2019 මැයි 27.
පබා දේශප්‍රිය විසිනි.
පසුගිය දිවයින පුවත් පතේ පහත දැක්වෙන හිසින් පළ වී ඇති පුවත සහ එමගින් අනුබල දෙන සමාජ දේශපාලන ප්‍රවාහය පිළිබද විවිධ අදහස් පල විය.
මෙම තේරුම් ගැනීමට මේ පුවතට දකුණු පසින් ඇති පුවත් දෙක දෙසද බැලීම වටී. මෙය මාධ්‍ය භාෂාවෙන් ඩෙවලොපින් ස්ටෝරි එකකි.
දිවයින පුවත්පත ජාතිවාදී දේශපාලන දැක්මක් සහිතව ක්‍රියා කරන බව බොහෝ දෙනා දන්නා කරුණක් වුවද, එසේ සිතා මේ ලිපිය ප්‍රශ්ණ නොකර සිටීමට අපට කළ නොහැකකි.
අදාල පුවතේ ඇති සංඛ්‍යාත්මක නිවැරදිභාවය නෙළුම්යාය කණ්ඩායම විසින් ප්‍රශ්ණ පහත ලිපිය මගින් ප්‍රශ්ණ කරයි. ඔවුන් පවසන්නේ සිසේරියන් සැත්කම් 4000ක් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකුට වසර 32ක් පමණ ගත වන බවයි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු සාමාන්‍යයෙන් වසරකට සිදු කරන සිසේරියන් සැත්කම් ප්‍රමාණට 185ක් පමණ විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
මේ පුවත පිළිබද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කෙරුණ අතර කතා නායක කරු ජයසූරිය මහතා ට්විටර් සමාජ ජාලයේ මෙසේ සදහන් කර තිබුණි.
මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන මරිසා ද සිල්වා විසින් ශ්‍රි ලංකා පුවත් පත් පැමිණිළි කොමිසමට මේ ලිපියේ කරුණු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
රටේ පුරවැසියෙකු ලෙස පුවත්පතේ වගකීම් විරහිත සහ ජාතිවාදී වාර්තාකරණයට සම්බන්ධයෙන් දිවයින පුවත්පත්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරමි. දැනට රටේ පවතිනකැළඹුම් සහතග ස්වභාවය පිළිබද සලකා බලන විට, රට පුරා පැතිරී යන ඉස්ලාම් විරෝධයට උඩගෙඩි දෙන මෙම ලිපියෙන් දැනටමත් පිරිමැසිය නොහැකි හානියක් සිදු කර ඇත.
තහවුරු කර ගත් මූලාශ්‍රයක් නොදක්වමින් මෙවැනි ලිපි පල කිරීම ශ්‍රී ලංකාවේ පුවත්පත් පාඨකයන් වන අපට නව අත්දැකීමක් නොවේ. මෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක පැත්ත අපි රජයේ සහ පෞද්ගලික සෞඛ්‍යය ක්ෂේත්රයේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු කිහිප දෙනෙක්ගෙන් විමසා සිටියා.
එල්ආර්ටී එකක් ඒ කියන්නේ පැලෝපීය නාලයෙන් කොටසක් කපලා ඉවත් කරන එක කාටවත් පේන්නැතුව කරන්න බෑ. සිසේරියන් එකක් කරන කොට ඇසිස්ට් කරන්න නර්ස් කෙනෙක් ඉන්නවා. ඇසිස්ට් කරන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. අනිත් එක සාමාන්‍යයෙන් එක වෝඩ් එකක් සීසර් කරන පස් දෙනෙක් හය දෙනෙක් විතර ඉන්නවා. ඒ වගේම ඩියුටි ඉන්න නර්ස් ලා රොටේට් වෙනවා. මේ වගේ හොරෙන් දෙයක් කරනවා නම්, හැම වෙලාවෙම එකම නර්ස් කෙනෙක් සහ සහය කණ්ඩායමක් ඉන්න ඔනේ. එහෙම වෙන්නේ කොහොමද? ඒ නිසා මේ වගේ සංවිධානාත්මකව සිංහල බෞද්ධ කාන්තාවන් 4000කට එල්ආර්ටී කරන්න පුළුවන්කමක් නෑ රජයේ රෝහල වල නම්. මේවගේ ප්‍රවෘතිත් පල කරන එක හරි වැරදියි. මම දන්න ඩොක්ටර්ස්ලා ඔනේ තරම් ඉන්නවා, ඒ කවුරුත් එහෙම කරන්නෑ. ඒ නිසා පැහැදිළිවම කියන්න පුළුවන් මේ වගේ දෙයක් වෙන්න අපේ සෞඛ්‍යය ක්ෂේත්රයේ තියෙන ඉඩ ඉතාම අඩුයි.
යනුවෙන් රජයේ මහ රෝහලක ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරයෙක් පැවසුවා.
දෙවැනි දරුවා හරි තුන්වෙනි දරුවා හරි සිසේරියන් සැත්කමකින් බිහි වුණාම සාමාන්‍යයෙන් වෛද්‍යවරු අහනවා තවත් දරුවෝ හදන්නේ නැත්නම් එල්ආර්ටී කර ගන්න පුළූවන් කියලා. එතෙකාට ඒ අයෙග් කැමැත්තෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකට කාන්තාවෙග් කැමැත්ත විතරක් නෙමෙයි සැමියාගේ කැමැත්තත් අවශ්‍ය වෙනවා. තමන්ට අවශ්‍ය වුණත් එච්ආර්ටී කර ගන්න සැමියාගේ කැමැත්ත නැති නිසා එය සිදු කර ගැනීමට නොහැකි කාන්තාවන්ද බොහෝමයක් ඉන්නවා.
යනුවෙන් තවත් වෛද්‍යවරයෙක් අප හා පැවසුවා.
මේ අනුව, රට පුරා සීග්‍රයෙන් පැතිරී යන ජාතීන් අතර සැකය සහ වෛරය වැඩි කිරීම හැර වෙනත් අරමුණක් මෙම ලිපියේ ඇති බව පෙනෙනන්ට නැහැ. මෙම ලිපියට පදනම් වූ පැහැදිළි මූලාශ්‍රයක් නොමැත. ජනමාධ්‍යවේදීන් තම මූලාශ්රයන්ගේ රහස්‍ය භාවයරැකීම ඇවැසි විට මූලාශ්රයන් සඳහන් නොකිරීම පිළිගත හැකියි. පොලිස් ආරංචි මාර්ග වලින් මේ තොරතරු දැන ගත් බව ලිපියේ පෙන්වා දී තිබුණද ලිපිය පල වූ දිනයේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පොලීසියේ එවැනි විමර්ශණයක් නොමැති බවයි.
මෙවැනි වද භාවයට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් හෝ පුවතේ දැක්වෙන පරිදි විශේෂ පෝලිස් කණ්ඩායමක් විසින් සිදු කරන්නේ නැහැ. මේ ආකාරයේ පැමිණිළි මේ වන තුරුත් කිසිදු පොලිස් ස්ථානයකට ලැබී නැහැ.
කුරුණෑගල පොලිස් ස්ථානය මගින් වෛද්‍යවරයෙකුගේ වත්කම් පිළිබද පරීක්ෂණයක් පවත්වන බවත් කාන්තාවන් වදභාවට පත් කිරීම හා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් ඒ සම්බන්ධව ලැබී නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.
මෙවැනි ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර පොලිස් මාධ්‍ය කොට්ටාශයෙන් විමසා නැහැ. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
හිමිකම් පිළිබද පරීක්ෂණ පවත්වනවා යැයි පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙලිකළ කරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු එදින සවස අත්අඩංගුවට ගත් අතර ටීවී චැනල ඔස්සේද එම ප්‍රවෘත්තිය විකාශනය විය.
මුල් ප්‍රවෘත්තිය පල කර දිනකට පසු දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් නැවත පුවතක් පළ කළ අතර ඉන් කියැවුණේ අදාල වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් සිදු කර බව රෝහල් අධ්යක්ෂවරයා ඉදිරියේ පිළිගෙන ඇති බවයි.
සිසේරියන් සැත්කම් එල්ආර්ටී නැමති පවුල් සැලසුම් ක්‍රමය සමග පටලවා ඒ පිළිබද වියවුලක් ඇති කිරීමට දිවයින දෙවැනි පුවතෙන් උත්සහ දරා ඇති බව පෙනනි.
සියේරියන් සැත්කමක් සිදු කිරීමේදී කාන්තාවන් වද භාවයට පත් කළ හැකිද යන්න පිළිබදව සමාජ ජාලා හරහා විවිධ තොරතරු හුවමාරු වූ අතර, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරන වෛද්‍ය පියල් පෙරේරා විසින් ලියන ලද ලිපියක වෛද්‍ය විද්‍යානුකූලව මෙම ලිපියේ ඇති හිස්තැන් පිළිබද කතා කරයි.
“යතුරු සිදුරු වඳ සැත්කම කරන විට ලෝහ හෝ ප්ලාස්ටික් වලලුවලින් පැලෝපීය නාලය අවහිර කරනු ලැබේ.
මෙය වඳ සැත්කම් කිරිමේ පිලිගත් ක්රමවේදයයි. සමහරු මේවා යම් වෙනස් කිරීම් සහිතව සිදුකරයි. ඒ අනුව වෙනත් ක්‍රම මගින් පැලෝපීය නාලවලට තුවාල කිරීම වඳ සැත්කම් ලෙස සැලකිය නොහැක. පැලෝපීය නාලය සැත්කම් අඬුවකින් තද කරතැබීම, ඩයතමි තාපය යෙදිම සහ සැත්කම් නූලකින් පැලෝපීය නාලය ගැට ගැසීම වැනි අසම්මත ක්‍රම අසාර්තක වන්නේ නාලය නැවත සැකසෙන(Re-Canalisation) නිසා සහ ගර්භාෂයෙන් පිටත (Ectopic pregnancy )පිළිසිඳීම වන නිසාය.
සීසර් සැත්කමක් කරන අවස්ථාවකදී සාමාන්‍යයෙන් Artery Forceps යන අඬුව හෝ ඩයතමි උපකරණය පැලෝපීය නාල වෙත ගෙන එනු නොලැබේ. නමුත් ගර්භාෂ බිත්ති උදර බිත්තියට ඇලී පවතින අවස්ථාවකදී අමතර අඩු හෝ diathemyඋපකරණ පාවිච්චි කරනු දැකිය හැක.
සාමාන්‍ය සිසේරියන් සැත්කමකදී ගර්භාෂය තුළට භාවිතා කරන අඬු වර්ගය මගින් පැලෝපීය නාලවලට තෙරපුමක් ඇති කර නොහැක.
ඒවාට ග්‍රීන් ආර්මිටේජ් අඬුයයි කියනු ලැබේ. හොඳ පුහුණු වෛද්‍යවරයෙක් මේ හැර වෙනත් කිසිදු අඬුවක් යොදා නොගන්නා අතර කාටත් රහසින් එසේ යොදා ගැනීම හිතලුවක් පමණි. එසේ වුවද වෙනත් විශේෂ අවස්ථාවලදී අමතර වෙනත් අඬු පාවිච්චිය සිදුවිය හැකි නමුත් හැමවිටම සහායක වෛද්‍යවරයා හෝ සහායක හෙදිය නොදැනුවත්ව එය සිදු කළ නොහැක.
සිසේරියන් සැත්කම් හාරදහසක දී වඳ සැත්කම හෝ පැලෝපීය නාලවලට හානි කිරීම් හොරෙන් කිසි විටෙකත් සිදු කළ නොහැකි වන්නේ ඔහුට අවම වශයෙන් එම කාලය තුළ දහ දෙනකුට වඩා සහයක වෛද්‍යවරුන් සහ විසි දෙනෙකුට වඩා සහයක හෙදියන් සිටිය යුතු බැවින් ඔවුන් කිසිවකු හෝ සැක කොට අදාල තැන් වලදී සාකච්ඡා කිරීම හෝ ඉහලට ගෙන යෑම සිදු නොවේ යැයි සිතන්නේ නම් එය මුලාවකි.”
වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් පමණක් නොව පුවත්පතේ ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබදව ද විවිධ විවේචන ඉදිරිපත් විය. දිවයින පුවත පිළිබදව මාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධව ශ්‍රී ලංකා කර්තෘ සංසදය වෙත කරුණු 5ක් යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
- මෙම පුවත් පළ කිරීමේදී නිශ්චිත මූලාශ්‍ර පිළිබද සදහන් කිරීමක් හෝ කරුණු වල නිරවද්‍යාතාවය තහවුරුකරගෙන වාර්තා කර ඇති බවත් නොපෙනෙන බැවින්ද,
- ජාතික වැදගත්කමක් ඇති පුවත්පල කිරීමේදී ජනමාධ්‍ය සතු සමාජ වගකීම පිළිබද සැලකිල්ලට ගත් බවත් නොපෙනෙන බැවින්ද,
- නිරවද්‍යතාවය තහවුරු කර නොගත් මෙම පුවතින් මුස්ලිම් ජාතික වෛද්‍යවරු විහලා අපහසුතාවයකට පත් විය හැකි බැවින් සහ ඔවුන්ගෙන් සේවය ලබා ගන්නන් දැඩි කම්පනයට හා භීතියට පත් විය හැකි බැවින්ද,
- ජනවර්ග අතර සැකය තව තවත් වර්ධනය කිරීමටත් සමාජයේ පවතින් ආතතිය වැඩි කිරීමටත් තුඩු දෙන පුවතක් වශයෙන් මෙය සැලකිය හැකි බැවින්ද,
- ජනමාධ්‍ය වෘත්තිය පළිබද සමාජයේ පවතින විශ්වසනීයත්වය හා පිළිගැනීම බිද වැටීමට මෙවැනි පුවත් හේතු විය හැකි බැවින්ද
මෙම පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් විධිමත පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි අප යෝජනා කරන අතර …” යනුවෙන් ඔවුන් පැමිණිල්ලේ සටහන් කර තිබුණි.
එතික්ස් අයි ෆේස්බුක් පිටිව විසින් මුල් ප්‍රවෘත්තියේ මාධ්‍ය ආචාරධර්ම ප්‍රශ්ණ කර තිබුණි.
අද දිනය වන විට දිවයින පුවත් පතේ මේ සම්බන්ධයෙන් තවත් ප්රවෘත්ති රාශියක් පලවී ඇති අතර අදාල වෛද්‍යවරයාගෙන් සේවා ලබා ගත් කාන්තාවන් දෙදෙනෙක් රෝහල වෙත පැමිණිළි කර ඇති බවද සදහන් වේ.
අප මේ දෙස කාන්තාවන්ගේ පැත්තෙන් බලමු.
පළමුව, පුවතේ දැක්වෙන ආකාරයට වද සැත්කම් 4000ක් සිදු කර ඇත් නම් එය තනි වෛද්‍යවරයෙකු පිළිබදව හෝ ඔහුගේ ජාතිය හෝ ආගම පිළිබදව හෝ ගැටළුවක් නොව ශ්‍රී ලංකාවේ සමස්ථ සෞඛ්‍යය ක්ෂේත්රයේම බිද වැටීමක් විදහා පායි. මින් පළුදු වන්නේ ජාතීන් අතර ඇති විශ්වාසය පමණක් නොව සෞඛ්‍යය සේවාව පිළිබද ජනතාව තුළ ඇති විශ්වාසයයි.
පෞද්ගලික චැනල් සදහා මුදල් වලින් පමණක් ගෙවීම් භාර ගන්නා වෛද්‍යවරුන්, ගබ්සා සදහා ඒකාධිකාරයක් පවත්වෙගන යන වෛද්‍යවරුන්, මහ රෝහලේ වැඩ මුරය අතරතුර පෞද්ගලික රෝගීන් බලන වෛද්‍යවරුන් සහ ඖෂධ කොම්පැනි වල කොමිස් වලට යට වී අධික මිලැති බෙහෙත් නියම කරන වෛද්‍යවරුන් අපේ සෞඛ්‍යය ක්ෂේත්රයේ සිටින බව කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා වත්කම් පිළිබද සියළුම වෛද්‍යවරු පරීක්ෂණයට භාජනය කළ යුතු නොවන්නේ ඇයි?
රජයේ මහ රෝහලක් තුළ අදාල යුවලගේ අවසරයකින් තොරව ලෙස එල්ආර්ටී සිදු කළා නම් එය වරදක් ලෙස බොහෝ දෙනා සිතන්නේ ඇයි දැයි අපට තේරුම් ගත හැකිය. නමුත් අපි මේ ගැනත් සිතමු – තවත් දරුවන් සෑදීමට බලාපොරොත්තු නොවන කාන්තාවන් කී දෙනෙක් සිටිනවාද, එල්ආර්ටී සිදු කර ගැනීමට සැමියාගේ අවසරය නැතිව?
ලොව ඉහල මට්ටමේ වැජඹෙනවා යැයි කියන අපේ සෞඛ්‍යය සේවාව තුළත් කාන්තාවන් සිටින්නේ දෙවැනි පංතියේය. අපේ රටේ කාන්තාවන්ට සිය ප්‍රජනන ජීවිතය පිළිබද ස්වාධීන තීරණ ගැනීමට අවස්ථාව ඇත්තේ ඉතාම අවම වශයෙනි. එල්ආර්ටී සැත්කමක් සිදු කර ගැනීමට සැමියාගේ අවසරය අවශ්‍යය. අනවශ්‍ය ගැබ් ගැනීමකදී පවා ගබ්සාවක් සිදු කර ගැනීමට අවසර නැත.
තවද, සෞඛ්‍යය ක්ෂේත්රය තුළ ඇති පුරුෂ මූලික ස්වභාවය අපව පුදුමයට පත් නොකරයි. මන්ද, විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍යාවන්ට කලිසම් ඇදීම තහනම්ය. එය වෘත්තියට අගෞරවයක් ලු. ළමා වාට්ටුවේ අසනීප වූ දරුවෙකු ළග පියාට නැවතීමට බැහැ. ගැහැණු දරුවෙකු ඉපදුන ගමන් ලබා දෙන්නේ රෝස පාට පොතකි. වෛද්‍ය ක්ෂේත්රයේ නියැලෙන කාන්තාවන් ආමන්ත්‍රණය කරන්නේ ‘ලේඩි ඩොක්ටර්’ කියාය.
දෙවැනුව, දේශපාලන වාසි සදහා ස්ත්‍රී ශරීරය යොදා ගත් පළමු අවස්ථාවද මෙය නොවේ. විශේෂයෙන් මෑත කාලීනව රට තුල ගොඩනැගුණු මුස්ලිම් විරෝධය ඇවිලවීමට වද බෙහෙත් ගල්වන ලද කාන්තා තන පට, කාන්තාවන් වද කරන කෑම වලට දමන කුඩු වර්ග, වද බෙහෙත් ගල්වන ලද කාන්තා යට ඇදුම් අවස්ථා කිහිපයකදීම ඉතා ප්‍රභල ලෙස යොදා ගනුලැබණි. මේ වන විටත් දර්ගා නගරයෙන් කිසි යම් ද්‍රවයක් ගල්වන ලදැයි කියමින් අත්අඩංගුවට ගත් බ්‍රෙසියර් තොගයක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව අලුත්ගම පොලීසිය ප්‍රකාශ කර සිටී. කෙසේ නමුත් එවැනි භාණ්ඩ තොගයක් රජයේ රජ පරීක්ෂක වෙත භාර දී ඇතැයි සනාථ කිරීමට අප කළ විමසීමකදී රජයේ රස පරීක්ෂක කාර්යාලය අපොහොසත් විය.
මගේ විශ්වාසය මේ සියල්ලම නාටකයකි. සිංහල බෞද්ධ වම්වරුන් 4000ක් වද කිරීමේ කතාව දේශපාලන වෘත්තාන්තයක එක් ආඛ්‍යාතයක් පමණි. දැන් පෙන්වන්නේ ගර්භාෂයේ තොවිලයකි. කාන්තාව දරුවන් වැදීමේ යන්ත්‍රයකට පමණක් සීමා කරන අපේ පුරුෂ මූලික, ස්ත්‍රී විරෝධී ඔලුගෙඩි එනම්, දිවයින පුවත්පතේ ආධුනික මාධ්‍යවේදියාගේ සිට කර්තෘ වරයා දක්වාද, යොවුන් පාර්ලිමෙන්තුවේ තරුණයන්ගේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දක්වාද, බොදු බල සේනාවේ සිට තවුහිත් ජමාත් දක්වාද, ආගමික නායකයන් – මල්වත්ත – අස්ගිරිය මහානායකවරුන්ගේ සිට මැල්කම් කාර්ඩිනල් රංජිත් දක්වාද, වෙනස් කරන තුරු ගර්භාෂය දේශපාලන අතකොළුවක් වීම නවතින්නේ නැත.
ජාතීන් අතර විශ්වාසය තහවුරු කරන, සමානාත්මතාවය සහ මානව ගරුත්වය පදනම් කර ගත් ප්රතන්ත්රවාදී දේශපාලන පරිවර්තනයක් ඇති කිරීම සදහා ස්ත්‍රී වාදී දේශපාලන ආඛ්‍යානයක අවශ්‍යතාවය පෙරටත් වඩා අපට දැනෙන්නේ ඒ නිසාය.



