බස් රථ තුල පීඩා විදින කාන්තාවන්

2020 නොවැම්බර් 25.

ahaka_large

සියල්ල වෙනස් වේ යැයි සිතුවද තවමත් කිසිම දෙයක් හොඳ විදියට වෙනස් වෙලා නැහැ. සමාජය දියුණු වී ඇත, උගතුන් බිහිවී ඇත යන්න උදම් නැගුවත් තවමත් කාන්තාවකට හෝ කුඩා ගැහැණු දරුවෙකුට බස් රථයකවත් නිදහසේ යන්න බැරි පහත් නින්දිත සමාජය ලංකාව තුල පවතී. පවතී පමණක් නොව මේ යන රටාවේ හැටියට එය ඉදිරියටද ගමන් කරනු ඇත. උදෑසන පාසල් යාමට බස් රථයට නගින ගැහැණු දරුවන් පාසැල ලගින් බසින විට පිරිමියෙකුගේ පහත් අමන ක්‍රියාවකට ලක් වී ඇත. මෙය කෙතරම් අප්‍රිය නින්දිත ක්‍රියාවක්ද ? උදෑසන යනු දවසේ ආරම්භයයි. පාසලට යාමටත් ප්‍රථම ඇයගේ දිනය, මනස විනාශ වනු ඇත. දරාගත නොහැකි ලැජ්ජාවක් ඇගේ හිත මරාදමනු ඇත. කියා ගත නොහැකි සිත් වේදනාවක් ඇය තුල උපදිනු ඇත. අනේ මගේ රට ! මෙවැනි ක්‍රියා තවමත් සිදුවනවා නේද ? අනේ මගේ රටේ දරුවන් ? පපුවට පිහියෙන් අනිනවටත් වඩා දරාගත නොහැකි වේදනාවක් එක්ක ජිවත් වෙන කාන්තාවන් ! අපිට වැරදුනේ කොතනද ? මට නම් තවමත් එය සිත ගත නොහැක. ඇයි මිනිසුන් මෙතරම් පහත් වුණේ ? නින්දිත වුණේ ? මේ දිග හැරුම බස් රථ තුල අපයෝජනයට ලක්වන කාන්තාවන්ගේ ජිවිත ගැනයි.

සමාජ වටපිටාව, අගක් මුලක් නොදැන දිව යන තරගකාරී ලෝකය හා  ආර්ථීකය නිසා මිනිසුන් හෙම්බත් වෙලා. සල්ලි වලට යට වුනු පහත් ගතිගුණ නිසා සමාජ දුර්වල වෙලා. ආත්මාර්ථය නිසා දුප්පත් පොහොසත් ලෙස සමාජ දෙකඩ වෙලා. බලාපොරොත්තු නොවූ මොහොතක පැමිණි කොවිඩ් වයිරසය නිසා මුළු ලෝකයම පසුබෑමකට ලක්වෙලා. අපි කවුරුත් මේ මොහොතේ තවතවත් තමන් ගැන මෙන්ම අනෙකා ගැනද සිතිය යුතුය. නමුත්, මේ මොහොතේදී පවා පහත් නින්දිත ක්‍රියා සිදුකරන මිනිසුන් සමාජය තුල සිටි. ඔවුන් කුමන හෝ ආකාරයකින් ඔවුන්ගේ ආශාවන් සපුරාගැනීමට සැරසී සිටිනවා. එම ආශාවන් කාන්තාවන්ගෙන් සපුරා ගැනීමට යොමුවන පිරිම සමස්ත සමාජයම අදුරු කර ඇත. ලිංගික ආශාවල් වෙනුවෙන් බස් රථ තුල ගමන් ගන්නා කාන්තාවන්ට හිරිහැර කිරීමට තරම් පිරිමින් තිරිසනුන් බවට පත්වෙලා. සමස්ත පිරිමි සමාජයම මේ නිසා අපහසුතාවයට පත් වෙනවා නොඅනුමානය. නමුත් එක් තිරිසන් ගති ඇති පිරිමියෙකු නිසා අනෙක් අයට මුහුණ පාන්නට සිදුවෙන අපහසුතාවයට කාන්තාවට කිසිදා වගකිව නොහැක. ඒ ඔවුන්ට බස් රථවල සිදුවන මෙම අපයෝජන සදහා අදවනතුරු ශක්තිමත් බලපෑමක් සිදු කිරීමට වෙන කිසිදු පිරිමියෙකුද සහය නොදැක්වීමයි.  කාන්තාව වෙනුවෙන් කතා කරන පිරිමින් නැතුවා නොවේ. නමුත් මෙවැනි ක්‍රියා නොදැක්කා සේ සිටින පිරිමින් පිරිස 90%ටත් වැඩිය.

කාන්තාව සහ ළමයින්, ක්‍රි.ව. 1914 – 1918 පළමු ලෝක යුද්ධය සහ ක්‍රි.ව. 1939 – 1945 දෙවන ලෝක යුද්ධයේදී ඇති වූ ඉතා බිහිසුණු ව්‍යවසනයන්ගේ වේදනාකාරී ප්‍රතිපලයක් ලෙස කිසිදිනක ප්‍රමාණ කළ නොහැකි වටිනා ජීවිත මිලියන ගණනක් ලෝකයට අහිමි විය. ඒ අතර යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැති ළමයින් මෙන්ම කාන්තාවෝ ලක්ෂ ගණනක්ද ඊට වන්දි ගෙවූහ. මේ සියලු හේතු මුල් කරගෙන ක්‍රි.ව. 1945දී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය විය. එහි ප්‍රතිපලයක් ලෙස 1948 දෙසැම්බර් 10 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මානව අයිතිවාසිකම් පිලිබදව විශ්ව ප්‍රකාශනය සම්මත කර ගනු ලැබිණි. මෙහිදී වීශේෂ අවදානයට යොමු විය යුතු කණ්ඩායම් ලෙස මුලින්ම අවදානය යොමු වුයේ කාන්තාවන් සහ ළමුන් පිළිබඳවයි. පවුල් ඒකකය තුල කාන්තාව, මවක හා බිරියක වශයෙන් ඉටු කරන කාර්යභාරය ඉමහත්ය. දරුවන් බිහි කිරීම, හදාවඩා ගැනීම, ආදරය හා ආරක්ෂාව ලබා දීම, ආහාර හා පෝෂණ අවශ්‍යතා ඉටු කිරීම වැනි කාර්යයන් මගින් සමාජ යහපත හා දියුණුව සදහා මවක ලෙස කාන්තාව ඉටු කරන්නේ ඉතා වැදගත් කාර්යභාරයකි. ළමයි සමස්ත ලෝකයකම අනාගත පැවැත්මයි. ළමයින්ට වන අපයෝජනයන්ට ලක් වීම්, ළමා ශ්‍රමය ප්‍රයෝජනයට ගැනීම වැනි දේ නිසා ඔවුන්ගේ අයිතිවසිකම් ආරක්ෂා කිරීම සදහා 1989දි ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියක් සම්මත කරගනු ලබනවා. 1991 වර්ෂයේදී ශ්‍රී ලංකාවද එකය අත්සන් කර පිළිගනු ලබනවා. මෙපණක්ද නොව ලංකා රජය තුලද කාන්තාව හා ළමුන් ආරක්ෂා කිරීමට විවිධ රාජ්‍ය ආයතන , රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් පත්කර තිබෙනවා. උදාහරණ ලෙස පරිවාස හා ළමාරක්ෂණ නිලදාරීන්, පොලිස් අධිකාරිය තුල ස්ථාපිත කර ඇති ළමා හා කාන්තා කාර්යාංශය, සමාජ සේවා නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ආදිය දැක්විය හැක. මිට අමතරව ඕනෑම හදිසි අවස්ථාවකදී 119 හෝ 1929 දුරකථන මාර්ගද භාවිත කල හැක. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව තුලද 12 ව්‍යවස්ථාව (1), 12 ව්‍යවස්ථාව (4), 5වන පරිච්ඡේදය රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම 27.(6), 27.(13)ද, 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත, 1939 අංක 32 මාතෘ ආධාර පනත, 1954 අංක 19 සාප්පු හා කාර්යාල සේවක පනත, 2005 අංක 14 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත දැක්විය හැක.

මෙතරම් ආරක්ෂාවක්, නීතින් තිබෙනවානම්, අපේ රටේ කාන්තාව කෙතරම් වාසනාවන්තද ? ඔබ එසේ සිතෙන්නට ඇත. එම වාසනාව කිසිදා ලබන්නට තරම් ශ්‍රී ලංකාවේ කාන්තාව සුදුසුකම් ලබා නැත. සමාජ විසින්ම එම වාසනාව විනාශ කර දමා ඇත. එසේ නීතින් තිබෙනවානම් කාන්තාව ආරක්ෂිතයි නේද ? නැහැ. සැබවින්ම පොදු ප්‍රවාහන සේවයක් වන බස් රථ වල පවා ගමන් ගන්නා විටද අපේ රටේ කාන්තවන් අනාරක්ෂිතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්නවා දෙන ආකාරයට අනුව ප්‍රධාන ක්‍රම හතරක් ඔස්සේ අපයෝජනයන් සිදුවිය හැක.

BUS - Umanga

මේ ආකාර හතරටම බස් රථ තුලද කාන්තාවන් අපයෝජනයට ලක්වනවා.

අඩු වැඩි වශයෙන් සෑම දිනකම කාන්තාවන් බස් රථ තුලදී මෙලෙස අපහසුතාවනට හා හිංසන වලට ලක් වනවා.

ලංකාව තුල උදේ සවස බස් රථ වල ගමන් ගන්න කාන්තාවන්ට සිදුවන මෙම හිංසාකාරී ක්‍රියාව වත්මන් සමජාය තුල දිනෙන් දින බහුලවම පවතින්නක් බවට පත්වී ඇත. ඇයි මෙහෙම කරන්නේ ? ඇයි කාන්තාවකට නිදහසේ බස් රථයකවත් යන්න බැරි ? ඇයි නිතරම කාන්තාවන්ව පීඩනට ලක් කරන්නේ ? ඇයි මේ වගේ ජරා පහත් නින්දිත තිරිසනුන්ට සමාජ තුල ගැවසීමට ඉඩ ලබාදෙන්නේ ? ඇයි ඔබේ මවට, නැගණියට, බිරිඳට, ආදරවන්තියට මෙහෙම දේවල් වෙන්න ඉඩ දීලා තවමත් නිශ්ශබ්දව ඉන්නේ ? පසුගිය සති කිහිපය පුරාවට මෙවැනි පහත් නින්දිත ක්‍රියා විශාල ප්‍රමාණයක් මට අසන්නට ලැබුණා. උදෑසන පාසල් යන ගැහැණු දරුවකුට, සවස මව සමග පාසල් නිමවී නිවසට එන කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකුට හා ඒ මවට, රැකියාවට ගොස් නිවසට පැමිණෙන තරුණියකට ආදිය ලෙස කිසිදු වයස් සීමාවකින් තොරව මුහුණපාන්නට සිදුවන  මේ ජරා පහත් ක්‍රියාව සිදුකරන්නන් පෙලෙන්නා වූ මානසික ව්‍යාකුලතාවය මට නම් සිත ගත නොහැක. අවස්ථා කිහිපයකදීම බස් රථයේ සිටි මෙවැනි පුද්ගලයන් බස් රථයෙන් බැස්ස වීමට මමද කටයුතු කර තිබුණා. දිනක් මම සහ මව නිවසට එන අවස්ථාවේ බස් රථයේ සිටි එක පුද්ගලයෙකුගේ හැසිරීමේ වෙනස් බවක් දැක්කා. ඔහු බස්රථය තුල කිහිප වතාවක්ම එහෙට මෙහෙට ඇවිද්දා. පසුව නිතරම ඔහු කාන්තාවන් අසල රැදෙන්නට පටන් ගත්තා. වහාම ක්‍රියාත්මක වුනු මම බස් රථයේ කොන්දොස්තර වරයාට කතා කර එම පුද්ගලයාව බස් රථයෙන් එලියට දැම්මා. මොහු ගමන් ගන්නා බස්රථය තුල කිහිපවතාවක්ම ඇවිදින බව කොන්දොස්තර දුටු බව මම හොදින්ම දැක්කා. නමුත් ඔහු ඒ සදහා කසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. නොදැක්ක සේ කටයුතු කරා. සත්‍ය වශයෙන්ම ඇයි මිනිසුන් වැරැද්දක් පෙන්වීමට හෝ වැරදි කරන මෙවැනි මිනිසුන්ට විරුද්ධ නොවන්නේ?. තවත් හාස්‍යට කරුණ නම් බස් රථය තුල කාන්තාවකට සිදුවන මේවැනි අපයෝජනයන්ට එරෙහි වීම වෙනුවට සමහර තරුණ ප්‍රජාව මේවා වීඩියෝ ගත කරනවා. අර පහත් නින්දිත ක්‍රියාවේ යෙදෙන පුද්ගලයා මෙන් ඔවුන්ද එම කාන්තාව එවිට අපයෝජනයට ලක්කර අවසන්ය. වැරැද්දට විරුද්ද වනවා වෙනුවට ඔවුන්ද එමගින් කාන්තාව හිංසනයට ලක් කරනවා. පසුගිය අවුරුද්දේ මෙවැනි දර්ශන කිහිපයක්ම විවිධ මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීමටද කටයුතු කරා. එය එක අතකට සමාජය දැනුවත් කිරීමක් වුවද ඒ මොහොතේ එම කරදරයට මුහුණ පාන කාන්තාව වෙනුවෙන් කිසිවෙකුත් කතාකරන්නේ නැහැ. එසේ වීඩියෝ දර්ශන පවා සමාජයට යොමු කලද මෙවැනි ක්‍රියා නැවතී නැත. මගේ මතය අනුව මෙවැනි ක්‍රියා අඩුවනවා වෙනුවට වර්තමානය වනවිට එවැනි ක්‍රියාවල වර්ධනයක් වී තිබෙනවා. ලිංගික ආශාවන් වෙනුවෙන් කුඩා දරුවන්, තරුණියන්, මව්වරුන් හිංසනයට ලක් කිරීමට තරම් පිරිමින් පහත නින්දිත වුයේ ඇයි ? සමහර අවස්ථා වලදී මෙවැනි ක්‍රියාවලට මුහුණ දීමට පිරිමි ළමුන්ටද සිදුවනවා. නමුත් බහුලවම මේ නින්දිත ක්‍රියාවට ලක්වන්නේ කාන්තාවයි.

මෙවැනි ක්‍රියා සමාජයෙන් ඉවත් කරීමට නම් අනිවාර්යෙන්ම යහපත් සමාජ රටාවක් හා ප්‍රයෝගීකව ජිවිතයට සම්බන්ද කළ හැකි අධ්‍යපනයක් ඇති කළ යුතුයි. අවුරුදු ගණනාවක සිට බණ දේශනා පවත්වන සමාජයක, වසරක් පාසා යාතිකා කරන සමජයක මිනිසුන් තවමත් මෙවැනි පහත් නින්දිත ක්‍රියා වල යෙදෙනවානම් ආගම් වල ඉගැන්වීම් සාර්ථකද ? මේ මොහොතේදී පවා කාන්තාවක් බස් රථයක් තුල හිංසනයට ලක් වනවා නොඅනුමානයි. ශාරීරිකව ලිංගිකව හෝ පමණක් නොව බස් රථ තුල කාන්තාවන් මානසිකව අපයෝජනයට ලක්වීම වැලැක්වීම සදහා අප කුමක් කලයුතුද ? ආගම මගින් හෝ කරන්නට නොහැකි වූ මේ විශ්ව හාස්කම කිරීමට මායාවක් තිබෙනවාද? ඔව් ඒ හාස්කම මායාවක් නොව, එය කල හැකි ලොව සිටිනා එකම දෙවියා ඔබයි. පහත් නින්දිත ක්‍රියාවල යෙදෙන්නට එරෙහි වීමට ශක්තිය හා එවැනි පසුබිමක් සමාජය තුල ඇතිවීම වැලැක්වීම කල හැක්කේ මිනිසුන්ටම පමණයි.

  • දැන් සිටිනා එවැනි ක්‍රියා කරන කරන මිනිසුන් දුටු තැන ඔවුනට විරුද්ධ වන්න.
  • හැකිනම් ඔවුන්ගේ ඡායාරුපයක් ගෙන ඔහු පිළිබඳව සමාජය දැනුවත් කරන්න.
  • නොදැනුවත්ව කාන්තාවක් එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙනවනම් ඇයව දනුවන් කරන්න. ඒ මන්ද යත් කුඩා ගැහැණු දරුවන මේ පිළිබඳ හරි හැටි නොදන්නවා විය හැක.
  • තවත් මෙවැනි සමාජයක් බිහි නොවීමට අවශ්‍ය අධ්‍යාපනයක් ඔබේ පුතාට ලබාදෙන්න.
  • මෙවැනි ප්‍රශ්නවලට බිය නොවී එරෙහි වීමට ඔබේ දුවව දැනුවත් කරන්න, ශක්තිමත් කරන්න.
  • තවද ,මෙවැනි ක්‍රියා සදහා ගන්නා නීතිමය කටයුතු සදහා ඔබේ බලපෑම එක්ක කරන්න.
  • සමාජය දැනුවත් කිරීම හා ඒ සදහා ඇවැසි නීති යෝජනා ඉදිරිපත් කරන්න.
  • කරුණාකර ඔබේ දුවට, පුතාට සල්ලි වලට වඩා ආත්මතෘප්තිය වැදගත් බව වටහා දෙන්න.
  • සතුට පරම ධනය බව ඔවුනට කියා දෙන්න.
  • ඒ සතුට අනෙකා රිදවීමෙන් කිසිදා ලබාගත නොහැකි බව කියා දෙන්න.

මගේ මතය නම් මෙවැනි ක්‍රියා කරන පුද්ගලයන් සමාජයෙන් ඉවත් කල යුතුය යන්නයි. කිසියම් කෙනෙකු ඔවුනට තවත් වරක් අනුකම්පා කරනවා නම් එය එම ක්‍රියාවන්ට සහය දැක්වීමක් ලෙස මම දකිනවා. මේ 2020, තවත් බලා ඉන්නට දෙයක් නැත. මේ වෙනතුරුත් සමාජය තුල  මෙවැනි ක්‍රියා සිදුවනවානම් කිසිසේත්ම සමාවක් දිය යුතු නැත. ඔවුනට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කල යුතුයි. මවකගෙන් උපත ලබන මිනිසුන් ඒ ගුණයත් අමතක කර මෙලෙස හැසිරෙනවා නම් ඔවුනට ලබා දිය යුතු දඩුවම කුමක්ද යන්න සියවතාවක් සිතිය යුතුය. ආදරණිය අම්ම කෙනෙක්ට, දරුවෙකුට, තරුණියකට නිදහසේ බස් රථයකවත් ගමන් කරන්නට බැරි සමාජයක ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට කටයුතු කරනවා නම් කරුණාකර ඔබේ ගෙල සිදගන්න. ඔබ සල්ලි හොයන්නේ, ඉගන ගන්නේ, රැකියාවක් කරන්නේ මෙවැනි සමාජයක් නඩත්තු කරන්නට නම් ඔබ ඒ සදහා මහන්සි වීම කිසිසේත්ම ප්‍රයෝජනවත් නැත. ගැහැණු පිරිම බේදයක් නැත. ‘’අම්මේ මට ආපහු නම් බස් වල යන්න බැහැ. මහා ජරා මිනිස්සු ඉන්නේ” කියලා ඔබේ දුවත් ඔබට කියන තුරු මුකුත් නොදැක්කගානට ඉන්න සුදානම් වනවා නම් කරුණාකර ඔබ ප්‍රථමයෙන්ම සමාජයෙන් ඉවත් වන්න. මෙය අද ඊයේ සිට සිදුවන්නක් නොව. ඒ නිසා දැන්වත් මෙවැනි ක්‍රියා සදහා එරෙහි වන්න. “ආ ඔහොම මටත් වෙලා තියනවනේ” කියලා මෝඩ කතා කියලා ළමයින්ගේ, තවත් කාන්තාවකගේ ජිවිතය විනාශ කරන්න එපා. ඔබට එවැනි ප්‍රශ්නයක් වුනා නම් තවකෙනෙක්ටත් ඒක වෙන්න දීලා බලන් ඉන්න තරම් පහත් නොවන්න. දිනෙන් දින මෙලෙස බස් රථ තුල හිංසනයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් හඩක් නගන්න. එවැනි පහත් නින්දිත ක්‍රියා කරන්නන්ට දැඩි ලෙස විරෝධය දක්වන්න.

ඔබ කෙතරම් සාර්ථක වුවද, උගත් වුවද, සමාජය පහත් නම්, නින්දිත නම්, ඔබේ රටේ කාන්තාවකට නිදහසේ බස් රථයකවත් ගමන් කළ නොහැකි නම්,                                                    මතක තබාගන්න, අනිවාර්යෙන්ම දිනක ඔබවද අපයෝජනයට ලක්වනු ඇත.

උමා ප්‍රනාන්දු

Social Share: