පාසල් විෂය මාලාව තුළ අප ගැන කිසිම සදහනක් නෑ

2019 මාර්තු 25.

ඉමාෂා පෙරේරා විසිනි.

ශ්‍රී ලංකාව යනු නිරන්තරයෙන් දේශපාලනික වෙනස්වීම් සිදුවන රටක් වන අතර කිසිදු පෙර සුදානමක් නොමැතිව අත්තනෝමතිකව තීරණ ගනු ලබන දේශපාලනික වපසරියකින් වට වූ දේශයකි. අධ්‍යාපනය යනු ශ්‍රී ලංකික දේශපාලනය තුල නිරන්තරයෙන් කතිකාවත් තුලට භාජනය වන හා නිරන්තරයෙන් වෙනස්වීම් වලට භාජනය වන මාතෘකාවකි. වසර තුනකට සැරයක්වත් විෂය මාලාවන් වෙනස් වන අතර තිබෙන විෂය  මාලාවට නව කරුණු එකතු කිරීම නිරන්තරයෙන් සිදු වේ.

රජයේ විෂය නිර්දේශයන් තුල මේ වන විට සාමාන්‍ය පෙළ දරුවෙකු හට අනිවාර්යය විෂයන් ඇතුළුව විෂයන් නාමයක් වන අතර උසස් පෙළ සිසුවෙකු හට අනිවාර්යය විෂය ත්‍රිත්වයට අමතරව පොදු පරීක්ෂණය හා ඉංග්‍රීසි විෂයද ඇතුළුව විෂයන් පහකි. මූලික වශයෙන් විෂය නිර්දේශයන් තුල ගණිතය හා විද්‍යාව විෂය ධාරාවන්ට මුලිකත්වය සපයමින් විෂය මාලාවන් නිර්මාණය වී ඇති අතර දෙවනුව හෙළ බස, ගිණුම්කරණය, ඉංග්‍රීසි යන විෂයන් තුලට අවදානයත් දී ඇත. කාල සටහන් නිර්මානයේදීද ගණිතය හා විද්‍යාව යන විෂයන් සදහා අමතර කාල පරිච්චේදයන් හිමි වන අතර දරුවන් සමාජය හා ගැටිය යුතු හා ගැටීමට අවස්තාව සලසා දෙනු ලබන විෂයන් සදහා වැඩි අවදානයක් නොදෙන අතර එවැනි විෂයන් තුල අන්තර්ගත විය යුතු කරුණුද සංස්කරණය කොට සාරාංශ ගත කොට දක්වයි. අධ්‍යාපන ශේස්ත්‍රය තුල නව විෂය නිර්දේශ නිර්මාණයේදී නිරන්තරයෙන් අධ්‍යාපනය ශ්‍රී ලංකික සංස්කෘතිය, ආගම් වපසරිය, දේශපාලනික හේතුන්, ආකල්ප මත පාලනය වන අතර අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු විෂය නිර්දේශය නිර්මාණය කරන්නන්ගේ දැක්ම, ආකල්ප හා පුද්ගලික මතයන් මත නිර්ණය වනු ඇත. එනම් යම් ආගමක, සංස්කෘතියක තමන් එය දකින ආකාරය මත එක් විටක ගුණ පමණක්ද තවත් විටක අගුණ පමණක්ද ඇතුලත් කිරීමත් සමාජ සම්මතයට විරෝධී යැයි සිතනු ලබන තමන් පිළිගැනීමට අකමැති දෙයක් වේ නම් එය විෂය නිර්දේශයට ඇතුලත් නොකිරීමට ද ඔවුන් කටයුතු කරනු ලබයි.උදාහරණයක් ලෙස ඉතිහාසය ගත් කල සමරිසි පුද්ගලයන් රජ අසුනේ සිටම සිටි අතර කිසිදු විටක එය සදහන් නොකරන අතර ඓතිහාසික චරිතයක් තුල සමරිසි පුද්ගලයකු වේ නම් ඔහුගේ එම සත්‍ය වසන්කොට තැබීමද සිදු කරයි.

තවද විද්‍යාව හා සෞඛ්‍ය විෂය ධාරාවන් තුල අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතු ලිංග භේදය, ජාන පිලිබදව හා හෝර්මෝන ක්‍රියාකාරිත්වයද, ස්ත්‍රී පුරුෂ සමාජභාවයද යන මාතෘකා විග්‍රහ කිරීමේදී කිසිදු විටක ප්‍රජාව පිලිබදව හා ඔවුන්ද සමාජයේ කොටසක් බව පැවසීමට පවා ඔවුන් මැලි වේ. එම කරුණු අන්තර්ගත කලද සාරාංශ ගත කිරීමට හෝ ගුරු අත්පොතෙහි අනිවාර්යය කිරීමට පැකිලේ. එමෙන්ම දේශපාලනිකව ගත් කලද එම ප්‍රජාව පිලිබදව තොරතුරු අන්තර්ගතකොට එම විෂය නිර්දේශය නිම කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මැලි කමක් දක්වනුයේ එමගින් ආගමික ගැටළු, සංස්කෘතික ගැටළු හා සමාජීය ගැටළු මත ඔවුන්ගේ ජන්දයන් අඩු වීමට ඇති ඉඩ කඩ හා සමාජයේ ඇති සහයෝගය සීමා වේ යැයි බිය නිසාය.

සාමාන්‍යයෙන් ගත් කල ප්‍රජාව පිලිබදව යම් තොරතුරක් හෝ දැනුමක් වේ නම් ඒ පිලිබදව අන්තර් ගත විය යුත්තේ මුලිකවම විද්‍යාව, සෞඛ්‍ය හා ඉතිහාසය විෂයන් තුලටය. එනම් විද්‍යාව විෂය තුල ජාන පිලිබදව විග්‍රහ කිරීමේදී, ලිංග භේදය හා ප්‍රජනන ක්‍රියාවලිය හා ප්‍රජනන පද්ධතිය යන මාතෘකා තුලද, සෞඛ්‍ය විෂය තුල ලිංගික අවයව, ප්‍රජනනය, ජානමය ස්වරුපය, වැඩිවියට පත්වීම, ලිංගිකත්වය, මානසික සෞඛ්‍ය යන මාතෘකා තුලද, ඉතිහාසය විෂය තුල නම් ප්‍රජාව නියෝජනය කල ඓතිහාසික චරිත, ප්‍රජාව පිළිබද ඉතිහාසය හා නීතිමය ස්වභාවය,ඔවුන්ගේ ලද සේවාවන් යන මාතෘකා ඔස්සේ එම තොරතුරු අන්තර්ගත විය යුතු අතර සිසු සිසුවියන් හට කුඩා කල සිටම එම දැනුම ලබා දිය යුතුය. එනමුත් කිසිම විටක එවැන්නක් සිදු නොවන අතර ප්‍රජාව පිලිබදව යම් පරිච්චේදයක් අන්තර්ගතකොට ඇත්නම් එය තුලින් අවශ්‍ය තොරතුරු හෝ ගුණ අගුණ නොව හුදෙකුත් එය සමාජයේ තිබෙන්නක් ලෙසත් විටෙක පවසන ආකාරය මත එය නීති විරෝධී හෝ රෝගී තත්වයක් ලෙසට ඒත්තු ගැන්වීමටත් උත්සහ ගෙන ඇත. එනමුත් වර්තමානය වන විට අට වසර සිට ඉහල ශ්‍රේණි සදහා ප්‍රජාව පිලිබදව තොරතුරු යම්තාක් දුරකට අන්තර් ගත කොට ඇත.

එනමුත් කෙතරම් දුරකට ප්‍රජාව පිලිබදව දැනුමක් විෂය නිර්දේශයන් තුලට අන්තර්ගත කල තිබුනද එය උගන්වනු ලබන ගුරුවරයා හා ගුරුවරියගේ දැනුම , ආකල්ප හා පුද්ගලික මතය මත ඇය හෝ ඔහු එය පිළිගැනීමට ඇති කැමැත්ත හා අකමැත්ත මත එය ඉගැන්වීම නිර්ණය වේ. උදාහරණයක් වශයෙන් ගුරුවරයා ආගම, සංස්කෘතිය, සදාචාරය යන කරුනුද, ඔහුගේ ආකල්ප මතද, එය සිසු සිසුවියන්ට පැවසීමට ඇති ලැජ්ජාව හා අපහසුතාවය යන කරුණු මත එම පරිච්චේදයන් මග හැරීමට බහුතරයක් ගුරුවරුන් කටයුතු කරයි.විශේෂයෙන් වැඩිහිටි කාන්තා ගුරුවරියන් මෙම මාතෘකා උවමනාවෙන්ම මග හරින අතර එම පරිච්චේදයන් විෂය නිර්දේශයට ඇතුලත් කොට තිබීම පිලිබදව තම අප්‍රසාදය පල කරන අතර සිසුවෙකු එම මාතෘකාව පිලිබදව කරුණු විමසීමේදී එම පරිච්චේදයෙන් විභාගයට ප්‍රශ්න නොවසන බව පවසා එය මග හරිනු ලබයි. මෙයට මුලික හේතුව නම් ගුරුවරුන්ට හා ගුරුවරියන්ට ගුරු පත්වීම් ලබා දීමට පෙර ඔවුන්ට ප්‍රජාව පිලිබදව මනා දැනුමක් නොදීම, ඔවුන්ගේ ආකල්ප, පුද්ගලික මතයන් හා දැක්මන් පිලිබදව, පාසල තුල ප්‍රජාව නියෝජනය කරන දරුවෙකු වේ නම් ඔහුට හෝ ඇයට සැලකිය යුතු ආකාරය, එය සාමාන්‍යකරණය කිරීමට ඇති කැමැත්ත හා මෙම මාතෘකාව පිලිබදව කතා කිරීමට කොතරම් හැකියාවක්, පෞර්ෂත්වයක් හා බියක් වේ දැයි යන්න සොයා නොබැලිමයි. එයට හේතුවනම් මෙය මානුෂිකත්වය පිලිබදව ගැටළුවක් වීමත් විටෙක් විටෙක ජිවිතයක් පිලිබදව ගැටළුවක්ද විය හැකි වීමත් නිසාය. බහුතරයක් ගුරුවරුන් හා ගුරුවරියන්ට ඒ පිලිබදව මනා දැනුමක් නොවීම හා ගුරු පුහුණුවේදී එවැනි දරුවන් හා ගනුදෙනු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොදීම හා අවස්ථාවක් නොවීම හේතුවෙන් මෙවැනි තත්වයන් ඇති විය හැක. එපමණක් නොව අවශ්‍ය පමණ දැනුම ඒ පිලිබදව නොතිබීම නිසා සිසුන් අසනු ලබන අමතර ප්‍රශ්න වලට දීමට පිළිතුරු නොදැනීම හේතුවෙන්ද ගුරුවරුන් මෙම මාතෘකාව ඉගැන්වීම මග හරිනු ලබයි. එමෙන්ම මෙම මාතෘකා ඉගැන්වීම තුලින් දරුවන් නොමග යන බවත් දැන ගැනීමෙන් පසු එම කරුණු අත්හදා බැලීමට යැයි යන අනිසි බියත්, මෙම මාතෘකා ඉගැන්වීමෙන් පසු දෙමව්පියන්ගෙන් විය හැකි විවේචන හා චෝදනා මතද තම රැකියාව අහිමි වේ යැයි බිය නිසාද මෙම මාතෘකාව ඉගැන්වීම ඔවුන් ප්‍රතික්ෂේප කරනු ඇත.

එමෙන්ම යම් ගුරුවරයෙක් ප්‍රජාව පිලිබදව විද්‍යාත්මකව ඉගැන්වුවද, මානුෂික ඇසින්, සමාජීය වශයෙන්, මානසික වශයෙන් එය ඉගැන්වීම නොකරන අතර කිසිදු විටෙක එවැනි දරුවෙකු තම පන්තිය තුල, පාසල තුල වේද යන්න සොයා නොබලයි.හුදෙකුත් එය විෂය ධාරාවේ එක කොටසක් ලෙස පමණක් සිතන ඔවුන් එය උගන්වන විට එවැනි දරුවෙකු වේ නම් ඒ දරුවාට පන්තියේ අනෙකුත් දරුවන් ඇගිල්ල දිගුකොට මොහු වගේද යන්න හෝ නම පවසා ඇසීමේදී එසේ නොපවසන්න යනුවෙන් පවසා සාමාන්‍යකරණය කොට පහදා දීමට කටයුතු කිරීමටද ඔවුන් නොදනී.එමගින් එම මාතෘකාව ඉගැන්වීමෙන් පසු සිසුන් අතර ඇතිවන ප්‍රශ්න හා ගැටළු මත ප්‍රජාවේ දරුවෙකු පන්තියෙහි වේ නම් ඔහු හෝ ඇය අපහසුතාවයට පත්වන සේ ප්ප්‍රශ්න කිරීම් තුළටත්, අතවරයට ලක් වීමටත්, උසුළු විසුළු වලට භාජනය වීමටත් විටෙක ශ්‍රේණිය හා පාසල තුලම ඔහු හෝ ඇය පිලිබදව ප්‍රසිද්ධ කොට මානසිකව හා කායිකව එම දරුවා පිඩාවට පත්වීමටත් කටයුතු සිදු වේ. එමෙන්ම දරුවා පිලිබදව දැනගත් පසු පාසැල තුලදීම සිසුන් අතින් හා විටෙක ගුරුවරුන් හා විදුහල්පතිවරයා අතින්ද අතවරයට පත් වූ අවස්ථා  ද වාර්තා වී ඇත. එමෙන්ම ගුරුවරුන් අතර ප්‍රජාව නියෝජනය කරන ගුරුවරයෙකු වේ නම් ඔහු පිලිබදව පිළිකුල් සහගත කෝණයකින් බලනු ලබන අතර එම ගුරුවරයා නිසා දරුවන් නොමග යන බවත් ඔහු ගුරුවරයෙකු වීමට නොසුදුසු බවත් ගුරුවරුන් විසින්ම හංවඩු ගසයි.

මෙම ගැටලුව මත යම් දරුවෙකුට මෙම ප්‍රජාව පිලිබදව දැනුමක් නොදීම තුලින් ඔවුන් සමාජ ගත වීමත්, වැඩිහිටියන් බවට පත් වීමත් සමගම ඔවුන්ද ප්‍රජාව වෙනස්කොට සැලකීමට හා හිංසනයන් පමුණුවීමට පෙලබෙන අතර තම දරුවා එසේ වුවහොත් පිළිගැනීමටද අපහොසත් වේ.

53817018_2145887228832968_3046277778858049536_o ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: