2021 මැයි 27
පබා දේශප්‍රිය විසිනි
“මගේ දුවගේ පින්තූර වගයක් තියෙනවා කියලා පිරිමි ළමයෙක් මට කෝල් කරලා කිව්වා. ඒවා පිට වෙන එක නවත්තන්න ඕනේ නම් රුපියල් පනස්දාහක් ගෙවන්න කියනවා. මේ හදිස්සියට එච්චර සල්ලි හොයා ගන්න බෑ. සතියක් විතර කල් ඉල්ලගන්න මොනාද මිස් කරන්න ඕනේ ” රාත්‍රී 11ට පමණ ලැබුණු දුරකතන ඇමතුමක එහා පස සිටියේ කලබලයට පත් වූ මවකි. “මේ පින්තූර පිටට ගියොත් මගේ රස්සාවත් ඉවරයි” ඇය හඬාවැටෙමින් පැවසුවේ තමන් ගුරුවරියක බවයි.
ආදර සම්බන්ධතාවලදී නිරුවත් ඡායාරූප හෝ ශරීරයේ ලිංගික කොටස් දැක්වෙන ඡායාරූප සමීප සහකරුවන් සමග හුවමාරු කර ගැනීම සුලබ සිදුවීමකි. මෙම ලිපියෙන් අදහස් කෙරෙන්නේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම නොවේ. සයිබර් හිංසනය ගැන වැඩිදුර කියවීමට අවශ්‍ය නම් මේ දිගුවට පිවිසෙන්න –
ස්ත්‍රීන් සහ ගැහැණු ළමුන් බැට කන සයිබර් හිංසනය වළකමු!
මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ නිරුවතට අමුණා ඇති ලැජ්ජාව හා ඉන් හැඟවෙන ලිංගික තෘප්තිය සදහා වූ සීමාවන් පිළිබද සාකච්ඡා කිරීමයි.
ප්රකාශනයේ නිදහසට සීමාවක්
ඉහත සදහන් කළ මවගේ එකම අරමුණ වූයේ ඇගේ දියණියගේ නිරුවත් ඡායාරූප පිටට යෑම වැළැක්වීමය. සරල බසින් ‘ලීක්’ වීම යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. “මේ ළමයා බලන්නකෝ මිස්, මේ වගේ ජරා වැඩක් කරයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑනේ” – ඇය පැවසුවේ අති විශාල කළකිරීමකිනි. ගැහැනු ළමයකු ලිංගිකත්වය අත්දැකීම ‘ජරා වැඩක්’ වන්නේ ඇයි? ස්ත්‍රියක්, ලිංගික අත්දැකීම් නොලබා, විවාහ වන තෙක් සිය ‘පවිත්‍රතාවය’ ආරක්ෂා කරගෙන සිටිනු ඇතැයි යන්න පුරුෂ මූලික සමාජය ස්ත්‍රියගෙන් බලාපොරොත්තු වන මූලික වටිනාකමයි. මේ ගොඩනැංවීම තුළ විවාහ වීමෙන් පසුව දරුවන් ලැබීම සඳහා ඇයට සිය සැමියා සමග ලිංගිකව හැසිරීමට ඉඩ ඇත. නිරුවත් ඡායාරූපයක් යන්නෙන් හැඟෙන්නේ ලිංගික අත්දැකීමකි. ඒ තුළ ලිංගික තෘප්තියක්ද තිබෙන්නට හැකිය. ඉතින්, නිරුවත් ඡායාරූපය ඇගේ ‘චරිතයට’ කළු පැල්ලමකි.
මේ ගොඩනැංවීම තුළ ස්ත්රීන්ට සිය ලිංගිකත්වය ප්‍රකාශ කිරීමට සීමා පැනෙවනවා පමණක් නොව එමගින් ඇයව හිංසනයට, අපයෝජනයට හා සූරාකෑමට මග පාදයි. උදාහරණයක් ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2017 වසරේදී ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාවෙන් 70%ක්ම ආදර සම්බන්ධතාවක් බිඳ වැටීමෙන් පසු ඡායාරූප, වීඩියෝ සහ චැට් තොරතරු සමාජමාධ්‍ය හරහා බෙදා හැරීම හා සම්බන්ධ ඒවා බව ඩේලි නිවුස් ඉංග්‍රීසි පුවත් පත වාර්තා කර තිබුණි.
නිරුවත හෙළි කරන බවට තර්ජනය කළ හැක්කේ, ඒ හා ඈදුණු ලැජ්ජාව නිසාය. ස්ත්‍රී ලිංගිකත්වය සාමාන්‍ය, ස්වභාවික ජීවන අත්දැකීමක් ලෙස පමණක් සලකනවා නම් හිංසනයට ඇති ඉඩ අවම කළ හැකිය. නමුත් අපේ සමාජයේ මෙවැනි හිංසනයක වින්දිතයන්ද සැලකෙන්නේ ‘නරක චරිතයක්’ ඇති ස්ත්‍රීන් ලෙසය. “ඇයි මේ පින්තූර ගත්තේ?” යන්න පොලිසිය වෙත යොමු කරන වින්දිතයන් මුහුණ දෙන ප්‍රධානම පැනයකි. “ගත්තේ ඉතිං මට ඕනේ හින්දා, මගේ ඇඟේ පින්තූරයක් ගන්න කාගෙන්වත් අහන්න ඕනේ යැ. අනේ මට නං බෑ අයෙත් පොලීසියට යන්න.” එක් තරුණියක් ඉතා කේන්තියෙන් දුරකථනයෙන් කතා කළාය. නිරුවත හා ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ ‘එය නරක දෙයක්ය – එය අත්විඳින ගැහැනු නරක චරිත ඇත්තෝය’ යන පිළිගැනීම නිසා යුක්තිය සඳහා ඇති ප්‍රවේශය ස්ත්රීන්ට ඇහිරී යයි. පොදු අවකාශය තුළ ලිංගිකත්වය සම්බන්ධ ප්රකාශනයේ නිදහසද අහිමි වී යයි.
තෘප්තියේ වාසි රැසක්
සමාජභාවී සමානාත්මතාව පමණක් නොව සමස්ත මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම කෙරෙහි ලිංගික තෘප්තිය සම්බන්ධ වේ. උදාහරණයක් ලෙස ස්වයං වින්දනය දෙස බලමු. ස්වයං වින්දනය ස්ත්රීන්ට අදාළ කර සාකච්ඡා නොකළද, එය ස්ත්රීන්ගේ ජීවිතයේ ස්වභාවික, සාමාන්‍ය කොටසකි.
“සැබවින්ම ස්වයං වින්දනය, චිත්තවේගී සහ ශාරීරික යන දෙආකාරයෙන්ම සෞඛ්‍යමත් හැසිරීමකි. එමෙන්ම, එය ඔබට සිදු කළ හැකි ආරක්ෂිතම ලිංගික හැසිරීමයි. මන්ද, ස්වයං වින්දනයේදී ගැබ් ගැනීම හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පිළිබද කිසිම අවදානමක් නැති නිසාය.
ඔබ සුරතාන්තයට පත් වන විට, ඔබට සතුටක් දනවන එන්ඩෝෆින් නැමති හෝමෝන ස්නායු පද්ධතිය මගින් මුදා හැරේ. ස්වයං වින්දනයේදීද ඔබට සුරතාන්තයට පත් වී සතුටු හැඟීම කරා ළඟා විය හැකියි.
ස්වයං වින්දනයේ වාසි රැසක් ඇති බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. ලිංගික ආතතිය දුරු කිරීම, මානසික පීඩනය අවම කිරීම, සුව නින්දක් සඳහා මග පෑදීම, ආත්ම අභිමානය සහ ශරීරය පිළිබද විශ්වාසයක් ගොඩනැගීම මෙන්ම උකුලේ සහ ගුදය ආශ්රිත මාංශ පේෂීන් ශක්තිමක් කිරීම ඒ අතර වේ.” Planned Parenthood
ස්ත්‍රීන් සුරතාන්තයට පත් වීමේදී උකුළ ප්‍රදේශයේ ඇති මාංශ පේෂීන් සංකේචනය වන නිසා ඒවායේ ශක්තිමක්භාවය ඉහළ යයි. ඒ මගින් ස්ත්රීන්ට ඉබේ මුත්‍රා පිට වීම වළක්වා ගැනීමට හැකි වන බවත් මුත්‍රාශය හොදින් පාලනය කළ හැකි බවත් මානව සෞඛ්‍ය සහ යහපැවැත්මට අදාළ ප්රවෘත්ති සහ තොරතුරු ඇතුළත් webmd.com වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ඔසප් කාලය තුළ ලිංගික ඇසුර සහ සුරතාන්තය එන්ඩෝමෙට්රයෝසිස් රෝග තත්ත්වයට පත්වීමේ අවදානම පහත හෙළන බව යේල් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත.
යෝනි මාර්ග උත්තේජනය හරහා නිදන්ගත කොන්දේ සහ දෙපා වේදනාව අවම කළ හැකි බව නිව් ජර්සි රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බැරී ආර් කොමිසාරුක් පෙන්වා දෙයි. ඔහු විසින් සිදු කළ අධ්‍යයනකදී සොයා ගෙන ඇත්තේ ස්වයං යෝනි ප්‍රදේශය උත්තේජනය කිරීම මගින් වේදනාව විඳ ගැනීමට ඇති හැකියාව (pain threshold) 40.3% කින් ඉහළ ගිය බවයි.
තෘප්තිය ගැන කතා නොකිරීම ලිංගික සෞඛ්‍යට බාධාවක්
‘ස්ත්‍රීන් අක්‍රීය (විරෝධයක් නොදක්වන) සහ නොදැනුවත්ය’ යන ලිංගිකත්වය සහ සමාජභාවය හා බැඳුණු පොදු ප්‍රතිමානය මගින්, ලිංගික ඇසුර, ලිංගිකත්වය සහ ආරක්ෂිත ලිංගික ඇසුර පිළිබද දැනුවත් වීමට ස්ත්රීන්ට සීමා පනවා තිබේ. බෙහෝ සංස්කෘතීන් තුළ සැලකෙන්නේ, ලිංගික තෘප්තිය විඳින ස්ත්‍රීන් හිංසනයට සහ ඍණාත්මක ප්‍රතිවිපාකවලට මුහුණ දීමේ ඉහළ අවදානමක් ඇති කණ්ඩායමක් ලෙසයි. මන්ද, ස්ත්‍රී ලිංගිකත්වය සෑම ආගමක් සහ සංස්කෘතියක් තුළම ‘කන්‍යාභාවය’ සහ පතිව්රතාව සමග බැඳී ඇති නිසාය. උදාහරණයක් වශයෙන් ‘සෙක්සි’ ලෙසින් පොදුවේ හඳුන්වන ආකාරයට ඇඳුම් අඳින ස්ත්‍රීන් ‘ඉල්ලං කන ගැහැනු’ ලෙස අපේ සමාජයේ පිළිගැනීමක් ඇත.
ලිංගික සෞඛ්‍ය පිළිබඳ උගන්වන සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතේ ස්ත්‍රී ශරීරයේ බාහිර ලිංගික අවයව පිළිබඳ කිසිම සඳහනක් නැත.
ස්පර්ශ කිරීමෙන් ඉහළ තෘප්තියක් ලබා ගත හැකි යෝනි තොල් සහ භගමනිය පිළිබද කිසිදු සඳහනක් නොමැති වීම තුළ, මේ ප්‍රදේශය පිරිසිදු කරන ආකාරය පිළිබද සාකච්ඡාවද මැකී ගොස් ඇත. එය කුමන හැඩයේද, කුමන පැහැයේද යන්න ඉගෙන ගැනීමට ගැහැනු දරුවන්ට අවස්ථාව අහිමිය. එහි බැරෑරුම්කම වන්නේ, ලිංගික හිංසනයක් එසේත් නැති නම්, ආසාදයක් ඇති වූ විට ඒ බව තේරුම් ගැනීමට මෙන්ම සෞඛ්‍ය සේවා සපයන්නේකු සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය වචන මාලාවද ගැහැනු ළමුන් නොදැන සිටීමයි.
පහතින් දැක්වෙන්නේ ස්ත්‍රී බාහිර ලිංගික ප්‍රදේශයේ රූප සටහනකි.
ස්ත්‍රීයකගේ ශරීරයේ බාහිරින් පිහිටා ඇති යෝනි ප්‍රදේශයට අවයව කිහිපයක් ඇතුළත් වේ.
යෝනි ප්‍රදේශයේ ඉහළින් පිහිටා තිබෙන්නේ භගමනියයි. ලිංගික තෘප්තිය ලබා දීම භගමනියේ එකම කාර්ය වන අතර එය කුඩා ස්නායු තන්තු රාශියකින් සමන්විතයි. ලිංගික උත්තේජනයකදී ඒවා මගින් මොළට යවන පණිවුඩ හරහා ලිංගික තෘප්තිය ඇති වේ.
මහා යෝනි තොල් හා කුඩා යෝනි තොල් යනුවෙන් හැදින්වෙන අවයව යෝනි විවරය වටා පිහිටා තිබෙන ආකාරට රූප සටහනේ දැක්වේ. ඉන් යෝනි විවරය ආරක්ෂා කරන අතර ලිංගික උත්තේජනයකදී එහි ඇති ස්පොන්ජ් වැනි පටක වලට රුධිරය ගලා විත් ඝන ස්වභාවයක් ගනී. මේ ක්‍රියාවලිය ශිශ්නය ඍජු වීම හා සමානය. ඒවායේ පිහිටා ඇති ස්නායු තන්තු මතින්ද ලිංගික තෘප්තිය ලබා දේ.
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොත නිරීක්ෂණය කරන විට පෙනෙන ගැටලුව මෙය පමණක් නොවේ. 7 ශ්‍රේණියේ පෙළ පොතේ 160 වන පිටුවේ ‘ශුක්‍ර මෝචනය’ යන මාතෘකාව යටතේ මෙසේ දැක්වේ. “ ශුක්‍ර තරලය නින්දේදී පිට වීම ‘‘ස්වප්න මෝචනය’’ ලෙස හඳුන්වන අතර මෙය ස්වාභාවික ක්‍රියාවලියකි. මෙසේ ශුක්‍ර තරලය පිට වීම ශරීරය දුර්වල වීමට හේතු වන බව මිථ්‍යා මතයකි.” නමුත් ස්වප්න මෝචනය හා සමාන ක්‍රියාවලියක් ගැහැනු ළමුන්ටද සිදු වන බව පෙළ පොත සඳහන් නොකරයි.
ස්ත්රීන්ට නින්දේදී ලිංගික උත්තේජනයක් මෙන්ම සුරතාන්තයටද ළඟා විය හැකි බව International Society for Sexual Medicine වෙබ් අඩවියේ දැක්වේ.
“ ‘ස්වප්න මෝචනය’ යන වචනය බොහෝ විට යොදා ගැනෙන්නේ මල්වර වියේ පසු වන පිරිමි ළමුන් සම්බන්ධයෙනි. මෙය වර්ධනයේ සාමාන්‍ය කොටසකි. වැඩිහිටි පිරිමි පවා ස්වප්න මෝචනය අත්දකිති. ස්ත්රීන්ට මෙම අත්දැකීම, පිරිමින්ගේ තරම් තෙත එකක් නොවුවද ඉතා ප්රබලය. ලිංගිකමය සිහින දැකීමෙන් යෝනි මාර්ගය තෙත් වීමක් සහ සුරතාන්තයක් ද අත්දකින ස්ත්‍රීහු සිටිති. මෙය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ස්වප්න සුරතාන්තය ලෙසයි. මෙය මල්වර වයසේ සිට වැඩිහිටි කාලය පුරාවටම සිදු විය හැකිය. අවාසනාවකට, ස්ත්රීන්ගේ ස්වප්න සුරතාන්තය පිළිබඳ පර්යේෂණ ඉතා අඩුය. 70%ක් පමණ ස්ත්‍රීන් ජීවිතයේ කෙදිනක හෝ ලිංගික සිහින දකින බව ලිංගිකත්වය පිළිබද පර්යේෂකයෙකු වූ ඇල්ෆ්‍රඩ් කිංසි 1953දී ඇස්තමේන්තු කළේය.” යනුවෙන් එම වෙඩ් අඩවිය තව දුරටත් පෙන්වා දේ. 2014දී ඊජිප්තු ස්ත්‍රීන් 106 දෙනෙකු යොදා ගෙන සිදු කළ අධ්‍යයනයකදී සහභාගීවූවන්ගෙන් 51.3%ක් ලිංගික සිහින සහ උත්තේජනය අත්දැක ඇති අනාවරණය වී ඇත.
නීතියෙන්ද භගමනියට වෙනස්කමක්
“භගමනිය යනු යෝනි ප්‍රදේශයට අයත් අවයවයකි. උත්තේජනය වූ විට එය ඉදිමුණු ස්වභාවයක් ගනී. භගමනියේ ඉතා කුඩා ප්‍රමාණයක් යෝනි ප්‍රදේශයේ ඉහළින් මතු වී තිබේ. ඉතිරි කොටස යෝනි තොල් යටින් පිහිටා ඇත.” – Planned Parenthood
භගමනියේ එකම ක්‍රියාකාරිත්වය තෘප්තිය ලබා දීමයි. ස්ත්‍රී චර්මඡේදනය සිදු වන එක් ආකාරයක් වන්නේ භගමනිය කපා ඉවත් කිරීමයි. එය භගමනිඡේදනය ලෙස හැදින්වේ. ස්ත්‍රී චර්මඡේදනය පිළිබද කතා කරන විට එය භගමනියට හානි කිරීම පමණක් නොවේ. ඇතැම් අවස්ථා වලදී මුත්‍රා කිරීමට සහ ඔසප් රුධිරට පිට වීමට ඉතා සුළු ඉඩක් පමණක් ඉතිරි කර යෝනි විවරය මැහුමකින් වසන අවස්ථාද ඇත. ඒ විවාහ වීමට පෙර ස්ත්‍රීන් ලිංගික ඇසුර පැවැත්වීම වැළැක්වීමටය.
ස්ත්‍රී චර්මඡේදනය බොහෝ රටවල නීති විරෝධී ක්‍රියාවක් ලෙස නම් කර ඇති නමුත් එයට ඍජුවම අදාළ වන නීතියක් ශ්‍රී ලංකාවේ නොමැත. නීතිවේදීන්ගේ තර්කය වන්නේ එය හිංසනය (hurt) යටතේ නඩු පැවරිය හැකි වරදක් බවයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 311 වන ඡේදයේ දක්වා ඇති බරපතල හිංසන ( grievous hurt) ලැයිස්තුවේ ස්ත්‍රී භගමනිඡේදනය ඇතුළත් නොවේ. එහි 311ඒ වගන්තියෙන් කියවෙන්නේ ශිශ්නයට හානි කිරීම (emasculation ) බරපතළ හිංසනයක් බවයි. පුරුෂ ලිංගික අවයවවලට හානි කිරීම බරපතළ හිංසනයක් ලෙසත්, ස්ත්‍රී ලිංගික අවයවවලට හානි කිරීම සාමාන්‍ය හානියක් ලෙසත් දැකීම ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර ඇති අසමානතාවය සහ ස්ත්‍රීන් මුහුණ දෙන වෙනස්කොට සැලකීම පෙන්වන තවත් ආකාරයකි.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී චර්මඡේදනය පිළිබඳ වැඩිදුර කියවීම සදහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සහ සැලසුම් කළ මාපියභාවය පිළිබද ජාත්‍යන්තර සම්මේලනය විසින් සිදු කරන ලද අධ්‍යයනය කියවීමට මේ දිගුවට පිවිසෙන්න – http://www.fpasrilanka.org/sites/default/files/towards_understanding_female_genital_cutting_in_sri_lanka.pdf
සත්‍ය කතා ඇසුරෙන් ලියන ලද නාට්‍ය පිටපතක් කියවීමට මේ පහත රෑපය ක්ලික් කර දිගුවට පිවිසෙන්න
සංවර්ධන මොඩයල තුළ ස්ත්‍රී ලිංගික තෘප්තිය ස්ථානගත වන්නේ නැහැ
ආගම, සංස්කෘතිය, අධ්‍යාපනය වැනි සාදාචාරාත්මක ප්‍රවේශයක් වෙනුවට වඩා ලිබරල් ප්‍රවේශයක් ඇතැයි සැලකෙන විදේශ ආධාර පදනම් කර ගෙන සිවිල් සමාජ සංවිධාන විසින් දියත් කරන සංවර්ධන වැඩසටහන් තුළද ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ විවෘත සංවාදයක් හඳුනා ගැනීම අපහසුය. එක් අතකින්, ස්ත්රීන්ගේ ලිංගික තෘප්තිය කේන්ද්‍රීය සාධකයක් බවට පත් වූ විට ලිංගික ඇසුරේ නිරන්තර වින්දිතයෙකු ලෙස සංවර්ධන මොඩයල විසින් ස්ත්‍රිය පිළිබඳ ගොඩ නගා ඇති ඒකාකෘතිය අභියෝගයට ලක් වේ. එමෙන්ම විදේශ ආධාර ලබා ගන්නා සංවිධාන පිළිබඳ සාදාචාරවාදීන් ගොඩනගා ඇති විරෝධය සමබර කිරීමට, මේ වැඩසටහන් බොහෝ විට “සංස්කෘතියට ගැළපෙන” (culturally appropriate) යන ලේබලය අලවා ගනී. ඒ නිසා, ලිංගික තෘප්තිය පිළිබඳ සාකච්ඡාවකට සම්බන්ධ වීමට සිවිල් සමාජ අවකාශය තුළද ඉඩ ඇහිරී ඇත.
දෙවනුව, ලිංගිකත්වය, සුළුතර ලිංගික ප්රජාවන්ගේ අයිතීන් ආදිය පිළිබඳ සුළු හෝ කතිකාවක් පවතින්නේ එච්අයිවී වැඩසහටන් තුළය. කෙසේ වුවත්, එච්අයිවී පිළිබඳ දැනුවත් කිරීම සහ නිවාරණ වැඩසහටන් සඳහා මුදල් ලැබෙන්නේ පිරිමින් සහ සංක්‍රාන්ති කණ්ඩායම් ප්රමුඛ කර ගෙනය. ඒ ඔවුන් එච්අයිවී සදහා වැඩි අවදානමක් සහිත කණ්ඩායම් (key population) ලෙස හඳුනාගෙන ඇති නිසාය. ඒ නිසා එච්අයිවී කතිකාව තුළ ඇති ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡාවෙන්ද ස්ත්‍රීන් බැහැර වේ.
මේ අනුව, අධ්‍යාපනය, නීතිය සහ සංවර්ධන වැඩසටහන් යන අවකාශ සියල්ල තුළම ස්ත්රීන්ගේ ලිංගික තෘප්තිය පිළිබද සාකච්ඡාවක් නොමැති බව හඳුනා ගත හැකිය.
ලිංගික තෘප්තිය ලිංගික අයිතියක්ද?
“ලිංගික හැසිරීමට මූලික පෙළඹවීම වන්නේ තෘප්තිය බව ලිංගික සෞඛ්‍යය පිළිබද ගෝලීය සංගමය කියයි. ලෝකයේ මිනිසුන් බොහෝ සිටිනවා මෙන්, ලිංගික තෘප්තිය පිළිබඳවද බොහෝ නිර්වචන ඇත. එමෙන්ම එය එක් නිර්වචනයකට රාමු කළ නොහැකිය. කෙසේ වෙතත් තෘප්තිය සමග ලැජ්ජාව ඈඳී තිබේ. එමෙන්ම, ලිංගික තෘප්තිය අප තේරුම් ගන්නේ ලෙඩ රෝග පතුරවන, ඒවාට උල්පන්දම් දෙන දෙයක් ලෙසයි. ඒ නිසා අපට උගන්වන්නේ නිවාරණය පිළිබඳව මිස අපට ළඟා විය හැකි දෙය පිළිබඳව නොවේ.” – The Pleasure Project
ලිංගික සෞඛ්‍යය සහ යහපැවැත්ම සදහා වූ ගෝලීය උපදේශන මණ්ඩලය මගින් තේරුම් ගැනීමේ පහසුව සඳහා ඉදිරිපත් කර ඇති නිර්වචනය දෙස බලමු.
“සිතුවිලි, සිහින සහ සිය කාමුක හැඟීම් ඇතුළු ස්වයංව හෝ හවුලේ ලබන ශෘංගාරාත්මක අත්දැකීම් මගින් ඇති වන ශාරීරික සහ/ හෝ චිත්තවේගී සතුට සහ විනෝදය ලිංගික තෘප්තිය වේ. ස්වයං තීරණ ගැනීම, කැමැත්ත, ආරක්ෂාව, පෞද්ගලිකත්වය, විශ්වාසය සහ ලිංගික සම්බන්ධතා සන්නිවේදනය කරමින් කතිකා කර ගැනීමට ඇති හැකියාව, තෘප්තිය ඇති කරවන මූලික සාධක වේ. ලිංගික සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි තෘප්තිය මඟින් යහපත් බලපෑමක් සිදු වන්නේ මේ සාධක සම්පූර්ණ වූ විටය. ලිංගික තෘප්තිය යන්න සාකච්ඡා විය යුත්තේ ලිංගික අයිතීන්, විශේෂයෙන්ම සමානාත්මතාව, වෙනස්කොට නොසැලකීම, ශරීර ඒකාග්‍රතාව, ළඟා කර ගත හැකි ඉහළම සෞඛ්‍යය තත්ත්වයට ඇති ප්‍රවේශය සහ අදහස් ප්‍රකාශ කිරීම යන අයිතිවාසිකම් සන්දර්භය තුළය. ලිංගික තෘප්තිය පිළිබඳ වූ මානව අත්දැකීම් විවිධ වන අතර ලිංගික තෘප්තිය ධනාත්මක අත්දැකීමක් සහ, වෙනත් පුද්ගලයෙකුගේ අයිතීන් උල්ලංඝනය නොකරන අත්දැකීමක් බව ලිංගික අයිතීන් හරහා සහතික කෙරේ.”
මේ නිර්වචනයෙන් සරලව කියවෙන්නේ ලිංගික තෘප්තිය ලැබීමට නම් තවත් අයිතීන් බොහොමයක් ආරක්ෂා විය යුතු බවයි. උදාහරණයක් ලෙස මේ ලිපියේ මුලදී සදහන් කළ සිදුවීම දෙස නැවතත් බලමු. නිරුවත් ඡායාරූපයක් ආදර සම්බන්ධතාවයකදී හුවමාරු වන්නේ විශ්වාසය පදනම්වය. පෙම්වතිය ඡායාරූප බැලීමට කැමැත්ත දෙන්නේ පෙම්වතාට පමණි. ‘ලීක් කරනවා’ යන තර්ජනය තුළ විශ්වාසය සහ කැමැත්ත උල්ලංඝනය වී අවසන්ය. රෝමානිතක ඡායාරූප හුවමාරුවේ පෙම්වතාගේ පැත්තෙන් ඇති මූලික බලාපොරොත්තුවක් වන්නේ මේ ඡායාරූප හරහා පෙම්වතිය පාලනය කිරීමයි. විශ්වවිද්‍යාලයේදී පවා සාමාන්‍යයෙන් පෙම්වතිය හදුන්වන්නේ ‘මගේ කෑල්ල’ කියාය. ඉන් හැඟවෙන පුරුෂ බලපුළුවන්කාරම තුළ ස්ත්‍රිය මනුෂ්‍යයෙකු නොවේ.
ලිංගික අයිතීන් කියන්නේ මොනවාදැයි දැන ගැනීමට අවශ්‍ය නම් සැලසුම් කළ මාපියභාවය පිළිබද ජාත්‍යන්තර සම්මේලනය මගින් යෝජනා කර ඇති අයිවාසිකම් කියවීමට පහත රූපයට ක්ලික් කරන්න.
තෘප්තිය පිළිබද ඇති දත්ත දෙස බලන විට ඒවා පුරුෂයන්ට පක්ෂපාතී බව පෙනේ.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් 800ක් යොදා ගනිමින් සිදු කළ අධ්‍යයනයකදී ස්තීන් සහ පුරුෂයන් අතර තෘප්තිය ලැබීමේ පරතරය 52%ක් බව හෙළි වී ඇත. එහිදී සහකරු/සහකාරියක් සමග සිදු කරන සෑම ලිංගික ඇසුරකදී සුරතාන්තයක් අත් විඳින බව 91%ක් පුරුෂයන් පවසා තිබූ අතර ඒ බව ප්‍රකාශ කළ ස්ත්‍රීන් ප්‍රමාණය 39%කි.
සහකරුවෙකු සමග සිදුකරන ලිංගික ඇසුරකදී සෑම විටම සුරතාන්තයට පත් වන බව ප්‍රකාශ කළ ස්ත්‍රීන් 6%ක් වන අතර ස්වයං වින්දනයේදී සෑම විටම සුරතාන්තයට පත් වන බව 39%ක් ප්‍රකාශ කර ඇත.
ලිංගික දිශානතිය අනුවද ස්ත්රීන්ගේ ලිංගික තෘප්තිය වෙනස් වේ. සමරිසි ස්ත්‍රීන්, විෂම ලිංගික ස්ත්රීන්ට වඩා වැඩි වාර ගණනක් සුරතාන්තයට පත් වන බව පුද්ගලයන් 2,850ක් යොදා ගෙන සිදු කළ අධ්‍යයනයකදී හඳුනාගෙන ඇත. විෂම ලිංගික ස්ත්‍රීන් සුරතාන්තයට පත් වීම 61.6%ක් ලෙස සහ සමරිසි ස්ත්‍රීන් අතර ඒ ප්‍රමාණය 74.7%ක් ලෙස නිරීක්ෂණය කර ඇත.
විෂමරිසි පුද්ගලයන් අතර සිදු වන ලිංගික ඇසුරේදී සුරතාන්තයට පත් වීම සම්බන්ධයෙන් ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර විශාල පරතරය ( Pleasure Gap) පවතින අතර එය සමාජීය ස්ත්‍රී පුරුෂභාවී හිඩැස විදහා දක්වන් තවත් අවස්ථාවකි.
නිර්මාණාත්මක ආකාරයෙන් තෘප්තිය පිළිබද හිඩැස ආමන්ත්‍රණය කරන තරුණ කණ්ඩායමක් පිළිබඳ කියැවීමට මේ දිගුවට පිවිසෙන්න. https://thepleasureproject.org/world-sexual-health-day-2020/2020/using-creativity-to-take-on-the-pleasure-gap/
අපි කොහේද?
ලිංගිකත්වය හා සම්බන්ධ කරමින් පළමු වරට ගෝලීය වශයෙන් මානව හිමිකම් සාකච්ඡාවට ගැනුණේ සහ දේශපාලනික වශයෙන් එයට පිළිගැනීමක් ලැබුණේ 1994 ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී (ICPD)ය. ඉන් පසුව 1995 දී බීජිං සම්මුතිය ආශ්‍රිතවද මේ ගැන සාකච්ඡා විය. වසර 25කින් පසුවද එහි සාකච්ඡා කළ කරුණු තවමත් ශ්‍රී ලංකාව වැනි රටවල අවධානය දිනා තිබෙනවාද යන්න ගැටලුවකි. මාතෘ මරණ හා ළදරු මරණ අවම කිරීම සහ අධ්‍යාපනය සඳහා ස්ත්රීන්ට ඇති ප්‍රවේශය ඉහළ දැමීම අතින් ශ්‍රී ලංකාව ජයග්‍රහණ අත් පත් කර ගෙන සිටියද, ICPD ක්‍රියාකාරී වැඩ සැලසුමේ (PoA) සිවු වන අරමුණ වන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සේවාවන්ට ඇති ප්‍රවේශය ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ පිටුපසිනි. ප්‍රජනන සෞඛ්‍යය පිළිබද වැඩසටහන් පැවතියද ඒවායේ ලිංගික සෞඛ්‍යය ගැන සඳහන් වන්නේ රෝග බෝවීම වැළැක්වීම සම්බන්ධයෙන් පමණි. මේ යටතේ සිදු කෙරෙන බොහෝ වැඩසටහන් රාමු ගත කෙරෙන්නේ සාම්ප්‍රදායික ‘පවුල’ යන සංකල්පය තුළ මිස පුද්ගලභාවය පදනම් කර ගෙන නොවේ. පවුල් තුළ ප්‍රධාන වන්නේ දරුවන් ලැබීම, ප්‍රතිසංධි විරෝධනය සහ දරුවන්ගේ එන්නත්කරණය හා පෝෂණයයි. පවුලෙන් බැහැරව ස්ත්‍රියට වටිනාකමක් දී තිබෙනවාද?
වයස අවුරුදු 42ක් වූ නිර්මලී වැඩමුළුවක් අවසානයේදී මගෙන් මෙසේ ඇසුවාය. “අපිට නිදහසේ ඉන්න තැනක් නැද්ද? මනුස්සයාගෙන් කරදර නැතුව?” මොනවාගේ කරදර දැයි මම ඇසූ විට ඇය පැවසුවේ “හැමදාම රෑට වද දෙනවා, මොන අමාරුව තිබ්බත්, මට නිදා ගන්න නෑ” යනුවෙනි. ‘වද දෙනවා’ යන්නේන් ඇය හැඟවූයේ ලිංගික ඇසුරයි. ලිංගික ඇසුර ‘වදයක්’ බවට පත් වී නම් එය ලිංගික ඇසුරක්ද? විවාහය අප සලකන්නේ ඕනෑ තරම් ලිංගිකව හැසිරීමට පුරුෂයාට දෙන අවසර පතක් ලෙසිනි. විවාහය තුළ ස්ත්‍රියගේ කැමැත්තෙන් තොරව සිදු වන ලිංගික ක්‍රියා නීති විරෝධී ලෙස හඳුනාගන්නේ බිරිඳ සැමියාගෙන් වෙන්ව ජීවත්වන අවස්ථාවකදී පමණි. එකම කුටුම්භයක ජීවත්වන අවස්ථාවකදී බිරිඳගේ කැමැත්ත නැතිව සිදු වන ලිංගික ඇසුර ලිංගික බලහත්කාරකමක් ලෙස හඳුනා නොගැනේ. ‘වදයක්’ බවට පත් වූ ලිංගික ඇසුර තුළ ස්ත්‍රියට කිසිම තෘප්තියක් නොමැත. තෘප්තියක් තබා, ගෞරවයක්වත් ඒ තුළ ස්ත්‍රියට ලැබෙන්නේ නැත. ස්ත්‍රී ශරීරය භාණ්ඩයක් ලෙස සලකන පුරුෂ මූලික ගොඩනැංවීම තුළ තෘප්තිය පිළිඳ සාකච්ඡාවක් ඇති වුවහොත් පවුල ඇතුළු මේ සියලු ව්‍යුහයන් අභියෝගයට ලක්වේ.
ස්ත්‍රියගේ ලිංගිකත්වය නිර්වචනය විය යුත්තේ පුරුෂයාගේ තෘප්තිය මත බවය යන පුරුෂ මූලික ප්‍රතිමානය නිසා තෘප්තිය පිළිබද සාකච්ඡාවෙන් ස්ත්‍රීන් බැහැර වී ඇති බව මේ අනුව හඳුනා ගත හැකිය.
ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාව
ඉහතින් සාකච්ඡා කළ අයුරින්, ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ මුඛ්‍යධාරාවේ පවතින පුරුෂමූලික ප්‍රතිමාන හරහා ගැහැනු දරුවන් සහ ස්ත්‍රීන් විවිධ හිංසනවලට බඳුන් වේ. විශේෂයෙන්ම ලිංගික තෘප්තිය පිළිබඳ සාකච්ඡාව මඟහැරීම තුළ ස්ත්‍රී චර්මඡේදනය, ලිංගික බලහත්කාරකම්, ලිංගික සූරාකෑම වැනි හානිකර භාවිතාවන් ඉදිරියට ගෙන යෑමට ඉඩ ලැබේ.
ස්ත්‍රී ශරීරය පිළිබඳ පුරුෂ මූලික කාචය ගැලවීමට කුමක් කළ හැකිද? පිළිතුර අධ්‍යාපනයයි. ශරීරය පිළිබඳ, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ විද්‍යාත්මකව නිවැරදි සහ පරිපූර්ණ තොරතුරු මගින් පමණි, ගැහැනු ශරීරයට වටිනාකමක් දිය හැක්කේ.
පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය සදහා ගෝලීය අධිවාචකයෙකු වන සැලසුම් කළ මාපිය භාවය පිළිබද ජාත්‍යන්තර සම්මේලනය මෙසේ කියයි. “ ලිංගික තෘප්තිය පිළිබද සාකච්ඡාව ලිංගික අධ්‍යාපන වැඩසටහන් වලින් බැහැර කිරීම තුළ ලිංගික ඇසුරෙන් ඇති විය හැකි ඍණාත්මක සෞඛයය සහ චිත්තවේගී ප්‍රතිවිපාක පිළිබඳ වැඩි අවධානයක් ඇති කරවයි. මේ අනවශ්‍ය අවධානය මගින් බල අසමතුලිතතාව, අපයෝජනය, බලකිරීම සහ හිංසනය යන ලිංගිකකත්වය හා සම්බන්ධ ඒකාකෘතීන් සදාතනික ප්‍රතිමාණ බවට පත් වීමට ඉඩ ඇත.”
නිවැරදි හා පරිපූර්ණ සම්බන්ධතා අධ්‍යාපනය පිළිබඳ කතිකාවක් අවශ්‍ය වන්නේ ලිංගික තෘප්තිය පිළිබඳ දැන ගැනීමට පමණක් නොවේ. පළමුව, ලිංගික තෘප්තිය වැනි ලිංගික ඇසුරේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳ නොදැනුවත්භාවය තුළ අපයෝජනය, බලකිරීම සහ හිංසනයට වැඩ ඉඩක් ඇති නිසාය. දෙවැනුව, ස්ත්‍රින්ගේ අදහස් ප්රකාශනයේ නිදහස, යුක්තිය සදහා ඇති ප්‍රවේශය, වෙනස්කොට නොසැලකීම, කෘර වද හිංසා වලින් ආරක්ෂා වීම, ළඟා කර ගත හැකි ඉහළම සෞඛ්‍යය තත්ත්වයට ඇති ප්‍රවේශය ආදී ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් සහතික වී ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාය.
ස්වභාවයෙන්ම වෙනස්කොට සලකන ව්‍යුහයක් සහ විශ්වාසයක් වන පුරුෂාධිපත්‍යය තුළ මේ අයිතීන් ලියවිල්ලකට පමණක් සීමා වීම පුදුමයක්ද?




