සංක්‍රාන්තික පවුල තුළත් හිංසනය තිබෙනවා

2019 පාබරවාරි 28.

ඉමාෂා පෙරේරා විසිනි.
Screenshot 2019-05-20 08.35.37

සංක්‍රාන්තික කාන්තාවන් මූලික කොටගත් ලිපි තුලින් සුලබව දක්නට ලැබෙන මාතෘකා වලින් ඔබ්බට ගොස් ඔවුන් ඔවුන්ගේ සමාජයේ තම සංක්‍රාන්තික පවුල තුලින්ම සිදුවන හිංසනයන් හා වෙනස්කොට සැලකීම් පිළිබදව සටහනක් තැබීමට මා මෙම ලිපියෙන් අදහස් කරමි. සංක්‍රාන්තික පවුල යන මාතෘකාව ඉන්දියාව මූලික කොටගෙන නිර්මාණය වී ඇති අතර මින් මූලිකවම අදහස් වනුයේ ලාබාල සංක්‍රාන්තික තරුණියන් වැඩිමහල් සංක්‍රාන්තික කාන්තාවන් හා සාමුහිකව වෙසීම තුලින් ඔවුන් ඔවුන් විසින් නිර්මාණය කොට ගත් පවුල් පරිසරය පිළිබදවය. එනම් ඔබ මම දන්නා ආකාරයට බහුතරයක් සංක්‍රාන්තික තරුණියන් ඔවුන්ගේ අනන්‍යතාවයන් සමාජයට විවර කල පසු ඔවුන්ගේ පවුල තුලින්ම ඔවුන්ව කොන් කොට, වෙනස්කොට සලකා පවුලෙන් නෙරපීමයි. මෙහිදී අසරණ වන සංක්‍රාන්තික තරුණියන් නිරන්තරයෙන්ම තමන්ට තනිව නැගී සිටීමට හැකියාව ලැබෙන තාක් කල්  වැඩිහිටි තමන්ට රැකවරණය ලබා දිය හැකි යැයි සිතන සංක්‍රාන්තික කාන්තාවක් කරා පිය නැගේ. පවුල යන සංකල්පයට නිතැතින් ඇළුම් කරන සංක්‍රාන්තික කාන්තාවන් ස්වභාවධර්මයෙන් තමන්ට මවක් වීමට වරම් නොදීම නිසා මෙවැනි තම බාල සංක්‍රාන්තික පිරිසට මවක් හෝ සහෝදරියක් ලෙස කටයුතු කිරීමෙන් තමන්ට තෘප්තියක් හා මවක් වීමේ භාග්‍ය හා එම චරිතයට පන පෙවීමට පෙළබේ. අද වන විට මෙම පවුල සංකල්පය ඉන්දියාවේ පමණක් නොව ලංකාව ඇතුළු ආසියාතික රටවල් තුල හා යුරෝපයේද දක්නට ඇත. ශ්‍රී ලංකාව තුල ගත කල පවුලෙන් නෙරපන ලද සංක්‍රාන්තික තරුණියන් හිසට සෙවනක් පතා, තම බඩගින්න නිවා ගැනීම සදහා, ආරක්ෂාව හා රැකවරණය පතා ආදී කාරණා ගණනාවක් හේතු කොටගෙන තවත් සමාජයේ ස්ථාවරත්වයකට පැමිණි, තම ස්‌වය උත්සාහයෙන් තම ජීවිතය ගැට ගසා ගන්නා සංක්‍රාන්තික කාන්තාවකගෙන් උපකාර හා සරණ පතා ඇය වෙත යනු ලබයි. මෙහිදී මූලිකවම මිත්‍රත්වයකින් පටන් ගනු ලබන්නා ඔවුන්ගේ සම්බන්ධය කාලයත් සමග ඔවුන් ඔවුන්ගේ සහයෝගය, අන්‍යොන්‍ය අවබෝධය හා එකමුතුකම මත මව හා දියණිය යන සංකල්පයට හෝ අක්කා නගෝ සංකල්පයට පරිවර්තනය වේ. මෙමගින් එකිනෙකා අතර මිත්‍රත්වය දිනෙන් දින නැවුම් වන අතර මෙමගින් ආදරය, රැකවරණය, සෙනෙහස , අනෙකා වෙනුවෙන් කටයුතු කිරීම, අවබෝධය, විවෘත බව, විශ්වාසය යනාදී බොහෝ දේ වර්ධනය වුවද නොදැනුවත්වම මිනිස් ස්වභාවය මත පාලනය කිරීම, තමන් යටතේ යටහත් පහත ලෙස තබා ගැනීම, මෙහෙකාර සේවනය, ඊරිෂ්‍යව, බිය ආදී නොසිතු බලපෑම්ද නිරන්තරයෙන් ඇති වේ.

 

මෙම හේතුන් මත ඔවුන් ඔවුන් අතර හිත් අමනාපකම් ඇති වීමට හා එකිනෙකා අතර ව්‍යෛරයක් ඇති වීමට ඉඩකඩ ඇති වේ. වයස හා තමන් අනෙකා වෙනුවෙන් සිදු කල මුල්‍යමය සහයෝගය, ශ්‍රමය ආදී කරනා මත ඇයගේ ආදර සම්බන්ධතාවයන්ට, දැනුවත්ව හෝ නොදැනුවත්ව අනෙකාගේ එසේත් නැතිනම් සංක්‍රාන්තික තරුණියගේ පුද්ගලික ජිවිතයට, ඇයගේ ආදර සම්බන්ධතාවයන්ට, ඇය කරන රැකියාවට හා ඇයගේ සෑම කටයුත්තකටම පාහේ  වැඩිහිටි සංක්‍රාන්තික කාන්තාව මැදිහත් වීමට උත්සහ දරන අතර ඉන් ඇය තම අදිපත්‍ය පැතිරවීමට හා සංක්‍රාන්තික තරුණිය තමන් යටතේ තබා ගැනීමට කටයුතු කරයි. මෙයට මූලික හේතුවක් වනුයේ නැවතත් පෙර සදහන් කල ආකාරයට පවුල යන සංකල්පය මත අසරණ වූ සංක්‍රාන්තික තරුණියට රැකවරණය, ආදරය හා ඇයගේ ඕනෑ එපාකම් ඉටු කරදෙන වැඩිමහල් සංක්‍රාන්තික කාන්තාව ඇයට රැකියාවක් සොයා දී ඇයව ස්ථාවරත්වයකට ගෙන ආ පසුවද ඇය තම ග්‍රහණයේ තබා ගැනීමට කටයුතු කිරීමයි. මෙයට කාරණා කිහිපයක් පාදක විය හැක. සමාජයේ මෙවැනි සිදුවීම් ඇසින් දුටු මා මගේ දෘෂ්ටි කෝණය තුලින් දකින විට මා හට පෙනෙනුයේ ආදරය හේතු කොටගෙන, තමන් හදාගත් සංක්‍රාන්තික තරුණිය තමන්ට නැති වේයැයි බිය, තමන්ව නැවතත් මව් පදවියෙන් නෙරපා තමන් තනි වේ යැයි බිය මගින් හටගන්නා වේදනාව හා තරහව වුවද මීට අමතරව මා හට වෙනත් සංක්‍රාන්තික තරුණියන් පැවසු ආකාරයට හා මා ලද අත්දැකීම් මත මා පවසනුයේ බහුතරයක් සංක්‍රාන්තික තරුණියන් අතර ප්‍රශ්න ඇති වීමට හීතු වනුයේ තමන් යටතේ අනෙක් සංක්‍රාන්තික තරුණිය සිටීමට අකමැති විම, ඇය සාර්ථක වීම හා තමන් රැකගත් සංක්‍රාන්තික තරුණිය තමන් පරයා ඉදිරියට යෑම දරාගත නොහැකි වීම, තමන්ට කිසිදා නොලැබුණු තමන් අසාර්ථක වූ ප්‍රේම සම්බන්ධතා සංක්‍රාන්තික තරුණියට ලැබීම, ප්‍රේම සම්බන්ධතා ඉදිරියේ ඇය තමන්ට ඇහුම්කම් නොදීම ආදී කාරණාය. මුලදී තමන්ට අවනතව තමන්ගේ වහලියක් සේ ගේ දොර කටයුතු හා තමන්ගේ කටයුතුද සිදු කරගෙන සිටින සංක්‍රාන්තික තරුණියට රැකියාවක්, පෙම්වතෙකු හමු වූ විට ඇය තම ග්‍රහණයෙන් මිදෙනු දැනුන විගස ඇයට ප්‍රථමයෙන් සම්බන්ධය නැවත්වීමට තරුණයාගේ වැරදි පවසන අතර, ගුටි බැට හුවමාරුව දක්වාම තර්ජනය උග්‍ර වූ අවස්ථාද වේ. රැකියාව අහිමි කිරීමෙන් නැවතත් තමන් යටතට ඇය එනු ඇතැයි සිතා කටයුතු කල අවස්ථාද, ඇය ගැන වැරදි පැවසීමද දක්නට ලැබුන අවස්ථා වේ. ඇයට ප්‍රසිද්ධියේ හා පුද්ගලිකව හිත රිදවා ඇයව මානසිකව වැට්ටීම, සමාජීය මට්ටමෙන් හා කායික මට්ටමෙන් ඇයට රිදවීම හා අඩපණ කිරීම සිදු කරයි. වැඩිහිටි සංක්‍රාන්තික කාන්තාවගේ යෙහෙළියන් හා ඇය දන්නා සමාජය තුල සංක්‍රාන්තික තරුණිය කොන්කොට හා වෙනස්කොට සැලකීමට පොලබවන අතර ඇයට ඇගේ සංක්‍රාන්තික ජීවිතය කල කිරීමටද තැත් කරයි.

 

මෙම හේතුව පදනම් කොටගෙන සංක්‍රාන්තික තරුණිය හා වැඩිහිටි සංක්‍රාන්තික කාන්තාව අතර ව්‍යෛරයක් හා එකිනෙකා කෙරෙහි කළකිරීමක් හා එපා වීමක් ඇති වේ. මෙමගින් එකිනෙකා පරයා ඉදිරියට ඒමට උත්සහ කිරීම, එකිනෙකාගේ වැරදි අනික් පුද්ගලයන් සමග පැවසීමෙන් ඔවුන් ඔවුන් විරසක කිරීමට තැත් කිරීම හා තම තමන්ට හිමි සමාජය, මුල්‍යමය හා පුද්ගලික ජිවන මට්ටමෙන් පහලට අද දැමීමට උත්සහ ගනී. දෙදෙනාම එකම ආයතනයේ සේවයේ නියැලේ නම් පුද්ගලික හේතුන් අලලා තම රැකියාවේ බල තල භාවිතා කොට රැකියා ස්ථානයේදී අනෙකාට බලපෑම් සිදු කිරීමට තැත් කරණ අතර තමන් දන්නා පුද්ගලික කරුණු පදනම් කොටගෙන ඔවුන් ඔවුන් නිගරු කරගන්නා අවස්ථාද වේ. මීට අමතරව සමාජ ජාලා වෙබ් අඩවි තුලින් එකිනෙකා විවේචනය, නින්දා අපහස කර ගැනීම සිදු වේ. තවත් සමහරෙක් සමාජයට පෙනීමට පමණක් මුනිච්චාවට එකිනෙකා හා සුහදව, සහයෝගයෙන් සිටින බව පෙන්වා පුද්ගලිකව තමන්ගේ වෛරය, අවෙගශීලි බව පිට කරනු ලබයි. බහුතරයක් මෙවැනි පවුල් සංකල්පය පදනම් කොටගෙන ඇති වන සංක්‍රාන්තික කාන්තාවන් අතර සම්බන්ධතා මෙලෙසින් නිම වන අතර එක වරක් මෙම සිදුවීම් සමුදාය සිදු වීමෙන් එය නොනවතින අතර චක්‍රයක් ආකාරයෙන් එය නැවත නැවතත් සිදු වේ. එනම් එක් වරක් මෙවැනි සිදුවීමක් සිදු වූ පසු වැඩිහිටි සංක්‍රාන්තික කාන්තාව තම මාතෘ මානසිකත්වය හා අදිපත්‍ය මත පදනම් වූ තම ජිවන රටාව හේතු කොටගෙන තවත් එවැනි අසරණ වූ සංක්‍රාන්තික තරුණියකට මව හෝ සහෝදරියක වන අතර පෙර කාරණාවට පාදක වූ සංක්‍රාන්තික තරුණියද තමන්ට වුන අකටයුතුකම් හා අත්දැකීම මත ඇයද වැඩිහිටි සංක්‍රාන්තික කාන්තාව ලෙස තවත් සංක්‍රාන්තික කාන්තාවකට කටයුතු කිරීමට පෙලබෙන අවස්ථාද වේ.

 

මෙම කාරණා නිසා සංක්‍රාන්තික කාන්තාවන් එකිනෙකා අතර සිදු වන මෙම පලිගැනීම්, එකිනෙකා විවේචනය හා අනෙකුත් කරුණු හේතුවෙන් සංක්‍රාන්තික කාන්තාවන් පිළිබඳව සමාජයේ යම් යහපත් දැක්මක් වේ නම් එයද යටපත් වන අතර සමාජය විසින් සංක්‍රාන්තික කාන්තාවන් කෙරෙහි පවතින අනිසි මතයන් හා විශ්වාසයන් වැඩි වන අතර සංක්‍රාන්තික කාන්තාවන් තමන්ට අවශ්‍ය යැයි සමාජයෙන් ඉල්ලා සිටින අයිතිය හා නිදහස ලැබීමටද බාදාවක් වේ. එපමණක් නොව මෙමගින් සංක්‍රාන්තික කාන්තාවන් අතර එකමුතු කම පළුදු වීමෙන් සංක්‍රාන්තික කාන්තාවන් කණ්ඩායම් වශයෙන් වෙන් වී තම තමන් බලයට අරගල කර ගැනීමෙන් තම පොදු අරමුණ අමතක වන අතර අනෙකුත් බලවේගයන් හට ලෙහෙසියෙන් ජය ගැනීමට  හා සංක්‍රාන්තික සමාජය මැඩලීමටත් අවස්ථාව හිමි වේ. මෙම කාරණා මත අප තේරුම් ගත යුත්තේ කිසිදු විටක තමන්ට අනුන්ගේ ජිවිත පාලන කල නොහැකි බවත් තමන්ගේ ජීවිතය පමණක් පාලනය කල හැකි බවත් ය. එපමණක් නොව මිනිස් ස්වභාවය මත පුද්ගලයන් වෙනස් වන බවත් උපකාරයක් කර නැවත ප්‍රති උපකාරයක් බලා පොරොත්තු වීම හා කල උපකාර නැවත නැවත පැවසීම තුච්ච ක්‍රියාවක් බවත්ය. තමන්ගේ පොදු අරමුණ මතකයේ තබා ගෙන එකමුතුව නව පරපුරට අත හිත දී සංක්‍රාන්තික පවුර නිර්මාණය කර තම අයිතීන් දිනා ගැනීමට අදිටන් කරගත යුතුය.

53817018_2145887228832968_3046277778858049536_o ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: