2018 අප්‍රේල් 24.
නුවනි නිමේෂා විසිනි.
තම මවට HIV ආසාධනය වීම හේතුවෙන් පාසල් දැරියකට අධ්‍යාපන වරම් අහිමි වී ඇති පුවතක් පසුගිය දිනවල ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. එච්.අයි.වී සහ ඒඩ්ස් පිළිබඳ මෙරට සමාජය තුළ පවතින නොදැනුවත්භාවය සේම පවතින දුර්මත හේතු කොට ගෙන අහිංසක මල් කැකුලකගේ අධ්‍යාපන අයිතීන් උදුරා ගැනීමට ප්‍රදේශවාසීන් හා ගුරුවරුන් එක්ව තැත් කරනුයේ සාක්ෂරතා මට්ටම ඉහළින් පවතිනවා යැයි සැලකෙන මේ රටේම ය. එසේම මානුෂ්‍යත්වය උසස් කොට සළකන සේම ගුරුවරුන් දෙවියන් කොට සළකන මෙරටම ය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට මේ දැරිය නියමිත ය.මේ අහිංසක මල් කැකුල එච්.අයි.වී යනු කුමක්දැයි යන්නවත් හරි හැටි නොදන්නා බව නම් නිසැක ය. මෙම සිද්ධියේ මූලාරම්භය මීට වසරකට පමණ පෙර දී සිදුවී ඇත. මෙයට හේතුව නම් මෙම දැරියගේ මව එච්.අයි.වී සමග ජීවත් වන කාන්තාවක් වීමය. ඇය මාධ්‍ය නාලිකාවක් හා සම්බන්ධ වෙමින් කළ වැඩසටහනක් හේතුවෙන් ඇගේ එච්අයිවී තත්ත්වය පිළිබඳ ප්‍රදේශවාසීන් දැන ගැනීම නිසා මේ තත්ත්වය උත්ගත වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මවට සේම දැරියද එච්අයිවී වැළදි ඇතැයි පවසමින් ප්‍රදේශවාසීන් හා ගුරුවරුන් එක්ව දරුවාව පාසලෙන් අස් කරගන්නා මෙන් දරුවාගේ භාරකරුවන්ට බලපෑම් කර ඇත. මේ තරම් පහත් ආකාරයට මේ මිනිසුන් ක්‍රියා කරනුයේ එච්අයිවී පිළිබඳ සමාජයේ පවතින නොදැනුවත්කම සේම දුර්මතයන් නිසා නොවේද? කෙසේ නමුත් මානව හිමිකම් කොමිසමේ මැදිහත් වීම මත අවසානයේ මෙම දැරියට පාසලේ දොරගුළු විවිර විය.
ඒ නමුත් පාසලේ විදුහල්පතිතුමන් විසින් දිගින් දිගටම මේ සිසුවියට කෙනෙහෙලිකම් කරන්නට විය. ඒ බව දැරිය සහ ඇගේ භාරකරුවන් පවසයි. පසුගිය වර්ෂයේ සිදු වූ අදාළ සිදුවීමේ මාධ්‍ය දර්ශන ප්‍රක්ෂේපන යන්ත්‍රයක් භාවිතයෙන් සෙසු දරුවන්ගේ දෙමව්පියන්වද පාසලට කැදවා විදුහල්පතිවරයා ප්‍රදර්ශනය කර ඇත. මෙවැනි නින්දිත ක්‍රියාවක් කිරීමට තරම් පාසලක විදුහල්පතිවරයකු පෙළඹීම සැබැවින්ම ඉතා නින්දිත ක්‍රියාවකි.
කෙසේ නමුත් තමා එවැන්නක් නොකළ බව පවසමින් අදාළ විදුහල්පතිවරයා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. නමුත් විදුහල්පතිවරයා එවැන්නක් කළ බවට අදාල සිසුවිය සහ ඇගේ භාරකරුවන් සේම පාසලේ සමහර ගුරුවරුන් ද පවසයි. පාසලේ සෙසු දරුවන් ද “අන්න ඔයාගේ ඒඩ්ස් කතාව යනවා“ යැයි පවසමින් මෙම දැරියට උසුළු විසුළු කර ඇත. මෙවැනි කුඩා දරුවෙකුගේ ළමා මනසට මෙවැනි සිදුවීම් කෙතරම් නම් පීඩාවක් වන්නට ඇත්ද? විටෙක පාසලේ නියෝජ්‍ය විදුහලිපතිනිය පවා දරුවාව පාසලෙන් ඉවත් කර ගන්නා මෙන් භාරකරුවන්ට බලපෑම් කර ඇත. ගුරුවරුන් ලෙස සැබෑ ලෙසම ඔවුන් ක්‍රියා කළ ආකාරය නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය.
මේ ආකාරයට ප්‍රදේශවාසීන් හා ගුරුවරුන් එක්ව අහිංසක මල් කැකුළකගේ අධ්‍යාපන අයිතිය අමු අමුවේ උදුරා ගන්නට සැරසුනේ මහ ඉහළින් මෙරට පවතිනවා යැයි කියන මානුෂ්‍යත්වය සරලව කිවහොත් බල්ලට දමාය. මෙම දැරිය එච්.අයි.වි ආසාදනය වී තිබුණත් නැතත් ඇගේ අධ්‍යාපන අයිතීන් උදුරා ගැනීමට කිසිවෙකුටත් නොහැකිය.
මීට පෙරද තම පියා ඒඩ්ස් රෝගයෙන් මිය යාම හේතුවෙන් මව සේම දරුවාට ද එච්.අයි.වී ආසාධිතයෙක් යැයි කියමින් හය හතර නොදත් කුලියාපිටිය ප්‍රදේශයේ දරුවෙකුට ද පාසල් වරම් අහිමිව සෑහෙන කාලයක් නිවසේ සිටින්නට සිදු විය.මෙරට ජනප්‍රිය පාසලක් එම දරුවාට තම දොරගුළු විවිර කිරීමෙන් එම සිදුවීම යටපත් විය. එම සිදුවීම ශේෂ්ඨාධිකරණය දක්වාම ගිය බැවින් අවුරුදු පහට වැඩි සෑම දරුවෙක්ම කිසිම වර්ගීකරණයකට ලක් නොවී අධ්‍යාපනය ලැබීමේ අයිතිය ශේෂ්ඨාධිකරණය නැවතත් තහවුරු කළේය. මේ ආකාරයට මේ මිනිසුන් ක්‍රියාකරන්නට ඇත්තේ රටේ නීතිය ද නොදන්නා කමටය.
එසේම මෙවැනි සිදුවීම් සිදුවීමට ප්‍රධානතම හේතුව නම් එච්.අයි.වී. සහ ඒඩ්ස් යනු කුමක්දැයි යන්න හරිහැටි නොදන්නාකමටය. රටේ අනාගතයට දෑස් පාදන ගුරුවරුන්ට ද මේ පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැති බව එදා කුලියාපිටිය දරුවාගේ සේම අද ගනේමුල්ල සිද්ධිය මනාවට පසක් කරයි. මෙම වෛරසය පිළිබඳ මෙරට සමාජය තුළ පවතින්නේ බොරු භීතිකාවකි. ඇතැමුන් එච්අයිවී පරීක්ෂණයකට යොමු වීමට පවා බියක් දක් වන්නේ ඒ නිසාමය.
මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය යන්න එච්.අයි.වී යන්නෙහි සිංහල තේරුම වේ. මෙය එක්ව කෑවට, බීවාට, සිප වැලඳ ගත් පමණින් වැළදෙන රෝගයක් නම් නොවේය. සැබෑ ලෙසම මෙම වෛරසය සම්ප්‍රේෂණය වනු ලබන්නේ එච්.අයි.වී ආසාධිත පුද්ගලයෙකුගේ රුධිරය, මව් කිරි, ශුක්‍ර තරල, යෝනි ශ්‍රාව හෝ ගුද තරල තවත් පුද්ගලයෙකුගේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීම මගිනි. එසේ වීමට නම් කැපුමක්, සීරිමක්, තුවාලයක් හෝ කිසියම් ආකාරයේ රුධිර සංසරණ පද්ධතියට ආවරණයක් තිබිය යුතුය. නිට්ටාවටම සුව කළ නොහැකි නමුත් නිවැරදි ප්‍රතිකර්ම භාවිතයෙන් මෙම රෝගය පාලනය කළ හැකිය. එමගින් ඔවුනට ද සාමාන්‍ය පුද්ගයන්ට සේ සාමාන්‍ය ජීවන රටාවක් ගත කිරීමේ හැකියාව පවතී. නිවැරදි ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයෙකුගෙන් වෙනත් පුද්ගලයෙකුය එච්අයිවී ආසාදනය වීමේ අවධානමක්ද නැත.
2018 වර්ෂයේ මුල් කාර්තුව අවසන් වන විට විට පමණක් ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්ධන ඒකකයට එච්.අයි.වී සිදුවීම් 2933 ක් වාර්තා වී ඇත. එයින් 98%ක් ම අනාරක්ෂිත ලිංගික ඇසුර මගින් ආසාදනය වී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කරයි. මෙලෙස මෙය ආසාදනය වීමට සේම එද්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් සමාජයෙන් වෙනස් කොට සළකනු ලබන්නේ ද මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් සමාජය සතුව නොපවතින බැවිනි. වර්ෂ 2025 වන විට මෙම ඒඩ්ස් මරණ සහ එච්අයිවී නව ආසාදන සම්පූර්ණයෙන්ම නවතා දැමීම ශ්‍රී ලංකා රජයේ අරමුණයි.
මා දකින ආකාරයට ඒ සඳහා ගත හැකි හොඳම විසදුමක් වන්නේ දැනය සෞඛ්‍යය හා ශාරීරක අධ්‍යාපනය පෙළ පොතේ ඇති එච්අයිවී පිළිබද කරුණු පාසල් තුළ හරි ආකාරව ඉගැන්වීමයි. ඒ සදහා ගුරුවරුන් පුහුණු කිරීම අත්‍යවශ්‍ය. එමෙන්ම පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනයද පාසල් පද්ධතිය තුළට ඇතුළත් කළ යුතුය. අනාගතයේ සමාජ ගත වීමට සිටින පාසල් දරුවන් ට එමගින් මේ පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දිය හැකිය. එමගින් නිසැක ලෙසම එච්අයිවී පිළිබද ඇති බිය සහ නොදැනුවත් කම මෙරටින් තුරන් කිරිමේ හැකියාව සේම එච්අයිවී නව ආසාදනද වළක්වා ගත හැකිය.