2022 අප්‍රේල් 04
අසංක ජයවීර විසිනි.
රටේ පවතින දැවැන්ත අර්බුදකාරි ආර්ථික තත්වය නිසා අවිධිමත් වෘත්තිකයන්ගේ රැකියා අනතුරේ
වර්තමානයේ ලංකාව පත්ව ඇති බල ශක්ති අර්බුදය හේතුවෙන් ඉතා දිගු කාලයක් බලපැවැත්වෙන පරිදි විදුලිය කප්පාදු කිරීමට රජය කටයුතු කරන අතර මේ නිසා අන්තර්ජාලය ඔස්සේ සේවා කටයුතු කරගෙන යන නිදහස් වෘත්තිකයන්ට (Freelance workers/Informal workers) තමන්ගේ රැකියා කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි තත්වයක් දැන් මතුවෙලා තිබෙනවා.
මේ පසුබිම තුළ තමන්ගේ සේවාලාභීන් තමන්ව හැර යන තත්වයක් උදා වී ඇති බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.
මතුව ඇති තත්වය පිළිබඳව අප සමග අදහස් පල කළ ෂෂික අරවින්ද-
“මම නිදහස් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් විදිහට දෙස්-විදෙස් ක්ලයන්ට්ලා කිහිප දෙනෙකුට වැඩ කරනවා.ඔවුන් සමග මම ඇතුළත් වෙලා ඉන්න ගිවිසුම් වලට අනුව මම සතියකට වීඩියෝ කිහිපයක් ඔවුන්ට හදලා දෙන්න ඕන.ඒ විදිහට වීඩියෝ හදලා දෙන්න බැරි වුණොත් මගේ සේවය අත්හිටුවනවා කියලා ගිවිසුමේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.ඉතින් මේ තියෙන පවර් කට් එකත් එක්ක මට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න දැන් බැහැ.ඒ හන්දා මගේ foreign clientලා දෙන්නෙක් මාත් එක්ක අත්සන් කරපු ගිවිසුම අවලංගු කරලා දැම්මා”
ඒ වගේම තවත් වීඩියෝ නිර්මාණ ශිල්පියෙකු වන චිරන්ජීව සමරසිංහ සඳහන් කළේ පවතින විදුලි කප්පාදුව සහ තෙල් අර්බුදය නිසා තමන් කරන රැකියාව අහිමි වීමේ තත්වයක් දැන් උදා වී තිබෙන බවක්.
“විදුලි කප්පාදුව නිසා මං වැඩ කරන්න කියලා ජෙනරේටරයක් ගත්තා.දැන් ඒ ජෙනරේටරේ දුවන්නත් තෙල් නෑ.ඉතින් කොහොමද අපි වැඩ කරන්නේ?මෙහෙම ගියොත් අපිට සිද්ධ වෙන්නේ මැරෙන්න තමයි”
ලංකාවේ අවිධිමත් සේවය මේ වැටෙන්න යන්නේ කබලෙන් ලිපටද?
ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල ඉතාමත් ප්‍රචලිත රැකියා ක්ෂේත්‍රයක් විදිහට අවිධිමත් රැකියා අංශය හඳුන්වන්නට පුළුවන්.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් මීට දශක හතරකට පෙර රැකියා වර්ගයක් විදිහට හඳුනාගත් මේ අවිධිමත් රැකියා වලින් අදහස් වෙන්නේ නිල කාර්යාලයීය රෙගුලාසි වලට යටත් නොවු නිදහස් සේවා තත්වයකි.
ඉතින් මීට පෙරත් අපි සඳහන් කළා වගේ ලංකාව තුළ ඉතාමත් ප්‍රචලිත රැකියා ක්ෂේත්‍රයක් තමයි මේ අවිධිමත් රැකියා ක්ෂේත්‍රය කියලා කියන්නේ.
ලෝක බැංකුව (World Bank) විසින් 2020 වසරේදී නිකුත් කරන ලද Informality,Job Quality and Welfare in Sri Lanka නම් වාර්තාවට අනුව ලංකාවේ 70%ක් දෙනා-ඒ කියන්නේ සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් මිලියන 8.5ක් වන ලංකාවේ සමස්ත රැකියා නියුක්තිකයන් අතරින් මිලියන 3.4ක්ම නිරත වන්නේ මේ කියන අවිධිමත් රැකියාවන් වලයි.
මේ තරම් අවිධිමත් වෘත්තිකයන් සංඛ්‍යාවක් අපේ රටේ සේවයේ නිරත වනවා නම් ඔවුන්ගේ සුරක්ෂිතතාවය ගැන රජය අනිවාර්යයෙන්ම සිය අවධානය යොමු කළ යුතුයි.
ඒත් අවාසනාවන්ත තත්වය තමයි මේ තරම් අවිධිමත් වෘත්තිකයන් පිරිසක් අපේ රටේ ආර්ථික ක්ෂේත්‍රය තුළ සක්‍රීය අන්දමින් කටයුතු කළත් ඔවුන් සම්බන්ධයෙන් අඹ මල් රේණුවක තරම්වත් අවධානයක් රජය මෙතෙක් යොමු කර නොතිබීමයි.
පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය සංස්ථා වල සේවයේ නිරත වන ස්ථිර සේවකයන්ව රැකියාවෙන් ඉවත් කිරීමේදී/සේවය නතර වීමකදී ඔවුන්ට මිලියන 2.5ක වන්දි මුදලක් ලබා දීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් 2021 පෙබරවාරි 25 වන දින නිකුත් කරනු ලැබුවා.
මේ ආකාරයෙන් වන්දි මුදල් ප්‍රදානය, විශ්‍රාම වැටුප්,EPF,ETF සහ වෙනත් වරප්‍රසාද ප්‍රදානයන් ඔස්සේ පෞද්ගලික,රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවාවන් වල නිරත වන සේවකයන්ගේ සුබ සිද්ධිය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරන රජය, අවිධිමත් වෘත්තිකයන්ගේ අයිතීන් ගැන අන්ධයෙකු වගේ ක්‍රියා කරන්නේ ඇයිද කියන එක ගැන අපට ඇති වෙන්නේ ලොකු ප්‍රශ්නාර්ථයක්.
නමුත් රජය විසින් C190 සම්මත කිරීමට කටයුතු කළහොත් අවිධිමත් වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතීන් වගේම ඔවුන්ගේ ජීවන සුබ සිද්ධිය පිළිබඳව අපට යම්කිසි බලාපොරොත්තුවක් තබා ගන්නට පුළුවන් වනවා ඇති.
C190 අවිධිමත් වෘත්තිකයන්ව ආරක්ෂා කරනවද?
මෙයට පිළිතුර තමයි ‘ඔව්’
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2019 වසරේදී සම්මත කර ගත් C190 වල මූලික අරමුණ තමයි වැඩ ලෝකය තුළ සිදුවන අඩත්තේට්ටම් වලින් ඕනෑම තරාතිරමක වෘත්තිකයන්ව ආරක්‍ෂා කිරීම.
බොහෝ දෙනෙකු හිතන්නේ මේ ප්‍රඥප්තිය කාර්යාල නීති රෙගුලාසි වලට යටත්ව සේවය කරන විධිමත් සේවක පිරිස් වල ආරක්ෂාව සහ සුබ සිද්ධිය උදෙසා ඇති කර ගත් සම්මුතියක් කියලයි.ඒත් ඇත්තටම ගත්තොත් මේ ප්‍රඥප්තිය විධිමත් සේවකයන්ට වගේම පදික වේදිකාවේ වෙලඳාම් කරන සාමාන්‍ය වෙලෙන්දාගේ සහ වෙනත් ඕනෑම අවිධිමත් සේවකයෙකුගේ සුබ සිද්ධිය උදෙසාත් පොදුවේ යොදා ගත හැකි සම්මුතියක් වනවා.
ඉතින් මේ සම්මුතිය අපේ රටේ නීති පද්ධතියට ඒකාත්මික කර ගන්නවා නම් එය නිරන්තරයෙන් අසාධාරණයට ලක්වන අවිධිමත් සේවකයන්ගේ සුරක්ෂිතතාවය උදෙසා විශාල පිටුවහලක් වන බවයි අප විශ්වාස කරන්නේ.
2021 වසරේ මාර්තු 8වන දින පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වුණු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙරට නීති පද්ධතියට C190 අන්තර්ග්‍රහණය කිරිම සම්බන්ධයෙන් පොරොන්දුවක් ලබා දුන්නා.නමුත් එම පොරොන්දුව ඉටු කිරීමට රජය තවමත් සමත් වෙලා නෑ.ඒකෙන් පැහැදිලි වන්නේ සේවක අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජයට කිසිදු උනන්දුවක් නැති බවයි.
අවසාන වශයෙන්…
ලංකාවේ පවතින ආර්ථික අර්බුදය කොරෝනා විසින් නිර්මාණය කරන ලද්දක් නොව පවතින ආණ්ඩුව විසින් හිතාමතාම නිර්මාණය කරන ලද්දක්.
Verite Research පෙන්වා දෙන විදිහට 2019 වසරේදී රජය විසින් සිදු කරන ලද බදු කප්පාදුව නිසා මේ තත්වය ඇති වී තිබෙනවා.
Verite අවධාරණය කරන ආකාරයට ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තිය නිසා VAT ආදායම බිලියන 210ක් ද Nation building tax බිලියන 68ක් ද මෝටර් රථ සඳහා වන එක්සයිස් ඩියුටි බිලියන 82ක් ද කෝපරේට් ටැක්ස් බිලියන 46ක් ද ආර්ථික සේවා ගාස්තු බිලියන 40ක් ද PAYE tax බිලියන 34ක් ද with-holding tax බිලියන 40ක් ද රජයට අහිමි වුණා.
රජය හිතාමතාම මේ විදිහට රටේ ආදායම් අහිමි කිරීම නිසා අද වන විට අපේ රටේ ආර්ථිකය වල් බිහි වී තිබෙනවා.
ඉතින් මේ වගේ දුර්වල ආර්ථික තත්වයක් තුළ අවිධිමත් සේවකයන්ට තමන්ගේ ආර්ථික උත්පාදන මාර්ග අද වෙනකොට අහිමි වෙමින් තිබෙන නිසා ඔවුන්ගේ වගේම සෑම වෘත්තිකයෙකුගේම අභිවෘද්ධිය උදෙසා C190 සම්මත කිරීම කාලීන අවශ්‍යතාවයක් කියලයි අප විශ්වාස කරන්නේ.