සංක්‍රාන්තිය කියන්නේ ගැහැණු වෙලා ඉඳලා පිරිමි වෙනවා නෙමෙයි, ඊට වඩා එහා ගිය දෙයක් – තෙනූ රන්කෙත්

2018 ඔක්තෝබර් 01.

සාකච්ඡාව සහ සටහන වින්ද්‍යා ගම්ලත් විසිනි. 

‘වෙනස සංක්‍රාන්ති සමාජභාවී ජාලය’ සංක්‍රාන්ති සමාජභාවී පිරිස් වෙනුවෙන් මෙරට තුළ ආරම්භ කළ පළමු ආයතනය වන අතර මෙහි ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කරන්නේ තෙනූ රන්කෙත් ය. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට සමාජය තුළ මුහුණදීමට සිදුවන අභියෝග, ඔවුන් වෙනුවෙන් වූ නීතිමය ප්‍රතිපාදන වෙනස්වීමේ අවශ්‍යතාවය මෙන්ම LGBTQ ප්‍රජාව ගැන Bakamoono වෙබ් අඩවිය සිදුකළ තෙනූ රන්කෙත් අදහස් පළකලේ මෙලෙසිනි.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ගැන කතාබහ කරද්දි සාමාන්‍යයෙන් අපි කියන්නේපිරිමිකෙනෙකු ගැහැණු කෙනෙකු වීම නැත්නම් ගැහැණු කෙනෙකු පිරිමි කෙනෙකු වීම කියලා.මේ යෙදුම කෙතරම් නිවැරදිද යන්න මුලින්ම දැනගන්න කැමතියි ?

හැම ලේඛනයකදීම අපි දකින්නේ පිරිමියෙකු වී ඉඳලා කාන්තාවක් වීම (Male to Female) නැත්නම් කාන්තාවක් වී ඉඳලා පිරිමියෙකු වීම (Female to Male) ලෙසයි.කිසිම ස්ත්‍රියකට බැහැ පුරුෂයෙක් වෙන්නත්, කිසිම පුරුෂයෙකුට බැහැස්ත්‍රියක් වෙන්නත්. එහෙම නම් ගැහැණු අයට තියෙන ප්‍රශ්න වලට මේ හැමෝමඅනිවාර්යයෙන්ම පිරිමි වෙන්න ඕන. ඒක නිසා ඒ ප්‍රකාශනය නිවැරදි වෙන්න ඕන. මං කියන්නේ ගැහැණු වෙලා ඉඳලා පිරිමි වෙනවා නෙමෙයි. ස්ත්‍රී ශරීරයක ඉපදුණු පිරිමිපුද්ගලයෙක් තමන්ට අදාල  ශරීරයට යෑම හෝ පුරුෂ ශරීරයක ඉපදුණු ස්ත්‍රියක් තමන්ට අදාල ශරීරයට යෑමයි මෙහිදී වෙන්නේ. ස්ත්‍රියක් විදියට ඉපදිලා පුරුෂයෙකු වෙනවා හරි පුරුෂයෙක්ව ඉපදිලා ස්ත්‍රියක් වෙනවා කිව්වම සමාජය බලනවා මොකක්ද මේක, මෙහෙම වෙනස් වෙන්නේ මොකටද කියලා.

සාමාන්‍යයෙන්, පුරුෂ පාර්ශ්වයට ලොකු තැනක් දෙනවා අපේ සමාජයේ. ඒකපුරුෂාධිපති ක්‍රමයත් එක්ක එන දෙයක්. පිරිමියෙක් වෙලා ඉඳලා ගෑණියෙක් වෙන එකමොන නින්දාවක්ද කියලායි බලන්නේ.

ලංකාවේ බොහෝ දෙනෙකු සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් විදියටහඳුනාගෙන තිබෙන්නේ පුරුෂ සිරුරක ඉඳලා ගැහැණු සිරුරකට යන පිරිසයි. මාධ්‍යතුළ පවා බොහෝවිට කතාබහට ලක්වෙන්නේ මේ මේ පිරිස පමණයි. නමුත්, ස්ත්‍රීසිරුරක ඉඳලා පුරුෂ ශරීරයකට යන පිරිස් ගැන  කතාබහට ලක්වෙනවා අඩුයි. ඒ ඇයි ?

ඇත්තටම, ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ විසිබිලිටි එක නැතිකමයි. පිරිමිශරීරයක ඉපදුණු පුද්ගලයෙක්, කාන්තාවක් හැටියට වෙනස් වෙද්දි ශරීරයේ හැඩරුව ඒකියන්නේ සාමාන්‍යයෙන් අපි සාම්ප්‍රදායිකව පිළිගන්න ගැහැණු ලාලිත්‍ය ලබා ගන්නශල්‍යකර්ම වලට මුහුණදෙන්න සිද්ධවෙනවා, දිගු කාලීනව ලොකු උත්සහායක් ගන්න වෙනවා. උදාහරණයක් විදියට රැවුල වැවෙන එක නවත්තන්න කිහිප වතාවක් ලේසර්ප්‍ රතිකාර කරන්න සිදු වෙනවා.

නමුත්, කාන්තා ශරීරයේ ඉපදුණු පුද්ගලයා පිරිමියෙකු විදියට සිරුර වෙනස්කරද්දි සමාජයට ඒක වෙන් කරලා අදුර ගන්න අමාරුයි. විශේෂයෙන්ම හෝමෝන ප්‍රතිකාරහරහා රැවුල වැවෙන්න පටන් ගත්තහම අපි දන්න සාම්ප්‍රදායික පිරිමියා මතුවෙනවා. සංක්‍රාන්තික කාන්තාවන් අවුරුදු 10 ක් හෝර්මෝන ප්‍රතිකාර ගත්තත්මිනිස්සුන්ට අඳුරගන්න බොහෝ විට පහසු නිසා උසුළු, විසුළු වලට ලක්වෙනවා. නමුත්, සංක්‍රාන්තික පිරිමින්ට එවැනි ප්‍රශ්නයකට මුහුණදෙන්න සිද්ධවෙන්නේ නැහැ.සංක්‍රාන්ති පිරිමින් ගැන කතා නොකළට මේ විදියටත් මිනිස්සු ඉපදෙනවා.

එය පෞද්ගලික කාරණාවක් නිසා අනික් අය අග මුල දැනගන්න අවශ්‍යනැහැ.සංක්‍රාන්ති ප්‍රජාවටත් අනෙක් අය හා සමාන මානව ගරුත්වයක් පවතින බව දැනගත්තම ප්‍රමාණවත්.

ලංකාවේ මේ පුරුෂ මූලික සමාජය ඇතුළේදී අනිවාර්යයෙන්ම පිරිමියා කියන කෙනා ප්‍රමුඛයිකාන්තාවපවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න මොන දායකත්වයක් දුන්නත් පිරිමියා හැමතැනකදීමමූලිකත්වය ගතයුතු යැයි පොදුවේ පිළිගන්නවා. මේ තුළ සංක්‍රාන්ති සමාජභාවීපුරුෂයින්ට රැකියාව ඇතුළේදී මුහුණදෙන්න වෙන්නේ මොනවගේ අභියෝග වලටද ?

සංක්‍රාන්තිසමාජභාවිපුද්ගලයන් ගැන අපේ සමාජයේ තියෙන දැනුම හුගාක් අඩුයි.සංක්‍රාන්තිකයින් බව දැනගත්තාම පවුල තුළ තිබෙන පිළිගැනීම නැතිවෙලා යනවා. ඒනිසා ගොඩක් පිරිස් තමන්ගේ පවුල් වටපිටාවෙන් ඈත් වෙලා ඉන්නවා.කෙසේ නමුත් සංක්‍රාන්ති සමාජභාවි පුරුෂයාට විවාහයෙන් පසු ඔහු විසින් ගොඩ නගන පවුල තුල සාමාන්‍යයෙන් සමාජයේ පුරුෂයාට තිබෙන ස්ථානය තිබෙනවා.

නමුත් රැකියාව තුළ දී මෙම පුද්ගලයාගේ තොරතුරු හෙළිදරව් උවහොත් එතැන් පටන් ඔහුට රැකියාව එපා කරවීමේ හෝ නෙරපා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මෙහිදී නොයෙකුත් ආකාරයේ තාඩන පීඩන වලට ඔහු ලක් කිරීම සිදුවනවා.

ඔබ දන්නා සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයින් යෙදී ඉන්නේ මොනවගේ රැකියාවන් වලද ?

දැනට ඇත්තටම ඒ පිරිස සමාජයේ නොදැනුවත්භාවය නිසා ඒ අයගේ අධ්‍යාපන මට්ටමටවඩා අඩු සුදුසුකම් තිබෙන රැකියා වල නියැලෙන්නේ. සමහර අයට අවස්ථාව ලැබිලාතියෙනවා තමන්ගේ අධ්‍යාපන මට්ටම සරිලන රැකියා වල නියැලෙන්න. නමුත්, නොලැබුණුඅවස්ථා ගොඩක් වැඩියි. ලැබෙන අවස්ථාවත් ඊට බලපා තිබෙනවා.

නොයෙකුත් ආකාරයේ රැකියා වල නියැලෙනවා. පාරේ බඩු විකුණන තැන ඉඳලා කඩවල්,  රෙස්ටොරන්ට් වැනි තැන්වල වැඩකරන අය වගේම ඊට ඉහළ තැන් වලත් සේවය කරන ඉන්නවා.සමහරදෙනා තමන්ගේම ව්‍යාපර කරගෙන යන්නත් උත්සහ කරනවා.

මෙහිදී ඔවුන් රැකියාවට යන්න කලින් තමන් ගැන අනාවරණයක් කරනවද ?  නැත්නම් උප්පැන්න සහතිකය, හැඳුනුම්පත වගේ දේවල් වලින් අදාළ ආයතන ඔවුන්කවුරුන්ද යන්න දැනගන්නවද ?

බොහෝ දුරට මෙතැනදී අනාවරණය වීමක් ඉබේම සිද්ධවෙනවා. ETF, EPF වලට අවශ්‍ය ලිපිගොනු සදනවිට අලුත් හැඳුනුම්පතක් ලැබුණත් උප්පැන්න සහතිකයේ සියලු විස්තර අන්තර්ගතනිසා අනිවාර්යයෙන්ම කළමණාකාරීත්වය දැනගන්නවා මේ පුද්ගලයා සංක්‍රාන්තිසමාජභාවිතැනැත්තෙක් කියලා. එතැනදී ඇතිවෙන වාතාවරණයත් සමග රැකියාව තවදුරටත් තියෙන්නහෝ නැතිවෙන්න පුළුවන්. මේ නිසා රැකියාවක් හොයාගැනීමත් අසීරුයි. මේ නිසාබොහෝ දුරට වෙන්නේ තමන්ට ලැබෙන සුළු රැකියාවක නිරත වෙන්නට සිදුවීමයි.

ඔබ කිව්වා බොහෝ දෙනෙකුගේ ඇත්ත තත්ත්වය දැනගත් විට රැකියාස්ථානයෙන් පවා ඔවුන්ව ඉවත් කරදාන බව. සමාජයේ සාමාන්‍ය පිළිගැනීම වෙලාතියෙන්නේ LGBTQ පිරිස් සල්ලි හොයාගන්න සෙක්ස් වර්කර්ස්ලා විදියට වැඩකරන බවයි. ඔබේ අත්දැකීම්ද සමගින් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන කිව්වොත් ?

මේ කතාව මං පිළිගන්නේ නැහැ. මිනිස්සුන්ට සල්ලි අවශ්‍යය ඇයි? ජීවත්වෙන්න. විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වන ප්‍රජාවලිංගික ශ්‍රමිකයින් අතරෙත් ඉන්නවා. සෙක්ස් කියන්නේ මනුස්සයෙක්ගේ මූලිකඅවශ්‍යතාවක්. නමුත්, LGBTQ ප්‍රජාව ගොඩක් ලිංගික ශ්‍රමිකයින් විදියට කටයුතුකරන්න යොමුවෙන්නේ ඇයි ?. පොඩිකාලේදීම මේ පිරිස ගෙවල් වලින් කොන්කරනවා. LGBTQ කියලා දැනගත්තම ගෙවල් වල තියාගන්න කැමති වෙන්නේ නැහැ. අවුරුදු 14 – 16 දී වගේ වයසේදී මොවුන්ව ගෙදරින් එළියට දැම්මම ළමා වියේ පසුවනමේ තැනැත්තා කන්නේ, බොන්නේ ජීවත්වෙන්නේ කොහොමද ?. ඔවුන්ට කන්න, අඳින්නදුන්නේ දෙමාපියොනේ. එක දවසින් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැනේ.  අදාළ පුද්ගලයටඉන්න තැනක්, කෑම බීම, ඇඳුම් හොයාගන්න සිද්ධවෙනවා. ඔවුන්ට රැකවරණ දෙන්නෙත් ඔවුන්ගේම ප්‍රජාවේපිරිස්. ඒ හැර ඔවුන්ට වෙන පිහිටක් නැහැ. බොහෝ දුරට මුඩුක්කු ආශ්‍රිත ප්‍රදේශ වලම තමයි මොවුන්ජීවත්වෙන්නෙත්. එයට හේතුව අවම වියදමකින් ජීවිතේ ගැටගැනීම. එවැනි තැනක නිකං ඉන්නත් බැහැ. රැකියාවක් කරන්නසිද්ධවෙනවා. රැකියාවක් කරන්න නොහැකිවෙද්දි අනික් අයත් යෙදෙන පහසුවෙන්මහොයාගන්නට හැකි රැකියාවක ඔවුන් නියැලෙනවා.

උදේට මේ අයට බණින පිරිස තමයි රෑට එන්නේ. ඔවුන්ගෙන් සේවාවන් ලබා ගන්න එනපිරිස ගැන කවුරුත් කතාකරන්නේ නැහැ. ඒ පිරිස එන නිසානේ මොවුන් දන්නේ මෙවැනිරැකියා වලට යොමුවී යැපීමට යමක් උපයා ගන්න පුළුවන්  කියලා. හැමදෙනාටම සැලොන් වල රැකියාව ලබාදෙන්නේ නැහැනේ.පුරුෂ සමලිංගිකයින් හා සංක්‍රාන්ති කාන්තාවන්තමයි බොහෝ දුරට ලිංගික ශ්‍රමිකයින් බවට පත්වෙන්නේ. ඒ ඔවුන් සෑම විටම පවුල තුළ දෝෂ දර්ශනයට ලක්වන නිසායි. සංක්‍රාන්ති පිරිමින්, සමලිංගික කාන්තාවන් ඒ තුළ දැකගන්න අඩුයි.

ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ පුළුල්ව විහිදුණ යෙදුමක්. ඒක ඇතුළේ ඉන්නපුළුවන් විවිධ සමාජීය අනන්‍යතාවයන් තියෙන පුද්ගලයන්. ඒ අය මුහුණ දෙන ස්ථරගත කොන් කිරීම ගැන කතා කරන්න පුළුවන්ද?

ප්‍රජාව ඉපදුණු දිනයේ ඉඳන් මිය යන තෙක්ම කොන් කිරීමට මුහුණදෙන්නසිද්ධවෙනවා. සංක්‍රාන්ති සමාජභාවිපුද්ගලයින්ට ඊට මුහුණදෙන්න සිද්ධ වෙන අවස්ථාවැඩියි, ඊට හේතු වෙන්නේ ඒ පුද්ගලයා ඉපදුණු අන්දමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්පුද්ගලයෙකු බවට තමාව පරිවර්තනය කරන නිසයි.

මාපියන් විසින් දරුවන්ට ආමන්ත්‍රණය හෝ ප්‍රකාශ නොකළ යුතු වචනවලින් සංග්‍රහ කරන අවස්ථා තිබෙනවා.පවුලෙන් එම පුද්ගලයාව කොන්කරනවා. මේ හැමදේම හැබෑවටම අත්දකින්නට හැකිවුණු සිදුවීම්. පවුලේ අය ඉපදුණු විදියටම මේ පුද්ගලයාගේ ස්වරූපය තියන්න උත්සහ කරනවා.

එතනින් එහාට ගියාම නෑදෑයෝ, වටපිටාවේ ඉන්න පුද්ගලයින් පවා ඔවුන්වප්‍රතික්ෂේප කරන අවස්ථා තිබෙනවා. පවුලේ අය කතාකරන්නේ නැතුව මගහරිනවා, කෑමබීම පවා නොදුන් අවස්ථා තිබෙනවා. දරුණු පහරදීම්, දරුණු වශයෙන් බණින අවස්ථා, පවුලේ සාමාජිකයින් විසින් දූෂණයට ලක්කරන අවස්ථා පවා තියෙනවා.

එවැනි පුද්ගලයන් දූෂණයට ලක්කිරීම කියන්නේ අතිශය බරපතල තත්ත්වයක්. එවැනි ක්‍රියාවකින් බලාපොරොත්තුවෙන්නේ මොකක්ද ඇත්තටම ?

මොවුන්ව දූෂණය කළාම ඔවුන්ගේ අදහස් වෙනස් වෙනවා කියලා හිතනවා. මෙවැනි ලිංගික අත්දැකීමක්නැති නිසා තමයි මාරු වෙන්න උත්සහ කරන්නේ කියලා, එයා ආයේ වෙනසක් ගැන කතානොකරාවි කියලා හිතනවා. තමන්ට පුරුෂ සිරුරකට යා යුතු බව කීව කෙනෙකු දූෂණයකරන්න පවුලේ කෙනෙකුම උත්සහ කරපු අවස්ථාවක් තිබුණා. සමාජයේ ඉන්න පිරිස්විසින් ලිංගික හාවාචික හිරිහැර, කණ්ඩායම් ලෙස පහරදුන් අවස්ථා, පැහැරගෙන යාම් තිබෙනවා.චාටුවෙන් රවටා අයුතු ප්‍රයෝජන ගත් අවස්ථා තිබෙනවා.

පාසලේ පිරිස ගත්තම පෙර කී හැම හිරිහැරයක්ම පාසලෙන් සිද්ධ වෙන අවස්ථාතිබෙනවා. විශේෂයෙන්ම, සංක්‍රාන්ති පිරිමි අය ගත්විට ඔවුන් බොහෝ විට පාසල තුළදිදූෂණයට ලක්වෙනවා.මේ ළමුන් සම්බන්ධව කිසිම කථා බහක් වෙන්නේ නැහැ.

රැකියාවක නියැලුණත් මේ කොන්කිරීම් වලට මුහුණදෙන්න වෙනවා. රැකියාව දිගටම කරන්න නම් අනිවාර්යයෙන්ම මේ ලිංගික අල්ලස් දෙන්න වෙනවා.

සංක්‍රාන්ති පිරිමි අය විවාහ දිවියට ඇතුළත් වුණු අවස්ථා තිබෙනවාද ? එහිදී ඔවුන් සත්‍ය විස්තර කීවොත් මොනවගේ තත්ත්වයක්ද උදාවෙන්නේ ?

තමන් කවුද කියන එක කියපු අයත් ඉන්නවා. ඒ ගැන පැහැදිලිව නොකීව පිරිසත්ඉන්නවා. තමන් කවුද යන්න කිව්වත් නොකීවත් ඒ විවාහ දිවිය අසාර්ථක වුණු අවස්ථාතිබෙනවා. ඒ පවුලේ අනික් පාර්ශ්වයන්ගේ අනවශ්‍යය මැදිහත්වීම නිසායි. සහකරුවා හෝ සහකාරිය නොවෙයි. අනික් පාර්ශ්වය විසින් මේ පිරිස උසාවියට ගෙන ගිය අවස්ථා දතිබෙනවා.

විවාහ වුණු පාර්ශ්වය හැබෑ තත්ත්වය දැනගත්තත් ඒ පාර්ශ්වයේ නෑදෑයෝ නොදැන මේදෙදෙනා පමණක් දැනගෙන ඉතා සාර්ථකව ජීවත්වෙන අය ඉන්නවා. දැනගත්තොත් අනිවාර්යයෙන්ම ඒවිවාහ ජීවිතය දෙදරා යාමේ සංවේදීතාව වැඩියි බාහිර පාර්ශ්වයන්ගේ ඇඟිලි ගැහීම් නිසා.

මේ වෙද්දි විවාහ ජීවිත ගතකරන සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන් කොපමණ ප්‍රමාණයක් විතර ඉන්නවද ?

බොහොම ටික දෙනෙක්. මේ අතරින් බොහෝ දෙනෙක් මධ්‍යම පාංතිකයින්. අනික මේවිවාහ ජීවිත රැඳී තියෙන්නේ දැඩි අවබෝධය මතයි. දෙපාර්ශ්වයේ බොහෝ දෙනෙකුගේ ගෙවල්වල පිරිස් දන්නේ නැහැ. බොහෝ දුරට සංක්‍රාන්ති සමාජභාවිතැනැත්තාගේ පැත්තෙන් පොඩි උදව්වක් තියෙනවා. අනික් පාර්ශ්වය දන්නේ නැහැ.අනිත් හැම විවාහයන් වලම වගේ විවාහ වුණු පුද්ගලයාගේ දැඩි මතය හා කැමැත්ත මත තමයි මෙවැනිවිවාහයන් රැඳිලා තියෙන්නෙත්.

පූර්ණ වශයෙන් සංක්‍රාන්ති සමාජභාවි පුරුෂයෙකු (F –M) බවට පත්වෙද්දී අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයකට මුහුණදෙන්න සිද්ධවෙනවා. දැනට ලංකාවේ රෝහල් වල මේ සඳහා තිබෙන සහයෝගය මොනවගේද ?  

සෞඛ්‍යමය පැත්ත ගත්තොත් රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත්ම අවමයි.රජයේපාර්ශ්වයන් සමග මේ සම්බන්ධයෙන් කතාබහ කරන්න හැකි වාතාවරණයක් හැදීගෙන ආවත්එය කොළඹ පමණක් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. වෛද්‍යවරු කීපදෙනයිඉන්නේ, රජයේ රෝහල් වල සායනික ප්‍රතිකාර දැනට පවත්වාගෙන යනවා.

මූලික වශයෙන් අනුරාධපුරය, ගාල්ල කරාපිටිය, කොළඹ මහ රෝහල, රාගම හාපේරාදෙණිය වැනි රෝහල් මේ සම්බන්ධව කටයුතු කරනවා. රජයේ රෝහල් වල ඉතාමත්සීමිත අවස්ථාවක් තිබෙන්නේ. වෙනත් රෝග සඳහා එන රෝගීන් සංඛ්‍යාව වැඩියි.මෙතැනදී සංක්‍රාන්ති සමාජභාවිපුද්ගලයින්ගේ ශල්‍යකර්ම කරන්න දීර්ඝ කාලයක් වැයවෙනවා.සියලු ප්‍රතිකාර ආරම්භ කල පසු මොවුන්ගේ ශල්‍යකර්ම හැකි ඉක්මනින් කරන්නඅවශ්‍ය වෙනවා. නමුත්, රජයේ රෝහල් වල ශල්‍යකර්ම සිද්ධවෙන්නේ ලැයිස්තුවකටඅනුවයි.

සංක්‍රාන්ති ලිංගිකයින් ශල්‍යකර්ම අරගන්නේ අත්‍යවශ්‍ය නොවන මට්ටමට. මේශල්‍යකර්ම නොකර සිටියත් මොවුන් මියයන්නේ නැති බවට සැලකෙනවා. අනික්ශල්‍යකර්ම කරලා අවස්ථාවක් තිබුණොත් පමණයි මේ ශල්‍යකර්මය කෙරෙන්නේ. එසේත් නැතහොත් ලැබෙන දිනය ඉතා ඈතයි. මෙහිතිබෙන අවදානම වෙන්නේ මෙය අදාළ පුද්ගලයාට අත්‍යවශ්‍යයි. තමන්ට අවශ්‍ය නොවනසිරුරක ඉන්නවා කියන තත්ත්වය දැඩි මානසික පීඩනයක් බවට පත්වෙලා පහුවදා වෙද්දිසියදිවි නසාගන්නා තත්ත්වයට පත්වෙන්න පුළුවන්. නමුත්, රෝහල් වල මීට සුවිශාලඅවධානයක් දෙන්නේ නැහැ.රජයේ රෝහල් වල පවතින සම්පත් සීමිත වීමත් හේතුවක්.

දැනට ශල්‍යකර්ම කොළඹට පමණක් සීමා වී තිබෙනවා. මූලික මට්ටමේ ශල්‍යකර්ම වලටලක්ෂ 8 ක් විතර වැයවෙනවා. අවසාන ශල්‍යකර්මය කරන්න ලංකාවේ පහසුකම් නැහැ.අවසන් ශල්‍යකර්මයක් ලංකාවේ කරලා තිබෙන්නේ එක අවස්ථාවකදී පමණයි. කළුබෝවිලරෝහලේදී. ඒ ශල්‍යකර්මයේ දැනට තත්ත්වය හොඳ අතට තිබෙනවා.

රජයේ රෝහල් වල අවශ්‍ය පහසුකම් අවම වන විට වැය වෙන අධික මුදල වගේම මේ අවදානම්කාරී අභියෝගාත්මක තත්ත්වය ඔවුන් භාරගන්නේ මොන විදියටද ?

එකම විකල්පය අවසන් ශල්‍යකර්මය කරන්න විදෙස්ගතවීම පමණයි. අවසන් ශල්‍යකර්මයටපමණක් අවමය ලක්ෂ 40 ක මුදලක් වැයවෙනවා. සංක්‍රාන්ති පිරිමියෙකු වෙන්නකැමැත්ත තිබුණත් තමන්ට මේ වෙනුවෙන් වියදම් කළ හැකි සීමාවෙන් ඔවුන් නවතිනවා.අවසන් ශල්‍යකර්මයට යෑම මෙවැනි පිරිස් වලට හීනයක් වෙනවා. මෙරට තුළවැඩිහරියක් පිරිස ඉන්නේ ඒ මට්ටමිනුයි. අවසාන ශල්‍යකර්මය දක්වා යන්න සල්ලිතියෙනවා නම් වසර තුනක් විතර ගතවෙද්දි සම්පූර්ණ ක්‍රියාවලියට යා හැකිවෙනවා.

මූලික ශල්‍යකරම වලින් පසුව සම්පූර්ණ ජීවිත කාලයපුරාම හෝර්මෝන ගන්න වෙනවා. හෝර්මෝන ගත්තේ නැත්නම් කාන්තාවකට ආර්තවහරණයෙන්පස්සේ සිද්ධ වෙන ලෙඩ රෝග සුළු කාලයකදී අත්විඳින්න සිද්ධවෙන්න පුළුවන්.

මේකට හේතුව වෙන්නේ කාන්තාවක් ආර්තවහරණයට මුහුණ දුන්නත් ඇයගේ සිරුරේඊස්ට්‍රජන් හෝර්මෝනය තියෙනවා. සංක්‍රාන්ති පිරිමියෙකු මේ හොර්මෝන නොගෙනහිටියොත් ලිංගිකත්වයට බලපාන කිසිම හෝර්මෝනයක් ශරීරයේ නැහැ. එවිට සිරුරට කිසිමආරක්ෂාවක් නැහැ. සාමාන්‍යයෙන්, සංක්‍රාන්ති පිරිමින්ට හෝර්මෝන වලට රු. 500 ක වගේ මුදලක් වැය වෙනවා. සංක්‍රාන්ති කාන්තාවන්ට ඊට වඩා වැඩියි. දාහට වැඩිමුදලක් වැය වෙනවා මසකට.

සම්පූර්ණ ශල්‍යකර්ම වලට බඳුන් වෙලා සංක්‍රාන්ති සමාජභාවි පිරිමි කෙනෙකු වන අයෙකුට  කය වෙහෙසන කාර්යයන් සිදුකරන්නට හැකිවෙනවාද ?

කය වෙහෙසන කාර්යයන් කරන්න පුළුවන්. නමුත් එක එක්කෙනාට එසේ කල හැකි ප්‍රමාණය වෙනස්. කාන්තාවක් විදියට මුල්කාලසීමාවේදී සිරුරහැඩගැස්වෙන නිසා අවාසි සහගතයි. අවුරුදු 12 – 13 දී ප්‍රතිකාර පටන්ගන්න හැකි නම්විශාල වර්ධනයක් දැකගන්න පුළුවන් වේවි. මොකද ඒ වයසේ දරුවා වැඩිවිය පැමිණිලානැහැ. වැඩිවිය පැමිණීමෙන් පසු සිරුරේ පෙනුම වෙනස් කිරීම හාසම්බන්ධ බාධාවන් තියෙනවා.

දිගුකාලීනව කැප වුණොත් පේශි පද්ධතිය වර්ධනය කරගෙන දියුණු මට්ටමකට එන්න පුළුවන් අවස්ථා දැකගන්නට හැකියි.

තමන්ගේ සිරුර තුළ හැබෑවටම ඉන්නේ තමුන් නොවන බව වැටහෙන මොහොත එළඹෙන්නේ කොහොමද ?

එක එක්කෙනාට එක එක වයසේදී මේ බව වැටහෙනවා. කුඩා අවදියේදී මේ ගැන වැටහෙන අවස්ථාත් තිබෙනවා.

මම දන්න කෙනෙක් ඉන්නවා. කුඩා දැරියක විදියට තමන් වෙනස් බව ඇයට වැටහිලාතියෙන්නේ අවුරුදු හතරේදියි. තමන් ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ, තමන් කළයුතුදේවල් නොවෙයි ඇයට දීලා තියෙන්නේ කියලා වැටහිලා තියෙනවා. පොතපත කියවලාදැනුම් තේරුම් වයසට එද්දි තමන් ඉන්න ඕන අනික් පැත්තේ බව ඇයට පැහැදිලිවම අවබෝධවෙලාතියෙන්නේ.

මේ අර්බුදය ඇතුළේ කෙනෙක් තමන්ගේ ඔළුව නිදහසේ තියාගන්නේ කොහොමද ?

මේ අවුල දරාගැනීම කොහොමටවත් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ වික්ෂිප්තභාවයඇතුලේ තමන් මීළඟට කළයුත්තේ මොකක්ද කියලා හිතාගන්න බැහැ. කාට කියන්නද කියලා හිතාගන්න බැහැ. සමහර වෙලාවට ලෝකයඉදිරිපිට රඟපෑමක් කරන්න වෙනවා. සමහරුන්ට මේක කරන්න බැහැ. මේ පීඩාකාරී හැඟීම් තරහව හාඅනෙක් අයව නොරිස්සීම වැනි දේවල් වලින් පිටවිය හැකියි. පවුලේ අනික් අය දන්නේ නැහැ මෙවැනි පිරිස් වලට මොකක්දවෙලා තියෙන්නේ කියලා, ඔවුන්ට තිබෙන අවබෝධය ප්‍රමාණවත් නැහ එහෙම තේරුම් ගන්න තරම්. තමන්ට අයිති නැති සිරුරක ඉන්න කෙනා දන්නෙත් නැහැතමන්ට වෙලා තියෙන්නේ මොකක්ද කියලා.එය හරියටම තේරුම් ගන්න යම් කාලයක් ගතවෙනවා.

මේ වගේ අවස්ථාවකදී මනෝ වෛද්‍යවරයෙකු වෙත පවුලේ අය දරුවව යොමුකරනවාද ?

එච්චර උසස් චින්තන මට්ටමක් නැහැ ලංකාවේ. පිටරට වලදී නම් ළමයෙක්ගේවෙනස්කමක් දුටුවම හෝ පැවසුවාම මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වලා, ළමයත් එක්ක සාකච්ඡා කරලාගැටළුව මොකක්ද කියලා විසඳන්න උත්සහ කරනවා. ලංකාවේ යකෙක් වැහිලා එහෙම නැත්නම් පිස්සු හැදිලා කියලාහිතනවා මිසක් ළමයත් සමග මේ ගැන කතා කළයුතුයි කියන අවබෝධයක ඔවුන්නැහැ.​

LGBTQ ප්‍රජාව එදිනෙදා ජීවිතය තුළ මුහුණදෙන කොන් කිරීම හා වෙනස් කොට සැලකීම නවත්වන්න නම් ඔබ හිතන විදියට මොකද්ද ගත යුතු පියවර ?අපේ රටේ හා සමානව සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකූ ඉන්දියාවේ 377 වගන්තියඉන්දියාව අයින් කළා. නමුත්, ලංකාවේ තාම දණ්ඩ නීති සංග්‍රහයේ 365/ 365 (ඒ) වගන්ති වෙනස් වෙලා නැහැ.නීතිමය තත්ත්වය හාඅපේ අධ්‍යාපන ක්‍රමය මේ සම්බන්ධයෙන් ගතයුතු පියවර මොකක්ද ?

ගතයුතු පියවර තමයි ඔවුන්ගේ ආරක්ෂාවට සහ ඔවුන්ගේ මූලික අයිතින් ලැබෙන පරිදි නීති සකස් කිරීම. නමුත් මේ දේවල් ගැන හිතන්න බලධාරීන්ට වුවමනාවක් නැහැ. නීතිමය වෙනස්කම් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. 2008 ඉඳන් අපි තාමත් ඒවෙනුවෙන් සටන් කරනවා. ලංකාවේ පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට වරප්‍රසාදඅනුමත වුණත් අපි දෙයක් කිව්වොත් ‘නෑ‘ සහ ‘බෑ‘ තමයි අහන්න වෙන්නේ.

අනික් දේවල් ගැන කවර කතාද ?. ගුරුවරුන්ට පවා මේ ගැන නිසි අවබෝධයක් නැහැ, ඔවුන් ළමා මනෝවිද්‍යාවගැනවත් දන්නේ නැහැ. ගුරු පුහුණුවේදී උගන්වන ළමා මානසිකත්වය හඳුනා ගැනීම ගැනවත් පැහැදිලිඅවබෝධයක් ඔවුන්ට තියෙනවා නම් කවදාවත්LGBTQළමයින්ට පාසල එපා වෙන්නේ නැහැ.ගුරුවරු අතින් සිදුවන මානසික හිරිහැර විශාල මට්ටමෙන් සිදුවනවා.

අධ්‍යාපන රාමුව තුළට මෙම දැනුම ඇතුළත් කල යුතුයි. එහෙම කලා කියලා හැමෝම LGBTQ වෙන්නේ නැහැ. සමාජය තුළ ජීවත් වෙන සියළුම මනුෂ්‍යය කණ්ඩායම් පිළිබඳව අවබෝධයක් ලැබෙනවා පමණයි. හැමෝම මනුෂ්‍යයන් හැටියට පිළිගන්න ඒ අවබෝධය ඉතාමත් වැදගත්.

මෙරටදී ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා සංගමය වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංවිධාන LGBTQ අයිතීන් ගැන සැලකිලිමත් විය යුතු බව දන්වා සිටියත් අපේ රටේ එවැනි තීරණයක් ගන්න තියෙන අපහසුතාව මොකක්ද ?

අපහසුතාවයක් නොවෙයි තියෙන්නේ උවමනාවක් නැතිකම. ජාත්‍යන්තර සංවිධාන මේ පිළිබඳ සලකා බලන්න කියලා කිව්වම -උදාහරණ විදියට මේ සලකා බැලියයුතු LGBTQඅයිතීන් පිළිබඳකාරණාව තවත් කරුණු 20 ක් අතරේ දුන්නම -ඒ කාරණා වලින් මෙච්චරක් අපි සලකා බලා තියෙනවා කියලාගැලවෙන්න පුළුවන්. නැත්නම්, මෙවැනි ජාත්‍යන්තර සංවිධාන කරුණු ගණනාවක් නොදීඑක් නිශ්චිත කරුණක් විදියට LGBTQ අයිතීන් ලබාදිය යුතු බව කියන්න ඕන. එහෙමනිශ්චිතව කිව්වොත් ලංකාවේ ඇතුළේ නීතිමය වශයෙන් LGBTQ අයිතීන් තහවුරු කල යුතු තැනට බලපෑම් එල්ලවේවි.

ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365/ 365 (ඒ) වගන්ති වෙනස් කිරීම වෙනුවෙන් ඔබ ඇතුළු පිරිස් කටයුතු කරන්නේ කොහොමද ?

රජයේ ආයතන වල බලධාරීන් මුණගැහෙන හැම මොහොතකදීම මේ ගැන කතාබහ කරනවා. LGBTQ පුද්ගලයින් කියන්නේ කවුද කියලා තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. මේඅයිතීන් ගැන කරන ඉල්ලීම් පිළිගන්න පිරිස් වගේම නොපිළිගන්නා අයත් ඉන්නවා.අගමැතිතුමා හා ජනාධිපතිතුමා හමුවන්න තවම අවස්ථාවක් ලැබිලා නැහැ.

ජනාධිපති ළඟට ගියත් වැඩක් වෙයිද කියලා කියන්න බැහැ.එතුමාට මේවායේ ඇත්ත නැත්ත ගැන අවබෝධයක් නැහැ. තමන්ගේ රට තුළ ජීවත්වෙන විවිධ පුද්ගල කණ්ඩායම් පිළිබඳ සමානව සලකා බලන්න එතුමාට කිසිම හැඟීමක් නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ 365/ 365 (ඒ) වගන්තිමගින් මෙම පුද්ගලයින් නිරපරාදයේ අපරාධකරුවන ලෙස තිබෙන හැඳින්වීම ඉවත් කිරීම අවශ්‍යය බව නැෂනල් ඇක්ෂන් ප්ලෑන් එකේ ඇතුළත් කරලා තිබුනා. නමුත් එය එතනින් ඉවත් කර ‘මමයිමේක අයින් කළේ‘ කියලා ප්‍රසිද්ධියේ පැවසීම තුළින් ජනාධිපතිතුමාට හැකියාව තිබුනා තමන්ගේ රටේ ජීවත් වන පුද්ගල කණ්ඩායමක් නොසලකා හරින්න. සමලිංගිකත්වය නීතිගතකරන්න නෙමෙයි කිවුවේ. 365 වෙනස් කිරීමෙන් නිරපරාදයේ අපරාධ කරුවන් ලෙස ගසා ඇති හංවඩුව ඉවත් කරන්නයි කිව්වේ, කවුරුවත් කැමති නැහැනේ වැරැද්දක් නොකර අපරාධකරුවෙක් වෙන්න.මනුස්සයෙක්ගේ ලිංගික අනන්‍යතාවය හා දිශානතිය අතිශයින්ම  පෞද්ගලික කාරණාවක්.එය සමාජයේ අනික් පුද්ගලයන්ට අදාල දෙයක් නොවෙයි.

ඉන්දියාව අපිට වඩාඉස්සරහට ගිහිං තියෙනවා. ඉන්දියාවේ නායකයින්ගේ මොළේපිහිටිය යුතු තැන පිහිටලා තියෙනවා. අපිට මෙම නීතිය හඳුනවා දුන්නු  රටවල් පවා මේ නීතිවෙනස් කරලා තියෙනවා. ඒ නීති, ආසාධාරණ හා මානව අයිතීන් ගරුකරන සමාජයකට නොගැලපෙන බව පිළි අරගෙන තියෙනවා. සමහරවිට අපේ පාලකයෝ රැජිණට තාමත් ආදරේ ඇති. අවුරුදු සියය පැනපු නීති තියාගෙන තවමත් රැජිණගේ සායේ එල්ලිලා ඉන්න, අළුත් විදිහකට හිතන්න දන්නේ නැති තමන්ට ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න උවමනාවක් නැති, රටේ ජීවත්වෙන විවිධ පුද්ගල කණ්ඩායම් වලට සමාන ගරුතවයක් දෙන්න දන්නේ නැති පාලකයෝ පිරිසක් ඉන්න රටක් මේක. නීතියතියා අඩුම ගණනේ අයදුම්පත්‍රයක් වත් වෙනස් කරනවද ?. උප්පැන්න සහතිකේ පවාකොයි කාලේ හඳුන්වා දුන්නු එකක්ද ?. ඡන්දේ ගැන විතරයි එයාලා වද වෙන්නෙ. යුතුකම ගැන වගකීම ගැන හැඟීමක්වත් නැහැ.

සංක්‍රාන්ති සමාජභාවි පිරිස් මේ නීතිමය වෙනස්කම් වල අවශ්‍යතාවය ගැන දරන්නේ මොනවගේ අදහසක්ද ?

ප්‍රජාව මේ ගැන දිගින් දිගටම කතා කළත් තවම එළියට බැහැලා හඬ අවදි කරනමට්ටමකට ඇවිත් නැහැ, ඔවුන් මේ ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. පාලකයන් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි නිසා. අපේ උත්සහය වෙන්නේසංක්‍රාන්ති ප්‍රජාවට ඔවුන්ගේ අයිතීන් හා ආරක්ෂාව තහවුරු කරදීමයි.

සංක්‍රාන්ති සමාජභාවිත්වයට වෛද්‍යමය වශයෙන් සම්බන්ධයක් තියෙන නිසා මිනිස්සුඅතර ආකල්පමය වෙනසක් තියෙනවා. සංක්‍රාන්ති සමාජභාවය පිළිගන්නා පිරිස්සමලිංගිකත්වය අනුමත කරන්නේ නැහැ. ‘අපි ඕකට උදව් කරන්නේ නැහැ‘ කියනවෛද්‍යවරු පවා ඉන්නවා. මේ පිරිස එක තැනකට ගෙනඒම වියවුලක් වීම නිසාම කොයිකාලේදී මේ වෙනස්කම් සිදුවේදැයි හිතීම අසීරුයි.සියළු දෙනාටම නිදහසේ ජීවත්වීමට අවස්ථාව උදා වේදැයි පැවසීම අසීරුයි.

නේපාලය, ඉන්දියාව, අපි හිතන්නේ වත් නැති විදියට පකිස්තානය පවා ඉදිරියෙන්ඉන්නවා. පකිස්තානයේ සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයින්ගේ ආරක්ෂාව සම්බන්ධ පනතක් පවා සම්මත වෙලාතියෙනවා.

ලෝක මට්ටමින් ගත්තොත් F –M අය බවට පත්වුණු පිරිස් අද වෙද්දි විවිධ ක්ෂේත්‍ර වල නියැලී ඉන්නවා. (ක්‍රීඩාව (BalianBuschbaum),නිවේදනය, ලේඛනය, සංගීතය (Katastrophe), උපදේශනය (Thomas Beatie) වැනි අය.). අපේ රට ඇතුළේ එවැනි සුවිශේෂී පිළිගැනීමක් ලද අය ඉන්නවද ?

මං දන්න තරමින් ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනෙක් ඉන්නවා. දැනට ඇමරිකාවේපදිංචි වෙලා ඉන්න ලාංකිකයෙකු වන ඩීලෝ රංගන ශිල්පියෙක්, ඔහු ප්‍රසිද්ධියේමකියනවා තමන් සංක්‍රාන්ති පිරිමියෙකු බව.

විදෙස් රටවල් වල ප්‍රසිද්ධියට පත්වුණු රංගන, නිරූපණ ශිල්පීන් වගේ අයප්‍රසිද්ධියේ තමන් සංක්‍රාන්තික පිරිමියෙකු බව කියනවා. නමුත්, පොදුවේ මේප්‍රජාව අතර දකින්න තියෙන දෙයක් වෙන්නේ ඔවුන් සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයින් බවප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න දක්වන අකමැත්ත. ඔවුන්ගේ අනන්‍යතාවය ‘පුරුෂ‘නිසා ‘සංක්‍රාන්ති‘ කියන විශේෂණයක් අනවශ්‍ය බවයිඔවුන්ගේ අදහස. නමුත් තමන්ගේ දක්ෂතාවයන්ගෙන් ඉහළට ගිය සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයින් සිටිනවා.

අපි උසස් කොට සලකන බුදු දහම ඇතුළේදී කතාබහට ලක්වෙනවා (පසුකාලීනවවිකෘති වූවක් ද නොදනී) කාන්තාවක් විදියට ඉපදීම පවක් බව. ඒවගේම, බෞද්ධයින්ගේමුදුන් මල්කඩ වෙන ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගාවට යනවිට පවා කාන්තාවන්ටසීමාකම් පනවලා තියෙනවා. ඉස්ලාම් දහම ඇතුළේදී පවා මේ තත්ත්වය අති දරුණුයි.නමුත්, මේ කාරණේට සහමුලින්ම අභියෝග කරන මට්ටමට F –M පිරිස් පත්වෙලාතියෙනවා. මේ ගැන කතා කළොත් ?

සංක්‍රාන්ති සමාජභාවිපුරුෂයෙකුට කිසිම අභියෝගයකින් තොරව මේ පූජනීය ස්ථාන වලටපිරිමියෙකු විදියට යන්න පුළුවන්. එයට හේතුව ඔහු පුරුෂයෙකු වන නිසා. නමුත්, සංක්‍රාන්තික කාන්තාවන්ට පූජනීයස්ථාන වලට යද්දි අභියෝග එල්ල වෙන්න පුළුවන්. සබරගමුවේ හිටපු ආණ්ඩුකාරවරියපත්වුණාම නායක ස්වාමීන්වහන්සේ කෙළින්ම කිව්වා ‘මට මෙයත් එක්ක වැඩකරන්නබැහැ‘ කියලා. නමුත්, ස්වාමීන්වහන්සේ මීට පෙර කාන්තා නිළධාරිනියක් සමගරාජකාරි කටයුතු කර තිබෙන බව පුවත්පතක මා දැක්කා. මේ ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඇය සංක්‍රාන්ති සමාජභාවිකාන්තාවක් වීමයි. හාමුදුරුවන්ට ඇයගේ ස්ත්‍රීත්වය ගැටළුවක්. මම පෞද්ගලිකවහඳුනන සංක්‍රාන් සමාජභාවි පිරිමි ඉන්නවා. ඔවුන් කියන්නේ ‘මගේ පිටේ කවුරුත්බෝර්ඩ් ගහලා නැහැ, මං සංක්‍රාන්ති සමාජභාවි කෙනෙක් කියලා. දැනගත්තොත්ප්‍රතික්ෂේප වෙනවා. කලින් මට හාමුදුරුවෝ එක්ක සීට් එකේ වාඩිවෙලා යන්නබැරිවුණා. නමුත්, දැන් මම හාමුදුරුවොත් එක්ක වාඩි වෙලා යනවා‘කියලා.ඔහු පුරුෂයෙක් නිසා එම අවස්ථාව ඔහුට හිමි වනවා.

බුදුදහම වගේම විශේෂයෙන්ම ඉස්ලාම් ආගම තුළ දැඩි මතධාරී ස්වරූපයක්තියෙනවා. මුස්ලිම් සහෝදර පිරිස් අතර සංක්‍රාන්ති ලිංගිකයින් ඉන්නවද ?

ඔව්, අනිවාර්යයෙන්ම ඉන්නවා. සංක්‍රාන්ති සමාජභාවි කාන්තාවන් සාමාන්‍ය පරිදිජීවත් වුණත් සංක්‍රාන්ති සමාජභාවි පිරිමි පාර්ශ්වය පල්ලි යනවා. ඔවුන් දන්නපරිසරයට නොයන නිසා කිසිම අභියෝගයක් මේ පිරිසට නැහැ.

පන්සලෙන්, පල්ලියෙන් මේ පිරිස් වලට අභියෝග එල්ල වූ අවස්ථා තියෙනවද ?

එහෙම අභියෝග එල්ල වූ අවස්ථා නැහැ කියන්න බැහැ. නමුත්, පන්සලට පල්ලියටයද්දි ඒ තැන් වල ඉන්න මිනිස්සු කියන විවිධ වැකි, සරදම් නිසා ඒ ස්ථාන වලටයාම හැමෝම වගේ ප්‍රතික්ෂේප කරනවා. එය ආගමටත් වඩා සමාජය තුළ මුල් බැසගත් අනවබෝධයෙන් ඇතිවන තත්ත්වයක්.

පුරුෂ මූලික සමාජයෙන් මිදිලා හැමදෙනාම මිනිස්සු විදියට සැලකුම් හිමිවන සමාජයක් ගැන කතා කළොත් ?

කවුරුත් මූලික නොවූ සමාජයක් තියෙනවා නම් හොඳයි. ඒකට මම සීයට සීයක් එකඟයි.පීතෘ මූලික හෝ මාතෘ මූලික සමාජයක් වුවමනා නැහැ. කවුරුත් මූලික නොවිය යුතුයිකියන්න හේතුව වෙන්නේ හැම පුද්ගලයාගේම දුර්වලතාවන් තියෙනවා. එක් කෙනෙක්මූලික වෙලා තීරණ ගන්න ගියාම ඒ තීරණ හැමකෙනාටම බලපානවා. එතකොට අනික්මිනිස්සුන්ගේ ජීවිත අවුල් වෙනවා. අද අපේ සමාජයේ දකින්නේ එයයි, පීතෘ මූලිකසමාජය. ඒක මාතෘ මූලික සමාජයටත් වෙන්න පුළුවන්. එක්කෙනෙක් අනෙකාට වඩා හුදු ලිංගිකත්වය මත පදනම් වෙලා උස් පහත් කියන්න බැහැ. එකිනෙකා තුළ තියෙන දක්තාවයන් වටින්නේ. මනුෂ්‍යය අගනා කම් වලටයි ගරුකල යුත්තේ. නැතුව පුරුෂ ලිංගයට නොවෙයි. මෙවැනි සමබර සමාජයක් කවදාඇතිවේදැයි කියන්න බැහැ.

වෙනස‘ ගැන කතා කළොත් ?

සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයින් මෙන්ම කාන්තාවන්ගේද ජීවිත වල දියුණුවපිණිස, ඔවුන්ව සවිබල ගන්වන්න, ගෞරවණීය සමාජ මට්ටමක් කරා ඔවුන් ඔසවන්න හදපු ආයතනයක්. ‘වෙනස‘ ආරම්භ වෙන්නේ 2015 දී.මෙය ආරම්භ කරන සමයේදී මගෙත් එක්ක තව තුන්දෙනෙක් හිටියා. මෙරට තුළසංක්‍රාන්ති සමාජභාවී පිරිස් වෙනුවෙන්ම ආරම්භ කළ පළමු ආයතනය ‘වෙනස‘.සංක්‍රාන්ති ප්‍රජාවේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බලනවා.රජයේ සහයෝගය ඔවුන්ට ලබාදෙමින් මේ පිරිස වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්න ගතහැකි ක්‍රියාමාර්ග එකින් එක ගන්නවා. නීතිමය ලේඛන සැකසීමේදී වගේම අධ්‍යාපනිකකටයුතු හා රැකියාව සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ කරුණු හතර තමයි අතිශයින්මවැදගත් වෙන්නේ. සංක්‍රාන්ති ක්‍රියාවලිය පටන්ගනිද්දි සෞඛ්‍ය තත්ත්වයඅතිශයින්ම වැදගත්වෙනවා. ඊට පස්සේ නීතිමය ලේඛන ඔවුන් වෙනස් කරගන්න ඕන.නීතිමය ලේඛන වල තියෙන මට්ටම මත තමයි අධ්‍යාපනය හා රැකියාව තීරණය වෙන්නේ.

අපේ මූලික පරමාර්ථය වෙන්නේ නීතිමය වශයෙන් ඔවුන්ට වටිනාකමක් ලබාදීමයි. ඒනීතිමය වටිනාකම ලැබුණට පස්සේ ඔවුන්ට කිසිම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ සමාජය තුළ ගෞරවනීය ලෙස ජීවත් වෙන්න. සමාජමාධ්‍ය හෝ සෘජුවම වෙනස ගැන විමසූ සංක්‍රාන්ති සමාජභාවි පිරිස් ආසන්න වශයෙන්සීයක් විතර ඉන්නවා. අද ඉපදෙන සංක්‍රාන්ති සමාජභාවි දරුවාගේ සිට සියළුම සංක්‍රාන්ති පුද්ගලයින්ගේ සුබසෙත ගැන සලකා වැඩකරනවා.

වෙනස‘ ඔබ ඇතුළු පිරිස දැනට යොමුවී ඉන්න වැඩකටයුතු මොනවාද ?

දැනට අපි ඉංග්‍රීසි පාඨමාලාවක්, ව්‍යායාම් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී තව කටයුතුසිද්ධවේවි. සංක්‍රාන්ති කාන්තාවන් වෙනුවෙන් කටහඬ පාඨාමාලාවක් කළා.සැත්කමකටලක්වුණත් ඔවුන්ගේ කටහඬ වෙනස් කරන්න අමාරුයි. ඔවුන් හඬ පුහුණුවක් කළයුතුයි.ඒ වෙනුවෙනුයි අදාළ පුහුණුව පැවැත්වුණේ.  එය දිගටම පැවැත්වීමට නියමිතයි.

මේ වසරේ මාර්තු මාසයේදීයි අපි නිශ්චිත කාර්යාලයට ආවේ. කාර්යාලය ආරක්ෂිතරැඳවුම් මධ්‍යස්ථානයක් (Safe Centre) විදියට පවත්වාගෙන යනවා. කෙනෙක්ටගෙදරින් එළියට යන්න සිද්ධවුණොත් අවතැන් නොවී ඔවුන්ට රැකවරණයක් ලබාදීමසිද්ධවෙනවා. දැනට තුන් දෙනෙක්ට රැකවරණ ලබාදී තිබෙනවා. ඈත පළාත් වල ඉඳලා කොළඹට වැඩ කරගන්න එන සංක්‍රාන්තිසමාජභාවි පිරිස් පවා මේ ස්ථානයට එනවා.

Windya pic කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය හදාරන   වින්ධ්‍යා ගම්ලත්  Sri Lanka Guardian වෙබ් අඩවියේ සංස්කාරකවරිය (සිංහල) ලෙස කටයුතු කරන අතර ‘අනිද්දා‘ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදිනියක ද වේ.  මානව අයිතීන්, කාලීන විදෙස් දේශපාලන ප්‍රවණතා මෙන්ම විදෙස් සාහිත්‍යය ඇගේ ලේඛනයන් තුළ මූලිකව අවධානයට ලක්කරන කරුණුය.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: