2018 මාර්තු 08.
අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කාන්තාවන්ගේ අභිමානය, කැපකිරීම, වටිනාකම සමරන දිනයයි. ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය අනුග්‍රහය සහිතව කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් අනුරාධපුරයේදී පැවැත්වේ. 2019 වර්ෂයේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ Balance for Better යන තේමාවෙනි. එයින් අදහස් වන්නේ පරිපූර්ණ ලෝකයක් ගොඩ නැගීමට නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් පුරුෂයා හා ස්ත්‍රිය සමපාත විය යුතු බවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ සුහුරු කතක්- සොඳුරු ලොවක් යන තේමාව සහිතවය.
Balance නොහොත් සමපාත කිරීම සම්බන්ධ සාකච්ඡාව දශක ගණනාවක් පුරා ලෝකය තුළ සාකච්ඡා කෙරෙන අතර, කාන්තාවගේ අභිවෘද්ධිය හා ඇයට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් දශක ගණනාවක් පුරා පැවැති විවිධ සමුළු, කතිකා – ප්‍රති කතිකා සියල්ල තවමත් සිදු වෙමින් පවතී. කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරය ඉතිහාසය තුළ සාකච්ඡා කරනු ලැබූ සංවර්ධනය තුළ කාන්තාව සම්බන්ධ සාකච්ඡාව සංවර්ධනය සහ කාන්තාව යන සාකච්ඡාව දක්වා ප්‍රසාරණය වූ අතර, ඉන් පසුව 1990 දශකයේ ආරම්භයත් සමග ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා කාන්තාව සම්බන්ධ සාකච්ඡාව දක්වා පුළුල් වුවද, තවමත් භෞතික සංවර්ධනයට තබා මානව සංවර්ධනයට කාන්තාවගේ දායකත්වය අවශ්‍ය තරමේ තිබේ දැයි සොයා බැලිය යුතුව තිබේ. ශ්‍රී ලංකාවට මෙම සාකච්ඡාවන් පැමිණියේ තරමක් ප්‍රමාද වී වුවද, කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරය විවිධ මට්ටමෙන් හා ප්‍රමාණයන් ගෙන් කාන්තාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කර තිබේ. එහෙත් පසුගිය කාලය තුළ විවිධ විවාද හා සාකච්ඡාවලදී පට්ට ගැසුනු කාන්තාවට නිසි තැන ද සම තැන ද යන ගැටළුව තවමත් විසඳා ගෙන නොමැත. මෙම නිසි තැන හා සම තැන යන අවස්ථාවන් දෙක බොහෝ අවස්ථාවන් වලදී කාන්තා අයිතිවාසිකම් අරගලය දිය කර හැරීමට හෝ නිෂ්ක්‍රීය කිරීමට යොදා ගත් අවස්ථා සම්බන්ධ උදාහරණ ඕනෑ තරම් පවතින අතර, කණගාටු දායක ලෙස මෙම මාතෘකා දෙක කාන්තාවගේ අයිතිවාසිකම් ව්‍යාපාරය සමච්චලයට ලක් කිරීමට ද යොදා ගැනුණි. දුම්රියක, බස් රියක ගැබනි කාන්තාවකට අසුනක් ලබා දීමප පවා පුරුෂයින් ප්‍රතික්ෂේප කිරීම දක්වා මෙම අදහස සමාජ ගත වී තිබුණි. එහිදී පුරුෂවාදී කඳවුරරෙන් කියැවුනේ සම තැන ඉල්ලා සිටින්නේ නම් දරු ගැබක් නොව කුමක් දරා සිටියද පිරිමියා මෙන් හිටගෙන යාමට හැකි විය යුතු බවයි. නිසි තැන ඉල්ලා සිටින විට නිසි තැන යනු කුමක්ද, එය තෝරා ගන්නා නිර්ණායකය කුමක් ද යන ප්‍රශ්න පැන නැගුනි. මේ සියල්ල තුළින් සිදු වූයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ සාකච්ඡාව තව දුරටත් පුළුල් කළ යුතුය යන අදහසට අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් පැමිණීමයි. ඒ සම්බන්ධව පාලන තන්ත්‍රය තුළින් අවශ්‍ය පහසුකම් ලැබුණු අවස්ථා මෙන්ම නොලැබුණු අවස්ථා ද පැවතුණි. පොදු ප්‍රවාහන සේවය ලබා ගැනීමේදී සිදු වන හිංසන, නීතියේ පිහිට ලබා ගැනීම. මාතෘ නිවාඩු හා කිරි පැය, ගර්භනී කාන්තාවන්ගේ ඇඳුම, නීතිඥ මහත්මීන්ගේ ඇඳුම, ස්ත්‍රී දූෂණ හා අපචාර සම්බන්ධව නීති දැඩි කිරීම, සංක්‍රමණික කාන්තාවන් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම, නඩත්තු නඩු යනාදී කාන්තාවන්ට පොදුවේ බලපාන බොහෝ ප්‍රශ්න වලට පසු ගිය කාලයේදී සාධනීය විසඳුම් ලැබී තිබුණි. එම සාධනීය විසඳුම් සෘජුවම ඇයගේ අභිවෘද්ධියට බලපානු ලබයි.
එහෙත් කාන්තා දිනයක් අභිමානයෙන් සැමරීමට තරම් ශ්‍රී ලංකාවේ කාන්තාව සුහුරු නැත. කුඩා කාලයේ පටන්ම සමාජයේ විශේෂ අච්චුවක දමා නිර්මාණය කරන කාන්තාව කිසිසේත්ම සුහුරු කතක් වන්නේ නැත. රෝස පාට ඇඳුම් අන්දවා බෝනික්කන් නැළවීමට දෙන දවසේ සිටම ඇයව සමාජානුයෝජනය කරන විශේෂ ආකාරයක් පවතී. ඇයගේ සෙල්ලම් ගෙදර භූමිකාවේ සිටම ඇයව නිර්මාණය කරන්නේ පුරුෂයාට ප්‍රමුඛත්වය ලැබෙන සමාජය තුළ දෙවැනියා වීමට උගන්වමිනි. වැඩිවියට පත් වීමත් සමග ඇයගේ ලෝකය වෙනස්ම ආකාරයට නිර්මාණය කිරීමට සමාජය සූදානමින් සිටී. මල්වර චාරිත්‍ර වාරිත්‍ර වල සිටම ඇයගේ අනාගතය තීරණය කිරීමට තරම් දෙමව්පියන් ඇතුළු සමාජය බලා සිටී. වැඩිවියට පත් වූ පසු පිරිමින්ට නොපෙන්වන, මල්වර නැකැතේ ස්වභාවය අනුව ඵළ – අපළ තීරණය කරන, ඇයගෙන් පවුලට සතුට හා සෞභාග්‍යය ලැබේදැයි තීරණය කරන, මල්වර නැකැත් වෙලාවට ඇය විසින් බිද දමන පොල් ගෙඩියේ බෑයවල් දෙක උඩුකුරු හෝ යටිකුරුව වැටෙන ආකාරය අනුව ඇයගේ අනාගතය මෙලෙස වේ යැයි පවසන සමාජයක් තුළ ඇය සුහුරු වන්නේ නැත. මල්වර වීම, වැඩිවියට පැමිණීම, දැනමුතු වීම, ගෙට වීම, කිලි බර වීම, ලොකු ළමයෙක් වීම යනාදී විවිධ නම් වලින් හඳුන්වන සාඵල්‍යතා හැකියාව මත ඇය විශේෂ සත්ත්වයෙකු ලෙස සලකන සමාජයක් තුළ ඇයට මිය යන මොහොත දක්වාම සුහුරු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. පාසලේදී වැඩි වියට පැමිණුනහොත් එම රුධිර පැල්ලම දකින අනෙක් පිරිමි ළමුන් ඇයව ජම්බු ගසේ නග්ගවන, පාසල් වේලාවේදී ඔසප් රුධිර පැල්ලම දකින විට ජපන් කොඩිය දම්මන, සුදු ගවුමට යටින් යට සායේ වාටිය මඳක් හෝ පෙනුනහොත් කොඩි වැල් එල්ලවන ගැහැණු දරුවාගේ ලෝකය සුහුරු වන්නේ නැත. තමන්ගේ සහෘද පාසල් යෙහෙළියට විහිළු කිරීම, අපහාස කිරීම නොව ගරු කිරීම සිදු කළ යුතු බව පාසල් පිරිමි ළමුන්ට උගන්වන තාක් කල් ඇයගේ ලෝකය සුහුරු වන්නේ නැත.
සංඛ්‍යා ලේඛන වාර්තා කරන ආකාරයට තවමත් ශ්‍රී ලංකාව තුළ යොවුන් මව්වරුන් සම්බන්ධ ප්‍රශ්න තිබේ. වයස අවුරුදු 20 අඩු ගැහැණු ළමයෙකු මවක වීමට තරම් සුදුසු වයසක, කායික හෝ මානසික යහ පැවැත්මක නොසිටින බව සෞඛ්‍ය හා පෝෂණ අංශ විසින් පෙන්වා දී තිබේ. එමෙන්ම තවමත් ළමා මනසක් තිබෙන ගැහැණු දරුවෙකුට දරුවෙක් බිහි කිරීමට හා දරුවෙකු බලා ගැනීමට තරම් මානසික සූදානම් භාවයක් නොමැති බව මනෝ විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. පුද්ගල ජීවිත සාර්ථක කර ගැනීමේ ප්‍රබලතම අවිය වන අධ්‍යාපනය කඩා කප්පල් වීම යොවුන් මාතෘ භාවය හේතුවෙන් ඇති කරන ප්‍රධානතම බලපෑමක් බව අධ්‍යාපන වේදීන් පෙන්වා දී තිබේ. එහෙත් තවමත් ශ්‍රී ලංකාව තුළ සමීප ඥාතීන් අතින් දූෂණය වීම නිසා හෝ අභිමතය ඇතුව හෝ ගැහැණු ළමයින් මාතෘභාවයට පත්වීමේ ගැටළුව පවතී. මුස්ලිම් විවාහ හා දික්කසාද පණත මගින් වයස අවුරුදු 12 ට වැඩි ගැහැණු දරුවෙකුට විවාහ වීමට අවසර ලබා දී තිබීමත්, භාරකරු ලෙස දියණියගේ පියාට ඇයගේ විවාහය සම්බන්ධ තීරණය ගැනීමට ඉඩ ලබා දී තිබීමත්, සැමියාට අවශ්‍ය නම් ඇයගෙන් නිසි යුතුකම් ඉටු නොවේ යැයි පවසමින් පිරිමින්ගෙන් පමණක් සමන්විත උසාවියකදි ඇයව දික්කසාද කිරීමටත් හැකියාව පවතිද්දී කෙලෙසක වත් ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාව සුහුරු කාන්තාවක් වන්නේ නැත. අප්‍රිකානු කලාපය තුළ පමණක් පවතිනවා ඇතැයි විශ්වාස කළ කාන්තා චර්ම ඡේදනය නොහොත් කුඩා මුස්ලිම් ගැහැණු දරුවන්ගේ යෝනි තොල් පෙතිවල කුඩා කැපුමක් සිදු කිරීම ශ්‍රී ලංකාවේ ද සිදු වනු බව දැක දැකම කාන්තා දිනය අභිමානයෙන් සැමරීම පවා විහිළුවකි. ආගමේ නාමයෙන් යැයි පවසමින්, මූලික ළමා අයිතිවාසිකම් පවා අමු අමුවේ උල්ලංඝණය කිරීමට ඉඩ ලබා දෙමින් ඒවාට එරෙහිව හඞ නොනගමින් සිටිමින් කාන්තා දිනය අභිමානයෙන් සැමරීමෙන් ඵලක් නැත.
දකුණු ආසියානු කලාපය තුළ අධ්‍යාපනය, සෞඛ්‍යය, මානව සංවර්ධනය, රැකියා වල නිරත වීම යනාදී කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාව ඉදිරියෙන් සිටිනවා යැයි පුරසාරම් දෙඩීමෙන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටළුව යටපත් කළ නොහැකිය. සුබසාධන රාජ්‍යයක් ලෙස ලෝකය තුළ පිළිගැනීමක් ඇති ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන හා සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රගතියක් තිබීම යහපත් තත්ත්වයක් වුවත්, තමන්ගේ ජීවිතය සම්බන්ධව තීරණ ගැනීම කෙරෙහි එවැනිම ආකාරයේ ප්‍රගතිශීලී භාවයක් දැකිය නොහැකිය. තමන් විවාහ වන වයස තීරණය කිරීමට බොහෝ කාන්තාවන්ට ස්වාධීනත්වයක් නැත. විවාහ වූ පසුව පවුල සැලසුම් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇයට අයිතියක් නැත. ලිංගික ක්‍රියාකාරකම් වලදී භාවිතා කළ යුතු උපත් පාලන ක්‍රමය කුමක්ද යන්න සැමියා සමග කේවල් කිරීමට අයිතියක් නැත. දරුවන් හැදිය යුතු ප්‍රමාණය කොපමණ ද, දරුවන් අතර පරතරය කුමක්ද යන්න තීරණය කිරීමට තරම් තවමත් ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන්ට අයිතියක් නැත. අඩුම තරමේ දරුවන් ප්‍රමාණවත් ය යනුවෙන් දැනුන විට නැවත වතාවක් ගර්භනී වීම වැළැක්වෙන සැත්කම හෙවත් වන්ධ්‍යකරණය (Female sterilization) කර ගැනීමටත් සැමියාගේ කැමැත්ත හා අත්සන අවශ්‍ය වේ. එමෙන්ම තරමක් සංකීර්ණ හා වියදම් අධික සැත්කමක් වන කාන්තා වන්ධ්‍යකරණය සිදු නොකර වාසෙක්තමී හෙවත් පුරුෂ වන්ධ්‍යකරණය සිදු කරමු යැයි පුරුෂයාට යෝජනා කිරීමට ඇයට අයිතියක් නැත. උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකිරීම නිසා හෝ, දූෂණයක් සිදු විම නිසා හෝ, පවුලේ කෙනෙකු අතින් සිදුවූ අපචාරයක් නිසා හෝ ගැබ් ගැනීමක් සිදු වුවහොත්, එම ගැබ උපැද්ද විමට හැකියාවක් නැත්නම්, තමන්ගේ ශරීරය සම්බන්ධ තීරණයක් ගැනීමට ඇයට හැකියාවක් නැත. නීතිය ඒ තරමටම කාන්තාවගේ ශරීරය හා ලිංගිකත්වය සමග සෘජුවම සම්බන්ධ වී ඇති බැවිණි. අඩුම තරමේ පිහිටා ඇති කළලය විකෘති කළලයක් නම් එය උපද්දවීම වළක්වා ගැනීමේ තීරණය ගැනීමට ඇයට හැකියාවක් නොමැත. මන්ද මානසික හෝ විකල් වූ අවයව සහිත දරුවෙකු සමග තම ජීවිත කාලය පුරාම විඳවීමට සමාජය ඇයට කරන බලපෑම නිසා ඇය සුහුරු කතක් වන්නේ නැත.
කිසියම් කාන්තාවක් සමරිසි නම්, ඇය කායිකව, මානසිකව හා ආධ්‍යාත්මිකව ආකර්ශනය වන්නේ තවත් කාන්තාවකට නම් ඇයට තමන්ගේ මනසට හා කයට ගැලපෙන කාන්තාවකට ආදරය කිරීමේ අයිතිය නැත. සදාචාරය, සංස්කෘතිය, නීතිය යනාදී සියල්ලක්ම ඇයගේ ලිංගික කැමැත්තට උඩින් පිහිටා තිබීම නිසා තමන්ගේ ලිංගික දිශානතිය කුමක් දැයි සඟවා ගෙන සිටීමට ඇයට සිදුවේ. ඇය කාන්තාවක් වීම නිසාම විවාහ නොවී සිටීමට තම පවුල සමග අරගල කළ නොහැක. විවාහ වූවාට පසුව ලිංගිකව එකතුවීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය. ශ්‍රී ලංකාව වැනි පෙරදිග සමාජ තුළ ලිංගික හැඟීම්, ආශාවන් යනාදී සියල්ල තීරණය කිරීමේ බලය හා අධිකාරය පමණක් නොව ලිංගික ක්‍රියාකාරකම් වලදී ඉරියවු පවා තීරණය කිරීමේ බලය පුරුෂයාට නිසර්ගයෙන් හිමිවන වරප්‍රසාදයක් නිසා නැත, නොහැක යන වචන ඇයගේ ශබ්ද කෝෂය තුළ තිබිය නොහැක. තමන් කායිකව, මානසිකව අකමැති පුද්ගලයෙකු සමග ජීවත් විමෙන් ගැලවීමට ඇයට නොහැක. තමන් තුළ කිසිදු අවදී වීමත් නොමැතිව දෛනිකව සිදුවන වෛවාහික දූෂණයෙන් ගැලවිමට ඇයට හැකියාවක් නොමැත. සංක්‍රාන්ති සමාජභාවිය කාන්තාවන් කිසිසේත්ම ශ්‍රී ලාංකික මහ පොලොව තුළ සුහුරු කතක් වන්නේම නැත. ලිංගිකත්වය හා ජීව විද්‍යාත්මක පදනම තුළ තවමත් ප්‍රශ්න කෙරෙන සංක්‍රාන්ති ලිංගිකයින් කාන්තාවක් ලෙස පිළිගැනිම පවා ප්‍රතික්ෂේප කරන සමාජයත් ඇතුළත ඇය සුහුරු කත යන සංකල්පයෙන් පවා බැහැර කර ඇත.
කොටකෙතන වැනි ප්‍රදේශවල වියපත් ආත්තම්ලා පවා දූෂණය කර මරා දැමෙන, කුඩා දියණිවරුන් පවා දූෂණය කෙරෙන, සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවන් දෛනිකව මහ පාරේදී පවා අපහාසයට, හිරිහැරයට, අවමානයට, කොන් කිරීමට හා අඩත්තේට්ටමට ලක් වන, ලිංගික ශ්‍රමය ලබා ගත්තාට පසුව වේ පදයෙන් ආමන්ත්‍රණය කෙරෙන කාන්තාවන් එකෙකු හෝ ඉතිරිව සිටී නම්, එක් කාන්තාවක් හෝ සමාජ අසාධාරණවලින් බැට කන්නේ නම් සුහුරු කත සම්බන්ධ සාකච්ඡාව පුස්සක් වනු විනා යථාර්ථයක් වන්නේ නැත. ගැහැණුන් සම්බන්ධ ලෝකය නිර්මාණය කිරීම පුරුෂයින්ගේ කාර්යයක් නොකර, කාන්තාව සමග එක්ව, ඇයට ගරු කරමින් ඇයට ද සමාන ගෞරවයක් ලැබෙන සමාජයක් නිර්මාණ කිරීමට පුරුෂයින් තුළ ආකල්ප වර්ධනයක්, නිසි අධ්‍යාපනයක් හා ශීක්ෂණයක් ඇති කරන තුරු සුහුරු කතක් බිහි වන්නේ හෝ සොඳුරු ලොවක් බිහි වන්නේ හෝ නැත.
තුෂාර මනෝජ් විසිනි.
