සංක්‍රාන්තික කාන්තාවන්ගේ සිතුම් පැතුම් හා අදහස්

2019 පෙබරවාරි 10.

ඉමාෂා පෙරේරා විසිනි.

ශ්‍රී ලංකාව තුල වෙසෙන සංක්‍රාන්තික සමාජභාවී කාන්තාවන් පිලිබද ලියවෙනු ලබන ලිපි බහුතරයක් ඇය වෙසෙන සමාජය කේන්ද්‍ර කොටගෙන එයින් ඇයට සිදු වන බලපෑම හා එමගින් ඇයට සිදු වන කායික, මානසික හිංසනයන් හා අකටයුතුකම් පිළිබදව ලියවුනු ලිපි වේ. එනමුත් මෙම ලිපිය මගින් සංක්‍රාන්තික කාන්තාව කේන්ද්‍ර කොටගෙන ඇය සමාජය දකින දෘෂ්ටි කෝණය හා ඇගේ ආකල්පත්,එකිනෙකට වෙනස් දිවි පෙවෙත් තුල ජීවත් වන සංක්‍රාන්තික කාන්තාවන්ගේ සිතුම් පැතුම් හා අදහස් පිලිබදවත් කෙටි සටහනක් තැබීමට සිතුවෙමි. මෙහිදී මූලිකව ගත් කල ශ්‍රී ලංකාවේ සංස්කෘතික වපසරිය, පුද්ගල ආකල්ප හා ආගමික පසුබිම මත ලාංකික සමාජයේ වෙසෙන සංක්‍රාන්තික කාන්තාවන් සියලු දෙනා තම ජීවිතය විවාහයකින් නිමකර ගැනීමට ආසාව දැක්වුවද අතලොස්සකට පමණක් එයට වරම් හිමි වී ඇත.පාසල් වියේ සිට ප්‍රේමය සොයා දිව යන සංක්‍රාන්තික තරුණියන් බහුතරයක් ජිවිතයේ එක වරක් හෝ කිහිපවරක් ආදරයෙන් පරාජිත වී හෝ මන් මුලා වී ඇත. මෙම හේතුව මත ප්‍රේමයෙන් බැට කෑ පිරිසෙන් අඩක් නැවත ප්‍රේම සම්බන්ධතා මත පදනම් වූ ජිවිතයක් නොපතන අතර තවත් පිරිසක් නැවත නැවතත් තමන්කේ සිහින සහකරු ලැබේ යැයි අදිෂ්ඨනයෙන් දිවි පෙවෙත ගෙන යයි. පෙර සදහන් කල ආකාරයට ප්‍රේම සම්බන්ධතා කිහිපයකින් පැරදුන ඇතැම් සංක්‍රාන්තික තරුණියන් ඉදිරි ජිවිත කාලය තුල යමෙකු හා සම්බන්ධතාවයක් පටන් ගන්නේනම් එය හුදෙකුත් තම දියුණුව තකා, තමන් තෘප්තිමත් වීම සදහා හෝ සරල සැහැල්ලු දිවිපෙවෙතක් උදෙසාමය. එමෙන්ම තවත් සංක්‍රාන්තික තරුණියක් ආදර සම්බන්ධතා කිහිපයකින් පරාජය වුවද එම සියලු දේ තුලින් ජිවිතයට පාඩමක් ලබා ගෙන නැවතත් පෙර සිදුකල වැරදි නිවැරදි කරගනිමින් තමන්ට දීර්ඝකාලීනව සිටීමට හැකි හෝ විවාහ වීමට කැමැත්ත පල කරන සහකරුවෙකු ලැබෙන තුරු තම අභිමතය පරිදි කටයුතු කරයි. ලිංගික ශ්‍රමය ලබා දීම තම රැකියාව ලෙස සිදු කරන සංක්‍රාන්තික තරුණියන් අතරද කිසම විටක ආදරය බලාපොරොත්තු නොවන හා බලාපොරොත්තු වන පිරිසක් වශයෙන් කාණ්ඩ දෙකක් ඇත. එපමණක් නොව සමාජය තමන්ට කේසේ සැලකුවද, කෙසේ ආමන්ත්‍රණය කලද කිසි විටෙක එය තම දිවියට බාදාවක් කර නොගත් සංක්‍රාන්තික තරුණියන් පිරිසක්ද ඔවුනොවුන්ගේ අභිමතය පරිදි සමාජයේ ජිවත් වන අතර අන් යට ඇහුන්කම් නොදීමත් අවදානය නොදීමත් තුලින් ඔවුන් සෘජු ලෙස නැගී සිටී. එමෙන්ම සමාජයට බියක් දක්වන සමාජයට අවශ්‍ය පරිදි කාන්තාව යන රාමුවට කොටු වී ජිවත් වන සංක්‍රාන්තික තරුණියන්ද වේ. සමාජය විසින් නිර්ණය කළා වූ විවාහය පිලිබදව සිතා කටයුතු කිරීමත් එක පුරුෂයෙකුට පමණක් සෑම විටකම සීමා වීමටත් ඔවුන් තැත් කරයි. පිරිසක් නිශාචර දිවි පෙවතක් ගෙවන අතර පිරිසක් සුර්යය උදාවත් සමග තම ද්‍යෛනික කටයුතු අරබා රැය එලබිමත් සමග නින්දට යනු ලබයි.

 

ඉහත සදහන් කල සංක්‍රාන්තික තරුණියන්ගේ අදහස් එකිනෙකට වෙනස් වන අතර තමන්ට අවශ්‍ය දේවල් හා සිතුම් පැතුම්ද විවිදාකාරය. එනම් එක් සංක්‍රාන්තික තරුණියක් ජිවිත කාලයටම සහකරුවෙකු සොයන අතර ඔහු හා විවාහ වී පවුලක් ලෙස දිවි ගෙවීමට අධිෂ්ඨාන කරන අතර තවත් සංක්‍රාන්තික තරුණියක් තම ද්‍යෛනික ජීවිතය ගෙන යෑමට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට කෙටි කාලීන සහකරුවෙකු සොයයි. තවත් සංක්‍රාන්තික තරුණියක් පුරුෂයන් කිහිපදෙනෙකුට ඇලුම් කරන අතර ඇය සමාජය පිලිබදව කිසිම තැකීමක් නොකරයි. තවත් විදියකින් පවසන්නේනම් එක සංක්‍රාන්තික තරුණියක් දීර්ඝකාලින වැඩ පිළිවෙලක් සිතේ තබාගෙන තමන්ටම කියා ව්‍යාපාරයක්, තම ප්‍රජාව වෙනුවෙන් යමක් කිරීමට හා සාර්ථක පවුල් ජිවිතයක් ගෙන යෑම් අරමුණු කරගන්නා අතර තවත් තරුණියක් ප්‍රසිද්ධිය හා මුල්‍යමය අතින් ස්ථාවර වීම තම පැතුම කර ගනී. එදිනෙදා ජීවිතය ගැන පමණක් සිතා කටයුතු කරන සංක්‍රාන්තික තරුණියන්ද මේ අතර වේ. යමෙක් විලාසිතා ලොව ජයගෙන, රූපවාහිනිය තුල ප්‍රසිද්ධ වීම හා සමාජයේ පිළිගැනීමක් අපේක්ෂා කරන අතර තවත් සංක්‍රාන්තික තරුණියක් ප්‍රසිද්ධ නොවී සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස සරල දිවි පෙවෙතක් ගෙන යෑමට අදහස් කරයි. විටෙක එක් අයෙක් තමන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රසිද්ධියේ හෙළි කිරීමට මැලි වන අතර තමන් සංක්‍රාන්තික කාන්තාවක් ලෙස සමාජයෙන් වසන් කර සාමාන්‍ය ලෙස ජිවත් වීම තම පැතුම කරගන්නා අතර තවත් තරුණියක් තමන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා තමන් සංක්‍රාන්තික තරුණියක් වීම පිලිබදව ආඩම්බරයට කාරනාවක් ලෙසත්, සමාජය ඉදිරියේ නැගී සිටීමට ආයුධයක් ලෙසද සිතා කටයුතු කරයි. දරුවෙකු හදාවඩා ගැනීම, තමන් සංක්‍රාන්තික වීමෙන් තමන්ට අහිමි වූ තම පවුල නැවත ලංකර ගැනීමටද සංක්‍රාන්තික තරුණියන් සිහින මවන අතර තම සංක්‍රාන්තික ජිවිතයේ අන්තයට පැමිණීමට එනම් ශල්‍යකර්ම සිදු කොට සියලුම ලියකියවිලි තමන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කොට ගැනීමද ඔවුන්ගේ එක අරමුණකි.

Screenshot 2019-05-20 09.40.02

ඉහත සදහන් කල සිතුම් පැතුම් හා අදහස් කරා ලගා වීම හා එම අවශ්‍යතා කරා පිය නැගෙන ආකාරයද එක් සංක්‍රාන්තික තරුණියකගෙන් අනෙක් සංක්‍රාන්තික තරුණියට හාත් පසින්ම වෙනස් වේ. එනම් එක සංක්‍රාන්තික තරුණියන් තමන්ගේ උත්සහාය හා කැපවීම මත තම සහජ දක්ෂතාවයක් වේනම් ඒ තුලින් හා රැකියාව කැපවීමෙන් සිදු කර තමන්ට අවශ්‍ය මුල්‍යමය ස්ථාවරත්වයට ලගා වී ඒ තුලින් තමන් පතන්නා වූ දියුණුව, ගේදොර ඉඩකඩම්, යානවාහාන ආදියද පවුල හා සමාජයේ පිළිගැනීමද ලගාකරගන්නා අතර තවත් සංක්‍රාන්තික කාන්තාවක් තමන්ට අවශ්‍ය දේ තවකෙකු තුලින් ඉෂ්ට සිද්ධ කරගනු ලබයි. උදාහරණයක් වශයෙන් සහකරුවන්ගේ මාර්ගයෙන්, කතන හැකියාව මගින් පුද්ගලයන් ආකර්ෂණය කරගැනීම තුලින් හා නීති විරෝධී යැයි පවසන දෑ සිදු කිරීමෙන්ය. මෙයට හේතුවක් වනුයේ යම් යම් කරුණු මත මෙම සංක්‍රාන්තික තරුණියන්ට රැකියාවක් කිරීමට අවශ්‍ය වුවද තම අවශ්‍යතාවයන් සාර්ථක කරගැනීමට ඔවුන් උත්සහ දැරුවද, ඇයට රැකියාවක් නොලැබීම හා කිහිපවතාවක්ම වංචනික ක්‍රියා නිසා ඇය පුද්ගලයන්ට හසු වීමෙන් ඇය සමාජය හා පුද්ගලයන් පිලිබදව කිසිදු පැහැදීමක් නොවීමය. ඔවුන්ගේ වචනයෙන් පවසන ආකාරයට ‘අතෙන් සෝමා වීම’ එනම් තමන් තම ශ්‍රමය යොදවා  හරිහම්බ කල මුදල් කිහිපවිටකදී පුරුෂයන්ට වියදම් කිරීමත් ඉන් තමන්ට කිසිදු ප්‍රතිලාබහයක් නොලැබීමෙන් හා දවස අවසානයේදී තමන් නැවතත් තනිකඩ වන බවත් නිසා ඇය සමාජය පිලිබදව කලකිරීමක් ඇති කර ගනී.

Screenshot 2019-05-20 09.40.14

ඉහත සදහන් කල ආකාරයට විශේෂයෙන් පුරුෂ පක්ෂය තුලින් තමන්ට පෙර වූ අකටයුතුකම් හා වංචනික ක්‍රියාද, ආලෙන් මුලා කොට තමන් සතු දෑ ලබා ගැනීම නිසාත්, සමාජය තමන්ට පමණක් නරක නාමය හා චෝදනා එල්ල කිරීම තුලින් හෙම්බත් වීම නිසා සමහරක් සංක්‍රාන්තික තරුණියන් පලි ගැනීමේ චේතනාව මත හෝ තම සාර්ථකත්වය සමාජයට පෙන්වා, තම නම්බුව රැකගැනීමත් යන කාරණා පාදකකොටගෙන තම කටයුතු සිදු කරයි. මෙහෙදී ඇය තම මානුෂිකත්වය පසෙකලා තම දියුණුව තකා පමණක් කටයුතු කරන අතර එමගින් ඇයට යාමට අවශ්‍ය ස්ථාවරත්වය කරා පියනගයි. තවත් සමහරෙක් ඉවසීමෙන් කටයුතු සිදුකොට තවත් පුද්ගලයෙකුගෙන් පෙර සිදු වූ ක්‍රියාවන් හේතුකොටගෙන පාලි ගැනීමේ චේතනාවෙන් තොරව කටයුතු කරන අතර නිශ්ශබ්දතාවය මගින් තම ගමන කලබලයකින් තොරව යයි. ශ්‍රී ලංකාව තුල අද වන විට ඉහත සදහන් කල ආකාරයේ සිදුවීම් සිදු වීමට මූලික හේතුව වනුයේ පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ඔවුන්ට මානසික හිංසනයන් හා කායික හිංසනයන් සිදු කිරීමෙන් පුද්ගල ස්වභාවය මත යමෙකුගේ ඉවසීමේ සීමාව සිමාවෙන් ඔබ්බට යෑමෙන් නැවත එම පුද්ගලයා තුල මෘදු අදහස් නොවන අතර තම යහපත ගැන පමණක් සිතීමයි. සමාජය පවසන ආකාරයට ගැහැනියක නිහඩව සිටීමෙන් දිනෙක ඇය නැගී සිටින බවත් එවිට ඇය කළු ගලක් ලෙස ශක්තිමත් වන බවත්ය. එය සංක්‍රාන්තික තරුණියන්ටද එලෙසම අනුවර්තනය කල හැක. බහුතරයක් සංක්‍රාන්තික තරුණියන් නව යොවුන් විය තුල ආදර සම්බන්ධතා මත වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක කිරීමට පෙලබෙන අතර ප්‍රේමයෙන් පරාජිත වීම තුලින් තම ජීවිතය සාර්ථක කර ගැනීමට පෙළබේ. සමාජය විසින් සිදුකරන ලබන වෙනස්කොට සැලකීම හා හින්සනයන්ද, සංක්‍රාන්තික තරුණිය කුඩා කල සිට අත්විදි අත්දැකීම් මතද ඇයගේ සිතුම් පැතුම් හා අදහස් එකිනෙකට වෙනස් වනු ඇත.

53817018_2145887228832968_3046277778858049536_o ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

 

Social Share: