ගෘහස්ථ හිංසනය ගැන ඔබ මේ තොරතරු දැන සිටියාද?

2023 ඔක්කෝබර් 24.

සුමුදු ලක්ෂාණි විසිනි.

මානව සමාජයේ පැවැත්ම තහවුරු කරන මූලික ඒකකය පවුලයි.  කෙනෙකු හිංසනයට ලක්වන විට ආරාක්ෂාව පතා දිවයන ස්ථානය ගෘහයයි.  නැතහොත් තමාට පෞද්ගලිකව සම්බන්ධතාවයක් ඇති ඕනෑම විශ්වාසවන්ත සමීප සහකරුවෙකු වෙතයි.  නමුත් හිංසනය සිදුවන්නේ ඒ විශ්වාසවන්ත ස්ථානය හෝ විශ්වාසවන්ත කෙනා තුළින් නම් හිංසනයට ලක්වෙන්නා අසරණ වන්නේ සිතාගත නොහැකි අයුරින්ය.

අම්මලා කැමතිවුනේ නෑ.   මම අම්මලා එපා කියද්දි එයත් එක්ක ගියේ. දැන් මොනවා උනත් මට ආයේ අම්මලා ලගට යන්න බෑ.  එයාලා මාව ආයේ ගෙදරට භාරගන්නෙ නෑ.

නාලිකා දැන් වයස 34ක විවාහක කාන්තාවකි.  ඇයට වයස අවුරුදු 08ක දුවෙක් සිටියි.  දැන් විවාහක සැමියා ඇයට මුණගැසෙන්නේ ඇය ගිණුම්කරණ පාඨමාලාවකට යන අතරතුරදීය.  ඔහු පිලිගත් රැකියාවක් කරන පුද්ගලයෙකි.  නාලිකාගේ මවත් පියාත් හොදින් ඉගෙනුම ලැබූ පිලිගත් රැකියාවක් කරන දෙදෙනෙකි.  නාලිකාගේ දෙමාපියන් මේ සම්බන්ධයට විරුද්ධ වූයේ ඉගෙනීම අවසන් වන තෙක් එය නතර කරන ලෙස පවසමිනි. නමුත් දෙමාපියන්ගේ අදහසට එකග නොවූ ඇය පෙම්වතා සමග ගියේ දෙමාපියන්ටත් හොරෙන්ය. ටික දිනක් යනවිට ඇගේ සැමියා රැකියාවෙන් ඉවත්වී නිවසට පැමිණි අතර ඉන්පසු කිසිදු ස්ථීර රැකියාවකට ගියේ නැත. දිනෙන් දින ආර්ථික ප්‍රශ්න ඉහල යනවිට දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවන්නට විය. සැමියාගේ දෙමාපියන්ගෙ නිවස අසලම නිවසක් සාදාගෙන ජීවත්වන බැවින් ඔහුගේ දෙමාපියන්ගෙන්ද නොයෙක් ප්‍රශ්ණ ඇතිවන්නට විය. කුමක් හෝ ආරවුලක් ඇතිවූ විට සැමියා ඇයට නිතරම පහර දෙයි. එයා සීමාවක් නැතුවම සිදුවන අතර එක ආරවුලකට දින ගනනාවක් දකින දකින මොහොතේ ඇයට පහරදෙනු ලබයි. එසේම ඔහු විසින් ඇයට තවත් වදහිංසා පමුණුවා ඇත. ඇය නිදාගෙන සිටින විට ඇගේ ඇගට වතුර හලයි. නැතිනම් සමහර අවස්ථාවලදී නිදාගැනීමට නොහැකිවන ලෙස මෙට්ටයට වතුර හලා තබයි. උයන අවස්ථාවකදී දුටුවහොත් උයන්නට නොදී පහරදෙයි.

කායික හිංසනයන්ට අමතරව ඇය මානසික හිංසනයන්ටද ගොදුරුවූ අවස්ථා දැකිය හැකිය. ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙනවිට නිතර නිතර ඇයගේ පවුලේ අය ගැන සදහන් කරමින් ඇයට බැනවදියි. අවසානයේ ඇය තීරණය කලේ පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නටය . නමුත් එයින්ද ඇයට සාධාරණයක් ඉෂ්ඨ නොවූයේ පොලීසිය විසින් නැවත දෙදෙනා සාමදාන කර නිවසට යැවීම නිසාය. අවසානයේ ඇය සැමියාගෙන් ඉවත්වී ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් නීතීමාර්ගයෙන් කටයුතු කිරීමට තීරණයක් ගත්තද ඇයට දැන් ජීවත්වීමට ස්ථීර නිවසක් නැත. ඇය දැනට තාවකාලිකව සිටින්නේ හිතවතකුගේ නිවසේය. ඇයට ඇති එකම ආදායමත් ඇගේ පියා හැමදෙනාටම හොරෙන් මාසකට වතාවක් ඇයගේ ගිණුමට එවන රුපියක් පන්දහසක මුදලක් පමණි.

(අත්වැල සහන පියසට නීතී ආධාර සදහා පැමිනි වින්දිතයින්ගෙන් ලබාගත් උදාහරණ වේ.  රහස්‍යභාවය රැකගැනීම සදහා නම් වෙනස් කර ඇත)

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වනාහි ඔවුන්ගේ මානව හිමිකම් දැඩිව උල්ලංඝනය කිරීමකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදුවන්නේ හිංසනය කරන්නා හෝ අපරාධකරු හිංසනයට ලක්වන්නා කෙරෙහි ප්‍රචණ්ඩ ලෙස ක්‍රියාකිරීමට තෝරාගැනීම නිසා බව හදුනාගැනීම වැදගත්ය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හදුනාගනිමු. 

සමීප සහකරුවෙකු කෙරෙහි බලය ලබාගැනීමට හෝ පවත්වාගැනීමට සහ පාලනය කිරීමට භාවිතා කරන ඕනෑම සම්බන්ධතාවයක හැසිරීම රටාවක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එනම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් යනු, ප්‍රචණ්ඩත්වයට ලක්වූ තැනැත්තා සහ ප්‍රචණ්ඩත්වය සිදුකරන තැනැත්තා අතර ඇති පෞද්ගලික සම්බන්ධතාවයක් ප්‍රතිඵලයක් ලෙස ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් පීඩාවට ලක් කිරීමයි. මෙය නිවෙස් පරිසරය තුළදී මෙන්ම නිවෙසින් පිටතදීත් සිදුවිය හැකිය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වචනය ඇසුණු සැනින් සැනෙකින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ විවාහක දෙදෙනෙකු අතර එනම් සැමියා සහ බිරිද අතර ඇතිවන ගැටුම් ආරවුල් සහ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ය.  නමුත් එය එසේ නොවේ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ඕනෑම කෙනෙකු ඕනෑම අවස්ථාවකදී ගොදුරුවීමේ හැකියාව පවතී. දෙමාපියන් සහ දරුවන්, සහෝදර සහෝදරියන්, ආච්චි සීයා, මාමා නැන්දා, විවාහයේ  ඥාතීන් හෝ එකිනෙකා අතර පවුල් සබදතා ඇති පුද්ගලයන් අතර සිදුවන ප්‍රචණ්ඩත්වය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ඇතුලත්වේ.

එමෙන්ම ස්ත්‍රීපුරුෂ භේදයකින් තොරව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ ප්‍රචණ්ඩකරුවන් මෙන්ම ප්‍රචණ්ඩත්වයට ලක්වන්නන්ද විය හැකිය. නමුත් බොහෝ අවස්ථාවලදී ප්‍රචණ්ඩකරුවන්ගෙන් අතිමහත් බහුතරය කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ප්‍රචණ්ඩ ලෙස ක්‍රියාකරන පුරුෂයින්ය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ශාරීරික හිංසනය පමණක් නොවේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇසුණු සැනින් සිහියට නැගෙන්නේ බරපතල ලෙස සිදුවුන ශාරීරික තුවාලයි. නමුත් ගෘහස්ථ හිංසනය බොහෝවිට තර්ජන සහ වාචික ප්‍රහාරවලින් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වේ. එහිදී ශාරීරික තුවාල වඩාත් පැහැදිලි අනතුරක් වියහැකි අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ චිත්තවේගීය , මානසික , ලිංගික හා ආර්ථික ප්‍රතිවිකාද දරුණුවේ.

ශාරීරික ප්‍රචණ්ඩත්වය 

 

ශාරීරික හිංසනය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යන වචනය ඇසෙන විටම සිතෙන ප්‍රචන්ඩත්වයේ පළමු ආකාරයයි. ශාරීරිකව සිදුවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හදුනාගැනීම තරමක් පහසුය. ශාරීරික ප්‍රචණ්ඩත්වයකදී සිදුවන්නේ වින්දිතයාට තුවාලවන හෝ අනතුරක් වන ආකාරයේ ශාරීරික බලය යෙදවීමයි. ශාරීරික ප්‍රචණ්ඩත්වය විවිධ ආකාරයෙන් සිදුවිය හැකිය.

  • තල්ලු කිරීම,පයින් ගැසීම,පහර දීම හෝ සීරීම
  • ගෙල සිරකිරීම
  • සහකරුට හෝ ඒ අසලට කෙළ ගැසීම
  • සහකරුට හෝ ඒ අසලට වස්තූන් විසිකිරීම
  • මත්ද්‍රව්‍ය භාවිතයට බල කිරීම
  • වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම හෝ ඖෂධ පාලනය කිරීම
  • ගෘහස්ථ වස්තූන් ආයුධයක් ලෙස භාවිතා කිරීම
  • අවි ආයුධ සමග හවුල්කරුට තර්ජනය කිරීම
  • තුවාල, අස්ථි බිදීම් අභ්‍යන්තර තුවාල හෝ ගබ්සා වීමට හේතුවන අපයෝජනය
  • පුද්ගලික දේපලවලට හානි කිරීම
  • ඝාතනය

ලංකාවේ 2019 වන විට ජීවිත කාලය පුරාවට සහකරුගෙන් ශාරීරික ප්‍රචන්ඩත්වය අත්විද ඇති කාන්තාවන් 18. 9%ක් වන අතර සහකරුවෙකු නොවන අයෙකුගෙන් ශාරීරික ප්‍රචන්ඩත්වය අත්විද ඇති කාන්තාවන් 7. 2%ක් වේ.

ලිංගික ප්‍රචණ්ඩත්වය

“ඒක මට අදාල දෙයක් නෙමෙයි. ”

ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවකගේ අත්දැකීමකි. ඇයට ඔසප් වීම සිදුවූ අවස්ථාවකදී සැමියා සමග ලිංගිකව හැසිරීමට අකමැත්ත ප්‍රකාශකල විට ඔහු පවසා ඇත්තේ ඒ අයුරිනි.

ලිංගික ප්‍රචණ්ඩත්වය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ දුෂ්කර අංගයක් වන අතර එය හදුනාගැනීමට බොහෝවිට එයට මුහුණ දෙන තැනැත්තාටද අපහසුවේ. බොහෝවිට කාන්තාවන් තම ජීවිතය තුළ දැවැන්ත  ලිංගික ප්‍රචණ්ඩත්වය විදදරාගැනීමට අපේක්ෂා කරන අතරම බොහෝ දෙනෙකුට ලිංගික අපයෝජනය අපයෝජනයක් ලෙස හදුනාගැනීම අපහසුවේ.

  • උපත් පාලනය කඩාකප්පල් කිරීම
  • ලිංගික අපහාසාත්මක නමක් භාවිතා කිරීම
  • ලිංගික ශ්‍රමිකයෙකු වීමට බලකිරීම
  • අසභ්‍ය දර්ශන නැරඹීමට බල කිරීම
  • අන් අය සමග ලිංගිකව හැසිරීමට බල කිරීම
  • සහකරු අනවශ්‍ය ස්පර්ශයකට යටත් කිරීම
  • ඕනෑම ආකාරයක අනවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට හවුල්කරුට බල කිරීම
  • ලිංගිකත්වය අතරතුර හවුල්කරු සපාකෑම, රිදවීම
  • සහකරුට ලිංගික අතවර කිරීම

ලංකාවේ 2019 වන විට ජීවිත කාලය පුරාවට සහකරුගෙන් ලිංගික ප්‍රචන්ඩත්වය අත්විද ඇති කාන්තාවන් 6. 8%ක් වන අතර සහකරුවෙකු නොවන අයෙකුගෙන් ලිංගික ප්‍රචන්ඩත්වය අත්විද ඇති කාන්තාවන් 4%ක් වේ.

චිත්තවේගීය ප්‍රචණ්ඩත්වය

මෙය පිටතට විවෘත නොවෙන පැතිකඩක් වුවද ශාරීරික ප්‍රචණ්ඩත්වය තරම්ම හෝ ඊටත් වඩා බලවත් විය හැකිය. චිත්තවේගීය ප්‍රචණ්ඩත්වය සිදුවන්නේ සමීප සහකරුවෙකු පාලනය කිරීමට උත්සහ කරන විටදීය.

  • නම කියමින් අපහාස කිරීම
  • සෑම දෙයටම හවුල්කරුට දොස් පැවරීම
  • ඊෂ්‍යාව
  • බිය ගැන්වීම
  • නින්දා කිරීම
  • හවුල්කරුගේ සියලුම ක්‍රියා පාලනය කිරීම
  • ලුහු බැදීම

ලංකාවේ 2019 වන විට ජීවිත කාලය පුරාවට සහකරුගෙන් චිත්තවේගීය ප්‍රචන්ඩත්වය අත්විද ඇති කාන්තාවන් 27. 9%ක් වේ.

මූල්‍ය අපයෝජනය

මූල්‍ය අපයෝජනය බොහෝවිට අපයෝජයක් ලෙස හදුනා නොගන්නා නමුත්  ඉතා සුලභ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකි. එක් සහකරුවෙකු විසින් අනෙක් සහකරුගේ මූල්‍ය ස්වධීනත්වය සහ නිදහස පාලනය කරනවිට එය සිදුවේ.

  • මුදල් වියදම් කරන ආකාරය එක් අයෙකු විසින් පාලනය කිරීම
  • එක් අයෙකු නමින් සියලු බැංකු ගිණුම් පැවතීම
  • නිවසින් පිටත වැඩ කිරීමට හෝ පවුලට කිසියම් මූල්‍ය දායකත්වයක් ලබාදීමට සහකරුවෙකුට ඇති අයිතිය ප්‍රතික්ෂේප කීරීම

අවුරුදු 53ක් වන කමලාගේ කතාව මූල්‍ය ප්‍රචන්ඩත්වයට හොද උදාහරණයකි.  දැන් ඇයට වයස අවුරුදු 20ක් වයස අවුරුදු 19ක් සහ වයස අවුරුදු 13ක් යන වයසේ පසුවන දියණියන් තිදෙනෙක් සිටියි. කමලාගේ සැමියා ඇයව විවාහ කරගෙන තිබෙන්නේද බලහත්කාරයෙන් ඇගේ නිවසට පැමිණ ඔවුන් බියවැද්දීමෙනි. ඔවුන් විවාහයෙන් පසු පදිංචිව සිටින්නේද කමලාගේ නිවසේය. වත්තේ සියලු ආදායම් ලබන්නේද ඇගේ සැමියා විසිනි. එයින් නොනැවතී බීමතින් නිවසට පැමිණෙන ඔහු ඇයටත් දරුවන්ටත් නොයෙක් වදහි‍ංසා පමුණුවයි. ඇයට හා දරුවන්ට අවශ්‍ය වූයේ තමන්ගේ දේපල අත් හැර දමා හෝ නිදහසේ ජීවත් වීමට හැකි තැනකට පලා යාමය.  ඇයට  ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ නිවසින් තනිව පිටතට යාමට ඔහුගෙන් ඉඩක් ලැබෙන්නේ නැත.  අවසානයේ ඇයගේ දුවගේ මාර්ගයෙන් උපක්‍රමශීලීව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවූ අතර අවසානයේ නිවසේ ආරක්ෂිතව වාසය කිරීමට සැමියාට එරෙහිව ආරක්ෂණ නියෝගයක් ලබාගත්තාය.

(අත්වැල සහන පියසට නීතී ආධාර සදහා පැමිනි වින්දිතයින්ගෙන් ලබාගත් උදාහරණ වේ.  රහස්‍යභාවය රැකගැනීම සදහා නම් වෙනස් කර ඇත)

ලංකාවේ 2019 වන විට ජීවිත කාලය පුරාවට සහකරුගෙන් මූල්‍ය ප්‍රචන්ඩත්වය අත්විද ඇති කාන්තාවන් 18. 1%ක් වේ.

එසේම ලංකාවේ සහකරුගෙන් සිදුවන ප්‍රචන්ඩත්වය නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතරත් වෙනස් තත්වයක් දැකිය හැකිය.

  ශාරීරික ප්‍රචන්ඩත්වය ලිංගික

ප්‍රචන්ඩත්වය

චිත්තවේගීය

ප්‍රචන්ඩත්වය

ආර්ථික

ප්‍රචන්ඩත්වය

නාගරික 15. 7% 5. 3% 13. 1% 20. 6%
ග්‍රාමීය 18. 6% 7. 0% 16. 7% 17. 4%
වතුකරය 37. 9% 8. 5% 29. 2% 20. 0%

 

ගෘහස්ථ ප්‍රචන්ඩත්වය සිදුවන අවස්ථාවේදී පමණක් නොව ඉන් පසුවද වින්දිතයාට විවිධ අහිතකර ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවිය හැකිය.

සහකරුවෙකු විසින් කායික හෝ ලිංගික හිංසනයට ලක්වූ කාන්තාවන්ගෙන් 28. 9%ක් ජීවිතේ යම් අවස්ථාවක තුවාල ලබා ඇත.

එසේම හවුල්කරුවෙකු විසින් ලිංගික හිංසනයට ලක්වූ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ සෞඛ්‍යට එය අහිතකර ලෙස බලපා ඇත. එයින් 41. 5%කට වඩාත් අහිතකර ලෙස බලපෑම් ඇතිවී තිබේ.

එසේම ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නාට අමතරව ඒ අවට සිටින  සමීපතමයන්ටද එහි අහිතකර ප්‍රතිවිපාක අත්විදින්නට සිදුවන අවස්ථා ඕනෑ තරම් දැකිය හැකිය. එහි ප්‍රබලම බලපෑම සිදුවන්නේ දෙමාපියන් අතර ප්‍රචණ්ඩත්වය සිදුවන විට එයට මැදිවන දරුවන්ටය.  ලංකාවේ ප්‍රචණ්ඩත්වය අත්විද නැති කාන්තාවන්ට සාපේක්ෂව ප්‍රචනණ්ඩත්වය අත්විදින කාන්තාවන්ගේ දරුවන් අතර පාසලේ හැසිරීම සහ කාර්යය සාධනය අතර වෙනස්කම් දැකිය හැකිය. එසේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අත්විදින කාන්තාවන්ගෙ දරුවන් 21. 2% ක් බියකරු සිහින දැක බියවන බව වාර්තාවී ඇත.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකදී අපට කළ හැක්කේ කුමක්ද? 

බොහෝ අවස්ථා වල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන වින්දිතයාට අවට සිටින සමීපතමයන්ගෙන් එම තත්වයේ රැදී සිටීමට බලපෑම් එල්ලවේ.  නමුත් එසේ එම තත්වයේ රැදී සිටීම බොහෝ විට වින්දිතයාගේ ජීවිතයට පවා බලපෑම් එල්ල කල හැකිය.  හිංසනය සිදුකරන්නා කාලාත්‍රයා හෝ එකට වාසය කරන සහකරුවෙකු නම් ඔහු සිය වරද පිළිගෙන එවැනි හිංසන නැවත සිදු නොවීමටත් ,එවැනි ප්‍රචන්ඩත්වයන් නවතාලීමට නිසි පියවර ගන්නා බවටත් එකගවන්නේ නම් පමණක් හිංසනයට පත්ව සිටින් වින්දිතයාට එම සම්බන්ධතාවයෙහි ඉදිරියට රැදී සිටීම අනුමත කල හැකිය. එසේ නොමැති අවස්ථාවක එම තත්වයෙන් මිදීමට පියවර ගැනීම ඉතා අත්‍යවශ්‍ය දෙයකි.

  • එවැනි අවස්ථාවකදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන වින්දිතයාට සෘජුවම උපකාර ලබාගත හැකිය.
  • තනිවම උපකාර ලබාගැනීමට බියක් ඇත්නම් සෑම විටම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන්නාගේ සහයට සමීප මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු එක්කර ගැනීම උචිතය.

ගෘහස්ථ හිංසනයකට මුහුණ දී නිවසින් පිට වන විට ගෙන යා යුතු දේවල්

  1. ජාතික හැදුනුම්පත
  2. විවාහ සහතිකය හෝ එහි පිටපතක්
  3. උප්පැන්න සහතිකය – ඔබගේ සහ දරුවන්ගේ
  4. මුදල්, බැංකු ගිණුම් පොත්, ATM කාඩ්, සමෘදි කාඩ්
  5. වාහන ලියාපදිංචි කිරීමේ සහතික
  6. රියදුරු බලපත්‍රය
  7. විදේශ ගමන් බලපත්‍රය
  8. දික්කසාද, දරුවන්ගේ භාරකාරත්වය පවරා ඇති ලියවිලි
  9. රක්ෂණ සහතික සහ වෛද්‍ය සහතික, රෝහල් ගත වූ කාඩ් පත්
  10. නිවාස හෝ ඉඩම් ඔප්පු
  11. ජංගම දුරකතනය
  12. දරුවන්ගේ පාසල් වාර්තා පොත්
  13. දරුවන්ගේ එන්නත් කිරීම් වාර්තා සහ වෙනත් වෛද්‍ය වාර්තා
  14. දැනට ජීවත් වන නිවසේ යතුරක්
  15. දැනට ගන්නා බෙහෙත් වර්ග සහ ඒවා ලබා ගැනීමට ඇති තුන්ඩු
  16. වෙනත් පෞද්ගලික ලිය කියවිලි – ලිපින ලියා ඇති පොත, දින පොත, ආභරණ, ඡායාරූප, දරුවන්ගේ අත්‍යවශ්‍ය සෙල්ලම් බඩු
  17. කියවීමට පොතක්, දරුවන්ට කියවීමට පොත් පත් කිහිපයක්

ඉන්පසු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන්නාට අනුගමනය කලහැකි හොදම ක්‍රියාමාර්ගය නම් සේවා සපයන ස්ථාන වෙත යොමුවීමයි.  එනම්,

  • පිළිගත් උපදේශන සේවාවක් වෙත යොමු වීම
  • පොලීසියට පැමිණිලි කිරීම
  • අවුරුදු 18ට අඩු නම් සිද්ධිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීම
  • ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු වීම
  • නීතීමය ක්‍රියාමාර්ග වලට යොමුවීම

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන පුද්ගලයාට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම මගින් ඒ හරහා අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසීමේ හැකියාව පවතී. පොලීසියට පැමිණිල්ලක් යොමු කිරීම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. නමුත් නඩුවක් ගොනු කිරීමේදී පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීම ගොනු කරන නඩුවේ කරුණු තහවුරු කිරීමට උපකාරීවේ. එසේ නොමැතිනම් පෞද්ගලික නිතීඥයෙකු හරහා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය හැකිය. පෞද්ගලික නීතීඥ සහයක් ලබාගැනීමට නොහැකියාවක් පවතීනම් නීතී ආධාර කොමිෂන් සභාව මගින් නොමිලේම නීතීමය සහය ලබාගෙන අධිකරණයට නඩුවක් ගොනුකිරීමේ හැකියාව පවතී.

ගෘහස්ථ හිංසන නඩුවක් ගොනු කල හැක්කේ ගෘහස්ථ හිංසනයට ලක්වූ පාර්ශවය හෝ හිංසනය සිදුකල පාර්ශවය හෝ ස්ථීරව හෝ තාවකාලිකව පදිංචිවී සිටින ප්‍රදේශයේ හෝ අදාල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදුවූ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයකටය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නඩුවක් ගොනුකල හැකි පාර්ශව

  • හිංසනයට ලක්වූ පාර්ශවය
  • හිංසනය සිදුවූයේ වයස අවුරුදු 18ට අඩු අයෙක්ටනම් දරුවාගේ දෙමව්පියන්
  • හිංසනය සිදුවූයේ වයස අවුරුදු 18ට අඩු අයෙක්ටනම් ළමා ආරක්ෂක අධිකාරියේ අවසරය මත ඕනෑම අයෙකුට
  • පොලිස් නිලධාරියෙකුට

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි නීතීය

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා අසහනයට පත්වූ පක්ෂයට ඒ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනුයේ හෝ සිදු කිරීමට ඉඩ ඇත්තේ යම් කෙනෙකු විසින්ද ඒ තැනැත්තා විසින් එම ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම වැලැක්වීම උදෙසා ආරක්ෂා කිරීමේ අතුරු ආරක්ෂක නියෝගයක් හෝ නඩුව විභාග කර ආරක්ෂක ආඥාවක් නිකුත් කිරීමට මේ පනතින් ඉඩ සලසයි.

අතුරු ආරක්ෂක නියෝගයක් යනු වින්දිතයාගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කරන ක්ෂනික පිලියමකි. ආරක්ෂක නියෝගයක් නිකුත් කරන තෙක් හෝ නඩු විභාගය අවසන් වන තෙක් වග උත්තරකරු විසින් සිදුකරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පීඩිත තැනැත්තා ආරක්ෂා කරගැනීම මෙහි අරමුණයි.

මේ ආරක්ෂක ආඥාව වලංගු වන්නේ මාස 12ක කාලයක් සදහා පමණි. නමුත් එම ආරක්ෂක නියෝගය තවදුරටත් අවශ්‍ය නම් නිසි පරිදි හේතු දක්වා ආරක්ෂක ආඥාව තවදුරටත් දීර්ඝ කරගැනීමට අධිකරණයෙන් ඉල්ලීම් කිරීමේ හැකියාව ඇත.

ශ්‍රී ලංකාවේ නීතීය තුළ වෛවාහක ස්ත්‍රී දූෂණය එනම් විවාහක පාර්ශවයන් දෙකක් අතර එක් පාර්ශවයකට අකමැත්තෙන් සිදුවන ලිංගික සබදතාවයන් නීතිමය වරදක් ලෙස පිලිගන්නේ නැති නමුත් මෙලෙස සිදුවන ලිංගික හිංසනයන් අඩත්තේට්ටම් ගෘහස්ථ හිංසනයන් ලෙස සලකා මේ පනත යටතේ නීතිමය පියවර  ගැනීමේ හැකියාව ඇත.

ආරක්ෂක ආඥාව මගින් තහනම් කළ හැකි දේවල්

  • අදාල හිංසනය සිදුකරන පුද්ගලයා එකම නිවසක හවුලේ වාසය කරන කෙනෙක් නම් එවැනි අවස්ථාවක ඒ පුද්ගලයාට නිවෙසට පැමිණීම වැලැක්විය හැකිය.
  • හිංසනය සිදුකල තැනැත්තාට පීඩාවට පත්වුනු පුද්ගලයාගේ රැකියාව සිදුකරන ස්ථානයට දරුවෙක් නම් දරුවාගේ පාසලට ඇතුල්වීම වැළැක්විය හැකිය.
  • පීඩාව සිදුකරන පුද්ගලයින්ගේ නිශ්චල හෝ චංචල දේපල භාවිතය තහනම් කල හැකිය.
  • පීඩාවට පත්වූ පුද්ගලයාට උදව් කිරීමට පැමිණෙන අනෙක් පාර්ශවයන්ට හිංසනය සිදුකරන පුද්ගලයාගෙන් තවත් හිංසන සිදුවේ නම්  ආරක්ෂක ආඥාව මගින් එය නැවැත්විය හැකිය.
  • නීතීයේ සදහන් ආකාරයට ගෘහස්ථ ප්‍රචන්ඩත්වයෙන් පීඩාවට පත් පුද්ගලයාට හානිදායක විය හැකි ඕනෑම ආකාරයේ ක්‍රියාවක් තහනම් කිරීමේ හැකියාව ඇත.

ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ වින්දිතයින් විධිමත් උපකාරයකට යොමු නොවීම

ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන් බොහෝ අවස්ථාවල විධිමත් ක්‍රියාමාර්ග සදහා යොමුවන්නේ නැත. ඒ සදහා ඔවුන්ට විවිධ හේතු බලපානු ලබයි. 49. 3% ක් වාර්තා වී ඇත්තේ කිසිම විධිමත් ක්‍රියාමාර්ගයක් සදහා යොමු නොවූ පිරිසක් ලෙසය.

බොහෝ අවස්ථාවල ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන්නාට එම තත්වයේම රැදී සිටීමට සමීපතමයින්ගෙන් බලපෑම් එල්ලවේ. එසේම වින්දිතයා අපරාධකරු හෝ අපයෝජනය කරන්නාගෙන් යැපෙන අයෙක් නම් ස්වාධීනත්වයක් නොමැතිවීම හේතුවෙන් එම තත්වයේ රැදී සිටීමට සිදුවිය හැකිය.  එසේත් නැත්නම් තවත් පිරිසක් එය සාමාන්‍ය සිද්ධියක් සේ සලකා එම තත්වයේම රැදීසිටියි. එය 18. 5%ක් ලෙස වාර්තා වී තිබේ.

එසේම තවත් සමහරක් ඒ පිලිබදව කතා කිරීමට පවතින ලැජ්ජාව හෝ බිය හේතුවෙන් එම තත්වයේම රැදී සිටියි. එය 23. 9%ක් ලෙස වාර්තා වී ඇත. එසේම උපකාරයක් නොපැතීමට හේතුවක් ලෙස විකල්පයක් නොදැන සිටීමද දැක්විය හැකිය. එය 37. 2%ක් ලෙස වාර්තා වී ඇත.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය සිද්ධියක් සේ සලකා එම තත්වයේම රැදී සිටීමට බොහෝ අවස්ථාවල වින්දිතයින් හුරු වී තිබීම සැබැවින්ම ඛේදජනක සිද්ධියකි.

බොහෝ අවස්ථාවල කාන්තාවන් විසින්ම පිලිගනු ලබන්නේ ඕනෑම අවස්ථාවකදී මූලිකත්වය ගත යුත්තේ පුරුෂයින් බවයි. කාන්තාවන් 47. 5%කගේ අදහස වී ඇත්තේද එයයි. එසේම තවත් අදහසක් වී ඇත්තේ හොද බිරිදක ස්වාමිපුරුෂයාට කීකරුවිය යුතු බවයි. එය 46. 5% ක් ලෙස දැක්විය හැකිය. එසේම තම  ස්වාමිපුරුෂයා සමග ලිංගිකව හැසිරීමට අකමැති වුවද එය කාන්තාවකගේ යුතුකමක් බව 37. 5%ක පිරිසක් විසින් පිලිගෙන ඇත.

“කොහොම උනත් ඒ මටයි මගේ ළමයින්ටයි කන්න දෙන මනුස්සයානේ”

එය ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ කාන්තාවකගේ අදහසකි

ගෘහයක පැවැත්ම රැකගැනීමට සියලුදෙනාගේම කැපකිරීම් යම් තරමකටම හෝ දායාද විය යුතුය. නමුත් එයින් අදහස් වන්නේ අනෙකාගේ ප්‍රචන්ඩත්වය දරාගනිමින් එම තත්වයේම රැදීසිටිය යුතු බව නොවේ. ප්‍රචන්ඩත්වයෙන් මිදීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත.

සුමනා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ තවත් එක් කාන්තාවකි. ඇය විවාහයෙන් පසු සැමියා හා වාසය කලේ සැමියාගේ දෙමාපියන් සිටින නිවසේය. එහිදී ඇයට නැන්දම්මාගෙන් නොයෙක් අඩත්තේට්ටම් සිදුවිය. එවන් අවස්ථාවලදී ඇගේ සැමියාද මවගේ පැත්ත ගෙන ඇයට නොයෙක් හිරිහැර කරන්නට විය. එසේම ඇයට මානසිකව වදදෙන බොහෝ කාරණාද ඒ ගෘහය තුළ සිදුවිය. බෙහෝ අවස්ථා වල සැමියාගේ සියලු වැඩ සිදුවන්නේ ඔහුගේ මව අතින් වන අතර ඇයට එය මහත් අපහසුවක් විය. (රෙදි සේදීම, නෑවීම, කැවීම ආදී සියලු දෑ). ඇයගේ සිතේ සැකයක් හටගෙන තිබුනේ සැමියා සහ ඔහුගේ මව අතර අනවශ්‍ය ලිංගික සම්බන්ධයක් ඇති බවයි. අනතුරුව ඇය නැන්දම්මාට විරැද්ධව අතුරු ආරක්ෂණ නියෝගයක් ලබාගන්නා ලදී. එහිදී නිවස මැදින් බෙදා නැන්දම්මා එක කොටසකත් ඇය හා සැමියා එක කොටසකත් වාසය කරන ලෙස නියෝග ලැබිණි.  නමුත් එයින්ද ඵලක් නොවූයේ සැමියා නිතරම ඔහුගේ මව සොයා ගොස් මව වාසය කරන කොටසේ නිතර සිටින බැවිනි.

ඇය විදි සියලු ප්‍රචණ්ඩත්වයන් සාමාන්‍ය සිද්ධීන් සේ නොසලකා එයින් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග වෙත යොමු වූ බැවින් අවසානයේ අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු වී සියලු ප්‍රචණ්ඩත්වයන්ගෙන් මිදී සැමියා සමග සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව ලබාගත්තාය.

(අත්වැල සහන පියසට නීතී ආධාර සදහා පැමිනි වින්දිතයින්ගෙන් ලබාගත් උදාහරණ වේ.  රහස්‍යභාවය රැකගැනීම සදහා නම් වෙනස් කර ඇත)

ලිපිය සදහා සියලු දත්ත උපුටාගැනීම (http://www. statistics. gov. lk/Resource/refference/WWS_2019_Final_Report )

ඔබ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත් වන පුද්ගලයෙකු නම් නීති ආධාර සදහා අත්වැල සහන පියසට කතා කරන්න. +94768797530

Social Share: