‘විජය’ගේ ලිංගිකත්වය කුමක්ද? – ‘සිංහබාහු’ යළි කියවීම (දෙවැනි කොටස)

2017 නොවැම්බර් 21.

විජය යනු වත්මන් අර්ථයෙන් විෂමලිංගික හෝ සමලිංගික පුද්ගලයකු යන දෙකම නොවේ යැයි මම තර්ක කරමි. කුවේණියගේ දරුවන් විජයගේ නොවිය හැකි බවත් මම යෝජනා කරමි. විජයගේ බිරිඳට දරුවන් නැති වීම සම්බන්ධ කතාන්දරය සිංහල ජන ඇදහීම් තුළ කෙනෙකුට දරුවන් නොමැති වීම සම්බන්ධයෙන් වැඩිම බරක් යොදවා කියවෙන කතන්දරය බවත් මම යෝජනා කරමි. සිංහල ජාතිය ‘සිංහයකු’ගේ මුණුපුරකු වෙන ලිංගික අපගාමිකයකුගෙන් (sexual deviant)ආරම්භ වේ යැයි මම තවදුරටත් තර්ක කරමි.

පහත දැක්වෙන්නේ  මගේ තර්කවලට හේතුය.

සිංහයා වීරත්වයේ සංකේතයක් වෙන අතර, පිටරට සතෙකි. ලංකාවේ එකල මිනිස්සු බොහොමයක් සිංහයකු දැක නැතුවාට පවා සැක නැත. විජයගේ කතන්දරය තුළ සිංහ මූලාශ්‍රය යෝජනා කරන්නේ විජයගේ චරිතයේ කිසියම් ‘අඩුපාඩුවක්’ මකා ගැනීමටය.

විජය යනු විෂම හැසිරීම් ඇත්තෙකු යැයි මහාවංශය සඳහන් කරයි. මේ විෂම හැසිරීම් කුමන ඒවා ද යන්න පැහැදිලි නොවුන ද, විජය ඒ වෙන විට උපරජු වූ අතර, ඔහු මරා දැමිය යුතු යැයි ප්‍රකාශ කරමින් ජනතාව විරෝධය දක්වන්නට තරම් හේතුවූ වැරැදි වේ. ඉන්දීය සමාජය තුළ සමලිංගික හැසිරීමට එසේ විරෝධයක් තිබුනේ නැත. එනිසා මේ විරෝධය විජයගේ සමලිංගිකත්වය ගැන ඇති වූ විරෝධයක් නොවේ. විජය මේ වැරැදි සිදු කරන්නේ තනිව නොවන අතර, ඔහුගේ පිරිසත් සමගය. ඉතිහාසයේ බොහෝ කතාවල මෙන් කතා නායකයා විජයත්, ඔහුගේ පිරිසත් සියල්ලෝම පිරිමිය. ඒ නිසාම මෙය සමලිංගික කතාවක් යැයි මම නොකියන අතර, එහෙත් එහි ඇති කුවියර (queer) බව ප්‍රතික්ෂේප කළ නොහැකිය.

කෙසේ වුවත් විජය සිදු කරන වැරැදි නිසා හිස අඩක් බූ ගා පිටුවහල් කෙරේ. හිස බූ ගෑම සහ අඩක් හිස බූ ගෑම ඉන්දියාවේ පරදාර සේවනයට එරෙහිව තිබෙන දඩුවමකි. ස්ත්‍රී දූෂණයට මරණ දඬුවම දඬුවමක් ලෙස තිබූ ඇත. ‘තොපගේ පුතු මරන්න’ කියා මිනිසුන් හඬ නැගීම තුළ වඩාත් සැක සිතිය හැකි කාරණය වෙන්නේ විජය සහ ඔහුගේ සගයන් ස්ත්‍රී දූෂණයේ යෙදෙන්නට ඇති බවත්, බොහෝ විට එය කණ්ඩායමක් ලෙස කරන්නට ඇති බවත්ය. කණ්ඩායම් ලිංගික හැසිරීම් (group sex) ඉන්දියාවට අලුත් දෙයක් නොවේ.

ඛජුරාවෝ පන්සලක පිහිටි අර්ධ උන්නත කැටයමක්, මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව

(ක්‍රි.ව. 9-10 සියවස්)

ලංකාවේ දී එතරම් චණ්ඩියකු නොවන විජය ඉන්දියාවේ බරපතල චණ්ඩියකු ලෙස නියෝජනය කරන්නේ විජයගේ චරිතයේ ඇති තවත් ඓතිහාසික අඩුවක් වැසීමට යැයි මම යෝජනා කරමි. විජයගේ ලිංගිකත්වයේ දුර්වලතා වසන රළු පිරිමිකමේ පොරෝනාව මෙම චණ්ඩිකමයි.

මේ පිටුවහල් කරන අපරාධකරුවාට සහ ඔහුගේ පිරිසට ආරක්ෂාව ලබා දෙන්නට බුදුන් ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ඉල්ලා සිටින අතර, ඔහු එය උපුල්වන් දෙවිඳුට පවරයි. පළමුව විජය සැබැවින්ම අපරාධකරුවෙකු වූයේ නම් බුදුන් විසින් ඔහුව ආරක්ෂා කරන්නට යැයි ශක්‍රයාගෙන් ඉල්ලා සිටින්නේ ඇයි? එසේත් නැත්නම් විජය අපරාධකරුවෙක් වුවත්, බුදු දහමට අනුව ඔහු සිදුකළ වැරැදි ඒ අපරාධ සේ නොසැලකුනා විය හැකිය.

කුවේණි-විජය කතාව මහාවංශයට පමණක් පොදු එකක් නොවන අතර, බොහෝ විට සිදුවිය හැක්කේ  තමන්ගේ ප්‍රභවය සම්බන්ධයෙන් එවකට තිබුණු ජනකතාවක් මත මහානාම තෙරුන් බුදුන්ගේ සම්බන්ධය මවා පෙන්වන බවයි. ඒ හරහා බෞද්ධකම හා රාජ්‍යත්වය අතර ඇති සම්බන්ධය ඓතිහාසික උරුමයක් බවට පත්කරයි.

ලංකාවේ බුද්ධාගම සමග  හින්දු ආගම සහ ලංකාවේ පැවැති යක්ෂ විශ්වාස ඇතුළු ජන විශ්වාස, මිශ්‍රවී ඇති බැව් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය, තොවිල් ඇතුළු ජන ඇදහිලි ආදිය ගැන බලන කෙනෙකුට පැහැදිලිව පෙනේ. එසේම සමහර යක්ෂයන් දෙවියන් ලෙස ද හැඳින්වේ. විභීෂණ දෙවියන්, කඩවර දෙවියන් මීට උදාහරණ වේ. සිංහල බෞද්ධ අනන්‍යතාවය සහ විශ්වාස ද බෞද්ධ අර්ථයෙන්ම නොව මෙම හින්දු සහ එකල පැවැති ජන විශ්වාස යන දෙකෙහිම මුහුවක් ලෙස බිහිවී ඇත.

විජය යනු තෙවරක් විවාහ වෙන තැනැත්තකු ලෙස මහා වංශය සඳහන් කරයි. ඒ සෑම විවාහයක්ම රාජ්‍යත්වය ලබා ගැනීම හා සම්බන්ධ වේ යැයි පෙනෙන අතර, විජයට තම දරුවන් හෝ බිරින්ඳන් සම්බන්ධයෙන් විශේෂ ආදරයක්, ඇල්මක් ඇතැයි නොපෙනේ.

පළමු විවාහය

මෙය සිදු වන්නේ විජය කුමරු ලංකාවට පැමිණීමට පෙරය.  ලංකාවට එන්නට පෙර, ඔහු උපරජු ලෙස අභිෂේක ලබා ඇති අතර, මේ විවාහය විවාහය සිදු වෙන්නේ රජකම ලැබීමට ඇති අවශ්‍යතාවය නිසාය. මේ විවාහයෙන් දරුවන්ද සිටිති. ලංකාවට පැමිණීමෙන් පසු මේ අය ගැන හොයන්නට විජය වද නොවේ.

දෙවැනි විවාහය

මෙය සිදු වෙන්නේ කුවේණිය සමගය. මෙය විවාහයක් ලෙස හැඳින්වීම ප්‍රශ්නකාරී විය හැකි අතර වඩාත් සුදුසු වචනය වන්නේ එකට විසීමේ (living together) සම්බන්ධයකි. මේ සම්බන්ධතාවය එවකට පාලන බලය තිබූ යක්ෂයන් පරාජය කිරීමට හේතු විය. විවාහයෙන් ලැබෙන මේ දරුවන් ගැන හොයන්නට ද විජය වද නොවේ.

තෙවැනි විවාහය

තුන්වැනි විවාහය සිදු වන්නේ නැවතත් ඉන්දියානු කුමාරිකාවක් සමගය. මේ විවාහය ද සිදු වන්නේ රාජ්‍යත්වයේ උරුමයට කන්‍යාභාවයේ සම්ප්‍රාදයක සම්බන්ධයක් ලෙසය.  මේ විවාහයෙන් දරුවන් නොමැත.

පළමු විවාහයෙන් සහ දෙවැනි විවාහයෙන් යන දෙකෙන්ම ලැබෙන දරුවන් ගැන විජය එතරම් වද නොවෙන්නේ ඇයි?

උපකල්පනය 1- මේ දරුවන්ගේ සුජාතභාවය ගැන ගැටළු ඇත.

මේ දරුවන්ගේ පියවරුන් කවුදැයි සොයා ගැනීම දුෂ්කරය. පළමු විවාහයේ විජය පිටුවහල් කිරීමට හේතු වෙන කාරණා ලෙස ලිංගික අපගාමීත්වය (sexual deviancy) මම යෝජනා කළෙමි. ලිංගික අපගාමීත්වය සම්බන්ධයෙන් ඓතිහාසික ඉන්දීය සන්දර්භයකින් කියවීම ඉතා වටී. විජයගේ ලිංගික අපගාමීත්වය හුදෙක් වර්තමාන අර්ථයෙන් වික්ටෝරියානු සදාචාර යුගයක විවාහය යන ආයතනය තුළම රැඳී සිට කියවිය නොහැක. එය කියවිය යුත්තේ කාමසූත්‍ර සහ ඛජුරාවෝ පන්සල් තිබුනු සංස්කෘතියකිනි. සතුන් සමග ලිංගිකව හැසිරීම, සමලිංගික හැසිරීම, කණ්ඩායම් ලිංගික හැසිරීම ඉන්දීය සංස්කෘතියට අමුතු දෙයක් නොවේ. එවැනි ලිංගික හැසිරීම්වල යෙදුනු පමණින් කෙනෙකු වර්තමානයේ මෙන් සමලිංගිකයකු, විෂම ලිංගිකයකු හෝ පොන්නයකු ලෙස හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු ලෙස හෝ ද්විලිංගිකයකු ලෙස හෝ එකල සමාජය විසින් වර්ගීකරණයට ලක් කළේ නැත. එකල ලිංගිකත්වය වර්ගීකරණයෙන් සහ අනන්‍යතාකරණයෙන් තොරව බොහෝ දුරට නිදහස් ව පැවැතිනි. මෙවැනි සංස්කෘතියකින් එන විජයගේ ලිංගික හැසිරීම් බොහෝ විට ඔහුගේ සගයන් සමග හවුලේ කළ ලිංගික හැසිරීම් විය හැකි අතර, එවැනි සම්බන්ධතාවල දරුවන් කාගේ දැයි සොයා ගැනීම අතිශයින් අපහසු විය හැකිය.

මේ සිදු වීම අනිවාර්යයෙන්ම කුවේණිය සමගද සිදු වන්නට ඇති බව මම යෝජනා කරමි. ලිංගික අපගාමිකයන් 700ක පිරිසකට කුවේණිය නම් එක් ගැහැණියක් ලැබෙන අතර, එක් අයෙකුට පමණක් ඇයව භුක්ති විඳීමට ලැබුනේ යැයි උපකල්පනය කිරීම හුදෙක් විහිළුවකි. අනිවාර්යයෙන්ම කුවේණිය විජයගේ අනෙකුත් සගයන් සමග ද නිදි වදින්නට ඇත. එසේත් නැත්නම් කුවේණියට බලහත්කාරී  ස්ත්‍රී දූෂණයන්ට මුහුණ දෙන්නට වන්නට ඇත.

රාජ්‍යත්වය සම්බන්ධ අවශ්‍යතාවය එනවිට කන්‍යාභාවයට අති සුවිශේෂී තැනක් ලැබෙන්නේ ද මේ නිසා බැව් මම යෝජනා කරමි. විජයට කන්‍යාවක් සමග විවාහයට එළඹී දරුවෙකු ලබන්නට අවශ්‍ය වුවද එය සාර්ථක වන්නේ නැත.

ජනශ්‍රැති ප්‍රකාශ කරන ආකාරයට විජයට කුවේණිය විසින් සාප කර ඇති අතර, කුවේණිය මරණයෙන් පසු දිවි දෙනක් ලෙස ඉපිද විජයගේ යහනට දිග දිවක් දිගු කරන අතර, විජය මෙයින් අසනීප වී ඇත. කුවේණිය විසින් විජයගේ ඇඳට දිව දැමීම ලිංගික අර්ථ ගණනාවක් සපයන අතර විජයගේ ලිංගික අවුලක් සම්බන්ධයෙන් ද ඉඟි කරයි. ජීවිතයේ අවසාන කාලයේ වයස්ගත වීමත් සමග විජය ලිංගික බෙලහීනතාවයකින් පෙළෙන්නට ඇති බවත් මම යෝජනා කරමි.

උපකල්පනය – විජයට දරුවන් සිටියේ නැත.

විජයට දරුවන් කිසිසේත්ම සිටි නැති බව මම තර්ක කරමි. මහාවංශ කතුවරයා කියන ආකාරයට විජයගේ ඉන්දියාවේ සිටි දරුවන් සහිත නැව නග්නද්වීපය නම් දිවයිනකට ගොඩ ගසයි. නමුත් විජය එම දරුවන් ගැන සොයන්නට වුවමනාවක් දක්වන්නේ නැත. එසේම විජයට කුවේණියගේ දරුවන් නැති වීම සම්බන්ධයෙන් දුකක් ඇත්තේ ද නැත. ඒ ගැන සොයන්නේ ද නැත. විජයට කිසිසේත්ම දරුවන් නොසිටි අතර, රජෙකුට දරුවන් නොසිටීම බරපතල අර්බුදයක් වුණු හෙයින් මේ දරුවන් සම්බන්ධ කතන්දර දෙකම නිර්මාණය කරන ලද ඒවා බව මම යෝජනා කරමි.

උපකල්පනය 3 – විජය සමලිංගිකයෙකිකාන්තාවන් සරණපාවා ගත්තේ රාජ්‍යත්වයේ වුවමනාවනට පමණි.

විජය සමග විවාහ වෙන කිසිදු කාන්තාවක් වෙත විජයට රෝමෑන්තික ආකර්ෂණයක් තිබූ බවක් නොපෙනේ. ඔහු කාන්තාවන් විවාහ කර ගන්නේ රාජ්‍යත්වයේ වුවමනාවට වෙන අතර, ඔහු ඉතා කැමැත්තෙන් ආශ්‍රය කරන බවට පෙනෙන්නේ ඔහුගේ සගයන්ය. මේ කාරණය විජය යනු සමලිංගිකයෙක් ද කියන ප්‍රශ්නය ඇසීමට මා පොළඹවයි.

උපකල්පනය 4- විජය මුහුදු කොල්ලකරුවෙක්ද?

මෑතදී විජය කුවේණි කතාව සම්බන්ධයෙන් කෙරුණු තවත් කියවීමකින් යෝජනා කර තිබුනේ විජය යනු මුහුදු කොල්ලකරුවෙකු බවයි. ලංකාව දූපතක් වෙන හෙයින් ද, එය යක්ෂයන් වාසය කරන තැනක් සේ සැලකුණු බැවින්ද, ලංකාවේ මුල් පදිංචිකරුවන් මුහුදු මංකොල්ලකරුවන් හෝ කිසියම් සමාජයෙන් ගර්හිත අපරාධකරුවන් කොටසක් වීමට ඉඩක් නැතුවා නොවේ. එසේම විජය කුමරු ඇතුළු පිරිස උපුල්වන් නොහොත් සමුද්‍රාරක්ෂක දෙවියන් විසින් ආරක්ෂා කිරීම ද මේ කියවීමට බොහෝ ඉඩකඩ සැපයෙයි.

කුවේණිගේ චරිතය  

මේ අතරම කුවේණියගේ චරිතය සම්බන්ධයෙන් ද කියවීමක් නොකළ හොත් මෙය අසම්පූර්ණ එකක් වෙනු ඇත. කුවේණිය යනු පොරොන්දු රකින්නියකි. ඇය තමාට තර්ජනය කර විජය ලබා ගන්නා පොරොන්දුව පවා රකියි. ඇය බොරු කියා රවටන්නේ නැත.

ඇය තම පරපුරට වඩා තම ස්වාමියාට සහ ඔහුගේ සගයන්ට භක්තිවන්ත වේ. ඇය තම පරපුර විජයට පාවා දෙන්නේ ඒ නිසාය.

ඇය එසේම බලසම්පන්න ගැහැණියක් වෙන අතර, විජයගේ පිරිස පාලනය කිරීමේ හැකියාවක් ඇයට තිබෙන්නට ඇති බවට ඉඟියක් ඇය විසින් පිරිස සිර කර තබා ගැනීමෙන් පළමුව යෝජනා කළ ද, විජය ඇයට පිටව යන ලෙස කියද්දී එසේ නොවන බැව් පෙනේ.

එසේම විජය විසින් ඇගේ පරම්පරාව සම්පූර්ණයෙන්ම විනාශ නොකරන ලද බැව් මහාවංශය විසින්ම කියන්නේ, විජය විසින් පලවා හැරියාට පසුව කුවේණිය විසින් ලංකාපුර නම් යක්ෂ පුරයට යෑම තුළය. කුවේණිය මරා නොදැමෙන බවත් විජයට සාපකළ ඇය ලතෝනිගල නම් කඳු ගැටයෙන් පැන සියදිවි නසා ගන්නට ඇති බවත් ජනශ්‍රැති විසින් යෝජනා කරයි.

ඇත්තටම කුවේණිය ගැන නියෝජනය කරන අදහස පුරුෂමූලික සමාජයක් ගැහැණියකගෙන් බලාපොරොත්තු වන්නකි. තමන් සිය දිවි නසා ගන්නවා වෙනුවට හෝ නෑදෑයන්ගෙන් පහර කා මියෙනවාට වඩා විජය වැන්නකුට වස ටිකක් දෙන්නට ඇයට නොසිතෙන්නේ ඇයි? යකිනියක් නම් ඇයට ඔය කියන තරම් බලයක් තිබුනේ නම්, ඇය විජයගෙන් පලි නොගන්නේ කුමක් නිසාද? ඇය පලි ගන්නේ විජයගේ ඇඳට දිව දිගු කිරීමෙනි. එය ඇත්තටම ඇය විසින් ගන්නා පලියකට වඩා විජයගේ අභ්‍යන්තරයෙන් මතු වෙන වරදකාරී හැඟීමක කෙළවරයි.

විජය මිථ්‍යාවකිඑහෙත් මේ මිථ්‍යාවම තෝරා ගන්නේ ඇයි?

විජය යන්න විවිධ අයුරින් මිථ්‍යාවක් වේ. විජය යන්නෙක් සිටියේ නැති වන්නටත් පුළුවන. එසේත් නැත්නම් විජය යනු විවිධ සංක්‍රමණිකයන් කිහිප දෙනෙකුගේ චරිත ආශ්‍රයෙන් ගොඩ නැංවෙන එක චරිතයක් වන්නටත් පුළුවන. එසේම විජය යන්නෙක් සිටියද, ඊට වසර 800කට පමණ පසු විජය ගැන ලියැවෙන කතාවක් නිසැකවම මිථ්‍යාවක් වේ.

මහාවංශය ලියැවෙන්නේ මහා විහාරයේබෞද්ධ භික්ෂුවක් අතිනි. එකල මහා විහාරය රජුගෙන් මුහුණ දෙමින් සිටින්නේ අනතුරකටය. මේ පොත ලිවීමේ අරමුණ ලෙස පෙනෙන්නේ මහා විහාරයට හිමි වටිනාකම රජුගෙන් නැවත දිනා ගැනීම බැව් පෙනේ.

විජය කුවේණි කතාව ත්‍රිපිටකයේ කතාවක් නොවේ. එය බොහෝවිට වඩාත් සඳහන් වෙන්නේ තොවිල්, ශාන්තිකර්ම ආදි ජන ඇදහිලිවලය. මේ ජන ඇදහිලිවල ඉතිහාසය බුදු දහමේ ඉතිහාසයට වඩා පැරණි විය යුතුය. එසේම ඒවා ලිංගිකත්වය සම්බන්ධ විවිධාකාර කතා බස්වලින් පිරී ඇත. ජන ඇදහිලිවල ලිංගික අපගාමීත්වය (sexual deviance)සැලකෙන්නේ දේවත්වයෙන්, යක්ෂත්වයෙන්, වීරත්වයෙන්, සහ සුව කිරීමේ බලයක් ඇති එකක් ලෙසය. මෙම ජන ඇදහිලි එක්තරා යුගයකදී බෞද්ධ ඇදහිලි සමග මුසු කරන ලදුව එයින් ලාංකීය බුද්ධාගම සකසනු ලබයි.

ඒ යුගයේ දී ආගම් පැමිණීම සිදු වුනේ තවත් ආගමක් ප්‍රතික්ෂේප කිරීමෙන්, අනිත් ආගම සම්පූර්ණයෙන්ම වැළඳ ගැනීමෙන් නොව එක් ආගමක ඇදහිලි තවත් ආගමක ඇදහිලි සමග මුසු වීමෙනි. බටහිර ජාතීන්ගේ පැමිණීමට පෙර බොහෝ දුරට ආගම පැවැතුනේ සිවිල් සංකල්පයක් ලෙසය.

ඒ අනුව ඒ ජන ඇදහිලිවල සඳහන් වෙන කතාන්දර බුදු දහමට මුසු කර, බෞද්ධත්වය සහ රාජ්‍යත්වය අතර ඇති නීත්‍යානුකූල සම්බන්ධයක් ලෙස ඓතිහාසික මිථ්‍යාවක් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව නිසැකවම මහාවංශය විසින් ඉටු කරනු ලබයි. ඒ හරහා ඒ වෙන විටත් ඇතැම් විට තමන් ආක්‍රමණය කරන විදේශීය ආගමක් ලෙස බුදු දහම දැකීමට ඇති ඉඩ කඩ අහුරා බුද්ධාගමේ තැන තවදුරටත් සිවිල් ජනයා අතර සම්මත කිරීම තව දුරටත් සිදු වේ. එහිදී ජන ආගම්වල අඩංගු ලිංගික කතාන්දරවල සැර විවිධ අයුරින් මහාවංශය විසින් බාල කරන්නට ඇත.

සටහන්

විජයගේ කතාව මෙතැනින්

“ලාටරට සිංහබාහු රජු විසින් තම සොයුරිය සිංහ සීවලී මෙහෙසිය කර ගෙන රජ කරන ලද අතර, ඒ මෙහෙසිය එක් වරකට දෙදෙනා බැගින් වාර 16 කදී දරුවන් 32ක් ලැබුවාය. ඔවුන්ගේ වැඩිමල් පුත්‍රයා වූයේ විජයයි. දෙවැන්නා සුමිත්‍ර විය. විජය කුමරු නිසි වයසට පැමිණ කල්හි උපරජු ලෙස අභිෂේක ලැබුවේය.

විජය හට විෂම හැසිරීම් තිබුනි. ඔහුගේ පිරිස් ද එසේමය. ඒ අය කළ ඉවසිය නොහැකි බලහත්කාරකම් නිසා කිපුණු මහජනතාව රජ්ජුරුවන්ට පැමිණිලි කළහ. රජ්ජුරුවෝ පළමු, දෙවැනි වර අවවාද කරන ලදී. එහෙත් දිගින් දිගටම වැරැදි සිදු වූ බැවින් මහජනතාව කිපී “ඔබේ පුතු මරන්න” කියා රජුට කීවෝය.

එවිට විජය රජු සහ ඔහුගේ 700ක පිරිස හිස් අඩක් මුඩු කර, නැවක දම්මවා පිටුවහල් කරන ලදී. වෙනම නැවක ඔවුන්ගේ දරුවන් ද, තවත් නැවක ඔවුන්ගේ භාර්යාවන් ද යවන ලදී. කුමාරවරු නග්නදීපයේ ද, භාර්යාවෝ මහින්ද දීපයේ ද, විජය කුමරු ඇතුළු පිරිස ලක්දිව සුප්පාරක පටුනේ ද ලෙස ඒ අය වෙන වෙනම දූපත්වල ගොඩ බැස්සෝය.

විජයලක් දිව ගොඩ බසින්නේ  බුදුන් වහන්සේ පිරිනිවන් පාන දිනයේය. ලංකාවේ බුදු සසුන අනාගතයේ පිහිටන බැව් දුටු බුදුන් වහන්සේ, ශක්‍ර දේවෙන්ද්‍රයා කැඳවා ‘මාගේ සසුන ලංකාවේ පිහිටනවා. ඒ නිසා මේ ලංකාවට පැමිණි පිරිසත්, ලංකාවත් ආරක්ෂා කරන්න’ කියා භාර දුන්නේය. ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ට ලැබුණු රාජකාරිය උපුල්වන් නොහොත් සමුද්‍රාරක්ෂක දෙවියන්ට භාර කළේය. මේ දෙවියෝ පරිබ්‍රාජකයෙකුගේ වෙස් ගෙන විජය කුමරු සහ පිරිවර එන මග ගසක් මුල සිට, මිනිසුන් නොමැති මේ දිවයිනේ නුඹලාට බය නැද්දැයි කියමින් ඔවුන්ට පිරිත් පැන් ඉස, පිරිත් නූල් බැඳ අවසන් පසු අහසින් ආපසු ගියේය.

මේ අතර යක්ෂණියක් බැල්ලියකගේ රුවක් මවාගෙන එතැනට පැමිණි අතර, පිරිසෙන් එක් අයකු බැල්ලියක් සිටී නම් අසල ගමක් තිබිය යුතුයි සිතා ඇය පිටිපස ගියේය. මේ බැල්ලිය තම ස්වාමි දුව වූ කුවේණි නම් යකින්න වෙත ගිය අතර, ඇය තපස් රූපයක් මවා ගෙන ගසක් මුලට වී කපු කටිමින් සිටියාය. අසල තිබුනේ පොකුණකි. ඔහු තාපසිය ද දැක, පොකුණ ද ඒ පොකුණට බැස නාගෙන, නෙළුම්අල සහ නෙළුම්පතකට ජලය ද ගෙන ආපස්සට යන්නට සැරසෙද්දී, ඔබ මට ගොදුරු වූයේ යැයි කියා කුවේණිය විසින් අල්ලා ගන්නා ලදී. නමුත් පිරිත් පැන්වල බලය නිසා ඔහුව කන්නට බැරිවිය. ඔහුව අසල උමගක කුවේණිය විසින් සිර කරන ලදී.  මේ තැනැත්තා සොයා දෙවැන්නකු ද, ඔවුන් සොයා තෙවැන්නකු ද පැමිණි අතර මෙලෙස සියල්ලන්ම කුවේණිය විසින් සිර කරන ලදී. අවසාන වරට පැමිණියේ විජය කුමරුය.  ඔහු ද පොකුණ අසලට පැමිණ, එතැන ඉන්නා තාපසියත් දුටුවේය. පොකුණ දෙසට ගිය අයගේ පියවර සටහන්ව තිබුනත් ආ අයගේ පියවර තිබුනේ නැත. ඔහු මැය විසින් මගේ සොල්දාදුවන් ගන්නා ලද්දේ දැයි සිතා, ‘පිනැත්තිය, මාගේ භටයන් දැක්කේ නැද්ද?’ කියා ඇසුවේය. ‘රාජකුමාරයාණෙනි, භටයන් ඇති ප්‍රයෝජනය කුමක්ද? වතුර බී පොකුණෙන්, නාගන්න’ කියා කීවේය.තමන් රාජකුමාරයෙක් බැව් දැන ගත් මැය නිසැක වශයෙන්ම  යක්ෂණියක් බැව් දැන ගත් ඔහු දකුණතින් කඩුව අමෝරා ගෙන යකිනිය වෙතට පැන, වම්අතින් ඇගේ කෙස්වැටියෙන් අල්ලා ගෙන ‘කෙල්ල, මගේ මිනිසුන් දෙව. නැත්නම් මම තී මරන්නෙමි’ යැයි තර්ජනය කළේය.

යක්ෂණිය බියට පත් ව බෑගෑපත් විය. “ස්වාමීනි, මට ජීවිත දානය දෙන්න. මම ඔබට රාජ්‍ය බලයත්, ස්ත්‍රියගේ කාර්යයත්, අන් ඕනෑම කැමැති දෙයකුත් දෙන්නම්” යැයි කියා ජීවිතය ඉල්වීය. එයින් අනතුරුව කුමරා යකිනිය පොරොන්දු කරවා ගෙන, තමන්ගේ මිනිසුන් ද ගෙන්වා ගත්තේය. ඉන්පසු යකිනිය විසින් ඔවුනට බත් කන්නට දෙන ලදී. ඉන්පසු ඇය 16 හැවිරිදි තරුණියක් ලෙස රූපයක් මවා ගෙන පැමිණ, තිරයෙන් ආවරණය වූ වියනක් සහිත අලංකාර යහනක් මැව්වේය.  ඒ යහනේ විජය සහ ඇය එහි සැතපුනෝය. අනික් පිරිස තිරයෙන් එළියේ සිටියහ.

රාත්‍රි කාලයේ සංගීත සහ ගී ගයන හඬක් ඇසී විජය ඒ ගැන කුවේණිය ගෙන් ඇසුවේය. එවිට ‘මෙහි  සිරසවස්තු නම්යක්ෂ පුරයක් තියෙනවා. එතැන ජ්‍යෙෂ්ඨ යක්ෂයා ලංකා නගරයෙන් මනාලියක් ගෙනල්ලා, අදවිවාහ මංගල්‍යයක් පැවැත්වෙනවා. ඔබට යකුන් මරා මෙහි රජ වීමට ඕනෑ නම් අදම ඒ අය මරන්න. ඉදිරියට කරන්නට බැරි වේවි’ යැයි කීවාය. ‘ඇහැටවත් පේන්නෙ නැති යක්කු, මම මරන්නේ කොහොමද?’ යැයි කුමාරයා ඇසූ විට, ඇය කීවේ තමන් ශබ්ද නගන බවත්, යම් තැනක ශබ්දයක් ඇසේ නම් ඒපැත්තට ගසන ලෙසත්, තමන්ගේ ආනුභාවයෙන් එය යකුන්ට වදින බවත්ය. මේ ආකාරයට විජය ඇතුළු පිරිස විසින් යකුන් සියල්ල මරා දමන ලදී.  ඉන්පසුව විජය කුමරු යක්රජුගේ ආභරණ පැළඳ ගත් අතර, ඔහුගේ පිරිස අනිත් යක්ෂයන්ගේ ආභරණ පැළඳ ගත්හ. ඉන් අනතුරුව ඔවුහු තම්බපණ්ණියට ගොස් එහි නුවරක් තනා ගෙන යක්ෂණිය ද සමග කල් ගත කළහ.

එලෙස නුවර තැනූ තැන තම්බපණ්ණිය ලෙස නම් කළේ විජය ඇතුළු පිරිස මුලින්ම වෙරළට ගොඩ බැස වෙහෙසට පත්ව බිම ස්පර්ශ කර හිඳ ගත් විට, අත්ල තඹ පැහැ වූ බැවින් තාම්‍රපර්ණි යනුවෙන් නම් කළ බැවිනි. සිංහබාහු සිංහයාගේ පරම්පරාවෙන් පැමිණෙන බැවින් සිංහල වූ අතර, අනික් සියල්ලෝද සිංහලයෝ වූහ. ඔහුගේ ඇමැතියෝ තමන්ගේ නම්වලින් අනුරාධගම, උපතිස්ස ගම, උදේනි, උරුවෙල්, විජිත ආදී ලෙස ගම් ඉදි කළෝය.

ජනපද පිහිටුවීමෙන් පසුව ඇමැතිවරු එක්ව රජ කුමරුන් හට ‘ස්වාමීනි! රාජ අභිෂේක කරමු’ යැයි කීවහ. එවිට විජය කුමරු ක්ෂත්‍රිය කන්‍යා මෙහෙසියක් නොමැතිව අභිෂේකයට කැමැති නොවීය.

ඔහුගේ ඇමැතියෝ මදුරාපුර පාණ්ඩව රජුට තෑගි සහ පණිවුඩ ද සමග කන්‍යාවක් ගෙන ඒමට දූතයෝ යැවූ අතර, එරට රජු තම දියණියක් ද,  සමග තමන්ගේ ඇමැතිවරුන්ගේ දියණියන් සියයක් ද, 18 කුලයට අයත් ශිල්පීන් ද ඇතුළු පිරිසක් ලංකාවට එවීය. ඔවුන් ලංකාවට ගොඩබට තොටුපල මාතොට වේ.

මේ වෙන විට රජතුමාට දාව යකින්නට දරුවෝ දෙදෙනෙක් සිටියහ. රාජ කන්‍යාව පැමිණි බැව් ඇසූ විජය රජු යක්ෂණියට ‘සොඳුර, දරු දෙදෙනා තබා ඔබ දැන් යන්න. මනුෂ්‍යයන් හැමවිටම අමනුෂ්‍යයන්ට බයයි.ඔබට ජීවිත දහසකින් බලි දානය කරවන්නම්. ශෝක කරන්නට එපා” යැයි කීවේය. ඇය ඔහුට නැවතත් අයැද සිටියත්, පලක් නොවූ බැවින්, දරු දෙදෙනාද සමග ඇය ලංකාපුරයට ගියාය. ලංකාපුරයේ යක්ෂයෝ පදිංචිව සිටියහ.

නගරයෙන් පිට තම දරුවන් තැබූ ඇය, තනිවම නගරයට ගිය අතර, ඇය දුටු  ලංකාපුර යක්ෂයෝ මැය සතුරු පාර්ශ්වයේ කෙනෙක් යැයි කෝපයට පත් වූයේය. එක් රුදුරු යක්ෂයෙක් ඇයට ගැසූ කම්මුල් පහරකින් ඇය එතැනම මරණයට පත්විය. කුවේණියගේ මාමා කෙනෙකු මේ දරුවන් දැක, ‘මේ කාගේ දරුවෝද?’ කියා අසා කුවේණියගේ දරුවන් බැව් කී විට ‘උඹලාගේ අම්මාවත් මැරුවා. අනිත් යකුන් දැක්කොත් උඹලාවත් මරනවා. ඒ නිසා වහා පලා යන්න’ කියා උපදෙස් දුන්නේය. මේ දරු දෙදෙනා සමනළ ගල දෙසට ගියෝය.  මේ තරුණයා හා තරුණිය තම නැගණිය සමග වාසය කර, දරුවන් ලැබී කඳුරටම විසූහ. මෙය වැද්දන්ගේ උපත විය.

පඬි රජුගේ දුව සමග විජය විවාහ වූ අතර, අනෙකුත් කන්‍යාවන් ඇමැතීන්ට සරණ පාවා දෙන දී, විජය කුමරු අභිෂේක කරන ලදී.

මෙම රජතුමා මුලින් තමා වෙත තිබූ නරක ගති ගුණ අත හැර, දැහැමින් වසර 38ක් රජකම් කළේය. තමන්ට වයසට පත්ව, තමන්ට දරුවන් නොසිටි විජය රජු ඇමැතියන් හා සාකච්ඡා කර තමන්ගේ මල්ලී සුමිත්‍ර කුමාරයාට රජකම භාර ගන්නට පැමිණෙන ලෙස හසුන් පත් යැවූ අතර, ඉන් ටික දිනකට පසුව දෙව්ලොව (මිය) ගියේය. මේ වෙන විට ලාට රට රජකම් කළ, සුමිත්‍ර කුමරු තමන් වයසට පත්ව සිටි බැවින්, තමන්ගේ බාල පුතා වූ පඬුවස්දෙව් කුමරු ලංකාව පාලනය කිරීමට එවන ලදී. මොහුටද මෙහෙසියක් නොමැතිව අභිෂේක කිරීම නොහැකි විය. මේ අතර ඉන්දියාවේ අමිතෝදන නම් ශාක්‍යයකු විසින් ගංගානම් ගඟේ අප්‍රසිද්ධ නුවරක් ඉදිකර එහි ජීවත් වූයේය. මේ රජතුමාට භද්දකච්චායනා නම් වූ ලස්සන දුවක් වූ අතර, ඇගේ අත ගන්නට රාජධානි 7ක රජවරු පැමිණි අතර, මේ ගැටුම විසඳන්නට නොහැකි නිසා අවසානයේ පුළුවන් කෙනෙක් අල්ලා ගන්න යැයි අමිතෝදන රජුගේ අණ පරිදි ඇයව නැවක නංවා ගංගානම් ගඟේ පා කර හරින ලදී. මේ රජවරුන්ට අල්ලා ගනු ‍නොහැකි වූ ඇය ලංකාවට පැමිණියාය. ඇය පඬුවස්දෙව් කුමරුගේ මෙහෙසිය බවට පත්විය”.

දමිත් චන්දිමාල් විසිනි.

Social Share: