිර්මාණය කල පිරිස සංක්‍රාන්තික කාන්තාවන් ලෙසට පිළිගැනීමට පෙළබි ඇත. එනමුත් ඔවුන් සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් (trans sexual women) වනු ඇත.

සෑම විටම සමාජය විසින් සංක්‍රාන්තික කාන්තාවන් ලෙස ලේබල් කිරීමට පෙලබනුයේ බාහිර රූපය හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලම වෙනස් කර ගනු ලැබූ පිරිසට පමණක් වන අතර විටෙක ගර්භාශයද, ඔසප් චක්‍රයද සිදු වන බවටත් සිතාගෙන සිටිනු ඇත. එමෙන්ම එසේ සිදු නොකර සිටින යම් සංක්‍රාන්තික කාන්තාවක් වේ නම් ඇය හරස් විලාසිතා කරන්නියක් හෝ සමරිසි පුද්ගලයෙකු(gay) ලෙස විග්‍රහ කිරීමටද එසේත් නැතිනම් තිබෙන කුතුහලය මත ඍජුව ඇගෙන් ඇසීමද සිදු කරයි. එමෙන්ම සමාජය විසින් සංක්‍රාන්තික ක්‍රියාවලිය යනු ඉතා සරල, පහසුවෙන් සිදු කල හැකි, අවම පිරිවැයකින් සිදු කරනු ලබන හෝ කිසිදු පිරිවැයක් නොමැති ක්‍රියාවලියක් ලෙසත්, සිතූ සැනින් තම කැමැත්ත මත කරගත හැකි ක්‍රියාවලියක් ලෙසත් සිතා ගෙන සිටි.

එනමුත් සංක්‍රාන්තික ක්‍රියාවලිය යනු ඉතා විශාල ක්‍රියාවලියක් වන අතර තම පුද්ගලික කැමැත්ත මත හෝ අවශ්‍ය වූ විට සිදු කර ගැනීමට පුළුවන් කාර්යයක් නොවන අතර ශ්‍රී ලංකාව තුල දී නම් අවමය දෙවසරක කාලයක් වන අතර එයද තම වත්කම් හා මුල්‍යමය ස්ථාවරත්වය මත වන අතර ලාංකික සංක්‍රාන්තික කාන්තාවන්ගේ මුල්‍යමය ස්ථාවරත්වය  මත බහුතරයකට මෙම කාර්යය නිම කර ගැනීමට වසර තුනක් හෝ ඊට වැඩි කාල පරාසයක් ගතවනු ඇත.

හරස් විලාසිතා කිරීම සංක්‍රාන්තික ක්‍රියාවලියේ පළමු අදියර වන අතර විටෙක තමන් සංක්‍රාන්තික කාන්තාවක්ද යන්න මෙම අවදියේදී අනාවරණය කරගෙන නොමැති විය හැක. ප්‍රථමයෙන් පුද්ගලයෙකුට පහසුවෙන් සිදු කර ගත හැකි වනුයේ තම බාහිර රුපය වෙනස්කර ගැනීම වන අතර මුල් අවදියේදී පැය 24 මුළුල්ලේ තමන්ට කාන්තාවක් ලෙස සිටීමට නොහැකි වීමෙන් හැකි සෑම විටම එලෙස ඇදීමට ඔවුන් පෙළබේ. එනමුත් සංක්‍රාන්තික කාන්තාවක් හා හරස් විලාසිතා කරන්නියක් අතර වෙනස වනුයේ හරස් විලාසිතා කරන්නීය මෙලෙස හැසිරෙනුයේ තම තෘප්තිය මත, රැකියාව මත, අවශ්‍යතාවය මත හෝ වෙනත් කරුණක් මත වන අතර එය එම අවස්ථාවට පමණක් සීමා වන අතර සංක්‍රාන්තික වීමක් පිලිබදව ඇය තුල බලාපොරොත්තුවක් නොවීමයි. එනමුත් සංක්‍රාන්තික කාන්තාවක් මුල් අවදියේදී මෙසේ සිදු කරනුයේ හුදෙකුත් තම මනස ඉදිරි අනාගතය සදහා සකස් කර ගැනීමටත්, සමාජයට තමන් කාන්තාවක් යැයි ඒත්තු ගැන්වීමටත්ය. එමගින් සනාථ වන එක් කරුණක් නම් සියලුම හරස් විලාසිතා කරන්නියන් සංක්‍රාන්තික කාන්තාවන් නොවන අතර, සියලුම සංක්‍රාන්තික කාන්තාවන්ට එක් අවදියක් හරස් විලාසිතා කරන්නියක් ලෙස සිටීමට සිදු වන බවය. ශ්‍රී ලංකාව තුලදී නම් සංක්‍රාන්තික ක්‍රියාවලිය වෛද්‍යවරයෙකුගේ අනු දැනුම මත ක්‍රියාත්මක වී පසුව නීතිමය කරුණු මගින් සනාථ කොට නිම වනු ඇත.

එනම් මෙම ක්‍රියාවලිය සරලව විග්‍රහ කළහොත් ප්‍රථමයෙන් ජාතික රෝහලෙහි දහතුන්වන කබරයේදී වෛද්‍ය කපිල රණසිංහ මහතා යටතේ සිදුවන මානසික සායනයට ලියාපදිංචි වීමත් සමගම දෙනු ලබන දිනට සායනයට පැමිණ වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබන ප්‍රථම මානසික හා මනෝ වෛද්‍ය සයනයට සහභාගී විය යුතු අතර ඉන් පසු ඔහු හෝ ඇය විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍ය වාර්ථා හා වෛද්‍ය පරීක්ෂණ ලබා ගත යුතුය. එම පරීක්ෂණ වල වාර්තාවන්ද රැගෙන නැවත සායන පැවැත්වෙනු ලබන සදුදා දිනයක වෛද්‍යවරයා හමුවීමට යා යුතු අතර වෛද්‍ය පරීක්ෂණ වල වාර්තා වල තත්වය මත හෝර්මෝන ප්‍රතිකාර ආරම්භය සිදු කරනු ඇත.

Screenshot 2019-05-22 14.28.55

මෙම ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු අවමය මාස හයක් වන නොකඩවා මසකට එක් වරක් සායනයට පැමිණීමේ  ක්‍රියාවලිය මත ඉදිරි ක්‍රියාවලියන් නිර්ණය වේ. මෙම කාල පරාසය තුල රෝගියාගේ සියලුම මානසික තත්වයන්, කායික තත්වයන්  හා සෞඛ්‍ය රටාවන් හා තත්වයන් පිලිබදව වාර්තා කිරීමක් සිදු වන අතර සය මසක් ගත වුවද වෙනසක් නොවේ නම් කාලය දීර්ඝ කිරීමටද පුද්ගලයා හෝර්මෝන ක්‍රියාවලිය තුල සාර්ථක නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා නම වෙනස් කිරීමට යෝග්‍ය වන බව සනාථ කරමින් වෛද්‍යවරයා විසින් ලිපියක් නිකුත් කරනු ලැබේ.

මෙම ලිපියෙහි ක්‍රියාවලියටද අවමය මසක් පමණ කාලයක් ගත වනු ඇත. ඉන් පසු මෙම ලිපියෙහි ආධාරයෙන් තම උප්පැන්නයෙහි නම හා ස්ත්‍රී පුරුෂ භාවය වෙනස්කර ගත හැකි වන අතර මෙම ක්‍රියාවලියටද අවමය නව මසක් පමණ යනු ඇත. මෙම කාලය තුලදීද මසකට එක් වරක් හෝ සායනයට යා යුතු අතර තමන් සංක්‍රාන්තික වීමට අවශ්‍ය ශල්‍යකර්ම සදහා සුදුසු යැයි වෛද්‍යවරයා හට පසක් වීමත් සමග පියයුරු ශල්‍යකර්මයට හා යෝනි මාර්ගය නිර්මාණය කිරීමේ ශල්‍යකර්මයටද අවශ්‍ය ලිපි සකස් කොට දෙනු ලැබේ. මෙම අවදියේදීම තමන්ගේ උප්පැන්නය සංශෝදනය වී ලැබුණි නම් තම හැදුනුම් පත, විදේශ ගමන් බලපත්‍රය, අධ්‍යාපන සුදුසුකම් හා සහතික, බැංකු ගිණුම්, රියදුරු බලපත්‍රය ඇතුළු තමන් සතු සියලුම අනන්‍යතාවය තහවුරු වන ලියකියවිලි සංශෝදිත උප්පැන්නයට අනුව වෙනස්කර ගත යුතු වන අතර වෙනස්කර ගැනීමට හැකියාවද හිමි වේ.

එමෙන්ම පියයුරු ශල්‍යකර්මය සදහා ලංකාව තුලදී රජයේ රෝහලකදී සිදු කරන්නේනම් එම පියයුරු බැලුම් යුගලය සපයා දිය යුතු අතර එයට ලක්ෂ එකහමාරකට සාපේක්ෂ මුදලක්ව වැය වන අතර අනෙකුත් කටයුතු රෝහල මගින් සපයනු ලැබේ. එමෙන්ම යෝනි මාර්ග ශල්‍යකර්මය වෙනත් රටක කිරීම මත එයටද විදේශගත වීම, ඉදුන් හිටුන් හා ශල්‍යකර්මය සදහා වන මුදලද ඇතුළුව අවමය ලක්ෂ තුනක මුදලක් අත තිබිය යුතුය. මෙම සියලුම ක්‍රියාවලියන් සපුරාලීමෙන් පසු සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් වීම සිදු වේ. එනම් ලියකියවිලි හා හෝර්මෝන පමණක් ගනු ලබන තැනැත්තිය සංක්‍රාන්තික කාන්තාවක් වන අතර සියලුම ලිංගික අවයව සැත්කම් වලට භාජනය වීමෙන් වෙනස්කර ගනු ලබන තැනැත්තිය  සංක්‍රාන්තික ලිංගික කාන්තාවක්ද වේ. තමන් මුල්‍යමය අතින් කෙතරම් සාර්ථක වේ දැයි යන්න මත ඉහත ක්‍රියාවලින් සිදුකරන අවස්ථාවේදී හෝ ඊට පෙර ලේසර් ප්‍රතිකාර කර ගැනීම තුලින් තම රැවුල වැවීම අවම කරගැනීමට හෝ නතර කර ගැනීමට හැකි වේ.

එනමුත් අප සියලු දෙනා දන්නා ආකාරයට ශ්‍රී ලංකාව තුල වෙසෙන බහුතරයක් සංක්‍රාන්තික තරුණියන් හට අධ්‍යාපනය කුඩා කාලයේදීම අහිමි වන අතර හෝ අවම අධ්‍යාපන සුදුසුකම් තිබීම මත ඔවුන් මුල්‍යමය අතින් ස්ථාවර නොවන අතර එදිනෙදා ජිවිතයට අවශ්‍ය මුදල පමණක් ඔවුන් සතු වීමත් තුලින් දින විසි එකකට අවශ්‍ය හෝර්මෝන සදහා වන රුපියල් තුන්දහස් පන්සියයකට ආසන්න මුදලද, පියයුරු සදහා වන මුදල හා අනෙකුත් මුදල් සොයා ගැනීම ඔවුන්ට අපහසු කරුණක් වේ. එමෙන්ම විටෙක සායනය සදහා යාමට මුදල් අත නොමැති වන අවස්ථාද ඇති වේ.

මෙම හේතුන් මත බහුතරයකට තම ක්‍රියාවලිය නිම කිරීමට වසර ගණනාවක් යනු ඇත. එමෙන්ම මුල්‍යමය අතින් ස්ථාවර වුවද තම පුද්ගලික රුචි අරුචිකම් මත හෝර්මෝන පමණක් ගැනීමට, ලියකියවිලි පමණක් වෙනස් කර ගැනීමට හා අවයව මාරු නොකිරීමටද යම් සංක්‍රාන්තික කාන්තාවක් පෙලබිය හැක. එනම් සංක්‍රාන්තික වීම තම කැමැත්ත මත විය යුත්තක් හෙයිනි. එනමුත් ඇතැම් විට සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් විසින් සංක්‍රාන්තික කාන්තාවන් හා හරස් විලාසිතා කරන්නියන් හැල්ලුවට ලක් කරන අතර සියලු දෙනාම තෙරුන් ගතයුතු කරුණක් වනුයේ හුදෙකුත් බාහිර රූපය වෙනස්කොට ගැහැනියක් වීමත්, ලිංගික අවයව වෙනස් කිරීමත් පමණක්ම නොව විටෙක එය මානසිකව පමණක් විය හැකි කාරණයක්ද විය හැකි බවය. එනම් බාහිරින් කාන්තාවක් ලෙස නොපෙනෙන පුද්ගලයෙකු වුවද, කාන්තා ඇදුම් පැළදුම් මත පදනම් නොවී මානසික කරුණු මත ඔහු ගැහැනියක් යැයි පවසන්නේ නම් එය පිළිගැනීමට හැකියාව තිබිය යුතුය. එනම් හුදෙකුත් තමන්ගේ කැමැත්ත හා ආකල්ප මත නොව පවසන පුද්ගලයාගේ අදහස මත ඔහුගේ අනන්‍යතාවය පිළිගැනීමට හැකි විය යුතුය. එයට හේතුවනම් තමන්ද විටෙක හරස් විලාසිතා කරන්නියක් ලෙස හා සංක්‍රාන්තික කාන්තාවක් ලෙස පෙනී සිටීමෙන් පසු සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් වීම නිසාය.

53817018_2145887228832968_3046277778858049536_o ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: