ශ්‍රී ලාංකේය ලිංගික අධ්‍යාපනය සෞඛ්‍යහරණය කිරීම හෙවත් සම්බන්ධතා අධ්‍යාපනය හදුන්වාදීම කළ යුත්තේ ඇයි?

2018 මැයි 14.

තුෂාර මනෝජ් විසිනි.

ලිංගිකත්වය ඉතිහාසය පුරා සාකච්ඡාවට භාජනය වී ඇති මාතෘකාවකි. ශ්‍රී ලංකාවේදි නම් ලිංගිකත්වය යනු තරුණයෙක්ගේ ඇඳක් යට, මේට්ටයක් යට සඟවා තිබෙන පත්තරයක්, අසභ්‍ය වීඩියෝ පටයක්, ගමේ ළිඳ ළඟ සිට දිය රෙද්දක් ඇඳගෙන නාන ගැහැණියක් දෙස බලා සිටීමක්, කොල්ලන් විසින් කොල්ලන් සමග සහ කෙල්ලන් විසින් කෙල්ලන් සමග කරන අනාචාර ක්‍රියාවකට වඩා දෙයක් නොවේ. මිශ්‍ර පාසලක පිරිමි ළමයෙකුට තම පන්තියේ ගැහැණු ළමයෙකු වැඩිවියට පත්වීම ජම්බු ගසෙන් පැනීමට එහා දෙයක් නොවන ලිංගිකත්වය, මාස් ශුද්ධියට ලක්වූ ගැහැණු දරුවෙකුගේ සුදු ගවුමේ තැවරුණු රුධිර බිඳුවක් දැක එයට ජපන් කොඩිය දමලා යැයි උසුළු කිරීමකට වඩා එහා නොගිය දෙයකි. ලිංගිකත්වය හා ලිංගික ක්‍රියාකාරකම් පටලවාගත් සමාජයක, ලිංගික යන වචනය ඇසුණු පමණින් දණහිස පහළ වෙව්ලන මිනිසුන් සිටින සමාජයක ලිංගිකත්වය ගැන කතාකිරීම පවා ජනපතිවරයාගේ උදහසට ලක්ව මඩු වලිගයෙන් පහරකෑමට තරම් භයානක අපරාධයක් වනු ඇත.

එහෙත් ලිංගිකත්වයට අපි මේ තරම් භය වන්නේ, ලිංගිකත්වය සම්බන්ධව අප මේ තරම් කුතුහලයට පත්වන්නේ හා ලිංගිකත්වය සම්බන්ධව අප මේ තරම් කුහක වන්නේ කෙසේද යන්න සිතා බැලිය යුතුය. අධ්‍යයනය කළ යුතුය. මෙම ලිපිය මගින් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනයට විශ්වීය ප්‍රවේශයක් ඇති කළ හැක්කේ කෙසේද යන්නයි.

ලිංගික අධ්‍යාපනය ලබාදීම යන්නෙන් සමාන්‍යයෙන් අදහස් කරන්නේ කිසියම් ප්‍රජාවක්  ඔවුන්ගේ ශරීරය, ඔවුන්ගේ ලිංගික සෞඛ්‍යය, ඔවුන්ගේ ලිංගික චර්යාවන් පිළිබඳව දැනුවත් කිරීම හරහා ඔවුන් තුළ පෞද්ගලික හා සමාජ වටිනාකම් වර්ධනය කිරීමයි. ශ්‍රී ලංකාවේ  මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සංකල්ප ගත වී ඇත්තේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් තරුණ ප්‍රජාව ආරක්ෂා කිරීම හා පාලනය කිරීම, නව යෞවන වියේදී ගැබ්බර වීම වැළැක්වීම වැනි සෞඛ්‍යමය ප්‍රවේශයක්  මගිනි.  මෙම ප්‍රවේශය මගින් නිරන්තරයෙන්ම සිදුවන්නේ පවතින සමාජ හා සංස්කෘතික අපේක්ෂාවන් හා වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා තරුණ ප්‍රජාව තුළ ප්‍රතිමානයන් ඇති කිරීම පමණි.  එමගින් ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනයක් සිදුවන්නේද යන්න සැකසහිතය. විශේෂයෙන් 1980 දශකයේදී ගෝලීය වශයෙන් සිදුවූ මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය (එච්අයිවී) හා නතුකරගත් සහලක්ෂණය (ඒඩ්ස්) සම්බන්ධ සාකච්ඡාව හා ව්‍යාපාරය ලිංගික සෞඛ්‍යය සම්බන්ධව සාකච්ඡා කිරීමේ හා සමාජ කතිකාවක් ඇතිකිරීමේ ප්‍රමුඛතම මාධ්‍යය විය. විශේෂයෙන්  ඒඩ්ස් මාරාන්තික රෝගයක් ලෙස මෙන්ම අප්‍රසන්න හා අපහාසාත්මක රෝගයක් ලෙස හැඳින්වූ නිසා ලෝකයේ බොහෝ රටවල්වල ලිංගික අධ්‍යාපනය පිළිබඳ විෂය නිර්දේශ හා ක්‍රියාකාරකම් සියල්ල  ඒඩ්ස්කරණය විය. ලෝකය පුරා ඒඩ්ස් සම්බන්ධව ඇතිවූ භීතිකාවට පිළිතුරු සෙවීම, නිවාරණය සඳහා ඖෂධ සෙවීම මෙන්ම මිනිසුන් විසින් සිදුකරන  විවිධ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් පාලනය කිරීමට උත්සාහ කිරීම යනාදිය මෙන්ම, විශ්වාසවන්ත එක් සහකරුවෙක් හෝ සහකාරියකට සීමාවිය නොහැකි අයට තම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා කොන්ඩම් භාවිතය හා ලිහිසිකාරක ද්‍රව්‍ය භාවිතා කිරීමට උනන්දු කරවීම යනාදිය මගින් බලාපොරොත්තු වූයේ එච්අයිවී වසංගතයක් සේ  පැතිරීම වැළැක්වීමයි. එමෙන්ම ඊට සමගාමීව බෝ විය හැකි වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින්  මිනිසුන් ආරක්ෂාගැනීම සඳහාද අවශ්‍ය කඩිනම් ප්‍රතිකර්ම ක්‍රියාවට යොදවන ලදී. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ලෝකය කියා සිටින්නේ සෞඛ්‍යය ක්ෂේත්‍රය එච්අයිවී නිවාරණය සම්බන්ධයෙන් ධනාත්මක හා ප්‍රතිඵලදායක වෙනසක් සිදුකර ඇති බවයි.  ශ්‍රී ලංකාවේද මේ හා සමගාමීව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, ගෝලීය අරමුදල ඇතුළු විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා සමාජ සංවිධාන එක්ව ඒඩ්ස්  තුරන් කිරීම සඳහා කටයුතු කරන ලදී.  වසර 2025 වන විට  ඒඩ්ස් මරණ සහ නව එච්අයිවී ආසාදන බිංදුව දක්වා අඩු කිරීම ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍යය ප්‍රතිපත්තිය වී ඇත.

මේ සියල්ල ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධයෙන් අප ලබාගත් ජයග්‍රහණ ලෙස සැලකිය හැකි අතර එමගින් අපි ප්‍රජා සෞඛ්‍ය සේවය ජයගෙන ඇතැයි උදම් ඇනීමට ඉක්මන් වැඩි බවද සිහි තබාගත යුතුය. එයට හේතුව ප්‍රජා සෞඛ්‍යය ක්ෂේත්‍රය එච්අයිවී  හා ලිංගාශ්‍රිත ආසාදන සම්බන්ධයෙන් පමණක් වැඩි අවධානයක් යොමුකිරීම නිසා ලිංගික අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් සම්බන්ධ පැතිකඩ සාකච්ඡා කිරීම හා එම අයිතිවාසිකම් කඩවීම මගින් සමාජයට ඇතිකළ හැකි භයානක තර්ජන අමතක කර දමා තිබීමයි.  මෙහි ප්‍රතිඵලයක් ලෙස ලිංගිකත්වය යනු ආදරය, විශ්වාසය හා වින්දනය මත පදනම් වූ දෙයක්ය යන්නට වඩා කෙසේ හෝ ලබාගත යුතු දෙයක් බවට පත්වී තිබේ.

විශේෂයෙන් නව යෞවන විය හා තරුණ වියේ පසුවෙන අය විසින් සිදුකරන යම් යම් ක්‍රියාකාරකම්වල ස්වරූපයද, ලිංගික සෞඛ්‍යය සම්බන්ධ දැනුවත්වීමේ අවමභාවය නිසා පොළොන්නරුව හා මඩකලපුව දිස්ත්‍රීක්කවල ළමා මව්වරුන්ගේ ප්‍රමාණය ඉහළ යාම යනාදියද, ලිංගික උත්තේජනය ලබාගැනීමේ අරමුණින් විවිධ පෙතිවර්ග, මත්ද්‍රව්‍යවලට තරුණ ප්‍රජාව ඇබ්බැහිවීමද, විශේෂයෙන්ම අඩු වයස් ගැහැණු දරුවන් හා පිරිමි දරුවන් තමාට සමීප ඥාතීන් අතින් අතවරයට හා අපචාරයට ලක්වීම යනාදියද  සලකා බැලීමෙන් පැහැදිලි වන්නේ ලිංගික සෞඛ්‍යය හා සමානවම ලිංගික අයිතිවාසිකම් සම්බන්ධවද විධිමත් සාකච්ඡාවක් හා දැනුවත්වීමක් සිදුවිය යුතු බවයි. එමෙන්ම වර්තමානයේදී ඉතා බහුල ආකාරයෙන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය මගින් තරුණ තරුණියන්ට හා දරුවන්ට සිදුවන අපරා‍ධ හා අපයෝජන සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ යුතුව තිබේ. තාක්ෂණය හා නවීන විද්‍යාව දරුවාගෙන් බැහැර කළ නොහැකි අතර ඒවායෙන් සිදුවන විවිධ අපයෝ්ජන ක්‍රියාවන්ගෙන් හා ඒවාට යොමුවීමෙන් දරුවා වළක්වා ගැනීමේ උපක්‍රම සෙවිය යුතුව තිබේ.

ලිංගික සෞඛ්‍ය සම්බන්ධව ඇතිවූ ප්‍රශ්න හා නව ප්‍රවනතාවන් සැලකිල්ලට ගනිමින් මෑත කාලයේදී ප්‍රජා සෞඛ්‍යය හා පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය සම්බන්ධන්ධව සිදුකරන ජාත්‍යන්තර වැඩසටහන් මූලික සංකල්ප දෙකක් හඳුනාගනිමින් සිටී.
1. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාළව තරුණ ප්‍රජාවගේ මානව හිමිකම් හඳුනාගැනීම, විශේෂයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය හා ලිංගිකත්වය සම්බන්ධව පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලැබීම.

