ගෙදර ඉන්න වෙලාවටත් ඔෆිස් එකේ වැඩ ගැන මතක් කරලා ඇමතුම් දෙනවා කියන්නෙ රාජකාරිමය හිංසනයක්

2022 අප්‍රේල් 06.

අසංක ජයවීර විසිනි.

ඔබ රාජකාරි වෙලාවෙන් පිට නිවාඩුවක් ගත කරනවා හෝ ගෙදර විවේකයෙන් ඉන්නවා කියලා හිතන්න.

ඒ වගේ විවේකයෙන් ඉන්න වෙලාවටත් ඔබේ ආයතන ප්‍රධානියා ඔබට දුරකථන ඇමතුම්,කෙටි පණිවුඩ හෝ ඊමේල් හරහා කාර්යාලයේ වැඩ ගැන මතක් කරලා ඒවා ඔබෙන් කරවගන්න උත්සාහ කරනවා.

මේ විදිහේ අත්දැකිමක් රැකියාව තුළින් ඔබ දැනටමත් අත්විඳිනවා නම් හෝ මීට පෙර අත්විඳලා තියෙනවා නම් අපි ඒක ඇත්තටම සලකන්නේ හිංසනයක් සහ ශ්‍රම සූරා කෑමක් විදිහටයි.

මේ තත්වය අද වන විට ලංකාව ඇතුළු බොහෝ රටවල වැඩ ලෝකය තුළ ක්‍රියාත්මක වුණත් ඒ සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහක් තවමත් නිර්මාණය වෙලා නැහැ.

කොහොම නමුත් සේවකයන් රාජකාරියෙන් මිදි නිවසේ හෝ වෙනත් ස්ථානයක විවේකයෙන් සිටින විට දුරකථන ඇමතුම් සහ වෙනත් ආකාරයේ සන්නිවේදන මාර්ග ඔස්සේ ඔවුන්ව අමතා කාර්යාලයේ නොයෙකුත් වැඩලබාදී ඔවුන්ව අනවශ්‍ය විදිහට පීඩනයට පත් කිරීම නමැති මේ කියන කටයුත්තේ ඇති බරපතල හිංසනය සහ ශ්‍රම සූරාකෑම වටහා ගනිමින් එයට වැට කඩුලු බඳින්නට දැන් අසල්වැසි ඉන්දියාව පියවර අරගෙන තියෙනවා.

ඉන්දියානු මන්ත්‍රිනී සුප්‍රියා සූලේ විසින් ලෝක් සභාවට ඉදිරිපත් කරන ලද Right to Disconnect Bill නමැති පනත හරහා තමයි එරට තුළ මේ කියන හිංසනයට සහ ශ්‍රම සූරා කෑමට තිත තබන්නට තීරණය කරලා තියෙන්නේ.

මේ පනතේ මූලික අරමුණ වෙන්නේ කිසියම් සේවකයෙකු තමන්ගේ රාජකාරි වෙලාවෙන් පරිබාහිරව ඔහුට/ඇයට තමන්ගේ කාර්යාලයෙන් හෝ කාර්යාලයේ උසස් නිලයක් දරන නිලධරයෙකුගේ දුරකථන ඇමතුම් හෝ වෙනත් සන්නිවේදන පණිවුඩ වලට පිළිතුරු ලබා නොදී සිටීමට තියෙන අයිතිය තහවුරු කිරීමත් එසේ පිළිතුරු ලබා නොදුන්නොත් රැකියාවෙන් ඉවත් කිරිම්,රැකියාවෙන් ඉවත් කරන බවට කෙරෙන තර්ජනයන්ට මුහුණ දීම් හෝ වෙනත් ආකාරයේ බැණ වැදීම් වලින් අදාල සේවකයාව ආරක්ෂා කිරීමයි.

ඉන්දියාව විසින් ගෙන ආ මේ පනතේ ඇති විධිවිධාන වලංගු වන්නේ සේවකයන් දස දෙනෙකුට වඩා සිටින සේවා ස්ථාන වල සේවකයන්ට පමණක් වුණත් මෙය සේවක අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව අර ගත්තූ ඉතාමත්ම වැදගත් පියවරක් විදිහටයි අපි දකින්නේ.

ඩිස්කනෙක්ට් වීමේ අයිතිය තහවුරු කර ඇති වෙනත් රටවල්

කෙසේ වෙතත් සේවකයන්ව පීඩනයට පත් කරන මේ කියන ‘සන්නිවේදන හිංසනයට’ (Communicational Harassment) වැට කඩුලු බඳින්නට ලොව පළමුවෙන්ම නීතිමය පියවර ගැනීමට කටයුතු කළේ  ප්‍රංශයයි.ප්‍රංශ කම්කරු අමාත්‍යවරයා විසින් 2017 වසරේදී එරටට Right to Disconnect හෙවත් ඩිස්කනෙක්ට් වීමේ අයිතිය හඳුන්වා දුන් අතර එම නීතිය සේවකයන් පනහකට වඩා සේවයේ නිරත සේවා ස්ථාන වලට පමණක් ක්‍රියාත්මක වෙන විදිහට බලාත්මක කරනු ලැබුවා.

ප්‍රංශය අනුව යමින් ස්පාඤ්ඤය ද ඩිස්කනෙක්ට් වීමේ අයිතිය තහවුරු කරන පනතක් එරට තුළ සම්මත කිරීමට පියවර ගත්තා.මෙම ස්පාඤ්ඤ පනතේ තිබෙන විශේෂත්වය වන්නේ ඕනෑම සේවක සංඛ්‍යාවක් සිටින සේවා ස්ථාන සඳහා මෙම නීතිය වලංගු වීමයි.

ඒ වගේම සේවා කාලයෙන් පරිබාහිරව කාර්යාලයෙන් ලැබෙන ඊමේල් හෝ වෙනත් පණිවුඩ ඉබේම මැකියාම සඳහා මෘදුකාංගයක් ලෝකට හඳුන්වා දීමටත් ජර්මනියේ වාහන සහ ට්‍රක් රථ නිෂ්පාදකයෙකු වන Daimler කටයුතු කර තිබෙනවා.

සේවකයන්ව පීඩාවට පත් කරන ‘සන්නිවේදන හිංසනය’ ඇති වුණේ කොහොමද? 

කාර්යාලයීය කටයුතු සඳහා සන්නිවේදන උපාංගයක් වශයෙන් දුරකථනය පැමිණීමත් සමග මේ කියන ‘සන්නිවේදන මාර්ග ඔස්සේ සේවකයන්ව පෙලන හිංසනය’ කියන දේ බිහි වන්නට ඇතැයි අනුමාන කරන්නට පුළුවන්.

කෙසේ වෙතත් මේ තත්වය විශාල වර්ධනයක් පෙන්නුම් කිරීමට පටන් ගත්තේ 2019-20 කාලයේදී ඇති වූ කොවිඩ්-19 වසංගත සමයේදී.

2020 අප්‍රේල් මාසය වන විට කොරෝනා  වසංගතය ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණින් රටවල් 90කට වඩා වැඩි සංඛ්‍යාවක් සංචරණ සීමා පැනවීමට තීරණය කරනු ලැබුවා.

මේ තීරණයත් සමග Work From Home හෙවත් ගෙදර සිට වැඩ කිරීමේ ප්‍රවනතාවය ඇති වූ අතර ඒ සමගම කාර්යාලයීය කටයුතු ෆේස් බුක්,වට්ස් ඇප්,වයිබර්,ඉමෝ,සූම් වැනි සන්නිවේදන සබඳතා ඔස්සේ ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.

මේ තත්වය සේවා කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට උපකාරී වුණත් මෙමගින් ඇති වුණු  නරක අතුරු ප්‍රතිඵල ගණනාවකුත් අපට දක්නට ලැබෙනවා.

ඒ කියන නරක අතුරු ප්‍රතිඵල අතරින් එකක් තමයි මේ කියන ‘සන්නිවේදන හිංසනය’ තවතවත් වැඩි වීමට හේතු වීම.

මේ සංකීර්ණත්වය තුළ ‘සේවකයා’ නමැති සාධකය අතිරේක හිංසා වලින් වැලැක්වීම අත්‍යවශ්‍ය වෙනවා.

ඩිස්කනෙක්ට් වීමේ අයිතිය සෑම සේවකයෙකුටම සලසා දීම වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි.

ඩිස්කනෙක්ට් වීමේ අයිතිය වැදගත් වෙන්නේ ඇයි?

රැකියාව කියන්නේ අපේ ජීවිතයේ එක්තරා කොටසක්.

රැකියාවක් කිරීමෙන් අපට සැලසෙන වාසි තමයි,අපේ දැනුම සහ කුසලතා උපයෝගි කරගෙන සමාජයට සේවය කිරීමේ හැකියාවක් ඒ හරහා ලැබීම,ඒ සිදු කරන සේවයට කිසියම් මූල්‍යමය වටිනාකමක් ලබා ගැනීමට හැකි වීම සහ අපට අලුත් සමාජයක් සහ අලුත් පිරිසක් හඳුනා ගන්නට අවස්ථාව එමගින් සැලසීම.

ඒ හැරෙන්නට රැකියාව කියන දේ අපේ මුළු ජීවිතයම වෙන්නේ නැහැ සහ එසේ විය යුතුත් නැහැ.මොකද ඒකට හේතුව තමයි කාර්යාලය,තනතුර සහ රාජකාරිය කියන දේට ඔබ්බෙන් ගිය විඳිය යුතු පෞද්ගලික ජීවිතයක් අපි හැමෝටම තිබෙන නිසා.

ඒ වුණත් රැකියාව සහ ඒ හා බැඳුණු වගකීම් උපයෝගි කරගෙන ආයතන ප්‍රධානීන් විසින් අපේ පෞද්ගලික ජීවිතය සහ එහි අවස්ථා සොරකම් කරනවා නම් එය ඉතාමත් අවාසනාවන්ත සහ අනුමත කළ නොහැකි තත්වයක් විදිහට නම් කරන්නට පුළුවන්.

ඒ වගේම තමයි යම් කිසි පුද්ගලයෙකු යහපත් ආකාරයෙන් ගත කරන පෞද්ගලික ජීවිතය ඔහුගේ/ඇයගේ යහපත් රාජකාරි ජීවිතයටත් මග පාදනවා.කොටින්ම කියතොත් යහපත් රාජකාරි ජීවිතයේ රහස තමයි කෙනෙකුගේ යහපත් පෞද්ගලික ජීවිතය.

ඉතින් මේ කියන කාරණා නිසා කෙනෙකුට රාජකාරියෙන් බැහැරව තමන්ගේ පෞද්ගලික ජීවිතය භුක්ති විඳීමේ අයිතිය ලබා දිය යුතුයි. ඩිස්කනෙක්ට් වීමේ අයිතිය සේවකයෙකුට මේ කියන අයිතිය ලබා දෙනවා.

ලංකාවේ තත්වය?

ලෝකය තුළ ඇති වෙලා තියෙන ප්‍රගතිශීලී ප්‍රවනතාවයන් වලට ලංකාව තවමත් මුහු වෙලා නැහැ.

කොටින්ම කියතොත් සේවකයන්ව ආරක්ෂා කිරීම සඳහා ILO සංවිධානය විසින් 2019දී හඳුන්වා දී තිබෙන C190වත් දේශීය නීති පද්ධතියට අන්තර්ග්‍රහණය කර ගැනීමට සමත් වෙලා නැති අපේ රට සේවකයෙකුගේ ඩිස්කනෙක්ට් වීමේ අයිතිය තහවුරු කරන්නේ කෙසේද යන්න ගැන අටුවා-ටිප්පණි ලියන්නට අවශ්‍ය නැහැ කියලයි අපි හිතන්නේ.

නමුත් නොයෙකුත් හිංසනයන්ගෙන් සේවකයන්ව ආරක්ෂා කිරීම සඳහා ඇති වෙලා තියෙන මේ වගේ ප්‍රගතිශීලී අවකාශයන් අපේ රටට උකහා ගැනිමේ වැදගත්කම ගැන මීට වඩා ප්‍රතිපත්ති තීරකයන් සංවේදී විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

ඒ ප්‍රගතිශීලීත්වය ඇති වෙනතුරු බකමූණෝ අපි ඒ සඳහා අරගල කරන බවත් මේ මොහොතේදී මතක් කිරීමට කැමති.

Social Share: