2018 ජූනි 10.
තුෂාර මනෝජ් විසිනි.
ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දැනුම හා ආකල්පවල පවතින සෘණාත්මක ස්වරූපය නිසා බොහෝ තරුණ ජීවිත අකාලයේ විනාශවන අතර සමාජමය වශයෙන්ද විශාල පරිවර්තන හා ව්‍යවසන සිදුවේ. සමහරවිට එම ව්‍යවසන මුල් අවධියේදීම තේරුම් ගත්තේ නම් හෝ හඳුනාගත්තේ නම් මීට වඩා වෙනස් ලෙස ලිංගිකත්වය, ලිංගික ක්‍රියාකාරකම්, ප්‍රජනන සෞඛ්‍යය , එච්. අයි.වී ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන නිවාරණය, ස්ත්‍රි පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී හා ධනාත්මක වෙනස්කම් සිදුකළ හැකිවනු ඇත. එහෙත් ශ්‍රී ලංකාව වැනි දැඩිලෙස ලිංගිකත්වයට බිය ජාතියක් ජීවත්වන රටක ලිංගිකත්වය සම්බන්ධ අධ්‍යාපනය ලබාදීමේ ගැටළු දිනෙන් දින වර්ධනය වනු විනා වෙනස්වනු හෝ අඩුවනු දැකිය නොහැකිය. රටේ අස්සක් මුල්ලක් නෑර දැකිය හැක්කේ අසහනයයි. ලිංගික සූරාකෑමයි. ලිංගික කරුණු මත පදනම්ව බෙදී වෙන්වීමයි. වෙනත් ලිංගික අනන්‍යතාවන් දුටු තැන පහරදීමයි. මේ නිසා ලිංගික අධ්‍යාපනය සමාජගත කිරීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා දැන් දැන් ඉස්මතු වෙමින් පවතී.
ලිංගික අයිතිය පුද්ගලයාගේ වුවද වගකීම සමාජයේය.
දළ වශයෙන් වයස අවුරුදු 10-24 ත් අතර වයසේ පසුවෙන පුද්ගලයින් තුනෙන් එකක්, තරුණ ජනගහණයෙන් පහෙන් එකක් පමණ සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වේ. 2020 වනවිට මෙම සංඛ්‍යාව 87%ක් දක්වා වර්ධනය වෙනු ඇතැයිද බලාපොරාත්තු වේ. බොහෝරටවල තරුණ පිරිසෙන් බහුතරයක් දෙනා වයස අවුරුදු 20 පමණ වන විට ලිංගික අත්දැකීම් ලබා තිබෙන අතර වයස අවුරුදු 15-19 ත් අතර වයසේදී පූර්ව විවාහ ලිංගික අත්දැකීම් ලබා තිබීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. උදාහරණයක් ලෙස මෑතකදී පැවැත්වූ සමීක්ෂණයකින් අනාවරණය කරගෙන තිබුණේ රියෝද ජැනයිරෝහි ඉහත කී වයස් කාණ්ඩයේ පසුවන ප්‍රජාවගෙන් 73% තරුණයින් හා 28% තරුණියන් පූර්ව විවාහ ලිංගික අත්දැකීම් ලබාගෙන තිබූ බවයි.
එච්. අයි වී ඇතුළුව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට වඩාත්ම අවදානම්කාරී ප්‍රජාව ලෙස වයස අවුරුදු 15-24 ත් අතර වයසේ පසුවෙන අයව හඳුනාගෙන ඇති අතර එච්.අයි .වී ආසාදිත පුද්ගලයින්ගෙන් අඩක් පමණ දෙනාට එය වැළදී ඇත්තේ වයස අවුරුදු 25 ට පෙර අවධියේදී වීම විශේෂිත වේ. එමෙන්ම සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල ඔවුන්ගේ රටේ එච්.අයි.වී සම්බන්ධ සංඛ්‍යා ලේඛනවලට අනුව වැළදී ඇති ප්‍රමාණයෙන් 60% පමණ දෙනා වයස අවුරුදු 15- 24 අතර අයවළුන් වේ. එමෙන්ම ඉහත කී වයස් කාණ්ඩයේ සිටින තරුණ ප්‍රජාව අනෙකුත් වයස් කාණ්ඩවලට සාපේක්ෂව තවමත් එච්.අයි.වී ඇතුළුව ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලට ගොදුරුවීමේ ප්‍රවනතාව කිසියම් රටාවක් අනුව යමින් වැඩිවනු දැකිය හැකිය.මෙම අවදානම් සහගත ස්වභාවය පිළිබඳ සලකා බැලීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමාජ- ආර්ථික තත්ත්වය, ලිංගිකත්වය හා වයස යනාදිය අවධානයට යොමුවිය යුතු වැදගත් සාධක ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් කාන්තාව හා පුරුෂයා අතර පවතින අසමාන බල සම්බන්ධතාවය , උදාහරණයක් වශයෙන් තරුණ ගැහැණු ළමයෙකු බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් ඇයගේ අවශ්‍යතාවයෙන් තොරව ලිංගික කාර්යයන් සඳහා පොළඹවා ගැනීම හෝ යොදාගැනීම මගින් ඇයව එච්. අයි.වී හෝ වෙනත් ලිංගික සම්ප්‍රේෂණ ආසාදනයකට අවදානම්කාරී විය හැකිය.
බොහෝ විට තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් සලකා බලන විට ශ්‍රී ලංකාව වැනි දැඩි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතා තිබෙන රටවල්වල තරුණියන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් හෝ දැඩි ලෙස මතවාදීමය පෙළඹවීමෙන් යුතුව යොදාගැනීමේ අවස්ථා හමුවේ. පෙම්වතා හැරයාවි යයි බියෙන් ඔහු සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන තරුණියන්ගේ කතාන්දර වලින් ප්‍රතීයමාන වන්නේ ඉහත කී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය පරස්පරතාවයි. එච්.අයි.වී ප්‍රතීමානය වන සමාජ යථාර්ථයක්ද පවතී. එනම් එච්අයිවී යන මරණ දඩුවමක්ය යන අදහසය. ලෝකය පුරාම කිසිදු වෙනසක් නොමැතිව එච්.අයි.වී සමග ජීවත්වන ජනතාව ප්‍රකාශ කරන්නේ වෙනස් කොට සැලකීමේ, අපහාසයට පත්කිරීමේ, හා පුද්ගලික හා සමාජ කාර්යයන් වලින් හුදෙකලා කරවීමේ සංවේදී අත්දැකීම්වලට ඔවුන් මුහුණ පාන බවයි. එච්.අයි.වී ආසාදනය වීම නිසා පුද්ගලිකව හා සමාජමය වශයෙන් අනාථ භාවයට පත්වන දරුවන් හා තරුණයින් බොහෝ දෙනා දෙමව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ රැකවරණය නොමැතිව ජීවත්වීමේ ඉරණමට මුහුණ පාන බවයි. විශේෂයෙන් මෙම තත්ත්වය කාන්තාවන් හා නව යෞවන වියේ සිටින තරුණියන් සම්බන්ධයෙන් දැඩිව බලපාන්නේ එච්. අයි.වී සමග පවතින පුද්ගලික අවදානම දෙගුණ තෙගුණ කරන ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මතවාදයන් මගින් ඔවුන්ව පීඩනයට පත්කරවන නිසාය. පුරුෂයෙකුට එච්.අයි.වී වැනි ආසාදනයක් වැළදුනහොත් එය බොහෝවිට පිරිමිකම නිසා කරගත් දෙයක් ලෙස ඉහලින් සලකන සමාජයම කාන්තාව සම්බන්ධයෙන් දරන්නේ වෙනස් ආකල්පයකි. පෙම්වතා නිසා හෝ, සැමියා නිසා හෝ කුමන හෝ හේතුවක් නිසා ඇය එච්.අයි.වී සමග ජීවත් වන්නෙකු බවට පත්වුවහොත් ඇයව වෛශ්‍යාවක් බවට පත්කිරීමට සමාජය දෙවතාවක් සිතන්නේ නැත.
ලෝකයේ බොහෝ රටවල්වල මෙම තත්ත්වයේ වෙනසක් නැත. මෙහි ඇති භයානකම පැතිකඩ නම් කාන්තාවක් එච්.අයි.වී සමග ජීවත් වන්නෙකු වුවහොත්, ඇයව පවුලෙන්, සමාජයෙන් නෙරපන අතර, ඇයට හිමි දේපළ, මිල මුදල්, වෙනත් සමාජ ආරක්ෂණ යනාදී සියල්ල ඇයට අහිමි කරයි. බොහෝවිට මෙවැනි කාන්තාවන් සමාජ ආරකෂණ මධ්‍යස්ථාන වල පිළිසරණ ලබාගන්නා අතර ඒවායේ රැදෙමින්, ස්වයං රැකියාවන්හි හා වෙනත් ආධ්‍යාත්මික වැඩසටහන්හි නිරතවෙමින් කාලය ගත කරයි. එහෙත් කායිකව හා මානසිකව බිඳ වැටුණු ඔවුන්ගේ ජීවිතවලට මේ මොහොතේ අවශ්‍යම වන්නේ තම පවුලේ අය සමග ජීවත් වීමයි. ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල මෙම තත්ත්වය තව තවත් තීව්‍ර වන්නේ සමාජ පිළිසරණ මධ්‍යස්ථාන නොමැතිවීම හේතුවෙනි. එමෙන්ම ඔවුන්ට උපකාර කළ හැකි සමාජ වෘත්තිවේදීන් නොමැතිවීමද අවධානයට ලක්විය යුතුය.
වසංගත රෝග සම්බන්ධයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල්වල සිදුකරන ලද අධ්‍යයනවලට අනුව පැහැදිලි වන කරුණක් වන්නේ එච්. අයි. වී හෝ ඒඩ්ස් සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව මුහුණ දෙන අත්දැකීම් හා තත්ත්වයන් එක හා සමාන නොවන බවයි. සමාජමය වශයෙන් හා ආර්ථික වශයෙන් අගතියට පත්ව ජීවත්වන පාර්ශව සම්බන්ධයෙන් අවදානම් සහගතභාවය වැඩි අගයක් ගනී. දියුණු වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් සලකා බලන විට එච්. අයි.වී සමග ජීවත්වන මිනිසුන්ට ඇති සමාජ අවදානම් සහගතභාවය සමාජ – සංස්කෘතික කරුණු නිසා, දේශපාලනික කරුණු නිසා, දරිද්‍රතාවය, සංක්‍රමණය වැනි කරුණු නිසා, යුද්ධ හා සිවිල් සමාජය තුළ පවතින අස්ථාවරභාවය නිසා වැඩිවිය හැකිය. එයට හේතුව සමාජ ප්‍රශ්නවලට පිළියම් සෙවීමේදී වඩාත් ප්‍රමුඛතාව ලැබෙන්නේ ඉහතින් කී කරුණුවලට නිසා මිනිසුන්ගේ රෝග සම්බන්ධයෙන් හෝ විශේෂයෙන් සමාජ භීතිකාවක් ඇති කරවන රෝග සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමු කෙරෙන නිසාය. එච්. අයි.වී සමග ජීවත්වන බොහෝ තරුණ පිරිස් තමගේ සමාජ ප්‍රතිරූපය විනාශවීම නිසා දැඩි අවදානමකට පත්වීම වැදගත් ලෙසින් සලකා බැලිය යුතුය. අසමානත්වයෙන් යුතුව සිදුවන ජීවිත වෙනස්කම්, දැඩි හා මතධාරී වශයෙන් පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවීය භූමිකාවන්, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ප්‍රවේශවීමේදී පවතින ප්‍රශ්න යනාදිය මගින් ඔවුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් පවතින පුද්ගලික තර්ජනය සමාජ තර්ජනයක් දක්වා ව්‍යාප්ත වේ.
පසුගිය දශක දෙකක පමණ කාලයක් තිස්සේ දියුණු වෙමින් පවතින රටවල වල තරුණ ප්‍රජාවගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් විශාල වෙනස්කම් සිදුවී ඇත. සීග්‍ර වශයෙන් සිදුවන නාගරීකරණය හා ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට සංක්‍රමණය වීම යනාදිය මගින් බොහෝ තරුණයින් ප්‍රමාණයක් තම ජීවිත පිළිබඳව සැක සහිත හා අවිශ්වාසනීය ස්වභාවයකින් ජීවත් වේ. පවුලක් තුළ බොහෝ ප්‍රමාණයක් විසින් එකිනෙකාගේ ආදරය, විශ්වාසය හා දේපළ යනාදිය බෙදාගෙන ජීවත් වූ විස්තෘත පවුල් ක්‍රමය න්‍යෂ්ටික පවුල් දක්වා වෙනස් වී ඇත. සමහර විට ඒවා දෙමව්පියන්ගෙන් එක් අයෙකු පමණක් සිටින පවුල් ලෙස මෙන්ම සමහර විට දෙමව්පියන් රහිත පවුල් දක්වාද වෙනස් වී ඇත. සිවිල් යුද්ධ, දේශපාලනික අස්ථාවරවීම්, ආර්ථික අර්බුද යනාදය මගින් රටක් පමණක් නොව එහි වැසියන් ඇතුළු සමස්ත සමාජ දේහයම විනාශයට පමුණුවයි. මේ පිළිබඳ අධ්‍යයනය කර ඇති සමාජ විද්‍යාඥයින් පවසන ආකාරයට සමාජයෙහි පවතින මෙම අස්ථාවරභාවය හා තරුණ ප්‍රජාව තුළ ඇති අසහනය හා පීඩනය පිට කිරීමේ එක් ක්‍රමයක් ලෙස ඔවුන් ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවීම හා එක් අයෙකුට වඩා වැඩි සහකරුවන් ප්‍රමාණයක් සමග සම්බන්ධ වීම දැකගත හැකිය. සමහර රටවල් වල සිදුකර ඇති අධ්‍යයනවලට අනුව ඔවුන් පැමිණ ඇති නිගමනවලින් එකක් වන්නේ නව යෞවන ප්‍රජාව ලිංගිකව සක්‍රීය වන වයස් සීමාව ක්‍රම ක්‍රමයෙන් අඩු විය හැකි බවයි. උගන්ඩාව වැනි රටවල් සම්බන්ධයෙන් සලකා බලන විට මෙම තත්ත්වය මැනවින් තේරුම් ගත හැකිය. එහි කරන ලද එක් සමීක්ෂණයකට අනුව 50% ක් පමණ පිරිමින් හා 40%ක් පමණ කාන්තාවන් වයස අවුරුදු 15 වීමට පෙර ලිංගික ක්‍රියාකාරකම්වල අත්දැකීම් ලබා තිබුණි. ටැන්සානියාවේ සිදුකරන ලද අධ්‍යයනයකට අනුව වයස අවුරුදු 14 වයසේ සිටින පිරිමි දරුවන් 60% ක් පමණද, 35% ක් පමණ ගැහැණු දරුවන්ද, තමන් ලිංගිකව සක්‍රීය බව ප්‍රකාශ කර ඇත. බ්‍රසිලයේ මෑතකාලයේදී සිදුකරන ලද පාසල් අධ්‍යයනයකට අනුව 36% ක් පමණ ගැහැණු දරුවන් තමන් වයස අවුරුදු 13 දී පමණ පිරිමි අය සමග ලිංගික අවයව ප්‍රවිශ්ඨ කිරීමෙන් ලිංගිකව හැසිරුණ බව ප්‍රකාශ කර ඇත. ලෝකයේ පහළ කලාපයේ පිහිටා ඇති ඉන්දියාවෙන් පවා වාර්තා වන ආකාරයට යොවුන් වියේ පසුවෙන පිරිමි ළමුන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු වත් විවාහයට පෙර ලිංගික අත්දැකීම් ලබා ඇත .
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බලන විට පර්යේෂණාත්මක තොරතුරුවල විශාල හිඟකමක් පවතින අතර, මේ නිසාම බොහෝ ප්‍රශ්න උඩු දුවා සමාජ දේහයම විනාශ කරන තුරු බලා සිටීමට සිදුවේ. එහෙත් ඉන්දියාවේ පර්යේෂණාත්මක තොරතුරු හා ලංකාවේ දරුවන් සම්බන්ධයෙන් මාධ්‍යවල සිදුකෙරෙන වාර්තා කිරීම්වලට අනුව තේරුම්ගත හැකි දෙයක් වන්නේ ලෝකයේම තරුණ ප්‍රජාවට පොදු සමාජ තත්ත්වයක් ඔවුන්ටද එලෙසම බලපානු ඇත බවයි. විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල් මෙන්ම දියුණු රටවල්වල පවා තරුණ ප්‍රජාවට ඔවුන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින අවදානම්කාරී ස්වභාවයට ගැලපෙන පිළිතුරු ලැබී නොමැති බව පෙනී යයි. තරුණ ප්‍රජාව වෙතට නිවැරදි තොරතුරු ගලා යාමේ ගැටළුවක් පවතී. එමෙන්ම වැඩිහිටියන් හා සසදන කළ සම්පත් හා සේවාවන්වලට පවතින ප්‍රවේශයේ ලුහුඬකම් පවතී. එමෙන්ම සෞඛ්‍ය සේවාවන්වලට අදාළ වැඩසටහන් සම්පාදනය කරන්නේ සෞඛ්‍යය වෘත්තිකයින්ගේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සම්පූර්ණ වන ආකාරයෙන් විනා සමාජයට අවශ්‍ය ආකාරයෙන් නොවේ. තරුණ ප්‍රජාවගේ අවශ්‍යතා මොනවාද, වින්දනය යනු කුමක්ද, ආදරය හා වින්දනය සමබරව ලබාගන්නේ කෙසේද? යනාදී වශයෙන් තරුණ ප්‍රජාවට අවශ්‍ය ආකාරයේ දැනුම සැපයෙන ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් සමාජ වෘත්තිවේදීන්ගේ සහාය ලබාගන්නේ නැත. අඩුම තරමේ තරුණ ප්‍රජාව වෙනුවෙන් සිදුකරන සෞඛ්‍යමය ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා තරුණ ප්‍රජාව සම්බන්ධ කරගන්නේ නැත.
මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය හා තරුණ ප්‍රජාව අතර දැඩි පරතරයක් පවතී. මෙම පරතරය මගින් ඇතිකරවන අහිතකර ප්‍රතිවිපාකය වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් පැවත්වූයේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණයක් කර ගැනීමට තරුණ ප්‍රජාව සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ නොවීමයි. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක මුල් අවස්ථාවේදී හෝ ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යමය ප්‍රතිකාර හා උපදෙස් ලබාගැනීමට රෝහල් වෙත හෝ සායන වෙත නොයාමයි. තමන් එච්.අයි.වී හෝ වෙනත් රෝගයක් සම්බන්ධයෙන් අනාරක්ෂිත දැයි දැනගැනීමට අවශ්‍ය රුධිර සාම්පල පරීක්ෂාව සඳහා රෝහල් වෙත නොයාමයි. එහි අනිවාර්ය ප්‍රතිවිපාකය විඳින්නට සිදුවන්නේ අදාළ පුද්ගලයාට පමණක් නොවේ. පුද්ගලයා හා සම්බන්ධ පවුල ඇතුළු සමාජ දේහයටම එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවේ. මේ නිසා එච්.අයි.වී වැනි ආසාදන වැළැක්වීමේ අරමුණින් යුතුව සිදුකරන සෞඛ්‍යමය ප්‍රතිසංස්කරණ ද, එච්.අයි.වී ඇතුළු විවිධ රෝග වලින් පීඩාවට පත්ව සිටින තරුණ ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් හා පූර්ව සූදානමකින් යුතුව තරුණයා නිවැරදි හා ආරක්ෂිත ලිංගික සම්බන්ධතා වෙනුවෙන් මෙහෙයවන සමාජ ප්‍රතිසංස්කරණද කඩිනමින් ක්‍රියාත්මක විය යුතුවේ.