2. ලිංගිකත්වය හා සම්බන්ධව  ප්‍රශස්ත ප්‍රතිඵල ලබාගැනීම සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී මානව හිමිකම් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය  ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම තේරුම් ගැනීම.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනිකථ විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් සකස් කර ඇති ලිංගික අධ්‍යාපනය පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශනයට :The UNESCO International Technical Guidance on Sexuality Education අනුව  ඔවුන් විසින් සියලුම සංවිධානවලට පිළිගත හැකිවන ආකාරයේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමුකර තිබේ. එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම වලදී මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය, විවේචනාත්මක චින්තනය හා තරුණ ප්‍රජාවගේ නියෝජනයද වැදගත් වන බවයි. තවමත් ලෝකයේ සිටින තරුණ ප්‍රජාවල විශේෂයෙන් අප්‍රිකානු හා ආසියානු රටවල තරුණ ප්‍රජාව ඔවුන්ගේ සංස්කෘතීන් සමග විචාරශීලීව සම්බන්ධ වීම, මානව හිමිකම් සම්බන්ධව වගවීම හා තමාගේ ලිංගික ජීවිතයේ වගකිව යුතු අයිතිකරුවා තමා වීම සම්බන්ධයෙන්  එතරම් අවධානයක් යොමුකර නැති නිසා ඔවුන්ගේ දායකත්වය වැඩි වශයෙන් යොදාගෙන කටයුතු කළ යුතුව තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෞඛ්‍යය අයිතිවාසිකම් හා ලිංගික අයිතිවාසිකම් බොහෝවිට සම්බන්ධ වන්නේ සෞඛ්‍යමය ප්‍රවේශයෙන් වීම මහත් ගැටළු ඇති කරවීමට සමත්වී තිබෙන බව පෙනී යයි. විශේෂයෙන් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය  සම්බන්ධ විෂය මාලා සම්පාදනය කිරීමේදී හා ඒ සම්බන්ධ සාකච්ඡා කිරීමේදී පවතින සෞඛ්‍යමය අධිකාරීත්වය විසින් මානව හිමිකම් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් ඇතිකළ හැකි දායකත්වයේ වැදගත්කම් නොසලකා හරිමින් සිටිනු පෙනේ. විශේෂයෙන්ම නව යොවුන් විය හා තරුණ වියේදී පුද්ගලයින්ට ඇතිවිය හැකි ගැටළු සෞඛ්‍යමය වශයෙන් පමණක් නොව සමාජ, සංස්කෘතික වශයෙන්ද සලකා බැලිය යුතු වේ. එමෙන්ම ප්‍රාදේශීය වශයෙන් පවතින වෙනස්කම් හා ව්‍යාකූලතාවන්ද සලකා බැලිය යුතුවේ. ජනවාර්ගික වශයෙන් පවතින වෙනස්කම් මෙන්ම උතුර හා දකුණු වශයෙන් පවතින වෙනස්කම්ද සලකා බැලිය යුතුවේ. මෙම වෙනස්කම් හා විභේදනයන් සෘජුව සම්බන්ධ වන්නේ සමාජ වෘත්තිකයා හෝ සමාජ විද්‍යාඥයාගේ විෂයයට වුවද, සෞඛ්‍යය ප්‍රතිසංස්කරණවලදී ඔවුන්ගේ දායකත්වය ලබානොගැනීම මත යම් යම් ප්‍රශ්න පිළිබඳ අත්‍යවශ්‍යම සාකච්ඡාවන් මඟහැරී තිබේ. විශේෂයෙන් ළමා මව්වරු සම්බන්ධ ප්‍රශ්නය, ආර්තව දුගීභාවය, අන්තර්ජාලය මගින් සිදුවන කුට්ටනය හා ලිංගික ජාවාරම්ල දරුවන් හා යෞවනයින් ලිංගික වශයෙන් අසභ්‍ය වීඩියෝ පට හා ඡායාරූපවලට යොදාගැනීම, ලිංගික අල්ලස් ලබාගැනීමල විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව විසින් ඉල්ලා සිටින අයිතිවාසිකම් යනාදිය පිටුපස පවතින සමාජ ව්‍යාධීන් තේරුම්ගත යුතුව තිබේ.

ලෝකයේ ලිංගික සෞඛ්‍යය සම්බන්ධ මානයන් වෙනස්වන්නේ හා නව ප්‍රවනතාවන් ඇතිවන්නේ තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙනය. එහිදී මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයක් මගින් ලිංගික සෞඛ්‍ය හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධව ඉදිරි පියවර ගත යුතුයැයි හඳුනාගෙන තිබේ. එහිදී තරුණ ප්‍රජාවට පුද්ගලිකව ඇතිවන ප්‍රශ්න හා තර්ජන  සම්බන්ධව අවධානය යොමුකරනවා වෙනුවට ලිංගිකත්වය වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම, ආරක්ෂිතව වින්දනය ලබාගත හැකි ආකාර සම්බන්ධ විශ්වීය දැනුවත්භාවයක් ලබාදිය යුතුය යන්න අවධාරණය කර තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේද පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ විෂය නිර්දේශ හා වැඩසටහන් ඉහතින් දැක්වූ විශ්වීය ප්‍රවේශයන්වලට අනුකූලව සකස් කළ යුතුව තිබේග එහිදී ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ විෂයමූලික තේරුම්ගැනීම්, සමාජ හා ප්‍රජානන යනාදී යථාර්ථවාදී න්‍යායයන් භාවිතා කිරීම, දරුවාගේ නැතහොත් තරුණයාගේ පරිසරය තේරුම් ගැනීම, දරුවන්ට ප්‍රශ්න කිරීමේල විවේචනාත්මකව සිතීමේ හා තම අදහස් දැක්වීමේ හැකියාව ඇතිකරවන ආකාරයේ ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම යනාදිය කෙරෙහි අවධානය යොමුකළ යුතුව තිබේ. එමගින් සාම්ප්‍රදායික ලිංගික අධ්‍යාපන ක්‍රමයේ පැවති ලිංගික හා සමාජ පාලන භාවිතය වෙනුවට ප්‍රගතිශීලී හා විචාරශීලී පරිපූර්ණ ලිංගිකත්ව සහ සම්බන්ධතා අධ්‍යාපනයක් සකස් කළ හැකිවනු ඇත.

Social Share: