ධනුෂ්ක ගුණතිලක විසින් ඔස්ට්‍රේලියාවට ‘ගැසීම‘ සහ ලංකාවේ තඩි පිරිමි ආතල්
2022 නොවැම්බර් 08.
රදිකා ගුණරත්න විසිනි.
T20 තරගාවලියේ අවසාන පූර්ව වටයෙන් ලංකාව ඉවතට විසි වුණාට කමක් නැත. ‘අපේ ධනුෂ්ක‘ ඔස්ට්‍රේලියාවට දැනෙන්න ‘ගසා‘ තිබේ! මේ, ධනුෂ්ක සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවේ සමාජජාල පරිශීලකයන්ගේ සමස්ත ස්ථාවරයයි!
සිඩ්නි පොලිසිය විසින් චෝදනා 4 ක් නගා, අත්අඩංගුවට ගනු ලැබූ T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ධනුෂ්ක ගුණතිලක සඳුදා (08) දිනයේ සිඩ්නි අධිකරණය ඉදිරියට කැඳවනු ලැබූ අතර, ඇප ප්‍රතික්ෂේප වී, ලබන වසරේ ජනවාරි 12 වැනිදා දක්වා බන්ධනාගාරගත කර තිබේ. ඔහු අපරාධයක් කළාද නැතිද යන කාරණය දියුණු නීති පද්ධතියක් ඇති රටකදී විසඳෙන්නට නියමිත ය. එනිසා අපගේ ප්රස්තුතය එය නොවේ.
සිඩ්නි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ ‘‘ලිංගික ක්‍රියාවන් සිදුකරන අතරවාරයේ කිහිප වරක් ස්ත්‍රියට assault කර තිබෙන බව ය. මේ කතා කරන්නේ Sexual Assaults ගැන ය. එය නීතිමය භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන්නට සිදුවන්නේ ‘ලිංගික අතවර‘ යනුවෙනි. මේ අතර, තවත් මාධ්‍ය වාර්තාවල පළ වෙන අන්දමට චෝදනා හතර අදාළ වන වරද sexual intercourse without consent ය. එනම් අනුමැතියකින් තොර ලිංගික සංසර්ගයයි.
සියල්ල මෙසේ සිදුවද්දී T20 මැච් එකෙන් මක්කා වූවත්- නොවූවත්, අඩුම ගානේ ධනුෂ්ක ‘ඔස්ට්‍රේලියාවට ‘දැනෙන්න ගැහුවා‘‘ යැයි උදම් අනන තඩි පිරිමින්ගෙන් මේ මොහොතේ ලංකාවේ ෆේස්බුක්, ට්විටර් අවකාශයන් පිරී යමින් තිබේ.
ඔස්ට්‍රේලියාවේදී ඇසෙන නඩුවෙන් ධනුෂ්ක වැරදිකරු වූවත් නැතත්, අඩුම ගානේ ධනුෂ්ක, ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන පරිදි හොඳට ගහල තියෙනවා‘ යනුවෙන් සඳුදා දිනයේ පටන් නව වෘත්තාන්ත (narratives) තැනෙනු ඇත. විශේෂයෙන්ම මේ තත්වය දැකගත හැක්කේ සිංහල මාධ්‍යයෙන් සන්නිවේදනයේ යෙදෙන බහුතරය ලාංකිකයන් අතර ය. මේවායේ ෂෙයාස් (නැවත බෙදාගැනීම්) සහ කමෙන්ටු සංඛ්‍යාව දෙස බැලීමෙන් මේ බව පැහැදිලි වේ. මෙවැනි පෝස්ට් සිය ගණනක් සමාජ ජාල ප්‍රජාව අතර උණු කැවුම් මෙන් සංසරණය වේ.
ලක්ෂ ගණන් පරිශීලකයන් සිටිනා කුප්‍රකට ෆේස්බුක් ගෘප්ස්වල පමණක් නොව තනි පරිශීලකයන්ගේ ද මානසිකත්වය, මේ කරුණ සම්බන්ධයෙන් ලොකු වෙනසක් නැති බව පෙනේ.
‘‘ලංකාවට දුක්බර මොහොතක්‘ යනුවෙන් මෙම ට්විටර් සටහන ආරම්භ කරන තැනැත්තා, එය අවසන් කරන්නේ ‘‘විදේශ රටකදී ඔහු ස්ත්‍රී දූෂණයක් සිදු කළා. කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේ සුවිශේෂී ජයග්‍රහණය‘ අත් කරගෙන නැහැ‘‘ යනුවෙනි!
අවාසනාවකට මෙන්, මේ මොහොතේ ලංකාවේ සමාජ ජාල සිසාරා යන, ගැහැණුන් විසින් ද පළ කරන ‘ඒක ලොකු දෙයක් නෙවෙයි, අපිට වෙලා තියෙන දේවල්වල හැටියට. කතා කරල විසඳගන්න තිබ්බා.‘‘ වැනි ‘තඩි පිරිමි‘ කමෙන්ටු, කොතරම් සෙක්සිස්ට් සහ මිසොජෙනිස්ටික්දැයි ද අවබෝධ කර ගැනීමට තරම් දැනුමක් හෝ ශක්තියක් ලංකාවේ ක්‍රිකට් වීරයාට නොමැති විය හැකිය. ඔහුගේ කළමනාකරු පවා, ‘ඒ මගෙ කොල්ලා, මොනව වුණත් මම එයාව ආපහු ටීම් එකට ගේනවා‘ වැනි උදාන වාක්‍ය පවසමින් සිටියි. ඉතින් කොල්ලන් කවදා හැදේදැයි කිව නොහැක.
Sadistic (පරපීඩාකාමී) ලිංගික හැසිරීම්වලට ප්‍රිය කරන අය, එයට කැමති සහකරුවන්-සහකාරියන් සමග එය කරගත්තාවේ. නමුත් ඔබට අනෙකාගේ ශරීරයට රිසි දේ කරන්නට කැමැත්ත/ අනුමැතිය අනෙක් පාර්ශවයෙන් ද ලැබිය යුතු බව අමතක නොකරන්න. එය ප්රකාශිතව හෝ අප්රකාශිතව පළ කෙරෙන පළමු අවස්ථාවේදී ම අනෙකාගේ ශරීරය සම්බන්ධයෙන් ඔබට ඇති අධිපතිත්වය අහිමි වේ. අධිකරණය ඉදිරියේ තවමත් සැකකරුවෙකු පමණක් වන ධනුෂ්ක, වරදකරුවෙකු වූවත් – නැතත් මේ සිද්ධියෙන් ඉගෙන ගත යුතු ලොකුම පාඩම ඒක ය.
ඉතින් පැහැදිලි ය. ලංකාවේ අති බහුතරය විසින්, ගැහැණු ශරීරය සමග සිදුකරන ලිංගික ක්‍රියා සඳහා සහ විශේෂයෙන්ම සංසර්ගයේ යෙදීමට කියන්නේ ද ‘ගහනවා‘ කියා ය. ගැහීමෙන් හැම විටම ජනිත වන්නේ වරප්රසාදීත්වය සහ අනෙකා කෙරෙහි පතුරුවන අයුක්ති සහගත බලය හා අධිපතිත්වයයි.
සිය සමාජ ජාල සමග ‘මහත්තුරු‘ මෙන් කටයුතු කරන මහේල හෝ සංගක්කාර වැනි කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ට්විටර් සටහන් පවා, ලංකාවේ ක්‍රිකට් රසිකයන්ගේ සෙක්සිස්ට් – මිසොජෙනිස්ටික් මානසිකත්වය ආමන්ත්‍රණය කරන්නේ නැත. මේ අතර, සමාජජාල ඇසුරු කරන්නන් අතර Online toxic disinhibition මෙතරම් බහුල හෙවත් සාමාන්‍ය සමාජයේදී කෙනෙකුගේ මුහුණට කියා ගත නොහැකි තරම් සාහසික ප්‍රකාශ කරන්නට නිදහස සොයන්නේ ඇයි? ස්ත්‍රී ශරීරය හෝ ලිංගිකත්වය වැනි මාතෘකාවලට එන විට එය මෙතරම් දැවැන්ත පරිමාවන්ගෙන් ප්රකාශනයට පත් වන්නේ ඇයි? අවස්ථාව ලැබුණහොත් මේ ඔන්ලයින් හැසිරීම්, ඕෆ්ලයින් නොවන්නේද? මේ කුතුහලය, මේ අසහනය, මේ පරපීඩා කාමුකත්වය, මේ ජාගර රසය යනාදී මේ සියල්ලම අපට මග හැරී ගිය හෝ, අප විසින් හිතා මතා මග හරින ලද ලිංගිකත්වය සහ සමාජභාවය පිළිබඳ කතිකාවක අනුලංඝනීය අංගයන් ය.
සබැදි තොරතරු
කැමැත්ත දීම යනු කුමක්ද?
කැමැත්ත දීම යනු එකග වීමයි. ලිංගික හැසිරීමකට එකග වීම ලිංගික කැමැත්තම (Sexual consent) යනුවෙන් හැදින්වේ. ඕනෑම පුද්ගලයෙකුට ලිංගික කැමැත්ත ප්‍රකාශ කිරීමටත්, එය අවලංගු කිරීමටත් අයිතිය ඇත. ලිංගික කැමැත්ත ප්‍රකාශ කිරීමටත්, එය අවලංගු කිරීමටත් සිය සහකරු/ සහකාරියට ඇති අයිති අයිතියට ගෞරව කිරීමට සෑම පුද්ගලයෙකුටම වගකීමක් ඇත. යම් පුද්ගලයෙකුගේ කැමැත්ත නොමැතිව බලකිරීම මගින් ලිංගික හැසිරීමේ යෙදීම ලිංගික බලහත්කාරම හෝ ලිංගික හිංසනයක් ලෙස හැදින්වේ.
මෙය විවාහය ඇතුළු සියළුම ලිංගික සම්බන්ධතාවලට අදාල වේ.






