ගැහැනු ළමයි ඇත්තටම රෝස පාටට කැමතිද?

2021 ජූනි 14.

පබා දේශප්‍රිය විසිනි.

මා මාස 8 පමණ ගර්භණී කාලයේ සිටින විට, කෝපි කෝප්පයක් මිලදී ගැනීමට ගිය කඩයේ සිටි නාදුනන ස්ත්‍රීයක් මගේ කුස දෙස බලා මෙසේ පැවසුවාය. “අනේ බඩ හොඳටම ලොකුයි, පුතෙක් වෙන්න ඇති නේද?” ඉපදෙන්නට සිටින්නේ දියණියක බව දැන සිටි නිසා “නෑ දුවෙක්” යැයි මා කී විට “වෙන්න බෑ. ඔයා බලන්නකෝ, අනිවාර්යෙන්ම පුතෙක්” කියාගෙන මගේ උදරයත් අතගාගෙනම ඇය පිටව ගියාය. ස්වභාවිකව ඉපදෙතැයි බලාපොරොත්තුවෙන් සිටියත් දරුවාගේ හිස තරමක් විශාල බැවින් ශෛල්‍යකර්මයක් සිදු කළ යුතු බව මගේ වෛද්‍යවරයා දැනුම් දුන් අතර, ඒ විගසම අසල සිටි හෙදියක් “මිස් පුතෙක්ද ඉපදෙන්න ඉන්නේ?” යැයි මගෙන් ඇසුවාය. ඒ හිස ලොකු යැයි වෛද්‍යවරයා කියූ නිසා යැයි මට සිතේ. බලන්න, උපත ලබන්නටත් පෙර මගේ දියණිය කෙතරම් ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිමානවලට ගොදුරු වුණාද? මගේ දියණිය නිවසට රැගෙන ආ දිනයේ සිටම ඇයට බැලීමට පැමිණි මිතුරු මිතුරියන්, නෑ හිතවතුන් බෙහෝ දෙනෙක් කතා කළේ ඇගේ ඇහි බැම දෙක එකට යාවී පිහිටා තිබීම පිළිබදවයි. “ඕක ත්‍රෙඩ් කරන්න ගිහාම හොඳට තියෙයි” මිතුරියක් පැවසුවාය. බලන්න ‘ගැහැණු කම’ පිළිබද පවතින ඒකාකෘතීන් ළදරුවන් මත පටවන ආකාරය.

බලන්න මේ බෙදීම දෙස.

pinkandblue

 

“මාස 24 ක් තරම් කුඩා දරුවන් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ හැසිරීම්වලට බෙහෙවින් සංවේදී බව පර්යේෂණය මගින් පෙන්වා දේ.  එනම්, මේ කාලයේදී මොළය තොරතුරු උරා ගන්නා ස්පොන්ජ් එකක් ලෙස ක්‍රියා කරයි. ඔවුන් දකින ඇසෙන හැසිරීම් අනුගමනය කරමින් ස්නායු පරිපථය සකස් කර ගනියි. ස්ත්‍රී පුරුෂ ලෙස වෙන් වූ මොළයක් බිහි වන්නේ එලෙසයි – ස්නායු පිළිබද විද්‍යාඥවරියක් වන ජීනා රිපොන් පෙන්වා දෙයි.

“මට ඉන්නේ දුවෙක් සහ පුතෙක්. ඔවුන් දෙදෙනා එකිනෙකට වෙනස් යැයි සමහරු මා සමග පවසනවා. මට ඉන්නේ දියණියන් දෙදෙනෙක්, ඔවුන් එකිනෙකාට හරිම වෙනස් යනුවෙන් මා පිළිතුරු දෙනවා. සාමාන්‍යයෙන්න් ස්ත්‍රී සහ පුරුෂ අනන්‍යතා පිළිබද කතාකරන විට, ගැහැණු හා පිරිමි වෙනස් යන අදහස ඉතා තදින් මුල් බැස ගෙන තිබෙනවා. ලිංග අතර වෙනස අපි ප්‍රතික්ෂේප කරනවා නොවෙයි. ශාරීරිකව ස්ත්‍රීන් සහ පුරුෂයන් වෙනස්. මොළය කියන්නේ ජීව විද්‍යාත්මක අවයවයක්. ලිංග භේදය කියන්නෙත් ජීව විද්‍යාත්මක කරුණක්. නමුත් එය එකම කරුණ නොවෙයි. එය තවත් බෙහෝ කරුණු සමග අන්තර් ඡේදනය වනවා.” යනුවෙන් රිපොන් පවසයි. 

මෙම යෝජනාවේ විද්‍යාත්මක සුවිශේෂත්වය “සූර්යා වටේට පෘථිවිය භ්‍රමණය වීම පිළිබද අදහස” හා සමාන බව ඇය පවසයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සිදු කරන වැඩසටහන්වලදී අප විසින් පවත්වන කණ්ඩායම් ක්‍රියාකාකරමක් වන්නේ ගැහැනු දරුවන්ට සහ පිරිමි දරුවන්ට උපන්දිනයට ගෙන යන තෑගි ලැයිස්තුවක් සකස් කිරීමට සහභාගීවන්නන්ට පැවරීමයි. ඒ සෑම අවස්ථාවකදීම ඒ ලැයිස්තු දෙක අතර විශාල වෙනස් කම් අප දැක ඇත. උදාහරණ වශයෙන් ගැහැනු දරුවන්ට දෙන තෑගි අතර, වළං සෙට්, රත්‍රං ආභරණ, බෝනික්කන්, මේකප් සෙට් ආදිය වරදින්නේ නැත. පිරිමි ළමුන්ට දෙන තෑගි අතර, බයිසිකල්, චෙස් බෝඩ්, රහස් පරීක්ෂක කතා පොත්, බැට් එකක්, බෝලයක් වරදින්නේ නැත. තුවක්කුවක් දෙන කණ්ඩායම්ද බොහෝ සිටී. කොළඹ අධ්‍යාපන කලාප 1හි සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවන්ට සඳහා පැවති දැනුවත් කිරීමකදී ඒ කණ්ඩායම්වල ලැයිස්තු ඉදරිපත් කරන අවස්ථාව පැමිණියේය. එක් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ ලැයිස්තුවේ පිරිමි ළමයෙකුට රිමෝට් කොන්ට්‍රෝල් කාර් එකක් දෙන බව ලියා තිබුණි. මේ ක්‍රියාකාරකම අතරතුර ඒ ඒ තෑගි දීමට හේතුව කුමක්දැයි ඇසීමට මම ප්‍රිය කරමි. ඒ නිසා “ඇයි රිමෝට් කොන්ට්‍රෝල් කාර් එකක්?” යැයි ඇසුවෙමි. “පිරිමි ළමයෙකුට අවකාශය ගැන හොඳ අවබෝධයක් අවශ්‍යයි, ඔහුගේ මොළය වර්ධනයට අවකාශය හැසිරවීම පිළිබඳ කුසලතාවක් ලබා ගන්න රිමෝට් කොන්ට්‍රෝල් කාර් එක හොඳ උදවුවක් වෙනවා” ගුරුවරයා පිළිතුරු දුන්නේය.

“ඇයි ගැහැනු ළමයෙකුට අවකාශය පිළිඳද දැනීම අවශ්‍ය නැද්ද”

“නෑ එහෙම නෙමෙයි, ඒත් ගෑනු ළමයෙක්ට වැඩිය ඒකෙන් ප්‍රයෝජනේ තියෙන්නේ පිරිමි ළමයෙකුට”

“ඇයි”

“ගෑනු ළමයෙකු කොහොමත් ඉදිරියට යනවා අඩුයි නේ. එයාලා බැඳලා ළමයි හම්බවුණාම ගෙදර නවතිනවා”

මේ සාකච්ඡාව අතරතුර තවත් ගුරුවරයෙක් මෙසේ කීවේය.

“ගැහැනු අයට හරියට වාහන එහෙම එළවන්න බැරි එයාලගේ මොළේ ඒ පැත්ත නැති නිසා”

“ඒ පැත්ත නෑ තමයි, බොනික්කෝ විතරක් දුන්නහම. ගෑනු ළමයටත් රිමෝට් කොන්ට්‍රෝල් කාර් එක්ක දීලා බලන්න” මගේ පිළිතුර විය.

තවත් මෙවැනිම සංවාදයකදී ලොව ප්‍රථම කාර් රියැදුරු කවුදැයි දන්නවාදැයි මම ඇසුවෙමි. කිසිවෙකු දැන සිටියේ නැත. ඒ බර්තා බෙන්ස් නැමති ස්ත්‍රිය බවත්, ඇය 1888 දී කිලෝ මීටර් 65ක් සිය දරුවන් දෙදෙනාද කැටුව ලොව ප්‍රථම මෝටර් කාර් රථය ලෙස සැලකෙන බෙනස් රථයක් පදවාගෙන ගිය බවත් පෙන්වා දුන් විට ඔවුන් සියලු දෙනාම පුදුමට පත් වී මගෙන් ඇසුවේ “ එහෙනං ඇයි ඉතිං ගෑනුන්ට වාහන එළවන්න බෑ කියන්නේ” යනුවෙනි.

“ඔබේ ලැයිස්තුව දෙස බලා ඔබම සිතා බලන්න” මගේ පිළිතුර විය.

“කුඩා කාලයේදී දරුවන්ට දෙන සෙල්ලම් බඩු ඔවුන්ගේ ජීවිතවලට බෙහෙවින් බලපෑම් ඇති කරයි. උදාහණයක් ලෙස ගොඩනැගිලි සකස් කරන සෙල්ලම් බඩු ( Blocks) හෝ වාහන ගලවා නැවත සෑදිය හැකි සෙල්ලම් බඩු ගැන සිතන්න. කැට කරකවමින්, ඇගිලි තුඩුවලින් අල්ලමින් නව ගොඩනැගිලි සාදන විට එමගින් දෘශ්‍යමය සහ අවකාශය හා සම්බන්ධ ස්නායු ජාලය ලොඩනගා ගනී. ඉන් පසු පාසලේදී ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල වැඩි දක්ෂතාවක් පෙන්වනු ඇත. එවිට ගුරුවරුන්ගෙන්, දෙමාපියන්ගේන් ඒ පිළිබද ප්‍රසාදය පළ වේ. ඒ තුළ දරුවා එම හැකියාවන් දියුණු කර ගනීමට පෙළඹේ. ඉන් පසු ඒ හා සම්බන්ධ රැකියවක් සඳහාද වැඩි සුදුසුකමක් ලැබේ.” යනුවෙන් ජීනා රිපොන් සෙල්ලම් බඩුවලින් සිදු වන බලපෑම පෙන්වා දෙයි.

ඉතින්, ගැහැනු ළමයාටත් පිරිමි ළමයාටත් බෙදා වෙන් කොට සෙල්ලම් බඩු දෙන විට ඔවුන්ට ලැබෙන්නෙ බෙදා වෙන් කළ පුහුණුවකි.

ගැහැනු දරුවන් රෝස පැහැයට ආසා බවත් පිරිමි දරුවන් නිල් පැහැයට ආසා බවත් බෙහෝ දෙනා සිතති. දිනක් නිවසේ පැවති සාදයකදී අවුරුද 3ක් වන මගේ දියණිය රෝස පැහැති ගවුමක් හැද සිටියාය. ඇය කාමරයෙන් එළියට පැමිණෙන විට සියලු දෙනාව “ අනේ හරිම ලස්සනයි, කුමාරිකාවක් වගේ” යැයි පැවසූහ. රෝස පාට ගවුමට ලැබුණු අවධානය ඇය ඊට පෙර ඇද සිටි කොළ පැහැති ටී ෂර්ටයට සහ රතු පැහැති කොට කලිසමට ලැබුණේ නැත. ඉන් පසු සති ගණනක් යන තුරු ඇය ඇන්දේ රෝස පැහැති ගවුමක් පමණි.  ඉන් පසු ඇය රෝස පාට ගවුම්වලට කැමති බව ප්‍රචලිත විය. ඉන්පසු ඇගේ උපන්දිනය සදහා ලැබුණු සියලුම ඇඳුම් රෝස පැහැති ඒවා විය. බලන්න, රෝස පැහැය අපි ඇය මත පැටවූ ආකාරය.

ජීනා රිපොන් පෙන්වා දෙන්නේ අපගේ මොළය ගැහැනු පිරිමි කියා ජීවවිද්‍යාත්මක වෙනසකට වඩා සමාජභාවී ගොඩනැංවී තුළ වෙනස් ආකාරයට ක්‍රියා කරන බවයි. උදාහරණයන් වශයෙන් ස්ත්‍රීන්ගේ මොළය පුරුෂයින්ගේ මොළයට වඩා අවුන්ස 5කින් පමණ බර අඩු වුවත් එය තීරණ ගැනීමට හා කළමනාකරණයට බලනොපාන බවයි. මොළයේ බර ප්‍රමාණය හැකියාව තීරණය කරන සාධකයක් නම් අලින්ගේ සහ ඇතැම් තල්මසුන්ගේ මොළය මනුෂ්‍ය මොලයට වඩා බරින් වැඩි බවත්, මනුෂයින්ට වඩා දියුණු මොළයක් එම සතුන්ට ඇති බවට සාක්ෂි නැති බවත් රිපොන් පවසයි. බුද්ධිය හෝ හැසිරීම් ගති ලක්ෂණ අනුව ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර වෙනසක් නැති බව බෙහෝ අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරතරය යනු කුමක්ද?

උපතේ සිට අප ඉගෙන ගන්නා දේවල්වල ස්ත්‍රී පුරුෂ වෙනසක් ඇති බව පැහැදිළිය. අවරුදු 18ක පමණ ගැහැනු දරුවෙකුට සහ පිරිමි ළමයෙකුට දෙන අවවාද සහ උපදෙස් ගැන සිතා බලමු.

පහතින් දැක්වෙන්නේ වැඩසටහන් කිහිපයකදී සහභාගී වූ පිරිස ඉදිරිපත් කළ පිළිතුරු කිහිපයකි.

table1

 

මේ ලැයිස්තුව මගින් ගොඩ නගන්නේ වහලියක් සහ වහල් හිමියෙක් බව මට සිතේ. ගැහැනු ළමයාගෙන් බලාපොරොත්තු වන ගෞරවය රැකීම පිරිමි ළමයාගෙන් බලාපොරොත්තු නොවේ. එනම්, ඔහුට ඕනෑ තරම් ගැහැනු ළමයින් සමග ලිංගිකව හැසිරීමට අවසර තිබේ. ඉන් පසු තමන්ට ගැළපෙන කෙනෙක් තෝරා විවාහ වීමට ඔහුට හැකිය. තමන් විවාහ වන්නේ කවුද යන්න තීරණය කිරීමට ගැහැනු ළමයාට බලයක් නැත. ඇයගේ එකම රාජකාරිය දරුවන් සෑදීම, නිවස බලා ගැනීම සහ දෙමාපියන්ව බලා ගැනීමයි. ඇය සාත්තු සේවිකාවකි, පිරිසිදු කරන්නියකි, සුවච කීකරු බිරිදකි. ඒ අතර, පිරිමි ළමයා මුදල් උපයන, දේපළ හිමි, ආරක්ෂකයෙකි.

මේ වෙනස අධ්‍යාපනය තුළ, ක්‍රීඩා තුළ, ක්‍රියාකාරී දේශපාලනය තුළ මෙන්ම රැකියා බෙදී යෑම තුළත් පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස පාසලේ සෞඛ්‍යය හා ශාරීරක අධ්‍යාපනය පෙළ පොතේ ඇති රූප සටහන් කිහිපයක් දෙස බලමු.

Screenshot 2021-06-14 at 13.32.45

සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් දිනූ බව අදටත් අපි ආඩම්බරයෙන් සිහිපත් කරනමුත් නමුත් මේ පෙළ පොතේ මලල ක්‍රීඩා පිළිබඳ ඇති කිසිම පාඩමක ගැහැනු ළමයෙකුගේ රූපයක් නැත.

මේ රූපවලින් තව තවත් ස්ථාවර කරන්නේ ගැහැනු ළමුන්ට ක්‍රීඩා කරන්න බැහැ, ගැහැනු ළමුන්ට පිරිමි ළමුන්ට තරම් ශක්තියක් නැහැ, ගැහැනු දුවන්න පනින්න කැමැති නැහැ යනාදී ඒකාකෘතීන්ය. මේ නිසා පිරිමි කණ්ඩායම්වලට තරම් වටිනාකමක් ගැහැනු කණ්ඩායම්වලට ලැබෙන්නේ නැත. මන්ද, ගැහැනු ළමයි ක්‍රීඩා කරන විට එහි පිරිමි ක්‍රීඩා කරන විටදී තරම් ජවයක්, ශක්තියක්, වේගයක් නැති බව අපි සිතන නිසාය. මේ නිසා එකම ක්‍රීඩාවේ නිරත වුවත් ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට ලැබෙන ගෙවීම් වෙනස්ය. 

මේ වෙනස රැකියා කිහිපයක් ඇසුරෙන් විමසා බලමු.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2019 පෙන්වා දී ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් ස්ත්‍රීන් සිටින්නේ 33%කි.  ශ්‍රී ලංකා පොලිස් සේවයේ ස්ත්‍රීන් සිටින්නේ 10%කටත් අඩු ප්‍රමාණයකය.

2016 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් “ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ශ්‍රම බලකාය සඳහා බලපාන සාධක” නමින් ප්‍රකාශයට පත් කළ අධ්‍යයන වාර්තාවේ මෙසේ සඳහන් වේ.

“වැඩිපුරම ස්ත්‍රී සහභාගීත්වය බලාපොරොත්තු වන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය එනම්, ගුරුවරියන් සහ හෙදියන් වශයෙනි. නමුත් මේ බෙදීම ශ්‍රී ලංකාවට පමණක් අදාළ නැත. 2013දී ඉන්දියාවේ සිදු කළ අධ්‍යයනයකදී සොයා ගැනුණේ, ස්ත්‍රීන්, සමාජයෙන් ස්ත්‍රීන්ට ගැළපෙනවා යැයි කියා ලේබල් කර ඇති රැකියාවන් තෝරා ගැනීමට වැඩියෙන් පෙළඹෙන බවය. බංගලාදේශය සහ පාකිස්තානය ඇසුරෙන් සිදු කළ අධ්‍යයනයකින්ද මේ බව තහවුරු වී ඇත. මේ රටවල් වල සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමටනම්  ස්ත්‍රීන් වෙනත් ක්ෂේත්‍රවලට පිවිසීමට දක්වන අකමැත්ත හැකි ඉක්මනින් අඩු විය යුතු බව තවත් අධ්‍යයයනයක් පෙන්වා දෙයි.

ස්ත්‍රීන් වැඩිපුර නියැලන රැකියා ක්ෂේත්‍රවල උසස් වීම් ඇතුළු රැකියා වර්ධනය ඉතා අවමය. මෙම ක්ෂේත්‍ර තුළ රැකියාවෙන් ඉහළට යෑමට අවස්ථා නොමැත. එක් අතකින්, උසස් වීම සදහා අධ්‍යාපන සහ රැකියා සුදුසුකම් සපුරා තිබුණද, ස්ත්‍රී චරිත ලක්ෂණ නිසා ඔවුන්ට උසස් වීමේ අවස්ථා නොලැබේ. තවත් අතකින්, උසස් කිරීමේදී පුරප්පාඩු වන තනතුරට එම ස්ත්‍රිය තරම් කාර්යක්ෂම කෙනෙක් සොයා ගැනීමට ඇති අපහසුව නිසා උසස්වීම් ලබා නොදේ. ඊට අමතරව, ගර්භණීභාවය, පවුලේ ඇති වගකීම් නිසා සේවා ස්ථානයේ පවත්වන වෙනත් අමතර කටයුතුවලට සහභාගී වීමට අපහසු වීම වැනි සාධකද මේ සඳහා බලපායි. එමෙන්ම, ස්ත්‍රීන් වැඩිපුර නියැලෙන්නේ හෙද, ගුරු වැනි ක්ෂේත්‍රවල උසස්වීම් නොමැති වීම ස්ත්‍රීන්ට උසස්වීම් නොලැබීමට තවත් හේතුවකි.”

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ප්‍රකාශයට පත් කරන ‘අත්වැල’ නම් වූ සගරාවක වැටුප් විෂමතාව පිළිබඳ මේ වගුව පෙන්වා දී තිබුණි.

Screenshot 2021-06-14 at 13.33.50

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය ඉතා අවමය. ස්ත්‍රී පාර්ලිමේන්තු නියෝජනය 5.4කි.

ලෝක ආර්ථික ෆෝරමය හෙවත් World Economic Forum මගින් 2021 වසරේදී එළිදැක්වූ ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරතරය පිළිබද වාර්තාවට අනුව ( Gender gap Report 2021) ශ්‍රී ලංකාව ඇත්තේ 116 වන ස්ථානයේය.

  • අධ්‍යාපන අවස්ථා පිළිබද පරතරය අනුව ලොව 88 වන ස්ථානයද,
  • ශ්‍රම බලකායට සම්බන්ධ වීම සහ ඒ සදහා ඇති අවස්ථා පිළිබඳ පරතරය අනුව ලොව 132 වන ස්ථානයද,
  • සෞඛ්‍යය සේවාවලට ප්‍රවේශය අනුව 30 වන ස්ථානයද,
  • දේශපාලන බලගැන්වීම අනුව 90 වන ස්ථානයද ශ්‍රී ලංකාවට හිමි වී ඇත.

මේ පරතරය ඉබේ ඇති වූවක් නොවේ. කළල අවස්ථාවේ පටන් අප ගොඩනගන ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඒකාකෘති සහ ඒවා පෝෂණය කරන මිත්‍යා අදහස් මගින් ඇති කරන ලද පරතරයකි. මේ පරතරය ශරීර ශක්තිය නිසා හෝ වෙනත් ජීව විද්‍යාත්මක සාධකයක් නිසා පවතින බව ඇතැම්හු විශ්වාස කරති. ඒ නිසා ජීව විද්‍යාත්මකව මේ පිළිබද විමසා බලමු.

ටෙස්ටෙස්ටොරෝන්ද ඊස්ට්‍රජන්ද?

ස්ත්‍රී ශරීරයේ වැඩිපුර තිබෙන්නේ ඊස්ට්‍රජන් නැමති හෝමෝනයයි. මෙම හෝමෝනය, ස්ත්‍රී ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පද්ධතිය සකස් වීමට සහ පියයුරු වර්ධනය වැනි  ඒ ආශ්‍රිත ක්‍රියාවන්ට දායක වේ. ඊස්ට්‍රජන් යනු ස්ත්‍රීන්ට පමණක් ඇති හෝමෝනයක් ලෙස බොහෝ දෙනා සිතුවද, එය සෑම ශරීරයකම නිපදවේ. පුරුෂ ශරීරයද ස්වභාවිකව ක්‍රියා කිරීම සදහා ඊස්ට්‍රජන් හෝමෝනය අවශ්‍ය වේ. විශ්ෂයෙන්ම ලිංගික ක්‍රියාකාරිත්වය සදහා පුරුෂයින්ට ඊස්ට්‍රජන් හෝමොනය අවශ්‍ය වේ.

ටෙස්ටෙස්ටොරෝන් යනු පුරුෂ ශරීරයේ වැඩිපුර නිපදවෙන හෝමෝනයකි. හාවඩ් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍යය වෙබ් අඩවියේ මෙසේ සදහන් වේ. “සාමාන්‍යෙයන් පිරිමි කමේ ලක්ෂණයක් ලෙස සැලකෙන නරක හැසිරීම් ටෙස්ටෙස්ටරෝරොන්වල ප්‍රතිඵලයක් බව බෙහෝ අය සිතති. නමුත්, එය මිථ්‍යාවකි. ටෙස්ටෙස්ටොරෝන් මගින් සෞඛ්‍යය සහ රෝග ඇති වීම කෙරෙහි ඇති කරන බලපෑම ගැන ඔබ පුදුම වේවි. ඔබ දන්නවාද? පුරස්ථිතික පිළිකා ඇති වීම කෙරෙහි බලපාන මූලික සාධයකයක් වන්නේ ටෙස්ටෙස්ටොරෝන් බව? ගැහැනුන්ටත් ටෙස්ටෙස්ටොරෝන් අවශ්‍ය බව? ඉතින්, ටෙස්ටෙස්ටොරෝන් යනු නරක පිරිමි හැසිරීමට වඩා එහා ගිය දෙයක්”

ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය, අස්ථිවල දරා ගැනීමේ හැකියාව සහ මාංශ පේශීන් වර්ධනය කිරීමට හේතු වන බව ජීව විද්‍යාව අපට පෙන්වා දෙයි. “නමුත්, ශරීරයේ ශක්තිය විවිධ ආකාරයෙන් නිර්වචනය කළ හැකියි.” යනුවෙන් විද්‍යා ජනමාධ්‍යවේදිනියක් වන ඇන්ජෙලා සෙයින් පවසයි.

ඇගේ තර්කය වන්නේ විද්‍යාව තුළ තවමත් ස්ත්‍රී ශක්තිය පිළිබද ප්‍රමාණයක් පර්යේෂණ සිදු කර නොමැති බවයි. ඒසේම ස්ත්‍රීන් නෙමැරී ජීවත් වීම (survival) අතින් පුරුෂයන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි. උදාහරණයක් වශයෙන් අවුරුදු 110 පසු කළ පුද්ගලයන් 43කගෙන් හතළිස් දෙදෙනෙකුම ස්ත්‍රීන්ය. එකම ආකාරයේ සත්කාර ලැබුණද, දත්ත දෙස බැලීමෙන් පෙනී යන්නේ පුරුෂයන් මිය යෑමේ සම්භාවිතාව  10%කින් ඉහළ බවයි. 2014 වසරේදී ඇඩ්ලේඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ පර්යේෂණයකදී සොයා ගත්තේ කළලයේ ස්ත්‍රී පුරුෂ බව අනුව වැදෑමහ වෙනස් ආකාරයෙන් ක්‍රියා කරන බවයි. මේ නිසා ගර්භාෂය තුළදී ස්ත්‍රී කළල වැඩි නෙමැරී ජීවත්වීමේ හැකියාවක් ලබා ගන්නා බව ඔවුන් අනුමාන කර ඇත.

පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෙබෙකා බර්ඩ්, පිරිමින් දඩයම් කිරීම සහ ස්ත්‍රීන් දරැවන් රැකීම යන පොදුවේ පිළිගත් ආකෘතිය ආදී ප්‍රජාවන් තුළ වෙනස්ව පැවත බවට උදාහරණ ඉදිරිපත් කරයි. ඒ බටහිර ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මර්තු නැමති ඇබොරජීන් ගෝත්‍රයේ ස්ත්‍රීන් දඩයම් කරන ආකාරය පෙන්වා දෙමිනි. “ඔවුන්ගේ කැමතිම දඩයම කැලෑ පූසන්ය. එය එතරම් ඵලදායී ක්‍රියාකාරකම් නොවුණද සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට ස්ත්‍රීන් ලබා ගන්නා අවස්ථාවකි.”

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යඥවරයෙකු වන රැනිඩ් හාස් විසින් කළ සොයා ගැනීමකින් මෙම අදහස තවත් තහවුරු වේ. 

2020 වසරේදී හාස් සහ ඔහුගේ කණ්ඩායම වසර 9000ක් පැරණි තියුණු දඩයම් උපකරණ සමග වළ දමා සිරුරක් සොයා ගත්ත.  දඩයම් උපකරණ දැකීමෙන් පසු “ඔහු නම් හරිම දක්ෂ දඩයක්කරුවෙක් වෙන්න ඇති” යනුවෙන් සිය කණ්ඩායස සිතූ බවත්, දත් ආශ්‍රිතව ඇති ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ ප්‍රෝටීනයක් පරීක්ෂා කිරීමේදී මෙම සිරුර ස්ත්‍රියකගේ බව සොයා ගත් බවත් හාස් පෙන්වා දේ.

Screenshot 2021-06-14 at 13.34.08

පහතින් දැක්වෙන්නේ හාස් සහ ඔහුගේ කණ්ඩායම විසින් සොයා ගත් දඩයම් ආම්පන්න වල නිරූපණයකි.

Screenshot 2021-06-14 at 13.34.17

සෙයින් පෙන්වා දෙන්නේ දුර දිවීම අතින් ස්ත්‍රීන් පුරුෂයින්ට වඩා ඉදිරියෙන් සිටින බවයි. උදාහරණයක් ලෙස 2011 දී ඇම්බර් මිලර්, චිකාගෝ මැරතන් තරගය අවසන් කළේ දරු ප්‍රසූතියට පැය 7කට පෙරාතුවය. බ්‍රිතාන්‍ය ජාතික මැරතන් ධාවන ශූරියන් වන පෝලා රැඩ්ක්ලිෆර් ඇගේ ගර්භණී අවස්ථා දෙකේදීම පුහුණුවීම් සිදු කළාය.

එසේනම්, ස්ත්‍රීත්වය කුඩා, දුර්වල, අබුද්ධිමත් ලෙස වර්ග කරන්නේ ඇයි?

Screenshot 2021-06-14 at 14.25.58

Screenshot 2021-06-14 at 14.25.45

 

මේවාට අමතරව සාම්ප්‍රදායකව පිරිමි වැඩ ලෙස හැදින්වෙන රැකියා කරන ස්ත්‍රීන් අප අතර සිටිති. ඒ නිසා ගැහැනු ළමයින් කැමති රෝස පාටටය, ඔවුන් සිනිදුය, අහිංසකය යන ඒකාකෘතිය ස්ත්‍රීන් පිළිබද සැබෑව හෙළිකරන්නක් නොවේ.  “පරිනාමවාදය දෙස බැලූ විට, අප්‍රිකානු මහාද්වීපයේ සිට ලොව වෙනත් ප්‍රදේශවලට ආදී මානවයන් සංක්‍රමණය වීමේදී ඔවුන් අතිශය රළු දේශගුණික අභියෝගවලට මුහුණ දී ඇත. අතිශය අසීරු ශාරීරක වේදනාවන්ට මුහුණ දෙන්නට ඇත. මේ සියල්ලට ස්ත්‍රීන්ද මුහුණ දී ඇත. එකම වෙනස වන්නේ ඔවුන් ගැබ් දරාගෙන, දරුවන්ට කිරි පොවමින් මේ අභියෝගවලට මුහුණ දීම පමණයි.” යනුවෙන් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥවරියක් වන ඇන්ඩ්‍රියා සිල්මන් පවසයි.

ස්ත්‍රීන්ට අවස්ථා අහිමිවීම හරහා ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ වේ

කුඩා කාලයේ සිට, උපත ලබන්නටත් පෙර සිටිම සමාජයෙන් පටවන සමාජභාවී වටිනාකම් නිසා ස්ත්‍රීන්ට පොදු අවකාශය තුළ ලැබෙන අවස්ථා අඩු වන බව පැහැදිලිය.

“ටීචිංවලට ගියොත් ඇති, ගෙදර වැඩ කරන්න වෙලාව තියෙනවානේ” යන්න මගේ විශ්වවිද්‍යාල මිතුරියන් අතරද බහුලව භාවිත වූ කියමනකි. බලන්න, කුඩා කාලයේ සිටම මොළය ගොඩ නගා ඇති අන්දම! විශ්වවිද්‍යාලයේ සිටියෙදී කිසිම ගැහැනු ළමයෙක් ශිෂ්‍ය සංගම්වල නිලතලවලට බඳවා ගත්තේ නැත. “රෑ වෙනං ඉන්න බෑනේ” යන්න ඒ සදහා පිළිතුර විය.

වෘත්තීය සමිතිවල ඉහළ නිලතලවල ස්ත්‍රීන් නැත. “රෑ වෙනකං ඉන්න බෑ එයාලට ගෙදර වැඩ තියෙනවානේ” ඒ පිළිතුර නැවතත් ඇසේ.

ස්ත්‍රීන් නැව්කරුවන් ලෙස බැඳෙන්නේ නැත. “ගෙවල් දරුවෝ දාලා මාස ගාණක් ඉන්න බෑනේ.” එතකොට මැදපෙරදිග ගෘහ සේවයට යන්නේ පවුල් පිටින්ද?

සමාගම්වල ඉහළ තනතුරුවලට පත් වන්නට ස්ත්‍රීන්ට පහසුය. “ප්‍රෙග්නන්ට් වුණොත්, කොහොමද කම්පැනි එක ගෙනියන්නේ?

බලන්න, ස්ත්‍රීන්ව පොදු අවකාශය තුළ සමාන පාර්ශවකරුවෙක් ලෙස පිළිගැනීමට තිබෙන අකමැත්ත යට ගසන්නට ඇයට සමාජය විසින්ම පවරා ඇති භූමිකා යොදාගන්නා ආකාරය. මේ සන්ධර්භය තුළ ස්ත්‍රීන්ගේ හඩ පොදු අවකාශය තුළ විද්‍යමානවනවාද?, එය සැබෑ ස්ත්‍රී හඩක්ද? සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් වගවීමකින් සහ විනිවිදභාවයකින් යුතුව අසමානතාවය ආමන්ත්‍රණය කිරීමට උත්සහ ගන්නවාද? යන මූලික ප්‍රශ්ණ තුන මතුවේ.

ස්ත්‍රීන්ගේ හඩ පොදු අවකාශය තුළ විද්‍යමාන වීමට නම් එම පොදු අවකාශය තුළ ස්ත්‍රීන් සිටිය යුතුයි. මේ ලිපියෙන් සාකච්ඡා කළ ආකාරයට පොදු අවකාශය තුළට ඒමට ස්ත්‍රීන්ට ඇති ඉඩ කඩ සීමිතය. ප්‍රධාන වශයෙන් ස්ත්‍රීන් මත පටවා ඇති සමාජභාවී භූමිකා හරහා ස්ත්‍රීන් පෞද්ගලික අවකාශය තුළ රදවා තිබේ. නිවසේ වැඩ පළ, දරුවන් රැක බලා ගැනීම, වැඩිහිටි දෙමාපියන් රැකබලා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහය වීම, ඥාති සබදතා පැවැත්වීම ආදී වූ පෞද්ගලික අවකාශයට අයත් රාජකාරි බෙහොමයක් ස්ත්‍රීන්ට පැවරී ඇත. මේ නිසා රැකියාවක් කිරීම ස්ත්‍රියකට සැබවින්ම අපහසුය. ගෘහ සේවය සදහා කෙනෙක් බදවා ගන්නවානම් සාමාන්‍යයෙන් රුපියල් 30000ක් වත් ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් සත්‍රීන් වැඩි පුර නියැලෙන ගුරු, හෙද වැනි රැකියාවලින් ලැබෙන්නේ ද ඒ හා සමාන වැටුපකි. ඒ නිසා රැකියාවට යාමෙන් වැලකී සිටීමට හෝ කළ යුතු සත්කාර නිසා රැකියාවෙන් ඉවත්වීම ස්ත්‍රීන් අතර සුලභය.

දෙවැනුව, පොදු අවකාශය තුළ ඇති ස්ත්‍රී හඩ ස්වාධීන නියෝජනයක්ද නැතිනම්, අධිපතිධාරී පුරුෂ මූලික ආඛ්‍යානයේම දිගුවක්ද යන්න දෙස බලමු. සරල වශයෙන් නායකත්ව ලක්ෂණ මොනවා දැයි ඇසුවොත් මේ පැනයට පිළිතුරු සෙවීමට පහසුයි. නිර්භීත, ඍජු, පෞරුෂයකින් යුතු යන වචන තුළ ඕනෑම කෙනෙකුගේ මනසට එන ලක්ෂණයි. මේ චරිත ලක්ෂණ ගොඩනගා ගැනීමට ගැහැණු ළමුන්ට අවස්ථාව තිබෙනවාද යන්න සිතා බලන්න. කුඩා කළ සිටම ගොඩ නංවන භූමිකා තුළ ඇත්තේ, සුමුදු, සියුමැලි, අහිංසක, සංවේදී වැනි චරිත ලක්ෂණයි. එවැනි චරිත ලක්ෂන වලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ පෙන්වන ගැහැණු ළමුන්ව කට වහරේ කියන්නේ ‘කොල්ලෙක් වගේ’ යනුවෙනි. සාම්ප්‍රදායිකව ‘ගැහැණුකම’ ලෙස ගොනු කරන ලක්ෂණ නායකත්ව ලක්ෂණ ලෙස සමාජය පිළිගන්නේ නැත. ඒ නිසා පොදු අවකාශයට ඒමට නම් ‘පිරිමි කම’ට අදාල චරිත ලක්ෂණ ගොඩනගා ගැනීමට ස්ත්‍රීන්ට සිදුවේ. ඡන්දය ප්‍රකාශ කිරීම තවත් උදාහණයක් ලෙස ගනිමු. ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ගේ ඡන්දය බෙහෝ විට තීරණය වන්නේ පියාගේ හෝ සැමියාගේ දේශපාලන මතවාදය අනුවය. ස්වාධීනව මැතිවරණ ප්‍රතිපත්ති කියවා අවබෝධ කරගෙන ඡන්දය දීමට ස්ත්‍රීන්ට අවස්ථාව තිබෙනවාද? පිරිමින්ගේ ක්‍රීඩාපිටියක් ලෙස සැලකෙන දේශපාලන අවකාශය හසුරවන්නේ කෙසේද යන්න පිළිබද ස්ත්‍රීන්ට අබවෝධයක් ලැබෙන්නේ නැත. ‘රට හදන්න ගිහින් පවුල කඩා ගන්නැතුව හිටපං’ යන්න ස්ත්‍රීන්ට ලැබෙන පොදු අවවාදයකි. ඒ නිසා දේශපාලන අවකාශය ඇතුළු සමස්ථ පොදු අවකාශය තුළම ස්ත්‍රීන්ගේ සැබෑ නියෝජනයක් පවතිනවාද යන්න සැක සහිතය.

එමෙන්ම, ස්ත්‍රීන්ට පොදු අවකාශයට පැමිණීමට අධ්‍යාපනය, ආර්ථික තත්ත්වය, පවුල් පසුබිම ආදී වරප්‍රසාද බලපාන බවද අමතක නොකළ යුතුය.

තෙවැනුව, අසමානතාවය ආමන්ත්‍රණය කිරීමට තීරණ ගැනීමේ යාන්ත්‍රණය තුළ සැබෑ උවමනාවක් තිබෙනවාද? යන්න සොයා බලමු. මා ගුරුවරියක් ලෙස සේවය කරන කාලයේදී පාසලේ ගුරු වැසිකිළි වල කසල බදුන් ස්ථාපිතකිරීමට යෝජනාවක් ගෙන ආවෙමි. මේ යෝජනාව ඇසූ පමණින් පාසලේ උප විදුහලපතිවරයා පැවසුවේ “මොකටද වැසිකිළි වල තියන්නේ, එළියේ හැම තැනම කසල බදුන් තිබෙනවානේ” යනුවෙනි.

ගුරු සේවයේ වැඩි පුරම සිටින්නේ ස්ත්‍රීන්ය. ඔසප් වීම සෑම ගුරුවරියකටම සිදුවන සාමාන්‍ය දෙයකි. සනීපාරක්ෂක තුවා බැහැර කිරීමට කසල බදුන් අවශ්‍ය බව මා පෙන්වා දීමෙන් අනතුරුව ඔහු පැවසුවේ කිසි දිනක ඒ බව නොසිතූ බවයි. කසලබදුන් නොමැති නිසා බොහෝ ගුරුවරියන් ඔසප් දින වලදී නිවාඩු හෝ අර්ධ නිවාඩු ලබා ගන්නා බව මා හොදින්ම දැන සිටියෙමි. ගුරුවරියන් නිවාඩු දැමීමෙන් පාඩු විදින්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. එක් පංති කාමරයක ගුරුවරයෙකු නැති විට, ඒ ශ්‍රේණියේම ඉගැන්වීම අපහසුය. ඒ නිසා පංති ගණනාවක ඉගැන්වීම් අඩපණ වේ. සිතන්න, තීරණ ගැනීමේ යාන්ත්‍රණය තුළ ගුරුවරියන්ගේ අවශ්‍යතාවයන් පිළිඹිබු වූවා නම් ඉන් වාසි ලබන්නේ සමස්ත පාසලමය.

තීරණ ගැනීමේ යාන්ත්‍රණ තුළ ස්ත්‍රී නියෝජනයක් අවශ්‍ය වන්නේ කසල බදුන් හදුන්වා දීමට යැයි කීම මගේ අදහස නොවේ. ස්ත්‍රීන්ගේ ගැටළු, අවශ්‍යතා සහ සාමාන කොටස්කරුවන් ලෙස හදුනා නොගැනීම තුළ සාම්ප්‍රදායික සමාජභාවී භූමිකාවන් තව තවත් ශක්තිමත් වේ. සාම්ප්‍රදායික භූමිකා ශක්තිමක් කරනවානම්, ඉන් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වේ. මන්ද, එකී සමාජ ක්‍රමය අසමානතාවය ධෛර්මත්කරන නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම බලපාන්නේ ස්ත්‍රීන්ට පමණක් නොවේ. සමස්ථ සමාජයම ඉන් පාඩු ලබයි. ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වූ විට මහජන නියෝජිත ආයතන ජනතාවට වගවන්නේ නැත. යුක්තියට ඇති ප්‍රවේශය දුර්වල වේ. නීතියෙන් සාධාරණයක් නොලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වූ විට සැබෑ මහජන හඩ නොඇසී යයි.

ඔබත්, රෝස සහ නිල් පැහැයට ඔබේ දරුවා කොටු කරනවානම්  ඉන් සිදු වන්නේ සමස්ථ සමාජයටම අයහපතකි. ඒ නිසා දරුවාට කැමැති පැහැයක් තෝරා ගැනීමට ඉඩ හරිමු. එය ගොම කොළපාට වෙන්නත් පුළුවන්.

Social Share: