ක්‍රීඩාව තුළ ඇති වැටුප් විෂමතාවය සමාජභාවී ගොඩනැංවීම් වල ප්‍රතිඵලයක්

2023 සැප්තැම්බර් 28.

නුවනි නිමේෂා විසිනි.

ක්‍රීඩාව තුළ ඇති වැටුප් විෂමතාවය ඉතිහාසය පුරාවටද පැවතී ඇත. අපගේ සමාජභාවී ගොඩනැංවීම් වලින්ද අපට උගන්වන්නේ ස්ත්‍රීන්ට වඩා පුරුෂයන්ට ශරීර ශක්තිය ඇති බවත් ඔවුන් ක්‍රීඩාවට දක්ෂ බවත්ය. ස්ත්‍රීන්ගේ ශරීර වටා බැදී ඇති කන්‍යාභාවය වැනි මිත්‍යා ගොඩනැංවීම් නිසා ගැහැණු ළමයින්ට බොහෝ විට ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාද මගහැරේ. මේ ලිපිය තුලින් සොයා බැලෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වැටුප් විෂමතාවය සහ ඒ මගින් ගැහැණු දරුවන්ට අහිමි වන අවස්ථා පිළිබදවයි.

WhatsApp-Image-2023-02-16-at-01.43.18

ක්‍රිකට් ක්‍රීඩාව යනු මෙරට ජනප්‍රියම ක්‍රීඩාව බව කව්රුත් දන්නා කාරණයකි. පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලියෙන් අනතුරුව මේ වන විට ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා තරග වදිමින් සිටී. එම නිසාම මේ දිනවල අහන දකින සෑම තැනකම  පාහේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කිනම් හෝ සඳහනක් දක්නට ලැබෙන බව නම් නිසැකය.

නමුත් මේ සඳහන ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ගැන නම් නොවේය. කවුරුත් අඩුවෙන් කතා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධවයි. පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියමින් පවතින කාලයක ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් දක්වන්නේ කුඩම්මාගේ සැලකිලිමය.

කාන්තා පිරිමි දෙපක්ෂයම මෙම ක්‍රීඩාවේ නියැලෙන නමුදු පිරිමි ක්‍රිකට් පවතින්නේ  ඉතාමත්ම ඉහළ මට්ටමකය. ඒ සඳහා රජය සහ විවිධ බහුජාතික සමාගම් ලබාදෙන අනුග්‍රහය ද සුළුපටු එකක් නම් නොවන්නේය. නමුත් මෙරට තුළ සෑම කේෂ්ත්‍රයකම පාහේ පවතින කාන්තාවන් සුළුකොට තැකීම නොඑසේනම් වෙනස් කොට සැලකීම  ක්‍රිකට් ක්‍රීඩාවේ ද සුලබව දක්නට ලැබේ.

පසුගියදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ඉපදුන එංගලන්ත භූමියේදී  තරග තුනකින් සමන්විත වූ 2020තරගාවලිය  2-1ක් ලෙස ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කාන්තා  ක්‍රිකට් කණ්ඩායමක් තම රටෙන් පිට  ලබාගත් පළවෙනි තරඟාවලි ජයග්‍රහණය ලෙස පමණක් නොවේ. ආසියානු කණ්ඩායමක්  එංගලන්ත කණ්ඩායම තම රටේදීම පරාජයට පත් කළ පළමු සහ එකම හා ආසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම  බවට තම නම ඉදිරියේ සනිටුහන් කර ගනිමින්ය. එපමණක් නොව ප්‍රමුභ පෙලේ ලීග් තරගාවලියක් වන මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා big bash cricket තරගාවලිය සඳහා මෙරට නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරමින් සිටින අවධියකය.

මෙසේ ජයග්‍රහණ ලබමින්  වර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට හා පැවැත්මට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇස් හරි හැටි තවමත් ඇරී නැති බවනම් කිව යුතුමය.

මක්නිසාදයත් ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ගතහොත් ඔවුන් වයස අවුරුදු 4 දී පමණ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන අතර පාසල් මට්ටමට පැමිණි පසු 13 න් පහළ,15 න් පහළ, 17 න් පහළ 19න් පහළ ලෙස ක්‍රීඩා දක්ෂතා පාසල් මට්ටමේ දීම වර්ධනය කර ගැනීමට ලැබෙන ඉඩ ප්‍රස්ථාව සහ ලබා දෙන අනුග්‍රහයන්ද බොහෝය. නමුත් බොහෝවිට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මූලික දැනුම පවා හරිහැටි ලැබෙන්නේ දිස්ත්‍රික් කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාවක් ලද හොත් පමණි.

පාසල් මට්ටමේ බාලිකා ක්‍රිකට් ගතහොත් දිවයිනේ සමහර ජනප්‍රිය පාසල් වල  පවා තවමත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නැත. සමහර බාලිකා පාසල් වල විදුහල්පතිවරුන් තම කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පිරිමි පුහුණුකරුවන්ගේ දායකත්වය ලබා ගැනීමට අකමැත්තක් දක්වන අතර කාන්තා ක්‍රිකට් පුහුණුකාරිනියන්ගේ දායකත්වය සෑම පාසලකටම ලබා ගැනීමට තරම් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවමත් හරි හැටි දියුණු වී නොමැත.පාසල් පිරිමි ක්‍රිකට් ගතහොත් ක්‍රිකට් කණ්ඩායමක් නොමැති පාසල් මෙරට ඇත්තේ ඉතාම අඩුවෙනි.ඒ තරමටම මෙරට  පාසල් බාලක ක්‍රිකට් වර්ධනය වී ඇත. මෙරට පාසල් කාන්තා ක්‍රිකට් ගතහොත් 2021/2022 අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා  ක්‍රිකට් තරගාවලිවට සහභාගී වූ පාසල් සංඛ්‍යාව 34ක් පමණි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය එසේ වන විට අන්තර් ක්‍රීඩා සමාජ වෙත අවධානය යොමු කරන විට එහි තත්වය ද කාන්තා ක්‍රීඩිකාවන්ට පිරිමි ක්‍රීඩකයින්ට තරම්  එතරම් සුබදායි නොවන බව කිව යුතුය.අන්තර් ක්‍රීඩා සමාජ ගතහොත් පිරිමි ක්‍රීඩකයන් සඳහා කාණ්ඩ හතරකට ක්‍රියාත්මක වනු ඇති අතර කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට පවතින තරගාවලි වල අඩුව පිළිබඳ ගැටලුව පවතින්නා සේම ඔවුනට ගෙවනු ලබන තරග ගාස්තු වල ද විෂමතාවයක් දක්නට ලැබේ.

මෙරට තුළ පළමු පෙළ ක්‍රීඩා සමාජ 34ක් පිරිමින් සදහා පවතින අතර කාන්තාවන් සඳහා මේ වන තෙක් පැවතියේ පලමුපෙළ ක්‍රිකට් කණ්ඩායම් 8 ක් පමණක් වන අතර මෙවර එය  පහලවක් දක්වා වැඩි වී ඇත. අනිවාර්යෙන්ම එය ඉතාමත් හොඳ සාධනීය පියවරක් ලෙස සඳහන් කළ යුතුම අතර අගය කළ යුත්තකි.

වැටුප් විෂමතාවය පිළිබඳ යමක් සඳහන් කරන්නේ නම් පළමු පෙළ ක්‍රිකට් තරගාවලි තුළ එක්දින තරඟයකදී පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා රුපියල් 17 500ක මුදලක් තරග වැටුප ලෙස ලබා දෙන අතර 20-20 තරගයක දී රු.10000 ක මුදලක් ලබා දෙයි. කාන්තා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු පිළිබඳ අවධානය යොමු කරන විට පසුගිය වසරේ කාන්තා පළමු පෙළ  එක්දින ක්‍රිකට් තරඟාවලියේ දී  ක්‍රීඩිකාවන්ට ලබා දුන්නේ තරග ගාස්තුව ලෙස රුපියල් දෙදහසක් වැනි ඉතා සුලු මුදලකි. මෙවර අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ කාන්තා ක්‍රිකට් තරගාවලිය මෙම මස ආරම්භ වීමට නියමිත අතර ඒ  සදහා තරග ගාස්තු වල වැඩි වීමක් සිදුවී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරන අතර එය රුපියල් දසදහසකි. එය එසේ වන්නේ නම් ඉතාමත් හොඳ බව සඳහන් කළ යුතු අතර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත දියුණුයට එය නිසැක ලෙසම කොළ එළියක් වනු ඇති බව කිව යුතුමය.

ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගතහොත් එහි තත්ත්වයද පිරිමි ක්‍රිකට් කණ්ඩායමට සාපේක්ෂව එසේමය. චමරි අතපත්තු හැරෙන්නට අනෙක් ක්‍රීඩිකාවන්ට ලැබෙන මූලික වැටුප පිළිබඳ නම් ගැටලු සහගතය. පසුගිය දිනෙක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ සිට 2021 වසර දක්වා නියෝජනය කළ ක්‍රීඩිකාවකගෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් සමු ගැනීමට හේතුව කුමක්දැයි ඇසූ කළ ඇගේ පිළිතුරු වූයේ ඇයට ලැබුන වැටුප කොන්ත්‍රාත් ගත මුදල ඇයට ප්‍රමාණවත් නොවීම  හේතුවෙන්  ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට අකමැත්තෙන් හෝ  සිදු වූ බවයි.

එසේම සඳහන් කළ යුත්ත නම් පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම දක්ෂතා පෙන්වමින් ඔවුන්ට ඉදිරියට පැමිණීමට සංවිධානය වෙමින් පවතින ක්‍රිකට් තරගාවලි නම් බොහෝය. කණගාටුවට කාරණාව නම් නවක ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා කෞෂල්‍යයන් විදහා දක්වන්නට අවස්ථාව සැලසෙන අන්තර් ක්‍රීඩා සමාජ දෙවන පෙළ ක්‍රිකට් තරගාවලිය 2019 වසරින් පසු මෙරට තුල තවමත් ක්‍රියාත්මක වී නොමැත. ඉතින් වරද කොතැනද සහ මෙරට කාන්තා ක්‍රිකට් අනාගතය කෙලෙස වී ද යන්න ප්‍රශ්නාර්තයන් නම් බොහෝය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම වසරේ ජූලි මාසයේ දී ප්‍රකාශයට පත් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර තරඟාවලි වලදී පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වලට සමාන ත්‍යාග මුදල් ලැබිය යුතු බවයි.එසේම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට  පිරිමින්ට සමාන තරග ගාස්තුවක් ගෙවීමට තීරණය කර ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවතා ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි 20 තරගාවලියේ දී  සිට එය ක්‍රියාත්මක කර  ඇත.

එමෙන්ම නවසීලන්තය සහ ඉන්දියාව ද පිරිමින්ට සමාන තරග ගාස්තු ගෙවීමට තීරණය කර ඇති අතර නවසීලන්තයේ දේශීය තරග සඳහා ද පිරිමින්ට සහ කාන්තාවන්ට සමාන තරග ගාස්තු ගෙවීමට තීරණය කර ඇත. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ද කාන්තා පිරිමි දෙගොල්ලටම සමාන ත්‍යාග මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ දී  ලබා දිය යුතු බවට ප්‍රකාශයට පත් කර ඇති අතර මේ වන විට එය එරට ක්‍රියාත්මක වේ.

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර විසින් ඉල්ලීමක් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තා ක්‍රිකට් වැඩි දියුණු කිරීමට නම් සෑම තලයක ම කාන්තා ක්‍රිකට් දියුණු කිරීම සඳහා සඳහා නව වශයෙන් ආයෝජනය කළ යුතු බවයි. එහි වැටුප් විෂමතාවය පිළිබද කාරණාවද ගැබ්ව ඇති බව පෙනෙන්නට තිබුණී.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ජාතික කාන්තා ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තුව පෙර ඩොලර් 250 සිට ඩොලර් 750 දක්වා ඉහළ නැංවීමට මෙම වසරේ සිට තීරණය කර ඇති අතර පිරිමි කණ්ඩායමට සාපේක්ෂව කාන්තාවන් සඳහා ගෙවීම් පරතරය පියවා ගැනීමට ඔවුන් අවධානය යොමු කිරීමට යම් උත්සාහයක් ගැනීමට තීරණය කර ඇති බව එමගින් පෙනෙන්ට තිබෙන අතර එය යම්තාක් දුරකට හොද තීරණයක් බව පෙනෙන්නට තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේදී, මූල්‍ය විෂමතාවය ගැන සදහන් කරන විට ඇත්තෙන්ම එය විශාල අභියෝගයකි. උදාහරණයක් ලෙස ස්මිති මන්දනා, ඉන්දියාවේ වැඩිම වැටුප් ලබන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවයි. ICC විසින් 2022 දී සමාන තරඟ ගාස්තු ප්‍රකාශයට පත් කළ බැවින්, ඇය  තරගයකට ක්‍රීඩා කිරීම සඳහා විරාත් කෝලිට සමාන මුදලක් උපයයි. කෙසේ වෙතත්, කෝලිගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ඇයට ලැබෙන ප්‍රමාණය මෙන් 14 ගුණයක් පිරිනමයි. තවද ඔහු ඇය ක්‍රිඩා කරන ජාත්‍යන්තර තරඟ මෙන් දෙගුණයකට වඩා ක්‍රීඩා කරයි. ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු හා සසඳන විට, මන්දනාගේ තරග ගාස්තුව රුපියල් ලක්ෂ 6ක් (ඇ.ඩො. 7,300ක් පමණ) ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින තරගයක් සඳහා ඔවුන්ගේ නායිකාවට ලබා දෙන ඩොලර් 750ට සාපේක්ෂව විශාල මුදලක් බව පෙනේ.

මෙසේ ගත් කල  ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්වය එසේය. කාන්තා හා පිරිමි වැටුප් විෂමතාවය තව බොහෝ කලක් පවතින බව  පවතින තත්වයන් සලකා බැලීමේදී පෙනෙන්නට ඇත්තේය. පිරිමි ක්‍රීඩකයින් සඳහා ජාතික සහ අන්තර් ක්‍රීඩා සමාජ මට්ටමින් තරගාවලි බොහෝය. එමෙන්ම ඔවුන්ගේ කොන්ත්‍රාත් ගත මුදල් ද බොහෝ ඉහළය.නමුත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය එසේ නොවන්නේය. එය පිරිමි ක්‍රිකට් වලට සාපේක්ෂව අප රට තුළ හාත්පසින්ම වෙනස්ය.ඔවුන්ට ජාත්‍යන්තර තරග ඇත්තෙ අඩු වශයෙනි. එමෙන්ම ජාතික ක්‍රීඩිකාවන්ගේ ද කොන්ත්‍රාත් ගත මුදල් ද ඉතාමත් පහළ මට්ටමක පවතී. එමෙන්ම අන්තර් ක්‍රීඩා සමාජ තරඟාවලි ද බොහෝ අඩුය.එමෙන්ම එම තරගාවලි වලදී ගෙවන තරග ගාස්තු වලද ගැටලූවක් පවති.

සමාන තරග ගාස්තු, ත්‍යාග මුදල් සාධාරණ දෙයකි. එය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහ එය ක්‍රීඩා කරන අයට ලැබිය යුතු ගෞරවය ලබා දෙයි. එය අනිවාර්යයෙන්ම බුද්ධිමත් ආයෝජනයක් වන බව නම් නිසැකය. මේ කාලය තුළ ලොව කාන්තා ක්‍රිකට් වේගයෙන් වර්ධනය වන ක්‍රීඩාවක් බවට ද දක්නට ලැබුණද ලංකාව තුළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අසමානව සැලකීම තවදුරටත් පිළිගත නොහැකි බව පිලිගැනීමකි.

ස්ත්‍රී පුරුෂ වැටුප් සමානතාවය රටක් ලෙසද ක්‍රීඩාවේ දියුණුව පැවැත්මට අනිවාර්යයෙන් ම බලපානු ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් විසින් ජාත්‍යන්තර තරගාවලිය වල දී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හරහා සමාන ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කර ඇති නමුත් එය ක්‍රියාත්මක වනවාද යන්න ගැටලු පවතී. මේ ආකාරයට බලන කල ක්‍රිකට් ක්‍රීඩාවේ වැටුප් විෂමතාවය විශාල අභියෝගයක් බවට පත්වී හමාරය. අවසන වශයෙන් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන්නේනම් ඔවුනට තම දක්ෂතා වර්ධනය කර ගැනීමට තරගාවලි සහ අවශ්‍ය පහසුකම් සලසාදිය යුතු වන්නේය. එපමනක් නොව අත්‍යවශම කාරණයනම් වැටුප් විෂමතාවයට පිළිතුරු සෙවිය යුතුමය.පි රිමි ක්‍රීඩකයන්ට සමානව කාන්තා ක්‍රීඩිකාවන්ටද වැටුප් ගෙවන්නේනම් නිසැක ලෙසම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රිඩාවේ දියුණුව සිදුවනු ඇති බවනම් නොඅනුමානය. එවිට චමරි අතපත්තුලා තව තවත් සොයාගැනීමට රටට හැකිවනු ඇත. සරලව කිවහොත් කාන්තා පිරිමි දෙපක්ෂයටම සෑම අතින්ම සමානව සැලකිය යුතුය.

ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමග කළ සාකච්ඡා ඇසුරිණි.

Social Share: