මාසික ඔසප් වීම කිලි කියන්නේ බොරුවක්

2021 මැයි 06

පබා දේශප්‍රිය විසිනි.

“මගේ ඇඳුමක්වත් ගෙදර හේදුවේ නෑ, ඔක්කොටම රෙදි නැන්දට දුන්නා. දාගෙන හිටපු කරාඹු දෙක පවා රෙදි නැන්දට දුන්නා ඒවා කිළුටුයි කියලා”

ශ්‍රී ලංකාවේ ඔසප් වීම ආශ්‍රිතව ගොඩ නැගී ඇති මිත්‍යා පදනම් කර ගත් සංස්කෘතික භාවිතාවන් පිළිබද සලකා බැලීමේදී පෙනෙන මූලික කාරණය වන්නේ කිලි සංකල්පයයි. එය කෙතරම් මුස් බැස ගෙන ඇත්දැයි කිවහොත් පාසල් පෙළ පොතින් පවා ඒ මිත්‍යා අදහස නිවැරදි කිරීමට උත්සහ දරා තිබේ.

“ඔසප් දින අපිරිසිදු (කිලි) කාලයක් ලෙස සමහරු සලකති. එහෙත් මේ පිටවන්නේ තම ශරීරයේ ම රුධිරයයි. තුවාලයක් වූ විට ගලන රුධිරය හා මේ අතර ඇති වෙනස්කම වන්නේ ශ්ලේෂ්මල හා ගර්භාෂ පටක ස්වල්පයක් ද මේ සමග පිට වීමයි.” 7 ශ්‍රේණිය, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය (160 පිටුව) 

ඒ උත්සහය කෙසේ වුවත් ගැහැනු ළමයෙකුගේ පළමු ඹසප් වීම රජ මගුලක් සඳහා නිමිත්තකි. අප නිතර යන එන මාර්ගයේ මෙවැනි දැන්වීමේ තිබෙන්නේ ඒ නිසාය.

72253449_2464352393641059_2382461184210108416_n

මේ ලිපියෙන් විමසීමට ලක් කරන්නේ ඔසප් වීම හා බැදී ඇති සංස්කෘතික භාවිතාවන් මගින් ස්ත්‍රීන්ගේ සහ ගැහැනු දරුවන්ගේ ජීවිත වලට පනවන සීමාවන් සහ ඉන් ඇති බව බලපෑම පිළිබදවයි. සරල වචනයෙන් කියනවා නම්, ලොකු ළමයෙක් වීම ආශ්‍රිව සිදු කරන සිරිත් විරිත් නිසා ස්ත්‍රීන්ට සහ ගැහැනු දරුවන්ට අහිමි වන අවස්ථා පිළිබද අපගේ අවබෝධය පුළුල් කර ගැනීමයි.

ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ සම්ප්‍රදායන්ට අනුව, පළමු ඔසප්වීමෙන් පසු කේන්දර ගලපා නැකත් බලා ගැහැනු දරුවාව පිරිසිදු ජලයෙන් නාවා පවිත්‍ර කරන තුරු ඇය පිරිමින්ගේ ඇසට අසු වීම අසුබය. ඒ වන තුරු ගැහැනු දරුවාව නිවසේ  හුදකලා ස්ථානයක ස්ථාන ගත කරනු ලබයි. පොල් ගෙඩියක් බිදීම, සුුදු රෙද්දක් ඇන්දවීම, පහත් යැයි සැලකෙන කුලයකට අයත් රෙදි නැන්දාට ලවා රෙදි සේදවීම, සුදු මල් දැමූ වතුර කළයකින් නෑවීම ආදිය ලොකු ළමයෙක් වීමේදී ඉතා ඉහළින් සලකන චාරිත්‍ර අතර වේ. නාවන උත්සවය සඳහා නෑදෑ හිත මිත්‍රාදීන් සියලු දෙනාට ආරාධනා කරන අතර, ආරාධිතයන් විසින් ගැහැනු දරුවාට තෑගි බෝග රැගෙන යෑම සිදු වේ. තෑගි බෝග අතර ප්‍රධාන තැනක් ගන්නේ රත්‍රං ආභරණය. එක අතකින්, මේ උත්සවයට පවත්වන්නේ  ගැහැණු ළමයා විවාහ වීමට සුදුසු තත්ත්වයට පත් වී ඇති බව සමාජයට දැන්වීමටයි. (Abeyasekera, Nadeeja & Silva, Chanaka. (2017). MYTHS & BELIEF IN SRI LANKAN SOCIETY & THEIR EFFECTS ON WOMEN. 57-67. 10.17501/icoss.2016.3108.)

පළමු ඔසප් වීම ආශ්‍රිතව පවතින සිරිත් විරිත් කේන්ද්‍ර කර ගන්නේ දරුවකු ලැබීමට ඇති හැකියාව මිස ඉගෙනීම හරහා ගැහැනු දරුවෙකුට ළගා කර ගත හැකි ජයග්‍රහණ පිළිබදව නොවේ. ස්ත්‍රියගේ වටිනාකම දරුවන් ලැබීම සම්බන්ධයෙන් පමණක් ගොනු කිරීම තුළ, ඇයට ඇති අධ්‍යාපන අවස්ථා මෙන්ම ආර්ථික සහ දේශපාලන අවස්ථාද අහිමි වේ.

මේ සාකච්ඡාවට සම්බන්ධ වන එක් ස්ත්‍රියක් රාණිය. ඇයට වසය අවුරුදු 24කි.

“ මම ලොකු ළමයෙකු වුණේ 7 වසරෙදි. අපි නිදා ගන්න කාමරේ ඉටි රෙදි ගහලා පොඩි කොටුවක් වගේ හදලා එතන පැදුරක් දාලා මට ඉන්න කිව්වා. දවස් 30ක් මම හිටියේ එතන. කෑම බෙදලා අම්මා අරන් එනවා. පරිප්පු, පතෝල, බණ්ඩක්කා වගේ එළවළු එකක් එක්ක බත් තමයි කන්න දුන්නේ.”

මේ කාලය තුළ රාණි පාසල් ගියේ නැත. පාසල් පොත් පත් වල වැඩක් කිරීමටද ඇයට අවස්ථාවක් ලැබුණේ නැත. රූපවාහිනිය නැරඹීමට හෝ ගුවන්විදුලියට ඇහුම් කන් දීමටවත් ඉඩ නොතිබුණු බව ඇය පැවසුවාය.

පිරිමි ළමුන්ගේ වැඩිවිය පැමිණීමට සාපේක්ෂව ගැහැනු ළමයෙකුගේ වැඩිවිය පැමිණීම ඉතා ඉහළින් සැමරේ. සමහරු පිරිමි ළමුන් වැඩි විය පැමිණෙනවාදැයි වත් නොදනිති. පිරිමි ළමයෙකුට ස්වප්න මෝචනය සිදු වුණා කියා කාමරයක මුල්ලේ තියා, නැකත් බලා මල් මිශ්‍ර ජලයෙන් නාවන්නේ නැත. ඔසප් වීම නිසා පාසල් නොයන ගැහැනු දරුවාට මග හැරෙන පාඩම් පිරිමි ළමයාට මග හැරෙන්නේ නැත. පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් තෝරන්නේ ගැහැනු ළමයා ඔසප් වී නිවසේ සිටින කාලයේ නම්, ඇයට ඒ අවස්ථාව ලැබෙන්නේ නැත. තූර්ය වාදන කණ්ඩායමට බදවා ගන්නේ මේ කාලයේදී නම් ඇයට ඒ අවස්ථාවත් අහිමි වේ. වාර විභාගයක් වුවද මග හැරීමට පුළුවන. මගහැරෙන දෙවල්වල නිමක් නැත. ගැහැනු ළමයාට සිය නායකත්ව ගුණාංග, කණ්ඩායම් ගුණාංග ඉගෙන ගැනීමට තිබෙන අවස්ථා මේ නිවසේ සිටින කාලයේදී මග හැරෙනු ඇත.

 

“සදහටම ඉස්කෝලේ නොගිහිං ඉන්නවා යැ, විභාගේ පස්සේ ලියන්න බැරි යැ” කුරුණෑගල පැවති සැකච්ඡාවකදී මවත් පැවසුවාය. “ඉතිං අපරාදෙනේ, විභාගේ දවසට ඉස්කෝලේ ගියා කියලා මුකුත් වෙන්නේ නෑනේ” මම ඇසුවෙමි. “මට නං ඉතිං නමක් නෑ, අපිටත් ඕක වෙනවානේ. ඒත් ඉතිං ගෙරද කට්ටිය එක්ක ඕකට මොකටද වාද කර ගන්නේ, ඔන්න ඔහේ දවස් ටිකක් ගෙදර තියා ගන්නවා” ඇය පැවසුවාය.

“කලින්ම ඕක වෙන දවස බලලා ළමයව ගෙදර තියාගන්නවා” යැයි පැවසුවේ දකුණු පළාතේ තරුණ පියෙකි. මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කිරීමේදී පැහැදිළි වූයේ වැඩිවිය පැමිණෙන ගැහැණු ළමයෙකු සිටින දෙමාපියන්, නැකත්කරුවකු වෙත ගොස් කේන්දරය බලවා වැඩිවිය පැමිණීමට නියමිත දින වකවානු ලියවා ගන්නා බවයි. “අපේ ලොකු දුවට නං මැයි මාසෙයි, ඔක්තෝබර් මාසෙයි  දින ලියලා දුන්නා. හැබැයි එයා ඊට කලින් ලොකු ළමයෙක් වුණා. එයාගේ උපන් වෙලාව වැරදියට සටහන් වෙලා කියලා තමයි නැකත හදපු කෙනා කිව්වේ” මෙසේ පැවසුවේ කොළඹ ජීවත් වන සිවු දරු මවක්. ජීව විද්‍යාත්මක සිදුවීමක් නැකත් බැලීමෙන් කලින්ම දැන ගත නොහැකි බවට තවත් උදාහරණ අවශ්‍යද? වසය අවුරුදු 58ක් වන කුරුණෑගල ජීවත් වන ලාලනී මෙයට කදිම ගෙන හැර පෑවාය. “මගේ යට කලිසමේ ලේ තිබ්බේ උදේ. 10ට විතර, හැබැයි මං අම්මට කිව්වේ නෑ. ගේ මුල්ලේ දායි කියලා මං බය වුණා. හැබැයි ඉතිං හවස් වෙද්දි කියන්න වුණා. ඒ ගමන්ම අම්මා ගියා නැකතක් බලන්න. නැකත්කාරයා කියලා තිබුණේ මං හවස 4ත් 5ත් අතර තමා වැඩි විය පැමිණිලා තියෙන්නේ කියලා. ඒක බොරුවක් කියලා මං දන්නවානේ. ඒකෙන්ම මට තේරුණා ඔය නැකත් කියන්නේ පට්ටපල් බොරුවක් කියලා. ආයේ ජීවිතේටම කිසිම දේකට නැකතක් බලලා නෑ.” නැකත් බලා ගැහැණු දරුවන් ගේ මුල්ලේ තබා, ඔවුන්ගේ පාසල් යාම සහ සමාජ ජීවිතය දින කිහිපියකට හෝ නවතා දැමීම කිසිම විද්‍යාත්මක පදනමක් නැමති දෙයක් බව නුවණින් සිතුවොත් ඔබටත් තේරේවි.

“පෙත්තක් තියෙනවා ෆාමසියෙන් ගන්න, එකෙන් පීරියඩ් හැදෙන්නේ නෑ. කෝවිලේ ජූපාවක් තියෙන කොට අපි ඒක ගන්නවා, නැත්තං හැදුණොත් එහෙම යන්න බෑනේ” රාණි පැවසුවාය. බොහෝ හින්දු කෝවිල් ඔසප් සිදු වන දින වලදී කාන්තාවන්ට කෝවිලට ඇතුළු වීම තහනම් කර තිබෙන අතර ඇතැම් කාන්තාවෝ ස්වෙච්ඡාවෙන්ම ආගමික ස්ථාන වලට ඇතළු වීමෙන් වැලකී සිටිති. පුජා වලට සහභාගී වීම සඳහා ඇතැම් කාන්තාවන් ඔසප් වීම ප්‍රමාද කරන ඖෂධ වර්ගද ලබා ගන්නේ මේ නිසාය.

Screenshot 2021-05-06 at 23.01.41

ශ්‍රී මහා බෝධියේ උඩ මළුවටත් ස්ත්‍රීන්ට යාමට අවසර නැහැ. දළදා මාලිගාවේ පත්තිරිප්පුවටත් යාමටත් අවසර නැහැ. එමෙන්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා පත් කර ගන්නා ඡන්ද විමසීමේදී කාන්තාවන්ට ඡන්දය පාවිච්චි කළ නොහැකිය. මෙම නීති සකස් වී ඇත්තේ ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩමවූයේ කාන්තාවක් බව අමතක කරමිනි. දන්ත ධාතුව කෙසඟ‍ අතර සඟවාගෙන ආරක්ෂා කළේ කාන්තාවක් බව අමතක කරමිනි.

Screenshot 2021-05-06 at 23.16.26

(මුහුණපොතෙනි)

පීරියඩ් ඩිලේ ටැබ්ලට් හෙවත් ඔසප් වීම කල් දමන ඖෂධ වර්ග නිතර භාවිත කිරීමෙන් අතුරු ඵල ඇති විය හැකි බව මානව සෞඛ්‍ය සහ යහපැවැත්මට අදාළ ප්‍රවෘත්ති සහ තොරතුරු ඇතුළත් webmd.com වෙබ් අඩවිය පෙන්වා දෙයි. වමනය, හිසරදය, ක්ලාන්තය, නිදා ගැනීමේ අපහසුව, බර අඩුවීම, කුරුලෑ මතුවීම, පියයුරු ඉදිමීම හෝ තද වීම යනාදිය එම අතුරු ආබාධ අතර වන බව එම වෙබ් අඩවියේ දැක්වේ.

පාසල් ගුරුවරියක් වන සුනීතා කතාවට එක්වෙමින් මෙසේ පැවසුවාය. “අසනීප දවසට කොහොම හරි නිවාඩුවක් දාන්න බලනවා. ඉස්කෝලේ ඉතිං වතුර එහෙම නෑනේ හෝ ගන්න. පෑඩ් එකත් අපි කොලේක ඔතාගෙන ගෙදර ගේනවා, එළි පිට විසි කරන්න බෑනේ”

අධ්‍යාපනය සහ ආගමික කටයුතු වලදී පමණක් නොව රැකියාවේදී ද මේ ඔසප් වීම බාධාවක් වන ආකාරය ඇය පැහැදිලි කළාය. “සාරියේ ටිකක් හරි ලේ ගෑවුණොත් ප්‍රින්ස්පල්ගෙන් පවා විහිළු අහන්න වෙනවා”

 ලිංගික අධ්‍යාපනය සහ අපි 

“යට කලිසමේ ලේ තිබුණොත් මට ඇවිත් කියන්න” අම්මා එසේ කීවේ මම හත වසරේ සිටින කාලයේදීය. ඒ 1997දී.  පාසල ඇරී නෙට්බෝල පුහුණු වීම සඳහා ඇදුම් මාරු කරන විට යට කලිසමේ දුඹුරු පාටට ලේ තිබෙනවා මම දැක්කෙමි. “මගේ ඔළුව රිදෙනවා, මම අද ප්‍රැක්ටිස් ඉන්නේ නෑ. ටීචර්ට කියන්න” යැයි මගේ යෙහෙලියට පවසා එතැනින් පැන ගතිමි. ගෙදර යන බස් රථයේ ඉඳ ගැනීමට සීටි තිබුණත් හිටගෙනම ගියේ, යට කලිසමේ ඇති රුධිරය පිටත ඇදුමක ගෑවුණොත් විශාල ප්‍රශ්නයක් ඇති වේ යැයි සිතමිනි. වැඩි විය පැමිණෙන යෙහෙළියන් ඔළුවේ සිට පෙරවා ගෙදරට ඇරලීම හත, අට ශ්‍රේණිවලදී සිදු වන සුලබ දෙයකි. ඒ නිසා මේ ගැන අම්මා හැර කිසිම කෙනෙකුට දැන ගැනීමට ඉඩ නෙතැබීම මගේ අරමුණ විය. මා නිවසට යන විට අම්මා සිටියේ ළිඳ ළඟ නාමිනි. “කලිසමේ ලේ තියෙනවා” අම්මා මා දෙස හැරී වත් නෙබලා “ ආ ඇත්තද? මෙතනින් ඉඳ ගන්න දැං නාගෙනම යමු” කියමින් වතුර බාල්දියක් ඇද මාව නාවා මගේ යට කලිසම හේදුවාය. කාමරයට ගොස් ඇඳුම් ඇඳ ගන්නා අතර තුර සනීපාරක්ෂක තුවායක් මගේ යට කලිසමේ අලවා, “ආ මේක ඇඳ ගන්න. එතෙකාට ලේ ඇඳුමේ ගෑවෙන්නේ නෑ. දැං හැම මාසෙම මේ වගේ ලේ ටිකක් යනවා. එතකොට මේ වගේ පෑඩ් එකක් කලිසමේ අලව ගත්තහම හරි” ඊළඟ දිනයේ මා පාසල් යන එකට කිරි අම්මා තරමක් විරුද්ධ වුණද අම්මා එය ගණන් ගත්තේ නැත. “කාටවත් මේ ගැන කියන්න එපා. දැන ගත්තොත් එහෙම මගෙන් පාටි ඉල්ලයි” යනුවෙන් ඇය පැවසුවේ මගේ පාසලේම ඇය ගැරුවරියක් වූ නිසාය. “ඇයි පාටි දෙන්නේ” මම ඇසුවෙමි. “පිස්සුවට” කියාගෙන කාමරයෙන් එළියට ගිය ඇය වැඩි විය පැමිණීම ඇති මිත්‍යා අදහස් ගැන කුඩා පොත් පිංචක් සහ උදා වූ යෞවනය නම් වූ පොතක් මා අත තැබුවාය.

2016දී මම සෞඛ්‍යය හා සම්බන්ධ විෂයක් ඉගැන්වීමට පාසලකට බැඳුණෙමි. එහි උපදේශන ගුරුවරයා මා හඳුනා ගත් වහාම ඔහුගේ කාමරයට රැගෙන ගොස් පොත් මිටියක් මගේ අත තබමින් “මිස්ට තමයි මේක ගැලපෙන්නේ. මේ පොත් ටික මම තියාගෙන හිටියේ මිස් වගේ කෙනෙක්ට දෙන්නම තමයි”  යනුවෙන් පැවසුවාය. ඒ උදා වූ යෞවනය පොත් මිටියකි. එදා පොත් ටික කලඑළ බැස්සේ මුද්‍රණය කර අවුරුදු 20කට පසුවයි.

වැඩිවිය පැමිණීම, ඔසප් වීම, ශුක්‍රාණු පිට වීම, නව යොවුන් විය වැනි මාතෘකා පිළිබද විශාල හිඩැසක් අප අතර පවතින බවට තවත් උදාහණ අවශ්‍යද? තමන්ගේ ශරීර පිළිබද, එහි ක්‍රියාකාරිත්වය පිළිබද නිවැරදි තොරතුරු නොලැබීම ගැහැන දරුවන් මුහුණ දෙන විශාල අභියෝගයකි.

“පංති භාර ටීචර් කලබලනේ පංතියට ඇවිත් මාව එක්ක ගියා ස්ටාෆ් රූම් එකට. මගේ ගවුමේ ලේ ගෑවිලා තියෙනවා වෙන ටීචර් කෙනෙක් දැකලා, එයා අපේ පංතිභාර ටීචර්ට කියලා තිබුණේ. ත්‍රීවීල් එකක් ගෙන්නලා, ටීචර්ලා දෙන්නෙක් මාව ගෙදරට ඇරලුවා. ගෙදරට යන කොටම අපේ අම්මා අඬාගෙන ඇවිත් මාව බදා ගත්තා. මට තේරුණේ නෑ මේ කිසිම දෙයක්. මම හිතුවා මට ලොකු අසනීපයත් හැදිලා කියලා”  තමන් වැඩිවිය පත් වූ දිනය රාණි සිහිපත් කළාය.

“මට නිකං බෝවෙන ලෙඩක් හැදිලා වගේ තමයි සැලකුවේ. අම්මා විතරයි එන්නේ මං ඉන්න තැනට.” ඇය කීවාය.

මගේ මිතුරියන් ඔසප් වීම හදුන්වන්නේ “සනීප නෑ” කියාය. මාස් සුද්ධිය යන්න තරමක් වැඩිහිටි පරම්පරාව විසින් භාවිත කරන බව මට සිතේ. කිරි අම්මා ඒ වදනය පාවිච්චි කළ බව මට මතකය. මේ වදන වලින් එක්කෝ කියවෙන්නේ, ඔසප් වීම යම් ආකාරය රෝගයක් එසේත් නැතිනම් අපිරිසිදු දෙයක් පිටවීම යන අදහසයි. ඔසප් රුධිරය අපිරිසිදුය යන අදහසද කෙතරම් මුල් බැස ගෙන තිබෙනවාද කියතොත් “කිරි අම්මගේ චීත්තේ පහන් තිරේකටවත් ගන්නේ නෑ” යනුවෙන් අම්පාර ප්‍රදේශයේදී මා සහභාගී වුණ වැඩමුළුවකදී තරුණ කොල්ලෙක් පැවසුවේය.

ලෙඩක්, අපිරිසිදු දෙයක් යන වැරදි අදහස අප අතර පවතින්නේ ශරීරය පිළිබව නිවැරදි විද්‍යාත්මක දැනුමක් නොමැති නිසාය. උදාහරණයක් වශයෙන් ඔසප් වීම කියන්නේ කුමක්දැයි ඇසූ විට එය නිවැරදිව විස්තර කළ හැකිවන්නේ ඉතාම සුළු පිරිසකටය. කොළඹ ප්‍රසිද්ධ පාසලක සෞඛ්‍ය ගැරුවරියක් වැඩමුළුවකදී පැවසුවේ ඩිම්භ කෝෂයෙන් ඩිම්භය පිට වෙද්දී සෑදෙන තුවාලයෙන් පිට වන රුධිරය බවයි.

අට ශ්‍රේණිය සෞඛ්‍යය පෙළ පොතේ ඔසප් වීම පිළිබද ඇති සටහන මෙසේය. “ගැහැනු දරුවකු නව යොවුන් වියට ළඟා වීමත් සමග ම ක්‍රියාකාරී තත්ත්වයට පත් වන ඩිම්බ කෝෂ මඟින් ඩිම්බයක් පැලෝපීය නාලය තුළට මුදා හරියි. මෙය ඩිම්බ මෝචනය නම් වේ. ඩිම්බයක් යනු දරුවකු පිළිසිඳ ගැනීම සඳහා අවශ්‍ය වන මාතෘ සෛලයයි. ඩිම්බ මෝචනය තමාට නොදැනී ම සිදුවන ක්‍රියාවලියකි. මේ සමග ම, පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් ඇති වන කලලය පිළිගැනීම සඳහා ගර්භාශය, ඇතුළත ආස්තරයේ ඝනකම වැඩි කර ගනිමින් සුදානම් වෙයි. පිළිසිඳ ගැනීමක් සිදු නොවූ විට ඩිම්බ මෝචනයෙන් දින 14 කට පමණ පසු මෙම ආස්තරයේ පටක කොටස් කැඩි බිඳී රුධිරයත් සමග යෝනි මාර්ගය හරහා පිට වේ. මෙය ඔසප් වීම යනුවෙන් හැඳින්වේ 8 ශ්‍රේණිය, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය (පිටුව103)

ඉහත කී ගුරුවරිය තමන් උගන්වන පෙළ පොත වත් කියවා නැති බව නේද පෙනෙන්නේ?

ඔසප් වීමේදී පිට වන්නේ මොනවාද?  ඔසප් රුධිරයේ ඇති ප්‍රෝටීන පධාර්ථ හඳුනා ගැනීම සඳහා විද්‍යාගාර ඇසුරෙන් සිදු කළ පර්යේෂණයක දැක්වෙන්නේ 

  1. රුධිරය
  2. ගර්භාෂයේ ඇතුළත බිත්තියේ පටල
  3. ගැබ් ගෙල සහ යෝනි මාර්ගයේ ඇති ශේෂ්මල

යන කොට ඔසප් වීමේදී පිටවන බවයි. විද්‍යාත්මකව බැලූ විට එහි අපිරිසිදු බවක් නැත. අපිරිසිදු යැයි සිතවනවා නම්, අපේ ශරීරයේ සෑම අභ්‍යන්තර කොටසක්ම අපිරිිසිදු බව සිතිය යුතුය.

ඔසප් දිළිඳුබව කියන්නේ කුමක්ද? 

ඔසප් දිළිඳුබව හෙවත් ආර්තව දරිද්‍රතාවය යනුවෙන් අදහස් වන්නේ ස්ත්‍රියක් සිය ඔසප් වීම හේතුවෙන් මුහුණ දෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතිකමය දුෂ්කරතා හරහා ඇගේ අධ්‍යාපනයට සහ අවසානයේ ඇගේ සමස්ත ජීවිතයට සිදුවන බලපෑමයි. www.globalcitizen.org “සනීපාරක්ෂක තුවා වලට, ඔසප් සනීපාරක්ෂාව පිළිබද අධ්‍යාපනයට, වැසිකිළි, දෑත් සේදීම සඳහා පහසුකම් සහ හෝ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ප්‍රවේශය නොමැති වීම යනු ආර්ථව දරිද්‍රතාවයයි.” යනුවෙන් නිර්වචනය කරයි. එය ළමා සංවර්ධනයට මෙන්ම ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනයට අතිශය ඍණාත්මකව බලපාන බව ගෝලීය පිළිගැනීමකි.

 

“පසුගිය කාලයේදී කිලිනොච්චිය, නුවරඑළිය හා වැලිකන්ද ප්‍රදේශවල අප විසින් සිදුකරනු ලැබූ පර්යේෂණවලට අනුව වැඩිහිටි කාන්තාවන්ගෙන් 73% ක ප්‍රතිශතයක් තවමත් රෙදි භාවිතය සිදුකරන අතර, තරුණියන් හා ගැහැණු දරුවන්ගෙන් 47% ක් රෙදි භාවිතා කරයි. පියාගේ පරණ සරමක්, අම්මාගේ පරණ චීත්ත රෙදි කැබැල්ලක් ආර්තව දිනවලදී පරිහරණය කරනු ලබන අතර. මේවා සෝදා වියලා ගැනීම, පුරුෂ පාර්ශවයෙන් වසන් කර තබාගැනීම යනාදියට වෙනමම පරිශ්‍රමයක් දැරීමට ද සිදුවේ.” – සනීපාරක්ෂක තුවා වල මිල දැරිය නොහැකි වීම නිසා ඔසප් වන කාලය තුළ පාසල් නොයාම ශ්‍රී ලංකාවේ සුලබ සිදුවීමක් බව සමාජ සාධාරණය සඳහා කැප වී සිටින ක්‍රියාකාරීන් ගේ එකතුවක් වන නෙලුම්යාය පදනම පෙන්වා දෙයි.

ලැජ්ජාව, ලැජ්ජාව, ලැජ්ජාව  

ජීව විද්‍යාත්මක සංසිද්ධියක් මුල් කර පොදු අවකාශය තුළ සැරි සැරීමට සීමා පැනවීම සාධාරණද? ඉහත සාකච්ඡා කළ පරිදි රුධිරය පිටවීම ස්වභාවිකය. එසේනම්, එය පාසල් නොයා නිවසේ සිටීමට සිදු වන්නේ, පන්සලට, කෝවිලට ඇතුළු වීමට තහනම් වන්නේ, රුධිරය ඇඳුමේ ගෑවීම ලැජ්ජාවට කරුණක් වන්නේ ඇයි?

මේ ලැජ්ජාව ඉවත් කරන්නට ලෝකය පුරා ස්ත්‍රීන් නොනවත්වා සටන් වදින්නේ, ඔසප් වීම නිසා ස්ත්‍රීන්ට පැනවෙන් සීමාවන් අභියෝගයට ලක් කිරීම සඳහාය.

සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම ගැන ඔබට අත්දැකීමක් තිබෙනවාද? ඇතැමුන් සනීපාරක්ෂ තුවා පැකට්ටුව කඩදාසියක ඔතා දුඹුරු කඩදාසි බෑගයක දමා ඉතා රහසින් ස්ත්‍රිය අත තබයි. පළමු ඔසප් වීම පිළිබද අඬ බෙර ගසා, ගමට සාදයක් පවත්වා මාසික ඔසප් වීමේදී ඒ බව සඟවන්නේ ඇයි? ඔසප් වීම පිළිබද විවෘත සාකච්ඡාවක් අවශ්‍ය බවට එය තවත් සාක්ෂියකි.

finish-line-kiran-290x300 2015 වසරේදී කිරන් ගාන්ධි නැමති තරුණිය ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වූයේ ඔසප් වීම අතරතරුය. ඔසප් වීම කල් දැමීමට කිසිදු ඖෂධටක් නොගත් ඇය, සනීපාක්ෂක තුවායක් භාවිත කළේද නැත. ද ඉන්ඩිපෙන්ඩන්ඩ් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡායකදී ඇය ප්‍රකාශ කර තිබුණේ නිදහසේ දිවීමට එසේ කළ බවත්, ඔසප් වීම ලැජ්ජාවෙන් නිදහස් කිරීම ඉන් සංඛේතවත් කරන බවත්ය.

 

60027888_874435859573539_2876846395682193408_n

“මාසයකට වතාවක් යෝනි මාර්ගයෙන් ලේ පිට වෙන එක ලැජ්ජා විය යුතු හෝ විහිළුවට ලක් කළ යුතු දෙයක් හෝ නොවේ. සනීපාරක්ෂක තුවා සහ ටැම්පෝන් ගැනද ලැජ්ජා විය යුතු නැහැ. අපිට ලේ ගිය් නැත්තං ඒක මානව සංහතියේ අවසානය තමයි” – සඳුනි හෙට්ටිගොඩ ( YANSL)

සබැදි තොරතුරු

ඔසප් වීම සම්බන්ධ සුලභ ගැටළු මොනවාද?

ඔසප් වීම ප්‍රමාද නම්?

Social Share: