‘ලීක්’ වෙන සංස්කෘතිය පව්කාරයන්ට සමාජ මාධ්‍ය තුළින් ගල්ගැසීම – 2 කොටස

2021 අප්‍රේල් 08

‘ලීක්’ වෙන සංස්කෘතිය – පව්කාරයන්ට සමාජ මාධ්‍ය තුළින් ගල්ගැසීම – 1 කොටස කියවන්න මෙතැනින්. 

සමාජ මාධ්‍ය වහරේ යෙදුමක් ලෙස පවතින ‘ලීක්’ ගැන අපි මේ ලිපි දෙකෙහි කතා කරනවා.  කලින් ලිපියේ අපි කතා කළේ ලීක් චක්‍රය ගැනයි. ලීක් යන කාරණය චක්‍රයක් විදියට කිසියම් සිදුවීම් රටාවක් පෙන්නුම් කරන බවත්, එයින් සමාජයේ ඇති ලිංගිකත්වය පාලනයට සම්බන්ධ වෙන සාමුහික ප්‍රචණ්ඩත්වයක් නිරූපණය කරන බවත් අපි කතා කළා. එසේම ලීක් යනු දේශපාලන සහ පාරිභෝජන ආර්ථිකයක් බවත් අපි කතා කළා. මෙම ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලීක්වලින් මතු වෙන මෙම සාමූහික ප්‍රචණ්ඩත්වයේ ස්වරූපයන් ගැනයි.  මෙම ලිපියේ දී අපි කාරණා 3ක් ගැන අවධානය යොමු කරනවා. ලීක් යනු සන්දර්භයෙන් ගැලවූ ශරීර ලෙස, බලය සම්බන්ධ ආවුදයක් ලෙස, වින්දිතයන් මුහුණ දෙන මානසික ගැටළු ලෙස සමාජ-දේශපාලන සහ නීතිමය කතිකාවන් තුළ ඉහත ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරන ආකාරය ගැන මෙම ලිපියේ දී අපි කතා කරනවා.

  1. සන්දර්භයෙන් වෙන් කළ ශරීර ලෙස

බොහෝවිට ලීක් නැත්නම් පළිගැනීම පිළිබඳ කාම ප්‍රකාශන විදිහට එළියට එන්නේ කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් තමන්ම වෙනත් කෙනෙක් එක්ක ෂෙයා කරගත්තු ඡායාරූපයක් , නැත්තං වීඩියෝ පටයක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ කැමැත්තෙන්ම තමන් වීඩියෝ ගත කර ගත්තු ඒ පෞද්ගලික මොහොතක අවස්ථාවක් වෙන්නට පුළුවන්.

පින්තූරයක්, වීඩියෝවක් හෝ ලිංගිකත්වය ගැන පෞද්ගලික අත්දැකීමක් අත්අඩංගු වෙන ඕනෑම පණිවුඩයක්, එහි ප්‍රේක්ෂකයා කවුරුන්ද යන්නෙන් වෙන් කරලා තේරුම් ගන්නට බැහැ. රෝලන්ඩ් බාත්ස් (1977) මතු කරන පරිදි පින්තූරයක් කියන්නෙ පණිවුඩයක්. ඒ පණිවුඩය තේරුම් ගැනීමේ දී ඒකට දෙන නම මොකක්ද, අකුරෙන් ලියන විස්තරය මොකක්ද, ඒක ඉදිරිපත් කරන ස්වරූපය මොකක්ද, ඒකෙ ප්‍රේක්ෂකයා කවුද, ඒක භාවිතා වෙන්නෙ කොහොමද කියන කාරණා නැතිව ඒක හරියට තේරුම් ගන්න බැහැ. පණිවුඩයක් කියන කොට එතැන මතු වෙන අනික් කාරණය වෙන්නේ කිසියම් සංස්කෘතියක් ඇතුළත කිසියම් සංඥාවලට, රූපවලට, ඉරියව්වලට තේරුම් තියෙනවා. ලිංගිකව හැසිරීම සාමාන්‍යයෙන් සංස්කෘතික සීමාවලට එහා යන, විශ්වීය වශයෙන් තේරුමක්/ පැහැදිලි පණිවුඩයක් තියෙන දෙයක් වුනාට, අනික් අතට ලිංගිකත්වය තරම් සංස්කෘතීන් සමග බැඳී ඇති තව එකක් නැති තරම්.

නිරුවත, ලිංගික හැසිරීම පහසුවෙන් ඒවායේ මුල් සන්දර්භයෙන් වෙන් කර අලුත්ම සන්දර්භවලට ගෙනියන්න පුළුවන්. බොහෝ විට නූතන ලෝකයේ කාම ප්‍රකාශනයන් ගැන පවතින එක් ප්‍රබල විවේචනයක් වෙන්නේ ඒවායේ සන්දර්භයෙන් උදුරා සිදු කරන ඒවා වීමයි. විශේෂයෙන්ම මෙතැනදී වෙළෙඳපොල වෙනුවෙන්, කාම ප්‍රකාශන වීඩියෝවකට/ රූපයකට පෙනී සිටින සන්දර්භයත්, තමන්ගෙ ආදරවන්තයා වෙනුවෙන් හෝ තමන්ගේ ආදරයේ සිහිවටනයක් ලෙසින් කාම ප්‍රකාශන වීඩියෝවකට/ රූපයකට පෙනී සිටීම යන්න අතර අතිශයින් වෙනස්, පරස්පර විරෝධී අරුත් දෙකක් තිබෙනවා. එහි සිටින්නා ප්‍රේක්ෂකයා කවුරුන්දැයි නොදන්නා විට පණිවුඩයක් සම්පූර්ණ එකක් වෙනවා විතරක් නෙමෙයි, පණිවුඩය ලොකු ප්‍රචණ්ඩත්වයකටත් ලක් වෙනවා.

පණිවුඩයක් සම්පූර්ණ වීමට නම් එය නිකුත් කරන්නා එය නිකුත් කිරීමත්, එය ලබා ගන්නා පුද්ගලයා එය ලබා ගෙන ප්‍රතිචාර දැක්වීමත් ඒ දෙක අතර සිදු වෙන සංඥාමය ගනුදෙනුව වැදගත් වෙනවා. කැමැත්ත-ලබානොගත් කාම ප්‍රකාශනයක දී සිදු වෙන්නේ මොකක්ද? සරලව කැමැත්ත ගනුදෙනුවට අදාළ වෙන්නෙ නෑ. අනික් කෙනා පුද්ගලයෙක් ද, එයාට රිදෙනවාද, එයා වටේ ඉන්න අය මොනවා හිතනවාද වාගේ දේවල් අදාළ වෙන්නෙ නැහැ. එහෙම තත්වයක් තුළ දි, මුලින් බලාපොරොත්තු වූ පණිවුඩයට හාත්පසින්ම වෙනස් පණිවුඩයක් දීමට එය භාවිතා වෙනවා. ඉන්බොක්ස්වල, කොමෙන්ට්වල, මීම්ස්වල, කෙනෙකුගේ චරිතය ගැන, සදාචාරය ගැන, හෝ වල්කම, සෙක්සි බව ගැන කතා කරන වචන එක්ක පාවිච්චි කළ හැකිව තවත් රූපයක්, වීඩියෝවක් බවට ඒක පත්වෙනවා. ඒක වෙන විදියක භාණ්ඩයක් බවට පත් වෙන ගමන් සමහර විට අලුත් සන්දර්භ හොයා ගන්නවා. ඒ හොයා ගන්න අලුත් සන්දර්භ මොනවාද?

Kias on the road

              ඡායාරූපය ඇල්ෆ්‍රඩ් අයිසෙන්ස්ටඑඩ්ට්, ලයිෆ් පින්තූර එකතුව/ ගෙටි. මෙය 1945 අගෝ 14 දා ලයිෆ් සඟරාවේ පළවිය

අනික් ගැටළුව වෙන්නේ මේ අලුතෙන් සොයා ගන්නා සන්දර්භයන් ‘සත්‍යයේ’ නියෝජනයන් විදියට පෙනෙන්නට ගැනීමයි. ඡායාරූප සහ වීඩියෝ, හඬ පට, ස්ක්‍රීන් ෂොට් වගේ දේවල් ලීක් වෙන කොට, ඒවා යථාර්ථයට කිට්ටු යැයි සිතීමට, ඒවායේ ස්වභාවය නිසා සත්‍ය දේවල් විදියට පෙනීමට තියෙන ඉඩකඩ ඉතා වැඩියි. කටකතා, ඕපදූප, කැලෑපත්තර, සහ කවිකොළවල ආදිය ගත්තොත් ඒවායේ සත්‍යය ද්විතියකවයි. ඒවා නිර්මාණය වෙන්නේ දෙවැන්නකුගේ පරිකල්පනය හරහායි. එසේ වුවත් ඡායාරූපයකට හා වීඩියෝවකට සිද්ධියක් සිදු වෙන මොහොතේ රූපමය නිරූපණයක් බොහෝ දුරට එලෙසින්ම සංරක්ෂණය කිරීමේ අවස්ථාවක් හිමි වෙන නිසා එයට වැඩි පිළි ගැනීමක් ලැබෙනවා. ඒ නිසා වෙනත් මාධ්‍යවලට නොලැබෙන විදියේ ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍ය ගැන විශ්වාසයක්  ලැබෙනවා.   ඒවා සංස්කරණය කළ දේවල් වෙන්නට පුළුවන් කියන තර්කය, හෝ කිසියම් තාක්ෂණික මුලාවක් අඩංගුව විය හැකිය යන තර්කය හැම තිස්සේම තිබුනත්, කලින් තිබුනු සියලුම තාක්ෂණයන්ට වඩා වෙනස් විදියේ සත්‍යය ගැන විශ්වාසනීයත්වයක් මේ දේවල්වල තියෙනවා. ඒ නිසාම මේවාට නීතිමය වශයෙන්, හෝ වෙනත් ආකාරවලින් සාක්ෂි බවට පත්වීමටත් මේ නිසාම හැකියාවක් ලැබෙනවා. මේ තාක්ෂණයන් බොහෝවිට අපි මුලා කරන සුළුයි. සාමාන්‍යයෙන් ඡායාරූප සහ වීඩියෝ සත්‍යයේ නිරූපණයන් විදියට දැකීමක් සිදු වෙනවා. ඒවා පිටපතකට අනුව කළ ඒවාද? එඩිට් කළ ඒවාද?  ඇත්තටම ලීක් වුනාද? අහම්බයෙන් සිදු වූ දෙයක් ද? මේ රූපය ගන්නේ කවුද? ඇයි?  මේවාගේ ප්‍රශ්න බොහෝ දෙනා අසන්නේ නැහැ. ඒ කොටස බොහෝවිට කියන්නට වෙන්නේ එයින් පීඩාවට පත් වෙන පුද්ගලයාටයි.

ඡායාරූපවල, වීඩියෝවල කෙනෙකුගේ මුහුණ හඳුනා ගත හැකිද යන්න කාරණය ඊළගට බලපාන කාරණයයි. මුහුණ යනු අනන්‍යතාවය සහ මතකය ගැන ප්‍රධාන සලකුණක් වෙනවා (ද අල්විස්, 2009). නිරුවත් සිරුරක් සමග මුහුණ හඳුනා ගත හැකි නම්, එය ප්‍රතික්ෂේප කිරීම බලවත් සේ අපහසු වෙනවා. ඒත් තමාට කිට්ටුවෙන් සමාන මුහුණක් ඇති වෙනත් කෙනෙක් වීම, හෝ මුහුණ තාක්ෂණිකව බද්ධ කරනු ලැබීම වැනි සිදුවීම් සිදු වීමේ ඉඩකඩක් තිබුනත්, මුහුණක් පැහැදිලිව පෙනෙන කොට එය පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සමග මිශ්‍ර කිරිම වඩාත් පහසුවෙන් සිදු වෙනවා.

ස්මාට් දුරකථන ආවාට පස්සෙ රූප ගැනීමට, වීඩියෝ වීමට ලක් වුනාද නැත්ද කියන කාරණයත් තවදුරටත් සංකීර්ණ වෙනවා. අනෙක් කෙනා තමන්ව වීඩියෝ කරන බව පවා සමහර වෙලාවට අපිට තේරුම් යන්නෙ නැහැ. තමන්ගෙ ආදරවන්තයා/ හෝ තමන් එක්ක සෙක්ස් කරන කෙනා/ හෝ වෙනත් කිට්ටු සම්බන්ධයක් තියෙන කෙනෙක් නිතර පෝන් එක ඔබන්නෙ මොකද කියන එක සමහරවිට අපි හිතන්න යන්නෙ නැහැ. මේ යුගයේ දී තමන් ඉන්න පරිසරවල කවුරුන් ඡායාරූප ගන්නවාද වීඩියෝ කරනවා ද, සමහර විට සැඟවූ කැමරා තියෙනවාද කියන එක අපි කවුරුවත් දන්නෙ නෑ. කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතයට, ලිංගිකත්වයට සම්බන්ධ ඡායාරූපයක් තියෙනවා කියන්නෙ බොහෝ විට ආවුදයක්.

  1. ලීක් වීම ආවුදයක් ලෙස

Leak meme

රූපය- ලීක් එක තමන්ගේ සහ අනුන්ගේ වීම, ඡායාරූප උපුටා ගැනීම   #7UPThinkFresh​ වෙළෙඳ දැන්වීම

මෙය ලියන වෙලාවේ රූපවාහිනියේ යන එක්තරා බීම වෙළෙඳ දැන්වීමක, එක පෙම්යුවලක් වෙරළක් ළග ඉන්න ගමන් සෙල්ෆි ඡායාරූපයක් ගන්නවා, ඒ අය හඳුනන මාමා කෙනෙක් ඇවිත් ඒ අයගේ ඡායාරූපයක් ගන්නවා. එයා මේක ගන්නෙ මේ දෙන්නාට විරුද්ධව ආයුදයක් ලෙස භාවිතා කිරීමේ අරමුණකින්. මේ අතර හදිස්සියේ එතැනට දිව එන කාන්තාවක් ඒ මාමාගේ ඇඟේ වදිනවා. එතැනදී අර යුවලේ පෙම්වතා විසින් මාමාගේ ඡායාරූපයක් ගන්නවා. ඒ ඡායාරූපයේ පෙනෙන්නේ ඒ මාමා ඒ කාන්තාව වැළඳ ගෙන ඉන්නා බවයි. මාමා ඔවුන්ට තර්ජනයක් කරන අදහසින් ඔවුන්ගේ ඡායාරූපය පෙන්වද්දී, ඔවුන්ද තමන් ගත් ඡායාරූපය පෙන්වන්නේ ප්‍රතිඋත්තරයක් විදියටයි. මෙයින් මාමා නිරුත්තර වී ෂේප් වෙනවා. මේ දැන්වීමෙන් කාරණා දෙකක් මතු වෙනවා. දෙදෙනෙකු කිට්ටුවෙන් සිටින, එකිනෙකා අල්ලා ගෙන සිටින, වැළඳ ගෙන සිටින ඡායාරූපයක් ඒ අයට විරුද්ධව ප්‍රබල ආයුදයක් වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම සමහර ඡායාරූප සත්‍යය නියෝජනය නොකරන අවස්ථා තිබෙන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. නමුත් ඒ නිසාම ඡායාරූපයකට ඇති සත්‍යයේ බලය අඩු වෙන්නේ නැහැ.

ලිංගික හැසිරීමක් කියන්නෙ, මනුෂ්‍ය හැසිරීමක්. මිනිස්සු කනවා, බොනවා, ඇවිදිනවා, කතා කරනවා. මොකක්ද ඕකට ඔච්චර අප්සැට් ගන්න තියෙන්නෙ. නිරුවත? හැමෝටම නිරුවත තියෙනවානේ. ඕකෙ ඔච්චර හිතන්න තියෙන්නෙ මොකක්ද? හැබැයි ප්‍රායෝගික ජීවිතයේදි බොහෝ දෙනෙකුට එහෙම වෙන්නෙ නෑ.

කලින් අපි මතු කළා, ලිංගිකත්වය ගැන තිබෙන කතා නොකිරීම නිසා ලිංගිකත්වයට සංරක්ෂිත බලයක් ලැබෙනවා කියන කාරණය. වින්දිතයාත් ලිංගිකත්වය ගැන සාම්ප්‍රදායික පටු අදහස් සහිත කතිකාවතේ කොටසක් වෙන කොට මේ සංරක්ෂිත බලයෙන් ලැබෙන පීඩනය පිටතින් වගේම ඇතුළෙනුත් එන්න පුළුවන්. පිටතින් එන පාලනයට වඩා, ඇතුළතින් එන පාලනය සෑහෙන දරුණුයි.

උදාහරණයක් විදියට කාන්තාවකට (හෝ පුරුෂයකුට) තමන් වලත්ත නැති, සදාචාරවාදී, යහපත් පුද්ගලයෙක් බව පිටතට ඔප්පු කිරීමට වඩා අමාරුයි, ඔය වාගේ තත්වයක් ඇතුළත දි තමන්ගෙ ඇතුළතට ඔප්පු කරන එක. තමන් හොඳ කෙනෙක් නොවන බව ගොඩක් මිනිස්සු කියද්දී එන මානසික පීඩනයක් තියෙනවා. විශේෂයෙන්ම ගෑනු කෙනෙකුට ජීවිත කාලය පුරා ‘හොඳ ගෑනු ළමයෙක්’ ‘චරිතවත් ගැහැණියක්’ කියන ප්‍රතිරූපය හදලා තියෙන්නෙ ලිංගිකත්වය, ලිංගික ආශාව, සහ එයින් ඇතිවෙන ප්‍රතිරූපය පාලනය කිරීමේ පුහුණුවක්  එක්ක. ගැහැණියකට සාමාන්‍යයෙන් පරම්පරාවක/ පවුලක ගරුත්වය/සංස්කෘතිය ගෙනියන සංකේතමය නියෝජනයක් කරන්න සිදු වෙනවා. පවුලෙ (ගෞරවයෙ) දැලි ගාන්නෙ සාමාන්‍යයෙන් ගෑනු මිසක් පිරිමි නෙමෙයි. ඒ වුනත් අනික් අතට, සමලිංගික පිරිමියෙකුට මේ තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.  අනික් අතට විෂම ලිංගික පිරිමියෙක්ගෙ (සැමියාගෙ)  ලීක් එකක් ගැහැණියකගෙ අඩුපාඩුවක් විදියට අර්ථ දැක්විලා ඒක ගැහැණිය වින්දිතයා කරන්න ආපස්සට පාවිච්චි වෙන්න පුළුවන් බව මේ ලිපිය ලියද්දි දැන ගන්නට ලැබුනු එක සිද්ධියක දි පැහැදිලි වුනා.

බොරුව පවත්වා ගෙන යාම සඳහා උපන්දා සිට ලබා දී ඇති ගැහැණුකමේ (සහ පිරිමිකමේ පුහුණුව නිසා) සදාචාරවාදී ලිංගික කතිකාවතේ හැමතැනම තියෙන පරස්පර විරෝධතා බව, හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික තියෙන බව, පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තියෙන බව, පත්තිනි පිරිමින්ගෙ සළුවල ඊටත් වඩා මෝල් ගස් තියෙන බව, ඇතුළතින් විශාල පීඩනයක් එද්දි බොහෝ විට ද්විතියක කාරණයක් වෙන්න පුළුවන්.  මේ ඇතුළතින් එන පීඩනය නිසාම, බොහෝ වින්දිතයන් තමන්ට වරද පටවා ගන්නා නිසාම මේවා නීතියෙන් විසඳා ගත හැකි කාරණා ලෙස සිතා නීතිමය විදියේ සහනයන් ලබා ගැනීමට යොමු වීම අඩුවෙනවා. බාහිර පරිසරයත් එක්ක සටනක් ගෙනියන්නත් ඇඟේ හයියක් තියෙන්න ඕනනේ. මෙතැනදී බොහෝ වින්දිතයන් ඇඟ ඇතුළෙන්ම වැටෙනවා. ශාරීරිකව දුර්වල බවක් දැනීම, හැඬීම, තාර්කිත දේවල් අමතක වීම මේ වගේ දේවල් වින්දිතයන්ට සිද්ද වෙනවා.

ලීක් තුළින් වින්දිතයන්ගේ  ජීවිතවල විවිධ පැති පාලනය කිරීම දක්වා විහිදෙනවා. මෙම ලිපියේ දී අපි වින්දිතයන් සමග සෘජුව සම්මුඛ සාකච්ඡා නොකළත්, අපට පෙනෙන අයුරින්, සම්බන්ධතාවලින් පිටතට යන ගෑනුන්ගෙන් පසුව පළි ගැනීමට මෙන්ම, සම්බන්ධතාවයකින් එළියට යන්නට නොදී කාන්තාවන් රඳවා තබා ගැනීමට දරන වෑයම්වලටත් ලීක් භාවිතා වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම බොහෝ විට කෙනෙකු සමාජ මාධ්‍ය තුළ තමන් ඉදිරිපත් කරන ආකාරය සමාජයේ පවතින සම්මත සීමාවන්ට අදාළ නොවන බවක් පෙනෙන විට පොදු අවකාශවල තර්ජනයන් සිදු කිරීමටත් ලීක් කියන එක භාවිතා වෙනවා. “ඔයා වැඩිය නටන්න එපා. ඊළගට ලීක් වෙන්නෙ ඔයාගෙ” ඔය වාගේ කොමෙන්ටු අපි නිතර දකිනවා. රෝමෑන්තික සම්බන්ධතා ඇතුළෙ දන්නා අය වගේම, සම්බන්ධතාවයක් නැති පොදු අවකාශවල නොදන්නා පුද්ගලයෝ ද ගැහැණුන් (සහ ඇතැම් පිරිමින්) සිදු කරන ගැහැණුකමේ (සහ පිරිමිකමේ) ප්‍රකාශනය සම්මතයට සීමා කරන, විනය ගත කරන උපකරණයක් විදියට ලීක් යන්න භාවිතා කරනවා. ලිංගිකත්වය සහ ශරීරය එළියට එළි කිරීම හරහා එකී කාන්තාවට (හෝ ඇතැම්විට පිරිමියාට හෝ ගැහැණු-පිරිමි නොවන්නාට) ඒ සම්බන්ධතාවයෙන් පිටස්තර ලෝකයක් නිර්මාණය කරගැනීමට නොහැකි බවක්, හෝ කිසියම් සීමාවන් කැඩීම ගැන දඩුවමකට පාත්‍රවීමට සිදු වෙනවා.

බොහෝ අවස්ථාවලදී ලීක් කරනවා යැයි මුලින්ම පවසන්නේ සම්බන්ධතාවයක් ඇතුලේ. “කවදා හරි උඹ මේ සම්බන්ධෙ නවත්තන්න හැදුවොත් ලීක් කරනවා,  උඹට මේ ලෝකෙ මං ඇර වෙන කෙනෙක් එක්ක ඉන්න දෙන්නෙ නෑ , තමුසෙගෙ නම්බුව නැති කරල විනාස කරනවා”  වගේ වචන මුලින්ම සම්බන්ධතාවයක් ඇතුලෙදිම එළියට එනවා . ඒ වචන  ඇහුණු පමණින්ම ගැහැණියකට සම්බන්ධතාවයෙන් එලියට එන්නට සමහර විට අවශ්‍ය  වුණත් ඒ තර්ජනය හරහාම ඇය බොහෝවිට ඒ සම්බන්ධතාවය පීඩාවන් දරාගෙන රැඳෙන්නට තීරණය කරන අවස්ථා තිබිය හැකියි. මේ එන සමහර ලීක් එහෙම දරාගෙන ඉන්න බැරුව එලියට ආපු සම්බන්ධතාවලින් අනතුරුව ආපු ප්‍රතිඵල විය හැකියි. තමන්ගෙ පෞද්ගලික අඟපසඟ එලියට ආවහම කාන්තාවකට තවදුරටත් සමාජය ඇතුලේ ඔලුව කෙලින් තියාගෙන ජිවත් වෙන්න බෑ , කියන අදහසක් සමාජ මාධ්‍ය, සහ ප්‍රධාන මාධ්‍ය හරහා සහ පොදුවේ වෙනත් සමාජ අවකාශවලින්  ගැහැණුකම ගැන අධිපතිවාදී අදහසක් විදියට පැතිරී තිබෙනවා.

ලිංගිකත්වය මැජික් වුණ, ලීක් මහ දෙයක් වුණ වෙන සමාජයක් ඇතුලේ ගැහැනියකට (හෝ ඇතැම්විට පිරිමියාට හෝ ගැහැණු-පිරිමි නොවන්නාට) ඒ හා ගැටෙමින් කටයුතු කරන්නට නොහැකියාවක් නිර්මාණය වෙලා තියෙනවා. සිද්ධියක් උනහම කවි ලියලා පින්තූර දාන කතා කරන කතිකාව තව ටිකක් ඉදිරියට ගිහින් ගැහැණියකගේ ගරුත්වය ඇගේ පෞද්ගලිකත්වය නිරාවරණය වීම හරහා ‘ගෞරවය’ නැති වෙන්නේ නැති බව සමාජය විසින්ම තීරණය කරන කිසියම් දවසක දි,  මේ ප්‍රශ්න වලින් බොහෝ ප්‍රමාණයක් අවම කරගැනීමට හැකියාවක් ඇති බව අපි විශ්වාස කරනවා.

  1. වින්දිතයන් මුහුණ දෙන මානසික ගැටළු

ලීක් එකකින් වෙන්නෙ තමන්ගේ අභිමානයට කැලලක් බවට බොහෝ විට පොදු තේරුම් ගැනීමක් තියෙනවා, බොහෝ දෙනා ලීක්වලට මුහුණ දීමේ දී  පෞරුෂ බිඳ වැටීම්වලට , සමාජ අපවාදය හරහා සිදුවන සමාජ බිය වගේ දේවල් වලට මුහුණ දෙනවා (ෆ්‍රැන්ක්ලීන් 2014). බොහෝ වින්දිතයන් තමන්ටම ඒ ගැන බැන ගන්නවා (මැකින්ලේ ටී සහ ලැවිස් ටී, 2020). තවදුරටත් ඇතැම් අය මේ නිසා බරපතල මානසික සෞඛ්‍ය තත්වයන්ගේ පිරිහීම්වලට ලක් වෙන්න පුළුවන්. මේ අතරට විශ්වාසය සම්බන්ධ ගැටළු, පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD), කාන්සාව, විෂාදය, සියදිවි නසා ගැනීමේ සිතුවිලි සහ වෙනත් මානසික බලපෑම්වලට ලක් වෙනවා (බේට්ස්, එස්. 2016).  මේ තත්වය තුළ ලීක් එකකින් වින්දිතයාට විය හැකි මානසික බලපෑම හුදෙක් මානසික බලෑමක් නොවෙයි. එහි දැනුවත් සහ නොදැනුවත් ශාරීරික බලපෑම් ද තියෙනවා. ශරීරයේ දුර්වල බව දැනීම, වෙව්ලීම, කෑම අරුචිය, නින්ද නොයෑම, හුරුපුරුදු වැඩකටයුතු කර ගෙන යාමට නොහැකි වීම වගේ විවිධ ආකාරවලින් විවිධ ගැටළුකාරී තත්වයන් ශාරීරිකවත් බලපාන්න හැකියි (සිල්වා ඒ ආදී අය, 2018).

මේ ලිපිය ලියද්දි අපි ලීක්වලට ඉලක්ක වූ ගැහැණු වින්දිතයන් එම සිදුවීමෙන් පසුව සිදු කළ ඒ ගැන පැහැදිලි කරමින් සිදු කළ වීඩියෝ දෙකක් අපි බැලුවා. ඒ දෙකේදීම ඔවුන්ගේ මානසික පීඩනය පිළිඹිඹු වුනා. බොහෝ විට හැඬීම සහ කදුළු, මුහුණේ ඇති දුක්බරබව, තමන් සදාචාර සම්පන්න විදියට හැසිරුණු කාන්තාවක් බව පැහැදිලි කිරීමට උත්සාහ දැරීම බොහෝ අවස්ථාවල දි දකින්නට ලැබුනා. ලීක් එකක් කර ගන්නේ වල් ගෑනියක් කියන අදහස තියෙනවා. ලීක් කිරීමට සම්බන්ධ වැරදිකරුවන් පවා බොහෝ විට පෙනී සිටින්නේ සදාචාරයේ ආරක්ෂකයන් ලෙස බව තවමත් යූ ටියුබ් වෙත තිබෙන, තමන් ලීක් කිරීම සිදු කළ බව පිළිගන්නා ප්‍රසිද්ධ ප්‍රකාශ කළ වීඩියෝවල දී පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම මේ මානසික පසුබෑම් වලට ප්රමුඛ ලෙස හේතුවෙන්නේ සමාජය හරහා ගොඩ නංවා ඇති අදහස් හරහා වින්දිතයන් තමන්වම වරදකාරී බවට පත්කරවා ගැනීම යි. විශේෂයෙන්ම ගැහැණුන්ගේ විවාහයෙන් පිට ලිංගික හැසිරීම නිරූපණය වෙන්නේ නරක හැසිරීමක් විදියටයි. සමාජයේ හැම කෙනෙක්ම වගේම මේ ලීක්වල වින්දිතයන් හැදෙන්නේ වැඩෙන්නේත් මේ ස්ත්‍රී විරෝධී, ලිංගික විරෝධී අදහස් ඇති සමාජයේමයි. ලිංගිකව හැසිරීම කාන්තාවකට තරම් නොවන දෙයක් ලෙස අරුත්ගන්නවලා තියෙන වටපිටාවක වින්දිත කාන්තාවන් තමන් ලිංගික වශයෙන් සක්රීය වීම පිළිබඳව තමන්ටම සාප කර ගැනීමේ ප්‍රවනතාවයක් තිබිය හැකියි.

“මගේ පොටෝ එක ලීක් උනේ මම සෙක්ස් කරපු නිසා,  මගේ පින්තූර ලීක් උනේ මම ඒවා යැව්ව නිසා, මම සෙක්ස් කරේ මම පිරිමියෙක්  එක්ක සම්බන්ධතාවයක් පටන් ගත්තු නිසා” මේ වගේ සිද්ධියකට මුහුණ දුන් එක් වින්දිතයෙක් තමන් ඒ සිද්ධියට මුහුණ දුන් වෙලාවේ එහෙම හිතූ බව අප සමග කීවා. තමන් ලිංගිකව සක්රීය වීම හැමදේටම වැරැද්දක් වගේ අදහසක් ලිංගිකත්වය ගැන මර්දනශීලී කතිකාවන් ඇතුළේ ජීවත් වෙන, එවැනි කතිකාවන් තුළ සමාජානුයෝජනය වූ වින්දිතයකුට ඉතා පහසුවෙන් හිතෙන්න පුළුවන්. පවුල, අධ්‍යාපනය ක්‍රමය, සහ සමාජීය වටිනාකම් මත මෙවැනි අදහස් කුහක ලෙසින් ඔබ්බවන සමාජ ක්‍රමයක් තුළ අපි සිටිනවා. එවැනි තත්වයක් තුළ ලීක් වීම පිළිබඳ සම්පූර්ණ භාරය තමන් මත පටවාගන්න පටන්ගන්න කෙනෙක් හිතන්න පුළුවන්. ස්වයං චූදිතභාවයක් තමන් වටා ගොඩ නංවා ගනිමින් මේ තත්වයට සැබැවින්ව වැරදීකාරයා වන ලීක් කරපු කෙනා හෝ ඒක තලුමරමින් රස කරන සමාජය සාධාරණීකරනය කරන්න වින්දිතයාම පෙළඹෙන අවස්ථා තිබෙනවා. මෙය අපි බැලූ වීඩියෝවල කෙළින්ම පැහැදිලි නොවුනත්, වින්දිතයන් බොහෝ විට තමන් චරිතවත් කෙනෙකු විදියට පෙන්නුම් කිරීමට, ඒ නිසා තමන්ට මෙසේ කිරීම සුදුසු නොවන බව කීමට උත්සාහ දැරීම නිසා පෙනුනේ ඔවුන්ද මේ සදාචාරවාදී කතිකාවත ප්‍රශ්න කිරීමට නොයන බවයි.

“මං දන්නවා මට පොලීසි යන්න පුළුවන් කියලා. ඒත් මට යන්න හයියක් නෑ. කවුරුවත් මට උදව් කරන්න කෙනෙක් නෑ”

එක් වින්දිතයෙක් වීඩියෝවක මෙහෙම අඬ අඬ කියනවා. ෆ්‍රෑන්ක්ලීන් (2014) මතු කරන පරිදි පෙන්නුම් කරන්නේ බොහෝ විට පලිගැනීම් කාමප්‍රකාශනවල වින්දිතයන්ට පවුලේ සහ දන්නා අයගේ උදව් ඉල්ලීම පවා අපහසු කාරණයක් වෙන බවයි. විශේෂයෙන්ම ඔවුන් තමන්ටම වරද පටවා ගන්නා තත්වයක් තුළ නීතියට ළගා වීම අතිශයින් දුෂ්කර එකක් වෙනවා. මෙවැනි සිද්ධියක දී පවුලේ අය, මිතුරන් ආදිය තමන් විශ්වාස කටයුතු පුද්ගලයන් තමන් සමග එක්ව මෙම ගැටළුවට මුහුණ දීමට එකතු වනවානම් බොහෝ අවස්ථාවන්හිදී වින්දිතයන් නැවත වින්දිතභාවයට පත්වීම අවම කරගත හැකි වෙනවා. නමුත් සමහරුන්ට සමීපතමයකුට මෙය කියා ගැනීමත් අපහසු කාරණායක්. කිව්වොත් ඒ අයත් අපිටම බනීවිද?  මේ ප්‍රශ්නය බොහෝ දෙනෙකුට තියෙනවා.

ලංකාවේ පොදුවේ ආයතනයකින් යොමු කළොත් ඇරෙන්න, උපදේශනය කියන්නේ බොහෝ මානසික හෝ වෙනත් ගැටළු තියෙන අය යොමු වන්නට වැඩි උනන්දුවක් නොදක්වන සේවාවක්. අනික් අතට පවතින උපදේශන සේවාවල ගුණාත්මකභාවයේත් අඩුපාඩු ගණනාවක් තියෙනවා. කොයිතරම් වින්දිතයන් ප්‍රමාණයක් මෙවැනි සිද්ධිවල දී උපදේශන සේවාවලට යොමු වෙනවාද කියන එක ගැන ප්‍රකාශ කරන්න තරම් දත්ත නැති වුනත්, අපි සොයා බැලූ සිද්ධි කිහිපයේ දී පැහැදිලි වුනේ එවැනි සේවාවලට යොමුවීමක් සිදු නොවුනු බවයි. අනික වින්දිතයන් තමන්ට බැන ගැනීමේ තත්වය  විසින් තවදුරටත් මෙම සේවාවලට යොමු වීම සීමා කරනවා.  අපිට අදහස් කී එක් වින්දිතයෙක් කීවේ තමන් මේ සිද්ධිය වූ පසු වහාම ගියේ ආගමික ස්ථානයකට බවයි. ඇය ආගම ගැන ලොකුවට විශ්වාස කරන කෙනෙක් නොවුනත්, ආගමික ස්ථානයකට යන එකේ කිසියම් මානසික නිදහසක් ලැබිලා තිබුනා. හැබැයි මේ සහනයත් විවිධ ආකාරයෙන් සීමා විය හැකියි. විශේෂයෙන්ම තමන් කළේ ‘පාපයක්’ කියන අදහසත් එක්ක, තමන්ට මේ ලැබී ඇත්තේ ‘දඩුවමක්’ ය යන අදහස වින්දිතයන්ට ඇති වීමට ලොකු ඉඩකඩක් තියෙනවා.

සත්‍ය අසත්‍යතාවය අපට තහවුරු කළ නොහැකි වුනත්, පිරිමි සමාජභාව අනන්‍යතාවයක් ඇති කෙනෙකු ලීක් කිරීමක් සම්බන්ධයෙන් එය සිදු කළ පුද්ගලයාට තව කෙනෙකු යොදා ගනිමින් එය අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස තර්ජනයක් සිදු කරන අවස්ථාවක් ද අපි දුටුවා. ගැහැණියක් සහ පිරිමියෙක් තමන්ගේ වින්දිතභාවය සමග ගනුදෙනු විදියේ සුවිශේෂී වෙනස්කම් තියෙන බවට මෙයින් ඉඟි කරනවා. හැබැයි මේ දෙපිරිසම නීතියෙන් යුක්තිය ඉෂ්ට වීම ගැන එතරම් විශ්වාසයක් නොතබන්නේ ද යන ගැටළුවත් මතු වෙනවා.

පෙර සඳහන් කළ පරිදිම මුහුණ දෙන අධික මානසික පීඩනයත්, තමන්ටම බැන ගැනීමේ තත්වයත් තුළ යුක්තිය ප්‍රතික්ෂේප වීම සිදු වෙනවා. වෙනත් පර්යේෂණවලින් ද මතු වී ඇති පරිදි ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා අයිතිවාසිකම් වැනි කාරණා ගැන පොලිසිය සහ යුක්තිය ඉටු කරන ආයතනවලින් සැලකිය යුතු සංවේදිභාවයක් දක්වා නැහැ (නිකොල්ස් ඒ, 2010). ඒ අයද බොහෝ විට සමාජයේ ජනප්‍රිය පවුල නම් ආයතනය ආරක්ෂා කර ගැනීමේ වැනි සදාචාරවාදී කතිකාව තුළ සිට මේ ප්‍රශ්නය දෙස බලනවා. (කොලොම්බිනි එම්. යනාදි අය, 2018.). ලංකාවේ නීතියම පදනම් වෙන යටත් විජිත අදහස් පද්ධතියත් එක්ක සලකන කල මෙවැනි සිද්ධිවල දී යුක්තියට ප්‍රවේශ වීම තවදුරටත් දුෂ්කර වෙනවා (චන්දිමාල්, 2020). පලි ගැනීමේ කාම ප්‍රකාශන ගැන නීති සම්පාදනය ගැන වර්තමානයේ කිසියම් සාකච්ඡාවක් සිදු වෙනවා (පෙබ 5, 2021. ඩේලි මිරර්).

කෙසේ වුවත් පලිගැනීමේ කාම ප්‍රකාශන සහ ලීක් සම්බන්ධ නීති සම්පාදනයේ දී වින්දිතයන් මධ්‍ය කර ගත් ක්‍රමවේදයක් තිබීමේ වැදගත්කමත්, නීති සේම, වින්දිතයන්ට සහාය ලබා දීමේ ක්‍රමවේදයන් නීති සම්පාදනය ක්‍රියාවලිය සමග මුසු කිරීමේ වැදගත්කමත් අපි මෙහි දී මතු කරනවා.    සයිබර් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන නීතිය සහ වින්දිතයන් මූලික කරගත් ප්‍රවේශයක් ගැනීමේ වැදගත්කම ගැන යෙහෙළිය පදනමේ රත්නායක සහ මුතුකුමාරණ විසින් මෑත දී විස්තරාත්මක ලිපියක් පළ කර තිබුනා (බකමූණෝ, පෙබ 23, 2021). ඔවුන් මතු කරන පරිදි සයිබර්-ප්‍රචණ්ඩත්වය ගැන වාර්තා කිරීම් සිද්ධි සිදුවන ප්‍රමාණයට වඩා අතිශයින් අඩුවෙන් සිදු වෙන අතර, තමන්ට පලි ගැනීම්වලට ලක් වීමට හේතු වේ යැයි ඇති බය සිතා මේ ගැන පැමිණිලි කිරීමට වින්දිතයන් පැකිළෙනවා. වින්දිතයා සහ චූදිත වැරදිකරුවා අතර ඇති ආර්ථික සහ බල සම්බන්ධය මෙතැනදී සැලකිල්ලට ගත යුතු බවත්, වැරැදිකරුවන් විසින් තමන්ගේ දේශපාලනික හා වෙනත් සම්බන්ධකම් භාවිතා කරමින් යුක්ති ක්‍රියාදාමයට බලපෑම් කිරීමට උත්සාහ කිරීම සාමාන්‍ය තත්වයක් බවත් ඔවුන් තවදුරටත් සඳහන් කරනවා. පැමිණිලි නොකිරීම වින්දිතයාගේ මානසික තත්වයට සීමා කළ නොහැකි බව නැවතත් අවධාරණය කරන අපි, රත්නායක හා මුතුකුමාරණ විසින් දක්වා ඇති පරිදි අනෙකුත් අය විසින් වින්දිතයාට බැන වැදීම (victim-blaming), සහ වින්දිතයා තමන්ට බැන ගැනීමේ ස්වයං-චූදිතභාවය (self-blaming) මෙන්ම, නීතිඥ සහාය ලබා ගැනීමේ තිබිය හැකි ප්‍රායෝගික සහ ආර්ථික දුෂ්කරතා සහ පවතින නීතියේ සහ යුක්ති ක්‍රියාදාමයේ ඇති අඩුපාඩු වැනි ව්‍යුහාත්මක හේතු මත ද තවදුරටත් යුක්තිය වින්දිතයාගෙන් දුරස් කිරීම සිදු වන බව මතු කරනවා.

  1. අවසානය

අපි මේ ලිපි දෙකේදීම කතා කළේ ලීක් වීම නම් නමින් සමාජ මාධ්‍ය තුළ හැඳින්වෙන සංසිද්ධිය පිළිබඳවයි. මෙය ලෝක තත්වය තුළ රිවෙන්ජ් පෝන් නැතහොත් පලි ගැනීමේ කාමප්‍රකාශන යන්න තුළ හඳුනා ගත හැකි වුවත්, ඇතැම් අවස්ථාවල දී එයින් වෙනස් වන බව අපි තර්ක කළා.   නිරුවත්භාවය, ලිංගිකත්වය සහ වෙනත් පෞද්ගලික තොරතුරු අනවසරයෙන් බෙදා හැරීම ලීක් කිරීම යැයි අපි හැඳින්වූවා. ඒ වාගේම ලීක් කිරීම කියන වචනය සමාජ මාධ්‍ය තුළ බිහි වූවක් වෙන අතර, ඒකට ඒ නිසාම සුවිශේෂී තේරුම් වගේම සීමාවනුත් තියෙන බවත් අපි හඳුනා ගත්තා. ලීක් කිරීම චක්‍රයක් ආකාරයට සිදු වෙන බවත්, එහි විවිධ පියවර තිබෙන බවත් අපි තවදුරටත් හඳුනා ගත්තා. මේ පියවර සහිත චක්‍රය තුළින් ලීක් සම්බන්ධ පරිභෝජන ආර්ථිකයක් නියෝජනය වෙන බව මේ ලිපියේ අපගේ ප්‍රධාන තර්කය වූවා. එයින් නියෝජනය වෙන ප්‍රචණ්ඩත්වයත් එහි ස්වරූප ගැනත් අපි තවදුරටත් මේ ලිපිය තුළ ගවේෂණය කළා.

ඩිජිටල් රූප සහ වීඩියෝ මේ යුගයේ බොහෝ අය වෙනස් සන්දර්භයන් සඳහා තමන්ගේ පෞද්ගලික වූ අත්දැකීම් ඡායාරූප හෝ වීඩියෝ සටහන් කර ගන්නවා. මේවා ලීක් එකක් තුළ දී සම්පූර්ණයෙන්ම වෙනස් සන්දර්භයන්ට ගෙන යන බවත්, එසේ ගෙන යාම තුළ දී පණිවුඩය සම්පූර්ණයෙන්ම විකෘති වීමක් සිදු විය හැකි බවත්, එයින් නියෝජනය වෙන බරපතල ප්‍රචණ්ඩත්වයක් තිබෙන බවත් අපි මතු කළා. එසේම ඡායාරූප සහ වීඩියෝවලට අනන්‍ය වූ ලක්ෂණ තිබෙන බවත්, ඒවාට ‘සත්‍යයේ’ නියෝජනයන් ලෙස පෙනී සිටීමට වැඩි හැකියාවක් තියෙන බවත්, ඒ කාරණය වින්දිතයන්ට විවිධ අයුරින් බලපෑ හැකි බවත් අපි සාකච්ඡා කළා.  එසේම ඡායාරූප/වීඩියෝ ආවුද ලෙස භාවිතා වීමේ දී මේ ‘සත්‍යයේ’ නියෝජනයේ බලපෑම් තිබෙන බවත්, ‘සත්‍යය’ හුදෙක් පවතින සත්‍යයකට වඩා එය සාපේක්ෂ කාරණයක් බවත්, එය විවිධ කාරණා මත එසේ නොවිය හැකි බවත් අපි මතු කළා. නමුත් වින්දිතයාට එරෙහිව ලීක් යන්න ආවුදයක් ලෙස භාවිතා වෙන බවත්, එසේ භාවිතා වීමට බලයක් ලැබී ඇත්තේ ලිංගිකත්වය ගැන විවෘතව කතා නොකිරීමෙන්, හදන මර්දනකාරී ලිංගික කතිකාව විසින් සංරක්ෂණය කරන බලය නිසා බවත් අපි තවදුරටත් කතා කළා. ඊළගට අපි කතා කළේ‍ වින්දිතයන් මුහුණ දෙන මානසික පීඩනයත්, තමන්ටම වරද පටවා ගෙන සාදා ගන්නා ස්වයං-වින්දිතභාවය සහ එහි එළවිපාක ගැනයි. එම තත්වයේ විවිධ සමාජ-දේශපාලනික, කතිකාමය විවිධ ප්‍රතිවිපාක තිබෙන අතරම, එම තත්වය වින්දිතයන්ට යුක්තිය ප්‍රතික්ෂේප වීමට බල පෑ හැකි බවත් අපි කතා කළා.

ලීක් වීම නම් සංසිද්ධිය සහ එයට බලපාන පුළුල් සන්දර්භය දෙස සමස්තයක් විදියට බැලූ විට පෙනෙන්නේ, ලීක්වීම නිර්මාණය වෙන්නේ ලිංගිකත්වය ගැන ඇති මර්දනශීලි නමුත් අනික් අතට එයට වෙන්වූ, එළියට නොඑන ඉන්බොක්ස් වැනි අවකාශයන් තුළ පුපුරා ප්‍රවර්ධනය වී ඇති  ලිංගිකත්වය ගැන ඇති පොදු සමාජ කතිකාව ඇතුළේ බවයි. එසේම එහි පවතින විවිධ සීමාවන් විසින් ලීක් චක්‍රය සම්බන්ධ වින්දිතභාවයේ ගතිකයන් විවිධ ලෙසින් තීරණය කරනවා. එසේම ස්ත්‍රියගේ ලිංගිකත්වය පාලනය කිරීමේ උපකරණයක් විදියට ලිංගිකත්වය සහ ශරීරයේ ප්‍රකාශනයට අදාළ අනෙක් බොහෝ දේ මෙන්ම, ලීක් වීම ද යොදා ගන්නා බව අපි දුටුවා.  අවසාන වශයෙන් අපි මතු කරන්නේ වින්දිතයා ද සිටින්නේ මෙම ලිංගිකත්වය ගැන සමාජ කතිකාව ඇතුළේ බවත්, ඒ නිසා බොහෝ විට වින්දිතභාවය නිර්මාණය වෙන්නේ ද මේ කතිකාවතේ කොටසක් හැටියට වෙන බවයි. වින්දිතයා වින්දිතයා වීම නිසාම මෙම කතිකාවතෙන් පිටතට යන්නෙ නැහැ. වැරදිකරුවා මෙන්ම වින්දිතයා ද ඇතැම් අවස්ථාවලදි එකම සදාචාරවාදී කතිකාවතක් ආරක්ෂා කරනවා. මෙයට වින්දිතයන්ට සහාය ලබා දීමේ ක්‍රමවේද හා යාන්ත්‍රණවල නොපැවැතීම සහ තියෙන ඒවායේ අඩුපාඩු මෙන්ම, එකී තත්වයන් නිර්මාණය කරන පුළුල් කතිකාවත් බලපානවා. අනික් අතට මේ ලීක් වීමේ සංසිද්ධිය හරහා ලීක් වෙන්නේ අපේ සමාජයේම තිබෙන අවුල් වියවුල් බව අපි මෙහිදී තවදුරටත් මතු කරනවා. වින්දිතයාගේ ස්වයං-වින්දිතභාවය ඇතුළුව ලීක් චක්‍රයේ සියලු පියවරයන් අපි දකින්නේ එහි කොටසක් විදියටයි.

ලිව්වේ: දමිත් චන්දිමාල් සහ දිනි ප්‍රනාන්දු

 

ආශ්‍රිත මූලාශ්‍ර

Silva, A., Pinheiro, R., Lima, S., Madureira,A., Sena, J., & da Silva, M. (2018). Psychological Applications and Trends in C. Pracana, & M. Wang (Eds.), Revenge Porn as a Risk factor to the Psychological health of the victims (pp.452-454)  Lisboa, InScience Press.

Barthes, R., (1977). Image-music-text. Macmillan.

චන්දිමාල්, දමිත්. (2020).  සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? සැබෑ ප්‍රශ්ණය සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය කුමක්ද යන්නයි! (1 කොටස). ලංකානිවුස්වෙබ්. පළවුනේ 2020 නොවැ 20.

Colombini, M., Mayhew, S. H., Lund, R., Singh, N., Swahnberg, K., Infanti, J., Schei B., & Wijewardene, K. (2018). Factors shaping political priorities for violence against women-mitigation policies in Sri Lanka. BMC Int Health Human Rights 18 (22). https://doi.org/10.1186/s12914-018-0161-7

De Alwis, Malathi. (2009). ‘Disappearance’and ‘displacement’in Sri Lanka . Journal of Refugee Studies, 22(3), 378-391.

Franklin, Z. (2014). Justice for revenge porn victims: Legal theories to overcome claims of civil immunity by operators of revenge porn websites. California Law Review,102, 1303.

Foucault, Michel. (1976/1990). The history of sexuality: An introduction, volume I. Trans. Robert Hurley. New York: Vintage 95.

කොඩිතුවක්කු, පරාක්‍රම .(2019). සකල සිරින් පිරි කවි කොලේ: සුළු ජනතාවගේ මහා සන්නිවේදනය. සරසවි ප්‍රකාශකයෝ.

Nichols, A. (2010). Dance ponnaya, dance! police abuses against transgender sex workers in Sri Lanka. Feminist Criminology, 5(2), 195-222.

Ratnayake C, & Mutucumarana T. (2021). Countering Cyber-Violence In Sri Lanka – A Victim Centric Approach: part 1. Bakmoono

S Bates.(2017). Revenge porn and mental health: A qualitative analysis of the mental health effects of revenge porn on female survivors. Feminist Criminology. Sage Publications.

T Mckinlay, & T Lavis. (2020). Why did she send it in the first place? Victim blame in the context of ‘revenge porn’. Psychiatry, Psychology and Law. Routledge. https://doi.org/10.1080/13218719.2020.1734977

Social Share: