ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ගේ තත්ත්වය පිළිබද හැරී බලමු.

2023 ඔක්තෝබර් 31.

වින්ද්‍යා ගම්ලත් විසිනි.

‘මගේ එකම බලාපොරොත්තුව තිබුණේ ලෝයර් කෙනෙක් වෙන්න.  මං නගර සභාවට ගිහිං පොත් හිටං කියවනවා ලෝයර් කෙනෙක් වෙන්න. ගැහැණුන්ට ගොඩක් අසාධාරණකම් වෙනවා. ඒ වෙනුවෙන් සටන් කිරීම තමයි මගේ ආසාව වුණේ. ඒක ඉතිං, හීනයක් ‍විතරයි. මං විවාහ වුණා. විවාහ වෙලා ටික කාලයක් යද්දී හස්බන්ඩ් බොන්න ගත්තා. එයා කිව්වා, ‘ඕන්නං උඹ ‍ඕන එකක් කරගෙන ජීවත් වෙයං. මාව බලාපොරොත්තු වෙන්න එපා කියලා.’ 

ඊ‍ට පස්සේ, මං කිව්වා. ‘හා එහෙමද ?‍. මං ජීවිතේ ඇස් දෙකට පේන්න වත් එන්නේ නැහැ කියලා. දරුවෝ දෙන්නත් අරගෙන ගෙදර ගියා. පුංචි කෙනෙක්ගේ ගෙදර. එයත් දන්න කාලේ ඉඳන් මේක තමයි කරේ. එයාට මං කිව්වා. මට උදව් කරන්න කියලා. පස්සේ එයා කිව්වා. 

‘හා මං උඹට උදව් කරන්නම්. උඹට ඉන්න තැනක් දෙන්නම්. උඹ මාත් එක්ක යන්න එන්න ඕන කියලා.’ ඊට පස්සේ තමයි මං එයා එක්ක යන්න ගත්තේ‍. 

මේක කරනවා කියලා පිටේ ගහගෙන ඇවිදින්න ඕන නැහැ. අපි දන්න ඕන. අපේ වැදගත්කම, හැසිරීම තියාගෙන ජීවත් වෙන්න. මට නම්, මගේ දරුවෝ තමා. ඒගොල්‍ලෝ හොඳින් ඉඳීම තමා මගේ එකම බලාපොරොත්තුව.’

මේ ස්වර්ණාගේ කතාව. ලිංගික ශ්‍රමිකයෙකු බවට පත්වන්නට ඇයට හේතුවී තිබෙන්නේ, ඇගේම සැමියාගේ ක්‍රියා කලාපයයි. කොළඹ නගරය තුළ ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කරන ස්වර්ණා සිහිපත් කළේ ලිංගික ශ්‍රමිකයෙකු ලෙස තමන්ට එදිනෙදා ජීවිතය තුළ මුහුණදෙන්නට සිදුව තිබෙන අභියෝගය පිළිබඳවයි.

මෙවැනි ලිංගික ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය පදනම් කරගත් පර්යේෂණය අළළා රචිත “ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාවගේ තත්ත්වය ජාතික වාර්තාව 2022 – 2023” තුළ බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක්කර තිබේ.

ලංකාව පුරා විසිරී සිටින ලිංගික ශ්‍රමිකයින් 283 දෙනෙකුගේ (කොළඹ, ගම්පහ, යාපනය, මහනුවර, පොළොන්නරුව, පුත්තලම, වවුනියාව) අදහස් මෙහිදී පදනම් කරගෙන ඇත. විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් 6 දෙනෙකු මෙම අදහස් වලට සවන්දුන් අතර මෙම විශේෂඥ මණ්ඩලයේ සාමාජිකයින් වූවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් – අම්බිකා සත්කුනනාදන්, මුලික අයිතිවාසිකම් සම්බන්ධ නීතිඥ පුලස්ති හේවාමාන්න, UNAIDS හි හිටපු අධ්‍යක්ෂ – වෛද්‍ය දයානාත් රණතුංග, කොළඹ වි‍ශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මනෝවිද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය – ගමීලා සමරසිංහ, පර්යේෂක ක්‍රියාකාරිනී – සරලා එමානුවෙල් යන පිරිසයි.

මේ පර්යේෂණයට අනුව ලිංගික ශ්‍රමිකයින් වැඩි පිරිසක්, 35 % ක පිරිසක් පසුවන්නේ වයස අවුරුදු 35 – 50 ත් අතරයි. අවුරුදු 18 – 25 අතර වන තරුණ පිරිස 22 % ක් වේ. ලිංගික ශ්‍රමික වෘත්තියට යොමුවන්නේ සාමාන්‍ය පවුල් පසුබිමකින් යුතු අය බව මේ පර්යේෂණය අනාවරණය කරයි.

ඇතැම් කුඩා දරුවන් තරුණ වියට එළඹීමට පෙර සිටම ලිංගික ශ්‍රමිකයින් බවට පත්වන අවස්ථා ද නැතුවා නොවේ.  නස්රින් පවසන මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ ළමා වියේදී සිටම දුප්පත්කම මෙන්ම මාපිය නොසැලකීම් නිසා මුහුණදෙන්නට සිදුවන ඛේදවාචකයන් හමුවේ කුඩා දරුවන්  ලිංගික ශ්‍රමිකයින් බවට පත්වන බවයි.

‘කාටවත් කියන්න එපා’

‘මං තලෙයි මන්නාරමේ. අවුරුදු දෙක හමාරෙදී අම්මා මාව දාලා ගියා නැතිවුණා. අවුරුදු 5 වෙනකල් තාත්තා මාව බලාගත්තා. ඊට පස්සේ එයා මාව නැන්දට බාරදුන්නා. පොඩිකාලේ ඉඳන් කුකුල් කොටුවක වැඩකරලා ඉවරවෙලා ඉස්කෝලේ ගියා. කවුරුත් මට කෑමක් දුන්නේ නැහැ. අවුරුදු 9 වෙද්දී මගේ මාමා අතින් මං දූෂණය වුණා. වැඩිහිටියෝ කිව්වේ කාටවත් කියන්න එපා කියලා. එල්ටීටීඊ යේ කෙනෙක් මාව මිලදීගත්තා. අවුරුදු 10 දී මගේ අම්මා මාව, එයාට දුන්නා. නමුත්, නීතිගත විවාහයක් නෙමෙයි. එයා මාව පොලීසියට, ආමි එකට විකුණුවා. මට මේ රස්සාව කරන්න බැහැ කියලා අඬද්දී එයා මට ගැහුවා. මගේ පස්සට ගැහුවා, අත් කකුල් කැඩුවා. පොඩිකාලේ මම පොලීසියේ අය එක්ක ඉද්දී පිටිපස්ස හැරෙන්න කියලා, පිටිපස්සේ එකට ඉන්නවා. මම බෑ කියලා කෑගහනවා. මම දන්නෑනේ මොකක්ද කරන්නේ කියලා. 

ඒ වචනේ තේරෙන්නේ දැන්. මට ඉඳගන්නවත් බැහැ. මිනිහා ඒත් ඉඳගන්නවත් දෙන්නේ නැහැ. ආයේ විනාඩි පහෙන් ආයේ එකෙක් ආයේ දානවා. පොඩියිනේ ඒ කාලේ. අවුරුදු 10 යිනේ. බඩට ළමයා ආපු එකවත් මම දන්නේ නැහැ. බබාට මාස එක හමාරේ ඉඳන් මුන් මේ බිස්නස් එක කෙරුවා. මුලින්ම මම බය වුණත් පස්සේ ඒකට පුරුදු වුණා. දැන් ‘නැහැ‘ කියන ධෛර්යය තියෙනවා. අවුරුදු 13 දී රට ගියා. ඩුබායි වල ඉද්දී වැඩ අමාරු නිසා පැනලා ගියා. ටැක්සිකාරයෙක්ට කිව්වා මට ජොබ් එකක් හොයලා දෙන්න කියලා. එයා මාව අරගෙන ගිහිං සෙක්ස් කරා. මං මේකට ලංකාවේදී පුරුදු වෙලා හිටිය නිසා ‘කීයක්ද‘ කියලා ඇහුවා. ඒ මිනිහා කිව්වා සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතිං, මං සෙක්ස් කරන්න ගත්තා. මාසෙට 50000 – 100000 හෙව්වා. ඒ සල්ලි ලංකාවට එව්වා. මම සල්ලි එව්වේ නැත්නම් මගේ ළමයි බලාගන්නේ නැහැ. මම සල්ලි එවද්දී ටික දවසකට විතරක් ළමයි හොඳින් ඉන්නවා. ළමයි නිසා මං දුක් වින්ඳා. දෙවැනි විවාහයේදී දුවව අවුරුදු 2 දී හදාගන්න දුන්නා. ඒ කට්ටිය ඇහුවා කීයක් ඕනද කියලා. මම කිව්වා. ‘මට සල්ලි ඕන නැහැ, ළමයා සතුටින් තියන්න‘ කියලා මම කිව්වා. එයාලා ළමයව ආදරේන් බලාගනියි කියලා මම හිතුවා. මට ගෙදරක් තිබුණේ නැහැ. මගේ අම්මා මාව විකුණුවා. ඒත්. මගේ දරුවා සල්ලි වලට වඩා මට වැදගත්. මං කවදාවත් අම්මගේ තාත්තාගේ ආදරේ ලැබුණේ නැහැ. ‘වේසි‘ කියන වචනය මට ඇහෙනවා. අපිට ඒ වචනේ අහන්න ඕන නැහැ. මිනිස්සු පුංචි ළමයිව දූෂණය කරනවා. අපි ඉන්න නිසා ඒ ළමයිව දූෂණය කරන එක අඩුවෙනවා.‘  

නස්රින්ගේ කතාව එසේ වුවත් මෙම පර්යේෂණයට අනුව ළමා වයසින් රැකියාවට ඇතුළත් වන (වයස අවුරුදු 14 ට පෙර) ලිංගික ශ්‍රමිකයින් ප්‍රමාණය 3 % ක තරම් සුළු ප්‍රමාණයක් වන අතර අනෙක් සියලුම දෙනා වයස අවුරුදු 25 ට පසුව රැකියාවට ඇතුළු වී තිබේ. බොහෝ දෙනෙකුගේ පළමු රැකියාව ලිංගික වෘත්තිය නොවන අතර ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, සේවා ස්ථානයේ අතෘප්තිමත් බව හා ප්‍රචණ්ඩත්වය වැනි කරුණු නිසා රැකියා අත්හැර ඇත. 24 % කගේ විශ්වාසය වී තිබෙන්නේ ලිංගික වෘත්තිය තමන්ට සිදුකළ හැකි වඩාත්ම ලාභදායී වෘත්තිය බවයි.

‘අම්මා අම්මාමයි තාම’ 

විශේෂයෙන්ම, ආර්ථික දුෂ්කරතා හමුවේ ජීවත‍්වෙන්නට අන් මඟක් නොමැති විට අකමැත්තෙන් වුවත් දරු පවුල රැකගන්නට, ලිංගික ශ්‍රමිකයෙකු බවට පත්වූ මවක ගැන කතාව ටිම්රාන් කීර්ති කවියකට නගන්නේ මෙලෙසයි. (සාදර බණ්ඩාරගේ හඬින් මෙය ගීතයකට නැගෙනවා.)

‘පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම

වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම

බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක

නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්

අනේ හාමතේ අපි මැරිලා එහෙනම්

වණේ පාරන්නේ වන පල විස වී නම්

නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්’

මේ ලිපියේ සටහන් වන ලිංගික ශ්‍රමික කාන්තාවන් සියලුම දෙනාගේ පාහේ කතාවල නිමිත්ත‍ වෙන්නෙත් මෙයයි. දරුවන් සමග ජීවත්වෙන්නට මඟක් නොමැති තැන, ඔවුන්ගේ කුසගින්න නැතිකිරීමට ලිංගික ශ්‍රමිකයෙකු බවට පත්වෙන්නට මේ සියලුම  දෙනාට සිදුව තිබෙනවා.  මෙහිදී අනාවරණය කෙරුණු අන්දමට මේ ‍ලිංගික ශ්‍රමිකයින් උපයන ආදායමෙන් පවුලේ සාමාජිකයින් 3,4,5,6 ක් හෝ 7 ක් දක්වා වුණු පිරිසක් ජීවත් කරවන්නටත් ඔවුන්ට සිදුව තිබෙනවා. අධ්‍යාපනය අතින් ගතහොත් මේ අතරින් 30 % ක ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද පිරිස් වන අතර ඒ අතරින් උසස් පෙළ දක්වා උගත් අය 6 % ක් වෙනවා.

එමෙන්ම, මෙම ශ්‍රමිකයින්ගේ විවාහ ජීවිත වල තත්ත්වය සලකා බැලූ විට ඔවුන්ගේ ජිවිත පරමාදර්ශී විවාහ ජීවිත නොවන බව පැහැදිලියි. දරුවන් එක් අයෙකු හෝ වැඩි ගණනක් සිටීම, ස්වාමිපුරුෂයා යැපෙන්නෙකු බවට පත්ව තිබීම සුලබ කරුණක් වී තිබෙනවා.

තමන් නියැලෙන රැකියාව කුමක්දැයි යන්න දරුවන් දැනගනිතියි බියෙන් පසුවන ලිංගික ශ්‍රමික කාන්තාවන් වැඩිහිටි දරුවන් අතින් පවා ශාරීරික හිංසනයට ද පත්වෙනවා. මහලු වියට එළඹුණු විටදී පවා ලිංගික ශ්‍රමික කාන්තාවන්ට බියෙන් පසුවන්නට සිදුව තිබෙන්නේ වැඩිහිටි නිවාස වලින් පවා ඔවුන් ප්‍රතික්ෂේප වනු ඇතැයි බවට වූ බිය නිසයි.

‘වීදි සරන ළඳුනේ’ 

මේ පර්යේෂණයට දායක කරගත් පිරිස අතරින් ලිංගික ශ්‍රමිකයින් වැඩි පිරිසක් සිය වෘත්තියේ නිරත වන්නේ මහා මාර්ගයේදී බව සොයාගෙන තිබෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කල 22 % ක් වෙනවා.

මහමඟදී රැකියාවේ නිරත වීම හේතුවෙන් ඔවුන් ප්‍රචණ්ඩත්වයට ලක්වන ප්‍රමාණය වැඩියි. සේවාදායකයින්ගේ මෙන්ම පොලිසියේ ප්‍රචණ්ඩත්වයට හසුවීම ද මේ අතරින් කැපී පෙනෙනවා. ප්‍රචණ්ඩත්වය, අයුතු ලෙස සැලකීම හා අවදානමට ලක්වෙන මෙම පිරිස ලිංගික රැකියාවල තනිව හෝ වෙනත් ආකාරවලට අමතරව නියැලෙන 53% ක් ගණිකා මඩම් ආඥාපනත භාවිතයට වඩාත්ම අවදානමට ලක්ව තිබෙනවා.

‘මං හොඳ අම්මා කෙනෙක්’ 

මහමඟ රැකියාවේ නිරත වෙන ජානකී පවසන්නේ, ඇගේ වෘත්තිය නිසාවෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ දින 14 ක් ගතකරන්නට සිදුවූ බවයි. අද වනවිට ඇය සිය දරුවන් වගේම ස්වාමියාව ද පෝෂණය කරන දිරිය මවක්. ඒත්, මේ ධෛර්යය වෙනුවෙන් ඇයට සමාජයෙන් අත්විඳින්නට සිදුව තිබෙන්නේ නින්දා අපහාසයි.

‘මං කොටහේනේ, ම‍ගේ අම්මයි, තාත්තයි අවුරුදු 7 දී නැතිවුණා. හොස්ටල් එකේ තමයි මං හැදුණේ. නිවාඩු ඇවිත් අයියා එක්කන් යනවා. අයිය‍ගේ යාළුවෙක් තමයි බැන්ඳේ. එයා මුකුත් බොන්නේ නැහැ. 19 න් දුව හම්බුණා. අවුරුද්දෙන් අවුරුද්ද තමයි 4 දෙනාම හම්බුණේ. මහත්තයගේ මොලේ ගෙඩියක්. එයා ලෙඩවුණා. ඊට පස්සේ මං මේ රස්සාව කරලා තමයි ළමයි බැලුවේ. 

යාළුවෙක් හිටියා ම‍ගේ. එයාගේ මාර්ගයෙන් තමයි මට කරදර නිසා, යමු කියලා කතාකළා. එයත් එක්ක තමයි යන්න ගත්තේ. ‘බය වෙන්න එපා, ලැජ්ජා වෙන්න එපා’ කියලා එක්කන් ගියා. ඉස්සරලා ගියා බොරැල්ලේ හොටලේකට. ඊට පහුවදා පිටකොටුවේ එකකට ගියා. එයා ඉතිං. දවස ගානේ යනකොට කියනවා, ‘මං උඹට පෙන්නන්නම් පාරවල්, බය නැතුව පලයං’ කියලා. එතකොට අවුරුදු 26-27 ඇති. දැන් 49 යි. මගේ මහත්තයා දැනගද්දී අවුරුදු 10 ක් විතර මං ගිහිං ඉවරයි. දැනගෙන ඇහුවාම මං කිව්වා, ‘ඔව්, ළමයි පොඩියිනේ. ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්න එපා. ඔයා හම්බකරන එක මදි නිසා මං මෙහෙම මේවා වෙන්නේ. අහල පහල කට්ටිය එක්ක මම යන්නේ නැහැ. ඔයාට ලැජ්ජයිනේ’ කියලා. 

එයාට දුකයි ඉතිං. ලොකු පඩියක් ගන්න රස්සාවක් නෙමෙයිනේ. දවසට රු. 800 ක් එහෙම තමයි ගන්නේ. මුලින්ම 500 ක් හොයනවා. ඊට පස්සේ 2000-3000 හම්බුණා. ඒ ගාණ හම්බුණොත් කඩේට ගිහිල්ලා ඔක්කොම බඩු ගන්න සල්ලි ඇති. 5-6 දෙනෙක් එක්ක යන්න ඕන රු. 5000-6000 ක්වත් හොයාගන්න. යුද්දේ කාලේ බයයි බෝම්බ තියයි කියලා. දැන් බය පොලීසියට විතරයි. දවස් 14 ක් ඉඳලා තියෙනවා, වැලිකඩ. ප්‍රශ්න වැඩියි. බන්ධනාගාර බස් වල යද්දී ගාඩ් මහත්තුරු යනවනේ. නම්බර් දෙනවා. එළියට ආවම කතාකරන්න කියලා. දැන් බැඳලා ඉන්න මහත්තයා කුඩු ගහනවා. මම අද යන්නැතුව ඉඳලා, හෙට යන්න පුළුවන්නේ කියලා, හිටියොත්, එයාට අද වැඩ නොතිබ්බොත් පහුවදාට කුඩු බොන්න සල්ලි නැහැනේ, එහෙම වුණාම මම දෙනවා සල්ලි. දවසට කෑලි 3-4 බොනවා. මං හම්බකරන ඒවත් එයාට තමයි වියදම් වෙන්නේ. එයාට හොරෙන් ළමයි සලකනවා. බලන සමාජේ කට්ටිය හිතන්නේ අපි මේ නරක දෙයක් කරන්නේ කියලා. මම හිතන්නේ නැහැ. මගේ ඇඟනේ මම ගිහිල්ලා මේවා කරන්නේ, ඒ දේ නරක නැහැ. මගේ මිනිහා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන් මං මේ දේ කරන්නේ කන්න බොන්න. මට හිතෙන්නේ නැහැ මං මේ කරන්නේ නරක දෙයක් කියලා. 

පිරිමින්ට කියන්නේ නැහැ, ‘ගෑණුත් එක්ක උඹ යනවනේ. වේසයිනේ’ කියලා. ගෑණුන්ට ටක් ගාලා ඇගිල්ල දික්කරනවා, යකෝ මේ ගෑණි මේ විදියයි. අන්න යනවා. අපි අතන දැක්කා, මෙතන දැක්කා කියලා. මං හිතනවා මං හොඳ අම්මා කෙනෙක් කියලා. ළමයිට තව අවුරුදු ගාණක් කරන්න පුළුවන් කියලා. එහෙම වෙන්න කියලා මං දෙවියන්ගෙන්, බුදුන්ගෙන් ඉල්ලනවා. මං වයසට ගියාම මගේ ළමයි බලයි’ 

විශේෂඥ කමිටුවේ සාමාජිකාවක වූ ගමිලා සමරසිංහ මෙවැනි ලිංගික ශ්‍රමිකයින් සමග සංවාදයේ යෙදෙමින් සිදුකළ පර්යේෂණය ගැන අදහස් දක්වමින් පවසන්නේ, ‘ඔබ අතරින් බොහෝ දෙනෙකු සම්මුඛ සාකච්ඡාවන් අතරවාරයේදී හැඟීම්බර විය. තවත් අය සිය අත්දැකීම් බෙදාගන්නා විට කඳුළු සැලුහ. මූල්‍ය අසීරුතාපීඩනමෙම රැකියාවෙහි යෙදෙනු හැර අන් විකල්පයක් නොවීම ගැන කථා කළ ඔබලා ඔබේ යහපැවැත්මඔබේ පවුලෙන් නෙරපා හැරීමට ලක්වීම ආදිය ගැන ද කනස්සල්ල පළකලහ’ යනුවෙනි‍. 

යැපෙන්නන් පෝෂණය කරන්නට පෙරට 

‍ලිංගික ශ්‍රමිකයින් සිය වෘත්තියේ නියැලෙන්නේ කැමැත්තෙන්ද, අකමැත්තෙන්දැයි විමසූ විට ඔවුන්ගෙන් 40 % ක් සිය වෘත්තියට කැමති බවත්, 32 % ක් ඇතැම් විට කැමති බවත්, 14 % ක තරම් සුළු ප්‍රමාණයක් ඊට අකමැති බවත් පවසයි. අකමැත්‍තෙන් වුවත් ඔවුන්ට මේ වෘත්තියේ නිරතවීමට සිදුව තිබෙන්නේ යැපෙන්නන් පෝෂණය කිරීමට අන් මඟක් නොමැති බැවිනි. ඔවුන්ම පවසන අන්දමට 50 % ක පිරිසක් අර්ධකාලීන ලිංගික ශ්‍රමිකයින් වන අතර 73% ක් වෙනත් විකල්ප මඟක් නොමැතිකම නිසා ලිංගික වෘත්තිකයින් ලෙස කටයුතු කරන්නට පෙළඹී ඇත.

ලිංගික වෘත්තියේ නියැලෙන පිරිසෙන් 60 %ක් පවුල නඩත්තු කරන එකම ආදායම්ලාභියා වන අතර 73% ක් සිය පවුලේ වැඩිම ආදායම් ලබන හෝ ප්‍රාථමික ආදායම් ලබන සාමාජිකයා වෙයි. නමුත්, තමන් උපයන මුදලින් කරන්නේ කුමක්ද යන්න තීරණය කිරීමේදී ඔවුන්ට  නිදහසේ ඒ පිළිබඳ තීරණය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පැහැදිලි වන්නේ 80 % දෙනා ඒ ගැන සිය පවුලේ පිරිමි සාමාජිකයින්ගෙන් අවසර ගතයුතු බැවිනි.

මෙම පර්යේෂණයට දායකවූවන්ගෙන් 71 % ක් සිස් – ලිංගික කාන්තාවන් වන අතර 26% ක පිරිසක් සංක්‍රාන්ති ලිංගිකයන් වෙනවා. එමෙන්ම, පිරිමි පිරිස 1 % කටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර තවත් කුඩා ප්‍රතිශතයක් වෙනත් ලිංගික අනන්‍යතාවක් ප්‍රකාශ කර තිබේ. විවාහක වුවත් අවිවාහක වුවත් ලංකාව තුළ ජීවත්වන ලිංගික ශ්‍රමිකයින්ට මුහුණදෙන්නට සිදුව තිබෙන්නේ ඉතා සංකීර්ණ ජීවන තත්ත්වයකටයි.‍

නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට උ‍රදෙන ආයතන මෙන්ම ලිංගික ශ්‍රමිකයින් විසින් සිය සේවාදායකයන්ට සේවාව ලබාදීමට තෝරාගන්නා ස්ථාන වලදී ද ඔවුන් ප්‍රචණ්ඩත්වයට ලක්වේ. ශ්‍රමිකයින් බොහෝ දෙනෙකු (57%) හෝටල් හෝ ලැගුම්හල් තුළදී ද, සේවාලාභියාගේ නිවසටම ගොස් සේවා සපයන පිරිස් 44% ක් වන අතර මේ දෙයාකාරයම අනාරක්ෂිතය.

නීතිය බලාත්මක කරන ආයතන හා අධිකරණ පද්ධතිය විසින් ද ලිංගික ශ්‍රමික කාන්තාවන්ට අත්විඳින්නට සිදුව තිබෙන්නේ අඩන්තේට්ටම් ය. මහාමාර්ගයේ හා පොලිස් ස්ථානවලදී සිදුකරන ලිංගික හිංසන, ලිංගික අල්ලස්, මුදල් නැතිව හෝ සාමාන්‍ය මුදලට වඩා අඩු මුදලකට සේවාදායකයින් ලෙස පොලිස් නිළධාරීන් ගැනීමට බල කිරීම, සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයින් පිරිමි පිරිස් වල කුටි වලට දැමීම ආදිය මේ අතරට අයත්ය. පර්යේෂණයට දායක වූ එක් සංක්‍රාන්ති ලිංගිකයෙකු පැවසුවේ, ඇයට ඇඳුම් ගලවා පාර අයිනේ ඇති කාණු වතුරෙන් නාන ලෙස පොලිස් නිළධාරීන් බලකළ බවයි.

කලක් පොලිස් සේවයේ නිරත වූ විශේෂඥ කමිටුවේ සාමාජික ප්‍රියන්ත ජයකොඩි මෙම ලිංගික ශ්‍රමිකයින්ට අද වනවිට අත් විඳින්නට සිදුව ඇති දුක්ඛදායක තත්ත්වය පිළිබඳ පවසන්නේ ‘ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට හිමිව තිබෙන තත්ත්වය භයානකය. එම තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින සම්ප්‍රදායයන්, සංස්කෘතිය හා සමාජ සාරධර්ම නිසාවෙනි. මෙම රැකියාවේ නිරතවන බොහෝ කාන්තාවන් එයට යොමුව ඇත්තේ හා එවැනි තත්ත්වයකට පත්වීමට හේතුවී ඇත්තේ දරිද්‍රතාව හා අධ්‍යාපනය වෙත ඇති සීමිත ප්‍රවේශයයි. සංක්‍රාන්ති ලිංගිකයින් බොහෝවිට මෙම තත්ත්වයට පත්වන්නේ, ඔවුන්ට මුහුණදීමට සිදුවන සමාජ සහ සංස්කෘතික ගැටලු නිසාවෙනි‘ යන්නයි.

රැකියා ස්ථානයේදී අනාරක්ෂිතයි

රැකියා ස්ථානය තුළදී ද ලිංගික ශ්‍රමිකයින් අනාරක්ෂිතභාවයට පත්වේ. තම රැකියාව කිසි විටෙකත් ආරක්ෂිත නොවන බව ශ්‍රමිකයින් 45% ක් පවසන අතර එලෙස පැවසීමට හේතු ද ඔවුන් දක්වයි. ගනුදෙනුකරුවන් කොන්ඩම් භාවිතය ප්‍රතික්ෂේප කිරීම හා ගනුදෙනුකරුවන් එකඟ වූ මුදල් නොගෙවීම මේ අතරින් ප්‍රමුඛය.

ලිංගික ශ්‍රමිකයින් අනාරක්ෂිතභාවයට මුහුණදීම සම්බන්ධයෙන් විමසූ විට 30% ක පිරිසකගේ අදහස වී තිබෙන්නේ තමන්ට මුහුණදීමට සිදුව ඇති උල්ලංඝනීය තත්ත්වයන් සඳහා වගකිවයුතු වන්නේ සේවාදායකයින් බවයි. හෝටල් හිමිකරුවන් / ඉඩම් හිමියන් හා නීතිය බලාත්මක කිරීමේ නිළධාරීන් වගකිවයුතු බව පවසන 20% කි. පවුලේ සාමාජිකයින් මෙන්ම සමීප සහකරුවන් ද ඊට අයත් බව ඔවුන්ගේ අදහස වී ඇත.

තමන් කැමැත්ත පළකල පිරිසට වඩා වැඩි පිරිසක් සමග හෝ කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියාවන්ට බල කිරීම, පොලීසියෙන් ශාරීරික හා ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදීමට ඇති බිය ද ඔවුන් නිරතුරුව අත්විඳියි. තමන් කවුරුන්ද යන්න හෙළිදරව් වේදැයි යන්න ගැන ද මෙම ලිංගික ශ්‍රමිකයින්ට අනියත බියක් පවතියි.

නීතිය හා සාමය රකින්නට සිටින පිරිස් වල වංචාකාරී හැසිරීම් නිසාම හව්හරණක් නැතිව ලිංගික ශ්‍රමිකයින් බවට පත්වූ කාන්තාවන් ද නැතුවා නොවේ. මේ දරුවන් දෙදෙනෙකුගේ මවක් වන කමලාගේ කතාවයි.

‘පොළොන්නරුවේ වැලිකන්දේ ජීවත්වෙන්නේ. ගොවිතැන් කරනකොට හරි අමාරුයි. මහත්තයා කැමති වුණේ නැහැ මෙහේ ඉන්න, කොටි නිසා. හිටිගමන් ටවුන් එකට යනවා කියලා ගියා. ආගිය අතක් නැතිවුණා. හැමතැනටම කිව්වා. අද වෙනකල් වෙච්චි දෙයක් දන්නේ නැහැ. මරණ සහතිකයක් වත් දන්නේ නැහැ. ‍පොලීසි වලට ගියාම නම්බරේ ඉල්ලගන්නවා. ‘අපි උදව් කරන්නම්, අපි හොයමු නංගී’ කියලා. මහත්තයා නැති වුණාට පස්සේ ඇත්තටම මම යාළු වුණේ පොලීසියේ එක්කනෙක් එක්ක. එයා කීවා ඇත්තටම මං බඳිනවා කියලා. අවුරුද්දක් විතර සම්බන්ධකම් පවත්වලා, ගෙදර ආවා ගියා, ගමේ මිනිස්සුන්ට නොදැනෙන්න තමයි එන්නේ, එතකොට ළමයි පොඩියි. බලනකොට බැඳලා ළමයිනුත් ඉන්නවා. එවෙලෙම මං නතර කරා. කඩවල් වල කට්ටිය එහෙම බඩු නිකං දෙනවා ඉතිං. මහත්තයා නැති වුණ නිසා මෙහෙම උදව් කරන්නේ කියලා හිතුවේ. ඊට පස්සේ මෙහෙමයි, එයාලා එහෙට එන්න, මෙහෙට එන්න කිය කියා, නිකම්ම යොමුවුණා. මටත් සල්ලි නැහැ. උදව් කරේ ඉතිං, නිකං නෙමෙයි. මේ වගේ බලාපොරොත්තු තියාගෙන තමයි. නිකං උදව් කරන්නේ නැහැ කවුරුත්. මට දැන් නම් හිතෙනවා, පිරිමි කියන්නේ ගෑණු කට්ටිය පහත් කරලම තමයි, පිරිමි ගෑණුන්ගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අරගෙන තමයි අයින් කරන්නේ. මම කුඹුරු කරනවා. රෑට කුඹුරු රකිනවා. දැන් ඇත්තට ජොබ් එක කෙරෙනවා අඩුයි. ෆෝන් එකෙන්ම විශ්වාසම කෙනෙක් කතා කරෝතින් ලීක් වෙන් නැති වෙන්න තමයි යන්නේ. ලොකුවට අතට අහුවෙලා නැහැ. යන කට්ටියත් පොලීසියේ, ආමි එකේ. මුදලාලිලා වගේ තමයි. ලිංගික කාන්තාවක් කිව්වම ඒක පිළිකුල් කරනවා. මම නම් හිතන්නේ නැහැ ඒක පිළිකුලක් කියලා. කාටහරි සේවයක් වෙනවනේ. දැන් මනුස්සයෙක් ආවම ඒ මනුස්සයට ගෙදරින් ලැබෙන්නේ නැති දේ අපි හරි ලබලා දෙනවනේ. ඒ මනුස්සයා දවසක් හරි සතුටින් ජීවත්වෙනවනේ. ඒකත් ලොකු පිනක් ඉතිං.‘

ලිංගික ශ්‍රමිකයින් සිය වෘත්තියේ නිරතවීමේ කැමැත්ත අකමැත්ත විමසා බැලීම ද වැදගත්ය. ශ්‍රමිකයින් 40 % දෙනෙකු සිය කැමැත්තෙන් ලිංගික වෘත්තියේ නියැලෙන අතර 14 % දෙනෙකු මේ වෘත්තියේ නියැලෙන්නේ අකමැත්තෙනි. අර්ධකාලීන රැකියාවක් ලෙස ලිංගික වෘත්තියේ නියැලෙන මොවුන්ගෙන් 73% ක් තමන්ට විකල්ප ආදායම් මාර්ගයක් නොමැති බැවින් මෙම වෘත්තියේ නියැලෙයි. වෘත්තියට කැපවී ‘පූර්ණ කාලීන‘ ලෙස ලිංගික ශ්‍රමයේ යෙදීමට නොහැකි බව එමගින් ගම්‍ය වන අතර මීට අමතරව සම්හාහන මධ්‍යස්ථාන හෝ ශ්‍රමය දායක කරන රැකියාවල ද පිරිස් නිරතව සිටියි.

නීතිය කා වෙනුවෙන්ද ? 

ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධ නීතිය ගැන කළ විමසීමේදී මෙම අධ්‍යයනයට පාදක වූ 40 % ආසන්න පිරිසක් පැවසුවේ ලංකාව තුළ ලිංගික ශ්‍රමය නීති විරෝධී හෝ නීත්‍යනුකූල නොවන බව සිතන බවයි. මෙරට නීතිය අනුව ලිංගික ඉල්ලීම් කිරීම හා ගණිකා මඩම් පවත්වාගෙන යාම වැනි ක්‍රියා සාපරාධී ලෙස සැලකූවද, පැහැදිලිවම මෙය අපරාධයක් නොවේ. මෙම අධ්‍යනයෙන් යෝජනා කරන්නේ ලිංගික ශ්‍රමිකයින්ට නොමිලේ හෝ නාමික පිරිවැයක් දරන නීතිමය සේවාවන් වලට හිමිකම් පැවතිය යුතු බවයි. පර්යේෂණයට දායක වූ 99% දෙනාගේ අදහස වූවේ ඔවුන් නොමිලේ නීති සේවා ලබාගෙන නැති බවයි. නොමිලේ නීති සේවා ලබාගත හැකි බව ගැන පවා ඔවුන් මීට පෙර දැනුවත් වී නැත. විශේෂයෙන්ම, ලිංගික ශ්‍රමිකයින්ට එරෙහි සමාජ අපකීර්තිය නිසා නීතිඥයින් සම්පූර්ණ ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කිරීමට පෙළඹී ඇති අතර මෙමගින් ශ්‍රමිකයින් සිරවී සිටින ණය උගුල්වල තවදුරටත් සිරවෙයි. අයාලේ යෑම් ආඥා පනත, ගණිකා නිවාස ආඥා පනත, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි මෙන්ම කොවිඩ් සමයේදී නිරෝධායන නීතියට අදාළව ද පිරිස් අත්අඩංගුවට ගෙන ඇත. අයාලේ යෑමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ශ්‍රමිකයින්ගෙන් 50 % කට ආසන්න පිරිසකට තමන් වරදකරුවන් ලෙස පිළිගන්නා ලෙස නියෝග ලැබී තිබුණි. එලෙස පිළිගන්නා ලෙසට ඔවුන්ට නියෝග ලැබී තිබුණේ පොලීසියෙන් හෝ නීතිඥවරයාගෙනි.

වරදකරුවන් වූ ලිංගික ශ්‍රමිකයින්ගෙන් 40% ක් දින 7 සිට අවුරුදු 3 දක්වා සිරගත කර ඇත.  එමෙන්ම, අත්අඩංගුවට ගත් බවට වාර්තා වූ ලිංගික ශ්‍රමිකයින්ගෙන් 70% ක්ම පැවසුවේ තමන් ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ සඳහා යොමුකළ බවයි.

මෙම වාර්තාව තුළ අවධාරණය කරන ප්‍රධාන කරුණක්ව තිබෙන්නේ මෙරට ලිංගික ශ්‍රමය මේ තාක්කල් සලකා තිබෙන්නේ මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙසින් බවයි. එහිදී අවධාරණය කරන්නේ,

පාදඩ ආඥා පනත සහ / හෝ ගණිකා මඩම් ආඥා පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන ලිංගික ශ්‍රමිකයින්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා අනිවාර්ය පරීක්ෂණයකට යොමු කිරීම මෙරට මහේස්ත්‍රාත්වරුන් විසින් සිදුකරනු ලබන බවයි. මෙම අධ්‍යයනයේදී අත්අඩංගුවට ගත් බවට වාර්තා කළ ශ්‍රමිකයින්ගෙන් 70% ක්ම තමන්ව ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ සඳහා අධිකරණය මගින් යොමුකළ බව ප්‍රකාශ කර ඇත. අත්‍යාවශ්‍ය මෙන්ම නීතියෙන් අනිවාර්ය කර නොමැති නැති අවස්ථාවකදී අතිරේක නීති විරෝධී ක්‍රියාමාර්ග භාවිත කරමින් ලිංගික ශ්‍රමික පුද්ගලයින් මෙලෙස අමානුෂිකකරණය කිරීම ලිංගික ශ්‍රමික පුද්ගලයින්ව බැහැර කිරීම හෝ වෙනස් ලෙස සැලකීමට හේතුවී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ කමිටුවේ සාමාජිකාවක වන අම්බිකා සත්කුනනාදන් පවසන්නේ,

‘ලිංගික ශ්‍රමික කාන්තාවන් හට නීතිය වෙතින් ඇත්තේ අල්ප ආරක්ෂාවකි. ඇතැම් විට එවැනි ආරක්ෂාවක් කිසිසේත්ම නොමැති තරම්ය. ලංකාවේ නීතියට අනුව ලිංගික ශ්‍රමිකයින් ලෙස රාජකාරි කිරීම වරදක් නොවේ. නමුත්, ලිංගික ශ්‍රමිකයින් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබාගැනීමට ආයුධයක් බවට පත්කරගෙන ඇති අතර අයාලේ යෑම / පාදඩ ආඥා පනත වැනි වෙනත් නීති අ(නිසි) ලෙස යොදාගැනීම හරහා එය අපරාධකරණයට ලක්කර ඇත.’ යන්නයි‍.

ලිංගික ශ්‍රමිකයින් ගැන සිතන සෞඛ්‍යයක් ලංකා‍වේ පවතිනවාද ? 

ලිංගික ශ්‍රමිකයින්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ සලකා බැලූ විට ඔවුන්ගෙන් 80% කට ප්‍රමාණයක් රජයේ රෝහල් වල ලිංගාශ්‍රිත රෝග සායනයට සහභාගී වී තිබේ. මේ අතරින් 66 % ක් වන පිරිසකට මෙම ස්ථාන වලදී වාචික අපයෝජන වලට ද මුහුණදෙන්නට සිදුව ඇත. ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැකිලීමට ද හේතුවක් වී තිබෙන්නේ මෙවැනි ප්‍රතිචාර යි. මෙම අධෛර්යමත් කිරීම් නිසාම පර්යේෂණය තුළින් තහවුරු වූවේ ශ්‍රමිකයින්ගෙන් 70% ක පිරිසක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් සඳහා පරීක්ෂණයක් නොකළ බවයි. රජයේ රෝහල වෙත ගිය ලිංගික ශ්‍රමිකයින්ගෙන් 45% කගෙන්ම විමසා ඇත්තේ ඔවුන් ලිංගික ශ්‍රමිකයෙකු දැයි යන්නයි. සමාජ අපකීර්තිය හේතුවෙන් අවංක පිළිතුරු දීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් ලිංගික ශ්‍රමිකයින්ට උපත් පාලනය පිළිබඳ උපදෙස් ලැබි තිබෙන්නේ ද ඉතා අවම මට්ටමකින් බව නිරීක්ෂණය වන්නේ ශ්‍රමිකයින්ගෙන් 83% කටම කිසි විටෙකත් පවුල් සෞඛ්‍ය නිළධාරිනියගෙන් උපදෙස් ලැබී නැති පසුබිමකයි. රජයේ නිසි උපදෙස් හිමි නොවූවද ලිංගාශ්‍රිත රෝග හේතුවෙන් තමන්ට, තම සේවාදායකයින්ට හා අන් අයට සිදුවන අනතුරු ගැන දැනුවත් නිසා 91% දෙනා සැමවිටම කොන්ඩම් භාවිතයට පෙළඹී තිබේ. නමුත්, ගනුදෙනුකරුවන් එය ප්‍රතික්ෂේප කරන අවස්ථාවල ඔවුන් කොන්ඩම් භාවිත නොකර සිටීමට පෙළඹී ඇත. 48 % දෙනෙකු මෙම කොන්ඩම් මිලදී ගන්නේ ඔවුන්ගේම මුදලිනි.

ලිංගික ශ්‍රමිකයින් කුඩා කලසිටම ප්‍රචණ්ඩත්වයට ගොදුරුවී ඇති අතර සංක්‍රාන්ති ලිංගික පිරිස් වැඩෙන විට සිය ලිංගික අනන්‍යතාව වඩාත් පැහැදිලිව ප්‍රකාශ කිරීමට පටන් ගන්නා අවදියේදී ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට ද පත්වී තිබේ.

ලිංගික ශ්‍රමිකයින් බොහෝ දෙනෙකු වයස අවුරුදු 13 දී විවාහ වූවන් වන බව ඔවුන්ගේ සහතික පත් වල වාර්තා කර ඇත. මෙම නීති විරෝධී විවාහ බොහෝ විට අවසන් වන්නේ කායික හා වාචික ප්‍රචණ්ඩත්වයෙනි. මෙම ලිපියේ මීට පෙර ගෙනහැර දැක්වූ ලිංගික ශ්‍රමිකයින් ප්‍රකාශ කළ අදහස් වලින් ද ඒ බව තවදුරටත් තහවුරු විය. සමාජ අපවාද විඳින්නට වේ යැයි බියෙන් ශ්‍රමිකයින්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් තමන් උපන් නගරයේ සේවයේ යෙදෙන්නේ ද නැත.

බුදුදහමේ එන අම්බපාලි සමාජයෙන් ගැරහුම් ලැබ අවසානයේදී බුදු සසුනේ පැවිදිවී රහත්වූ බව මේ බෞද්ධ ද්වීපයේ කොයි කවුරුත් දන්නා කතාවකි. නමුත්, නූතන අම්බපාලිලාගේ කතාව අවසන්‍ වන්නේ සමාජයෙන් හැරහුම් ලබන පිරිසක් ලෙස පමණක් වීම මහත් ඛේදවාචකයකි.

 

Social Share: