‘ලීක්’ වෙන සංස්කෘතිය – පව්කාරයන්ට සමාජ මාධ්‍ය තුළින් ගල්ගැසීම – 1 කොටස

2021 අප්‍රේල් 05

  1. අපේ අරමුණ

මෑත කාලය පුරාවටම විටින් විට අපිට ලීක්වෙන විඩීයෝ, ඡායාරූප එතනින් එහාට ගිහින් හඩ පටි නැත්තම් වොයිස් රෙකෝඩින් ආදි එකී මේකී බොහෝ දේ ලීක් විදියට එලියට එන ආකාරයක් දකින්න ලැබුනා. දැන් මේක කිසියම් ප්‍රවණතාවයක් වෙලා ඉවරයි. කල්පනාවෙන් බැලුවොත් සතියට එකක් දෙකක් දෙකක් හෝ අලුත් ලීක් අපිට දකින්න ලැබෙනවා. ලීක් කියන්නේ මේ තරම් ගැටලුවක්ද කියන එක ගැන ලංකාවෙ කතා වෙලා තියෙන්නෙ අඩුවෙන් වුනත්, ඒක කොච්චර ගැටළුවක් ද කියන එක පෙන්නුම් කරන සිදුවීම් ගණනාවක් තිබෙනවා. මෑත දී පුවත්පත් වාර්තා කළ ආකාරයට ලීක් කිරීම් සිදු කිරීම මිනීමැරුම් දක්වා දුර ගොස් තිබෙනවා.

ලෝක විද්වත් සාහිත්‍යය තුළ,  ලීක් ගැන කතා කරන්නට වෙන්නේ පලිගැනුම් කාමප්‍රකාශන (revenge porn) නැතිනම් කැමැත්ත-ලබානොගත් කාම ප්‍රකාශන (non-consensual pornography) යන්න ඇතුළේයි. (මේ ලිපියේ දී අපිට යොදා ගැනීමට වෙන එක් ප්‍රධාන වචනයක් වෙන්නේ පෝනෝග්‍රැපි (pornography) යන වචනයයි. මේ වචනය බොහෝ විට සිංහල භාෂාව තුළ භාවිතා වී වෙන්නේ ‘අසභ්‍ය ප්‍රකාශන’/ ‘නිල් චිත්‍රපට’/ ‘නිරුවත් දර්ශන’/ ‘ලිංගික දර්ශන’ වැනි වචන සමගයි. ‘අසභ්‍ය’ ප්‍රකාශන වැනි වචන හරහා ලිංගිකත්වය ගැන සදාචාරාත්මක අදහසක් ගොඩ නැගීමට උත්සාහයක් දරන බවක් අපිට පෙනෙන අතර අපි මේ ලිපියෙන් අභියෝගයට ලක් කරන්නට තැත් කරන එක් කාරණයක් වන්නේ ද මේ සදාචාරවාදී ගොඩ නැගීමයි.  නිරුවත/ ලිංගික වැනි වචන එවැනි සදාචාරයක් ඇති වචන යැයි අපි නොසැලකූවත්, එම වචනවලින් පොනෝග්‍රැපි අදාළ විය හැකි පුළුල් පරාසයක අයිති මාධ්‍ය කාණ්ඩ මග හැරිය හැකි යැයි අපි හිතනවා.  අපි මේ ලිපියේ දී පෝනෝග්‍රැපි සිංහලයට හැරවීමේ දී කාමප්‍රකාශන කියන වචනය පාවිච්චි කරනවා. ඒ අනුව revenge porn යන්න පළිගැනුම් කාමප්‍රකාශන ලෙසත්, non-consensual pornography යන්න කැමැත්ත-ලබානොගත් කාමප්‍රකාශන ලෙසත් අපි පර්වර්තනය කරනවා. )

පලිගැනුම් කාම ප්‍රකාශන යන්න කෙනෙකුගෙන් පලි ගැනීමේ අරමුණෙන් උදාහරණයක් විදියට තමන්ගේ කලින් පෙම්වතියගේ පින්තූර පලි ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීම යන්නෙන් මේ වචනය ආරම්භ වුනත් අද ඒ කාරණයට ඒ සංකල්පය සීමා කරන්නට බැහැ. වඩාත් සුදුසු වචනය වෙන කැමැත්ත-ලබානොගත් කාම ප්‍රකාශන යන්න තුළ කිසියම් ලිංගික වීඩියෝවක, ඡායාරූපයක සිටින පුද්ගලයාගේ දැනුවත් භාවයක් හෝ කැමැත්තක් නැතුව, එය නොදන්නා අය හෝ දන්නා අය අතර බෙදා හැරීම අඩංගු වෙනවා.   මේවා ගැන ලෝකයේ විවිධ අධ්‍යයන කෙරී තිබෙනවා. මේ අධ්‍යයනවලින් බහුතරය අවධානය යොමු කර ඇත්තේ මේ ගැන නීති සැකසීම ගැනයි. පලිගැනුම් කාම ප්‍රකාශන සහ කැමැත්ත ලබා නොගත් කාම ප්‍රකාශන යන්න වීඩියෝ සහ ඡායාරූපවලට බොහෝ දුරට සීමා වුනත්, ලීක් වීම ගැන අපේ අදහස ඊට වඩා පුළුල් එකක් යැයි අපි සලකනවා. මේ ලිපියේ දී නිරුවත්භාවය, ලිංගිකත්වය සහ වෙනත් පෞද්ගලික තොරතුරු අනවසරයෙන් බෙදා හැරීම ලීක් කිරීම යැයි අපි හඳුන්වනවා. ඒ වාගේම ලීක් කිරීම කියන වචනය සමාජ මාධ්‍ය තුළ බිහි වූවක් වෙන අතර, ඒකට ඒ නිසාම සුවිශේෂී තේරුම් වගේම සීමාවනුත් තියෙනවා.

විශේෂයෙන්ම අපි මේ ලිපිය හරහා කතාකරන්න උත්සාහ කරන්නේ ලීක් එක්ක ගොඩ නැංවෙන සංස්කෘතිය ගැනයි.  ලීක් එකක් එලියට ආවාම සිද්ධ වෙන පටිපාටිය ගනිමු. ඒ කිව්වේ මුල්කාලෙදී ඉන්බොක්ස්වල හොරෙන් හොරෙන් ෂෙයා වෙච්ච ලීක් දැන්වෙනකොට ප්රසිද්ධියේ පින්තූර දාගෙන ලින්ක් එක ඉල්ලන කමෙන්ට් දක්වා වර්ධනය වී තිබෙනවා. එහෙම ෂෙයාර් වුනාට පසුව, ලීක් එකේ ඉන්න අයට මඩ ගැසීම පටන් ගන්නවා. ඒ මනුස්සයාගේ සාමාන්ය ජීවිතේ පින්තූර පවා මෙතැනදී ඒවායේ මුල් සන්දර්භයෙන් එළියට ඇවිත්, වෙනස් ආකාරයේ හිංසනයන්ට පාවිච්චි වෙනවා. එයාලගේ සාමාන්ය ජීවිතයේ එදිනෙදා ගත්තු පින්තූර, වැඩ කරන තැන, ලීක් විඩීයෝ එකේදී ඇදන් හිටපු ඇදුම්, ඒ අතරතුරදී කියවෙච්ච වචන, ඒ වටපිටාවේ තිබුන බඩු ආදි සියලු දේවල් නැවත නැවත මාකට් වෙන ගමන් අදාල ලීක් එකේ ඉන්න මනුස්සයාව තලලා පොඩි කරලා දාන විදිහ අපිට දකින්න පුලුවන්. ලීක් කියන කාරණේ දී මුලු සමාජය පුරා වෙළී ගත්ත ප්‍රචණ්ඩත්වයක් තියෙනවා. මේ ප්‍රචණ්ඩත්වයෙන් එක් අතකට සමාජ මාධ්‍ය තුළ අදහස් ප්‍රකාශනය සීමා කරනවා වගේම, මිනිස්සුන්ගේ ජීවිතවලටත් දැඩි බලපෑමක් සිදු කරනවා.

ඒත් මේක ලීක්වලට සීමා වෙන දෙයක් ද? නැතිනම් සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන පොදු ප්‍රවනතාවයක් යන්න කියන ගැටළුව තියෙනවා. මෑත දී මිනීමැරුමකට බෑගයක් පාවිච්චි කළාම, ඒ බෑගය පවා ගැහැණු විරෝධී සමාජ මාධ්‍ය මීම්ස් සහ වෙනත් පෝස්ටු ගණනාවකට පාවිච්චි වුනා. එවැනි තත්වයක් තුළ මේ ලීක්වලින් මතුවෙන ප්‍රචණ්ඩත්වය ලීක්වලට සීමා කරන්නට බැහැ. ලීක් ගැන සිදුවන විවිධ කතාබහ සහ ක්‍රියාකාරකම් දෙස බැලීම හුදෙක් සමාජ මාධ්‍ය තුළ සිදුවන ප්‍රචණ්ඩත්වයක් ලෙසම නොවෙයි, ලංකාවේ ලිංගිකත්වය ගැන කතිකාවේ හරස් පැතිකඩ කියවීමක් ලෙසත් ගන්නට පුළුවන්.

අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ලීක් වීම පාලනය කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඒම  හෝ ලීක් වීම නිසා මිනිස්සු දුක් විඳින ආකාරය ගැන සාකච්ඡා කරනවාට වඩා, ලීක් වීම යන්නෙන් නියෝජනය කරන පුළුල් සමාජ-දේශපාලනික කාරණා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කිරීමටයි. මෙම ලිපිය ලිවීමේ දී අපි ඔන්ලයින් තවමත් ඇති ලීක් වීඩියෝවලට සම්බන්ධ විවිධ ප්‍රකාශ සහ මීම්ස් ගණනාවක අන්තර්ගතය ගැන ක්‍රමානුකූල නොවන, සීමාසහිත අධ්‍යයනයක් සිදු කළා.

  1. ලීක් සිදුවෙන සමාජ සන්දර්භය

ලීක් කියන්නේ  අලුත් දෙයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් වුනත්, අන්තර්ජාලය වැනි තාක්ෂණයන් පැමිණීමට පෙරත් මේවාට සමාන තත්වයන් තිබී තියෙනවා. කාන්තාවන්ගේ චරිතය ගැන, පුද්ගලයන්ගේ අනියම් සබඳතා ගැන කැලෑ පත්තර, කවිකොළ වැනි දෑ දැනට දශක දෙක, තුනකට පෙර පවා බහුලව පැවැතුනා. ඒ නිසා මෙය නව තාක්ෂණයේ  ගැටළුවක් විදියටම රාමු කරන්නට බැහැ. මේ හැම එකක්ම අවසානයේදී සිද්ධ වෙන්නේ බොහෝවිට කාන්තාවන් වින්දිතභාවයට පත්වීමක් . මොකද ලිංගිකත්වය සම්බන්ධ කාන්තාවන් පීඩාවට පත් කරන , කාන්තාවන්ට විරෝධාකල්පය දක්වන  පරාමිතීන් සමාජ සන්දර්භය තුළම පවතින නිසා.

උදාහරණයක් විදියට පැරණි කවි කොළයකින් උපුටා ගත් පහත කවි කොළ කොටස් කියවමු.

“නන්දාවතී මඩහපොල කුමාරිහාමි කියමින් නම් තබලා

ඉන්ද්‍රනීල මැණිකක් ලෙස හැදුවයි තම දුවනිට ආදර පාලා

සින්හල ඉංග්‍රීසි පාඨශාලාවල ඉගැන්නුවයි වියදම් කරලා

ඉන්ග්‍රීසි පික්චර් සිනමා බලමින් ලව් කරන්ට උනි පුරුදු වෙලා…

 

නන්දාවතී මැණිකෙව ළග ඉන්දන් වෑගොඩපොල මහතා විසිනා

සුන්දර වචනයෙන් සිත සනසනවලු කාර් එකේ ඉඳගෙන සොඳිනා…

 

හෙට උදයෙන් නුඹ ගෙදරට ගෙන යමි කියලා මැනිකෙ රවටා ලා

විගහට කාර් එක පදවා යන කල හබරන දි පෙරලුනි එක ලා…

 

පෙරලුනු කාර් එක එතැන තබාල වෙනින් කාර් එකක නැගිල

හබරන තිබෙනා තානායමේ උනි කාමරයක් අරගෙන එකල

හැනපින් බ්‍රැන්ඩි විස්කිද ගෙනුනා බීගෙන කාගෙන ප්‍රීති වෙල

එළිවෙන කොට නැගිටල කාමරයෙන් කුලී කාර් එක ගෙන්නල”

මූලාශ්‍රය-     කවිකොළය – මඩහපොල නන්දාවතී කුමාරිහාමිව, කුරුණෑගල පොලිස් සාජන් රවටා ගෙන යාම. ගම්පහ ඒ.කේ. රොමියෙල් පෙරේරා, වර්ෂය සඳහන් කර නැත.  උපුටා ගැනීම සකල සිරින් පිරි කවි කොලේ: සුළු ජනතාවගේ මහා සන්නිවේදනය. පරාක්‍රම කොඩිතුවක්කු. 2019. සරසවි ප්‍රකාශකයෝ.

 

මේ විදියට බැලුවම, දැන් සමාජ මාධ්‍යවල සිදු වෙන විදියේ දේවල්ම ඉස්සර වෙන විදියේ සන්නිවේදන ක්‍රමවලින් සිදු වෙලා තියෙනවා. ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු යැයි කියවෙන අධිපතිවාදී අදහසක් වසර සිය ගණනක් තිස්සේ අපේ රටේ පැතිරී තිබී තිබෙනවා. යටත් විජිතවාදය සමග පැමිණි තවමත් විවිධ ආකාරයෙන් ගෝලීයකරණය වී පවතින, බටහිර වික්ටෝරියානු සදාචාරවාදයත්, යටත්විජිතවාදයට විරුද්ධව ලංකාවේ පැතිරුණු ජාතිකවාදයත් යන දෙකින්ම ලිංගිකත්වය මර්දනය කිරීමේ අදහස තවදුරටත් පෝෂණය කර තිබෙනවා. ඉහත මුල් කවියේ ඉඟි කරන විදියට කුමාරිහාමිලා ලව් කරන්නට ඉගෙන ගන්නේ ඉංග්‍රීසි චිත්‍රපට බැලීමෙනුයි. එවැනි කෙනෙකුට දඩුවම් දීමේ අදහසින්, වැරදි කරන කෙනෙකු එළිදරව් කිරීමේ අදහසින් ලිංගිකත්වය ගැන කතා කරන්න මේ සන්දර්භය ඇතුළෙ ලොකු ඉඩක් ලැබිලා තියෙනවා. ලීක්වලින් යම්තාක් දුරකට නියෝජනය වෙන්නෙත් ඒ රටාවමයි. තවදුරටත් බැලූ විට පෙනෙන්නේ ලිංගික දේවල් ගැන සංවාදයට බොහෝ විට මහජන අවකාශය තුළ ඉඩ දී  තිබෙන්නේ සදාචාර රාමුවක් තුළම වෙන බවයි. (ලංකාවේ පමණක් මෙවැනි සදාචාර රාමුවක් පවතින බව මෙයින් අදහස් වෙන්නේ නැහැ.)

ලෝකයේ අද පවතින පොදු අදහස ගත්තත් ලිංගිකත්වය සාමාන්‍යයෙන් සැලකෙන්නේ අතිශය පෞද්ගලික දෙයක් විදියටයි. කෙනෙකුට පෞද්ගලිකත්වයට තියෙන්නෙ අයිතියක්. ලිංගිකත්වය කියන්නෙ ඒ පෞද්ගලිකත්වයේ සුවිශේෂී කොටසක් වෙනවා. හැබැයි, සමහර විට තමන්ගේ ලිංගිකත්වය පුද්ගලික වෙනවාට එහා ගිහින්, එයින් සම්පූර්ණ ලිංගිකත්වය ගැන සංවාදයම තවදුරටත් පෞද්ගලිකකරණය කරන අවස්ථා තිබෙනවා. මෙහෙම පෞද්ගලික දෙයක් විදියට ලිංගිකත්වය සැලකීම නිසා, එය සමහර තැන්වල දී සැඟවීම නිසා, ඒ ගැන කතා කරන විදිය විවිධ ආකාරයෙන් සීමා කිරීම නිසා ලිංගිකත්වය සම්බන්ධයෙන් පවතින සුවිසල් සංරක්ෂිත බලයක් තිබෙනවා. ඒ සංරක්ෂිත බලය ඇතැම් විට පූජනීය දෙයක් විදියටත් ඇතැම් සමාජවල යොදා ගෙන තිබෙනවා.  ඒ වගේම ඇතැම් සමාජවල එය ලේඛනගත කිරීම, එළිදරව් කිරීම ආදිය හරහා බොහෝ විට කෙනෙකුට ලොකු හානියක් සිදු කළ හැකි වෙනවා. ඒ වගේම මේ සංරක්ෂිත බලය ආර්ථික වටිනාකමක් ඇති එකක් ලෙසත්, ජනයාගේ අවධානය ලබා ගත හැකි ලෙසත් භාවිතා කළ හැකි එකක් වෙනවා.

කවි කොළයකට වැනි දෙයකට යොදා ගනිමින් අතීතයේ වෙනස් විදියකට විකුණූ මෙය, අද පේජ් රීච් වැඩි කර ගැනීමට, එන්ගේජ්මන්ට් වැඩි කර ගැනීමට උපකරණයක් ලෙස සමාජ මාධ්‍ය තුළ භාවිතා වෙනවා.  ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන විශ්වාසයන් බොහෝ විට කිසියම් සමාජයක් තුළ ව්‍යුහගත වෙන්නේ ආර්ථික කාරණාත් සමග සම්බන්ධ වෙමිනුයි. විවාහය/ පවුල යන කාරණයේදී මෙය පැහැදිලිව පෙනෙනවා. අතීතයේ තිබුනු, දැන් ජනප්‍රිය විවෘත කතිකාව තුළ, කතා කිරීම සහ සිදු කිරීම අධෛර්යයමත් කරන බහු විවාහ, දෑවැද්ද, පිරිමි දරුවන්ට ප්‍රමුඛත්වය දීම වගේ භාවිතාවන්වල වුනත් මේ ආර්ථික රේඛාව පැහැදිලිව පෙනෙනවා.  ලීක් වීම ගැන වුනත් ආර්ථික රේඛාවක් තියෙනවාද? ලීක්වීම යන කාරණයේ දී මේ රේඛාව පවතින්නේ ලීක් වීඩියෝ පාරිභෝජනය කරන සමාජයක් විදියටයි.

මිෂෙල් ෆූකෝ ලිංගිකත්වයේ ඉතිහාසය- පළමු වෙළුම (1976) පොතේ, යුරෝපයේ කාර්මික විප්ලවයෙන් පසු කාලයේ ඊට කලින් තිබූ යුගයෙන් වෙනස්ව ලිංගිකත්වය ගැන කතිකාවත සම්බන්ධයෙන් ඇති වන මර්දනයත්, වෛවාහික පවුල මධ්‍යස්ථ කර ගෙන ඇතිවන කුහක මධ්‍යම පාන්තික සදාචාරය ගැනත් කතා කරනවා.  ඔහු තවදුරටත් තර්ක කරන්නේ මේ මර්දන කල්පිතය හරහා ඇත්තටම සිදු වූයේ මර්දනයක් නොව, එහි හාත්පසින්ම විරුද්ධ දෙය වන ලිංගිකත්වය ගැන කතිකාවේ වර්ධනයක්, පුපුරායාමක් බවයි. ඔහු මතු කරන පරිදි මර්දනය හේතුවෙන් ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු බව, ඒවා රහසේ වෙනස් ස්ථානවල සිදු විය යුතු බවට, විනයගත කිරීමක් සිදු කළත්, මෙසේ රහසිගත කිරීම නිසාම එය අධ්‍යයනය කිරීමට, සුව කිරීමට සහ ඒ ගැන වෙනස් ස්ථානවලදී කතා කිරීමට සුවිසාල උනන්දුවක් සහ වෙනස් විදියේ ආර්ථිකයක් තව මට්ටමකින් මතු වෙන බවයි.

ලීක් යන කාරණයේදී ලීක් වීඩියෝව සමාජ මාධ්‍ය තුළ පරිභෝජනයය සම්බන්ධයෙන් මේ කාරණයම වෙනස් විදියකට අදාළ වෙන්නේ මෙහෙමයි. මිනිස්සු ලීක් වෙන වීඩියෝව හෝ ඡායාරූපය තමන්ගේ ප්‍රොෆයිලයේ ෂෙයාර් කරන්නේ නැහැ. එසේ ෂෙයාර් කිරීම තමන් ලැජ්ජා විය යුතු, ශිෂ්ට සමාජයක් විදියට නොකළ යුතු කාරණයක් ලෙස සලකන අතරම, මේ ලීක් ඒ අය ඉන්බොක්ස් හරහා මහා පරිමාණයෙන් බෙදා ගන්නවා. උඩින් නොපෙනුනත් කිසියම් කාලයකට පස්සෙ වෙන හැමදේකටම වඩා හැමෝම පාහේ මේ ලීක් වෙන දෙය බලා තියෙනවා, නොදැකපු කෙනෙක් ලීක් එක ගැන දැන ගන්නට අවශ්‍ය නම් ප්‍රසිද්ධියේ කියන්නේ ලින්ක් ඉන්බොක්ස් කරන ලෙසයි. එයින් අනතුරුව සිදුවන්නේ ලීක් එක ගැන  විවිධ ආකාරයේ මීම්ස්, විහිළු සහිත නිර්මාණශීලී පෝස්ට් ගණනාවක් ෂෙයාර් වීමයි.

සමාජ මාධ්‍ය නියාමනය කරන ප්‍රජා නීතිරීතිවලින් පවා ප්‍රායෝගික තත්වයන් යටතේ දී විවිධ සීමාවන්ට ලක් වෙනවා. හුවමාරුවෙන අන්තර්ගතයන් නිරීක්ෂණය සහ පාලනය කිරීම කළ හැකි මට්ටමේ කෘතිම බුද්ධි තාක්ෂණයන් අද ලෝකයේ තියෙනවා. ඒ අතරම, සිංහල වැනි ලෝකයේ සුළු පිරිසක් කතා කරන භාෂාවක් වෙනුවෙන් සමාජ මාධ්‍ය ආයතන සිදු කරන සීමාසහිත ආයෝජනයන්, සහ නියාමන රාමු සෑදෙන බටහිර මධ්‍යගත කරගත් ප්‍රවේශය ඇතුළු කාරණා ගණනාවක් නිසා නියාමන රාමුවල කාර්යක්ෂමතාවය ගැන ගැටළු ගණනාවක් තිබෙනවා.  එසේ වුවත්  මෙහිදී අදහස් ප්‍රකාශනයේ නිදහස සහ නියාමන රාමු අතර තියෙන ගැටුමත් සැලකිල්ලට ගැනීම වැදගත් වෙනවා.  පලිගැනීම් ලිංගික ප්‍රකාශන වාරණය කිරීමේ පැහැදිලි අවශ්‍යතාවක් තියෙන අතරම, ලිංගික අන්තර්ගතයන් සමාජ මාධ්‍යවල පණිවුඩ ලෙස හුවමාරු කිරීම වැළැක්වීම හෝ සීමා කිරීම පුද්ගලයන්ගේ ලිංගිකත්වය ගැන ප්‍රකාශනය සීමා කිරීමක් වෙන අතරම, මීම්ස් වැනි දෑවලින් මතුවෙන ආචාරධර්මීය ලෙස ප්‍රශ්නකාරී අන්තර්ගතයන්වලට විසඳුමක් ලෙස ඒවා වාරණය කිරීමට යාමෙන් තවදුරටත් ගැටළුව උග්‍ර වෙන්නට පුළුවන්.

වර්තමානයේ ලීක් ගැන සංවාදය කිසියම් දුරකට කාන්තා අයිතිවාසිකම් කියන සන්දර්භය තුළ කතා වුනත්, එයත් විවිධ ආකාරවලින් සීමා වී තියෙනවා. කාන්තාවගේ කදුළු, දුක සහ අසරණභාවය ගැන සංවාදයක් විදියට එය විවිධ තැන්වල මතු වෙන අතර දී, කාන්තාවගේ අයිතිවාසිකම් සහ තමන් කැමැති දේවල් කිරීමට, තමන්ගේ ලිංගිකත්වය, සහ ශරීරය ගැන තීරණ ගැනීමට ගැහැණුන්ට ඇති අයිතිවාසිකම් යන්න ලීක් කියන සංවාදයේ දී විවිධ විදියට සීමා වෙනවා. ලීක් තවදුරටත් සදාචාරයට විරුද්ධ වෙන ගැහැණුන්ට දෙන දඩුවමක් විදියටත් රාමු වෙන අවස්ථා ගණනාවක් තියෙනවා.

ඒ වගේම ලංකාවේ නීතිය යටත්විජිත උරුමයකින් එන එකක්. බොහෝ නීති සහ නීති ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් යාවත් කාලීන නොවීමේ අඩුපාඩු ගණනාවක් ඒ තුළ තියෙනවා.  පොදුවේ ලංකාවේ නීති පද්ධතිය තුළ වින්දිතයන් තවදුරටත් වින්දිතකරණයට ලක් වෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රී ‘දූෂණ’ (බලාත්කාරකම්) සහ වෙනත් ලිංගික අපරාධ ගැන යුක්තිය ඉෂ්ට නොවීමට මෙය බලපා තියෙනවා. එසේම නඩු ප්‍රමාදයත් බලපානවා.  ස්ත්‍රී ‘දූෂණ’ කියන වචනය ගත්තත් අප්සැට්නෙ. ස්ත්‍රිය ලිංගික ක්‍රියාවක් නිසා ‘දූෂණය’ වෙනවා කියන අදහස නීතියේ භාෂාව වෙන කොට යුක්තිය එතැනම ප්‍රතික්ෂේප වෙනවා. මේ තත්වය තුළ විවිධ හේතුන් මත මෙවැනි සිද්ධි ගැන පුළුල්ව පැතිරුණු දණ්ඩමුක්තියක් නඩත්තු වෙනවා.

 

  1. ලීක් වීමේ චක්‍රය

ලීක් වෙන්නේ කුමක් වුවත් ලීක්වලට අදාළ කිසියම් පරිභෝජන චක්‍රයක් තිබෙනවා. හැම සිද්ධියකටම මේක අදාළ නොවුනත්, ලීක්වල වින්දිතයා හඳුනා ගත හැකි බොහෝ අවස්ථාවලට මේ කාරණය අදාළයි.  මේ චක්‍රය පහත පරිදි සාරාංශ කර ගත කළ හැකියි.

ලීතක් වීමේ චක්‍රය

රූපය: ලීක් වීමේ චක්‍රය

  1. ලීක් කිරීම

සමහර වෙලාවට ලීක් වෙන්නෙ මොනවාද නොවෙන්නේ මොනවාද කියලා කියන්න බැහැ. බොහෝ විට ඡායාරූප, වීඩියෝ ලීක් වෙනවා කියා හිතුවට සමහර විට කටහඬක්, වොයිස් රෙකෝඩින් එකක් පවා ලීක් වෙන්නට පුළුවන්. තවත් සමහර වෙලාවට ලීක් වෙන්නෙ ස්ක්‍රීන් ෂොට්. රංජන් රාමනායක සිද්ධියෙන් තවත් පැහැදිලි වුනේ පොලිසියට දුන් සාක්කි පවා ලීක් වෙන්නට පුළුවන් බවයි. දේශපාලනික වුවමනාවල් තියෙනවා නම් ඒ ලීක් වීම් සමාජ මාධ්‍යයෙන් විතරක් නෙමෙයි, සම්ප්‍රදායික මාධ්‍ය හරහා පවා සිදු වෙන්න පුළුවන්. ලීක් වීම කියන එකට කෙළින්ම අදාළ නොවුනත්, ලීක් වීමේ ක්‍රියාදාමයේ ලක්ෂණ පෙන්නුම් කරන එහි පරිධියට අසුවෙන වෙනත් සිද්ධිත් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් තම පෙම්වතිය මරාදැමූ පෙම්වතකු ඒ මිනිය ගෙනයාමට පාවිච්චි කළ සූට්කේසය මීම්ස්වලට පාවිච්චි වෙන විදිය ගත්තොත් එතැන ලීක් වීමෙන් පසුව වෙන සිද්ධි දාමයට සමාන කතන්දර තිබුනා.‍ මේ පුළුල් සන්දර්භය ඇතුළෙ, ලීක් වෙන්න පුළුවන් මොනවාද කියන එකට ආවම, ඒක තීරණය වෙන්නේ බොහෝ විට ගැහැණුන්ගේ (සහ ඇතැම්විට පිරිමින්ගේ) ලිංගිකත්වය පාලනය කිරීමට යොදා ගත හැකි, බොහෝවිට නිරුවත, ලිංගික හැසිරීම්, ආදරය, කිට්ටු ශාරීරික සම්බන්ධකම්, ඇතුළු කෙනෙකුගේ ලිංගිකත්වයට අදාළ ප්‍රකාශනයන්, විශේෂයෙන්ම සමාජ සම්මතයන්ට සහ සීමාවන්ට විරුද්ධ වෙන තැන්,  බොහෝ විට පෞද්ගලිකත්වය කියන සීමාවේ තබා ඇති දේවල් අඩංගු වෙනවා

මේ ලීක් කිරීම තරහ වූ ආදරවන්තයන් විසින් මෙන්ම, වින්දිතයා දන්නා හෝ නොදන්නා ඔ්නෑම කෙනෙකු අතරින් වෙන්නට පුළුවන්. ලීක් කිරීමේ අරමුණුත් විවිධ වෙන්නට පුළුවන්. මේවා අතරට

(අ) පෞද්ගලික පලි ගැනීම් 

(ආ) සමාජ මාධ්‍ය ගිණුම් ප්‍රසිද්ධ කර ගැනීමේ සහ රීච් එක වැඩි කර ගැනීමේ, හෝ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් කරන ලීක් කිරීම්

(ඇ) විනෝදය සහ වෙනත් කරුණු මත දන්නා අය සමග ෂෙයාර් කර ගැනීමෙන් පසුව තව තවත් අය වෙතට යෑමෙන් පැතිරෙන ලීක් 

අඩංගු විය හැකියි.

  1. ලීක් එක ඉන්බොක්ස් /වට්ස්ඇප් හරහා ෂෙයාර් වීම

ලීක් වීමේ දී බොහෝ විට දකින්ට ලැබෙන කාරණයක් වෙන්නේ මෙය මුලින් මැසෙන්ජර් ඉන්බොක්ස් හෝ වට්ස්ඇප් මැසේජ් වැනි ක්‍රමය හරහා තනි පුද්ගලයකුගෙන් තවත් තනි පුද්ගලයකු වෙත ෂෙයාර් වීමයි. එකිනෙකා අතර හුවමාරු කර ගන්නා රහසක් වැනි ස්වභාවයක් මෙම පියවරේ දී තිබෙනවා.

  1. ලීක් වැනි දෑ ෂෙයාර් කිරීමටම ඇති කර ගත් කණ්ඩායම් හරහා ෂෙයාර් වීම

ලීක් ඇතුළු ලංකාවේ කාම ප්‍රකාශන වීඩියෝ සහ රූප ෂෙයාර් කර ගන්නා කණ්ඩායම් තුළ මෙය දෙවැනියට ෂෙයාර් වෙන්නට ගන්නවා.  මෙම පියවරේ දී මෙය ඔන්ලයින් ප්‍රජාවන් අතර සාකච්ඡාවට ලක් වීමේ, සහ කාම ප්‍රකාශන භාණ්ඩයක් ලෙස පරි‌භෝජනයට ගැනීමේ ස්වභාවයක් ද ගන්නවා. ලංකාවේ නීති තත්වයන් නිසා කාම ප්‍රකාශන වීඩියෝ නිර්මාණය කිරීම බොහෝ විට කර්මාන්තයක් විදියට පවතින්නේ නැහැ.  එසේ වුවත්, ලංකාවේ කාම ප්‍රකාශන වීඩියෝවලට අධික ඉල්ලුමක් පවතිනවා. බොහෝ විට මෙම කණ්ඩායම් තුළ ෂෙයාර් වීමේදී සිදු වන්නේ මෙම හිඩැසට සැපයුමක් සිදු කිරීමයි. බොහෝ විට මෙම ලීක් වීඩියෝ පරිභෝජනය කරන කණ්ඩායම්වල ප්‍රධාන ලක්ෂණයක් වෙන්නේ තම තමන්ට ලැබෙන වීඩියෝ සහ රූප ෂෙයාර් කර ගන්නා සාමූහික පරිභෝජන රටාවක් තිබීමයි. මේ කාරණයේදී සෘජු මුදල් හුවමාරු වීමක් සිදු වන්නේ කලාතුරකින් වුවත්, යම් යම් වෙබ් අඩවිවල මේවා පලකර වෙළෙඳ දැන්වීම් හරහා සිදුවන මුදල් හුවමාරුවක් මෙම ලීක්වල තවත් උප-පියවරක් ලෙස සිදු වෙනවා. එසේම අපිට කීමට තරම් තොරතුරු නැති වුනත්, සෘජු මුදල් හුවමාරු සිදු වෙන අවස්ථා මෙම පියවරේ දී මෙන්ම කලින් පියවරේද තිබිය හැකියි.   එසේම 2015 වසරේ සිදුවූ එස්. විද්‍යා ඝාතනය වැනි සිද්ධි දෙස බැලීමේ දී පෙනෙන තවත් කාරණයක් වෙන්නේ වින්දිතයන් රැවටීමෙන්, හෝ හිතාමතා අපරාධවලට ලක් කිරීම හරහා සමහර විට අන්තර්ජාතික කාම ප්‍රකාශන වෙළෙඳපොල දක්වා යන අපරාධ දක්වා මේවා විහිදිය හැකි බවයි.

  1. ලීක් එක ගැන තනි තනි බොහෝ පුද්ගලයන් අදහස් පළ කිරීම

සමාජ මාධ්‍ය තුළ බොහෝ තනි තනි පුද්ගලයන් විසින් බොහෝ දුරට වක්‍රව, ඉගි ලෙසින් පළ කරන අදහස් ගණනාවක් මේ පියවරේ දී දකින්නට ලැබෙනවා. වීඩියෝව ඒ අයට ලැබෙන්නේ කෙසේද යන්න ගැන මේ පියවරේ ද පැහැදිලි බවක් නැහැ. බොහෝ විට ඉන්බොක්ස් හරහා හෝ ඒ අය සිටින යම් යම් කණ්ඩායම් හරහා විශාල ප්‍රමාණයෙන් මේ ලීක් ෂෙයාර් වීමක් සිදු වෙන විට දී  මෙසේ අදහස් පළ කිරීම සිදු වෙනවා. බොහෝ විට මේවා එකිනෙකා පෞද්ගලිකව සිදු කරන විහිළු ලෙස පෙනෙනවා.

  1. ලීක් එක ගැන වෙනත් මීම්ස් සහ විහිළු නිර්මාණය කිරීම/ පළ කිරීම සහ යූටියුබ් වීඩියෝ ගණනාවක් පැමිණීම

මෙම පියවරේ දී සිදු වෙන්නේ ලීක් පදනම් කරගෙන කරන විහිළු වඩාත් පෙනෙන මට්ටමින් සහ මීම්ස් වැනි නිර්මාණ හරහා වඩාත් විශාල මට්ටමින් බෙදා හැරීමයි. මෙම තත්වයට එන විට අන්තර්ජාල සමාජයේ බොහෝ දෙනා ඒ අදාළ ලීක් එක නරඹා හමාරයි. මේ හරහා සිදු වන්නේ එය ද්වීතියක මට්ටමකින් නැවත පරිභෝජනය කිරීමයි. මෙම මීම්ස්වලට ඒ ලීක් එකේ සිටි චරිත, කිසියම් කියමනක්, රූපයක්, භාණ්ඩයක් යමක් වස්තු විෂය වෙනවා. ඒ් අතරම ලීක් එක ගැන අදහස් දක්වන, විවිධ යූටියුබ් වීඩියෝ ද මේ පියවරේ දී දකින්නට ලැබෙනවා.

  1. ලීක් එකට ලක් වූ පුද්ගලයා සිදු කරන පැහැදිලි කිරීම ගැන වීඩියෝව

විශේෂයෙන්ම කිසියම් කාලයකට පසුව, ඇතැම් සිද්ධිවලදී ලීක් එකේ සිටින පුද්ගලයා විසින් ප්‍රසිද්ධ පැහැදිලි කිරීමක් සිදු කිරීම දී සිදු වෙනවා. මෙම වීඩියෝවල  වින්දිතයාගේ හැඟීම් බර ප්‍රකාශනයන් අඩංගු විය හැකියි. ඒවා අතරට ලීක් එකේ සිටින්නේ තමා නොවන බව ප්‍රකාශ කිරීම, හැඬීම, ලීක්කළ අයට බැනීම, තරහ සහ ශෝකය වැනි දෑ අඩංගු විය හැකියි. ලීක්වීමකට ඉලක්ක වීමෙන් බොහෝ විට පුද්ගලයකු විශාල මානසික පීඩනයකට ලක් වෙනවා. මෙම තත්වය ගැහැණුන් සහ එල්ජීබීටීඅයිකිවු ප්‍රජාවේ පුද්ගලයන්ට ඉතා තදබල ලෙස දැනෙනවා. මෙම වින්දිතයාගේ පැහැදිලි කිරීමත් වින්දිතයාගේ යහපතට වඩා වෙනස් විදියට භාවිතා වෙන අවස්ථා තිබෙනවා. බොහෝ විට වින්දිතයා තවදුරටත් ජෝක් එකක් බවට පත් කිරීමට, වින්දිතයාගේ චරිතය ගැන අදහස් දැක්වීමට මෙවැනි දෑ තවදුරටත් වේදිකාවක් වෙන අවස්ථා තියෙනවා.

  1. ලීක් එකට විරුද්ධව තනි තනි පුද්ගලයන් කරන අනෙකුත් විවේචන

එයින් පසු පටන් ගැනෙන්නේ ලීක් එක සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශවවලින් එන විවේචනයන්. මෙකී වෛරය පිරි මසන ආකාරයේ කාම ප්‍රකාශන හුවමාරු වීම පිළිබඳව විරෝධාත්මක අදහස් සහ කතාබහ වර්තමානයේ අපිට දිගින් දිගටම දකින්න ලැබෙනවා. බොහෝ අවස්ථාවන්හිදී මෙලෙස ප්‍රසිද්ධියේ විරෝධාත්මක අදහස් දක්වන  පිරිස විසින්ම මේවා අප්‍රසිද්ධියේ හුවමාරු කරගනිමින් සිටිනවා. මෙවැනි දෑ වැළැක්විය යුතුය යන අදහසින් සමහරු ක්‍රියාකරන අතරම, අනික් අතට මෙම විවේචනයන් ඉදිරිපත් කිරීමත් කිසියම් ප්‍රේක්ෂකයන් පිරිසක් ඉලක්ක කර ගෙන එය නඩත්තු කර ගෙන යාම මතත් සමහර විට සිදු වෙනවා.

  1. ලීක් එකට ඇති අවධානය අඩු වීම – ලීක් සාමාන්‍යකරණය වීම

සමාජ මාධ්‍ය අවකාශවල කතා බහ වෙන බොහෝ ප්‍රවනතා (ට්‍රෙන්ඩ්) මෙන්ම, කිසියම් කාලයකට පසුව ලීක් එක ගැනත් ඇති අවධානය අඩු වෙනවා. සිද්ධියේ ඇත්තටම සිදු වූයේ මොකක්දැයි යන්න ගැන කවුරුවත් ගැඹුරින් සිතා බලන්නට විශ්ලේෂණය කරන්නට යන්නෙ නැහැ. ජනප්‍රියතාවය අඩු වීමත් සමග එය අමතක වී යනවා.

සාකච්ඡාව

අපි මේ ලිපියේ දී උත්සාහ කරන්නේ ‘ලීක්’ යනුවෙන් සමාජ මාධ්‍ය වහරේ හැඳින්වෙන කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ සීමාවන්ට අදාළ බොහෝ විට ලිංගිකත්වයට හා නිරුවත සම්බන්ධ අන්තර්ගතයන් එහි සිටින පුද්ගලයාගේ කැමැත්තකින් තොරව අන්තර්ජාලයේ පළ කිරීම නම් කාරණාව කතා කිරීමටයි. මෙය පළිගැනීමේ කාම ප්‍රකාශන නැතහොත් රිවෙන්ජ් පෝන් යනුවෙන් හැඳින්වෙන සංකල්පයට බොහෝ දුරට සමාන වූවත්, යම් යම් සන්දර්භයන් මත ලීක් යන්න කාම ප්‍රකාශන යන්නට සීමා නොවන, ඉන් එහාට යන දේවල් අඩංගු විය හැකි බව අපි තර්ක කරනවා. මෑත දී වට්ස්ඇප් සහ කෝල් රෙකෝඩින් ලීක් වීම, පොලිසිය ලබා ගත් සාක්ෂි ලීක් වීම ආදී කරුණු අපි මෙහිදී සැලකිල්ලට ගන්නවා. එසේම දේශපාලනික සහ සමාජ කාරණා මත, ලීක් වීම යන්න සමාජ මාධ්‍යයට සීමා නොවන බවත් අපි තර්ක කරනවා. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ලීක් වීම යනු දේශපාලන සහ පරිභෝජන ආර්ථිකයක් බවත්, එය පියවර කිහිපයකින් යුතු ලීක් චක්‍රයක් ලෙස පවතින බවත් විස්තර කිරීමටයි.

මෙම ලීක් චක්‍රයේ ඇති පියවර  (A) ලීක් කිරීම, (B) ලීක් එක ඉන්බොක්ස් /වට්ස්ඇප් හරහා ෂෙයාර් වීම, (c) ලීක් වැනි දෑ ෂෙයාර් කිරීමටම ඇති කර ගත් කණ්ඩායම් හරහා ෂෙයාර් වීම, (D) ලීක් එක ගැන තනි තනි බොහෝ පුද්ගලයන් අදහස් පළ කිරීම, (E) ලීක් එක ගැන වෙනත් මීම්ස් සහ විහිළු නිර්මාණය කිරීම/ පළ කිරීම සහ යූටියුබ් වීඩියෝ ගණනාවක් පැමිණීම, (F) ලීක් එකට ලක් වූ පුද්ගලයා සිදු කරන පැහැදිලි කිරීම ගැන වීඩියෝව, (G) ලීක් එකට විරුද්ධව තනි තනි පුද්ගලයන් කරන අනෙකුත් විවේචන, (H) ලීක් එකට ඇති අවධානය අඩු වීම – ලීක් සාමාන්‍යකරණය වීම යනුවෙන් අපි නම් කරනවා.  ලීක් චක්‍රයක් ලෙස නම් කළත් මේ පියවර සෑමවිටම එකකට පසුව එකක් සිදු නොවන බවත්, සංකීර්ණ ලෙස සමහර විට එක මොහොතේ සිදුවෙන පියවර කිහිපයක් ලෙසත් පවතින බව මෙහිදී සටහන් කළ යුතුයි.  එසේ වුවත් අපි මෙය චක්‍රයක් ලෙස නම් කරන්නේ දිගින් දිගටම නැවත නැවතත් සිදුවන රටාවක් ලෙස විවිධ සිද්ධි සම්බන්ධයෙන් සිදු වෙන නිසායි.

 මෙම ලීක් චක්‍රය ලීක් පරිභෝජනය කරන දේශපාලන සහ පරිභෝජන ආර්ථිකයක් ලෙස අපි තවදුරටත් හඳුනා ගන්නවා. මෙය අපි දේශපාලන ආර්ථිකයක් ලෙස නම් කරන්නේ ගැහැණු සහ (ඇතැම් පිරිමි) පීඩිත තත්වයක පවත්වා ගැනීමේ, ඔවුන්ගේ ලිංගිකත්වය පාලනය කිරීමේ කතිකාවක් පවත්වා ගෙන යාමට මෙම ලීක් චක්‍රය දායක වෙන නිසායි. දෙවනුව අපි මෙය පරිභෝජන ආර්ථිකයක් විදියට නම් කරන්නේ මෙය විවිධ ආකාරයෙන් පරිභෝජනයට ලක් කරන විශාල පරිමාණයේ ප්‍රජාවක් සිටින නිසයි. අන්තර්ජාල සහ සමාජජාල පදනම් කරගත් පරිභෝජන ආර්ථිකයේ පොදු ලක්ෂණ ලීක්වලටත් පොදු වෙන අතර, සමාජ මාධ්‍ය රීච් එක වැඩි කර ගැනීම, වැනි කරුණු මෙන්ම, ඇතැම් විට සෘජු හා වක්‍ර මූල්‍යමය ආර්ථිකයන් ද, දේශපාලන හේතු පදනම් කර ගත් ආර්ථිකයන් ද, විනෝදය වැනි කාරණා සම්බන්ධ පරිභෝජනයන් ද, නීතිමය සහ විවිධ හේතුමත හැකිලී ඇති කාම ප්‍රකාශන කර්මාන්තයට සම්බන්ධ ආර්ථිකයන් ද තිබිය හැකි බව අපි මෙතැනදී මතු කරනවා.

මෙම ආර්ථිකය හරහා නියෝජනය වෙන සමාජය වෙළා ගත් සාමූහික ප්‍රචණ්ඩත්වයක් තියෙනවා. ලීක් කියන්නේ මේ සාමූහික ප්‍රචණ්ඩත්වය සමාජයක් ලෙස පරිභෝජනය කිරීමේ එක් ස්වරූපයක් වෙනවා. ලීක් නිසාම මේ තත්වය ඇති වෙන බවක් අපි සිතන්නේ නැහැ. නමුත්  ලීක්වලින් එළියට එන, එයින් නිරූපණය කරන ලිංගිකත්වය මර්දනයේ  සමාජ කතිකාවතක් තියෙනවා. එය මර්දනයක් කිව්වත් එයින් සිදු වන්නේ ලිංගිකත්වයේ කතිකාවේ වෙනස් ආකාරයේ සුවිසල් වර්ධනයක් බවත් අපි මතු කරනවා.  ලිංගිකත්වයට එරෙහිව ඇති සාමුහික ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමේ සිද්ධි අධ්‍යයනයක් විදියට ලීක් වීම නම් කාරණයට ප්‍රවේශ වීමේ වැදගත්කමක් තියෙනවා. මේ ලිපියේ ඊළග කොටසින් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වෙන ස්වරූපයන් ගැනයි.

 

ලිව්වේ: දමිත් චන්දිමාල් සහ දිනි ප්‍රනාන්දු

 

ආශ්‍රිත මූලාශ්‍ර

Foucault, Michel. 1976. The history of sexuality: An introduction, volume I. Trans. Robert Hurley. New York: Vintage 95 (1990).

කොඩිතුවක්කු, පරාක්‍රම. 2019. සකල සිරින් පිරි කවි කොලේ: සුළු ජනතාවගේ මහා සන්නිවේදනය. සරසවි ප්‍රකාශකයෝ.

Social Share: