2023 සැප්තැම්බර් 26.
මානෙල් ජයසිංහ විසිනි.
මගේ වයස අවුරුදු 46 ක් වෙනවා. මම පළමු විවාහය කරගන්නකොට වයස අවුරුදු 15 යි. ඒ විවාහයෙන් මට දුවල දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 3ක් තිස්සෙ මම දිනපතාම ගුටි කෑවා. මගෙ කන්දෙකම පැලිලා සැව්රෙ ගලනවා. බීලා ගෙදර එන එන සැරේට ලිංගික සංසර්ඝයේ යෙද්න්න ඕනෙ. මම ජීවත්උ නේ අපායක. මමයි දරුවො දෙන්නයි ගෙට දාල ගිනි තියන්න කිහිප වතාවක්ම උත්සාහ කලා. එක දවසක් කෙලින් ඉන්න බැරිතරමට බීලා ඇවිත් ගෙට ගිනිතියන්න හදනකොට මම දරුවො දෙන්න අත් දෙකට වඩාගෙන කුස්සියෙන් එලියට පැනල බේරුණා. කොච්ච්ර කෑගැහුවත් කවුරුවත් ඔහුව බේරග්න්න ආවෙ නැහැ. ඒ ගින්නෙම දැවිලා ඔහු මියගියා.
විනීතාගේ කතාව එතැනින් නිම වන්නේ නැහැ.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ යථාර්ථය ලොව පුරා පුද්ගලයන්ට සහ පවුල්වලට බලපාන බරපතළ හා සංකීර්ණ ප්‍රශ්නයකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු සම්බන්ධතාවයක් තුළ අනෙකාව පීඩාවට පත් කිරීමේ හැසිරීම් රටාවකි. එහිදී එක් හවුල්කරුවෙකු කායික, චිත්තවේගීය, මානසික, ලිංගික සහ මූල්‍ය අපයෝජන ඇතුළු විවිධ ආකාරයේ අපයෝජනයන් හරහා අනෙකා පාලනය කිරීමට සහ බලය යෙදීමට උත්සාහ කිරීම සිදුවේ. වයස, ස්ත්‍රී පුරුෂභාවය, සමාජ ආර්ථික තත්ත්‍වය හෝ සංස්කෘතික පසුබිම නොතකා ඕනෑම ආකාරයක කුටුම්භයක එය සිදුවිය හැකිය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරාම ගෘහස්ථ හිංසනයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ ස්ත්‍රීන්ය. බොහෝ අය තමන් වින්දිතයාලෙස ද හදුනා නොගනී. ඒ තරමටම එවැනි පවුල් පරිසරයන් තුළ ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණයට ලක්වී ඇත. ප්‍රචණ්ඩත්වය කොතරම්බ රපතල වුවත් ඉතාමත් සරල ආකාරයෙන් බැහැර කරයි. පවුල් පරිසරයේ අය පමණක් නොව වින්දිතයාද සමාජ ආකල්ප වල සිර වී තවදුරත් එහිම ගොදුරක් වී ජීවත් වේ.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ යථාර්ථයේ ප්‍රධාන අංගවලට ඇතුළත් වන්නේ:-
1. ව්‍යාප්තිය – ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය බොහෝ අය තේරුම් ගන්නවාට වඩා බහුලව දක්නට ලැබේ. එය සංස්කෘතීන්, ජාතීන් සහ සමාජ ආර්ථික පසුබිම් හරහා සිදු වේ. කෙසේ වෙතත්, එහි පෞද්ගලික ස්වභාවය නිසා බොහෝ සිද්ධීන් වාර්තා නොවේ.
2. බලපෑම – ගෘහස්ථ හිංසනයේ බලපෑම් වින්දිතයින්ට විනාශකාරී විය හැක. ශාරීරික තුවාල, චිත්තවේගීය කම්පන සහ දිගුකාලීන මානසික ආබාධවලට ගොදුරු විය හැකිය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දකින දරුවන්ට චිත්තවේගීය හා චර්යාත්මක ගැටළු ද ඇති විය හැකිය.
3. අපයෝජන චක්‍රය – බොහෝවිට ගෘහස්ත හිංසනයන් ඇතිවන්නේ පිරිමියාට විවාහය තුළ ඊට අයිතියක් ඇති බව සිතන හා ඊට අනුබල දෙන පරිසරයක් තුලය. මෙවැනි සිතුවිලි සහ ආකල්ප සහිත පවුල් පරිසර තුළ ප්‍රචණ්ඩත්වය චක්‍රයක් ලෙසද ගමන් කල හැකිය.
4. වාර්තා කිරීමට ඇති බාධක – ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයෝ හිංසනය වාර්තා කිරීමට යාමේ දී බොහෝ බාධකවලට මුහුණ දෙති. පළිගැනීම්වලට ඇති බිය, අපයෝජකයා මත මූල්‍යමය යැපීම, සංස්කෘතික හෝ ආගමික සාධක, සහ ලැජ්ජාව හෝ වරදකාරි හැඟීම ඇතුළු කාරණා ඒ සදහා උදාහරණ වේ.
5. නීති සහ උපකාරක සේවා – බොහෝ රටවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට නවාතැන්, තහනම් නියෝග සහ උපදේශනය වැනි සම්පත් සැපයීම සඳහා නීති ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මෙම සේවාවන් වල ඵලදායිතාවය සහ ඇතිවන ප්‍රමාදයන් යන කාරණා ද බලපෑම් ඇති කරයි.
6. ස්ත්‍රී පුරුෂ සමාජභාවය – ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඕනෑම සමාජභාවයක පුද්ගලයන්ට බලපෑ හැකි නමුත්, ස්ත්‍රීන් දැඩි ශාරීරික හිංසනයට සහ මරණයට පවා ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩිය.
7. දිගු කාලීන බලපෑම් – ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ බලපෑම ක්ෂණිකව ඇතිවන බලපෑමට පමණක් සීමා නොවේ. දිවි ගලවා ගත් අය හිංසනකාරී තත්ත්වයෙන් මිදී බොහෝ කලකට පසුත් ආත්ම අභිමානය හීනවීම, මානසික අවපීඩනය, කාංසාව සහ පශ්චාත් කම්පන ආතතිසහිත ආබාධ ඇතිවිය හැකිය.
8. අපයෝජන චක්‍ර – අපයෝජකයින්ට බොහෝ විට ඔවුන්ගේ හැසිරීමට දායක වන සංකීර්ණ මානසික ගැටලු ඇති බව හඳුනා ගැනීම වැදගත්ය. මෙය ඔවුන්ගේ ක්‍රියාවන්ට සමාව දීමක් නොවේ., නමුත් එය පුනරුත්ථාපනයේ වැදගත්කම සහ ප්‍රචණ්ඩත්වයේ මූල හේතු ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම අවධාරනය කරයි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සඳහා දැනුවත් කිරීම, වින්දිතයින් සඳහා සහය සැපයීම, අපරාධකරුවන්ට වගවීම, සහ මෙම ගැටලුවට දායක වන සමාජ ආකල්ප සහ සම්මතයන් වෙනස් කිරීමට කටයුතු කිරීම ඇතුළත් පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වේ. යහපත් සබඳතා ප්‍රවර්ධනය කිරීම, ප්‍රජාවන් දැනුවත් කිරීම සහ වින්දිතයින්ට උපකාර පැතීමට සහ අපයෝජන චක්‍රය බිඳ දැමීමට බල ගැන්වෙන පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය.
2005 අංක 34 දරණ ගෘහස්ත හිංසනය වැලැක්වීමේ පනත ගෘහස්ත හිංසනයන්ට ලක්වන්නන්ට දෙයාකාරයකින් සහන සලසයි.
- අතුරු ආරක්ෂක නියෝගය.
- ආරක්ෂක නියෝගය.
මෙම නියෝගය මගින් විවාහය යන බැදීමට සීමා නොවී විවිධ මට්ටමේ සිටින පුද්ගලයින්ගේ ජීවිත හිංසාවෙන් තොරව ගෞරවනීය ලෙස ජීවත්වීමට ප්‍රතිකර්ම සපයනු ලැබේ.
පනත මගින් කොතරම් සහන විදිතයන් වෙනුවෙන් සලසා තිබුනත් ප්‍රායෝගික තත්ත්වයන් සලකා බැලීමේදී මේ සියල්ල අභිබාවා ගොස් ඇති බව පෙනේ. පසුගිය වසරක කාලය තුළ ස්ත්‍රීන් විසින් ඉදිරිපත් කරන ලද ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි සලකා බැලීමෙන් මේ බව සනාථ වේ.
ගෘහස්ත හිංසනයට මුහුණ දුන් කාන්තාවන්ගේ අත්දැකීම් වලින් ඔවුන් අත්විදින ප්‍රචණ්ඩත්වයේ තරම තේරුම් ගත හැකිය. එමෙන්ම ගෘහස්ත හිංසන්යෙන් මිදීමට ඔවුන් විසින්ම සිතා බලා හෝ තමන් වැනි අනෙක් ස්ත්‍රීන් ආදර්ශයට ගනිමින් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට යොමු වී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෘහස්ථ හිංසන විනිද්තයන්ට සහන සැලසීමේ ක්‍රියාවලිය තුළ අප හදුනාගත් එවැනි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ.
- විදේශගත වීම
- පදිංචි ප්‍රදේශය හැරයාම.
- දරුවන් අතහැරයාම.
- සැගවී ජීවත්වීමට උත්සාහ කිරීම.
- සියදිවි හානිකර ගැනීම.
- දරුවන් සමග සියදිවි හානිකර ගැනීම.
අවුරුදු 15 ක් විතර මම දෙමාපියන් එක්ක දරුවො දෙන්න හදාගෙන නිදහයේ ජීවත් උනා. මේ වෙනකොට මගේ ලොකු දුව විවාහ වෙලා හිටියෙ. විවාහ යෝජනාවකින් තමයි මගේ දෙවන සැමියා මුණගැහෙන්නෙ. ඔහු දැකපු මුල් දවසෙම මට කැමැත්තක් ඇති වුනා. මගේ ලොකු දුව කිවා මට ආයෙ බදින්න එපා කියලා. “මම රට ගිහින් හරි නංගියි අම්මවයි බලාගන්නම්” කියලා මගේ ලොකු දුව කිව්වා. ඒත් මම නැවත විවාහ උනා. දැන් මට වයස අවුරුදු 7 පුතෙක් ඉන්නවා. මම ආයෙත් මගේම ගෙදර වහලියක් වෙලා ගුටි කනවා.
විනීතා නැවත සිය කතාව ආරම්භ කළාය.
ඇයි තමන්ගේ ගෙදර ඉදගෙන ඔයා ගුටි කන්නේ? මිනිහව ගෙදරින් එළවන්න බැරිද? මේ කතාව අසන කෙනෙකුට සිතට නැගන මූලික ප්‍රශ්ණය මෙයයි.
ගෙදරින් යන්න කිව්වොත් අපෙ මුලු පව්ලෙන්ම පලිගනියි
එහෙනම් ගෘහස්ථ හිංසනය යටතේ පැමිණිල්ලක් දාමුද?
පොලීසි යන්න බෑ. මං රට යනවා. දරුවාව ඉස්කෝලේ යවන්න සල්ලි එවනවා. කවදා හරි මිනිහා ගෙදර අතඇරලා යනකං මං ලංකාවට එන්නේ නෑ.
2023 අගෝස්තු මාසයේදී ඇය මැදපෙරදිග ගෘහ සේවයට පළා ගියාය.
අක්ක නං කරුමෙන් ගැලවුණා, මට තමයි තාම බැරි වුණේ.
විවාහය ඇයට කරුමකි. විවාහයෙන් ගැලවීමට ඇති එම මග ලෙස ඇය දකින්නේ රට යාමයි. අවුරුදු 25ක් වන මලී ට වසය අවුරුදු 4ක දියණියක් සිටී.
මම නම් දරුවා එයාගෙ තාත්තට දාල රට යනවා.ආයෙ නම් ලංකාවට එන්නෙ නැහැ. මට මේ ජීවිතේ එපාවෙලා තියෙන්නෙ. රට ගිහින් කොච්චර වැඩ තිබුණත් කමක් නැහැ. පැයක් හරි කමක් නැහැ ලැබෙන නින්ද මගේ කියලා හිතාගෙන නිදාගන්න පුලුවන්. දවස ගානෙ ගුටි කන්නත් ඕනෙ. ඊට පස්සෙ එයාට ඕනේ ඕනේ විදියට බුදිය ගන්නත් ඕනේ. ලංකාවෙ මට කියලා නින්දක්වත් නැහැ.
ඇය අත්විදින ප්‍රචණ්ඩත්වයේ තරම තේරුම් ගැනීමට තවත් වචන අවශ්‍ය නැත. මලීද 2023 සැප්තැම්බර් මාසයේදී මැදපෙරදිගට පලා ගියාය.
තම ජීවිතය නැති කර ගැනීම ගෘහස්ත ප්චණ්ඩත්වයෙන් ගලවීමට ඇති අවසාන විසදුම ලෙස සිතීමටත් එය ක්‍රියාත්මක කර අනුනවයෙන් ජීවිතය ගලවාගත් කාන්තාවක් පවසන්නේ මෙවැනි කතාවකි.
මගේ වයස අවුරුදු 20යි. මට සැමියාගෙන් වන හිරිහැර ඉවසන්නම බැරි නිසා මම හිතුව ජීවිතය නැති කරගන්න. ඒත් වෛද්‍යවරු මගේ ජීවිතය බේරා ගත්තා. මේ අතර හිංසනයට පත් කාන්තාවන්ට උදව් කරන සංවිධානයක් මට මග පෙන්නා දුන්නා හිංසනයට එරෙහිව කටයුතු කරන්නෙ කොහොමද කියලා. පළමුවෙන්ම මම හිංසන පරිසරය වෙනස් කරල අලුත් ප්‍රදේශයක පදිංයට ගියා. එම ප්‍රදේශයේ දී මට සහයෝගය ලබාගත හැකි කණ්ඩායමක් හදුන්වා දුන්නා. මම මට කැමති ජීවිතය අත්විදිමින් මාව බරපතල ලෙස හිංසනයට පත් කල ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කරගෙන යන අතර මම වගේම හිංසනයට පත් කාන්තාවන්ට ජීවිතය ජයගන්න මගේ දැනුම සහ අත්දැකීම් ඔවුන් සමග බෙදා ගන්නවා.
ඇය කොතරම් මානසිකව ශක්තිමත් කාන්තාවක් වුවත් සියදිවි නසා ගැනීමට භාවිතා කළ බෙහෙත් වල බලපෑම් නිසා ඇතිවූ ශාරීරික පීඩාවන්ගෙන් ගැලවුමක් නැත. මානසික පීඩාවද වරින් වර ඇයව පීඩාවට හා වෙහෙසට පත් කරයි.
හිංසනය එකිනෙකාට ඇති කරන්නෙ වෙනස් වෙනස් ආකාරයේ බලපෑම්ය. මේ තවත් තරුණ කාන්තාවකගේ අත්දැකීම්.
මම දෙපාරක්ම ලිං පඩියට නැග්ගා ලිදට පනින්න. ඒ දෙපාරම මගේ අහිංසක දරු පැටියාගේ මූණ මතක් වුන නිසා කකුල ආපහු ගත්තා. මට මැරෙන්නවත් නිදහසක් නැහැ. සාමාන්‍ය දරුවෙක් උනානම් කවුරු හරි බලාගනී. ඒත් මගේ ආබාධිත දරුවා කවුරුවත් බාරගන්න එකක් නැහැ.
නිමාලි අත්වැල සහන පියසට පැමිණියේ යහළුවෙක්ගෙන් ඉල්ලා ගත් ඇදුමක් ඇදගෙනය.
ඊයේ රෑ 12 ට විතර මගේ මහත්තයා පොල්ලක් අරගෙන මට පහර දුන්නා. මම එලියට පැනලා කරුව්ලේම පාරදිගේ දිව්වා. පිහියක් අරගෙන ඔහු මගේ පස්සෙන්ම එන නිසා මම වැටකින් පැනලා ගෙවල් අස්සෙන් දුවලා ලිදක් ලග හැංගුනා. මම පාන්දර තුන විතර වෙනකං ලිද ලගම ඉදලා පාරට ආවා. මම හිටියෙ නිදන ඇදුමෙන් .ඒක හොදටම ඉරිලා, මඩ ගෑව්ලා. ඒ වෙලාව පාරෙ ආව කාර් එකකට මම අත දැම්මා. ඒ වාහනයෙන් මගේ යාලුවෙක්ගේ ගෙදරට ඇව්ත් ඇදුමක් ඉල්ලගෙන ඇදගෙන මම ආවේ.
නිමාලි සිටියේ ඇවිදගන්නත් බැරි තරම් අමාරුවෙන්. රෝහල් ගත වෙන්න ඇය කැමති වුනේ නහැ. ඇයට ඕන වුනේ පොලීසිය මාර්ගයෙන් දරුවා ලබාගන්න. පැමිණිල්ක්ත් දැමීමට ඇය අත්වැල නීතිඥවරිය සමග පොලීසියට ගියාය. නමුත් පොලීසියෙන් ඇයට පැවසුවේ පහර දුන් පළමු වතාව නිසා පැමිණිල්ලත් දැමීම අවහ්‍ය නැති බවයි.
ඇත්තටම ඒ වෙලාවෙ ඇයට කුමක් සිතෙන්නට ඇත්ද? ගෘහස්ත හිංසනයට ලක්වන කාන්තාවන් මුහුණදෙන ගැටලු අතර වින්දිතයන් පොලීසිය තුළදී තවදුරටත් ප්‍රතිවින්දිතභාවය පත් කිරීම ඉතා සුලභය. මේ නිසා බොහෝ වින්දිතයන් පොලීසියට යාමෙන් වැලකී සිටී.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පොලිසියේ ආකල්පය, නීතිය ක්‍රියාත්මක කරන ආයතනය, නිලධාරීන් මත වෙනස් විය හැකිය. සමහර පොලිස් දෙපාර්තමේන්තු සහ නිලධාරීන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය බැරෑරුම් ලෙස සලකන අතර වින්දිතයින්ට සහාය ලබා දීම සදහා කැප වී කටයුතු කරයි. තවත් සමහරු වින්දිතයින්ට සහ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් අහිතකර බලපෑම් ඇති කළ හැකි නිෂේධාත්මක ආකල්ප දරති. මේ සදහා හේතු කිහිපයක් හදුනා ගත හැකිය.
1. පක්ෂග්‍රාහී මැදිහත්වීම් – සමහර නිලධාරීන් විසින් දරන පක්ෂග්‍රාහී හැඟීම් වලින් සෘණාත්මක ආකල්ප මතු විය හැකි අතර, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඔවුන්ගේ සංජානනයට බලපෑම් කළ හැකිය. මෙය වින්දිතයාට දොස් පැවරීම, අවිශ්වාසය හෝ තත්වයේ බරපතලකම අවතක්සේරු කිරීමට හේතු විය හැකිය. උදාහරණයක් ලෙස හිංසනය සිදු කරන පුද්ගලයා පොලීසියේ හිතවතෙක් නම් කොතරම් දරුණ හිංසනයක් වුවත් පොලීසියට ඒ ගැන තකන්නේ නැත.
2. පුහුණු නොමැතිකම – ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් සංවේදීව සහ ඵලදායී ලෙස හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳව පොලිස් නිලධාරීන්ට ප්‍රමාණවත් පුහුණුවක් නොලැබීම ප්‍රඹාන ගැටළුවකි. මෙය වරදවා වටහාගැනීම් හෝ වැරදි ලෙස හැසිරවීමට හේතු විය හැකිය. උදාහරණයක් ලෙස විවාහය තුළ ස්ත්‍රීන් පුරුෂයාට යටත්ව ජීවත් විය යුතු බව බෙහෝ පොලිසි නිළධාරීන්ද විශ්වාස කරයි. ඒ නිසා ඇතැම් නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ සදාචාරාත්මක විශ්වාස බාධාවක් වන අවස්ථා ඇත.
3.සංස්කෘතික සහ ව්‍යුහාත්මක සාධක – පොලිස් දෙපාර්තමේන්තුවක් තුළ පවතින සංස්කෘතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ භූමිකාවන් හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුළුල් සමාජ ආකල්ප, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට නිලධාරීන් ප්‍රතිචාර දක්වන ආකාරය හැඩගසයි. සමහර අවස්ථාවලදී, මුල් බැසගත් විශ්වාසයන් හේතුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සුළුකොට සැලකීමට හෝ බැහැර කිරීමට ප්‍රවණතාවක් තිබිය හැකිය. “ඔයා හැම තිස්සෙම මහත්තයත් එක්ක කට ගහගෙන යන්නැතුව හිටියනං හරිනේ” වැනි උපදෙස් වින්දිතයන්ට ලැබෙන්නේ ඒ නිසාය.
4. සම්පත් ප්‍රමාණවත් නොවීම – ප්‍රාදේශීය පොලීසිවලට ලැබෙන මානව සහ මූල්‍ය සම්පත් ප්‍රමාණවත් නොවීම නිසා සිද්ධීන් නිසි ලෙස විමර්ශනය කිරීමට සහ විසඳීමට ඍණාතිමකව බලපායි. අධිකරණයට නඩු ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය ලිපි ලේඛන වල පිටපත් ගැනීමට ප්‍රමාණවත් තරම් කඩදාසි, මුද්‍රණ පහසුකම් ඔවුන්ට නැති බව පොලිසීය නිතර අප සමග කියයි.
5. බරපතලකම් නොතේරීම – සමහර නිලධාරීන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ බරපතලකම සහ බලපෑම, විශේෂයෙන්ම ශාරීරිකව ප්‍රචණ්ඩකාරී නොවන අවථාවන්වලදී සිද්ධිය ග්‍රහණය කර ගත නොහැක. හානිය මූලික වශයෙන් චිත්තවේගී නම්එැවින අවස්ථාවල දී ඔවුන් එයට ප්‍රතිචාර දක්වන්නේ මද වශයෙනි. සම්පූරණයෙන්ම නොසලකා හරින අවස්ථාද ඇත.
6. අසංවේදී ප්‍රතිචාර – ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන් සංවේදී වීම ඉතා වැදගත් වේ. එවැනි සංවේදීබවක් නොමැති නිලධාරීන්, වින්දිතයින්ට අවශ්‍ය සහය ලබා දීමට කාර්යක්ෂමව කටයුතු කරන්නේ නැත.
7. අසාර්ථක අත්දැකීම – ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය ලබා ඇති අසාර්ථක අත්දැකීම් වින්දිතයන් සමග බෙදා ගැනීමෙන් වින්දිතයන් අධෛර්යට පත් කරයි.
8. පෙලීසිය පිළීබද ඇති ඍණාත්මක ආකල්ප – ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට පොලිසිය ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබද සමාජයේ පවතින ඍණාත්මක අදහස් නිසා බෙහෝ වින්දිතයන් පොලීසියට යාමට බියක් දක්වයි. ඉතාම කාර්යක්ෂම සේවාවක් ලබා දෙන පොලිස් නිලධාරීන් සිටී. නමුත් එම සේවාවන් ලබා ගැනීමට වින්දිතයන් පෙළඹෙන්නේ නැත.
ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන ස්ත්‍රීන් සහ දරුවන් සමඟ ගනුදෙනු කරන විට, සංවේදීතාව, සහකම්පනය සහ ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා කැපවීම අත්‍යවශ්‍යය. එය ඉතාම වගකීම සහතග කාර්යයකි. ඒ සදහා සේවා සපයන කණ්ඩායම් වලට ගත හැකි පියවර කිහිපයක් පහත දැක්වේ.
1. සක්‍රියව සවන් දෙන්න – දිවි ගලවා ගත් තැනැත්තාට සවන් දීමෙන් ආරම්භ කරන්න. ඇයගේ අත්දැකීම් සහ හැඟීම් බාධාවකින් තොරව බෙදා ගැනීමට ඇයට ඉඩ දෙන්න. “ඔයාට ඇහුමිකන් දෙන්න තමයි මම ඉන්නේ” ” හෝ “ඔයා කියන දේ මම විශ්වාස කරනවා” වැනි දේ කීමෙන් වින්දිතයාට සැනසිලිදායක හැගීමක් ලබා දිය හැකියි.
2. සහකම්පනය – ඇය අත්විඳින දේ පිළිබදව දැනෙන බව ප්‍රකාශ කරන්න. “ඔයාට මෙය අත්විඳීමට වුණ එක ගැන මට කණගාටුයි” වැනි දේවල් පවසන්න.
3. සහතික කිරීම – ප්‍රචණ්ඩත්වය ඇගේ වරදක් නොවන බව අගවන්න . “මේක ඔයා නිසා වුණ දෙයක් නෙමෙයි” යැයි පවසන්න.
4. ආරක්ෂාව පළමුව – ඇයගේ ආරක්ෂාව සම්බන්ධව හෝ දරුවෙකුගේ ආරක්ෂාව පිළිබඳ වැදගත්කම අවධාරණය කරන්න. “හැම දේකටම කලින් ඔයාගේ ජීව්තේ බේරගන්න ඕනේ” හෝ “ආරක්ෂිත තැනකට යන්න අපිට උදවු කරන්න පුළුවන්” වැනි යෝජනා ඉදිරිපත් කරන්න.
5. ස්වයං තීරණවලට ගරු කරන්න – ඇයගේ තේරීම් සහ ස්වාධීනත්වයට ගරු කරන්න. විවේචනාත්මක අදහස් දැක්වීමෙන් වළකින්න. කළ යුතු දේ ඇයට පැවසීමෙන් වළකින්න. ඒ වෙනුවට, විවෘත ප්‍රශ්න අසන්න, “දැන ඔයාට හිතෙන විදියට ඊළගට මොනවද කරන්න ඕනේ?”
6. සහාය පිරිනැමීම – දිවි ගලවාගත් තැනැත්තා ගන්නා ඕනෑම තීරණයකදී ඇයට සහාය වීමට ඔබ සිටින බව ඇයට දන්වන්න. “ඔයා කැමති දෙයක් තීරණය කරන්න, අපි උදවු කරන්නම්” වැනි දේ පැවසීමෙන් ඔවුන්ට තීරණ ගැනීම පහසු කරවයි.
7. තොරතුරු සැපයීම – නවාතැන්, නීති ආධාර, උපදේශන සහ උපකාරක කණ්ඩායම් වැනි පවතින සම්පත් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්න. “ඔයාට උදවු ගන්න තැන් තියෙනවාළ අප් ඒවට යොමු කරන්නම්”
8. රහස්‍යභාවය පවත්වා ගන්න – දිවි ගලවාගත් තැනැත්තාගේ පෞද්ගලිකත්වයට සහ රහස්‍යභාවයට ගරු කරන බව සහතික කරන්න.
9. ස්වයං රැකවරණය දිරිමත් කරන්න – ස්වයං රැකවරණය සහ මානසික යහපැවැත්මේ වැදගත්කම සාකච්ඡා කරන්න. “ඔබ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.”, “ඔයා දැන් හොදින් කාලා බීලා ඉන්න”, “හැම දේටම කලින් ඔයා සනීපෙන්න ඉන්න ඔනේ” වැනි යෝජනා ඉදිරිපත් කරන්න.
10. ලේඛනය සහ වාර්තාව – ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබද පොලීසියට පැමිණිළි කිරීමේ වැදගත්කම් පෙන්වා දෙන්න.
11. දැනුවත්ව සිටින්න – ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඇති ප්‍රාදේශීය සම්පත් සහ නීතිමය විකල්ප පිළිබඳ තොරතුරු යාවත්කාලීනව තබා ගන්න එවිට ඔබට නිවැරදි මග පෙන්වීමක් ලබා දිය හැකිය.
12. ඉවසිලිවන්ත වන්න – සමීප සම්බන්ධතාවයක් අත්හැරීම ඉතාම දුෂ්කර ක්‍රියාවලියක් විය හැකි බව හඳුනා ගන්න. ඉවසිලිවන්තව සහ අවබෝධයෙන් අඛණ්ඩ සහයෝගය ලබා දීම වැදගත්ය.
සහය සලසන කණ්ඩායම් හිංසනයට මුහුණ දෙන අයගේ අවශ්‍යතා සහ මනාපයන් ළගාකර ගැනීමට මඟ පෙන්විය යුතුය. මීට අමතරව, හැකි උපරිම සහයෝගය ලබාදීම සදහා ගෘහස්ථ හිංසනය පිළිබඳ විශේෂඥ වෘත්තිකයන් සහ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම විදිතයන්ට සහන සැලසීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරයි.
මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ සදාචාරවාදී විනිශ්චයකින් තොරව විවෘත මනසකින් වින්දතියන් සමග ගනුදෙනු කිරීමයි.

