2019 මාර්තු 02.
ඉමාෂා පෙරේරා විසිනි.
ශ්‍රී ලංකාව තුල ගත් කල සමාජය විසින් නිර්ණය කරන ලද ගැහැණියකගේ බාහිර පෙනුම හා හැසිරීම යන රාමුව තුල සංක්‍රාන්තික කාන්තාවක් කොටු වී සිටින්නේනම් සමාජය විසින් ඇයව ගැහැනියක් ලෙස පිළිගැනීමට උත්සහ ගනු ලබයි. ලංකාවේ බහුතරයක් පිරිසට කාන්තා ඇදුමින්, දිගු කළු වරලස සමග රැවුල නොමැතිව, මටසිලිටු කටහඩ සමග, ලාලිත්‍ය සහිත ගමන් විලාසය, කාන්තා ආයිත්තම් සහ විලාසිතාවන් පුද්ගලයෙකු තුලින් නිසි ආකාරව එකිනෙකට සම්බන්ධ වී පෙනෙන්නේනම් ඔහු/ ඇය යනුවෙන් ඔවුන්ව වෙනකොට හදුනා ගැනීමට අපහසු වන අතර සමාජය පිළිගනු ලබන කාන්තා ප්‍රතිරූපය වේ නම් ඇයටද සමනත්මකතාවයෙන් සලකනු ලබයි. උදාහරණයක් ලෙස, ‘ඔයානම් ගැහැණු ළමයෙකු වගේමයි………. හොයන්නවත් බෑ’ යනුවෙන් එක් සංක්‍රාන්තික කාන්තාවකට පවසන සමාජය විසින්ම තවත් සංක්‍රාන්තික කාන්තාවකට ‘එයානම් පිරිමියෙක් කියලා පේනවා……….පිරිමි ගති අතහරින්න බැනේ’ යනුවෙන් පවසනු දක්නට හැකියාව ඇත. මෙමගින් මුලිකවම හෙළිවන කාරණාවක් වනුයේ බාහිර රුපය මත පුද්ගලයා පිලිබදව සමාජය නිර්ණය කරන බවත් තම අබිමතය පරිදි එය සිදු කරන වගත්ය. ශ්‍රී ලංකාව තුල නම් විනීත ඇදුමින් සැරසී අග පසග වසා සිටීමෙන්, කළු වර්ණ දිගු හිසකෙස් මගින් කාන්තාවක් ලෙස සමාජයෙන් මද වෙලාවකට හෝ පිළිගැනීමට ලක්වීමට සංක්‍රාන්තික තරුණියකට අවස්ථාව ඇත. ලංකික සමාජය තුල කාන්තාවකගෙන් බලාපොරොත්තු වන කාන්තා ලක්ෂණයන්ට වඩා වැඩි යමක් ඔවුන් සංක්‍රාන්තික කාන්තාවකගෙන් බලාපොරොත්තු වන අතර උපතින්ම කාන්තාවක් වන තරුණියක පිරිමින් සිදු කරන යම් ක්‍රියාවක් සිදු කලද එය ඇගේ මුරණ්ඩුකම යැයි සිතා හෝ ඇයගේ ධ්‍යෛර්ය ලෙස සලකන අතර සංක්‍රාන්තික තරුණියක් එසේ සිදු කරන්නේනම් එමගින් ඇය ඇයගේ සංක්‍රාන්තික දිවියට පෙර ගෙවූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වූ ජිවිතයේ පුරුදු ලෙස සලකා ඇයට නිගරු කරනු ඇත. සමාජය තුලදී නියම පිරිමියා ලෙස රැවුල වැවු, හැදී දැඩි, ශක්තිමත් හා කාර්යශීලි පුද්ගලයෙකු වන අතර නිර්භීතකම, ධ්‍යෛර්ය, උත්සාහය හා බිය නැති කම තිබිය යුතුය. කාන්තාවක්නම් හැදියාව, ලාලිත්‍ය, ගේදොර කටයුතු කිරීමේ හැකියාව, සුන්දරත්වය, පුරුෂයා යටතේ සිටීම වැනි දෑ සමාජය විසින් ඇයට දී ඇත. එනමුත් සංක්‍රාන්තික තරුණියක් යනු මෙම දෙපාර්ශවයේම සම්මිශ්‍රණයක් වීම තුලින් ඇය මෙම සියලු කාරණා හමුවේ හෝ බහුතරයකට පලදායිතාවයක් දක්වයි. මෙම කාරණාව පිළිගැනීමට සමාජය මැලි කමක් දැක්වීම තුලින් සංක්‍රාන්තික කාන්තාවගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අලලා ඇයට චෝදනා කරනු ලබයි.
ශ්‍රී ලංකාව ගත් කල සංක්‍රාන්තික කාන්තාවන් තුල තමන්ටම ආවේනික වූ විලාසිතාවන් හා අනන්‍යතාවයන් දක්නට ලැබෙනු ඇත. මෙය තම රුචි අරුචිකම් මත, භූගෝලීය පසුබිම මත, සාමජිය වටපිටාව මත, මුල්‍යමය වශයෙන් තමන් සිටින තත්වය හා දැනුම මතද වෙනස් වේ. උදාහරණයක් ලෙස යාපනයේ වෙසෙන දමිළ සංක්‍රාන්තික කාන්තාවක් නිරන්තරයෙන් හින්දු ආගම් පසුබිමට අනුකුලව විලාසිතා සිදු කරන අතර ඔවුන්ගේ සංස්කෘතිය තුල ජිවත් වේ. එනමුත් කොළඹ අවට ජිවත් වන සංක්‍රාන්තික කාන්තවන් මීට හාත් පසින්ම වෙනස් වේ. බහුතරයක් උසස් හා මධ්‍යම පන්තික සංක්‍රාන්තික තරුණියන් කාන්තාවන් ලෙස සමාජය පිළිගත් ස්ත්‍රී කොට්ඨාශයට සමාන ආකාරයෙන් විලාසිතා හා බාහිර රුපය පවත්වාගෙන යනු ලබයි. එනම් හිසකෙස් වර්ණ ගැන්වීම, නිය ආලේපන භාවිතය, රෝම කුප ඉවත් කිරීම, රුපලවන්ය කටයුතු සිදු කිරීම, අඩි උස පාවහන් හා නවතම විලාසිතාවන් සිදු කිරීම, ඔවුනොවුන් ඔවුන්ට හැකි පමණින් සිදු කරන අතර පියයුරු ඉස්මතුකොට පෙන්වීම හා උකුල ප්‍රදේශය ඉස්මතු වන සේ විලාසිතා කිරීමද සිදු කරයි. කොලඹ හා ඒ අවට වාසස්ථානය කරගත් බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් අග පසග නිරාවරණය වන සේ විලාසිතා කිරීමට නැබුරක් දක්වන අතර මත්පැන් පානය, දුම්වැටි භාවිතය සිදු කරයි.
මෙම ක්‍රියාවන් තුළ කිසිදු වරදක් නොවන අතර සමාජය විසින් පිළිගන්නා ස්ත්‍රියද මෙම දේවල් සිදු කරන අවස්ථා තිබීම එයට හේතුවකි. එනමුත් සමාජය එය පිළිගැනීමට සූදානම් නොවේ. තවද සංක්‍රාන්තික කාන්තාවකගේ දේහ ලක්ෂණ හා ලිංගික අවයව මතද, පියයුරු වල ස්වභාවය හා මුහුණේ ස්වභාවය මත ඇයව අනෙකුත් සමාජය විසින් පිළිගන්න කාන්තාවකගෙන් වෙනකොට හැදින්වීමට සමාජය පුරුදු වී ඇත. එපමණක් නොව කටහඩෙහි රළු ස්වභාවයක් වේ නම්, ඇය පුරුෂයෙකු ලෙස හැසිරේ නම් කිසදු විටක සමාජය ඇයව කාන්තාවක් ලෙස සමාජය නොහදුන්වයි. සමාජයේ බහුතරයක් නොදන්නා කාරණාවක් වනුයේ සංක්‍රාන්තික යනු හුදෙකුත් පුද්ගලයෙකු සමාජය විසින් රාමු කරන ලද පිරිමියා හෝ ගැහැණිය යන ප‍්‍රතිරුපයන්ට සීමා වීමට උත්සහ ගැනීමක් නොවන බවය. සංක්‍රාන්තික කාන්තාවන් සියලු දෙනා හිස කෙස් වැවීම සිදු නොකරයි, ඇයට පියයුරු තිබීම හෝ නොතිබීම, යෝනි මාර්ගයද පුරුෂ ලිංගයද තමන්ට අවශ්‍ය යන වග ඇය තීරණය කරනු ලබයි. එනමුත් මෙම හේතුන් මත ඇය පිළිගැනීම සමාජය ප්‍රතික්ෂේප කරයි. සිතන්න සංක්‍රාන්තික කාන්තාවක් පුරුෂයෙකුගේ යැයි සැලකෙන කමිසයක්, ටයි පටියක් හා කලිසමක් ඇදහොත් ඇය සංක්‍රාන්තික කාන්තාවක් ලෙස නොව කාන්තා ගති සහිත පුරුෂයෙකු හෝ සමාජයේ ව්‍යවහාරය වන නපුංසකයා යන අනුවර්ථ නාමයෙන් ඇයව ආමන්ත්‍රණය කරනු ලබයි. මෙමගින් පෙනී යන්නේ සමාජය විසින් කාන්තාවක් නම් මෙම දේවල් පමණක් කලයුතු බවත් මෙම දේවල් නොකළයුතු බවත් තීරණය කිරීම තුලින් යම් පුද්ගලයෙකු එසේ නොවේ නම් ඇයව හෝ ඔහුව සමාජය පිළිනොගන්නා අතර ඔවුන්ව ලේබල් කරණ බවත්ය.
ඉහත සදහන් කල ආකාරයට සමාජය විසින් තහවුරු කරන ලද කාන්තාව යන රාමුවට පිටින් යම් සංක්‍රාන්තික කාන්තාවක් වේ නම් ඇයට සමාජයෙන් පිළිගැනීමක් නොදෙන අතර මානසික හිංසනයන්, සාමජිය හිංසනයන් හා කායික හිංසනයන් සිදු කිරීමට සමාජය පෙළබේ. සමාජයේ බහුතරයකගේ මතය වනුයේ මෙසේ ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සමාජය විසින් නිර්ණය කරන්නා වූ ආකාරයට විසීමට යමෙක් අකමැති වේ නම් ඇය පුරුෂ පක්ෂයට නිගරු කරන බවත්, ශ්‍රී ලංකාව තුල නම් ආගමික හා සංස්කෘතික වශයෙන් ඇය සමාජයට බලපෑමක් බවත් සමාජයේ මතය වේ. මා ලද අත්දැකීම් හා මාගේ සංක්‍රාන්තික මිතුරියන් ලද අත්දැකීම්ද මත මා නිරීක්ෂණය කල දෙයක් වනුයේ සංක්‍රාන්තික තරුණියක් සමාජයට අවශ්‍ය වන ආකාරයට තම ද්යෛනික ජීවිතය පවත්වාගෙන යන්නේනම් හා ඇයගේ බාහිර පෙනුම සමාජය විසින් නිර්ණය කරන්නා වූ කාන්තා ලක්ෂණ හා සැසදෙනම් සමාජය විසින් ඇයට සිදු කරන හානි අවම වීම හෝ නොවීමයි. ප්‍රබල උදාහරණයක් ලෙස මා සදහන් කිරීමට යනුයේ දෙදිනක් තුල මා විසින් සිදු කල නිරික්ෂණයකි. පළමු දින මා කටු රැවුල තබා, කොණ්ඩය ගැටගසා, ඇහිබැමද සාදා, බොටම් කලිසමක් හා කමිසයක් ඇද නිය ආලේපන ගලවා පොදු ප්‍රවාහන සේවයකට නැගී අවස්ථාවක මා හට උසුළු විසුළු කිරීමත් විවේචන සිදු කිරීමත් සිදු වූ අතර දෙවන දින එම මාර්ගයේම මේකප් කොට කාන්තා ඇදුමින් සැරසී ගමන් කල විට කිසිවෙකු මා සංක්‍රාන්තික කාන්තාවක්ද යන වගවත් හදුනා නොගැනීමයි.මෙමගින් අනාවරණය වනුයේ පළමු දින මා, මා විසින් ඇදි වස්ත්‍රයට අනුකුලව හසුරුනිනම් හා නිය ආලේපන ඇතුළු කාන්තා ආයිත්තම් නොතිබුනිනම් සමාජය විසින් මා පුරුෂයෙකු සේ සැලකීමත් දෙවන දින ඔවුන් සිතන ආකාරයට මාගේ පෙනුම වූ හෙයින් මා කාන්තාවක් ලෙස පිළිගැනීමත් තුලින් සමාජයේ පටු මානසිකත්වය හා තමන් කැමති දේ පමණක් පිළිගැනීමටත් තමන් අකමැති දේ නොතිබිය යුතු ය යන මතය සමාජයේ තිබෙන බවත්ය.
ඉහත සදහන් කල ආකාරයට බාහිර පෙනුම මත හා ජිවන රටාව මත ශ්‍රී ලංකාව තුල සංක්‍රාන්තික තරුණියන් හට මානසික, කායික හා සමාජීය හිංසනයන්ට ගොදුරු වීමට සිදු වන අතර මෙමගින් සමාජය තුල වෙනස්කොට සැලකීම හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලට ගොදුරැ වීමටද සිදු වේ. එනමුත් බාහිරින් කාන්තාවක් ලෙස පෙනුනද යම් පුද්ගලයෙකු සංක්‍රාන්තික තරුණියගේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය දැන ගත හොත් එය සමාජයටම පතුරවා නැවතත් එම සංක්‍රාන්තික තරුණියට හිංසා පිඩා සිදු කිරීමට පෙළබේ. එපමණක් නොව ඇය හා සම්බන්ධතා පවත්වනු ලබන සියලුම පාර්ශවයන් අයගෙන් වෙන් කිරීමටත් එසේ නොකරන පාර්ශවයන්ටද හිංසා කිරීමටද, වෙනස්කොට සැලකීමටද සමාජය කටයුතු සිදු කරයි.
![]() |
ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |




![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)