ගෘහ සේවකයන් කියන්නෙත් අයිතීන් හිමි වෘත්තිකයන් පිරිසක්.

2022 අප්‍රේල් 03.

අසංක ජයවීර විසිනි.

කඩවත-රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 51හැවිරිදි ශාන්තිනි* තමන් දන්නා අයෙකු මාර්ගයෙන් කොළඹ රොස්මිඩ් පෙදෙසේ ධනවත් නිවසක් බලා පිටත් වුණේ ගෘහ සේවය පිණිසයි.

සම්මුඛ සාකච්ඡාවේදී කතා කරගත්තු (ගිවිසුම්ගත වීම සිදුව ඇත්තේ ලිඛිතව නොව වාචිකවයි) විදිහට තමන් කාලයක් තිස්සේ වෙනත් නිවෙස් වල කටයුතු කළා වගේ මේ නිවසේදීත් නිවැසියන්ට කලට වේලාවට කෑම-බීම සකසා දීම වගේම නිවස පිරිසිදුව තබා ගැනීම විතරක්’ තමන්ට කරන්නට තියෙන්නේ කියලයි ශාන්තිනි හිතුවේ.

හැබැයි රැකියාවට ඇවිල්ලා කෙටි කාලයක් ගත වෙන්නත් කලින්  ශාන්තිනි නොහිතු අලුත්-වෙනත් රාජකාරියක් ද කිරීමට ඇයට සිදු වුණා.

“නෝනාගේ මහත්තයාට ඩිමෙන්ෂියා තියෙනවාය,තනියම වැඩ කර ගන්න අමාරුය කියලා මට කියලා තිබුණා.ඒ වගේම මහත්තයව බලා ගන්න කෙනෙකුත් ඉන්නවා කියලා මට කිව්වා.ඒ හැරෙන්න මහත්තයව බලාගන්නත් මට සිද්ධ වෙනවා කියලා නම් නෝනා කිව්වේ නෑ.ඒත් අන්තිමේදී ගෙදර දොරේ වැඩ කරනවට අමතරව මහත්තයට උපස්ථාන කරන සහයිකාවක් වෙන්නත් මට සිද්ධ වුණා” 

සාමාන්‍යයෙන් මේ වගේ තරමක් ඔත්පල වී සිටින ඩිමෙන්ෂියා රෝගියෙකු බලා ගැනීම සඳහා අදාල උපස්ථායක ආයතනය මගින් උපස්ථායක සහ උපස්ථාන සහයක වශයෙන් සේවකයන් දෙදෙනෙකු සපයන බවයි සඳහන් වෙන්නේ.ඒත් ශාන්තිනි කියන විදිහට උපස්ථායකයන් දෙදෙනෙකු සඳහා අදාල ආයතනය විශාල මුදලක් අය කරනවා.මේ නිසා එම වියදම අවම කර ගැනීම පිණිස අදාල ගෘහයේ හිමිකාරිණිය එක් උපස්ථායකයෙකු පමණක් අදාල ආයතනයෙන් ලබාගෙන ඔහුගේ සහය පිණිස ශාන්තිනිව යෙදවීමට කටයුතු කර තිබෙනවා.

“මහත්තයව බලා ගන්න තනි කෙනෙකුට අමාරුයි. ඉතින් බාත්රූම් එකට වත්තන් කරගෙන ගිහින් නාවනකොට,කෑම කවනකොට එහෙම මට උදව් දෙන්න සිද්ධ වුණා.ඇත්තටම කිව්වොත් ඒ වෙලාවට ඇවිත් උදව් කරන්න කියලා උඩ තට්ටුවේ ඉඳන් මට අඬ ගහනවා.ඉතින් නෝනා අඬ ගහලා උදව් දෙන්න කියනකොට මං කොහොමද නොකර ඉන්නේ?”

උපස්ථාන කටයුතු ගැන හය-හතර නොදත් ඇයට එම කටයුතූ වලදී රෝගියාගෙන් නොයෙකුත් හිංසා-පීඩා වලට පවා මුහුණ දීමට සිදු වුණු බව ශාන්තිනි අප සමග පැවසුවා.

“මහත්තයා හරියට වලාකුළක් වගේ සමහර වෙලාවට හොඳයි, සමහර වෙලාවට ගොඩක් සැරයි,බනිනවා.ඒ වගේ වෙලාවට සර් මටයි උපස්ථායකටයි ගහනවා.දවසක් මං සර්ට කෑම කවන්න හදනකොට සර් එකපාරට මගේ මූණට අත මිට මොලවලා ගැහුවා.හොඳ වෙලාවට මගේ ඇහැ බේරුණේ.ඒ ගහපු පාරට මගේ කම්මුල නිල් වුණා.හදිසියේවත් ඒ ගහපු පාර මගේ ඇහැට වැදිලා මොනවා හරි වුණානම් මං මොනවා කරන්නද? “

ඉතින් මේ පසුබිම තුළ මාස පහකට පස්සේ තමන්ගේ රැකියාව ගැන තීරණයක් ගන්න ශාන්තිනිට අන්තිමේදී සිද්ධ වුණා.

“සමහර වෙලාවට උපස්ථායක නිවාඩු ගිහිල්ලා වෙනත් උපස්ථායක කෙනෙක් එනකම් උදේ-දවල්-රෑ කෑම-බීම හදලා ගේ අතු-පතුගාන ගමන් මටයි මහත්තයව බලා ගන්න සිද්ධ වුණේ.ඉතින් සර්ගේ ඇඳුම් ගලවලා කැත කුණු සේරම අස් කරන්න මට සිද්ධ වුණා.මට ඒවා කරන්න අප්‍රියාවට වඩා තිබුණේ ලැජ්ජාවක්.මොකද මං වෙනත් මනුස්සයෙක්ගේ ගෑනියෙක් නේ මහත්තයෝ.ඒත් මං මුහුණ දෙන ඒ අපහසුතාවය ගැන ගැහැනියක් වෙලත් මැඩම් පොඩ්ඩක්වත් හිතුවේ නෑ.ඒ වගේම මට හොඳට කෑම-බීම ලැබුණෙත් නැහැ.මේ ගෙදරට ආවට පස්සේ තමයි මං ගොඩක් කෙට්ටු වුණේ.ගෙදර බල්ලට හොඳට මස් වර්ග,තලපත් වගේ මාලු වර්ග දෙනකොට මට දුන්නේ සාලයෝ,බාල හාලේ බත් විතරයි.ඉතින් මේ දේවල් සේරම ගැන හිතලා අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර ආවට පස්සේ මං වැඩට යන එක නතර කළා”

Verite Research සිදු කර ඇති සමීක්ෂණයකට අනුව අපේ රටේ ගෘහ සේවික-සේවිකාවන් බොහෝමයකගේ කතාව ශාන්තිනිගේ කතාවෙන් වෙනස් වෙන්නේ නැහැ.

ඒකට බලපාන ප්‍රධාන හේතුවක් තියෙනවා.හැබැයි ඒ හේතුව හොයන්න කලින් අපි බලමු ලංකාවේ ගෘහ සේවක සේවිකාවන් සම්බන්ධයෙන්  Verite සමීක්ෂණය මොනවද හොයාගෙන තියෙන්නේ කියලා.

සමීක්ෂණය හොයාගෙන තියෙන්නේ මොනවද?

බොහෝ වෙලාවට ශාන්තිනිට වගේ ඇතැම් සේවක සේවිකාවන්ට තමන් මුලදී එකඟ වෙච්ච රාජකාරියට පරිබාහිරව වෙනත් රාජකාරී කටයුතුත් කරන්න සිද්ධ වෙනවා.මේකට ප්‍රධාන හේතුව විදිහට බකමූණෝ අප දකින්නේ ගෘහ සේවක-සේවිකාවන් බොහෝමයක් දෙනා සිය රාජකාරියට පිවිසෙන්නේ වාචික ගිවිසුම් ඔස්සේ නිසයි.ලිඛිත ගිවිසුමකට නොගොස් වාචික ගිවිසුමකට යාම කෙරෙහි ඔවුන්ගේ අධ්‍යාපන තත්වය සහ සාක්ෂරතා ගැටලුත් බලපාන්නට ඇතැයි සිතන්නට පුළුවන්.

Verite සමීක්ෂණයට අනුව ගෘහ සේවක සේවිකාවන් 67%ක් ද්විතීයික අධ්‍යාපනය ලබා නැහැ

ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තියේ 7වන වගන්තිය සඳහන් කරනවා,ලිඛිත ගිවිසුමක් තුළින් කිසියම් පුද්ගලයෙකු යම්කිසි සේවයකට අන්තර්ග්‍රහණය කර ගැනීමේ වැදගත්කම. කෙසේ වෙතත් Verite සමීක්ෂණයේදී සොයා ගැනීමට හැකි වෙලා තියෙන්නේ, 50%ක් වන ගෘහ සේවකයන් සේවය කරන්නේ වාචික ගිවිසුමකට ප්‍රවිශ්ඨ වීමෙන් බව.ඉතින් ගෘහ සේවක සේවිකාවන් ලිඛිතාකාරයෙන් ගිවිසුම්ගත නොවීම නිසා පොරොන්දු කරගත් රාජකාරි කටයුතු වලට පිටින් වෙනත් රාජකාරි කටයුතුත් සේවකයන්ගෙන් ඉටු කර ගනිමින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමට නිවැසියන් කටයුතු කරනවා.

ඒ වගේම නිශ්චිත රාජකාරි වෙලාවකට යටත්ව කටයුතු කිරීමේ නම්‍යශීලී වැඩ පරිසරයකුත් තමන් සේවය කරන නිවෙස් තුළ අපේ රටේ සේවක-සේවිකාවන්ට සැලසී නැහැ.

ලෝක කම්කරු ප්‍රඥප්තියේ 10 වන වගන්තිය මගින් සේවකයන්ට රාජකාරි කටයුතු වලදී නිශ්චිත කාල වේලාවක් ලබා දීමේ වැදගත්කම ගැන අවධාරණය කරලා තියෙනවා.ඒ වගේම ලංකාවේ

1954 අංක 15 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත මගිනුත් අවධාරණය කර තිබෙන්නේ දිනකට පැය 8ක් සහ සතියකට පැය 45ක් නොඉක්මවූ රාජකාරි වේලාවක වැදගත්කමයි.

Verite සමීක්ෂණය සොයාගෙන තිබෙන විදිහට අපේ රටේ ගෘහ සේවකයෙක් දිනකට පැය 8.6ක් සහ සතියකට පැය 51.5ක කාල පරාසයක සේවය කරනවා.නමුත් මොවුන්ගෙන් 63%ක්ම පිළිතුරු දී තිබෙන්නේ ඔවුන්ට නිශ්චිත ආරම්භක වේලාවක් හෝ අවසන් වේලාවක් සිය රාජකාරි කටයුතු වලදී නියම කර නොමැති බවයි.

ඉතින් ගෘහ සේවක-සේවිකාවන්ට උදා වී තිබෙන මේ කියන දුර්වල සේවා පරිසරය නිසා තමයි ලංකාව ඇතුළේ ‘ගෘහ සේවකයා’ කියන වෘත්තිකයා ආරක්ෂා කිරීම සඳහා නිසි නෛතික රාමුවක් අවශ්‍ය වෙන්නේ.

ගෘහ සේවකයන්ට කැකිරි බෙදන අපේ රටේ නීතිය?

අපේ රටේ බොහෝ සේවක-සේවිකාවන් (විශේෂයෙන්ම සේවිකාවන්) සිය වැඩ පරිසරය තුළ කායික-වාචික-මානසික-ලිංගික වශයෙන් හිංසාවන් වලට ලක් වන බව Centre for Working Women (CWW) නමැති සංවිධානය අවධාරණය කරනවා.මේ සංවිධානය පෙන්වා දෙන්නේ අපේ රටේ ගෘහ සේවිකාවන් 76% ක් මේ ආකාරයේ විවිධ හිංසන වලට ලක් වෙන බවයි.

වඩාත්ම කණගාටුවට ලක් විය යුතු කාරණය විදිහට මේ සංවිධානය පෙන්වා දෙන්නේ ඒ විදිහට තාඩන-පීඩන වලට ලක්වෙන කාන්තාවන් දහයෙන් එකක්ම එවැනි කාරණා සම්බන්ධයෙන් පැමිණිලි නොකිරිමයි.

ඉතින් අපේ රටේ ගෘහ සේවක-සේවිකාවන්ට රාජකාරී කටයුතු වලදී මේ වගේ නොයෙකුත් අඩන්තේට්ටම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි?

ඒකට හේතුව තමයි සේවකයන් වශයෙන් අපේ රටේ සමාජ රාමුව තුළ ගෘහ සේවක-සේවිකාවන්ගේ වෘත්තීයභාවයට ඉතා අඩු තක්සේරුවක් ලැබී තිබීම.

ගෘහ සේවක සේවිකාවන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය උදෙසා අපේ රටේ තවමත් ඇත්තේ 1871 අංක 28 ගෘහ සේවක ආඥාපනත(1871 No.28 Domestic Servants Ordinance) විතරයි.ඒ හැරෙන්නට ගෘහ සේවක-සේවිකාවන්ගේ අයිතීන් වලට නෛතික සුජාතභාවයක් ලබා දීමට තරම් වත්පොහොසත්කම් ඇති නීතිමය රාමුවක් අපේ රටේ නීති පද්ධතිය තුළ තවමත් සකස් වෙලා නැහැ.ඉතින් ගෘහ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් ලංකාවේ නීති පද්ධතිය තුළ ඇති මේ නෛතික රික්තකය නිසා අපේ රටේ රැකියා වෙලඳපොලට වගේම අපේ රටේ බොහෝ සේවාලාභීන්ට ‘ගෘහ සේවකයා’  කියන වෘත්තිකයා සීමිත වෘත්තීය අයිතීන් වලට හිමිකම් කියන ආගන්තුක කල්ලතෝනියෙක් බවට පත් වෙලා තියෙනවා.

කණගාටුවට පත් විය යුතු කාරණය තමයි ගෘහ සේවක-සේවිකාවන්ගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ලංකාවේ නීති පද්ධතිය මේ තරම් දුප්පත් වෙලා තිබියදී ලෝක කම්කරු සංවිධානය විසින් ගෘහ සේවක අයිතීන් සම්බන්ධයෙන් ඉතා ප්‍රගතිශීලි පියවර රාශියක් අරගෙන තිබීම.

C189 සහ C190?

2011 වසරේ ජූනි පලමු වෙනි දින ලෝක කම්කරු සංවිධානය විසින් ගෝලීය ගෘහ සේවක අයිතීන් සුරැකීම වෙනුවෙන් Domestic Workers Convention,2011 (No 189) සම්මත කර ගැනීම අප දකින්නේ ඉතා වැදගත් අවස්ථාවක් විදිහටයි.

ඒ වගේම ලෝක කම්කරු සංවිධානය මේ සුවිශේෂී අවස්ථාවෙන් තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා වැඩ ලෝකය තුළ අසාධාරණයට,හිංසනයට ලක්වෙන සෑම තරාතිරමක සේවයේ නිරත වන වෘත්තිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා 2019දී C-190 සම්මත කර ගනු ලැබුවා.

සේවක අයිතීන් සුරැකීම සඳහා ලෝකය මේ විදිහට ගව්ගාණක් ඈතට ගිහිල්ලා තිබුණත් අපේ රට ඒ අරමුණ කරා ළඟා වෙන්නේ හරිම ඉබි ගමනින්.

2021 වසරේ මාර්තු 8වනදාට යෙදි තිබුණු ලෝක කාන්තා දින සැමරුමේදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පොරොන්දු වුණේ C190 අපේ රටේ නීති පද්ධතියට ඒකාග්‍ර කර ගැනීමට කටයුතු කරන බවයි.

ඒත් තවමත් මේ සම්බන්ධයෙන් සාධනීය පියවරක් ගැනීමට රජය අපොහොසත් වෙලා තියෙනවා.

ඉතින් මේ නිසා ගෘහ සේවක-සේවිකාවන් වගේම අනෙකුත් සියලුම වෘත්තිකයන්ගේ වෘත්තීය සුරක්ෂිතාවය වෙනුවෙන් දැන්වත් C189 සහ C190 සම්මත කරන ලෙසට අපි රජයට බල කරනවා.

එමගින් අපට ඉතා කාර්යක්ෂම සහ සුපිලිපන්නභාවයකින් යුත් වැඩ පරිසරයක් රට තුළ නිර්මාණය කර ගන්නට පුළුවන් වනවා නොඅනුමානයි.

*මනඃකල්පිත නමකි.

Social Share: