2021 මැයි 18.
පබා දේශප්‍රිය විසිනි.
“බඳින්න කලින් ‘sex’ කරලා තියෙනවා නම් පෝරුවට නගින කොට ක්ලාන්තය හැදෙනව කියන්නේ ඇත්තද?” පාසල් යන කාලයේදී කියවූ කාන්තා පුවත්පතක පාඨක තීරුවට යොමු කර තිබූ පැනයකි. ඒ වන විට මට වයස අවුරුදු 14ක් පමණ වන්නට ඇති නමුත් ඒ පැනය මගේ සිතේ හොඳින් කා වැදුණි. එයට පිළිතුරු දුන් කලාපය කියවීමට මට නොහැකි වූ අතර වසර ගණනාවක් යන තුරු මේ පැනයට මම යටි සිතෙන් පිළිතුරු සෙව්වෙමි.
කන්‍යා පටලය ගැන මුලින්ම දැන ගනිමු
දැනට මාස දෙකකට පමණ පෙර කටුනායක ප්‍රදේශයේ පැවති වැඩමුළුවකදී එය සංවිධානය කළ හිතවතියක් මෙසේ ඇසුවාවය. “මේ අර කන්‍යාපටලය අලුතෙන් හදා ගන්න තැනක් දන්නවද? අපේ මධ්‍යස්ථානෙට එන ළමයෙක් ඒක කර ගන්න ඕනේ කියලා හරියට කරදර කරනවා” ඇසූ පමණින් මගේ කටට ආවේ, විනිශ්චය කිරීමක් සහිත “පිස්සුද?” යන්නයි. “එහෙම තැන් තියෙනවාලු, මං දන්න කපල් එකක් දෙන්නම එකට ගිහින් හදා ගෙන ආවා” එයට එකතු වූ තවත් හිතවතියක් පැවසුවාය. “මං කිව්වා ඔය බොරු විකාර නොකර ඉන්න කියලා, ඒ ගෑනු ළමයට ඕනේමලු ඒක හදා ගන්න. නැත්තං පස්සට ප්‍රශ්න වෙලා කසාදෙත් කැඩෙයි කියලා බයයිලු” මගේ හිතවතිය තව දුරටත් කියාගෙන ගියාය.
ශිශ්නය පළමු වරට යෝනි මාර්ගයට ඇතුළත් කිරීමේදී කන්‍යාපටලය ඉරී ගොස් රුධිරය පිට වන බව බොහෝ අය විශ්වාස කරති. මේ විශ්වාසයට මූලික හේතුව වන්නේ කන්‍යාපටලය කියන්නේ කුමක්දැයි කියා හරි හැටි අවබෝධයක් නොමැති වීමයි.
කන්‍යාපටලය යනු යෝනි මාර්ගය අඩක් හෝ සුළු ප්‍රමාණයක් ආවරණය වන සේ පිහිටා ඇති ශ්ලේෂ්මල පටලයකි. කන්‍යාපටලය විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණයෙන් පිහිටිය හැකිය. එමෙන්ම, ශරීරයේ ඇති වන හෝමෝන වෙනස් කම් වලදී, උදාහරණයක් ලෙස මල්වර වියේදී හෝ ගර්භණී කාලය තුළ කන්‍යාපටලයේ ඝනකම අඩු වැඩි විය හැකිය. කන්‍යාපටලය ඇදෙනසුලු ස්වභාවයක් ගන්නා නිසා ලිංගික හැසිරීමකදී ඉරීමක් සිදු නොවන කන්‍යාපටලද ඇත. කන්‍යාපටලයක් නොමැතිව උපදින කාන්තාවන්ද සිටී.
ඉහත රූප සටහනේ කන්‍යා පටලය පෙන්වා දී ඇත්තේ තැඹිලි පැහැයෙනි. කළු පැහැයෙන් දැක්වෙන්නේ කන්‍යාපටලයෙන් වැසී නොමැති යෝනි විවරයයි. පළමු රූපයේ දැක්වෙන්නේ සාමාන්‍ය කන්‍යාපටලයයි. බොහෝ ස්ත්‍රීන්ට පිහිටා ඇත්තේ ඒ ආකාරයේ පටලයකි. අවසාන රූපයේ දැක්වෙන්නේ යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වසා ගෙන පිහිටා ඇති කන්‍යාපටලයයි. එවැනි අවස්ථාවලදී එය කුඩා ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතු වේ. මන්ද, යෝනිමාර්ගය සම්පූර්ණයෙන් වැසී ඇති විට ඔසප් රුධිරය බැහැර වීමට ඉඩක් නැත. කන්‍යාපටපයේ සැබෑ ඡායාරූපයක් බැලීමට අවශ්‍ය නම් මේ දිගුවට පිවිසෙන්න. https://www.sciencedirect.com/topics/immunology-and-microbiology/hymen
කන්‍යාපටලය ඉරීමේදී පිටවන රුධිර ප්‍රමාණය ඉතා සුළුය. එය යෝනි තරලය සමඟ මිශ්‍ර වූ විට තවත් නොපෙනී යන්නට පුළුවන්. කන්‍යාපටලය ඇදෙනසුලු සියුම් ශ්ලේෂ්මල පටලයක් නිසා පළමු ලිංගික සංසර්ගයේදී ඉරීමක් සිදු නොවීමටක් ඉඩ ඇත. විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ නොවේජියානු විශ්ව විද්‍යාලයේ නාරිවේදය හා සම්බන්ධ පර්යේෂිකාවක වන ලෝන් හොෆ්මන් පෙන්වා දෙන්නේ “බෙහෝ විට පළමු ලිංගික හැසිරීමේදී යෝනි මාර්ගයෙන් රුධිරය පිට වන්නේ කන්‍යාටලය ඉරීම නිසා නොවේ. මන්ද, කන්‍යාපටලයේ රුධිර වාහිනී ඇත්තේ ඉතා සුළු වශයෙනි. කෙසේවෙතත්, විශේෂයෙන්ම, ලිංගික සංසර්ගය රළු එකක් නම් යෝනි මාර්ගයේ වෙනත් තැන්වල සීරීම් සිදු වී රුධිර ගැලීමක් සිදු විය හැකිය”
කන්‍යාපටලය පිළිබඳ ඇති ජීව විද්‍යාත්මක තොරතුරු, පවිත්‍රතාව නිරීක්ෂණය කිරීමට සුදු රෙද්දක් එළීම වැනි ඒ හා බැදුණු සංස්කෘතික භාවිතයන් සමඟ ගැළපෙන්නේ නැති බව අප තේරුම් ගැනීම අවශ්‍යය.
කන්‍යාභාවය ගැන සිතමු
කන්‍යාභාවය යනු, සාමාන්‍ය භාවිතය අනුව, කිසි දිනෙක ලිංගිකව හැසිරී නොමැති වීමයි. පළමු වරට යෝනි සංසර්ගයේ යෙදීමේදී කාන්තාවකගේ කන්‍යාභාවය අහිමි වන බව බොහෝ අය සිතති. මෙසේ සිතීම ප්‍රශ්නසහගත වන්නේ, ලිංගික හැසිරීමක් යන්න නිර්වචනය කරන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසාය. ඇතැම්හු කන්‍යාපටලයට හානි නොවන සේ ගුද මාර්ගයෙන් ලිංගිකව හැසිරෙති. මුඛය යොදා ගෙන ලිංගික තෘප්තියක් ලබති. එසේත් නොමැති නම් වැලද ගැනීම වැනි ඇතුළු කිරීමක් නොමැති ලිංගික ඇසුරක් පවත්වති. කන්‍යාපටලයට හානි වේ යැයි බියෙන් කලවා අතර ශිශ්නය රදවා ලිංගික ඇසුරක් පවත්වන අය බොහෝ සිටිති. කලවා සංසර්ගයෙන් ස්ත්‍රියකට සුරතාන්තයද පත් විය හැකියි. ඉතින්, කන්‍යාපටලයට හානියක් නොවී ඕනෑ තරම් ලිංගිකව හැසිරෙන්නට පුළුවන්.
කන්‍යාපටලය ඉරී නොතිබීම හෝ ඉරී තිබීම ලිංගික හැසිරීමක් ඔප්පු කළ හැකි සාක්ෂියක් නොවේ. 2010 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයා විසින් ශිෂ්‍යාවන් 6 දෙනෙකු කන්‍යාපටලය පරීක්ෂා කරවීම සදහා කළුබෝවිල රෝහලට යවන ලද අතර කන්‍යාභාවය ඇතිද නැතිද බැලීමට පරීක්ෂණයක් නොමැති නිසා වෛද්‍යවරුන් විසින් ශිෂ්‍යවන්ව ආපසු හරවා යවන ලදී.
“කන්‍යාභාවය (Virginity) යනු වෛද්‍යමය හෝ විද්‍යාත්මක යෙදුමක් නොවේ. කන්‍යාභාවය පිළිබඳ අදහස සමාජයීය, සංස්කෘතික සහ ආගමික ගොඩනැංවීමකි – එම ස්ත්‍රීන් සහ ගැහැනු දරුවන්ට එරෙහිව පවතින වෙනස්කොට සැලකීම පෙන්නුමක් කරන තවත් ආකාරයකි.” යනුවෙන් කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ තහනම් කිරීමට බල කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය,UNWOMEN, සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව කළ ප්‍රකාශයක දැක්වේ.
එම ප්‍රකාශනයේ මෙසේ දැක්වේ – “සමාජීය බලාපොරොත්තුවක් වන ගැහැනු දරුවන් සහ ස්ත්‍රීන් ‘කන්‍යාවන්’ ලෙස සිටීම පදනම් වී ඇත්තේ ස්ත්‍රී ලිංගිකත්වය විවාහය තුළට පමණක් සීමා විය යුතුය යන ඒකාකෘතික අදහස මතය. ගැහැනු දරුවන් සහ ස්ත්‍රීන් විවිධ හේතු මත කන්‍යාභාව පරීක්ෂණවලට බලෙන් යොමු කරවනු ලැබේ. මෙම පරීක්ෂණ ඉල්ලා සිටින කණ්ඩායම් අතර දෙමාපියන්, විවාහය සදහා සුදුසු බව ඔප්පු කිරීම සඳහා විවාහ වීමට සිටින සහකරුවන් මෙන්ම ඇතැම් රැකියාවන් සදහා සුසුදුකමක් ලෙස කන්‍යාභාව පරීක්ෂණයක් නියම කරන සේව්‍යයන් ද වේ. බොහෝ අවස්ථාවලදී මේ පරීක්ෂණ සිදු කරන්නේ වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් හෝ ප්‍රජා නායකයන් විසින් වන අතර ඒ ගැහැනු දරුවන්ගේ සහ ස්ත්‍රීන්ගේ සදාචාරය, ගෞරවය හෝ සමාජීය වටිනාකම මැනීම සදහාය. ලිංගික බලහත්කාරකමක වින්දිතයන් මෙම කන්‍යාභාව පරීක්ෂණයට ලක් කිරීම බහුල භාවිතාවක් වන අතර, බලහත්කාරකමක් සිදු වී ඇත්දැයි නිගමනය කිරීමට එය යොදා ගැනේ.
බොහෝ විට කන්‍යාභාව පරීක්ෂණය සිදු කරන්නේ කන්‍යා පටලය ඉරී ඇත්තැයි හෝ එහි විවිරයේ ප්‍රමාණය නිරීක්ෂණය කිරීමෙන් සහ හෝ යෝනි මාර්ගයට ඇගිලි ඇතුඵ කිරීමෙනි. මෙම ක්‍රම දෙකම භාවිත කරන්නේ ස්ත්‍රියකගේ ලිංගික ඉතිහාසය, යෝනි මාර්ගයෙන් හැඟවෙන බවට ඇති විශ්වාසය මතය.
ගැහැනු දරුවකු හෝ ස්ත්‍රියක ලිංගිකව හැසිරී ඇත්දැයි ඔප්පු කිරීමට මෙම ක්‍රම දෙකට හැකි යැයි කීමට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.”
“අප්පෝ, ඒ ළමයට කොහොමද ආයෙත් සුදු ගවුමක් අදින්න ඉඩ දෙන්නේ?” මා 12 වසරේ ඉගෙන ගාන්නා කාලයේදී සිය ආදරවන්තයා සමඟ රහසේ දීග ගිය මිතුරියක පිළිබඳ සිංහල ගුරුතුමිය කළ මේ ප්‍රකාශය මගේ සිතේ ගලේ කෙටූවක් මෙන් තැන්පත් වී ඇත. ඇගේ දෙමාපියන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ මගේ මිතුරිය උසස් පෙළ විභාගයට ඉදිරිපත් කිරීමයි. නමුත් පාසලෙන් එයට අවසර ලැබුණේ නැත. “ආයෙත් සුදු ගවුමක් අඳින්න ඉඩ දෙන්න” යන්න තුළින් ඒ ගුරුතුමිය අදහස් කළේ පාසල් නිල ඇදුම නොවන බව මට දැන් සිතේ. සංස්කෘතිකමය අර්ථයෙන් ලිංගිකව හැසිරී නොමැති ස්ත්‍රිය පවිත්‍ර/ පිරිසිදු කෙනෙකු හැටියට සලකයි. ඒ නිසා මගේ මිතුරිය අපවිත්‍ර වූ කෙනෙකු හැටියට සලකා ඇයගේ පාසල් ගමනට සීමා වැටුණ බව පැහැදිලිය.
විවාහ වන තුරු ලිංගික හැසිරීම්වලින් වැළකී සිටීම ස්ත්‍රියකගෙන් සමාජය බලාපොරොත්තු වන මූලික අපේක්ෂාවකි. විවාහ වන දිනයේදී මේ බව සුදු සාරියක් ඇඳීමෙන් අර්ථ ගන්වන අතර, දෙවනි මංගල දිනයේදී රතු සාරියන් ඇඳීමේන් තව දුරටත් ඇය කන්‍යාවක් නොවන බව හඟවයි.
රසිකා, මේ සාකච්ඡාවට අප හා සම්බන්ධ වූ එක් තරුණියකි. විශ්වවිද්‍යාල කාලයේ සිටම ආදර සම්බන්ධතාවක් පැවැත් වූ නමුත් රසිකා විවාහයට පෙර ලිංගික ඇසුර සුදුසු නැති බව විශ්වාස කළාය. විවාහ වන දිනය පිළිබඳ ඇයට කිසියම් බලාපොරොත්තුවක් පැවති බව ඇය කීවාය. සුදු රෙද්දක් එළා ඇගේ ‘පිරිසිදු’ බව ඔප්පු කිරීමට සියල්ල සූදානම් කර තිබුණද, ලිංගික ඇසුරේදී රුධිරය පිට වූයේ නැත. “උඹව විශ්වවිද්‍යාලවල යවලා ඉගැන්නුවේ මේ වගේ අපේ මූණේ දැලි ගාන්නද” යනුවෙන් හඬා වැලපීගෙන අම්මා කාමරයෙන් එළියට ගිය බව ඇය පැවසුවාය. “ඕකි ඉගෙන ගත්තා වැඩියි. විභාග පාස් කෙරුව වගේ නෙමෙයි මේ කර ගත්ත විනාසේ. ඉන්න එකම කෙල්ල පරිස්සං කර ගන්න බැරි වුණානේ” කියමින් පියා මවට පහර දුන් ආකාරය ඇය සිහිපත් කළාය.
අධ්‍යාපනය, රැකියාව හෝ අත්පත් කර ගන්නා තරාතිරමට වඩා කන්‍යාභාවය රැකීම ඉතා උසස් කොට අප සමාජය සලකයි. මේ ආකල්පය නිසා ගැහැනු දරුවන් වැඩි අවස්ථා සහිත- නිවසින් දුර බැහැර පාසල් හෝ වෙනත් අධ්‍යාපන ආයතනවලට යැවීමට දෙමාපියෝ මැළි වෙති. “ඉගෙන ගත්තා වගේ නෙමෙයි කසාද බඳින්න කෙනෙක් නැති වුණොත් ජීවිතේම ඉවරයිනේ” යනුවෙන් පැවසුවේ කුරුණෑගල ප්‍රදේශයේ ජීවත්වන මවකි.
කන්‍යාභාවය පිළිබඳ පවතින සංස්කෘතික භාවිතාවන් අතර මූලික වන්නේ විවාහ දින රාත්‍රියේදී සුදු රෙද්දක් එළා ලිංගික සංසර්ගයේදී රුධිරය පිටවූ බවට සාක්ෂියක් ලබා ගැනීමයි. මේ චාරිත්‍රය ස්ත්‍රීන් වෙනස් කොට සලකන එකක් ලෙස විවේචනයට බඳුන් වන්නේ, ස්ත්‍රී ශරීරයට පමණක් මෙය අදාළ කර ඇති නිසාය. “කොහොමද එහෙනං මං කෙල්ලව විශ්වාස කරන්නේ” යනුවෙන් අනුරාධපුර පැවති තරුණ වැඩමුළුවකදී පිරිමි ළමයෙක් ඇසුවේය. රුධිරය පිටවීමක් බලාපොරොත්තු වන්නේ වෙනත් කෙනෙකු සමඟ ලිංගිකව හැසිරී නොමැති බව විශ්වාසයෙන් යුතුව දැන ගැනීමට නම්, අපට කළ හැකි හොඳම දෙය වන්නේ ගැහැනු ළමයාගෙන් ඒ බව විමසීම නොවේද? ඒ බව නොකියා “කෙල්ල කොහොමද ඔයාව විශ්වාස කරන්නේ” කියා මම ඇසුවෙමි. “මං කියන එක එයා විශ්වාස කරන්න එපැයි” ඔහු කීවේය. “එහෙනං ඉතිං ඔයත් එයා කියන දෙය විශ්වාස කරන්න” මම පැවසුවෙමි. සම්බන්ධතාවක් තුළ සමානාත්මතාවක් අපේක්ෂා කරන්නේ කෙසේද, එක් පාර්ශවයකට පමණක් විශ්වාසය ඔප්පු කිරීමට සිදු වී තිබන පසුබිමක් තුළ?
අප ජීවත් වන්නේ ලිංගික බලය පුරුෂත්වයේ මූලික පදනම ලෙස සිතන පුරුෂ මූලික සමාජයක නිසා පිරිමින්ගේ කන්‍යාභාවය පිළිබඳ සාකච්ඡාවක් නොපවතී. කන්‍යාභාවය අහිමි වුවද එය පිරිමින්ගේ සමාජ තත්ත්වයට බලපාන්නේ නැත. කන්‍යාභාවය යන අදහස පුරුෂයන්ට අප අදාළ කරන්නේම නැති තරම්ය.
කන්‍යාභාවය පිළිබඳ අදහස ස්ත්‍රීන් සූරාකෑමට ලක් කරයි
පහත දැක්වෙන්නේ ‘ශ්‍රී ලංකාවේ නිදහස් වෙළද කලාපයේ විෂම ලිංගික සම්බන්ධතා සහ විවාහයට පෙර ලිංගික හැසිරිම් පිළිබඳ පිරිමින්ගේ හැගීම :‘Disrespectful men, disrespectable women’ යන අධ්‍යයනයේ දක්වා ඇති කොටසකි.
“අවිවාහක ස්ත්‍රීන් විවාහ වීමට පොරොන්දු වී හෝ අසත්‍ය ලෙස විවාහ වී ලිංගික සම්බන්ධතාවලට පොළඹවා ගන්නා පිරිමින් ස්ත්‍රී ලෝලීන් ලෙස සඳහන් කරයි. වෙළද කලාපයේ සේවයට පැමිණෙන බොහෝ ස්ත්‍රීන් පැමිණෙන්නේ විවාහයට පෙර කන්‍යාභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ වඩාත් සාම්ප්‍රදායික අදහස් පවතින ප්‍රදේශවලිනි. මෙම සංක්‍රමණික ස්ත්‍රීන් ආර්ථික වශයෙන් සම්පතක් ලෙස දකින පිරිමි, ඔවුන්ගේ සැබෑ වත්කමට වඩා වත්කමක් පෙන්වීමට ඇඳුම් පැළදුම්, මෝටර් බයිසිකල් ආදිය වෙනත් අයගෙන් ඉල්ලා ගනිති. ගෞරව නොකරන පිරිමි යන්නෙන් අදහස් කරන්නේ ස්ත්‍රීන් ලිංගික ඇසුරට පෙළඹවා ගැනීම පමණක් නොව, ඔවුන් ප්‍රසිද්ධියේ පහත් කරමින්, ඔවුන් ගැන අසත්‍ය ප්‍රසිද්ධ කරමින්, විහිළුවට ලක් කරනා අයයි. කන්‍යාභාවය අහිමි වීම යන අදහස යොදා ගනිමින් මේ ස්ත්‍රීන් දිගින් දිගමට ලිංගිකව සූරාකෑමට, අගෞරව කරන පිරිමින්ට හැකි වේ. ”
කන්‍යාභාවය ස්ත්‍රියගේ ජීවිතයට බලපාන ආකාරය පෙන්වා දෙන එම වාර්තාව “ශ්‍රී ලංකාවේ, අවිවාහක ස්ත්‍රියකට සිය පවුල තුළින් සහ ප්‍රජාව තුළින් ගෞරවයක් අත්දැකීමට නම් කන්‍යාභාවය රැක ගැනීම ඉතාමත් වැදගත් වේ.” යනුවෙන් සඳහන් කරයි.
වටිනාකම
ලිංගික අතවරවලට මුහුණ දුන් දරුවන්ට සහ ස්ත්‍රීන්ට සහන සලසන මධ්‍යස්ථානයක කොටස්කාරිත්වයක් දැරීමට මට අවස්ථා ලැබිණි. අපයෝජනයකට ලක් වූ අවුරුදු 14ක් වන ගැහැනු දරුවකු සමඟ ඇගේ මව නීති ආධාර පතාගෙන සහන පියසට ගොඩ වැදුණි. මනෝ සමාජීය උපදේශනය අතරතුර “මගේ හැම දේම නැති වෙලා ඉවරයි නේ” යනුවෙන් ඇය පැවසුවේ නැවත පාසල් යෑම පිළිබඳ කළ සාකච්ඡාවේදීය. ඇය පාසල් යෑම ප්‍රතික්ෂේප කළාය. “ලැජ්ජයි මිස්” ඇගේ පිළිතුර විය. වසරක පමණ උපදේශනයෙන් පසුව ඇය වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට එකඟ වූවාය. අවුරුදු 14ක, අපයෝජනයට ලක් වූ දරුවකු සිය ජීවිතයේ වටිනාකමක් නැති බව සිතන්නේ ඇයි? හිංසනයකින් ‘කන්‍යාභාවය’ අහිමි විය හැකිද? වටිනාකම ප්‍රශ්න කළ යුත්තේ අපයෝජනය සිදු කළ පුද්ගලයාගේ නොවේද?
ලිංගිත ඇසුර අත්දැකීම පිළිබඳ ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට ලබා දී ඇති වටිනාකම් දෙආකාරය. උදාහරණයක් ලෙස ස්ත්‍රීන් වැඩි පිරිසක් ලිංගිකව ඇසුරු කරන පුරුෂයකු සමාජය ඉදිරියේ “වැඩ්ඩෙකි” පිරිමින් වැඩි පිරිසක් කෙසේ වෙතත් එක් පිරිමියකු සමඟ හෝ විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත් වූ ස්ත්‍රිය “වේසිය”කි. මෙම ගෙඩනැංවීම තුළ, ලිංගික ඇසුර අත්විඳීමට ස්ත්‍රියට තහනම් වන අතර ලිංගික තෘප්තිය තබා තමන්ගේ ශරීරය ක්‍රියා කරන ආකාරය පිළිබඳව තොරතුරු දැන ගැනීමටත් සීමා පනවයි.
උදාහරණයක් ලෙස, පාසලේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතේ ශිශ්නයේ සහ අභ්‍යන්තර පුරුෂ ප්‍රජනන පද්ධතියේ රූප සටහන් ඇතුළත් වී තිබුණද අභ්‍යන්තර ස්ත්‍රී ලිංගික අවයවවල රූප සටහන් ඇතුළත් නොවේ. එනම්, යෝනි විවරය, යෝනි තොල්, භගමනිය ආදී ලිංගික තෘප්තියට වැඩිපුර අදාළ වන කොටස් එහි ඇතුළත් වන්නේ නැත. ස්ත්‍රියකගෙන් විවාහයට පෙර ලිංගික හැසිරීමක් බලාපොරොත්තු නොවන නිසා මේ කොටස් පිළිබඳ ඉගෙන ගත යුතු නැතැයි පෙළ පොත් ලියන දෙපාර්තුමේන්තුව සිතුවා වැනිය. “මේවා පෙන්නුවොත් ළමයි ඕවා අත්හදා බලයි” යන්න ඔවුන් ගේ නිරන්තර ප්‍රතිචාරයයි. ගැහැනු ළමයක් ‘කන්‍යාවක’ ලෙස විවාහ වන තුරු සිටිය යුතු යැයි ඇති බලාපොරොත්තුව නිසා, සිය ශරීර කොටස් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉගෙන ගැනීමට ඇති අවස්ථාවද ඇයට අහිමි වී යයි.
කන්‍යාපටලය යනු යෝනි මාර්ගය වැසී ඇති ගේට්ටුවක් යැයි සමහරු සිතති. එය වැරදිය. ඔසප් රුධිරය පිටතට පැමිණීම සඳහා යෝනි මාර්ගය විවෘත වී පැවතිය යුතුය. අවුරුදු 26ක අවිවාහක තරුණියක වන නිලූ ට පැප් පරීක්ෂණයක් සිදු කිරීම ඇගේ වෛද්‍යවරිය ප්‍රතික්ෂේප කර තිබුණේ “බැඳලත් නෑනේ, ඇතුළට එක එක දේවල් දාන්න හොඳ නෑනේ” යනුවෙන් ප්‍රකාශ කරමිනි. තමන් ලිංගිකව ක්‍රියාකාරී බව පැවසුවත් වෛද්‍යවරිය එය නොසලකා හැරි බව ඇය පැවසුවාය. කන්‍යාභාවය පිළිබඳ කෙතරම් සංකීර්ණද යන්න තේරුම් ගැනීමට මෙම සිදුවීම් අපට සහාය වේ. සාම්ප්‍රදායික වශයෙන් කන්‍යාභාවය රැකීම යනු යෝනි මාර්ගයට ශිශ්නයක් ඇතුළු කර ලිංගික ඇසුරක් පැවැත්වීමෙන් වැළකීමය. ඒ රුධිර පිටවීම අපේක්ෂා කරන්නේ යෝනි මාර්ගයෙන් වන නිසාය.
ශිශ්නයක් පමණක් නොව වෛද්‍ය උපකරණයක්වත් ඇතුළු නොකරන තරමට මෙම සංකල්පය අප සමාජයේ මුල් බැස ගෙන ඇත. ඒ නිසා, උදාහරණයක් ලෙස ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ සාකච්ඡාව පවා අධිපතිධාරී ආඛ්‍යානයෙන් ගිලිහී ගොස් ඇත. යෝනි මාර්ගය තුළට ඇතුළත් කරන ටැම්පෝන් නම් වූ පුළුන් කූරු ශ්‍රී ලංකාව තුළ වෙළද පොළේද සොයා ගැනීම අපහසුය. පරිසර හිතකතාමී නිෂ්පාදනයක් වන ‘පීරියඩ් කප්’ නැමති ප්ලාස්ටික් බහාලුම් භාවිතයට ගැනීමටද බොහෝ ගැහැනු ළමුන් මැලි වන්නේ ‘කන්‍යාභාවයට’ හානියක් වෙතැයි සිතමිනි. සිය සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු ලබා ගැනීමට අප සියලු දෙනාට හිමිකමක් ඇත. ‘කන්‍යාභාවය’ වැනි සංස්කෘතික අපේක්ෂාවන් හරහා ගැහැනු දරුවන්ට හා ස්ත්‍රීන්ට ඒ හිමිකම අහිමි වනවා නම්, සමානාත්මතාව පිළිබඳ අපේ සමාජය දොඩන පුරසාරම් බොරුය.
ජීව විද්‍යාත්මක සාධකයක් පදනම් කර ගෙන ගොඩ නැගී ඇති මෙවැනි සංස්කෘතික භාවිතාවන් ස්ත්‍රීන්ගේ තීරණ ගැනීමේ අයිතිය සීමා කරනවා පමණක් නොව සමාන අවස්ථා ලබා ගැනීමට ඇති ප්‍රවේශයද අහුරයි. ස්ත්‍රියකගේ වටිනාකම තීරණය කරන්නේ මේ තුනී ශ්ලේෂ්මල පටලද, නැතිනම් ඇය සිය ජීවිතයේදී ලබා ගන්නා අත්දැකීම් තුළද යන්න අප සිතා බැලීම වැදගත්ය. උදාහරණයක් ලෙස, ස්ත්‍රීන්ද මනුෂ්‍යයෝය යන තැනින් පටන් ගත හැකිය. මානව ශරීරය පිළිබඳ විද්‍යාත්මක තොරතුරු නොදැන ගොඩනංවන ලද කන්‍යාභාවය වැනි සංකල්ප පිළිබඳව, විද්‍යාත්මක තොරතුරු ඇසුරෙන් විමසා බැලීම අප සියලු දෙනාගේම වගකීමක් වන අතර ස්ත්‍රිය, පුරුෂයාට වඩා පහත් යැයි සැලකෙන පුරුෂ මූලික කාචය ගලවා, පියවි ඇසෙන් විද්‍යාත්මකව මානව ශරීරය දෙස බලන්නට අප සැමටම අයිතියක්ද ඇත.
